77වෙනි පාඩම
ළිඳ ළඟට ආපු ස්ත්රිය
පාස්කු උත්සවය ඉවර වෙලා ටික කාලෙකට පස්සේ යේසුත් ගෝලයනුත් සමාරිය කියන නුවර පහු කරගෙන ගලීලයට යන්න පිටත් වුණා. අතරමඟදී සිකාර් නගරය කිට්ටුව තියෙන යාකොබ්ගේ ළිඳ ළඟ යේසුස් නතර වෙලා විවේක ගත්තා. ඒ වෙලාවේ ගෝලයන් කෑම ගේන්න ගියා.
ඒ ළිඳ ළඟට ස්ත්රියක් ආවා. යේසුස් එයාගෙන් ඇහුවා ‘මට වතුර ටිකක් දෙන්න පුළුවන්ද’ කියලා. එතකොට එයා මෙහෙම කිව්වා. ‘ඇයි ඔයා මාත් එක්ක කතා කරන්නේ? මං සමරිතානුවෙක්. යුදෙව්වරු සමරිතානුවන් එක්ක කතා කරන්නේ නෑනේ.’ එතකොට යේසුස් කිව්වා ‘මං කවුද කියලා දන්නවා නම් ඔයා මගෙන් වතුර ඉල්ලයි. එතකොට මං ජීවනය ලබා දෙන වතුර දෙනවා’ කියලා. ‘ඔයා ළඟ බාල්දියක්වත් නෑනේ’ කියලා ස්ත්රිය කිව්වාම යේසුස් මෙහෙම කිව්වා. ‘මං දෙන වතුර බොන අයට ආයේ තිබහක් එන්නේ නෑ.’ එතකොට ස්ත්රිය කිව්වා ‘අනේ, මට ඒ වතුර දෙන්න පුළුවන්ද’ කියලා.
යේසුස් කිව්වා “ගිහින් ඔයාගේ මහත්තයාව එක්කගෙන එන්න” කියලා. “මට මහත්තයෙක් නෑ” කියලා ස්ත්රිය කිව්වාම යේසුස් මෙහෙම කිව්වා. ‘ඔයා පස් පාරක් විවාහ වුණත් දැන් ඔයා ඉන්නේ ඔයාගේ මහත්තයා එක්ක නෙමෙයි.’ ස්ත්රිය මෙහෙම කිව්වා. ‘ඔයා අනාගතවක්තෘවරයෙක්. අපි විශ්වාස කරන්නේ මේ කන්දේදී දෙවියන්ට නමස්කාර කරන්න ඕනෙ කියලා. ඒත් යුදෙව්වරු කියන්නේ යෙරුසලමට යන්න ඕනෙ කියලා. ගැලවුම්කරු ආවාම හරි දේ අපිට උගන්වයි.’ එතකොට යේසුස් කිව්වා ‘මං තමයි ගැලවුම්කරු’ කියලා. යේසුස් මීට කලින් ඒ ගැන කාටවත්ම කියලා තිබුණේ නැහැ.
ස්ත්රිය ඉක්මනටම ගිහින් සමරිතානුවන්ට මෙහෙම කිව්වා. ‘මං කරපු හැම දේම කිව්ව කෙනෙක්ව හම්බ වුණා. එයා තමයි ගැලවුම්කරු. ඇවිත් බලන්න.’ ඒ හැමෝම ළිඳ ළඟට ගිහින් යේසුස් කියන දේවල් අහගෙන හිටියා.
සමරිතානුවන් එයාලත් එක්ක නතර වෙන්න කියලා කියපු නිසා යේසුස් දවස් දෙකක්ම එයාලත් එක්ක ඉඳලා ගොඩක් දේවල් ඉගැන්නුවා. එයාලා සමරිතානු ස්ත්රියට කිව්වා ‘මෙයා තමයි ගැලවුම්කරු’ කියලා.
“තිබහෙන් ඉන්න හැම කෙනෙක්ම එන්න. කැමති ඕනෙම කෙනෙක් ඇවිත් ජීවනය ගෙන දෙන වතුර නොමිලේ අරන් බොන්න.”—එළිදරව් 22:17