ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 19 පරි. 48 පි.-51 පි. 4 ¶
  • සමරිතානු ස්ත්‍රියකට උගන්වයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සමරිතානු ස්ත්‍රියකට උගන්වයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සමරිතානුවන් බොහෝදෙනෙක් විශ්වාස කරයි
  • සමරිතානු ස්ත්‍රියකට ඉගැන්වීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • ළිඳ ළඟට ආපු ස්ත්‍රිය
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ළිඳ ළඟ සිටි ස්ත්‍රිය එක්ක
    මගේ බයිබල් කතන්දර පොත
  • ගෙරිසීම්—‘මේ කන්ද මත අපි නමස්කාර කළෙමු’
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 19 පරි. 48 පි.-51 පි. 4 ¶
ළිඳක් අසලදී යේසුස් සමරිතානු ස්ත්‍රියකට කතා කරයි

19වෙනි පරිච්ඡේදය

සමරිතානු ස්ත්‍රියකට උගන්වයි

යොහන් 4:3-43

  • සමරිතානු ස්ත්‍රියකට සහ තවත් අයට යේසුස් උගන්වයි

  • යෙහෝවා දෙවියන් අනුමත කරන නමස්කාරය

යේසුස් සහ ඔහුගේ ගෝලයන් යුදයේ ඉඳන් ගලීලය බලා පිටත් වෙනවා. ඔවුන් ගමන් කරන්නේ සමාරිය හරහා. දවල් 12ට විතර ටිකක් විවේක ගන්න හිතාගෙන ඔවුන් සිකාර් නුවරේ ළිඳක් අසලින් නතර වෙනවා. යාකොබ්ට අයිති මේ ළිඳ සියවස් ගණනාවකට කලින් යාකොබ්ම හාරපු එකක්ද නැත්නම් සල්ලි ගෙවලා හාරවපු එකක්ද කියන්න අපි දන්නේ නැහැ. ඒ ළිඳ හැටියට සැලකෙන ළිඳක් නෙබ්ලස් නගරයේ අදටත් තියෙනවා.

යේසුස් ළිඳ ළඟ ඉඳන් විවේක ගන්න අතරතුරේදී ගෝලයන් කෑම ගන්න ළඟ නුවරකට යනවා. ඒ වෙලාවේදී වතුර පුරවගන්න එන සමරිතානු ස්ත්‍රියකගෙන් “මට බොන්න වතුර ටිකක් දෙන්න පුළුවන්ද” කියා යේසුස් අසනවා.—යොහන් 4:7.

යේසුස් ළිඳක් අසල විවේක ගනියි, ගෝලයන් පිටත් වී යයි, සමරිතානු ස්ත්‍රිය වතුර ගන්න එයි

සාමාන්‍යයෙන් යුදෙව්වන් සහ සමරිතානුවන් අතර කිසි ගනු දෙනුවක් තිබුණේ නැහැ. යුදෙව්වන් සමරිතානුවන්ව සැලකුවේ පහත් කරලා. ඒ නිසා “ඔබ යුදෙව් කෙනෙක් නේද? සමරිතානු ස්ත්‍රියක් වන මගෙන් ඔබ කොහොමද බොන්න වතුර ඉල්ලන්නේ” කියා ඇය යේසුස්ගෙන් අසනවා. යේසුස් ඊට පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “දෙවි නොමිලේ දෙන දීමනාව කුමක්ද කියාත්, ‘මට බොන්න වතුර ටිකක් දෙන්න’ කියා ඔබට පවසන්නේ කවුද කියාත් ඔබ දැනගෙන සිටියා නම් ඔබ ඔහුගෙන් ජීවනදායක වතුර ඉල්ලයි. එවිට ඔහු ඔබට ඒ වතුර දෙයි.” එතකොට ස්ත්‍රිය මෙහෙම කියනවා. “මහත්මයාණෙනි, ඔබට වතුර අදින්න බාල්දියක්වත් නැහැ. ළිඳත් ගැඹුරුයි. ඔබට මේ ජීවනදායක වතුර ලැබෙන්නේ කොහෙන්ද? මේ ළිඳ අපට ලැබුණේ අපේ මුතුන්මිත්තෙක් වන යාකොබ්ගෙන්. මේ ළිඳ හාරලා තමයි ඔහුටයි, ඔහුගේ පුතුන්ටයි ඔහුට අයිති සතුන්ටයි අවශ්‍ය වතුර ලබාගත්තේ. ඔබ ඔහුටත් වඩා උතුම් කෙනෙක්ද?”—යොහන් 4:9-12.

යේසුස් උත්තර දෙන්නේ මෙහෙමයි. “මේ වතුර බොන සියලුදෙනාටම ආපසු පිපාසය ඇති වෙනවා. නමුත් මා දෙන වතුර බොන කිසිවෙකුට කිසි කලක නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ. මා ඔහුට දෙන වතුර නිසා ඔහු තුළ වතුර උනන දිය උල්පතක් සෑදෙයි. එයින් උනන වතුරෙන් සදාකාල ජීවනය ලැබෙයි.” (යොහන් 4:13, 14) වෙහෙසිලා ඉන්න වෙලාවක වුණත් යේසුස් කැමැත්තෙන්ම ජීවිත ගලවන සත්‍ය පණිවිඩය සමරිතානු ස්ත්‍රියට කියනවා.

යේසුස් කියපු දේ ගැන සතුටු වෙන ස්ත්‍රිය මෙහෙම කියනවා. “මහත්මයාණෙනි, මට ඒ වතුර දෙන්න පුළුවන්ද? එවිට මට නැවත පිපාසය ඇති වෙන්නේ නැහැ. මට නැවතත් මේ ස්ථානයට ඇවිත් වතුර අදින්න අවශ්‍ය වන්නෙත් නැහැ.” යේසුස් දැන් කතාව වෙනස් කරමින් “ගොස් ඔබේ ස්වාමිපුරුෂයා කැඳවාගෙන මෙතැනට එන්න” කියා ස්ත්‍රියට පවසනවා. නමුත් “මට ස්වාමිපුරුෂයෙක් නැහැ” කියා ස්ත්‍රිය පවසද්දී යේසුස් මෙහෙම කියනවා. “‘මට ස්වාමිපුරුෂයෙක් නැහැ’ කියා, ඔබ කියන දේ ඇත්ත. කලින් ඔබට ස්වාමිපුරුෂයන් පස්දෙනෙක් සිටියා. දැන් ඔබ සමඟ සිටින තැනැත්තා ඔබේ ස්වාමිපුරුෂයා නොවෙයි.” යේසුස් ඒ ස්ත්‍රිය ගැන තොරතුරු හරියටම කියද්දී ඇයට කොහොම හැඟෙන්න ඇද්ද!—යොහන් 4:15-18.

ඇය මහත් පුදුමයකින් පවසන්නේ “මහත්මයාණෙනි, මට නම් හිතෙන්නේ ඔබ අනාගතවක්තෘවරයෙක්” කියායි. නමස්කාර කටයුතු ගැන ඇයට සැබෑ උනන්දුවක් තියෙන බව ඇය තවදුරටත් පවසන මේ දෙයින් පැහැදිලි වෙනවා. “අපේ මුතුන්මිත්තන් [සමරිතානුවන්] නමස්කාර කළේ මේ කන්දේදීයි [ගෙරිසීම් කන්දේදීයි]. නමුත් යුදෙව්වන් කියන්නේ ජනයා දෙවිට නමස්කාර කළ යුත්තේ යෙරුසලමේදී කියායි.”—යොහන් 4:19, 20.

වඩාත් වැදගත් වෙන්නේ නමස්කාර කරන ස්ථානය නෙවෙයි කියා පැහැදිලි කරමින් යේසුස් මෙහෙම කියනවා. “මා කියන මේ දේ විශ්වාස කරන්න. එනම් ඔබ සියලුදෙනා පියාණන්ට කරන නමස්කාරය මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නොකරන කාලයක් එනවා. නමුත් සැබෑ නමස්කාරකයන් දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන කාලයක් පැමිණෙනවා. ඒ කාලය දැනටමත් පැමිණ තිබෙනවා. ඇත්තෙන්ම පියාණන් තමන්ට නමස්කාර කිරීම සඳහා සොයමින් සිටින්නේ එවැනි අයවයි. දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්. ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”—යොහන් 4:21, 23, 24.

යෙහෝවා දෙවිට වැඩියෙන්ම වටින්නේ තම සේවකයන් නමස්කාර කරන විදිහ මිසක් නමස්කාර කරන ස්ථානය නෙවෙයි. යේසුස් කියපු දේ නිසා පුදුම වෙන ස්ත්‍රිය මෙහෙම කියනවා. “ක්‍රිස්තුස්, ඒ කියන්නේ මෙසියස් අනිවාර්යයෙන්ම පැමිණෙන බව මම දන්නවා. ඒ තැනැත්තා පැමිණි විට කිසිම දෙයක් නොසඟවා සෑම දෙයක්ම අපට ප්‍රකාශ කරයි.”—යොහන් 4:25.

ඒ ස්ත්‍රියට වටිනා සත්‍යයක් හෙළි කරන යේසුස් පවසන්නේ “දැන් ඔබත් සමඟ කතා කරමින් සිටින මමයි ඒ තැනැත්තා” කියායි. (යොහන් 4:26) ටිකකට මේ ගැන හිතන්න. තමන් මෙසියස් බව යේසුස් හෙළි කරන්නේ මහ දවාලේ වතුර පුරවගන්න ළිඳ ළඟට ආව සමරිතානු ජාතික ස්ත්‍රියකට. පෙනෙන විදිහට ඒ වෙන කල් තමන් මෙසියස් කියලා යේසුස් කිසිම කෙනෙකුට කියලා නැහැ.

සමරිතානුවන් බොහෝදෙනෙක් විශ්වාස කරයි

කෑම හොයාගෙන සිකාර් නුවරට ගිය යේසුස්ගේ ගෝලයන් ළිඳ ළඟට එද්දී යේසුස් සමරිතානු ස්ත්‍රියක් එක්ක කතා කරමින් ඉන්නවා ඔවුන් දකිනවා. ඔවුන් එතැනට ආවාට පස්සේ වතුර භාජනයත් ළිඳ ළඟම තියලා ස්ත්‍රිය නැවතත් නුවරට යනවා.

යේසුස්ගේ ගෝලයන් නැවතත් ළිඳ අසලට එද්දී සමරිතානු ස්ත්‍රිය පිටත් වී යයි

යේසුස් තමන්ට කියපු දේවල් ගැන සිකාර් නුවරේ ඉන්න අයට දැනුම් දෙන ස්ත්‍රිය “මා කළ හැම දෙයක්ම මට පැවසූ මිනිසෙක් මට හමු වුණා. ඇවිත් බලන්න” කියා ලොකු විශ්වාසයකින් පවසනවා. ඒ විතරක් නෙවෙයි “සමහරවිට ඔහු ක්‍රිස්තුස් විය හැකියි” කියාත් ඇය පවසන්නේ ඔවුන් තුළ යම් කුතුහලයක් ඇති කරන්න වෙන්න ඇති. (යොහන් 4:29) මොකද මෝසෙස්ගේ කාලයේ ඉඳන්ම ක්‍රිස්තුස් කවුද කියලා දැනගන්න මිනිසුන්ට ලොකු උවමනාවක් තිබුණා. (ද්විතීය කතාව 18:18) ඒ නිසා යේසුස්ව දැක බලා ගන්න ඔවුන් නුවරින් පිටත් වෙලා එනවා.

යේසුස් තමන් එක්ක පැවසූ දේවල් සිකාර් නුවරේ සිටින මිනිසුන්ට සමරිතානු ස්ත්‍රිය කියයි

මේ අතරතුරේදී ගෙනත් තියෙන කෑම කන්න කියලා ගෝලයන් යේසුස්ට කියනවා. ඒත් “ඔබ නොදන්නා කෑම වර්ගයක් මා ළඟ තිබෙනවා” කියා යේසුස් පවසද්දී ඒ ගැන පුදුම වෙන ගෝලයන් “වෙන කවුරු හරි ඔහුට කෑමට මොනව හරි ගෙනාවද” කියා ඔවුනොවුන් අතරේ කතා වෙනවා. එතකොට යේසුස් ඔවුන්ට මෙහෙම කියනවා. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි.” (යොහන් 4:32-34) ඔහු පැවසූ ඒ දේ ඔහුගේ අනුගාමිකයන් හැමෝටම හුඟක් වැදගත්.

තමන්ට පැවරිලා තියෙන කාර්යය විදිහට යේසුස් සඳහන් කරන්නේ මිනිසුන්ව එක් රැස් කරන එක ගැන මිසක් තව මාස හතරකින් කරන්න තියෙන අස්වැන්න නෙළන එක ගැන නම් නෙවෙයි. යේසුස් කියන මේ දෙයින් ඒක පැහැදිලියි. ‘ඔබේ ඇස් ඇර බලන්න. අස්වැන්න නෙළන කාලය දැන්මම ඇවිත්. කරල් පැසී තිබෙන හැටි බලන්න. අස්වැන්න නෙළන තැනැත්තාට මේ වන විටත් කුලියක් ලැබෙනවා. ඔහු නෙළමින් සිටින්නේ සදාකාල ජීවනයට මඟ පාදන පලදාවක්. ඒ නිසා වපුරන තැනැත්තාටයි අස්වැන්න නෙළන තැනැත්තාටයි එකවරම ප්‍රීති විය හැකියි.’—යොහන් 4:35, 36.

සමරිතානු ස්ත්‍රිය එක්ක කතා කරපු එකේ ප්‍රතිඵලය ගැන යේසුස් මේ වෙනකොටත් තේරුම් අරගෙනයි ඉන්නේ. “මා කළ හැම දෙයක්ම ඔහු මට පැවසුවා” කියා ඒ ස්ත්‍රිය මිනිසුන්ට කියන නිසා ඔවුන් යේසුස් ගැන විශ්වාස කරනවා. (යොහන් 4:39) සිකාර් නුවරේ ඉඳන් ළිඳ ළඟට ආපු ඔවුන් තමන් එක්ක නතර වෙලා තවත් දේවල් කියලා දෙන්න කියා යේසුස්ගෙන් ඉල්ලන්නේ ඒ නිසයි. යේසුස් දින දෙකක්ම ඔවුන් එක්ක ඉන්නවා.

ප්‍රතිඵලයක් විදිහට තවත් අය යේසුස්ව විශ්වාස කරනවා. ඔවුන් සමරිතානු ස්ත්‍රියට මෙහෙම කියන්නේ ඒ නිසයි. “දැන් අපි ඔහුව විශ්වාස කරන්නේ ඔබ පැවසූ දේවල් නිසා නොවෙයි. අපිම ඇසූ දේවලින් මේ මිනිසා ලෝකයේ ගැලවුම්කරු බව අපට දැන් හොඳටම විශ්වාසයි.” (යොහන් 4:42) තවත් තොරතුරු හොයලා බලන්න කුතුහලයක් ඇති වෙන විදිහට ක්‍රිස්තුස් ගැන සාක්ෂි දරන එක සම්බන්ධයෙන් සමරිතානු ස්ත්‍රිය මොන තරම් කදිම ආදර්ශයක්ද!

අස්වැන්න නෙළන්න තව මාස හතරක් තියෙනවා කියලා කලින් සඳහන් කළා ඔබට මතක ඇති. පෙනෙන විදිහට ඒ බාර්ලි අස්වැන්න නෙළන කාලය වෙන්න ඕනේ. ඒ අස්වැන්න නෙළන්නේ මාර්තු නැත්නම් අප්‍රියෙල් මාසවල නිසා ඉහත සිද්ධීන් වෙන්නේ නොවැම්බර් නැත්නම් දෙසැම්බර් මාසවල කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ යේසුස් සහ ඔහුගේ ගෝලයන් ක්‍රි.ව. 30 පාස්කු උත්සවය සමරලා මාස අටක් විතර යුදයේ ඉඳන් මිනිසුන්ට උගන්වමින් ඔවුන්ව බව්තීස්ම කරලා තියෙනවා. දැන් ඔවුන් සූදානම් වෙන්නේ ගලීලය දෙසට ගමන් කරන්න.

සමරිතානුවන් කියන්නේ කාටද?

යුදයට උතුරින් සහ ගලීලයට දකුණින් තමයි සමාරිය පිහිටලා තියෙන්නේ. සලමොන් රජ මැරුණාට පස්සේ ගෝත්‍ර දහයකින් සමන්විත ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යය යූදා සහ බෙන්ජමින් කියන ගෝත්‍ර දෙකෙන් වෙන් වුණා.

ගෝත්‍ර දහයට අයිති අය වසු නමස්කාරය කරන්න පටන්ගත්තා. ඒ නිසා තමයි ක්‍රි.පූ. 740දී යෙහෝවා දෙවියන් සමාරිය පරාජය කරන්න ඇසිරියානුවන්ට ඉඩහැරියේ. සමාරියේ හිටිය හුඟදෙනෙක්ව අල්ලන් ගිය ඔවුන් තම අධිරාජ්‍යය යටතේ හිටිය විවිධ ජාතීන්වලට අයත් මිනිසුන්ව සමාරියේ පදිංචි කෙරෙව්වා. විවිධ දෙවිවරුන්ට නමස්කාර කරපු ඒ අය ඊශ්‍රායෙලයේ ඉතුරු වෙලා හිටිය අයත් එක්ක විවාහ වෙලා දිගටම එහේ ජීවත් වුණා. මේ ප්‍රදේශයේ ජීවත් වුණු අය කාලයක් තිස්සේ චර්මච්ඡේදනය ඇතුළු දෙවිගේ නීතියේ සඳහන් වුණු සමහර දේවල් පිළිපැද්දත් ඔවුන් කරපු නමස්කාරය සැබෑ නමස්කාරය විදිහට හඳුන්වන්න බැහැ.—2 රාජාවලිය 17:9-33; යෙසායා 9:9.

යේසුස්ගේ කාලයේ හිටිය සමරිතානුවන් මෝසෙස් ලියපු පොත්වල තියෙන තොරතුරු පිළිගත්තා. ඒත් ඒ අය නමස්කාර කරන්න යෙරුසලමේ දේවමාලිගාවට ගියේ නැහැ. ඒ වෙනුවට ඔවුන් සිකාර් නුවරට කිට්ටුවෙන් තිබුණු ගෙරිසීම් කන්දේ තිබුණු දේවාලයේ තමයි නමස්කාර කටයුතු කළේ. ඒ දේවාලය විනාශ වුණාට පස්සෙත් ඔවුන් දිගටම ඒ කන්දේ ඉඳන් නමස්කාර කළා. යේසුස් සේවය කරපු කාලයේදී යුදෙව්වන් සහ සමරිතානුවන් අතරේ තිබුණු වෛරය කොයි කාටත් පැහැදිලිවම පෙනුණා.—යොහන් 8:48.

  • තමන් එක්ක යේසුස් කතා කරපු එක ගැන සමරිතානු ස්ත්‍රිය පුදුම වුණේ ඇයි?

  • ජීවනදායක වතුර සහ දෙවිට නමස්කාර කරන ස්ථානය ගැන යේසුස් ඒ ස්ත්‍රියට ඉගැන්නුවේ මොනවාද?

  • යේසුස් තමන් ගැන සමරිතානු ස්ත්‍රියට හෙළි කළේ මොනවාද? මොන විදිහේ නමස්කාරයක් කරන්න කියලද ඔහු ඇයව දිරිගැන්නුවේ?

  • සමරිතානු ස්ත්‍රිය යේසුස් ගැන ආපු නිගමනය මොකක්ද? ඒ නිසා ඇය කළේ මොනවාද?

  • ක්‍රි.ව. 30දී පාස්කු උත්සවය සැමරුවාට පස්සේ යේසුස් සහ ඔහුගේ අනුගාමිකයන් කළේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න