පොරොන්දු දේශයෙන් දර්ශන
ගෙරිසීම්—‘මේ කන්ද මත අපි නමස්කාර කළෙමු’
ළිඳ අසල සිටි සමාරිය ස්ත්‍රිය. සමාරිය නුවරක් වූ, සිඛාර් හි, “යාකොබ්ගේ ළිඳ” අසල සිටි ස්ත්‍රියකට යේසුස් වහන්සේ විසින් සාක්ෂි දැරීම පිළිබඳ සිත්ගන්නා වාර්තාව, එම වදන් පෙළ මගින් ඔබට සිහි ගන්වන්නේ නැද්ද? එම අර්ථවත් සිද්ධිය පිළිබඳ ඔබගේ දෘෂ්ටිය තවත් තියුණු කර ගන්නට ඔබ කැමති ද?—යොහන් 4:5-14.
යෙරුසලමට සැතපුම් 30ක් පමණ උතුරෙන් පිහිටි, ඉහත ඇති කඳු දෙක සැලකිල්ලට ගන්න.a වම් පැත්තේ (දකුණු දිශාවට) ඇත්තේ ශාකවලින් වැසී ගිය ගෙරිසීම් කන්ද ය; එහි බහුල ව දක්නට ලැබෙන උල්පත්, එහි ඇති සශ්‍රීකත්වයට හා අලංකාරත්වයට දායක වෙයි. දකුණෙන් (උතුරු දිශාවට) ඇත්තේ එබාල් ය, එය ගෙරිසීම්ට වඩා මඳක් උස් වුව ද ගල් සහිත ය නිසරු ය.
ඒවා අතරින් දිවෙන්නේ සාරවත් ෂෙඛෙම් නිම්නයයි. දෙවියන් වහන්සේගේ මිත්‍රයා වූ (පසු කාලයේ දී ආබ්‍රහම් යන නාමය දැරූ) ආබ්‍රම්, පොරොන්දු දේශයට ගමන් කළ විට, ඔහු ෂෙඛෙම් හි දී මඳ වේලාවකට ගිමන් නිවා ගත් බව මතක තබා ගන්න. එහි දී ඔහු, ඊට මොහොතකට කලින් තමාට දර්ශනය වී, එම දේශය තමාගේ වංශයට දෙන බවට පොරොන්දු වූ, යෙහෝවඃ වහන්සේට පූජාසනයක් ගොඩනැගී ය. (උත්පත්ති 12:5-7) එම දේශයේ හදවත තුළ ම, එනම් මෙම ස්ථානය එවන් පොරොන්දුවක් දීම සඳහා මොනතරම් උචිත තැනක් වී ද! ගෙරිසීම් හෝ එබාල් හි කඳු මුදුනේ සිට එම කුල ජ්යේෂ්ඨයාට පොරොන්දු දේශයෙන් විශාල කොටස් බලා ගත හැකි විණි. ෂෙඛෙම් නගරය (නවීන නැබ්ලස්) වැදගත් කේන්ද්‍රස්ථානයක් විය, ඊට හේතු වූයේ එය උතුරු දකුණු කඳුකර මාර්ගය අසලින් ද වෙරළ හා යොර්දාන් නිම්නය අතර පිහිටි නැගෙනහිර-බටහිර මාර්ගයකට සමීප ව ද පිහිටා තිබීම ය.
ආබ්‍රහම්ගේ පූජාසනය වනාහි මෙහි තිබූ, සැලකිය යුතු ආගමික සංවර්ධනයන්ගෙන් එකක් පමණි. පසු ව, යාකොබ් මෙම ප්‍රදේශයෙන් ඉඩම් මිල දී ගෙන සැබෑ නමස්කාරය දිගට ම ක්‍රියාත්මක කළේ ය. ඔහු ගෙරිසීම් පාමුල අසල ගැඹුරු ලිඳක් හෑරුවේ ය, නැතහොත් හෑරීමේ වියදම දැරුවේ ය. ඉන් ශතවර්ෂ ගණනාවකට පසු, එම සමාරිය ස්ත්‍රිය යේසුස් වහන්සේ අමතා: ‘ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ් . . . මෙයින් බිව්වේ’ යයි පැවසුවා ය. එයට වතුර ගලා එන්නට ඇත්තේ උල්පතකින් විය හැකි ය. ප්‍රේරිත යොහන් ඊට “යාකොබ්ගේ උල්පත” [NW] යයි පැවසීමට හේතුව මෙමගින් පැහැදිලි වේ.
ගෙරිසීම් හා ඒබාල් සම්බන්ධයෙන් සැබෑ නමස්කාරය සඳහන් කිරීම, මෝසෙස් විධාන කළ පරිදි, යෝෂුවා ඊශ්‍රායෙල් සෙනඟ ව මෙතැනට ගෙනා බව ඔබේ සිහියට නැංවෙනවා විය හැකියි. යෝෂුවා ඒබාල් මත පූජාසනයක් ගොඩ නැගී ය. යෝෂුවා ‘ආශීර්වාදයත් ශාපයත් යන ව්‍යවස්ථාව’ කියවද්දී ජනයාගෙන් අඩක් ගෙරිසීම් ඉදිරියෙහිත් ඉතිරි කොටස ඒබාල් ඉදිරියෙහිත් සිටීම කල්පනා කර බලන්න. (යෝෂුවා 8:30-35; ද්විතීය කථාව 11:29) ඉන් වසර ගණනාවකට පසු, යෝෂුවා ආපසු පැමිණ අවසාන අවවාදය දෙමින්: “අපි නම්—මමද මාගේ පවුලද—ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] සේවයකරමු” යයි පැවසී ය. ජනයා ද එසේ ම කිරීමට ගිවිස ගත්තෝ ය. (යෝෂුවා 24:1, 15-18, 25) එහෙත් ඔවුන් සැබවින් ම එසේ කරනු ඇත් ද?
සමාරීය ස්ත්‍රිය සමඟ යේසුස් වහන්සේගේ සංවාදය තේරුම් ගැනීමට මෙයට තිබෙන පිළිතුර ඔබට උපකාරවත් විය හැකි ය. ඇත්තෙන් ම, ආබ්‍රහම්, යාකොබ්, හා යෝෂුවා විසින් අනුගමනය කරන ලද සැබෑ නමස්කාරය මෙහි සමාරියේ දිගට ම පැවතුණේ නැත.
උතුරු ගෝත්‍ර දසය වෙන්වීමෙන් පසු, ඔවුහු වසු නමස්කාරයට හැරුණෝ ය. එමනිසා පො.යු.පෙ. 740 දී මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීමට යෙහෝවඃ වහන්සේ අෂූරිවරුන්ට අවසර දුන් සේක. ඔවුහු ජනගහණයෙන් වැඩි කොටසක් තමන් සමඟ ගෙන ගොස්, ඒ වෙනුවට නාඳුනන දෙවිවරුන්ට නමස්කාර කරන්නන් වූ, අෂූරි අධිරාජ්‍යයේ වෙනත් තැන්වල විසූ විදේශිකයන් ගෙන ආවෝ ය. පෙනෙන හැටියට, එම මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙන් සමහරෙක් ඊශ්‍රායෙල්වරුන් සමඟ විවාහ වී, චර්මච්ඡේද්ය වැනි, සැබෑ නමස්කාරයේ සමහරක් ඉගැන්වීම් ඉගෙන ගත්තෝ ය. එහෙත් එහි විපාකයක් වශයෙන් ඇති වූ සමාරිය නමස්කාරය මුළුමනින් ම දෙවියන් වහන්සේට ප්‍රසන්න ව නොතිබූ බවට සහතික ය.—2 රාජාවලිය 17:7-33.
තම මිශ්‍ර නමස්කාරය තුළ, සමාරියයන් ශුද්ධ ලියවිලි හැටියට පිළිගත්තේ, පංච පුස්තකය, හෙවත් මෝසෙස්ගේ පළමු පොත් පහ පමණි. පොදු යුගයට පෙර හතරවන ශතවර්ෂයේ දී පමණ, ඔවුහු යෙරුසලමේ දේවමාලිගාවත් සමඟ තරඟ වදිමින්, ගෙරිසීම් කන්දේ දේවමාලිගයක් ගොඩනැගූහ. කාලයාගේ ඇවෑමෙන්, ගෙරිසීම් දේව මාලිගාව සියුස්ට (නැතහොත්, බ්‍රහස්පතිට) කැප කරනු ලැබූ අතර, අවසානයේ එය විනාශ කරනු ලැබී ය. එසේ වුවද, සමාරිය නමස්කාරය දිගට ම ගෙරිසීම් හි කේන්ද්‍රගත ව පැවතිණ.
අද දක්වා සමාරියයෝ ගෙරිසීම් කන්ද මත වාර්ෂික පාස්කු උත්සවයක් පවත්වති. බැටළුවන් විශාල සංඛ්‍යාවක් ඝාතනය කරනු ලැබේ. උන්ගේ මළකඳන්වලින් ලෝම ඉවත් කළ හැකි වනු පිණිස ඒවා උතුරන වතුරේ ගිල්වනු ලබන අතර අනතුරුව එම මස් පැය ගණනාවකට වළවල්වල පිසිනු ලැබේ. මධ්‍යම රාත්‍රියේ දී, යෙරුසලමෙන් පැමිණි බොහෝ දෙනෙක් ද ඇතුළු ව, සිය ගණන් සමාරියයෝ, තම පාස්කු ආහාර වේල අනුභව කරති. සමාරීය උත්තම පූජකයා, තමාගේ හිස වසාගෙන, ගෙරිසීම් කන්ද මත පාස්කු උත්සවයක දී සිය නිල කාර්යය ඉටු කරනවා පහත ඔබට දැකිය හැකි ය.
එම සමාරීය ස්ත්‍රිය යේසුස් වහන්සේට පැවසූ දෙය මතක් කරන්න: “අපගේ පියවරු මේ කන්දේදී නමස්කාරකළෝය.” යේසුස් වහන්සේ ඇයවත්, අපවත් මෙසේ නිවැරදි කළ සේක: “මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නුඹලා පියාණන්වහන්සේට නමස්කාර නොකරන කාලය පැමිණෙන්නේය. . . . නුමුත් සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය, දැනටම පැමිණ තිබේ. මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳු වූවන් සොයනසේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කළ යුතුය.”—යොහන් 4:20-24.
[පාදසටහන්වල]
a ඔබට මෙම ඡායාරූපය 1993 කැලෙන්ඩර් ඔෆ් ජෙහෝවාස් විට්නසස් [1993 සඳහා වූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දින දර්ශනය] තුළ වඩාත් විශාල ප්‍රමාණයෙන් පරීක්ෂා කර බැලිය හැකි ය.
[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Garo Nalbandian
Garo Nalbandian