නොවැම්බර්
නොවැම්බර් 1, සෙනසුරාදා
“බිලිඳුන්ගෙත් කිරි බොන ළදරුවන්ගෙත් මුවින් ඔබට ප්‍රශංසාව ලැබෙන්න සැලැස්සුවා.”—මතෙ. 21:16.
දරුවන්ට එයාලාගේ වයසට ගැළපෙන විදිහට අදහස් දෙන්න එයාලව කලින්ම සූදානම් කරන්න. සමහරවිට අපි සාකච්ඡා කරන ලිපිවල විවාහක යුවළයන් අතර තියෙන ප්‍රශ්න, සදාචාර ප්‍රමිති වගේ බැරෑරුම් විෂයන් ගැන එනවා. ඒ වගේ ලිපිවලත් දරුවාට උත්තර දෙන්න පුළුවන් ඡේදයක්, දෙකක් තියෙයි. ඒත් එයා අත උස්සන හැම වෙලේම මෙහෙයවන කෙනාට එයාගෙන් උත්තරයක් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට ඒකට හේතුව පැහැදිලි කරලා දෙන්න. එතකොට එයාට අවස්ථාව ලැබුණේ නැතත් අනිත් අය උත්තර දුන්න එක ගැන හිතලා සතුටු වෙන්න එයාට පුළුවන්. (1 තිමෝ. 6:18) හොඳට සූදානම් වෙලා උත්තර දෙද්දී යෙහෝවාව ගෞරවයට පත් කරන්න, සහෝදරයන්ව දිරිගන්වන්න අපි හැමෝටම අවස්ථාව තියෙනවා. (හිතෝ. 25:11) ඒ වගේම ඉඳලා හිටලා උත්තරවලට අපේ අද්දැකීමුත් කෙටියෙන් සම්බන්ධ කරන්න අපිට පුළුවන්. හැබැයි අපි අපි ගැනම ලොකුවට කියව කියව පම්පෝරි ගහන්න හොඳ නැහැ. (හිතෝ. 27:2; 2 කොරි. 10:18) ඒ වෙනුවට යෙහෝවාට, ඔහුගේ වචනයට සහ ඔහුගේ සෙනඟට තමයි අපි අවධානය දෙන්න ඕනේ.—එළි. 4:11. w23.04 24-25 17-18¶
නොවැම්බර් 2, ඉරිදා
“අපි අනිත් අය වගේ නිදාගෙන ඉන්නේ නැතුව දිගටම අවදිව ඉඳලා හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරමු.”—1 තෙස. 5:6.
අවදිව, සිහිකල්පනාවෙන් ඉන්න ආදරය ඕනෙමයි. (මතෙ. 22:37-39) අපි යෙහෝවාට ආදරෙයි නම් මොන දේ වුණත් විඳදරාගෙන දිගටම සේවේ කරනවා. (2 තිමෝ. 1:7, 8) අසල්වැසියා ගැනත් අපේ හිතේ ආදරයක් තියෙනවා. අසල්වැසියා කියද්දී ඒකට සත්‍යයේ නැති අයත් ඇතුළත්. එයාලට තියෙන ආදරේ නිසා තමයි අපි මොන විදිහකින් හරි ඒ කියන්නේ ලිපිවලින්, දුරකතනයෙන් හරි එයාලට ශුභාරංචිය කියන්න උත්සාහ කරන්නේ. කවදා හරි එයාලත් ජීවිතේ වෙනස් කරගෙන හරි දේ කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. (එස. 18:27, 28) අසල්වැසියා කියද්දී අපේ සහෝදරයනුත් ඒකට ඇතුළත්. ඒ නිසා තමයි “එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න” අපි හැම දේම කරන්නේ. (1 තෙස. 5:11) අපි හිතාමතාම අපේ සහෝදරයන්ව රිද්දන්නේ නැහැ. බැරි වෙලාවත් තව කෙනෙක් කරපු කියපු දෙයක් නිසා අපේ හිත රිදුණත් අපි එකට එක කරන්නේ නැහැ. (1 තෙස. 5:13, 15) ඒ වගේම පෙරමුණ ගන්න සහෝදරයන්ට තියෙන ආදරේ අපිව පොලඹවනවා එයාලට ගෞරවයෙන් සලකන්න.—1 තෙස. 5:12. w23.06 10 6¶; 11 10-11¶
නොවැම්බර් 3, සඳුදා
“[යෙහෝවා] යමක් කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම කරනවා.”—ගණන්. 23:19.
යේසුස්ගේ ජීවිත පූජාව තමයි යෙහෝවා දෙවියන් දීලා තියෙන පොරොන්දු අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන්න අපිට තියෙන සහතිකය. ඒ ගැන හිතන තරමටම දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැනත් අපිට ලොකු නිසැකකමක් ඇති වෙනවා. ඇයි එහෙම කියන්නේ? යෙහෝවා දෙවියන් දුන්නේ ඔහුගේ කුලුඳුල් පුතාව. ඔහුගේ හදවතට කිට්ටුම කෙනාව. ඔව්, ඔහු යේසුස්ව පරිපූර්ණ කෙනෙක් විදිහට මේ පොළොවට එව්වා. යේසුත් පොළොවේ හිටපු කාලේදී ගොඩක් අභියෝගවලට මුහුණ දුන්නා. අන්තිමේදී හුඟක් වේදනා විඳලා අපි වෙනුවෙන් මැරුණා. එහෙම බලද්දී යෙහෝවා අපි වෙනුවෙන් යේසුස්ව දීලා තියෙන්නේ ලොකු දුකක් උහුලගෙන. ඔහු එච්චර ලොකු කැප කිරීමක් කළේ අපිට අවුරුදු 60ක්, 70ක් වගේ කෙටි කාලෙකට විතරක් හොඳ ජීවිතයක් දෙන්න කියලා හිතන්න පුළුවන්ද? (යොහ. 3:16; 1 පේතෘ. 1:18, 19) එහෙම බලද්දී සදාකාල ජීවිතේ සැක කරන්න අපිට කිසිම හේතුවක් නැහැ. w23.04 27 8-9¶
නොවැම්බර් 4, අඟහරුවාදා
“මරණය, වේදනාව ඇති කරන ඔබේ විෂ තුඩ කොතනද?”—හොෂෙ. 13:14.
මැරුණ අයට ජීවිතේ දෙන්න යෙහෝවාට ආසාවක් තියෙනවාද? ඔව්. ඒකයි නැවත නැඟිටීමේ බලාපොරොත්තුව ගැන ලියන්න ඔහු බයිබල් ලේඛකයන් කීපදෙනෙක්ටම මඟ පෙන්නුවේ. (යෙසා. 26:19; එළි. 20:11-13) අපි දන්නවා දෙවියන් පොරොන්දුවක් දුන්නොත් අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා. (යොෂු. 23:14) ඒ වගේම ඔහු මැරුණු අයට නිකම්ම ජීවිතේ දෙනවා නෙවෙයි. ඒක කරන්න ඔහුට ඕනකමකුත් තියෙනවා. යෝබ් ගැන හිතන්න. එයා දැනන් හිටියා එයා මැරුණත් දෙවියන් එයාව නැවත නැඟිට්ටවන්න ආසාවෙන් ඉන්නවා කියලා. (යෝබ් 14:14, 15) යෝබ්ට විතරක් නෙවෙයි මරණ නින්දේ ඉන්න යෙහෝවාගේ හැම යාළුවෙක්ටම ජීවිතේ දෙන්න ඔහු ඉන්නේ දවස් ගැනගැන. ඔහුට ඕනෙ එයාලව නැවත නැඟිට්ටවලා සතුටින් පිරුණු, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් දෙන්න. ඒත් දෙවියන්ව දැනගන්න කලින් මැරුණ බිලියන ගාණක් දෙනා ගැන කියන්න පුළුවන් මොනවාද? යෙහෝවා එයාලවත් නැවත නැඟිට්ටවන්න බලාගෙන ඉන්නවා. (ක්‍රියා 24:15) මොකද ඔහුට ඕනෙ එයාලත් ඔහුගේ යාළුවන් වෙලා සදාකල් ජීවත් වෙනවා දකින්න.—යොහ. 3:16. w23.04 9 5-6¶
නොවැම්බර් 5, බදාදා
“අපිට ශක්තිය ලබා දෙන්නේ අපේ දෙවියන්.”—ගීතා. 108:13.
ඔයා පාරාදීස පොළොවේ ජීවත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ඒ ගැන බයිබලේ තියෙන තොරතුරු කියවලා හොඳට හිතන්න. (යෙසා. 25:8; 32:16-18) ඒ ජීවිතය හිතින් මවාගන්න. මනසින් එතන්ට යන්න. ඒ විදිහට අපේ බලාපොරොත්තුව ස්ථිරයි නම් අපිට තේරෙයි අපිට තියෙන ‘පීඩා හරිම සුළුයි. ඒවා තියෙන්නේ කෙටි කාලෙකට විතරයි’ කියලා. (2 කොරි. 4:17) අපිට මේ ලස්සන බලාපොරොත්තුව දුන්න යෙහෝවාට පුළුවන් ඒකම පාවිච්චි කරලා අපිව ශක්තිමත් කරන්න. ඇත්තටම ශක්තිය ලබාගන්න ඕනෙ හැම දේම ඔහු දීලායි තියෙන්නේ. ඒ නිසා අමාරු පැවරුමක් කරන්න, පීඩා දරාගන්න, දිගටම සතුටින් ඉන්න උදව් ඕනෙ වෙද්දී ඕනෑකමින් ඔහුට යාච්ඤා කරන්න. අධ්‍යයනය කරලා ඔහුගේ මඟ පෙන්වීම් පතන්න. සහෝදරයන්ගේ උදව් පිළිගන්න. බලාපොරොත්තුව හිතේ දල්වාගෙන තියාගන්න. එහෙම කරද්දී ‘දෙවිගේ තේජවත් බලය මාර්ගයෙන් හැම දේම කරන්න අවශ්‍ය ශක්තිය ඔයාට ලැබෙයි. එතකොට ඕනම දෙයක් සාර්ථකව විඳදරාගන්නත් ඔයාගේ සතුට රැකගෙන ගොඩක් ඉවසිලිවන්තව වැඩ කරන්නත් ඔයාට පුළුවන් වෙයි.’—කොලො. 1:11. w23.10 17 19-20¶
නොවැම්බර් 6, බ්‍රහස්පතින්දා
“හැම දෙයක් වෙනුවෙන්ම ස්තුති දෙන්න.”—1 තෙස. 5:18.
යාච්ඤාවෙන් දෙවියන්ට ස්තුති කරන්න අපිට දහසකුත් හේතු තියෙනවා. ඇත්තෙන්ම කිව්වොත් අපේ ජීවිතේ තියෙන හැම හොඳ දෙයක්ම, හැම තෑග්ගක්ම ලැබුණේ ඔහුගෙන්. (යාකො. 1:17) මේ පෘථිවිය, අපේ ජීවිතය, අපේ පවුලේ අය, යාළුවෝ, අපේ බලාපොරොත්තුව අපිට ලැබුණේ කවුරු නිසාද? ඒ හැම දේටම වඩා දෙවියන් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න ඔහු අපිට අවස්ථාව දීලා තියෙනවා. එහෙම බලද්දී ඔහුට ස්තුති කරන්න කොච්චර නම් හේතු තියෙනවාද! ඒත් අපි ජීවත් වෙන්නේ කිසිම දෙයක් ගැන ස්තුතිවන්ත වෙන්නේ නැති, කිසි කෙළෙහි ගුණයක් නැති සමාජයක. මිනිස්සු තව තව දේවල් ගන්න හදනවා මිසක් තමන්ට තියෙන දේවල් ගැන කිසි අගයක් නැහැ. අපි පරෙස්සම් වුණේ නැත්නම් එයාලාගේ ආකල්ප අපිටත් බෝ වෙන්න පුළුවන්. එහෙම වුණොත් නම් අපේ යාච්ඤා ඉල්ලීම්වලින් විතරක් පිරුණු දිග ලැයිස්තුවක් වෙයි. ඒ නිසා යෙහෝවා අපි වෙනුවෙන් දැනටමත් කරලා තියෙන දේවල් ගැන හිතන්න. ඒවා අගය කරන්න. ඒ වගේම ඒ අගය වචනවලට පෙරළලා යාච්ඤාවෙන් යෙහෝවාට කියන්න.—ලූක් 6:45. w23.05 4 8-9¶
නොවැම්බර් 7, සිකුරාදා
“සැක කරන්නේ නැතුව විශ්වාසයෙන් දිගටම ඉල්ලන්න.”—යාකො. 1:6.
අපේ ආදරණීය තාත්තා විදිහට යෙහෝවා කැමති නැහැ අපි වේදනාවෙන් ඉන්නවා දකින්න. (යෙසා. 63:9) ඒ වුණත් ජල ධාරා, ගිනි ජාලා වගේ එන හැම ප්‍රශ්නයක්ම ඔහු වළක්වන්නේ නැහැ. (යෙසා. 43:2) ඒ වෙනුවට ඔහු අපිට පොරොන්දු වෙන්නේ ඒවා ‘මැදින් යන්න’ අපිට උදව් කරනවා කියලා. ඔහු අපිට ඔහුගේ අතිමහත් බලය දෙනවා. (ලූක් 11:13; ෆිලි. 4:13) ඒ නිසා මොන දේ වුණත් දිගටම විශ්වාසවන්තව විඳදරාගන්න ඕන කරන හැම දේම යෙහෝවා අපිට දෙනවා කියලා කිසිම සැකයක් නැහැ. යෙහෝවා බලාපොරොත්තු වෙනවා අපි ඔහුව විශ්වාස කරයි කියලා. (හෙබ්‍රෙ. 11:6) සමහර ප්‍රශ්න තරණය කරන්න බැරි කඳු වගේ කියලා අපිට හිතෙයි. දෙවියන් ඇත්තටම අපිට උදව් කරයිද කියලා අපිට සැකයක් ඇති වෙන්නත් පුළුවන්. හැබැයි බයිබලේ අපිට සහතික කරනවා දෙවියන්ගේ බලයේ උදව්වෙන් අපිට “මහා පවුරකට” වුණත් නඟින්න පුළුවන් කියලා. (ගීතා. 18:29) ඒ නිසා යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාගේ යාච්ඤාවලට උත්තර දෙනවා කියන විශ්වාසයෙන් හිතේ තියෙන හැම දේම ඔහුට කියන්න.—යාකො. 1:6, 7. w23.11 22 8-9¶
නොවැම්බර් 8, සෙනසුරාදා
“ඒ ආදරය ඇවිළෙන ගිනිදලු වගෙයි. ඒ ගිනිදැල්ල එන්නේ යාහ්ගෙන්. මහා ජල කඳකටවත් ආදරය කියන ඒ ගින්න නිවන්න බැහැ. ගංවතුරකටවත් ඒක යටපත් කරලා දාන්න බැහැ.”—සල. 8:6, 7.
සැබෑ ආදරේ නිර්වචනය කරලා තියෙන විදිහ කොච්චර ලස්සනද! ඔයාත් විවාහක කෙනෙක් නම් ඔයාලා දෙන්නා අතරේ නොමියෙන ආදරයක් ඇති කරගන්න පුළුවන් කියලා ඒ වචනවලින් ඔයාටත් සහතිකයක් ලැබෙනවා. විවාහ වුණ දෙන්නෙක්ගේ එකම පැතුම ජීවත් වෙන තාක් කල් ආදරෙන් බැඳිලා ඉන්න එක. හැබැයි ඒක එහෙම වෙනවාද නැද්ද කියන තීරණය තියෙන්නේ එයාලාගේ අතේමයි. ඒක තේරුම්ගන්න ගිනිමැලයක් ගැන හිතන්න. ගිනිමැලයක් දිගටම ඇවිළිලා තියෙන්න නම් ඒකට දිගටම දර දාන්න ඕනේ. දෙන්නෙක් අතර තියෙන ආදරෙත් ඒ වගේ. ඒක අවුළලා තියාගන්න දෙන්නාම මහන්සි වෙන්න ඕනේ. හැබැයි ආර්ථික ප්‍රශ්න නිසා, අසනීප නිසා, දරුවන් ඇතිදැඩි කරද්දී දැනෙන පීඩනය නිසා යුවළකට හිතෙන්න පුළුවන් ආදරේ ටිකෙන් ටික නිවිලා යනවා කියලා. ඒත් ‘දෙවියන් දෙන ආදරය කියන ගින්න’ දිගටම අවුළලා තියාගන්න නම් සැමියායි, බිරිඳයි දෙන්නාම යෙහෝවාත් එක්ක ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න ඕනේ. w23.05 20-21 1-3¶
නොවැම්බර් 9, ඉරිදා
“බය වෙන්න එපා.”—දානි. 10:19.
සමහරවිට ඔයාගේ අම්මලා නිතරම කියනවා ඇති “බය නැතුව ධෛර්යයෙන් වැඩ කරන්න පුතේ” කියලා. ඒත් ධෛර්යය දෙමාපියන්ගෙන් දරුවන්ට නිකම්ම උරුම වෙන දායාදයක් නෙවෙයි. ඒක අපිම වර්ධනය කරගන්න ඕන දෙයක්. හරියට අලුත් හැකියාවක් වර්ධනය කරගන්නවා වගේ. හැකියාවක් වර්ධනය කරගන්න හොඳම විදිහක් තමයි ඒක කියලා දෙන ගුරුවරයා දිහා හොඳට බලන් ඉඳලා ඒ විදිහටම කරන එක. ඒ වගේ අපිටත් පුළුවන් ධෛර්යවන්තව වැඩ කරපු අය දිහා බලලා එයාලාගේ ආදර්ශය අනුගමනය කරන්න. උදාහරණෙකට දානියෙල් ගැන හිතන්න. අපිට පුළුවන් එයා වගේ ශුද්ධ ලියවිලි හොඳට තේරුම්ගන්න. අපිට හැඟෙන විදිහ යෙහෝවාට කියලා ඔහුත් එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. ඒ වගේම යෙහෝවා හැම වෙලාවකම අපේ උදව්වට ඉන්නවා කියලා විශ්වාසයක් ඇති කරගන්න. එහෙම කරද්දී අපේ විශ්වාසයට බලපාන මොන ප්‍රශ්න ආවත් ධෛර්යවන්තව වැඩ කරන්න අපිටත් පුළුවන්. ධෛර්යවන්ත කෙනෙක් ගැන සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ගේ හිතේ ලොකු ගෞරවයක් ඇති වෙනවා. එයාලා නිසා අවංක හදවත් තියෙන අය යෙහෝවාට ළං වෙන්නත් පෙලඹෙනවා. w23.08 2 2¶; 4 8-9¶
නොවැම්බර් 10, සඳුදා
“හැම දෙයක්ම හොඳට හොයලා බලන්න.”—1 තෙස. 5:21.
“හොඳට හොයලා බලන්න” කියලා පරිවර්තනය කරලා තියෙන ග්‍රීක යෙදුම රත්තරන්, රිදී වගේ වටිනා ලෝහ පරීක්ෂා කරලා බලනවා කියන අදහස දෙන්නත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේ අපිත් හැම දේම ඔහේ විශ්වාස කරනවා වෙනුවට ඒවා බයිබලෙන් සහ සංවිධානයෙන් දෙන තොරතුරුවලට එකඟද කියලා හොඳට පරීක්ෂා කරන්න ඕනේ. එතකොට භූතයන් පතුරුවන බොරු පණිවිඩවලින්, මිනිස්සුන්ගේ රැවටිලිකාර කතාවලින් අපි නොමඟ යන්නේ නැහැ. (හිතෝ. 14:15; 1 තිමෝ. 4:1) හිතන්න, පාවුල් දීපු ඒ උපදෙස මහත් පීඩාව අද්දර ඉන්න අපිට කොච්චර වැදගත්ද කියලා. අපි දන්නවා සෙනඟක් විදිහට අපි අනිවාර්යයෙන්ම මහත් පීඩාවෙන් බේරෙනවා. හැබැයි අපි එක් එක් කෙනාට වෙන දේ ගැන අපි හරියටම දන්නේ නැහැ. (යාකො. 4:14) මහත් පීඩාව එද්දී අපි ජීවතුන් අතර හිටියත් ඊට කලින් මැරුණත් අපි දෙවියන්ට විශ්වාසවන්තව හිටියොත් අපිට සදාකාල ජීවිතය කියන තෑග්ග ලැබෙනවා. ඒ නිසා අපි දිගටම ඒ බලාපොරොත්තුව හිතේ දල්වාගෙන යෙහෝවාගේ දවස එන කල් ලෑස්ති පිට ඉමු! w23.06 13 15-16¶
නොවැම්බර් 11, අඟහරුවාදා
‘යෙහෝවා, ඔහුගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට ඔහුගේ අරමුණු හෙළි කරනවා.’—ආමො. 3:7.
සමහර අනාවැකි ඉටු වෙන්නේ කොහොමද කියලා අපි හරියටම දන්නේ නැහැ. (දානි. 12:8, 9) හැබැයි අනාවැකියක් ඉටු වෙන්නේ කොහොමද කියලා අපිට තේරුණේ නැහැ කියලා ඒ අනාවැකිය ඉටු නොවී තියෙයිද? නැහැ නේද? ඒත් අපිට හොඳටම විශ්වාසයි හරිම වෙලාවට අපිට අවශ්‍යම තොරතුරු යෙහෝවා දැනුම් දෙයි කියලා. මොකද ඔහු අතීතයේදීත් ඒ දේ කළා. ළඟදීම “සාමය සහ සුරක්ෂිතභාවය උදා වෙලා” කියලා ප්‍රකාශයක් අපිට අහන්න ලැබෙනවා. (1 තෙස. 5:3) ඊටපස්සේ ලෝක පාලකයන් බොරු ආගම්වලට පහර දීලා ඒවා සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. (එළි. 17:16, 17) ඊළඟට එයාලා පහර දෙන්නේ දෙවියන්ගේ සෙනඟට. (එස. 38:18, 19) ඒත් එක්කම හර්–මගෙදොන් යුද්ධය පටන්ගන්නවා. (එළි. 16:14, 16) මේ හැම දෙයක්ම වෙන්න තව වැඩි දවසක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා දැන් ඉඳන්ම බයිබල් අනාවැකිවලට දිගටම අවධානය දෙමු. ඒවා තේරුම්ගන්න අනිත් අයටත් උදව් කරමු. එහෙම කරන එකෙන් අපි පෙන්නන්නේ ඉස්සරහට වෙන දේවල් අපිට කල්තියාම දැනුම් දුන්න අපේ ආදරණීය දෙවියන් ගැන අපේ හිතේ තියෙන අගයයි. w23.08 13 19-20¶
නොවැම්බර් 12, බදාදා
“අපි දිගටම එකිනෙකාට ආදරේ කරමු. මොකද ආදරය කියන්නේ දෙවියන්ගෙන් එන දෙයක්.”—1 යොහ. 4:7.
විශ්වාසය, බලාපොරොත්තුව, ආදරය ගැන කතා කරද්දී පාවුල් කිව්වේ “ඒවායින් උතුම්ම එක වන්නේ ප්‍රේමයයි” කියලා. (1 කොරි. 13:13) පාරාදීස පොරොන්දුව ඉටු වෙන කල් දැන් අපි බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ඇතුව බලන් ඉන්නවා. හැබැයි පාරාදීසයේදී ඒ පොරොන්දු ගැන විශ්වාසයක්, බලාපොරොත්තුවක් තියාගන්න ඕනෙ නැහැ. මොකද ඒ වෙද්දී ඒ පොරොන්දු ඉටු වෙලා ඉවරයි. හැබැයි යෙහෝවා ගැන, ඔහුගේ සෙනඟ ගැන අපේ හිතේ තියෙන ආදරේ පාරාදීසයේදීත් අපි හැමදාටම ශක්තිමත්ව තියාගන්න ඕනේ. ඒකයි යේසුස් කිව්වේ “ඔබ අතරේ ප්‍රේමය ඇත්නම් ඔබ මගේ ගෝලයන් බව සියලුදෙනාම දැනගනියි” කියලා. (යොහ. 13:35) ඊට අමතරව පාවුල් කිව්වා ආදරේ කියන්නේ “එක්සත්කමට දායක වන හොඳම බැඳීම” කියලා. (කොලො. 3:14) ඒ වගේම යොහන් මෙහෙම කිව්වා. “දෙවිට ප්‍රේම කරන තැනැත්තා තමාගේ සහෝදරයාටද ප්‍රේම කළ යුතුයි.” (1 යොහ. 4:21) ඒකෙන් පැහැදිලියි අපි අනිත් අයට ආදරේ කරද්දී අපේ හිතේ යෙහෝවා ගැන තියෙන ආදරේ පේනවා කියලා. w23.11 8 1¶, 3¶
නොවැම්බර් 13, බ්‍රහස්පතින්දා
‘අපිට බරක් වෙන හැම දෙයක්ම අහක දාමු.’—හෙබ්‍රෙ. 12:1.
ක්‍රිස්තියානීන්ගේ ජීවිතය බයිබලේ රේස් එකකට සමාන කරනවා. මේ රේස් එකෙන් දිනන අයට සදාකාල ජීවනය ලැබෙනවා. (2 තිමෝ. 4:7, 8) අපි දැන් ඉන්නේ දිනුම් කණුව පේන තෙක් මානේ. අපිට මේ රේස් එක සාර්ථකව ඉවර කරන්න පාවුල්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මේක දිනන්න කරන්න ඕන දෙයක් ගැන එයා මෙහෙම කිව්වා. ‘අපට බරක් විය හැකි සෑම දෙයක්ම අහක දමමු. එලෙසම අප සහභාගි විය යුතු ධාවන තරඟය විඳදරාගැනීමෙන් යුතුව දුවමු.’ පාවුල් කිව්වේ කිසිම බරක් නැතුව මේක සැහැල්ලුවෙන් දුවන්න පුළුවන් කියන එක නෙවෙයි. එයා කිව්වේ අනවශ්‍ය බර අයින් කරන්න කියලා. එහෙම කළේ නැත්නම් හොඳටම හෙම්බත් වෙලා අපිට මේ රේස් එක දුවාගන්න බැරි වෙයි. ඒ නිසා අනවශ්‍ය බර මොකක්ද කියලා තේරුම් අරන් අපි ඉක්මනටම ඒක වීසි කරලා දාන්න ඕනේ. හැබැයි උහුලගෙන යන්න ඕන බර වීසි කරන්නත් අපිට බැහැ. මොකද එහෙම කළොත් නීතිරීතිවලින් පිට පැන්න නිසා අපිට තරඟයෙන් අයින් වෙන්න වෙයි.—2 තිමෝ. 2:5. w23.08 26 1-2¶
නොවැම්බර් 14, සිකුරාදා
“ඔයාලා ලස්සන වෙන්න ඕනෙ පිටින් පේන දේවල්වලින් නෙමෙයි.”—1 පේතෘ. 3:3.
අපි සාධාරණයි නම් අනිත් අයගේ අදහස්වලටත් ගරු කරනවා. උදාහරණෙකට සමහර සහෝදරියන් ආසයි මේකප් දාන්න. තවත් අය ආස නැහැ. සමහරු ඉඳලා හිටලා මත්පැන් ටිකක් බොනවා. තවත් අය මත්පැන් කටේ තියන්නේ නැහැ. අපි ඕනම කෙනෙක් ආසයි නිරෝගීව ඉන්න. ඒත් ඒ වෙනුවෙන් අපි තෝරගන්න ප්‍රතිකාර එකකට එකක් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ‘මං කරන දේ තමයි හරි’ කියලා ඒක කරන්න අපි අනිත් අයටත් බල කරනවා නම් ඒකෙන් කෙනෙක් වැටිලා යන්න වුණත් පුළුවන්. (1 කොරි. 8:9; 10:23, 24) යෙහෝවා ඇඳුම් පැලඳුම්, විලාසිතා ගැන තද නීති මාලාවක් දෙනවා වෙනුවට හරි දේ තෝරගන්න උදව් වෙන ප්‍රතිපත්ති දීලා තියෙනවා. ඒ නිසා අපි මොන දේ තෝරගත්තත් ඒකෙන් දෙවියන්ට ගෞරවයක් ලැබෙන්න ඕනේ. අපි සාධාරණ, නිහතමානී වගේම “හොඳ සිහිකල්පනාවකින් වැඩ කරන” අය කියලා පේන්නත් ඕනේ. (1 තිමෝ. 2:9, 10) කෙනෙක් තෝරගන්න ඇඳුම් පැලඳුම් සහ කොණ්ඩ මෝස්තර ගැන අනවශ්‍ය විදිහට නීති දාන්නේ නැතුව ඉන්න වැඩිමහල්ලන්ටත් බයිබල් ප්‍රතිපත්ති උදව් වෙනවා. w23.07 23-24 13-14¶
නොවැම්බර් 15, සෙනසුරාදා
“මට හොඳින් ඇහුම්කන් දීලා හොඳම දේ කන්න. එහෙම කළොත් ඔබට පුළුවන් රසවත්ම කෑම කාලා ලොකු තෘප්තියක් ලබන්න.”—යෙසා. 55:2.
අපි ගන්න තීරණවලට අනුව අපි ඉස්සරහා තියෙන්නේ මොන වගේ අනාගතයක්ද කියලා යෙහෝවා දෙවියන් පෙන්නලා දෙනවා. කටකාර “මෝඩ ස්ත්‍රියට” ඇහුම්කන් දෙන අයගේ ඔළුවල දුවන්නේ හොර රහසේ වැරදි දේවල් කරලා “මිහිරක්” ලබන එක ගැන. අන්තිමේදී එයාලාගේ ජීවිත කෙළවර වෙන්නේ “මිනී වළේ ගැඹුරුම ස්ථානවලින්.” (හිතෝ. 9:13, 17, 18) හැබැයි “සැබෑ ප්‍රඥාව” කියන ස්ත්‍රියගේ ආරාධනය පිළිගන්න අයගේ ජීවිත ඊට වඩා වෙනස්. (හිතෝ. 9:1) අපි “සැබෑ ප්‍රඥාවේ” හඬට සවන් දෙන නිසා යෙහෝවා ආදරේ කරන දේවල්වලට ආදරේ කරන්නත් ඔහු පිළිකුල් කරන දේවල් පිළිකුල් කරන්නත් අපි ඉගෙනගන්නවා. (ගීතා. 97:10) “සැබෑ ප්‍රඥාව” ලබාගන්න අනිත් අයට ආරාධනා කරන එකෙනුත් අපි ලොකු සතුටක් ලබනවා. ඒක හරියට ‘නුවරෙහි උස් තැන්වල ඉඳන් “අද්දැකීම් අඩු සියල්ලෙනි, මා වෙතට එන්න”’ කියලා ආරාධනා කරනවා වගේ. ඒ ආරාධනය පිළිගන්න අය සැබෑ ප්‍රඥාවට ඇහුම්කන් දීලා “තේරුම්ගැනීම නමැති මාවතේ දිගටම ගමන් කරනවා” නම් එයාලට සදාකාල ජීවනය අත් කරගන්න පුළුවන්.—හිතෝ. 9:3, 4, 6. w23.06 24 17-18¶
නොවැම්බර් 16, ඉරිදා
“ඉක්මනින් කේන්ති ගන්නේ නැති කෙනා බලවන්තයෙක්ට වඩා ශක්තිමත්. කේන්තිය පාලනය කරගන්න කෙනා නුවරක් අල්ලගන්න කෙනෙක්ට වඩා බලවත්.”—හිතෝ. 16:32.
ඉස්කෝලේ යාළුවෙක් නැත්නම් එකට වැඩ කරන කෙනෙක් ඔයාගේ විශ්වාසයන් ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවට හිතට පුංචි බයක්, චකිතයක් දැනෙන එක සාමාන්‍යයයි. හැබැයි එයාලා අහන ප්‍රශ්නවලින්ම එයාලා හිතන විදිහ ගැනත් එයාලාගේ විශ්වාසයන් ගැනත් අපිට දැනගන්න පුළුවන්. එතකොට එයාලට සාක්ෂි දරන්නත් අපිට ලේසියි. හැබැයි සමහරු ප්‍රශ්න අහන්නේ දේවල් දැනගන්නම නෙවෙයි, අපිත් එක්ක පැටලෙන්න බලාගෙන. ඒ ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. සමහරවිට එයාලා අපි ගැන වැරදි තොරතුරු අහලා ඇති. (ක්‍රියා 28:22) අපි ජීවත් වෙන්නේ ‘කිසිම දෙයක් ගැන එකඟ වෙන්නේ නැති, දරුණු අය ඉන්න අවසාන කාලේ’ කියලත් අපි අමතක කරන්න හොඳ නැහැ. (2 තිමෝ. 3:1, 3) සමහරවිට ඔයාට හිතෙනවා ඇති ‘කෙනෙක් අපේ විශ්වාසයන් හෑල්ලු කරද්දී මං කොහොමද කේන්ති ගන්නේ නැතුව කාරුණිකව උත්තර දෙන්නේ’ කියලා. ඇත්තටම ඒකට උදව් වෙන්නේ මොකක්ද? එක වචනයකින් කියනවා නම් ඒ මෘදුකම. හිතපු නැති විදිහේ දේවල්වලට මුහුණ දෙද්දී, අනිත් අය කේන්ති ගස්සද්දී මෘදු කෙනෙක් ඉක්මනටම හිත නරක් කරගන්නේ නැහැ. w23.09 14 1-2¶
නොවැම්බර් 17, සඳුදා
“ඔබ ඔවුන්ව පොළොව පුරාම අධිපතීන් විදිහට පත් කරයි.”—ගීතා. 45:16.
කාලෙන් කාලෙට යෙහෝවා අපිට ගොඩක් මඟ පෙන්වීම් දෙනවා. උදාහරණෙකට සල්ලි පස්සේ යන එක ගැන, ප්‍රතිපත්ති කැඩෙන්න පුළුවන් විදි ගැන ඔහු අපිට අනතුරු අඟවනවා. ඒ මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙනුත් ප්‍රයෝජන ලබන්නේ අපිමයි. (යෙසා. 48:17, 18; 1 තිමෝ. 6:9, 10) මහත් පීඩාවේදී විතරක් නෙවෙයි දහස් අවුරුදු පාලනය පුරාවටමත් අපිට මඟ පෙන්නන්න යෙහෝවා විශ්වාසවන්ත පුරුෂයන්ව පාවිච්චි කරයි. එයාලා දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න අපිට පුළුවන් වෙයිද? ඒක හුඟක් වෙලාවට තීරණය වෙන්නේ ඔයා දැන් එහෙම කරනවාද නැද්ද කියන එක මතයි. පාරාදීසය එන කල් අපිව ආරක්ෂා කරලා අපිට දිගටම විශ්වාසවන්තව ඉන්න උදව් කරන්න දෙවියන් පාවිච්චි කරන්නේ ඒ විශ්වාසවන්ත පුරුෂයන්වයි. ඒ නිසා එයාලට ඇහුම්කන් දෙමු. (යෙසා. 32:1, 2; හෙබ්‍රෙ. 13:17) එයාලා දෙන මඟ පෙන්වීම්වලට දිගටම කීකරු වෙමු. එහෙම කරද්දී අපි පෙන්නන්නේ අපිට මඟ පෙන්නන යෙහෝවා දෙවියන්ව අපි සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා කියලයි. w24.02 25 17-18¶
නොවැම්බර් 18, අඟහරුවාදා
“ඔයාලට ගැලවීම ලැබුණේ දෙවියන්ගේ මහත් කරුණාව නිසයි.”—එෆී. 2:5.
පාවුල් කියන්නේ දෙවියන් වෙනුවෙන් හොඳ සේවයක් කරපු කෙනෙක්. හැබැයි එහෙමයි කියලා එයාට ප්‍රශ්නවලිනුත් බේරිල්ලක් තිබුණේ නැහැ. එයා සේවේ කරන්න දුර ඈත පැතිවලට ගියා. ඒ කාලේ ඒක ලේසි පහසු වැඩක් නෙවෙයි. සමහර දවස්වල ‘ගංගා හරහා යනකොට එයා උවදුරුවලට ලක් වුණා. මංකොල්ලකාරයන්ගෙනුත් පීඩා වින්දා.’ පාවුල් විරුද්ධවාදීන්ගෙන් ගුටි කාපු වාර ගාණත් අනන්තයි. (2 කොරි. 11:23-27) ඒ වගේම සමහර වෙලාවට එයා සහෝදරයන් වෙනුවෙන් හොඳ හිතින් දේවල් කළත් එයාලත් ඒවා අගය කළේ නැහැ. (2 කොරි. 10:10; ෆිලි. 4:15) මේ හැම දේම මැද්දේ දිගටම සේවේ කරන්න පාවුල්ට උදව් වුණේ මොනවාද? එයා ශුද්ධ ලියවිල්ලෙන් වගේම එයාගෙම අද්දැකීම්වලින් තේරුම්ගත්තා යෙහෝවා මොන වගේ කෙනෙක්ද කියලා. ඒ නිසා දෙවියන් එයාට ගොඩක් ආදරෙයි කියලා පාවුල්ට තේරුණා. (රෝම 8:38, 39; එෆී. 2:4, 5) ඒ වගේම පාවුල්ගේ හිතෙත් දෙවියන් ගැන ලොකු ආදරයක් තිබ්බා. ඒ නිසයි ‘ශුද්ධ තැනැත්තන් වෙනුවෙන් දිගටම සේවය කරලා’ ඒ ආදරේ එයා ඔප්පු කරලා පෙන්නුවේ.—හෙබ්‍රෙ. 6:10. w23.07 9 5-6¶
නොවැම්බර් 19, බදාදා
‘අපිට ඉහළින් ඉන්න බලධාරීන්ට කීකරු වෙන්න ඕනේ.’—රෝම 13:1.
හුඟක් අය කියනවා උසස් බලධාරීන් දාන නීතිවලින් සමහර ඒවාටවත් කීකරු වෙන්න ඕනෙ කියලා. හැබැයි එහෙම කියන අයම ඒවාට අකීකරු වෙනවා. ඒ එයාලා ඒ නීතිවලට අකමැති නිසා. නැත්නම් ඒවා අසාධාරණයි කියලා හිතන නිසා. මේ ලෝකේ ආණ්ඩු නිසා මිනිස්සු දුක් විඳිනවා කියලත් ඒවා තියෙන්නේ සාතන්ගේ පාලනයේ කියලත් දෙවියන් ළඟදීම ඒවා නැති කරනවා කියලත් බයිබලේ කියනවා. (ගීතා. 110:5, 6; දේශ. 8:9; ලූක් 4:5, 6) බයිබලේම කියනවා “බලධාරීන්ට විරුද්ධව ක්‍රියා කළොත් ඔහු විරුද්ධ වන්නේ දෙවි පිහිටුවා ඇති සැලැස්මටයි” කියලා. යෙහෝවා තාවකාලිකව මිනිස්සුන්ට යම් අධිකාරියක් දීලා තියෙන්නේ යම් දුරකට සාමය රකින්න සහ දේවල් පිළිවෙළකට වෙන්න. ඒ නිසයි “සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න” ඕනේ. ඒකට බදු ගෙවන එක, ගෞරවය පෙන්නන එක, කීකරු වෙන එක ඇතුළත්. (රෝම 13:1-7) ඉතින් කීකරු වෙන්න අමාරු වුණත් අසාධාරණයි කියලා හිතුණත් පාඩුවක් වුණත් යෙහෝවාගේ නීතියක් කැඩෙන්නේ නැති තාක් කල් අපි බලධාරීන්ට කීකරු වෙනවා. මොකද එහෙම කරන්න කියන්නේ දෙවියන්.—ක්‍රියා 5:29. w23.10 8 9-10¶
නොවැම්බර් 20, බ්‍රහස්පතින්දා
“යෙහෝවා දෙවියන්ගේ බලයෙන් සැම්සන් බලවත් වුණා.”—විනි. 15:14.
සැම්සන් ඉපදෙද්දී ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කළේ පිලිස්තිවරු. ඒ කෲර පාලනය නිසා ඊශ්‍රායෙල්වරු දහ දුක් වින්දා. (විනි. 13:1) ඒ නිසයි “පිලිස්තිවරු යටතේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න” යෙහෝවා දෙවියන් සැම්සන්ව තෝරගත්තේ. (විනි. 13:5) මේ අමාරු පැවරුම සාර්ථකව ඉටු කරන්න නම් සැම්සන්ට අනිවාර්යයෙන්ම යෙහෝවා මත රඳා ඉන්න වුණා. සැරයක් පිලිස්තිය හමුදාව ලේහීවලට ආවා. ඒක යූදා දේශයට අයිති නගරයක් කියලා හිතන්න පුළුවන්. ඒ නිසා එහේ හිටපු යුදෙව්වන් සෑහෙන්න බය වෙලා පිලිස්තිවරු ඉල්ලපු විදිහට සැම්සන්ව පිලිස්තිවරුන්ට භාර දෙන්න තීරණය කළා. ඉතින් එයාලා අලුත්ම කඹ දෙකකින් සැම්සන්ව ගැටගහලා පිලිස්තිවරුන්ට බාර දුන්නා. (විනි. 15:9-13) හැබැයි “යෙහෝවා දෙවිගේ බලය සැම්සන් තුළ ක්‍රියාත්මක වුණ” නිසා එයා හරිම ලේසියෙන් ඒ කඹ දෙක කැඩුවා. ඊටපස්සේ ළඟ තිබුණ “බූරුවෙක්ගේ හකු ඇටයකින්” පිලිස්තිවරු 1,000ක් මරලා දැම්මා.—විනි. 15:14-16. w23.09 2 3-4¶
නොවැම්බර් 21, සිකුරාදා
“දෙවියන් ඒ හැම දේම කළේ අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස්ට සම්බන්ධ වෙන, තමන්ගේ සදාකාලික අරමුණට එකඟවයි.”—එෆී. 3:11.
යෙහෝවා ඔහුගේ “සදාකාලික අරමුණ” ගැන ක්‍රමානුකූලව බයිබලේ හෙළි කරලා තියෙනවා. ඔහු ‘තමන්ගේ අරමුණ ඉටු කරගැනීම සඳහා හැම දෙයක්ම සැලසුම් කරලා තියෙනවා.’ (හිතෝ. 16:4) එක ක්‍රමයකින් බැරි වුණොත් වෙනත් විදිහකින් හරි ඔහුට පුළුවන් ඔහුගේ අරමුණ ඉටු කරන්න. ඒ වගේම දෙවියන්ගේ අරමුණ ඉටු වෙද්දී ඒකෙන් ලැබෙන ප්‍රතිඵලත් සදාකාලිකයි. ඒත් යෙහෝවාගේ අරමුණ මොකක්ද? ඒක ඉටු කරන්න ඔහු කාලෙන් කාලෙට කළේ මොන වගේ වෙනස්කම්ද? යෙහෝවා දෙවියන් ආදම් සහ ඒවට මෙහෙම කිව්වා. ‘දරුවන් බිහි කර ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න. පොළොව මත සිටින සියලු සතුන්ව ඔබ යටතේ තබාගන්න.’ (උත්. 1:28) හැබැයි එයාලා දෙවියන්ට විරුද්ධව කැරලිගැහුවාම හැමෝටම පාපය සහ මරණය උරුම වුණා. ඒත් දෙවියන්ගේ අරමුණ නම් කඩාකප්පල් වුණේ නැහැ. ඔහු ඒ වෙලාවෙම තීරණය කළා මිනිස්සු ගැන සහ පොළොව ගැන තමන්ට තිබුණ මුල් අරමුණ ඉටු කරන්න ස්වර්ගයේ දේවරාජ්‍යයක් පිහිටුවනවා කියලා.—මතෙ. 25:34. w23.10 20 6-7¶
නොවැම්බර් 22, සෙනසුරාදා
“යෙහෝවා මට උදව් කළේ නැත්නම් මේ වෙනකොටත් මගේ ජීවිතේ නැති වෙලා.”—ගීතා. 94:17.
සමහරවිට සෑහෙන කාලයක් තිස්සේ එකම දුර්වලකම එක්ක සටන් කරන්න වෙද්දී ඒක ලේසි නැහැ. එහෙම වෙද්දී අපිට හිතෙන්න පුළුවන් පේතෘස්ට තිබුණ දුර්වලකම්වලට වඩා මගේ දුර්වලකම් ජය ගන්න ගොඩක් අමාරුයි කියලා. ඒත් සටන අත්හරින්නේ නැතුව ඉන්න යෙහෝවා අපිට ශක්තිය දෙනවා. (ගීතා. 94:18, 19) එක සහෝදරයෙක්ගේ අද්දැකීම බලන්න. එයා සත්‍යයට එන්න කලින් අවුරුදු ගාණක්ම සමලිංගික ජීවිතයක් ගත කරපු කෙනෙක්. සත්‍යය දැනගත්තාට පස්සේ එයා ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්තා. ඒත් ඊටපස්සෙත් කාලෙන් කාලෙට එයාට වැරදි සිතුවිලි එක්ක සටන් කරන්න වුණා. ඒ සටන දිගටම කරන්න එයාට උදව් වුණේ මොකක්ද? එයා මෙහෙම කියනවා. “යෙහෝවා තමයි උදව් කරන්නේ. ඔහුගේ බලයේ උදව්වෙන් සත්‍ය මාර්ගයේ දිගටම ඉස්සරහට අඩිය තියන්න පුළුවන් කියලා මං අද්දැකීමෙන්ම තේරුම් අරන් ඉන්නවා. මං වටින්නේ නෑ කියලා මට හිතුණත් ඔහු මාව ඔහුගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරනවා, මට දිගටම ශක්තිය දෙනවා.” w23.09 23 12¶
නොවැම්බර් 23, ඉරිදා
“යෙහෝවා ගැන තියෙන ගරුබිය නිසාත් නිහතමානිකම නිසාත් වස්තුවත් ගෞරවයත් ජීවනයත් ලැබෙයි.”—හිතෝ. 22:4.
යෞවනයෙනි, ඔයාලා ඉබේම අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානීන් වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් ඔයාලත් දෙයක් කරන්න ඕනේ. ඒකට ඔයාලා ආදර්ශවත් අයව ආදර්ශයට ගන්න ඕනේ. සිතීමේ හැකියාව වර්ධනය කරගන්න ඕනේ. වගකීමෙන් වැඩ කරන්න ඕනේ. වෘත්තිය පුහුණුවක් ලබන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි ඉස්සරහට එන වගකීම් ඉටු කරන්න දැන් තියාම ලෑස්ති වෙන්නත් ඕනේ. කරන්න තියෙන වැඩ කන්දරාව දිහා බලද්දී සමහරවිට ඔයාගේ හිතට ලොකු බරක් දැනෙන්න පුළුවන්. හැබැයි බය වෙන්න එපා, ඔයාට පුළුවන් සාර්ථක වෙන්න. මොකද ඔයාගේ උදව්වට යෙහෝවා ඔයා ගාව ඉන්නවා. (යෙසා. 41:10, 13) ඒ වගේම සහෝදර සහෝදරියනුත් ඔයාත් එක්ක ඉන්නවා. ඉතින් ඒ හැමෝගෙම උදව් එක්ක ඔයා අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙද්දී ඔයාගේ ජීවිතේ සතුටින් පිරුණු, සාර්ථක එකක් වෙනවා කියලා කිසිම සැකයක් නැහැ. යෞවන සහෝදරයෙනි, අපි ඔයාලට ගොඩක් ආදරෙයි. අවබෝධයෙන් වැඩ කරන කෙනෙක් වෙන්න ඔයාලා ගන්න හැම මහන්සියකටම යෙහෝවාගේ ආශීර්වාදය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා! w23.12 29 19-20¶
නොවැම්බර් 24, සඳුදා
“වරද අමතක කරලා දාන්න.”—හිතෝ. 19:11.
හිතන්න, ඔයා සහෝදර සහෝදරියන් කීපදෙනෙක් එක්ක ෆොටෝ එකක් ගන්නවා කියලා. බැරි වෙලාවත් පළවෙනි ෆොටෝ එක හරියට ආවේ නැත්නම් කියලා හිතලා ඔයා තව ෆොටෝ දෙකක්ම ගන්නවා. හැබැයි ඔයා දකිනවා එක ෆොටෝ එකක සහෝදරයෙක් ටිකක් බුම්මගෙන වගේ ඉන්නේ කියලා. ඉතින් ඔයා ඒක ඩිලීට් කරනවා. මොකද ඒ සහෝදරයායි, අනිත් හැමෝමයි හොඳට හිනා වෙලා ඉන්න ෆොටෝ දෙකක්ම ඔයා ගාව තියෙනවා. අපේ හිතේ රඳවාගන්න මතකයනුත් හරියට අපේ ෆෝන් එකේ තියාගන්න ෆොටෝ වගේ. සාමාන්‍යයෙන් අපේ සහෝදර සහෝදරියන් එක්ක කාලේ ගත කරද්දී අපිට තියෙන්නේ මිහිරි මතකයන්. හැබැයි හිතන්න, සහෝදරයෙක් නැත්නම් සහෝදරියක් අපේ හිත රිද්දුවොත් ඒ අමිහිරි මතකයට අපි මොකද කරන්නේ? හොඳ නැති ෆොටෝ එකක් ඩිලීට් කරනවා වගේ ඒ මතකයත් අපේ හිතෙන් ඩිලීට් කරන්න පුළුවන්ද? (එෆී. 4:32) ඔව්, පුළුවන්. මොකද අමිහිරි මතකයන්වලට වඩා අපිට එයාත් එක්ක තියෙන මිහිරි මතකයන් වැඩි නිසා ඒවා තමයි අපේ හිතේ දිගටම රඳවාගන්න ඕනේ. w23.11 12-13 16-17¶
නොවැම්බර් 25, අඟහරුවාදා
‘ස්ත්‍රීන් අවධානය දෙන්න ඕනෙ, දෙවියන් ගැන භක්තියක් තියෙන ස්ත්‍රීන්ට සුදුසු විදිහට ඇඳ පැලඳගෙන ඉන්න එකටයි.’—1 තිමෝ. 2:9, 10.
පාවුල් එතන පාවිච්චි කරපු ග්‍රීක වචනවලින් අදහස් වෙන්නේ සහෝදරියක් ගෞරවනීය විදිහට අඳින්න පලඳින්න ඕනෙ කියන එක. ඒ වගේම එයා අනිත් අයගේ හැඟීම් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනෙ කියන එක. ඒ විදිහට අඳින පලඳින අපේ සහෝදරියන් ගැන අපිට තියෙන්නේ ලොකු අගයක්! අවබෝධයෙන් වැඩ කරන සහෝදරියන් ගාව තියෙන්න ඕනෙ තවත් ගුණාංගයක් තමයි වටහාගැනීමේ හැකියාව. ඒ වගේ කෙනෙක්ට හරි වැරැද්ද තේරුම් අරන් ඥානවන්ත තීරණ ගන්න හැකියාව තියෙනවා. අබිගායිල් ඒ වගේ කෙනෙක්. එයාගේ මහත්තයා ගත්ත මෝඩ තීරණයක් නිසා තව පොඩ්ඩෙන් ගෙදර හැමෝගෙම ජීවිත අනතුරේ වැටෙනවා. ඒක දැනගත්ත ගමන් අබිගායිල් හොඳට හිතලා බලලා ඉක්මනටම ගත්ත ඥානවන්ත තීරණය නිසා හැමෝගෙම ජීවිත බේරුණා. (1 සාමු. 25:14-23, 32-35) වටහාගැනීමේ හැකියාව අපිට උදව් වෙනවා අපි කතා කරන්න ඕනෙ කොයි වෙලාවෙද, නිහඬව ඉන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා තේරුම්ගන්න. ඒ වගේම අනිත් අයව අපහසුතාවයට පත් කරන්නේ නැතුව එයාලට පෞද්ගලික සැලකිල්ල පෙන්නන්නත් ඒක අපිට උදව් වෙනවා.—1 තෙස. 4:11. w23.12 20 8-9¶
නොවැම්බර් 26, බදාදා
“දෙවියන් අපිව තේජසට පත් කරනවා කියන බලාපොරොත්තුව අපිට තියෙන නිසා අපිට පුළුවන් සතුටින් ඉන්න.”—රෝම 5:2.
පාවුල් ඒ දේ කිව්වේ රෝමයේ අයට. එයාලා යෙහෝවා ගැනයි, යේසුස් ගැනයි ඉගෙනගෙන එයාලා ගැන විශ්වාසය තියලා ක්‍රිස්තියානීන් වුණා. ඒ නිසා ‘එයාලට තිබ්බ විශ්වාසය පදනම් කරගෙන දෙවියන් එයාලව ධර්මිෂ්ඨයන් විදිහට පිළිගත්තා.’ (රෝම 5:1) ඒ වගේම එයාලව ඔහුගේ බලයෙන් අභිෂේක කළා. ඒ විදිහට දෙවියන්ගෙන් එයාලට ස්ථිර, වටින බලාපොරොත්තුවක් ලැබුණා. පාවුල් එෆීසයේ හිටපු අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ට කිව්වා “සියලුම ශුද්ධ තැනැත්තන්ට උරුමයක්” ලැබෙනවා කියලා. (එෆී. 1:18) ඒ වගේම කොලොස්සිවරුන්ට ලියද්දී පාවුල් සඳහන් කළා එයාලාගේ බලාපොරොත්තුව ඉටු වෙන්නේ කොහේද කියලා. එයා කිව්වා “ඔබ එලෙස කටයුතු කරන්නේ ස්වර්ගයෙහි ඔබ සඳහා වෙන් කර ඇති දේ ගැන ඔබට තිබෙන බලාපොරොත්තුව නිසාය” කියලා. (කොලො. 1:4, 5) ඒ හැම දේකින්ම පේනවා අභිෂේක ලත් අයට තියෙන බලාපොරොත්තුව තමයි නැවත නැඟිට්ටාට පස්සේ යේසුස් එක්ක ස්වර්ගයේ ඉඳන් පාලනය කරන එක කියලා.—1 තෙස. 4:13-17; එළි. 20:6. w23.12 9 4-5¶
නොවැම්බර් 27, බ්‍රහස්පතින්දා
“දෙවියන් ඔයාලට සමාදානය දෙයි. ඒ සමාදානය ඔයාලාගේ හදවතයි, සිතුවිලියි ආරක්ෂා කරයි.”—ෆිලි. 4:7.
“ආරක්ෂා කරනවා” කියද්දී මුල් භාෂාවෙන් පාවිච්චි කරලා තියෙන්නේ නුවරක් මුර කරන්න පත් කරලා ඉන්න හමුදා කණ්ඩායමක් විස්තර කරන වචනයක්. ඒ වගේ ආරක්ෂාවක් තියෙන නුවරක ඉන්න කෙනෙක්ට සැනසීමක් දැනෙනවා. මොකද එයා දන්නවා සෙබළු කොයි වෙලෙත් ඇහැ ගහගෙන ඉන්නේ කියලා. දෙවියන්ගේ සමාදානය ලැබෙද්දීත් අපේ හදවතට, මනසට පුදුම සන්සුන්කමක් දැනෙනවා. මොකද අපි දන්නවා අපිවත් මුර කරන්න යෙහෝවා ඉන්නවා කියලා. (ගීතා. 4:8) හන්නාගේ ප්‍රශ්නේ වගේ අපේ ප්‍රශ්නත් ඉක්මනින් විසඳෙන එකක් නැහැ. ඒත් ප්‍රශ්න මැදත් අපිට සෑහෙන්න සමාදානයක් අද්දකින්න පුළුවන්. (1 සාමු. 1:16-18) ඒ සමාදානයෙන් ලොකු සහනයක් ලැබෙන නිසා නිරවුල්ව හිතන්න, හොඳ තීරණ ගන්න අපිට පුළුවන්. ඉතින් ප්‍රශ්නයක් නිසා ඔයාටත් බයක් දැනෙනවා නම් ඔයාගේ “මුරකරුට” අඬගහන්න. දෙවියන්ගේ සමාදානය දැනෙන කල්ම යාච්ඤා කරන්න. (ලූක් 11:9; 1 තෙස. 5:17) එතකොට ඔයාගේ හදවතයි, මනසයි යෙහෝවා සමාදානයෙන් පුරවයි.—රෝම 12:12. w24.01 21 5-6¶
නොවැම්බර් 28, සිකුරාදා
“ස්වර්ගයේ ඉන්න අපේ පියාණෙනි, ඔබේ නම හැමදාටම ශුද්ධව පවතීවා!”—මතෙ. 6:9.
දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන්න යේසුස් හැම වේදනාවක්ම, අපහාසයක්ම දරාගත්තා. හැබැයි ඔහු ඒ ගැන ලැජ්ජා වුණේ නැහැ. මොකද ඔහු දැනන් හිටියා හැම පුංචි දේකදීම ඔහු තමන්ගේ තාත්තාට විශ්වාසවන්තව හිටියා කියලා. (හෙබ්‍රෙ. 12:2) ඒ වගේම ඔහුගේ ජීවිතේ ගෙවෙන අඳුරුම පැය කීපය පිටිපස්සේ ඉන්නේ සාතන් කියලත් ඔහු දැනන් හිටියා. (ලූක් 22:2-4; 23:33, 34) යේසුස්ගේ විශ්වාසය බිඳින්න පුළුවන් කියලා සාතන් හිතුවත් අන්තිමේදී සාතන් අන්ත පරාජිතයෙක් වුණා. මොකද යේසුස් ඔප්පු කළා සාතන් කියන්නේ බොරුකාරයෙක් කියලා. ඔහු පෙන්නුවා දරුණුම පීඩා මැද වුණත් හුඟදෙනෙක් විශ්වාසවන්තව ඉඳලා දෙවියන්ගේ පැත්තේ ඉන්නවා කියලා. ඔයාටත් ඔයාගේ රජව සතුටු කරන්න ඕනෙද? එහෙමනම් දිගටම යෙහෝවාගේ නමට ප්‍රශංසා කරන්න. ඔහු කවුද කියලා අනිත් අයට කියන්න. එහෙම කරද්දී ඔයාත් යන්නේ යේසුස්ගේ අඩිපාරේ. (1 පේතෘ. 2:21) එතකොට ඔයාටත් පුළුවන් සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරලා යෙහෝවාගේ හිත සතුටු කරන්න. w24.02 11-12 11-13¶
නොවැම්බර් 29, සෙනසුරාදා
“යෙහෝවා දෙවියන් මං වෙනුවෙන් කරපු හැම දේකටම මම ඔහුට කොහොම ස්තුති කරන්නද?”—ගීතා. 116:12.
පහුගිය අවුරුදු පහ ඇතුළත මිලියනයකටත් වඩා බව්තීස්ම වෙලා සාක්ෂිකරුවන් වෙලා තියෙනවා. ජීවිතේ යෙහෝවාට කැප කරද්දී ඔයා යේසුස්ගේ අනුගාමිකයෙක් වෙනවා. ඔයාගේ ජීවිතේ වැදගත්ම දේ ඔහුගේ කැමැත්ත කරන එකයි. ඒත් කැප වෙනවා කියන්නේ මොකක්ද? කැප වෙද්දී ඔයා කැමති වෙන්න ඕනෙ මොනවා කරන්නද? යේසුස් මෙහෙම කිව්වා. ‘යමෙකු මා අනුව එන්න කැමති නම් ඔහු තවදුරටත් තමා ගැන නොසිතා දිගටම මා අනුව එන්න අවශ්‍යයි.’ (මතෙ. 16:24) “තමා ගැන නොසිතා” කියද්දී පාවිච්චි කරලා තියෙන ග්‍රීක යෙදුම “තම අවශ්‍යතාවලට මුල් තැන නොදී” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. කැප වුණ කෙනෙක් දෙවියන් අකමැති හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ. (2 කොරි. 5:14, 15) අනාචාරයේ යෙදෙන එක වගේ “පව්කාර ආශාවන්” ප්‍රතික්ෂේප කරන එකත් ඒකට ඇතුළත්. (ගලා. 5:19-21; 1 කොරි. 6:18) ඔයා යෙහෝවාට ආදරේ නම්, ඔහු නීති දීලා තියෙන්නේ අපේම හොඳටයි කියලා විශ්වාසයි නම් දෙවියන්ගේ නීතිවලට කීකරු වෙන එක නිරසයි කියලා හිතන්නේ නැහැ.—ගීතා. 119:97; යෙසා. 48:17, 18. w24.03 2 1¶; 3 4¶
නොවැම්බර් 30, ඉරිදා
“මම ඔයා ගැන සතුටු වෙනවා.”—ලූක් 3:22.
යෙහෝවා දෙවියන් ඔහුගේ අනුමැතිය තියෙන අයට ඔහුගේ බලය දෙනවා. (මතෙ. 12:18) දෙවියන්ගේ බලය ඔයාට තියෙනවාද කියලා දැනගන්න මෙහෙම හිතන්න. ‘දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග මගේ ජීවිතෙන් පේනවාද?’ උදාහරණෙකට සත්‍යයට ආවට පස්සේ මං කලින්ට වඩා ඉවසනවාද? දෙවියන්ගේ බලයෙන් ඇති වෙන ගුණාංග ඔයා පෙන්නන තරමටම ඔයාට යෙහෝවාගේ අනුමැතිය තියෙනවා කියන්න ඒක හොඳ සාක්ෂියක්! ජීවිත පූජාවෙන් ප්‍රයෝජන ගන්න යෙහෝවා දෙවියන් අවස්ථාව දෙන්නේ ඔහුගේ අනුමැතිය තියෙන අයට. (1 තිමෝ. 2:5, 6) හැබැයි ජීවිත පූජාව ගැන විශ්වාස කරලා බව්තීස්ම වුණාට පස්සෙත් දෙවියන්ගේ අනුමැතිය තියෙනවාද කියලා සැක ඇති වෙන්න පුළුවන්. ඔයාටත් එහෙම හිතෙනවාද? එහෙමනම් ඔයාගේ හැඟීම් මත නෙවෙයි යෙහෝවා මත විශ්වාසය තියන්න. මොකද ඔහු කියනවා ජීවිත පූජාව ගැන විශ්වාසය තියන අයව ඔහු ධර්මිෂ්ඨයන් විදිහට සලකලා එයාලට ආශීර්වාද කරනවා කියලා.—ගීතා. 5:12; රෝම 3:26. w24.03 30 15¶; 31 17¶