දෙවියන් වහන්සේ වර්ධනය දෙන සේක—ඔබ ඔබගේ කොටස ඉටු කරන්නෙහි ද?
මෙම දර්ශනය සිතින් මවා ගන්න. ඔබ අති විශාල ගස්, සරුවට වැඩුනු පඳුරු හා තැනින් තැන කාන්තිමත් වර්ණයන්ගෙන් යුත් මල් පඳුරු යනාදියෙන් වට වූ ලස්සන උද්‍යානයක සිටින්නෙහි ය. අති පිරිසිදු ජලය ගලා බස්නා ඇළක සැලකිලිමත් ව නඩත්තු කළ ඉවුර දක්වා වූ බෑවුම, හරිතවර්ණ-කොළ පැහැයෙන් යුත් තණකොළවලින් වැසී ඇත. එම දර්ශනයට බාධා වන කිසිවක් එහි නැත. මින් සෑහීමට පත් ඔබ, මේ සුන්දර ස්ථානය සෑදුවේ කවුද කියා අසන්නෙහි ය. මීට පිළිතුරු වශයෙන් උයන්පල්ලා, දෙවියන් වහන්සේ සියල්ල වර්ධනය කරවන සේකැයි නිරහංකාර ව පවසයි.
නිරායාසයෙන් ම, ඔබ එය දැන සිටියෙහි ය. ඔබ ගෙදර ගොස්, සිත් ගන්නා කිසිවක් නොවැවෙන, කුණු ගොඩගැසී ඇති, එමෙන් ම බිමෙහි ඇති අවලක්ෂණ වළවල් වැසි ජලයෙන් පිරී යන ඔබගේ ම අපිරිසිදු වූ පිටුපස මිදුල දකින විට, ඔබට උයන්පල්ලාගේ වදන් සිහි වේ. ඔබ මොහොතකට පෙර නැරඹූ උයන වැනි උයනක් ඇති ව සිටීමට ඔබ තුළ මහත් ආශාවක් ඇති වේ. එනිසා, උයන්පල්ලාගේ වදන් ස්ථිර ව විශ්වාස කරමින්, දණින් වැටී, ඔබගේ ගෙවත්තේ ලස්සන මල් වැවෙන්නට සලස්වන ලෙස ඔබ මහත් උනන්දුවෙන් දෙවියන් වහන්සේට යාච්ඤා කරන්නෙහි ය. කුමක් සිදු වෙයි ද? ඇත්තෙන් ම, කිසිවක් සිදු නොවනු ඇත.
ආත්මික වර්ධනය ගැන කුමක් කිව හැකි ද? දේව වචනයේ සත්‍යයන්ට අලුත් ගෝලයන් අනුකූලතාව දැක්වීම, නැතහොත් ඔබගේ ම ආත්මික ප්‍රගතිය යනාදී ආකාරයන්ගෙන්, ආත්මික ව දේවල් වර්ධනය වනු දැකීමට ඔබ තුළ තියුණු ආශාවක් තිබෙන්නට පුළුවන. තව ද යෙහෝවඃ වහන්සේට එවන් වර්ධනයක් ඇති කිරීමට බලයක් තිබෙන බවට වූ ස්ථිර විශ්වාසය මත පිහිටා, එසේ කරන ලෙස ඔබ මහත් උනන්දුවෙන් උන් වහන්සේට යාච්ඤා කරන්නට ද පුළුවන. එහෙත් ඔබගේ තියුණු ආශාව, මහත් උනන්දුවකින් යුත් යාච්ඤාව හා දෙවියන් වහන්සේගේ බලය කෙරෙහි වූ විශ්වාසය පමණක් වර්ධනයක් ලබා දෙනු ඇද්ද?
දෙවියන් වහන්සේ වර්ධනය දෙන සේක
ආත්මික වර්ධනයක් ඇති කිරීමට ඔබ කරන කොටස අප්රමාණවත් යයි, ඇතැම් විට අර්ථ රහිත යයි පවා සමහර අවස්ථාවන්හි ඔබට හැඟෙන්නට පුළුවන. පළමු කොරින්ති 3:5-7 හි ප්‍රේරිත පාවුල් ඉඟි කළේ මෙය නොවේ ද? ඔහු එහි සඳහන් කළේ මෙසේ ය: “ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය. මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත් කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ දෙවියන්වහන්සේය. එබැවින් වර්ධනය දෙන දෙවියන්වහන්සේ මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත.”
දේවල් වර්ධනය වන විට, සියලු ප්‍රශංසා දෙවියන් වහන්සේට අත් වන බව පාවුල් හරි ලෙස පිළිගත්තේ ය. උයන්පල්ලෙක් භූමිය සකස් කර, බීජ වපුරා, සැලකිල්ලෙන් පැලවලට සාත්තු කළ හැකිමුත්, අන්තිමේ දී ඒවා වර්ධනය වන්නේ දෙවියන් වහන්සේ සතු ආශ්චර්යවත් මැවීමේ බලය නිසා ය. (උත්පත්ති 1:11, 12, 29) කෙසේ වෙතත්, “හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත” (“ඒවා පැල කරන හා ඊට වතුර වත් කරන උයන්පල්ලා වැදගත් නොවේ,” ද න ඉංග්ලිෂ් බයිබල්) යයි පාවුල් සඳහන් කරන විට ඔහු අදහස් කළේ කුමක් ද? කෙසේ හෝ, අප අපගේ දේව සේවය කරන ආකාරය එතරම් වැදගත් නොවන බව අඟවමින්, අලුත් ගෝලයන් සෑදීමෙහි ලා එක් එක් දේව සේවකයාගේ වැඩ කොටස් සුළු කිරීමක් ඔහු කරමින් සිටී ද?
“හිටවන තැනැත්තේද . . . කිසිත් නැත”
තමාගේ ලිපියේ මෙම කොටසෙහි, පාවුල් ක්‍රිස්තියානි දේව සේවය නොව එහෙත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවට මනුෂ්‍යයන් ව අනුගමනය කිරීමේ මෝඩකම ගැන කථා කරමින් සිටින බව මතක තබා ගන්න. කොරින්තියේ සමහරෙක් පාවුල් හා අපොල්ලොස් වැනි යෙහෝවඃ වහන්සේගේ කැපී පෙනෙන සේවකයන්ට අනවශ්‍ය වැදගත්කමක් පිරිනමමින් සිටියහ. අන්‍යයන් නිකාය වාදයට අනුබල දෙමින්, තමන් සිය ක්‍රිස්තියානි සහෝදරයන්ට වඩා උසස් යයි සිතූ මිනිසුන් ව නගා සිටුවමින් සිටියහ.—1 කොරින්ති 4:6-8; 2 කොරින්ති 11:4, 5, 13.
මනුෂ්‍යයන් ව මෙයාකාරයෙන් ගෞරවයට පත් කිරීම යහපත් නොවේ. එය මාංසිකාකාර ව කල්පනා කිරීමක් වන අතර එය ඊර්ෂ්‍යාව ද විවාදය ද හටගන්වයි. (1 කොරින්ති 3:3, 4) මෙයාකාර ව කල්පනා කිරීමේ ප්‍රතිඵලය පාවුල් පෙන්වා දෙයි. ඔහු මෙසේ පවසයි: ‘නුඹලා අතරෙහි විවාද තිබේ. ඉඳින් මාගේ තේරුම නම්, නුඹලා එක් එක්කෙනා: මම පාවුල්ගේ ය; මම අපොල්ලොස්ගේ ය; මම කේපස්ගේ ය; මම ක්‍රිස්තුස් වහන්සේගේ යයි කියන බව ය.’—1 කොරින්ති 1:11, 12.
එබැවින්, “හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත” කියා ලියන විට, ප්‍රේරිතවරයා, නායකයා ලෙස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙස බැලීමේ හා සභාවේ වර්ධනය සඳහා වූ මුළු කීර්තිය දෙවියන් වහන්සේට යන බව පිළිගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමින්, එවන් මාංසික කල්පනාවන්වලට එරෙහි ව සටන් කරමින් සිටී. ප්‍රේරිතවරුන් මෙන් ම වෙනත් වැඩිමහල්ලන් නිකම් ම සභාවේ සේවකයන් වෙනවා පමණකි. කිසිවෙකු ව උතුම් තත්ත්වයකට පත් නොකළ යුතු අතර තමන් ද තමන්ගේ ම ගෞරවය හෝ ප්‍රමුඛත්වය නොසෙවිය යුතු ය. (1 කොරින්ති 3:18-23) එනිසා, “බීජයට ප්‍රාණය දෙන තැනැත්තා හා සසඳන කල” සිටුවන්නා හෝ වතුර වත් කරන්නා කිසිත් නැතැයි, පාවුල් පවසයි.—1 කොරින්ති 3:7, ෆිලිප්ස්.
දෙවියන් වහන්සේගේ හවුල් වැඩකරුවෝ
එබැවින්, මෙසේ පැවසීමේ දී, ප්‍රේරිත පාවුල් සිටුවීමේ හා වතුර වත් කිරීමේ දී අප කරන වැඩ කොටසෙහි වැදගත්කම සුළු කරමින් සිටියේ නැත. “දෙවියන් වහන්සේ තමන් විසින් ම නියම කරන ලද කාලයේ දී දේවල් වර්ධනය කරවනු ඇත” යයි අප කල්පනා කරන්නට පටන් ගත යුතු බවත්, එසේ කරමින් අප අක්‍රිය ව සිට උන් වහන්සේ දෙස බලා සිටිය යුතු බවත් ඔහු අදහස් කළේ නැත. අප කරන දෙයත්, අප එය කරන ආකාරයත් දේවල් වර්ධනය වන ආකාරයට බලපාන බව ඔහු දැන සිටියේ ය.
සිය දේව සේවයේ වෙහෙසා ක්‍රියා කරන ලෙසත්, ගුරුවරුන් ලෙස තමන්ගේ දක්ෂතා වර්ධනය කර ගන්නා ලෙසත් පාවුල් නොකඩවා ක්‍රිස්තියානින් ව දිරිගැන්වූයේ එනිසා ය. යෞවන තිමෝතිට ඔහු දෙන අවවාදය කල්පනා කර බලන්න. “නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්රවේසම්වෙයන්න [නිරන්තර අවධානය යොමු කරන්න NW]. ඒවායේ පැවතියන්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.” (1 තිමෝති 4:16) “මා විසින් නුඹට අණකරන්නේ නම්: වචනය දේශනා කරපන්න; . . . වැඩේ යෙදී සිටපන්න; සියලු ආකාර [බොහෝ NW] ඉවසිලිවන්තකමෙන් සහ ඉගැන්වීමෙන් [ඉගැන්වීමේ කලාවෙන් NW] . . . නුඹේ සේවය සපුර්ණකරපන්න.” (2 තිමෝති 4:1, 2, 5) දේවල් වර්ධනය කරවීම කෙරෙහි, තිමෝතිගේ හිටවීම හා වතුර වත් කිරීම බලපෑමක් ඇති නොකරනු ඇත්නම්, සිය දක්ෂතා වර්ධනය කර ගැනීමට තිමෝති වෙහෙසා ක්‍රියා කිරීමෙහි කිසි ප්‍රයෝජනයක් නොවනු ඇත.
පාවුල් හා අපොල්ලොස් මෙන්, දෙවියන් වහන්සේගේ හවුල් සේවකයන්ගෙන් කෙනෙකු වශයෙන් සේවය කිරීමේ අනර්ඝ වරප්‍රසාදය ඔබටත් තිබෙනු ඇත. (1 කොරින්ති 3:9; 2 කොරින්ති 4:1; 1 තිමෝති 1:12) එවන් කෙනෙකු ලෙස, ඔබගේ වැඩය වැදගත් ය. තමාගේ කොටස ඉටු කිරීමට වෑයමක් නොදරා ලස්සන උයනක් ආශ්චර්යවත් ලෙස දෙවියන් වහන්සේ ඇති කිරීම අපේක්ෂා නොකරයි. ආත්මික වර්ධනය ගත් කල, එය ඊට වඩා වෙනස් විය යුතු ද? කිසිසේත් නැත. ඉවසීමෙන් යුක්ත ව “පොළොවේ අනර්ඝ ඵල ගැන බලා” සිටින ගොවියා මෙන්, වර්ධනය පිණිස දෙවියන් වහන්සේ දෙස බලමින්, හිටුවීමෙහි හා වතුර වත් කිරීමෙහි අප පළමුකොට වීර්යය කරමින් සිටිය යුතු ය.—යාකොබ් 1:22; 2:26; 5:7.
ඔබගේ කොටස ඉටු කරන්න
ප්‍රේරිත පාවුල් පවසන ආකාරයට “එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය” ලබන බැවින්, අප කෙසේ වෙහෙසා ක්‍රියා කරන්නේ දැයි, අප අපගෙන් ම ඇසීම ඉතා යෝග්‍ය ය.—1 කොරින්ති 3:8.
“උයන්පල්ලෙක් වීමට විශේෂිත සුදුසුකම් කිසිත් අවශ්‍ය නොවේ, පැල කෙරෙහි උනන්දුවක් සෑහේ” යයි ගෙවතු වැවීම පිළිබඳ විශේෂඥයෙක් වන ජෙෆ්රි ස්මිත් පවසයි. (ෂ්රබ්ස් ඇන්ඩ් ස්මෝල් ට්‍රීස්) සමානාකාරයෙන් දෙවියන් වහන්සේගේ හවුල් වැඩකරුවන් වීමට සහජ විශේෂිත සුදුසුකම් අවශ්‍ය නොවේ, ජනයා කෙරෙහි අව්‍යාජ උනන්දුවක් හා දෙවියන් වහන්සේ විසින් උපයෝගි කර ගැනීම සඳහා කැමැත්තක් සෑහේ.—2 කොරින්ති 2:16, 17; 3:4-6; පිලිප්පි 2:13.
දක්ෂ උයන්පල්ලන් විසින් ඉදිරිපත් කරන ලද මාහැඟි අවවාද සමහරක් සැලකිල්ලට ගන්න. එක් බලධාරියෙක් පවසන ආකාරයට, ආධුනික උයන්පල්ලෙක් තමාට වඩා අත්දැකීම් ඇති අයට සවන් දීමට කැමති වන්නේ නම්, “ඉගෙන ගන්නා තැනැත්තාට ඉක්මනින් නිපුණයෙක් විය හැකි ය.” එම බලධාරියා ම තවදුරටත් පවසනුයේ “නිපුණ තැනැත්තා නිතර ඉගෙන ගැනීමට යම් අලුත් දෙයක් සොයමින් සිටියි.” (දි එන්සයික්ලෝපීඩියා ඔෆ් ගාඩ්නිං) ඵලදායී ලෙස පැල කිරීමට හා වතුර වත් කිරීමට ඔබටත් හැකි වනු පිණිස යෙහෝවඃ වහන්සේ සපයන උපකාරය හා පුහුණුව ඔබ කැමැත්තෙන් පිළිගන්නෙහි ද? ඔබ එම ක්‍රියාවලියට නවකයෙක් ව හෝ අත්දැකීම් ලත් අයෙක් ව සිටියත්, ඔබ එසේ කරනවා නම්, ඔබට දෙවියන් වහන්සේගේ හවුල් වැඩකරුවන් හැටියට වැඩිපුර දක්ෂතා වර්ධනය කර ගත හැකි අතර එසේ “වෙන අයටත් උගන්වන්ට සමර්ථ” කෙනෙක් වන්නට පුළුවන.—2 තිමෝති 2:2.
ඔහු සවන් දී ඉගෙන ගැනීමට කැමති වන්නේ නම්, “එම ආධුනිකයා ඉතා ම නරක බොරුවළවල් මඟ හරිනු ඇත” යයි ජෙෆ්රි ස්මිත් පවසයි. යෙහෝවඃ වහන්සේ ස්වකීය වචනය හා ස්වකීය සංවිධානය තුළින් සපයන මඟ පෙන්වීමට අප සවන් දෙන්නේ නම්, අප දේවල් උන් වහන්සේගේ ක්‍රමයට කරනු ඇත. උදාහරණයක් හැටියට, අප එවිට, වචන පිළිබඳ ව දබර හෝ සටන් කරන්නට පමණක් කැමති වන්නන් සමඟ අනුවණ ලෙස වාද කිරීමට යාම වැනි බොරුවළවල් මඟ හරිනු ඇත.—හිතෝපදේශ 17:14; කොලොස්සි 4:6; 2 තිමෝති 2:23-26.
පස පෙරළීමට ඉක්මන් වීමට පෙර කාරණා සැලකිලිමත් ව කල්පනා කර බැලීම ගෙවතු වැවීමේදී පිළිපැදිය යුතු තවත් හොඳ අවවාදයකි. “පස පෙරළන්නට පෙර [ඔබගේ අපේක්ෂාවන්] තක්සේරු කිරීමෙහි නිසල ව කාලය වැය කරන්න” යයි දි එන්සයික්ලෝපීඩියා ඔෆ් ගාර්ඩන්නිං පවසයි. ඔබට ඉටු කර ගැනීමට ඕනෑ කරන දෙය හා එය කළ හැකි හොඳ ම ක්‍රමය පිළිබඳ ව මුලින් සැලකිලිමත් හා යාච්ඤා පූර්වක සිතා බැලීමක් නොකර ඔබ ක්‍රිස්තියානි දේව සේවයට ඉක්මන් වීමේ උගුලට අසු වෙනවා ද? ඔබ මුලපුරන්නට පෙර ඔබේ පරමාර්ථ පැහැදිලි ව හඳුනා ගන්න. උදාහරණයක් වශයෙන්, ඔබට හමු විය හැකි ජනයාගේ ආකාරය ගැනත්, ඔබට මුහුණ දීමට සිදුවිය හැකි ගැටලු ගැනත් කල්පනා කර, මේවා හසුරුවන්නට සූදානම් වන්න. ඔබ “සියල්ලන්ට සියල්ල” බවට පත් වෙත් ම, මෙය ‘වැඩිදෙනෙකු දිනා ගැනීමට’ ඔබට හැකියාව ලබා දෙනු ඇත.—1 කොරින්ති 9:19-23.
“නුඹේ අත නවත්වා නොගනින්න”
දෙවියන් වහන්සේගේ හවුල් වැඩකරුවන් හැටියට සේවය කිරීමට ඇති වරප්‍රසාදය අප අගය කරන්නේ නම්, එම සහකාරකමේ ඇති අපගේ කොටස ඉටු කිරීමට අප මැලි නොවනු ඇත. “උදයේ නුඹේ බීජ වපුරාපන්න, සවසත් නුඹේ අත නවත්වා නොගනින්න. මක්නිසාද සඵලවෙන්නේ ඒවාද නොහොත් මේවාද නොහොත් දෙවගේම ඒකාකාර හොඳ වේද කියා නුඹ නොදන්නෙහිය.” (දේශනාකාරයා 11:6) අවසාන ප්‍රතිඵල යෙහෝවඃ වහන්සේගේ හස්තයේ ඇතිමුත්, අප ඵල නෙළනු ඇත්තේ මුලින් අප උත්සහවන්ත ව වපුරන්නේ නම් පමණකි.—දේශනාකාරයා 11:4.
නොසැලකිලිමත් ලෙස පස පෙරළීම හා සැම තැන ම අක්‍රමවත් ව බීජ විසුරුවා හැරීම වැනි නමට කෙරෙන කටයුතුවලින් කිසිදු උයනක් කවදාවත් ලස්සන වී නැත. සමානාකාරයෙන්, ක්‍රිස්තියානි දේව සේවය සඳහා ද නමට බයිබල් ප්‍රකාශන බෙදා හැරීමෙහි හවුල් වීමකට වැඩි යමක් අවශ්‍ය කරවයි. දෙවියන් වහන්සේගේ හවුල් වැඩකරුවන් වශයෙන් අප, හරි චිත්ත ස්වභාවයක් ඇති අය සොයමින්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය උද්යෝගයෙන් හා සම්පූර්ණයෙන් ප්‍රකාශ කළ යුතු ය. (ක්‍රියා 13:48) දෙවන කොරින්ති 9:6 හි සඳහන් ප්‍රේරිත පාවුල්ගේ වදන් පිටුපස ඇති ප්‍රතිපත්තිය මතක තබාගන්න: “මසුරුලෙස වපුරන්නා මසුරුලෙස කපාගන්නේය; නොමසුරුව වපුරන්නා නොමසුරුව කපාගන්නේය.”
සියලු ම හොඳ උයන්පල්ලන් මෙන්, අපි සරු බිමේ හිටවන්නට වෑයම් දරන්නෙමු. සරු බිමේ පවා, වරක් යම් දෙයක් පැල කිරීමත් සමඟ, කෙසේ හෝ, කළ යුතු දේ අවසන් නොවේ. ජෙෆ්රි ස්මිත් පවසන්නේ මෙසේ ය: “හිටවීමෙන් පසු ඒ තැනැත්තා විවේකී ව සිටින පිණිස හාන්සි පුටුවක් හා ඉරු රැස් වළක්වන වැස්මක් මිල දී ගැනීම විනා අන් කිසිවක් අවශ්‍ය නොකරන බව මෙය අදහස් නොකරයි.” නැත, දේවල් වර්ධනය වීමට නම්, වතුර දැමීමෙහි හා පැලය ආරක්ෂා කිරීමෙහි වෑයමක් අවශ්‍ය කෙරේ.—හිතෝපදේශ 6:10, 11 සසඳන්න.
එතරම් දෙයක් සිදු නොවන බව පෙනෙන්නට ඇති විට පවා, දීර්ඝ කාල පරිච්ඡේදයක් පුරා වෙහෙසා ක්‍රියා කිරීමක් ක්‍රිස්තියානි දේව සේවයට ඇතුළත් විය හැකි ය. එහෙත් හදිසියේ ම, හා ඇතැම් අවස්ථාවන්හි අනපේක්ෂිත ලෙස, විස්මිත කරවන ප්‍රතිඵල පසු ව ඇති වන්නට පුළුවන. ජෙෆ්රි ස්මිත් පවසන්නේ මෙසේ ය: “උයන්පාලකයාට දිගුකාලීන වූ වෙහෙසීම ඇතුළත් වුවද, අතරින් පතර එවන් විස්මිත අලංකාරය දැකිය හැකි අවස්ථා ද තිබේ, මෙනිසා, පස් පෙරළීම, වල් පැළෑටි උගුලා දැමීම, හා ප්‍රබල කාන්සාව මතකයෙන් බැහැර වෙයි.” ඔබ මුලින් ම කළ යුතු පස පෙරළීම, හිටවීම, වල් පැළෑටි නෙලීම හා වතුර වත් කිරීම කරන්නට කැමැත්තේ නම්—යම් පිළිගන්නා හෘදයක් සත්‍යයේ පණිවුඩයට එකඟ ව ක්‍රියා කරන විට, ඔබටත් උදාර තෘප්තියක් දැනෙන අවස්ථා ඇති විය හැකි ය.—හිතෝපදේශ 20:4 සසඳන්න.
රාජ්‍යය දේශනා කිරීමේ හා ගෝලයන් සෑදීමේ සිය කාර්ය භාරය ක්‍රිස්තියානි සභාව තුළ තමන්ට යම් සුවිශේෂී ප්රමුඛත්වයක් ලබා නොදුන් බව පාවුල් හා අපොල්ලොස් දැන සිටියහ. දේවල් වර්ධනය වන්නට සලස්වන්නේ දෙවියන් වහන්සේ බව ඔවුහු දැන සිටියහ. එහෙත්, ඔවුහු හිටවීම හා වතුර වත් කිරීම—උද්යෝගී ව—සිදු කළහ. අපිත් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කර, අන්‍යයන් ‘ඇදහීමට පමුණුවන සේවකයන්’ හැටියට, අප ව දෙවියන් වහන්සේට භාර කරමු.—1 කොරින්ති 3:5, 6.
[23වන පිටුවේ පින්තූරය]
දෙවියන් වහන්සේ සියල්ලට වර්ධනය දෙන සේක—එහෙත් උයන්පල්ලා තමාගේ කොටසත් ඉටු කරයි