යෙහෝවාට සමීප වන්න ජනයාට උපකාර කිරීම
“මා කරණකොටගෙන මිස කිසිවෙක් [පියා] වෙතට පැමිණෙන්නේ නැත.”—යොහන් 14:6.
1. නැවත-නැඟිටුණු යේසුස් තම ගෝලයන්ට දුන්නේ කුමන ආඥාවද? යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඊට කීකරු වීමෙන් ලැබී ඇති ප්‍රතිඵල කුමක්ද?
‘සියලු ජාතීන් ගෝලයන් කර, පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න’ කියා යේසුස් ක්‍රිස්තුස් තම අනුගාමිකයන්ට ආඥා කළා. (මතෙව් 28:19) පසුගිය වසර දහය තුළදී, දෙවිට සමීප වීමටත්, කල්යත්ම දෙවිගේ කැමැත්ත කිරීමට තම කැපවීමේ සංකේතයක් වශයෙන් බව්තීස්ම වීමටත්, දශලක්ෂ තුනකට වඩා බෙහෙවින් අධික සෙනඟකට උපකාර කරන්න යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමත් වී තිබෙනවා. දෙවිට සමීප වන්න ඔවුන්ට උපකාර කිරීම ගැන අපි කොතරම් සතුටු වන්නෙමුද!—යාකොබ් 4:8.
2. නවකයන් බොහොමයක් බව්තීස්ම වුවත්, කුමක්ද සිදු වී තිබෙන්නේ?
2 කෙසේවෙතත්, බව්තීස්ම වී ඇති අලුත් ගෝලයන් සෑහෙන පිරිසක් සිටින ඇතැම් දේශවල, රාජ්‍ය ප්‍රචාරකයන්ගේ සංඛ්‍යාව ඊට සරිලන සේ වැඩි වී නැහැ. මියගොස් ඇති අය අප අමතක කරනවා නොවේ. වාර්ෂික මරණ අනුපාතය සියයට 1ක් පමණ වේ. කෙසේවෙතත්, පසුගිය වසර කිහිපය තුළදී, සෑහෙන පිරිසක් යම් හේතුවකට හෝ ඇදහිල්ලෙන් වැටී ගොස් ඇත. එමනිසා, පුද්ගලයන් යෙහෝවාට සමීප වන්නේ කෙසේද යන්නත්, ඇතැම් අය ඇදහිල්ලෙන් වැටීමට හේතු විය හැකි කාරණා කිහිපයකුත් මෙම ලිපියෙහි සහ මීළඟ ලිපියෙහි අපි අවධානයට ලක් කරන්න යනවා.
අපගේ දේශනා කිරීමේ අරමුණ
3. (අ) යේසුස්ගේ ගෝලයන්ට භාර දුන් කාර්යය එළිදරව් 14:6හි සඳහන් දේවදූතයාගේ කාර්යයට සමාන්තරව දිවයන්නේ කෙසේද? (ආ) රාජ්‍ය පණිවිඩය ගැන ජනයාගේ උනන්දුව පුබුදුවාලීමට සාර්ථක ප්‍රතිඵල ලබා ඇති ක්‍රමයක් නම් කරන්න. එනමුත් පවතින ගැටලුව කුමක්ද?
3 මෙම ‘අන්තිම කාලයේදී,’ “රාජ්‍යයේ මේ ශුභාරංචිය” පිළිබඳව “සැබෑ දැනුම” [NW] බෙදාහැරීමේ පැවරුම යේසුස්ගේ ගෝලයන් සතුව තිබෙනවා. (දානියෙල් 12:4; මතෙව් 24:14) “පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනගටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින” දේවදූතයාගේ පැවරුම ඔවුන්ගේ පැවරුමට සමාන්තරව දිවයයි. (එළිදරව් 14:6) ලෞකික කාරණා තුළ එතරම් ඇලී ගැලී සිටින මෙම ලෝකයේ ජනයා තුළ දෙවිගේ රාජ්‍යය ගැන උනන්දුවක් ඇති කර, යෙහෝවාට සමීප වන්න ඔවුන්ට උපකාර කිරීමට සාමාන්‍යයෙන් සාර්ථකම ක්‍රමය වන්නේ, පාරාදීස පොළොවක සදාකාල ජීවනය පිළිබඳ බලාපොරොත්තුව ගැන ඔවුන්ට කියා දීමයි. මෙය පිළිගත යුතු දෙයක් වුවත්, පාරාදීසය තුළට පිවිසීමේ අරමුණින් පමණක් දෙවිගේ සෙනඟ සමඟ ඇසුරු කරන අය, ජීවනයට මඟ පෙන්වන පටු දොරටුවේ ස්ථිරව ගමන් කරනවා කියා පැවසිය නොහැකියි.—මතෙව් 7:13, 14.
4. යේසුස් සහ අහස මැද පියාසර කරන දේවදූතයාට අනුව, අපගේ දේශනා කිරීමේ වැඩයෙහි අරමුණ කුමක්ද?
4 යේසුස් මෙසේ පැවසුවා: “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය, එනම් එකම සැබෑ දෙවි වන ඔබ ගැනත්, ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත්, ඔවුන් විසින් දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) අහස මැද පියාසර කරන දේවදූතයා පොළොවෙහි වැසියන්ට මෙම “සදාකාල ශුභාරංචිය” ප්‍රකාශ කරයි: ‘දෙවිට භය වී, ඔහුට ගෞරව දෙන්න; මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැත්තාට නමස්කාර කරන්න.’ (එළිදරව් 14:7) එමනිසා, ශුභාරංචිය දේශනා කිරීමේදී අපගේ ප්‍රධානතම අරමුණ වනාහි, ක්‍රිස්තුස් යේසුස් කරණකොටගෙන ජනයාට යෙහෝවා වෙත සමීප වීමට උපකාර කිරීම බව පැහැදිලියි.
යෙහෝවාගේ වැඩයෙහි අපට හිමි කාර්යය
5. අප අපගේම වැඩක නොව, යෙහෝවාගේ වැඩයෙහි නිරත වී සිටින බව පෙන්නුම් කරන්නේ පාවුල් සහ යේසුස් පැවසූ කවර අදහස්ද?
5 සෙසු ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ලියමින් ප්‍රේරිත පාවුල් “සමගිකිරීමේ සේවය” ගැන කතා කරන අතර, දෙවි මනුෂ්‍යයන්ව තමන්ටම සමගි කරගන්නේ යේසුස් ක්‍රිස්තුස්ගේ මිදීමේ පූජාව පදනම් කරගෙන බව පවසයි. ‘දෙවි අප ලවා ඉල්ලන්නාක් මෙන්’ සිටින බවත්, ‘ක්‍රිස්තුස් වෙනුවෙන්’ පෙනී සිටින්නන් වශයෙන් ‘දෙවි හා සමගි වෙන්න’ යන අයැදීම අපෙන් නිකුත් වන බවත් පාවුල් පවසනවා. මොනතරම් හද උණුසුම් කරවන අදහසක්ද! අප ‘ක්‍රිස්තුස් වෙනුවෙන්’ පෙනී සිටින ආලේප ලත් ‘තානාපතීන්’ හෝ වේවා, භූමික බලාපොරොත්තුවක් ඇති නියෝජිතයන් හෝ වේවා, මෙය අපගේ නොව යෙහෝවාගේ වැඩය බව අප කිසිදා අමතක නොකළ යුතුයි. (2 කොරින්ති 5:18-20) ඇත්තටම පුද්ගලයන්ව ඇදගන්නෙත්, ක්‍රිස්තුස් වෙත පැමිණෙන අයට උගන්වන්නෙත් දෙවියි. යේසුස් මෙසේ පැහැදිලි කළා: “මා එවූ [පියා] විසින් අදිනු ලැබූ කෙනෙකුට මිස වෙන කිසිවෙකුට මා ළඟට එන්ට බැරිය. මම අන්තිම දවසේදී ඔහු නැගුටුවන්නෙමි. සියල්ලෝම [යෙහෝවා] විසින් උගන්වනු ලබන්නෝයයි අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවල ලියා තිබේ. [පියාගෙන්] අසා ඉගෙනගත් සියල්ලෝම මා ළඟට එති.”—යොහන් 6:44, 45.
6. යෙහෝවා මූලික වශයෙන් ජාතීන්ව සොලවන්නේ කෙසේද? එමෙන්ම ඒත් සමඟම ඔහුගේ නමස්කාර ‘ගෘහය’ තුළ සුරක්ෂිතභාවයක් භුක්ති විඳින්නේ කවුරුන්ද?
6 මෙම අන්තිම දවස්වලදී, යෙහෝවා ජනයාව ඇද “ඇදහිල්ලේ දොර” ඔවුන් සඳහා විවෘත කර දෙන්නේ කෙසේද? (ක්‍රියා 14:27; 2 තිමෝති 3:1) එක් මාර්ගයක් නම්, මෙම දුෂ්ට දේවල පිළිවෙළට එරෙහිව තම ගැළවීමේ සහ විනිශ්චයේ පණිවිඩ තම සාක්ෂිකරුවන් ලවා ප්‍රකාශ කිරීමට සැලැස්වීමයි. (යෙසායා 43:12; 61:1, 2) මෙම ලෝක ව්‍යාප්ත ප්‍රකාශය ජාතීන් අතර කම්පනයක් ඇති කරමින් පවතියි. එය ළඟදීම පැමිණෙන විනාශයට පෙරනිමිත්තක් වෙනවා. ඒ අතරවාරයේදී, දෙවිගේ ඇස් ඉදිරියෙහි “අනර්ඝ” වූ අය මෙම පිළිවෙළින් පිටතට ඇදගනු ලබන අතර, ඔහුගේ සැබෑ නමස්කාරය නමැති “ගෘහය” තුළ සුරක්ෂිතභාවය භුක්ති විඳිමින් සිටියි. මේ අනුව යෙහෝවා හග්ගයි ලවා වාර්තා කර ඇති තම අනාවැකිමය වදන් ඉටු කරමින් සිටී: “සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් ආශාවෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමි.”—හග්ගයි 2:6, 7, NW පාදසටහන; එළිදරව් 7:9, 15.
7. යෙහෝවා පුද්ගලයන්ගේ හෘදයන් විවෘත කර, තමා වෙතටත් තම පුත්‍රයා වෙතටත් ඔවුන්ව ඇදගන්නේ කෙසේද?
7 යෙහෝවා, “සියලු ජාතීන් අතුරින් අනර්ඝතම දේවල්” වන දෙවිට භය වන මොවුන්ගේ හෘදයන් විවෘත කරන්නේ, තම සාක්ෂිකරුවන් “කියන කාරණාවලට අවධානය දීමට” ඔවුන්ට හැකි වන පරිද්දෙනි. (හග්ගයි 2:7, යුදෙව් ප්‍රකාශන සමාගම; ක්‍රියා 16:14, NW) මුල් සියවසේ සිදු වූවාක් මෙන්, උපකාරය සඳහා ඔහුට මොරගසා ඇති අවංක පුද්ගලයන් වෙතට තම සාක්ෂිකරුවන්ව යොමු කිරීම සඳහා යෙහෝවා ඇතැම් අවස්ථාවල තම දේවදූතයන්ව යොදාගෙන ඇත. (ක්‍රියා 8:26-31) දෙවි තම පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් තුළින් කර ඇති විශිෂ්ට සැපයුම් ගැන පුද්ගලයන් ඉගෙනගනිත්ම, යෙහෝවා දක්වා ඇති ප්‍රේමය නිසාම ඔහු වෙත ඇදී යෑමට ඔවුන් පෙලඹෙනවා. (1 යොහන් 4:9, 10) ඔව්, දෙවි තම “ප්‍රේමනීය-කරුණාව” නොහොත් “පක්ෂපාතී ප්‍රේමය” මාර්ගයෙන් ජනයාව තමා වෙතටත් තම පුත්‍රයා වෙතටත් ඇදගන්නවා.—යෙරෙමියා 31:3, NW පාදසටහන.
යෙහෝවා ඇදගන්නේ කාවද?
8. යෙහෝවා ඇදගන්නේ කුමනාකාරයේ ජනයාවද?
8 යෙහෝවා තමා වෙතටත්, තම පුත්‍රයා වෙතටත් ඇදගන්නේ ඔහුව සොයන අයවයි. (ක්‍රියා 17:27) ක්‍රිස්තියානි ලෝකයේ මෙන්ම මුළු ලොව පුරාම “කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන” ජනයා මීට ඇතුළත් වෙනවා. (එසකියෙල් 9:4) ඔවුන් “තම ආත්මික අවශ්‍යතාව ගැන සාවධානව” සිටියි. (මතෙව් 5:3, NW) ඇත්තෙන්ම පාරාදීස පොළොවෙහි සදහටම වාසය කරන්නාවූ “දේශයේ මොළොක් ගුණ [“නිහතමානීකම,” NW පාදසටහන] ඇති” අය ඔවුන්ය.—ශෙපනියා 2:3.
9. ජනයාට ‘සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක්’ තිබෙනවාද නැද්ද යන්න යෙහෝවාට නිශ්චය කළ හැක්කේ කෙසේද? තවද ඔහු මොවුන්ව ඇදගන්නේ කෙසේද?
9 පුද්ගලයෙකුගේ හෘදයේ ඇති දේ යෙහෝවාට නිශ්චය කළ හැකියි. දාවිත් රජ තම පුත්‍ර සාලමොන්ට මෙසේ පැවසුවා: ‘යෙහෝවා සියලු සිත් [හෘදයන්, NW] විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නේය. නුඹ ඔහුව සොයනවා නම් ඔහුව නුඹට සම්බ වෙනවා ඇත.’ (1 ලේකම් 28:9) පව් සමාව සඳහා ඇති දිව්‍යමය සැපයුමට මෙන්ම දෙවිගේ ධර්මිෂ්ඨ නව පිළිවෙළෙහි සදාකාල ජීවනයේ බලාපොරොත්තුවට යමෙක් ප්‍රතිචාරය දක්වනවාද නැද්ද යන්න නිශ්චය කරගැනීමට යෙහෝවාට පුළුවන් වන්නේ, පුද්ගලයෙකුගේ හෘද තත්වය සහ ඇතුළාන්තය නොහොත් බලපවත්වන ආකල්පය පදනම් කරගෙනයි. (2 පේතෘස් 3:13) යෙහෝවා තම සාක්ෂිකරුවන්ගේ දේශනා කිරීම සහ ඉගැන්වීම මාර්ගයෙන් තම වචනය තුළින් ‘සදාකාල ජීවනයට නිසි නැඹුරුවාවක් ඇති සියලුදෙනාවම’ තමා වෙතටත් තම පුත්‍රයා වෙතටත් ඇදගන්නා අතර, මොවුන් ‘ඇදහිලිවන්තයන්’ බවට පත් වෙනවා.’—ක්‍රියා 13:48, NW.
10. යෙහෝවා සමහරුන්ව පමණක් තමා වෙතට ඇදගැනීම, යම් පෙර නියම කිරීමක් නොවන බව පෙන්නුම් කරන්නේ කුමක්ද?
10 යෙහෝවා විසින් සමහර අයව පමණක් තමා වෙතට ඇදගැනීම, යම් පෙර නියම කිරීමක් කර ඇති බව අදහස් කරන්නේ නැද්ද? කිසිසේත් නැහැ. දෙවි ජනයාව ඇදගන්නේ ඔවුන් කැමති වෙනවා නම් පමණයි. ඔවුන්ගේ නිදහස් කැමැත්තට ඔහු ගෞරවය දක්වනවා. වසර 3,000කට ඉහතදී ඉශ්‍රායෙලිතයන් ඉදිරියෙහි තැබූ තේරීමමයි යෙහෝවා අදදින පොළෝ වාසීන් ඉදිරියෙහි තබන්නෙත්. එදා මෝසෙස් මෙසේ පැවසුවා: “මම අද ජීවනය හා යහපතද මරණය හා විපතද නුඹ ඉදිරියෙහි තැබීමි. . . . මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන, . . . නුඹේ දෙවිවූ [යෙහෝවාට] ප්‍රේමකොට, [ඔහුගේ] හඬට කීකරුවී [ඔහුට] ඇලුම්ව සිටින්න. මක්නිසාද නුඹේ ජීවනයත් නුඹේ දවස්වල වැඩිවීමත් එයය.”—ද්විතීය කථාව 30:15-20.
11. ඉශ්‍රායෙලිතයන් ජීවනය තෝරාගත යුතු වූයේ කෙසේද?
11 ‘යෙහෝවාට ප්‍රේම කිරීමෙන්, ඔහුගේ හඬට කීකරු වීමෙන් සහ ඔහුට ඇලුම්ව සිටීමෙන්’ ඉශ්‍රායෙලිතයන් ජීවනය තෝරාගත යුතුව තිබුණු බව ඔබ සැලකිල්ලට ගත්තාද? මෙම වදන් ප්‍රකාශ කරන විටදි, ඉශ්රායෙල් ජනතාව පොරොන්දු දේශය අයිති කරගෙන සිටියේ නැහැ. මෝවබ් මිටියාවතෙහි රැස්ව සිටි ඔවුන්, යොර්දාන් ගඟින් එගොඩ වී කානාන් දේශයට පිවිසීමට සූදානමිනුයි සිටියේ. ඉක්මනින්ම හිමි කරගැනීමට නියමිත වූ “කිරි සහ මීපැණි ගලායන්නාවූ” “යහපත්වූ විශාලවූ” දේශය කෙරෙහි ඔවුන්ගේ කල්පනාව යොමු කිරීම සාමාන්‍ය දෙයක් වුවත්, ඔවුන්ගේ සිහින සැබෑ කරවීම රඳා පැවතුණේ, යෙහෝවාට ප්‍රේම කිරීම, ඔහුගේ හඬට කීකරු වීම සහ ඔහුට ඇලුම්ව සිටීම මතයි. (නික්මයාම 3:8) මෝසෙස් මෙසේ පැවසූ විට එම කාරණය පැහැදිලි කළා: “ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කිරීමත්, ඔහුගේ මාර්ගවල ගමන් කිරීමත්, ඔහුගේ ආඥා, පනත් සහ විනිශ්චයමය තීරණ පැවැත්වීමත් ඇතුළු මා විසින් අද ඔබට අණ කරන ඔබේ දෙවි වන යෙහෝවාගේ ආඥාවලට ඔබ සවන් දෙන්නෙහි නම්, එවිට ඔබ ජීවත්ව වැඩි වන අතර, හිමි කරගැනීමට ඔබ ඇතුල් වන දේශයෙහි ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ආශීර්වාද කරනවා ඇත.”—ද්විතීය කථාව 30:16, NW.
12. ඉශ්‍රායෙලිතයන්ගේ ආදර්ශය, අපගේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩය සම්බන්ධයෙන් අපට කවර පාඩමක් ඉගැන්විය යුතුද?
12 මෙම අන්තිම කාලයේදී අපගේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩය ගැන යමක් ඉහත සඳහන් දේවලින් අපට උගන්වන්නේ නැද්ද? මතු පැමිණෙන පාරාදීස පොළොව ගැන අප කල්පනා කරන අතරම, අපේ දේවසේවයේදී ඒ ගැන කතා කරනවා. එනමුත්, අප හෝ අප විසින් සාදන ගෝලයන් ආත්මාර්ථකාමී හේතු නිසා දෙවිට සේවය කරනවා නම්, එම පොරොන්දුවල ඉටුවීම අපවත් ඔවුන්වත් දකින්න යන්නේ නැහැ. ඉශ්‍රායෙලිතයන් මෙන්, ‘යෙහෝවාට ප්‍රේම කිරීමටත්, ඔහුගේ හඬට කීකරු වීමටත්, ඔහුට ඇලුම්ව සිටීමටත්,’ අපද, අප උගන්වන අයද ඉගෙනගත යුතුයි. අපගේ දේවසේවය ඉටු කරද්දී අපි මෙය මතක තබාගෙන සිටිමු නම්, දෙවි ජනයා තමා වෙතට ඇදගැනීමට කරන කාර්යයට අප ඇත්තෙන්ම සහයෝගය දක්වමිනුයි සිටින්නේ.
දෙවිගේ හවුල් වැඩකරුවෝ
13, 14. (අ) පළමුවන කොරින්ති 3:5-9ට අනුව, අප දෙවි සමඟ හවුල් වැඩකරුවන් වන්නේ කෙසේද? (ආ) යම් වර්ධනයක් ඇතොත්, ඒ සඳහා ගෞරවය යා යුත්තේ කාටද? ඒ මන්ද?
13 කෙතක් වගා කිරීම උදාහරණයකට යොදාගනිමින්, පාවුල් දෙවි සමඟ සහයෝගයෙන් වැඩ කිරීම නිරූපණය කළා. ඔහු මෙසේ ලිව්වා: “ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? [ස්වාමීන්] එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය. මම හිටෙවුවෙමි, අපොල්ලොස් වතුර වත්කෙළේය; නුමුත් වර්ධනය දුන්නේ [දෙවිය]. එබැවින් වර්ධනය දෙන [දෙවි] මිස හිටවන තැනැත්තේද වතුර වත්කරන තැනැත්තේද කිසිත් නැත. හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය. මක්නිසාද අපි [දෙවිගේ] හවුල් වැඩකරන්නෝය. නුඹලා [දෙවිගේ] කෙතය, [දෙවිගේ] ගොඩනැගිල්ලය.”—1 කොරින්ති 3:5-9.
14 දෙවිගේ හවුල් වැඩකරුවන් වශයෙන්, අප “රාජ්‍යයේ වචනය” ජනයාගේ හෘදයන් තුළ විශ්වාසවන්තව පැළ කොට, උනන්දුව දැක්වූ ඕනෑම කෙනෙකු වෙනුවෙන් හොඳින් සූදානම් කළ නැවත බැලීමක් සහ බයිබල් පාඩමක් කිරීම තුළින් වතුර වත් කළ යුතුයි. හෘදය නමැති පස සරු නම්, බයිබල් සත්‍යය නමැති බීජය ඵල දරන පැළයක් දක්වා වර්ධනය කිරීමට යෙහෝවා තම කොටස ඉටු කරයි. (මතෙව් 13:19, 23) ඔහු තමා වෙතටත්, තම පුත්‍රයා වෙතටත් ඒ පුද්ගලයාව ඇදගනියි. එසේ නම්, රාජ්‍ය ප්‍රකාශකයන්ගේ සංඛ්‍යාව වැඩි වන්නේ ජනයාගේ හෘදයන්වලට යෙහෝවා ඇති කරන බලපෑම මතයි. ඔහු සත්‍යය නමැති බීජය වර්ධනය වීමට සලස්වමින්, තමා වෙතටත් තම පුත්‍රයා වෙතටත් එවැනි අයව ඇදගනියි.
අඛණ්ඩව පවතින ගොඩනැඟීමක්
15. ඇදහිල්ල ගොඩනංවන්න අන්‍යයන්ට අප උපකාර කරන ආකාරය පෙන්නුම් කිරීමට පාවුල් යොදාගත්තේ කුමන උපහැරණයද?
15 දැකීමට තිබෙන වර්ධනය ගැන අප ප්‍රීති වුණත්, ජනයා දිගටම යෙහෝවාට ප්‍රේම කිරීමත්, ඔහුගේ හඬට කීකරු වීමත්, ඔහුට ඇලුම්ව සිටීමත් දැකීම අපගේ අවංක ආශාවයි. ඇතැම් අය උදාසීන වී ඇදහිල්ලෙන් වැටී යන ආකාරය දැකීම අපගේ කනගාටුවට හේතුවක්. මෙය වළකාලීමට අපට යමක් කළ හැකිද? අන්‍යයන්ට ඇදහිල්ල වර්ධනය කරගැනීම සඳහා අපට උපකාර පිරිනැමිය හැකි ආකාරය ගෙනහැර පෑමට පාවුල් වෙනත් උපහැරණයක් යොදාගත්තා. ඔහු මෙසේ ලියයි: “දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් [ක්‍රිස්තුස්ය]. නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්, එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.”—1 කොරින්ති 3:11-13.
16. (අ) පාවුල් භාවිත කළ උපහැරණ දෙකේ පරමාර්ථ වෙනස් වන්නේ කෙසේද? (ආ) අපගේ ගොඩනැඟීමේ වැඩය සතුටුදායක නොවන, ගින්නට ඔරොත්තු නොදෙන එකක් බවට පත් විය හැක්කේ කෙසේද?
16 කෙත පිළිබඳ පාවුල්ගේ උපහැරණයේදී, වර්ධනය රඳා පවතින්නේ, කල්පනාකාරීව පැළ කිරීම, නිතිපතා වතුර වත් කිරීම මෙන්ම යෙහෝවාගෙන් ලැබෙන ආශීර්වාද මතයි. ප්‍රේරිතවරයාගේ අනික් උපහැරණයෙන් ගෙනහැර දක්වන්නේ ක්‍රිස්තියානි දේවසේවකයාගේ ගොඩනැඟීමේ වැඩයට අන්තිමේදී සිදු වන දේ සම්බන්ධයෙන් ඔහු දරන වගකීමයි. ඔහු ගොඩනැඟීම කර තිබෙන්නේ හොඳ අත්තිවාරමක් දැමීමෙන් සහ ඉහළ ගණයේ ද්‍රව්‍යවලින්ද? පාවුල් මෙසේ අනතුරු අඟවයි: “එකිනෙකා ඒ පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.” (1 කොරින්ති 3:10) පුද්ගලයෙකුට පාරාදීසයේ සදාකාල ජීවනය ලැබීමේ බලාපොරොත්තුව ගැන කියා ඔහුගේ හෝ ඇගේ උනන්දුව පුබුදුවාලීමෙන් පසු, අපි අපගේ ඉගැන්වීම් කේන්ද්‍රගත කරන්නේ බයිබල් දැනුමේ මූලික කාරණා මත පමණක්ද? එමෙන්ම අපි අවධාරණය කරන්නෙත් සදාකාල ජීවනය අත් කරගැනීමට පුද්ගලයෙකු කුමක් කළ යුතුද යන්න කෙරෙහි පමණක්ද? අප උගන්වද්දී, අපේ ඉගැන්වීම ‘පාරාදීසයේ සදහටම ජීවත් වන්න ඔබට ඕනෑ නම්, ඔබ පාඩම් කළ යුතුයි, රැස්වීම්වලට යා යුතුයි, දේශනා වැඩයෙහි සහභාගි විය යුතුයි’ යන අදහස්වලට සීමා වෙන්න බැරි නැද්ද? අප එසේ කරනවා නම්, අප පුද්ගලයෙකුගේ ඇදහිල්ල ස්ථිර අත්තිවාරමක් මත ගොඩනඟන්නේ නැහැ. තවද අප ගොඩනඟන දේට පීඩා නමැති ගින්නට එරෙහිව සිටින්නත්, දිගු කලක් පුරා විඳදරාගෙන සිටින්නත් බැරි වෙයි. යෙහෝවාට වසර කිහිපයක් සේවය කර පාරාදීසයක ජීවත් වන්න පුළුවන් කියා කීමෙන් පුද්ගලයන්ව යෙහෝවා වෙත ඇදගැනීමට උත්සාහ කිරීම “ලී තෘණ, පිදුරු” යොදා ගොඩනඟන්නාක් මෙනි.
දෙවි සහ ක්‍රිස්තුස් සඳහා ප්‍රේමය ගොඩනැඟීම
17, 18. (අ) පුද්ගලයෙකුගේ ඇදහිල්ල දිගටම පවතින්න නම්, නැතුවම බැරි දේ වන්නේ කුමක්ද? (ආ) පුද්ගලයෙකුගේ හෘදය තුළ ක්‍රිස්තුස්ව වාසය කිරීමට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද?
17 ඇදහිල්ල දිගටම පවතින්න නම්, යේසුස් ක්‍රිස්තුස් තුළින් යෙහෝවා දෙවි සමඟ ගොඩනැඟූ පෞද්ගලික සම්බන්ධයක් මත එය පදනම් විය යුතුයි. අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, දෙවි සමඟ එවැනි සාමදායී සම්බන්ධයක් අපට අත් කරගත හැක්කේ ඔහුගේ පුත්‍රයා තුළින් පමණයි. (රෝම 5:10) “මා කරණකොටගෙන මිස කිසිවෙක් [පියා] වෙතට පැමිණෙන්නේ [නැති]” බව යේසුස් පැවසූ බව මතක තබාගන්න. එවැනි ඇදහිල්ලක් ගොඩනැඟීමට අන්‍යයන්ට උපකාර කරන්න නම්, “දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් [ක්‍රිස්තුස්ය].” මෙයට අයත් වන්නේ කුමක්ද?—යොහන් 14:6; 1 කොරින්ති 3:11.
18 අත්තිවාරම ලෙස ක්‍රිස්තුස් මත ගොඩනැඟීමෙන් අදහස් කරන්නේ, යේසුස් සඳහා ගැඹුරු ප්‍රේමයක් වර්ධනය කරගන්නා ආකාරයකින් ඉගැන්වීමයි. එසේ කරන්නේ මිදුම්කාරයා, සභාවේ හිස, ප්‍රේමනීය උත්තම පූජකයා සහ පාලනය කරන රජ වශයෙන් ඔහුට හිමි කාර්යයන් ගැන පූර්ණ දැනුමක් ලබා දීමෙන්. (දානියෙල් 7:13, 14; මතෙව් 20:28; කොලොස්සි 1:18-20; හෙබ්‍රෙව් 4:14-16) මින් අදහස් කරන්නේ යේසුස්ව ඔවුන්ට කොතරම් සැබෑ කෙනෙකු වන්න සලස්වනවාද කිවහොත්, ඔහු ඔවුන්ගේ හෘදයන් තුළ වාසය කරන්නාක් මෙනි. ඔවුන් සඳහා අපගේ යාච්ඤා පාවුල් එපීසයේ ක්‍රිස්තියානීන් වෙනුවෙන් කළ ඉල්ලීමට සමාන විය යුතුයි. ඔහු මෙසේ ලිව්වා: “[පියාට] මම මාගේ දණනමා, . . . ඇදහිල්ල කරණකොටගෙන [ක්‍රිස්තුස්] නුඹලාගේ සිත් [හෘදයන්, NW] තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා [සිටින] . . . පිණිසත්, . . . යාච්ඤාකරමි.”—එපීස 3:14-19.
19. අපගේ බයිබල් ශිෂ්‍යයන්ගේ හෘදයන් තුළ ක්‍රිස්තුස් සඳහා ප්‍රේමය ගොඩනැඟීමේ ප්‍රතිඵලය කුමක් විය යුතුද? එනමුත් කුමක් ඉගැන්විය යුතුද?
19 අපගේ ශිෂ්‍යයන්ගේ හෘදයන් තුළ ක්‍රිස්තුස් සඳහා ප්‍රේමයක් වර්ධනය වන ආකාරයෙන් අප ඔවුන්ව ගොඩනඟනවා නම්, යෙහෝවා දෙවි සඳහා ප්‍රේමයක් නිරායාසයෙන්ම ගොඩනැඟීම එහි ප්‍රතිඵලය වෙයි. යේසුස්ගේ ප්‍රේමය, හැඟීම් සහ දයානුකම්පාව යෙහෝවාගේ ගුණාංගවල පිළිබිඹු වීමක් වෙනවා. (මතෙව් 11:28-30; මාර්ක් 6:30-34; යොහන් 15:13, 14; කොලොස්සි 1:15; හෙබ්‍රෙව් 1:3) එමනිසා, යේසුස්ව දැනහඳුනා ගෙන ප්‍රේම කිරීමට පුද්ගලයන්ට හැකි වන විට, යෙහෝවාව දැනහඳුනා ගෙන ප්‍රේම කිරීමට ඔවුන් සමත් වෙනවා.a (1 යොහන් 4:14, 16, 19) ක්‍රිස්තුස් මනුෂ්‍යවර්ගයා සඳහා කර ඇති සෑම දෙයක්ම පිටුපස යෙහෝවා සිටින බවත්, ඒ හේතුවෙන් “අපට ගැළවීම දෙන දෙවි” වශයෙන් යෙහෝවාට ස්තුතිය, ප්‍රශංසාව සහ නමස්කාරය ලබා දිය යුතු බවත් බයිබල් ශිෂ්‍යයන්ට අප ඉගැන්විය යුතුයි.—ගීතාවලිය 68:19, 20; යෙසායා 12:2-5; යොහන් 3:16; 5:19.
20. (අ) දෙවිට සහ ඔහුගේ පුත්‍රයා වෙතට සමීප වන්න ජනයාට උපකාර කරන්න අපට හැක්කේ කෙසේද? (ආ) මීළඟ ලිපියෙහි සලකා බලන්න යන්නේ කුමක්ද?
20 දෙවිගේ හවුල් වැඩකරුවන් වශයෙන්, ජනයාට තම හෘදයන් තුළ ප්‍රේමය සහ ඇදහිල්ල වර්ධනය කරගැනීමට උපකාර කිරීමෙන්, දෙවිට සහ ඔහුගේ පුත්‍රයාට සමීප වන්න ජනයාට උපකාර කරමු. එවිට ඔවුන් දෙවිව සැබෑ පුද්ගලයෙක් ලෙස දකියි. (යොහන් 7:28) ක්‍රිස්තුස් තුළින්, දෙවි සමඟ කිට්ටු සම්බන්ධයක් පිහිටුවීමට ඔවුන්ට හැකි වන අතරම, ඔවුන්ද ඔහුට ප්‍රේම කොට, ඔහුට ඇලුම්ව සිටියි. යෙහෝවාගේ විශිෂ්ට පොරොන්දු ඔහු නියම කර ඇති කාලයේදී ඉටු වන බවට ඔවුන් ඇදහිල්ලක් දක්වන හෙයින්, ප්‍රේමයෙන් පෙලඹෙන ඔවුන්ගේ සේවය යම් කාලපරිච්ඡේදයකට සීමා වී පවතින්නේ නැහැ. (විලාප ගී 3:24-26; හෙබ්‍රෙව් 11:6) කෙසේවෙතත්, ඇදහිල්ල, බලාපොරොත්තුව සහ ප්‍රේමය ගොඩනඟාගැනීමට අන්‍යයන්ට උපකාර කිරීම ප්‍රමාණවත් නැහැ. ප්‍රබල වූ ඕනෑම කුණාටුවකට මුහුණ දෙන්න හැකි ශක්තිමත් නැවක් මෙන් අපි අපගේම ඇදහිල්ල ගොඩනැඟිය යුතුයි. මෙම කාරණය මීළඟ ලිපියෙහි සලකා බලනු ලබනවා.
[පාදසටහන]
a යේසුස්වත්, ඔහු තුළින් ඔහුගේ පියා වන යෙහෝවාවත් වඩාත් හොඳින් දැනගැනීමට හොඳ ආධාරකයකි, Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා නමැති පොත.
පුනරීක්ෂණය
◻ රාජ්‍යය පණිවිඩය ගැන අප සාමාන්‍යයෙන් ජනයාගේ උනන්දුව පුබුදුවාලන්නේ කෙසේද? එනමුත් පවතින අන්තරාව කුමක්ද?
◻ යෙහෝවා තමා වෙතටත්, තම පුත්‍රයා වෙතටත් ඇදගන්නේ කවර ආකාරයේ පුද්ගලයන්වද?
◻ ඉශ්‍රායෙලිතයන් පොරොන්දු දේශයට ඇතුල් වීම රඳා පැවතුණේ කුමක් මතද? අපට මෙයින් කුමක් උගත හැකිද?
◻ යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා වෙතට සමීප වන්න ජනයාට උපකාර කිරීමේදී අපට හිමිව ඇත්තේ කුමන කාර්යයද?
[10වන පිටුවේ පින්තූරය]
පාරාදීසයක සදාකාල ජීවනය නමැති බලාපොරොත්තුව අප ජනයා ඉදිරියෙහි තැබුවද, අපගේ මූලික පරමාර්ථය විය යුත්තේ ඔවුන්ව යෙහෝවා වෙතට ඇදගැනීමයි
[13වන පිටුවේ පින්තූර]
අප හොඳින් සූදානම් වෙනවා නම්, අපගේ නැවත බැලීම්වලින් ඉතා සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකියි