බයිබල් අනාවැකි ඔබට විශ්වාස කළ හැකි හේතු
වයඹදිග ග්‍රීසියේ එපයිරස්හි පයිරස් රජ රෝම අධිරාජ්‍යයට එරෙහිව දිගු-කාලීන ගැටුමක නිරත වී සිටියා. එහි ප්‍රතිඵලය දැනගැනීම සඳහා අවසාන පියවර වශයෙන්, ඔහු ඩෙල්ෆිහි පේන කියන දේවාලයෙන් විමසීමට ගියා. නමුත් ඔහු ලද පිළිතුර මතු දැක්වෙන පරිදි දෙයාකාරයකට තේරුම්ගැනීමට හැකි වුණා: (1) “අයිකස්ගේ පුත්‍රය, ඔබට රෝමය පැරදවිය හැකියි කියා මම පවසමි. ඔබ යන්නේය, නැවත එන්නේය, කිසිදා යුද්ධයෙන් මිය නොයන්නේය.” (2) “අයිකස්ගේ පුත්‍රය, රෝමයට ඔබව පැරදවිය හැකියි කියා මම පවසමි. ඔබ යන්නේය, නැවත කිසිදා නොඑන්නේය, යුද්ධයෙන් මිය යන්නේය.” පේනයෙන් කියන ලද මුල් කාරණය තේරුම්ගැනීමට ඔහු තෝරාගත් නිසා රෝමයට විරුද්ධව නැඟී සිටියා. පයිරස් අන්ත පරාජයක් අද්දැක්කා.
එවැනි සිදුවීම් හේතුවෙන් පේනකියන්නන්ගේ අනාවැකි, ව්‍යාකූල මෙන්ම අපැහැදිලි ඒවා වශයෙන් ප්‍රසිද්ධියක් උසුලා තිබුණා. නමුත් බයිබල් අනාවැකි සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? බයිබලයේ අනාවැකිත්, පේනකියන්නන්ගේ අනාවැකිත් අතර එතරම්ම වෙනසක් නැති බව සමහර විවේචකයන් පවසනවා. මෙම විවේචකයන් බයිබල් අනාවැකි සම්බන්ධයෙන් අනුමාන කළා; ඒවා, බොහෝවිට පූජක පංතියේ අතිදක්ෂ, පුළුල් අවබෝධ ශක්තියක් ඇති පුද්ගලයන් විසින් අනාගත සිද්ධීන් සම්බන්ධයෙන් හුදෙක් දක්ෂ ලෙස කළ පුරෝකථනයන් හැටියටයි ඔවුන් සලකන්නේ. ඔවුන්ගේ මතය වන්නේ මේ මනුෂ්‍යයන්, ලැබී ඇති අද්දැකීම්වලින් හෝ බලවත් පුද්ගලයන් සමඟ ඔවුන්ගේ සබඳතාවන් මගින් ඇතැම් තත්වයන්වල ස්වාභාවික වර්ධනයන් කලින් දැක්ක බවයි. බයිබල් අනාවැකිවල විවිධ අංගලක්ෂණ පේනකියන්නන්ගේ අනාවැකිවල අංගලක්ෂණ සමඟ සැසඳීමෙන්, සුදුසු නිගමනයන්ට එළඹීමට අපි වඩාත් හොඳින් සෑදී පැහැදී සිටිනු ඇත.
එකිනෙකට පටහැනි කරුණු
පේනකියන්නන්ගේ අනාවැකිවල හඳුනාගැනීමේ ලක්ෂණය වුණේ ඒවායේ ව්‍යාකූලභාවයයි. උදාහරණයක් වශයෙන්, ඩෙල්ෆිහිදී පිළිතුරු සැපයුවේ අපැහැදිලි ආකාරයකිනි. මේ නිසා ඒවාට අර්ථකථනයක් දී, එකිනෙකට පටහැනි අර්ථ දෙකක් දිය හැකි කාව්‍යමය වදන් බවට ඒවා පරිවර්තනය කිරීමට පූජකයන්ට සිදු වුණා. ලිඩියාහි රජු වූ ක්රීසස්ට දුන් පිළිතුර මෙයට කදිම උදාහරණයක්. ඔහු පේන කියන තැනට ගිය විට ඔහුට පවසනු ලැබුවේ, “හේලිස් නදිය හරහා ක්‍රීසස් ගියහොත් ඔහු බලසම්පන්න අධිරාජ්‍යයක් විනාශයට පත් කරන” බවයි. ඇත්තෙන්ම, විනාශ වුණේ ඔහුගේම “බලසම්පන්න අධිරාජ්‍යයයි!” හේලිස් නදිය හරහා කපදෝකිය ආක්‍රමණය කිරීමට ක්‍රීසස් ගිය විට, පර්සියානු සයිරස්ගේ අතින් ඔහු පරාජයට ලක් වුණා.
පේනකියන්නන්ගේ මිථ්‍යා අනාවැකිවලට සම්පූර්ණයෙන්ම වෙනස්ව, බයිබල් අනාවැකි, ඒවායේ නිවැරදිභාවය හා පැහැදිලිකම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලනවා. බයිබලයේ යෙසායා පොතේ වාර්තා වී ඇති බබිලෝනියේ වැටීම සම්බන්ධයෙන් වූ අනාවැකිය උදාහරණයක් වශයෙන් දැක්විය හැකියි. මේ සිද්ධිය හටගැනීමට වසර 200කට පමණ පෙර, මේද-පර්සියාව මගින් බබිලෝනිය පරාජය කිරීම සම්බන්ධයෙන් විස්තර සහිතව, නිවැරදි ආකාරයකින් ප්‍රොපේත යෙසායා අනාවැකි පළ කළා. ජයග්‍රාහකයා වන්නේ කෝරෙෂ් යන නම දරන්නා බව අනාවැකියේ හෙළි කළ අතර, ආරක්ෂාවට කපා තිබූ අගලක් වැනි ගඟ හිඳවීමේ උපාය හා ආරක්ෂා සහිත නගරයක් තුළට අරිනු ලැබූ දොරවල් තුළින් ඇතුල් වීම ගැනත් එය එළිදරව් කළා. මේ සියල්ල නියම විදිහටම ඉටු වුණා. (යෙසායා 44:27–45:2) අවසානයේදී බබිලෝනිය ජන ශුන්‍ය වන බවටත් එහි නිවැරදිව පුරෝකථනය කර තිබුණා.—යෙසායා 13:17-22.
ප්‍රොපේත යෝනා විසින් ප්‍රකාශ කළ මෙම අනතුරු ඇඟවීමේ පැහැදිලිකම ගැනත් සලකා බලන්න: “තව සතළිස් දවසකින් නිනිවය හෙළාදමනු ලැබේ.” (යෝනා 3:4) මෙහි කිසි අපැහැදිලිකමක් දකින්න නැහැ! පණිවිඩය කොතරම් ප්රබලව හා ඍජුව තිබුණාද කිවහොත්, නිනිවයේ මනුෂ්‍යයන් ඒ මොහොතේදීම ‘දෙවි කෙරෙහි විශ්වාස කොට, උපවාසයක් ප්‍රසිද්ධ කර, ගෝණිරෙදි පොරවාගත්තා.’ ඔවුන්ගේ පසුතැවිලි වීමේ ප්‍රතිඵලයක් වශයෙන්, ඒ අවස්ථාවේදී යෙහෝවා නිනිවයට විපත්තියක් පැමිණෙව්වේ නැහැ.—යෝනා 3:5-10.
දේශපාලනික බලපෑම් කිරීමේ මාධ්‍යයක් වශයෙන් පේනකියන්නන්ගේ අනාවැකි යොදාගැනුණා. පාලකයන් හා හමුදා නායකයන් බොහෝවිට තමන්ගේම පෞද්ගලික කාරණා හා ව්‍යාපාරයන් වැඩිදියුණු කරගැනීමට “දිව්‍යමය අනුග්‍රහයක්” තිබෙන බව පෙන්වීම සඳහා, තමන්ට රිසි අර්ථයක් ඇති පරිවර්තනය සඳහන් කළා. කෙසේවුවත්, දෙවිගේ අනාවැකිමය පණිවුඩ දෙනු ලැබුවේ පුද්ගලයන්ගේ කැමැත්ත නොසලකායි.
නිදසුනක්: යෙහෝවාගේ ප්‍රොපේත නාතාන්, වැරදි කළ දාවිත් රජුට තරවටු නොකර හැරියේ නැහැ. (2 සාමුවෙල් 12:1-12) ඉශ්රායෙලයේ ගෝත්‍ර-දහයේ රාජ්‍යය පුරා IIවන යෙරොබොවම්ගේ පාලන සමයේදී, මෙම කැරලිකාර රජුගේ හා ඔහුගේ සහායකයන්ගේ ඇදහිල්ල අත්හැර යෑම නිසා හා දෙවි ඉදිරියෙහි අගෞරවනීය ලෙස හැසිරීම නිසා, ප්‍රොපේත හොෂෙයා හා ආමොස් ඔවුන්ව දැඩි ලෙස විවේචනය කළා. (හොෂෙයා 5:1-7; ආමොස් 2:6-8) ප්‍රොපේත ආමොස්ගේ මුඛයෙන් රජුට දුන් යෙහෝවාගේ අනතුරු ඇඟවීම ඊටත් වඩා දැඩි එකක් වුණා: “මම යෙරොබෝවම්ගේ වංශයට විරුද්ධව කඩුවක් ඇතුව නැගිටින්නෙමි.” (ආමොස් 7:9) යෙරොබොවම්ගේ නිවස විනාශ කරනු ලැබුවා.—1 රාජාවලිය 15:25-30; 2 ලේකම් 13:20.
බොහෝ අවස්ථාවලදී පේනකියන්නන් අනාවැකි පැවසුවේ යම් මුදලකටයි. වැඩියෙන් ගෙවන තරමට තමයි තමා කැමති අනාවැකිය ලබාගැනීමට ඔහුට හැකි වුණේ. ඩෙල්ෆිහි පේන කියන ස්ථානයට යන අය, ඵලක් නැති තොරතුරුවලට අධික මිලක් ගෙවූ අතර, එමගින් ඇපොලෝගේ දේවාලය හා අමතර ගොඩනැඟිලිත් වස්තු කන්දරාවකින් පුරවනු ලැබුවා. මීට පටහැනිව, බයිබල් අනාවැකි හා අනතුරු ඇඟවීම් දී තිබෙන්නේ කිසිම මිලක් අය නොකර හා කිසිම පක්ෂපාතීත්වයක් නොදක්වායි. එසේ කරනු ලැබුවේ ඒවා යොමු කර ඇති පුද්ගලයන්ගේ තත්වය හෝ ධනය නොසලකා හරිමින් අපක්ෂපාතීවයි; එසේ වන්නේ සැබෑ ප්රොපේතවරයෙකුට අල්ලස් දීමට නොහැකි නිසයි. ප්‍රොපේත මෙන්ම විනිශ්චකාර සාමුවෙල්ට අවංකවම මෙසේ ඇසීමට හැකි වුණා: “මාගේ ඇස් වසාගන්න පිණිස කාගෙන් අල්ලසක් ගතිම්ද?”—1 සාමුවෙල් 12:3.
පේනකියන්නන් අනාවැකි පැවසුවේ විශේෂ ස්ථානවලදී පමණක් බැවින්, ඒවා ඇසීමට එහි ගමන් කිරීම සඳහා පුද්ගලයෙකුට සෑහෙන වෑයමක් දරන්න සිදු වුණා. ඒවා පිහිටා තිබුණේ එපයිරස්හි ටොමාරුස් කන්දේ ඩඩෝන හා මධ්‍යම ග්‍රීසියේ කඳුකරයෙහි ඩෙල්ෆි වැනි ස්ථානවල බැවින්, සාමාන්‍ය පුද්ගලයෙකුට ඒ ස්ථාන කරා යෑම අතිශයින්ම දුෂ්කර කාර්යයක් වුණා. බොහෝදුරට, එවැනි පේන කියන ස්ථානවලදී දෙවිවරුන්ගෙන් කාරණා විමසීමට හැකි වුණේ ධනවත් හා බලවත් අයට පමණයි. එපමණක්ද නොව, “දෙවිවරුන්ගේ කැමැත්ත” හෙළි කළේ වසරේ දවස් කීපයකදී පමණයි. ඊට හාත්පසින්ම වෙනස්ව, යෙහෝවා දෙවි ඔහුගේ ප්‍රොපේත පණිවුඩකරුවන්ව ජනයා වෙත කෙළින්ම යවා, ඔවුන් සවන් දිය යුතු අනාවැකි ප්‍රකාශ කිරීමට සැලැස්සුවා. උදාහරණයක් වශයෙන්, යුදෙව්වන් බබිලෝනියේ වහල්භාවයේ සිටි සමයේදී, තම සෙනඟ අතරේ සේවය කිරීමට දෙවි අඩුම තරමින් ප්‍රොපේතවරුන් තුන්දෙනෙකුවවත් එව්වා; යෙරෙමියා යෙරුසලමෙහිත්, එසකියෙල් වහල්භාවයේ සිටි අය සමඟත්, දානියෙල් බබිලෝනි අධිරාජ්‍යයේ අගනුවරෙහිත් සේවය කළා.—යෙරෙමියා 1:1, 2; එසකියෙල් 1:1; දානියෙල් 2:48.
පේනයෙන් කියන අනාවැකි සාමාන්‍යයෙන් දෙනු ලැබුවේ පෞද්ගලිකවයි; එනිසා අනාවැකියක් අසන්න ලැබූ තැනැත්තාට එහි අර්ථකථනය තමාගේ වාසිය තකා යොදාගන්න පුළුවන් වුණා. මීට පටහැනිව, බොහෝවිට බයිබල් අනාවැකි දෙනු ලැබුවේ සියලුදෙනාටම පණිවුඩය අසා, එයින් අදහස් කරන දේවල් තේරුම්ගත හැකි වන පිණිස ප්‍රසිද්ධියේයි. නායකයන් අතර හා නගරවාසීන් අතර තමාගේ පණිවුඩය ජනප්‍රිය නොවන බව දැන සිටියත් ප්‍රොපේත යෙරෙමියා බොහෝ අවස්ථාවල යෙරුසලමෙහිදී ප්‍රසිද්ධියේ කතා කළා.—යෙරෙමියා 7:1, 2.
අදදින, පේනයෙන් කියන අනාවැකි සලකන්නේ ඉපැරණි ඉතිහාසයට සීමා වූ දෙයක් වශයෙනි. අපේ අන්තරා සහිත කාලවල ජීවත් වන ජනයා සඳහා ඒවායේ කිසි ප්‍රායෝගික වටිනාකමක් නැහැ. එවැනි අනාවැකි කිසිවක් අපේ දවස් සම්බන්ධයෙන්වත්, අපේ අනාගතය සම්බන්ධයෙන්වත් සඳහන් කරන්නේ නැහැ. ඊට හාත්පසින්ම වෙනස්ව, බයිබල් අනාවැකි ‘දෙවිගේ වචනයේ’ කොටසක් වන අතර එය “ජීවමානය, බලවත්ය.” (හෙබ්‍රෙව් 4:12) දැනටමත් ඉටු වී ඇති බයිබල් අනාවැකි, ජනයා සමඟ යෙහෝවාගේ කටයුතු සම්බන්ධයෙන් නිදසුනක් සපයන අතර, ඔහුගේ අරමුණු හා පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් වැදගත් අංගයන් හෙළි කරනවා. ඊට අමතරව, වැදගත් බයිබල් අනාවැකි නුදුරු අනාගතයෙහි ඉටුවීමට තිබෙනවා. ඉදිරියෙහි ඇති දේ විස්තර කරමින්, ප්‍රේරිත පේතෘස් මෙසේ ලිව්වා: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද [ඔහුගේ] පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.”—2 පේතෘස් 3:13.
බයිබල් අනාවැකි හා බොරු ආගම්වල කියන අනාවැකි මෙසේ කෙටියෙන් සසඳා බැලීමෙන් ඔබට උසස් අදහස් (ඉංග්‍රීසියෙන්) නමැති පොතේ ප්‍රකාශ කර තිබෙනවා හා සමාන නිගමනයකට එළඹිය හැකියි. එහි මෙසේ ප්‍රකාශ කරනවා: “මැරෙනසුලු මනුෂ්‍යයාට ඉදිරිය ගැන කීමට තිබෙන හැකියාව ගැන සලකා බලන කල, හෙබ්‍රෙව් අනාගතවක්තෘවරු විශිෂ්ට ගණයෙහිලා සැලකිය හැකියි. මිථ්‍යා දෘෂ්ටික දිවැසිවරයන් හෝ පේනකියන්නන් මෙන් නොව . . . දිව්‍ය රහස් හෙළි කරගැනීමට ඔවුන්ට යම් ශාස්ත්‍රයක් හෝ වෙන යම් දෙයක් අවශ්‍ය නොවේ. . . . වෙනත් පේනකියන්නන් මෙන් නොව ඔවුන්ගේ අනාවැකි ව්යාකූලබවෙන් හා අපැහැදිලිබවෙන් තොරයි. පෙනෙන විදිහට අඩුම තරමින් අනාවැකි කීමේ අදහස වූයේ එවැනි කාරණා සම්බන්ධයෙන් දෙවිගේ විධිවිධානය සඟවාගැනීමට නොව එළිදරව් කිරීමටයි; තවද දෙවිත් දිව්‍ය ආරක්ෂාව ලබා දෙන ආකාරය මනුෂ්‍යයන් කලින් දකිනවාට කැමතියි.”
ඔබ බයිබල් අනාවැකි විශ්වාස කරනවාද?
බයිබල් අනාවැකි විශ්වාස කිරීමට ඔබට හැකියි. ඇත්තවශයෙන්ම, යෙහෝවා මෙන්ම ඔහුගේ අනාවැකිමය වචනවල ඉටුවීම වටා ඔබේ ජීවිතය ගොඩනංවාගැනීමට ඔබට හැකියි. බයිබල් අනාවැකි දැනටමත් ඉටු වී තිබෙන අනාවැකිවල මළ වාර්තාවක් නොවෙයි. ශුද්ධ ලියවිලිවල දකින්න තිබෙන බොහෝ අනාවැකි දැන් ඉටු වෙමින් පවතින අතර, නුදුරු අනාගතයෙහිදීත් ඉටුවීමට තිබෙනවා. අතීතය දෙස බලා විනිශ්චය කිරීමෙන්, ඒවාත් ඉටු වෙයි කියා අපට පූර්ණ විශ්වාසයක් තැබිය හැකියි. එවැනි අනාවැකි අපේ කාලවලට යොමු දක්වන අතර අපේ අනාගතයට සම්බන්ධව තිබෙන නිසා, අප ඒවා සැහැල්ලුවෙන් නොසැලකිය යුතුයි.
යෙසායා 2:2, 3හි ඇති බයිබල් අනාවැකිය ඔබට සහතිකවම විශ්වාස කළ හැකියි: ‘මතු දවස්වලදී යෙහෝවාගේ ගෘහයේ කන්ද කඳු මුදුනේ පිහිටුවන ලදුව හෙල්වලට වඩා උස් වන්නේය; . . . බොහෝ ජනයෝද පිටත්ව කතාකොට: එන්න, යෙහෝවාගේ කන්දට යමු; ඔහු තමන්ගේ මාර්ග අපට උගන්වන්නේය, අපිද ඔහුගේ මාවත්වල යන්නෙමුයයි කියන්නෝය.’ අදදින, මිලියන සංඛ්‍යාත ජනකායක් යෙහෝවාගේ උසස් කරනු ලැබූ නමස්කාරය වැලඳගන්නා අතර ඔහුගේ මාර්ගවල ගමන් කිරීමට ඉගෙනගනිමින් සිටිනවා. දෙවිගේ මාර්ගවල ගමන් කිරීම සඳහා ඔහුට හා ඔහුගේ අරමුණුවලට ගරු කරමින් ඔහුගේ මාර්ග ගැන වැඩියෙන් ඉගෙනගැනීමට හා නිවැරදි දැනුම ලබාගැනීමට තිබෙන ප්‍රස්තාව ඔබ අල්ලාගන්න යනවාද?—යොහන් 17:3.
තවත් බයිබල් අනාවැකියක ඉටුවීමක් සඳහා අපේ පැත්තෙන් යම් හදිසි ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍ය කරනවා. නුදුරු අනාගතය සම්බන්ධයෙන්, ගීතිකාකරු අනාවැකිමය ආකාරයකින් මෙසේ ගායනා කළා: “නපුරු ක්‍රියා කරන්නෝ සිඳිනු ලබන්නෝය. . . . මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය.” (ගීතාවලිය 37:9, 10) බයිබල් අනාවැකිවලට ගරහන අය ඇතුළු දුෂ්ටයන්ට සිදුවීමට නියමිත විනාශයෙන් බේරීමට අවශ්‍ය වන්නේ කුමක් කියාද ඔබ සිතන්නේ? එම ගීතාවලියේම මෙසේ පිළිතුරු දෙනවා: “[යෙහෝවා] කෙරෙහි බලා සිටින්නෝ දේශය උරුම කරගන්නෝය.” (ගීතාවලිය 37:9) යෙහෝවා කෙරෙහි බලා සිටීම යන්නෙන්, ඔහුගේ පොරොන්දු කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තැබීමත්, අපේ ජීවිත ඔහුගේ ප්‍රමිතිවලට එකඟ කිරීමත් අදහස් වෙනවා.—හිතෝපදේශ 2:21, 22.
යෙහෝවා කෙරෙහි බලා සිටින අය පොළොව උරුම කරගන්නා විට ජීවිතය කොයි වගේ එකක් වේවිද? නැවතත්, කීකරු මනුෂ්‍යවර්ගයා සඳහා මහිමාන්විත අනාගතයක් නියම කර තිබෙන බවට බයිබල් අනාවැකි හෙළි කරනවා. ප්‍රොපේත යෙසායා මෙසේ ලිව්වා: “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය. මක්නිසාද කාන්තාරයෙහි ජලයද මරුකතරෙහි දොළ පාරවල්ද බිඳඑන්නේය.” (යෙසායා 35:5, 6) ප්‍රේරිත යොහන් මෙම වචනවලින් එය යළි තහවුරු කළා: ‘යෙහෝවා ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. සිංහාසනය පිට වැඩහුන් තැනැත්තා කතා කොට: ලියන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීවේය.’—එළිදරව් 21:4, 5.
බයිබලය විශ්වාසවන්ත අනාවැකිවලින් සමන්විත පොතක් බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දන්නවා. එමෙන්ම ප්‍රේරිත පේතෘස්ගේ අවවාදයට ඔවුන් සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා: “ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ. . . . අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් තුළෙහි පායනතුරු අඳුරු තැනක බබළන පහනක්මෙන් එය සලකන්නහු නම් යහපත්ය.” (2 පේතෘස් 1:18ආ, 20) අපේ අවංක බලාපොරොත්තුව, අනාගතය සඳහා බයිබල් අනාවැකිවල ඉදිරිපත් කරන උතුම් අපේක්ෂාවලින් ඔබ දිරිගැන්වෙනවා දැකීමයි!
[6වන පිටුවේ කොටුව⁄පින්තූර]
ඩෙල්ෆිහි පේන කියන ස්ථානය
පුරාණ ග්‍රීසියෙහි වැඩියෙන්ම ප්‍රසිද්ධියක් ඉසිලූ ස්ථානයයි
මත් කරවන ධූමයෙන් පූජකවරිය ආවේශ වුණා
[පින්තූර]
පූජකවරිය මෙම කනප්පුව මත හිඳගෙන ඇගේ පේනයන් කියනු ලැබුවා
ඇය පිට කළ අපැහැදිලි වචනවල ඇපොලෝ දෙවිගෙන් පැමිණි එළිදරව් කිරීම් අඩංගු බවට විශ්වාස කෙරේ
[හිමිකම් විස්තර]
කනප්පුව: From the book Dictionary of Greek and Roman Antiquities; ඇපොලෝ: The Complete Encyclopedia of Illustration/J. G. Heck
[7වන පිටුවේ පින්තූරය]
ඩෙල්ෆිහි පේන කියන ස්ථානයෙහි දුන් අනාවැකි කොහෙත්ම විශ්වාස කළ නොහැකි ඒවායි
[හිමිකම් විස්තර]
Delphi, Greece
[8වන පිටුවේ පින්තූර]
නව ලෝකය පිළිබඳ බයිබල් අනාවැකි කෙරෙහි ඔබට සම්පූර්ණ විශ්වාසයක් තැබිය හැකියි