ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w98 11/1 8-13 පි.
  • ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද?
  • 1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • හරි අත්තිවාරම දැමීම
  • නිවැරදි ද්‍රව්‍යවලින් ගොඩනැඟීම
  • ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද?
  • වගකීම කාගේද?
  • අපගේ දරුවන් තුළ ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ගොඩ නැංවීම
    1992 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවාට සමීප වන්න ජනයාට උපකාර කිරීම
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබේම ගැළවීම ඉෂ්ට කරගනිමින් සිටින්න!
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w98 11/1 8-13 පි.

ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද?

“එකිනෙකා [අත්තිවාරම] පිට ගොඩනගන්නේ කෙසේදැයි බලාගනීවා.”—1 කොරින්ති 3:10.

1. අනාගත ගෝලයන් ගැන ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන්ට ඇත්තේ කිනම් බලාපොරොත්තුවක්ද?

විවාහක ක්‍රිස්තියානි යුවළක් තම අලුත උපන් දරුවා දෙස ඉතා ඕනෑකමින් බලා සිටියි. උනන්දුවෙන් පිරි, සැලකිලිමත්භාවයක් බයිබල් ශිෂ්‍යයෙකුගේ මුහුණෙහි දිස් වෙනවා රාජ්‍ය ප්‍රචාරකයෙක් දකියි. සබයේ සිටින උනන්දුව දැක්වූ නවකයෙක් දැඩි ආශාවකින් බයිබල් පද බලන ආකාරය වේදිකාවේ සිට උගන්වන ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් දකියි. යෙහෝවාගේ මෙම ඇදහිලිවන්ත සේවකයන් සිටින්නේ, බලාපොරොත්තු පොදි බැඳගත් හදවත්වලින් යුතුවයි. ‘මෙයා යෙහෝවාට ප්‍රේමනීයව සේවය කරල, ඇදහිලිවන්තව දිගටම ඉඳියිද?’ කියා කල්පනා කරන එක ස්වාභාවිකයි. ඇත්තවශයෙන්ම, එවැනි ප්‍රතිඵලයක් ස්වයංක්‍රීයව සිදු නොවෙයි. ඒ සඳහා වැඩ කිරීම අවශ්‍ය කරයි.

2. ඉගැන්වීමේ වැඩයේ ඇති වැදගත්කම ගැන ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ට මතක් කළේ කෙසේද? එමෙන්ම, මෙය කිනම් ආත්ම-පරීක්ෂණයක් කිරීමට අපව පෙලඹවිය යුතුද?

2 ඉතා නිපුණ ගුරුවරයෙක් වූ ප්‍රේරිත පාවුල්, ඉගැන්වීමේ සහ ගෝලයන් සෑදීමේ වැඩයෙහි ඇති වැදගත්කම කාවැද්දුවා. ඒ ගැන ඔහු මෙසේ ලිව්වා: “කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව [තිබේ.]” (හෙබ්‍රෙව් 5:12) එහිදී ඔහු ඇමතූ ක්‍රිස්තියානීන්, ඇදහිලිවන්තයන්ව සිටි දීර්ඝ කාලය ගැන සලකා බලද්දී, ඔවුන් ලබා තිබුණේ අල්ප ප්‍රගතියක් පමණයි. අන් අයට ඉගැන්වීමට ඔවුන් සූදානම්ව නොසිටියා පමණක් නොව, ඔවුන්ට සත්‍යයේ මූලික කාරණා මතක් කර දීමටත් අවශ්‍ය වුණා. අදදින සිටින අප සියලුදෙනාම, ගුරුවරුන් හැටියට අපේ හැකියාවන් කිරා මැන බලා, වැඩිදියුණු විය හැකි පැති ගැන සලකා බැලීම යහපත් දෙයක් වෙයි. ජීවිත තිබෙන්නේ අනතුරේ. ඒ ගැන අපට කුමක් කළ හැකිද?

3. (අ) ක්‍රිස්තියානි ගෝලයෙකුව සෑදීමේ ක්‍රියාවලිය ප්‍රේරිත පාවුල් සමාන කළේ කුමකටද? (ආ) ක්‍රිස්තියානි ගොඩනඟන්නන් හැටියට, අපට ඇත්තේ කිනම් මහත් වරප්‍රසාදයක්ද?

3 එකිනෙකට සම්බන්ධ නිදර්ශනයක් පාවිච්චි කරමින්, ගෝලයන් සෑදීම, ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ ක්‍රියාවලියට පාවුල් සමාන කළා. මෙසේ කියමින් ඔහු එය ඇරඹුවා: “අපි [දෙවිගේ] හවුල් වැඩකරන්නෝය. නුඹලා [දෙවිගේ] කෙතය, [දෙවිගේ] ගොඩනැගිල්ලය.” (1 කොරින්ති 3:9) මෙසේ, ජනයා ඇතුළත් ගොඩනැඟීමේ වැඩයක අප හවුල් වී සිටිනවා. ඔවුන්ට ක්‍රිස්තුස්ගේ ගෝලයන් වීම දක්වා ගොඩනැඟෙන්න අප උපකාර කරනවා. අප එසේ කරන්නේ, “සියලු දේවල් පිහිටෙවු” තැනැත්තාගේ හවුල් වැඩකරුවන් හැටියටයි. (හෙබ්‍රෙව් 3:4) එය මොනතරම් වරප්‍රසාදයක්ද! කොරින්තිවරුන්ට වූ පාවුල්ගේ ආනුභාවය ලත් උපදෙස්, අපේ වැඩයෙහි වඩා නිපුණ වීමට අපට උපකාර කරන්නේ කෙසේද කියා අපි බලමු. විශේෂයෙන්ම අපි අපේ “ඉගැන්වීමේ කලාව” වෙත අවධානය යොමු කරමු.—2 තිමෝති 4:2, NW.

හරි අත්තිවාරම දැමීම

4. (අ) ක්‍රිස්තියානි ගොඩනැඟීමේ වැඩයෙහි පාවුල්ගේ කාර්යභාරය කුමක් වීද? (ආ) යේසුස් මෙන්ම ඔහුගේ ශ්‍රාවකයන්, හොඳ අත්තිවාරමක අගය දැන සිටි බව කිව හැක්කේ මන්ද?

4 ගොඩනැඟිල්ලක් ශක්තිමත් සහ කල්පවතින එකක් වීමට නම්, ඊට හොඳ අත්තිවාරමක් දැමීම අවශ්‍යයි. මේ හේතුවෙන් පාවුල් මෙසේ ලිව්වා: ‘මට දෙන ලද දෙවිගේ අනුග්‍රහය [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාව, NW] පරිද්දෙන් ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු මෙන් මම අත්තිවාරමක් දැමීමි.’ (1 කොරින්ති 3:10) සමාන නිදර්ශනයක් පාවිච්චි කරමින්, නිවස ගොඩනැඟූ තැනැත්තා ශක්තිමත් අත්තිවාරමක් තෝරාගෙන තිබූ නිසා කුණාටුවකින් බේරුණු නිවසක් ගැන යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (ලූක් 6:47-49) අත්තිවාරම්වල ඇති වැදගත්කම යේසුස් හොඳ හැටි දැනගෙන සිටියා. යෙහෝවා පොළොව පිහිටුවද්දී ඔහු සිටියා.a (හිතෝපදේශ 8:29- 31) යේසුස්ගේ ශ්‍රාවකයන්ද හොඳ අත්තිවාරම්වල ඇති වැදගත්කම තේරුම්ගෙන සිටියා. ඇතැම් අවස්ථාවල පලස්තීනයේ ඇති වූ ධාරානිපාත වර්ෂා සහ භූමිකම්පාවලින් පසු ඉතිරි වුණේ, හොඳින් පිහිටෙවූ නිවාස පමණයි. එසේනම්, පාවුල්ගේ මනසේ තිබුණේ කිනම් ආකාරයේ අත්තිවාරමක් ගැනද?

5. ක්‍රිස්තියානි සභාවේ අත්තිවාරම කව්ද? එමෙන්ම මෙය පුරෝකථනය කළේ කෙසේද?

5 පාවුල් මෙසේ ලිව්වා: “දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන, ඒ අත්තිවාරම නම් යේසුස් [ක්‍රිස්තුස්ය].” (1 කොරින්ති 3:11) යේසුස්ව අත්තිවාරමකට සමාන කර තිබෙන මුල් වතාව මෙය නොවෙයි. ඇත්තෙන්ම, යෙසායා 28:16හි මෙසේ පුරෝකථනය කළා: “ස්වාමිවූ [යෙහෝවා] මෙසේ [කියන්නේය]: බලව, මම අත්තිවාරමක් පිණිස ගලක් එනම් පරීක්ෂාකරනලද ගලක්, සවි අත්තිවාරමක්වූ අනර්ඝ කොනේ ගලක් සියොන්හි තබමි.” තම පුත්‍රයා ක්‍රිස්තියානි සභාවේ අත්තිවාරම වන බව යෙහෝවා බොහෝ කාලයකට පෙර සිට අරමුණු කර තිබුණා.—ගීතාවලිය 118:22; එපීස 2:19-22; 1 පේතෘස් 2:4-6.

6. කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන් සඳහා පාවුල් සුදුසු අත්තිවාරමක් දැමුවේ කෙසේද?

6 එක් එක් ක්‍රිස්තියානිවරයා සඳහා තිබෙන අත්තිවාරම කුමක්ද? පාවුල් කී ලෙස, දෙවිගේ වචනය තුළ දමා ඇති අත්තිවාරම හැර සැබෑ ක්‍රිස්තියානිවරයෙක් සඳහා වෙනත් අත්තිවාරමක් නැහැ. එම අත්තිවාරම නම්, යේසුස් ක්‍රිස්තුස්ය. පාවුල් නිසැකවම එවැනි අත්තිවාරමක් දැමුවා. දර්ශනවාදය ඉතා ඉහළින් තැකූ කොරින්තියේදී, ලෞකික ප්‍රඥාවෙන් ඔහු මිනිසුන්ගේ සිත් ඇදගන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට, පාවුල් ‘වධ කණුවෙහි ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුස්’ ගැන දේශනා කළ අතර, අන්‍යජාතීන් එය මහත් ‘මෝඩකමක්’ ලෙස සලකා ප්‍රතික්ෂේප කළා. (1 කොරින්ති 1:23) යේසුස්, යෙහෝවාගේ අරමුණුවල කේන්ද්‍රස්ථානය කියා පාවුල් ඉගැන්නුවා.—2 කොරින්ති 1:20; කොලොස්සි 2:2, 3.

7. “ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු” ලෙස පාවුල් තමාට යොමු දැක්වීමෙන් අපට කුමක් උගත හැකිද?

7 තමා “ප්‍රඥාවන්ත ප්‍රධාන ගෘහකාරයෙකු” මෙන් එම ඉගැන්වීම් කළ බව පාවුල් දැනගෙන සිටියා. එය උඩඟු කියමනක් නොවෙයි. නමුත් එය වැඩය සංවිධානය කිරීම හෝ මඟ පෙන්වීම සඳහා යෙහෝවා ඔහුට දී තිබූ පුදුමාකාර ත්‍යාගයක් පිළිබඳ පිළිගැනීමක් පමණයි. (1 කොරින්ති 12:28) පළමු සියවසේ සිටි ක්‍රිස්තියානීන්ට දානය කළ ආශ්චර්යවත් ත්‍යාග අද අපිට නැති බව ඇත්තයි. එමෙන්ම අප, අප ගැන සිතන්නේ කුසලතා පූර්ණ ගුරුවරුන් හැටියට නොවිය හැකියි. නමුත් වැදගත් ආකාරයකින් අප එසේ වෙනවා. මේ ගැන සලකා බලන්න: අපට උපකාර කරන්න යෙහෝවා ශුද්ධාත්මය සපයනවා. (ලූක් 12:11, 12 සසඳන්න.) එමෙන්ම, අපට යෙහෝවා ගැන ප්‍රේමයකුත්, ඔහුගේ වචනයේ මූලික ඉගැන්වීම් ගැන දැනුමකුත් තිබෙනවා. අනිත් අයට ඉගැන්වීම සඳහා පාවිච්චි කිරීමට මේවා ඇත්තෙන්ම පුදුමාකාර ත්‍යාග වෙයි. සුදුසු අත්තිවාරමක් දැමීම සඳහා ඒවා පාවිච්චි කිරීමට අප අධිෂ්ඨාන කරගනිමු.

8. අප ක්‍රිස්තුස්ව, අනාගත ගෝලයන්ගේ අත්තිවාරම හැටියට දමන්නේ කෙසේද?

8 අප ක්‍රිස්තුස්ව අත්තිවාරමක් හැටියට දමන විට, ඔහුව ගව ඔරුවක සිටින බිළිඳෙක් ලෙසවත්, ත්‍රිත්වයක යෙහෝවාගේ සමානත්වයක් ලෙසවත් හඳුන්වා දෙන්න යන්නේ නැහැ. බයිබලයට පටහැනි එවැනි සංකල්ප අත්තිවාරමක් සලසා දෙන්නේ ව්‍යාජ ක්‍රිස්තියානීන්ටයි. නමුත් අප ඒ වෙනුවට, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මිනිසා ඔහු බවත්, අප වෙනුවෙන් තම පරිපූර්ණ ජීවිතය පුද කළේ ඔහු බවත්, ස්වර්ගයෙහි රජකම් කරන අදදින යෙහෝවාගේ ආලේප ලත් රජ ඔහු බවත් උගන්වනවා. (රෝම 5:8; එළිදරව් 11:15) යේසුස්ගේ අඩි පාරේ ගමන් කරන්න සහ ඔහුගේ ගුණාංග අනුකරණය කරන්න අපගේ ශිෂ්‍යයන්ව පෙලඹවීමටත් මං සොයනවා. (1 පේතෘස් 2:21) ඔවුන් දේවසේවය සඳහා යේසුස්ට තිබූ ජ්වලිතය මගිනුත්, යටහත් පහත්, පීඩා විඳි අයට ඔහු දැක්වූ දයානුකම්පාවෙනුත්, තමන්ගේම වරද සහගතබවෙන් තැළී සිටි පව්කාරයන් වෙත දැක්වූ ඔහුගේ දයාව මගිනුත්, පරීක්ෂණ හමුවේ ඔහු දැක්වූ නොසැලෙන ධෛර්යයෙනුත් ගැඹුරු ලෙස පෙලඹෙනවා දැකීමට අපට ඕනෑ කරනවා. ඇත්තෙන්ම, යේසුස් විශිෂ්ට අත්තිවාරමක්. එහෙත්, ඊළඟට කීමට ඇත්තේ කුමක්ද?

නිවැරදි ද්‍රව්‍යවලින් ගොඩනැඟීම

9. පාවුල් මූලිකව අත්තිවාරම් දමන්නෙක් වුණත්, ඔහු ඉගැන්වූ සත්‍යය පිළිගත් අය සම්බන්ධයෙන් ඔහුට තිබුණේ කිනම් සැලකිල්ලක්ද?

9 පාවුල් මෙසේ ලිව්වා: “අත්තිවාරම පිට යමෙක් රන්, රිදී අනර්ඝ ගල්, ලී තෘණ, පිදුරු ගොඩනගන්නේ නම්, එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.” (1 කොරින්ති 3:12, 13) පාවුල් මින් අදහස් කරන්නේ කුමක්ද? පසුබිම සලකා බලන්න. පාවුල් මූලිකව අත්තිවාරම් දමන්නෙක් වුණා. මිෂනාරි සංචාරවලදී, ඔහු නුවරින් නුවරට ගමන් කර, ක්‍රිස්තුස් ගැන කිසිදා අසා නොතිබූ බොහෝදෙනෙකුට දේශනා කළා. (රෝම 15:20) ඔහු ඉගැන්වූ සත්‍යය ජනයා පිළිගැනීමත් සමඟම, සභාවන් පිහිටෙව්වා. මෙම ඇදහිලිවන්තයන් ගැන පාවුල් ගැඹුරු ලෙස සැලකිලිමත් වුණා. (2 කොරින්ති 11:28, 29) කෙසේවෙතත්, දිගටම සංචාරයෙහි යෙදීම, ඔහුගේ වැඩයට අයත් වුණා. ඉතින්, මාස 18ක් කොරින්තියෙහි අත්තිවාරම් දැමීමේ යෙදී සිට, ඔහු දේශනා කිරීමට වෙනත් නුවරවලට ගියා. ඒ වුණත්, තමා එහි කර තිබූ වැඩය, අනිත් අය විසින් දිගටම කරගෙන යන්නේ කෙසේද යන්න ගැන ඔහු තියුණු උනන්දුවකින් පසු වුණා.—ක්‍රියා 18:8-11; 1 කොරින්ති 3:6.

10, 11. (අ) විවිධ වර්ගයේ ගොඩනැඟිලි ද්‍රව්‍යවල පරස්පරය පාවුල් දක්වන්නේ කෙසේද? (ආ) ඉපැරණි කොරින්තියේ සමහරවිට කිනම් ආකාරයේ ගොඩනැඟිලි තිබෙන්න ඇද්ද? (ඇ) ගින්නකට ඔරොත්තු දෙන්න වැඩි හැකියාවක් ඇත්තේ කිනම් ආකාරයේ ගොඩනැඟිලිවලටද? එමෙන්ම, ක්‍රිස්තියානි ගෝලයන් සාදන්නන්ට එය කිනම් ආදර්ශ පාඩමක් සපයනවාද?

10 කොරින්තියෙහි පාවුල් දමා තිබූ අත්තිවාරම මත ගොඩනැඟූ සමහරුන් දුර්වල වැඩක නිරතව සිටින බව පෙනුණා. ගැටලුව අනාවරණය කිරීම සඳහා, පාවුල් ගොඩනැඟීමේ ද්‍රව්‍ය දෙවර්ගයක් වෙන් කර දක්වනවා. එක් අතකට රන්, රිදී සහ අනර්ඝ ගල් මෙන්ම අනිත් අතට ලී, තෘණ සහ පිදුරු ආදියයි. ගොඩනැඟිල්ලක් හොඳ, කල්පවතින, ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් ගොඩනැඟිය හැකි අතර, එසේ නොවේ නම්, ඉවතලන, තාවකාලික සහ ගිනිගන්නසුලු ද්‍රව්‍යවලින්ද කඩිමුඩියේම ගොඩනැඟිය හැකියි. කොරින්තිය වැනි විශාල නුවරක් එම දෙවර්ගයේම ගොඩනැඟිලිවලින් ගහන වී තිබෙන්න ඇති බවට කිසිම සැකයක් නැහැ. සමහරවිට, පිටාතරව හෝ කොටස් වශයෙන් රන් සහ රිදීවලින් සැරසූ මෙන්ම මිල අධික අතිවිශාල ගලින් තැනූ තේජවත් සිද්ධස්ථාන එහි තිබුණා.b මෙම කල්පවතින සේ තැනූ සුවිසල් ගොඩනැඟිලි සමහරවිට, ළඟපාත තිබූ ලීවලින් සාදා, පිදුරු සෙවිල්ලා භාගෙට නිම කළ පැල්පත්, මඩු සහ කඩපිල් ආදියට ඉහළින් ප්‍රතාපවත්ව දිස් වෙන්න ඇති.

11 ගින්නකදී මෙම ගොඩනැඟිලිවලට කුමක් සිදු වෙයිද? පාවුල්ගේ දවසේදී මෙන්, අපගේ දවසේදීද පිළිතුර පැහැදිලියි. ඇත්තෙන්ම, පො.යු.පෙ. 146දී, රෝමානු ජනරාල්වරයෙක් වූ මමියස් කොරින්තිය ජයගෙන එය ගිනිලනු ලැබුවා. ලී, තෘණ හෝ පිදුරුවලින් තැනූ ගොඩනැඟිලි බොහෝමයක් නැති නාස්ති වී ගිය බව නිසැකයි. රනින් සහ රිදීයෙන් සරසා තිබූ ගලින් තැනූ සවි ශක්තිය ඇති ගොඩනැඟිලි ගැන කිව හැක්කේ කුමක්ද? මේවා නිසැකවම බේරුණා. කොරින්තියේ සිටි පාවුල්ගේ ශිෂ්‍යයන් දිනපතාම එවැනි ගොඩනැඟිලි පසු කරමින් ගියා විය හැකියි. එසේ යද්දී, විනාශයන්ගෙන් බේරුණු ගලින් තැනූ අභිමානවත් ගොඩනැඟිලි, බිමට සමතලා වූ කල්පැවැත්මෙන් අඩු ඒවා මධ්‍යයේ දිස් වෙමින් තිබූ ආකාරය දකින්න ඇති. එසේනම්, පාවුල් කොතරම් ජීවමාන ලෙස මෙම කරුණ ඉදිරිපත් කරනවාද! ඉගැන්වීමේදී, අප අපව ගොඩනැඟිලිකරුවන් ලෙස සැලකීම අවශ්‍යයි. හොඳම, වැඩියෙන්ම කල්පවතින ද්‍රව්‍ය පාවිච්චි කරමින් වැඩ කරන්න අප කැමති විය යුතුයි. එවිට අපේ වැඩයෙහි කල්පැවැත්ම බොහෝදුරට සහතික කළ හැකියි. එම කල්පවතින ද්‍රව්‍ය මොනවාද? ඒවා පාවිච්චි කිරීම අත්‍යවශ්‍ය මන්ද?

ඔබේ වැඩය ගින්නට ඔරොත්තු දේවිද?

12. කොරින්තියේ සිටි සමහර ක්‍රිස්තියානීන් නොසැලකිලිමත් ආකාරයෙන් ගොඩනඟමින් සිටියේ කෙසේද?

12 කොරින්තියේ විසූ සමහර ක්‍රිස්තියානීන් දුර්වල ආකාරයෙන් ගොඩනඟන බව පාවුල්ට පැහැදිලිවම හැඟුණා. වැරදී තිබුණේ කුමක්ද? පද සම්බන්ධය දක්වන්නාක් මෙන්, සභාවේ එක්සත්කම අවදානමේ හෙළමින් බෙදීම් සහ මිනිස් පෞද්ගලිකත්වයන් වර්ණනා කිරීම් සභාව පුරා පැතිරී තිබුණා. සමහරු මෙසේ කිව්වා: ‘මම අයිති පාවුල්ටයි.’ එවිට තවත් කණ්ඩායමක් තරයේ කියා සිටියේ, ‘මම අයිති අපොල්ලොස්ට’ කියායි. පෙනෙන විදිහට, සමහරු තමන්ගේ ප්‍රඥාව ගැන ඉතා ඉහළින් සිතුවා. මාංසික සිතුවිලි, ආත්මික නොමේරූකම මෙන්ම ‘ඊර්ෂ්‍යාව සහ විවාදය’ බහුල වූ වාතාවරණයක් ප්‍රතිඵලය වීම පුදුමයට හේතුවක් නොවෙයි. (1 කොරින්ති 1:12; 3:1-4, 18) සභාවෙහිත්, දේවසේවයෙහිත් කළ ඉගැන්වීම්වල මෙම ආකල්ප පිළිබිඹු වූ බවට සැකයක් නැහැ. ප්‍රතිඵලය වුණේ, බාල වර්ගයේ ද්‍රව්‍යවලින් ගොඩනැඟීමේ වැඩ කරන්නාක් මෙන්, ඔවුන්ගේ ගෝලයන් සෑදීමේ වැඩය නොසැලකිලිමත්ව සිදු කිරීමයි. එය “ගින්නට” ඔරොත්තු දෙන්න යන්නේ නැහැ. පාවුල් කතා කරමින් සිටියේ කිනම් ගින්නක් ගැනද?

13. පාවුල්ගේ නිදර්ශනයේ ගින්නෙන් නියෝජනය වන්නේ කුමක්ද? එමෙන්ම, සියලුම ක්‍රිස්තියානීන් කුමක් ගැන සාවධානී විය යුතුද?

13 ජීවිතයෙහි අප සියලුදෙනාම මුහුණ දෙන ගින්නක් තිබෙනවා. ඒ තමයි, ඇදහිල්ලෙහි පරීක්ෂණ. (යොහන් 15:20; යාකොබ් 1:2, 3) අප සත්‍යය උගන්වන සැමදෙනාවම පරීක්ෂණයට ලක් කෙරෙනවා යන්න, අද සිටින අප දැනගෙන සිටිය යුතුව තිබෙන්නාක් මෙන්ම, කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ද දැනගත යුතුව තිබුණා. අප දුර්වල ලෙස ඉගැන්වීමේ යෙදෙනවා නම්, කනගාටුදායක ප්‍රතිවිපාක ඇති වෙන්න ඉඩ තිබෙනවා. පාවුල් මෙසේ අවවාද කළා: “ඒ පිට ගොඩනැගුවාවූ යම්කෙනෙකුගේ කර්මාන්තය [වැඩය, NW] පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය. යම් කෙනෙකුගේ කර්මාන්තය [වැඩය, NW] දැවීයන්නේ නම්, ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය; එහෙත් ගිනි මැදින් ගැළවුණාක්මෙන්ය.”c—1 කොරින්ති 3:14, 15.

14. (අ) ක්‍රිස්තියානි ගෝලයන් සාදන්නන් ‘අලාභ විඳිය’ හැක්කේ කිනම් ආකාරයෙන්ද? එහෙත්, ඔවුන් ගිනි මැදින් වූවාක් මෙන් ගැළවීම ලැබිය හැක්කේ කෙසේද? (ආ) අලාභ විඳීමේ අවදානම අපට අඩු කරගත හැක්කේ කෙසේද?

14 මේවා ඇත්තෙන්ම බැරෑරුම් ලෙස සැලකිය යුතු වචන! ගෝලයෙක් වෙන්න කෙනෙකුට උදව් කර, ඔහු පරීක්ෂා හෝ පීඩා විඳ, අවසානයේදී සත්‍යයේ මාර්ගය හැර යනවා දැකීම ඉතා වේදනාකාරි දෙයක් විය හැකියි. එවැනි තත්වයන්හිදී අප අලාභ විඳින බව පාවුල් පිළිගන්නවා. අපේ ගැළවීම ‘ගිනි මැදින් වූවාක් මෙන්’ කියා විස්තර කර තිබෙන නිසා එම අද්දැකීම ඉතා වේදනාකාරි එකක් වෙන්න ඉඩ තිබෙනවා. එසේ වීම හරියට, ගින්නෙන් තමන් සතු සියලුම දේ විනාශ වී ගොස් තම ජීවිතය නූලෙන් බේරාගත් පුද්ගලයෙකුගේ අද්දැකීම වගෙයි. අපේ පැත්තෙන්, අලාභ විඳීමේ අවදානම අඩු කරගැනීමට අපට කුමක් කළ හැකිද? කල්පවතින ද්‍රව්‍යවලින් ගොඩනඟන්න! අපි අපේ ශිෂ්‍යයන්ගේ හෘදවලට ළඟා වන ආකාරයෙන් ඉගැන්වූවොත්, ප්‍රඥාව, විචාර බුද්ධිය, දෙවිට භයවීම සහ අව්‍යාජ ඇදහිල්ල වැනි වටිනා ක්‍රිස්තියානි ගුණාංග අගය කරන්න ඔවුන්ව පෙලඹෙව්වොත්, එවිට අපි ගොඩනඟමින් සිටින්නේ, කල්පවතින, ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලිනුයි. (ගීතාවලිය 19:9, 10; හිතෝපදේශ 3:13-15; 1 පේතෘස් 1:6, 7) මෙම ගුණාංග අත් කරගෙන සිටින අය දෙවිගේ කැමැත්ත දිගටම කරන්න යනවා. සදාකාලයටම ජීවත් වීමේ නිසැක බලාපොරොත්තුව ඔවුන්ගේයි. (1 යොහන් 2:17) ඒ කෙසේවෙතත්, පාවුල්ගේ නිදර්ශනය ක්‍රියාවට නඟන්න අපට හැක්කේ කෙසේද? උදාහරණ සමහරක් සලකා බලන්න.

15. අපේ බයිබල් ශිෂ්‍යයන් සම්බන්ධයෙන් නොසැලකිලිමත් ගොඩනැඟීමේ වැඩක් කිරීමෙන් වැළකී සිටින බවට අප වගබලා ගත යුත්තේ කිනම් ආකාරවලින්ද?

15 බයිබල් ශිෂ්‍යයන්ට උගන්වද්දී, කිසිදාක යෙහෝවා දෙවිට ඉහළින් මනුෂ්‍යයන්ව නොතබන්න වගබලා ගත යුතුයි. ප්‍රඥාවේ එකම උල්පත අප කියා සැලකීමට ඔවුන්ට ඉගැන්වීම නොවෙයි අපේ ඉලක්කය. මඟ පෙන්වීම සඳහා ඔවුන් යෙහෝවා දෙසත්, ඔහුගේ වචනය දෙසත්, ඔහුගේ සංවිධානය දෙසත් බැලීම අපට ඕනෑ කරනවා. එය ඉටු කරගැනීමට, ඔවුන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාරයක් හැටියට අප අපේම අදහස් පළ කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට, බයිබලයෙන් සහ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” සපයා ඇති ප්‍රකාශනවලින් පිළිතුරු සොයාගැනීමට අප ඔවුන්ට උගන්වනවා. (මතෙව් 24:45-47) ඒ හා සමානම හේතු නිසා, අපගේ බයිබල් පාඩම් අයිති කර නොගැනීමට පරෙස්සම් විය යුතුයි. අනිත් අය ඔවුන් ගැන උනන්දුවක් පෙන්වද්දී, ඒ ගැන අමනාප වෙනවා වෙනුවට, සභාවේ සිටින බොහෝදෙනෙක්ව දැනහඳුනාගෙන ඔවුන්ව අගය කිරීම සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ගේ කුලුපගභාවය “පුළුල්” කරගැනීමට අප ඔවුන්ව දිරිගැන්විය යුතුයි.—2 කොරින්ති 6:12, 13, NW.

16. ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් වැඩිමහල්ලන්ට ගොඩනැඟිය හැක්කේ කෙසේද?

16 ගෝලයන්ව ගොඩනැඟීමේදී, ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ද ඉතා වැදගත් කාර්යභාරයක් දරනවා. ඔවුන් සභාවේ උගන්වද්දී, ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් ගොඩනැඟීමට මං සොයනවා. ඔවුන්ගේ ඉගැන්වීමේ හැකියාවන්, අද්දැකීම් සහ පෞද්ගලිකත්වයන්වල බොහෝ වෙනස්කම් තිබිය හැකි වුණත්, තමන්ගේ අනුගාමිකයන් ඇති කිරීමට ඔවුන් මෙම වෙනස්කම් වාසියක් කරගන්නේ නැහැ. (ක්‍රියා 20:29, 30 සසඳන්න.) “මම පාවුල්ගේ” එහෙම නැත්නම් “මම අපොල්ලොස්ගේ” කියා කොරින්තිවරුන් කීවේ ඇයි කියා අප හරියටම දන්නේ නැහැ. එහෙත්, මෙම එක ඇදහිලිවන්ත වැඩිමහල්ලෙක්වත් එවැනි බෙදුම්වාදී සිතුවිලිවලට උල්පන්දම් නුදුන් බව අපට බොහෝ සෙයින් විශ්වාසයි. එවැනි හැඟීම්වලට, පාවුල්ව රවටන්න හැකි වුණේ නැහැ. ඔහු ඔවුන්ගේ තර්ක දැඩි ලෙස බිඳ දැමුවා. (1 කොරින්ති 3:5-7) එලෙස අදත්, තමන් ‘දෙවිගේ රැළෙහි’ එඬේරුන් බව වැඩිමහල්ලන් මනසේ තබාගන්නවා. (1 පේතෘස් 5:2) එය කිසිම මනුෂ්‍යයෙකුට අයිති නැහැ. එබැවින්, තනි පුද්ගලයෙක් විසින් රැළ හෝ වැඩිමහල් මණ්ඩලය කෙරෙහි ආධිපත්‍යය පතුරුවන ඕනෑම නැඹුරුවාවකට එරෙහිව වැඩිමහල්ලන් නැඟී සිටිනවා. සභාවට සේවය කිරීමට, හෘද කරා ළඟාවීමට සහ හෘද-පූර්ණව සේවය කිරීමට බැටළුවන්ට උපකාර කිරීම සඳහා නිහතමානී ආශාවකින් වැඩිමහල්ලන් පෙලඹුණොත් පමණයි, ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් ඔවුන් ගොඩනඟමින් සිටින්න යන්නේ.

17. ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් ගොඩනැඟීමට ක්‍රිස්තියානි දෙමාපියන් උත්සාහ කරන්නේ කෙසේද?

17 ක්‍රිස්තියානි දෙමාපියන් පවා මෙම කාරණය ගැඹුරු සැලකිල්ලට භාජන කරනවා. ඔවුන්ගේ දරුවන් සදාකාලයටම ජීවත් වෙනවා දැකීමට ඔවුන් මොනතරම් ආශා කරනවාද! එමනිසයි, දෙවිගේ වචනයේ ප්‍රතිපත්ති තම දරුවන්ගේ හදවත්වල “පැලපදියම්” කරන්න ඔවුන් දැඩි වෑයමක් දරන්නේ. (ද්විතීය කථාව 6:6, 7, NW) නීති හෝ නොනවත්වා කියාගෙන කියාගෙන යන තොරතුරු රැසක් ලෙස නොව, නමුත් සම්පූර්ණ, විපාකදායී සහ ප්‍රීතිමත් ජීවිත මාර්ගයක් හැටියට තම දරුවන් සත්‍යය ඉගෙනගන්නවා දකින්න ඔවුන් කැමතියි. (1 තිමෝති 1:11) ක්‍රිස්තුස්ගේ ඇදහිලිවන්ත ගෝලයන් වීම දක්වා තම දරුවන්ව ගොඩනැඟීම සඳහා, ප්‍රේමනීය දෙමාපියන් ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍ය පාවිච්චි කරන්න වෑයම් කරනවා. තම දරුවන් සමඟ ඉවසිලිවන්තව වැඩ කරන ඔවුන්, යෙහෝවා ද්වේෂ කරන ගුණාංග උදුරා දමන්නත්, ඔහු ප්‍රේම කරන ගුණාංග වගා කරන්නත් ඔවුන්ට උදව් කරනවා.—ගලාති 5:22, 23.

වගකීම කාගේද?

18. ගෝලයෙක් සාරවත් ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම, අනිවාර්යයෙන්ම ඔහුට ඉගැන්වීමට සහ පුහුණු කිරීමට උත්සාහ කළ පුද්ගලයාගේ වරදක් නොවන්නේ මන්ද?

18 මෙම සාකච්ඡාව වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. අප උදව් කරන්න වෑයම් කරන කෙනෙක් සත්‍යයෙන් වැටී ගියොත්, අප බාල වර්ගයේ ද්‍රව්‍යවලින් ගොඩනැඟුවා විය යුතුයි කියා සිතිය යුතුද? ගුරුවරුන් හැටියට අප අසමත් වුණා කියා එයින් අදහස් කරනවාද? අනිවාර්යයෙන්ම නැහැ. ගෝලයන් ගොඩනැඟීමේ හවුල් වීම මහත් වගකීමක් බව පාවුල්ගේ වචන අපට නිසැකවම මතක් කරනවා. හොඳින් ගොඩනැඟීමට අපට ඇති බලය පූර්ණ ලෙස පාවිච්චි කරන්න අප කැමතියි. අප උපකාර කරන්න වෑයම් කළ අය සත්‍යයෙන් වැටී ගිය විට, මුළු වගකීමම කරට ගෙන, වරද සහගතභාවයේ ගිලී සිටින්න කියා දෙවිගේ වචනය අපට කියන්නේ නැහැ. ගොඩනඟන්නන් හැටියට අපේ කාර්යභාරයට අමතරව, වෙනත් කාරණාත් ඊට අයත් වෙනවා. උදාහරණයක් හැටියට, මෙම ගොඩනැඟීමේ වැඩයෙහි දුර්වල කාර්යයක් කරනවා විය හැකි ගුරුවරයා ගැන පාවුල් කියන දේ සලකන්න: “ඔහුට අලාභවන්නේය. නුමුත් ඔහුම ගැළවෙන්නේය.” (1 කොරින්ති 3:15) ගුරුවරයා අවසානයේදී ගැළවීම ලැබුවත්, තම ශිෂ්‍යයා තුළ ගොඩනඟන්න ඔහු වෑයම් කළ ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය ගිනිමය පරීක්ෂාවක් හේතුවෙන් ‘දැවී ගියා’ නම්, අප පැමිණෙන නිගමනය කුමක්ද? ශිෂ්‍යයා ඇදහිලිවන්ත ක්‍රියාමාර්ගයක් අනුගමනය කරනවාද නැද්ද කියා ඔහු ගන්නා තීරණය සම්බන්ධයෙන් මූලික වගකීම යෙහෝවා ඔහු මතම තබන බවයි.

19. මීළඟ ලිපියේදී අප සලකා බලන්නේ කුමක්ද?

19 පෞද්ගලික වගකීම ඉතා වැදගත්කමක් ඇති කාරණයක්. එය අප එක් එක්කෙනාට බලපාන්න යනවා. එම කාරණය ගැන බයිබලය නිශ්චිතවම උගන්වන්නේ කුමක්ද? මේ කාරණය අපගේ මීළඟ ලිපියෙහි සලකා බලන්න යනවා.

[පාදසටහන්වල]

a ‘පොළොවේ අත්තිවාරම’ කියා යොමු දක්වන්නේ, ස්ථිරව පවතින පෘථිවිය මෙන්ම සියලුම ස්වර්ගීය වස්තූන්ද රඳවා තබාගන්නා භෞතික බලවේගයන්ට විය හැකියි. ඊට අමතරව, පොළොව පිහිටුවා තිබෙන්නේ, කිසිදා “නොසෙලවෙන” හෝ විනාශ නොවන ආකාරයකටයි.—ගීතාවලිය 104:5.

b “අනර්ඝ ගල්” ලෙස පාවුල් යොමු දැක්වූ ඒවා අනිවාර්යයෙන්ම දියමන්ති සහ රතු කැට වැනි මැණික් නොවෙයි. ඒවා කිරිගරුඬ, සුදු ගල් හෝ ග්‍රැනිට් පාෂාණ වැනි මිල අධික ගල් විය හැකියි.

c පාවුල් මෙහිදී, ගොඩනඟන්නාගේ නොව, නමුත් ඔහුගේ ‘වැඩයෙහි’ ගැළවීම සැකයට භාජන කරමිනුයි සිටියේ. ද නියූ ඉංග්ලිෂ් බයිබල්හි මෙම බයිබල් පදය ඉදිරිපත් කරන්නේ මේ ආකාරයටයි: “ඒ අත්තිවාරම මත ගොඩනඟන ලද යමෙකුගේ කර්මාන්තය නොදැවී පවතී නම්, ඔහු විපාකයක් ලබයි. යමෙකුගේ කර්මාන්තය දැවී යන්නේ නම් ඔහුට අලාභයක් සිදු වේ. එහෙත් ඔහු ගිනි මැදින් මිදී ආ කෙනෙකු මෙන් ගැළවෙනු ඇත.”

ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?

◻ සැබෑ ක්‍රිස්තියානියෙකුගේ “අත්තිවාරම” කුමක්ද? එමෙන්ම, එය දමා තිබෙන්නේ කෙසේද?

◻ විවිධ වර්ගයේ ගොඩනැඟිලි ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප ඉගෙනගන්නේ කුමක්ද?

◻ “ගින්නෙන්” නියෝජනය වන්නේ කුමක්ද? එමෙන්ම, ‘අලාභ විඳින්න’ එය සමහරුන්ට සැලැස්විය හැක්කේ කෙසේද?

◻ බයිබල් ගුරුවරුන්ට, වැඩිමහල්ලන්ට සහ දෙමාපියන්ට ගින්නට ඔරොත්තු දෙන ද්‍රව්‍යවලින් ගොඩනැඟිය හැක්කේ කෙසේද?

[9වන පිටුවේ පින්තූරය]

බොහෝ ඉපැරණි නගරවල, ගින්නට ඔරොත්තු දෙන ගලින් තැනූ ගොඩනැඟිලි මෙන්ම වඩා දුර්වල ගොඩනැඟිලිද එකට පැවතුණා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න