අපගේ දරුවන් තුළ ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ගොඩ නැංවීම
ස්වාමිපුරුෂයා විසින් අත්හැර දමනු ලැබ ඇති වන්ඩාගේ මව තම දියණිය තුළ ක්‍රිස්තියානි ගුණාංග ගොඩ නැංවීමට මහන්සියෙන් වැඩ කළා ය. වන්ඩා 12 හැවිරිදි වූ විට මෙම පුහුණුව පරීක්ෂණයට ලක් විය. එම කාලයේ දී මල්ලී හා නංගී සමඟ ඇගේ මව අත්හැර ඇගේ පියා සමඟ ටික කලක් ජීවත්වීමට වන්ඩාට බල කරනු ලැබී ය. ඇගේ පියා ඇදහිලිවන්තයෙකු නොවී ය. එසේ නම්, බලා සිටීමට ඇගේ මව ඇය වටා නැති විට වන්ඩා ක්‍රියා කරනු ඇත්තේ කෙසේ ද?
සියලු ක්‍රිස්තියානි දෙමව්පියන්ට පැමිණිය හැකි විපාකයක් නම් තම දරුවන්ගේ ඇදහිල්ල පරීක්ෂා කරවමින්, ඔවුන්ට ඔවුන්ගේ ම තීරණ ගැනීමට සිදුවන කාලයක් පැමිණීම ය. වන්ඩාට සිදු වූවාක් මෙන් දරුවන් ව තම ක්‍රිස්තියානි දෙමව්පියන්ගෙන් වෙන් කරනු ලැබිය හැක. වරද කිරීමට ඔවුන් පාසලේ දී තම තුල්‍යයන්ගේ බලපෑමට මුහුණ දිය හැක. එසේ නැතහොත් ඔවුන් බලවත් පරීක්ෂාවන්ට මුහුණ දිය හැක. එම කාලය පැමිණෙන විට ඔවුන්ගේ දරුවන් පරීක්ෂණයට පෙනී සිටීමට ප්‍රමාණවත් ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ඇති ව සිටින්නේ යයි ක්‍රිස්තියානි දෙමාපියෝ බලාපොරොත්තු වෙති, එමෙන් ම යාච්ඤා කරති.
තම දරුවන් තුළට ශක්තිමත් ක්‍රිස්තියානි ගුණාංග ගොඩ නැංවීමට දෙමාපියන්ට හැක්කේ කෙසේ ද? වන්ඩාට සිදු වූයේ කුමක් දැයි සොයා බැලීමට පෙර එම ප්‍රශ්නයට පිළිතුරු දීමට බයිබලය අපට උපකාරි වන්නේ කෙසේ දැයි බලමු. පිළිතුර සඳහා පදනම කොරින්තියේ සිටි ක්‍රිස්තියානින්ට ලියන ලද ප්‍රේරිත පාවුල්ගේ මෙම වචන තුළ හමුවේ: “දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන. ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. නුමුත් අත්තිවාරම පිට යමෙක් රන්, රිදී, අනර්ඝ ගල්, ලී, තෘණ, පිදුරු ගොඩනගන්නේ නම් එක් එක්කෙනාගේ කර්මාන්තය ප්‍රකාශවන්නේය. මක්නිසාද එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශකරන්නේය; එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පුවන්නේය.”—1 කොරින්ති 3:11-13.
අත්තිවාරම
පාවුල් මෙම වචන ලීවේ මක්නිසා ද? ඔහු කොරින්තියෙහි ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ගොඩ නැංවීමේ වැඩසටහනක් ආරම්භ කර තිබුණි, නමුත් වැඩසටහන ගැටලු කරා දිව ගොස් තිබුණි. සැබවින් ම පාවුල්ගේ ගොඩ නැංවීමේ වැඩසටහන ඔහුගේ ම මාංසික දරුවන් හා සම්බන්ධ නොවුණි. ඔහුගේ දේශනාව තුළින් ක්‍රිස්තියානින් බවට පත් වූවන් එයට සම්බන්ධ විය. එහෙත් ඔහු මොවුන් ව ආත්මික දරුවන් ලෙස කල්පනා කළ අතර, ඔහු කියූ දෙය දෙමාපියන්ටත් වටිනාකමින් යුතු වේ.—1 කොරින්ති 4:15.
ටික කාලයකට ඉහත දී පාවුල් කොරින්තියට පැමිණ, එහි ක්‍රිස්තියානි සභාවක් පිහිටුවා තිබුණි. ඔහුගේ දේශනා කිරීමට ප්‍රතිචාරය දැක්වූවන් ඔවුන්ගේ පුද්ගලිකත්වයන්හි විශාල වෙනස්කම් කර තිබුණි. සමහරු පළමු ව දුරාචාර පුද්ගලයන්, සොරුන්, රූපවඳින්නන්, සහ බේබද්දන් ව සිටියහ. (1 කොරින්ති 6:9-11) එහෙත් එය හරියට පාවුල් විසින් හොඳ අත්තිවාරමක් දමා තිබුණාක් මෙන් වූ නිසා, ක්‍රිස්තියානින් කල්පනා කරන ආකාරය කරා වෙනස් වෙන්නට ඔවුන්ට හැකි විය. එම අත්තිවාරම කුමක් වී ද? “දමා තිබෙන අත්තිවාරම ඇර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් නුපුළුවන. ඒ අත්තිවාරම නම් යේසුස් ක්‍රිස්තුස්වහන්සේය.”—1 කොරින්ති 3:11.
කොරින්තියෙහි මෙම අලුත් ඇදහිලිවන්තයන්ට උගන්වන විට පාවුල් මෙම අත්තිවාරම දැමුවේ කෙසේ ද? ඔහු අපට මෙසේ කියයි: “සහෝදරයෙනි, මා නුඹලා වෙතට ආ කල්හි දෙවියන්වහන්සේගේ රහස නුඹලාට එළිදරව්කරමින් ආවා මිස, කථාවේවත් ප්‍රඥාවේවත් උතුම්කමින් යුක්තව නාවෙමි. මක්නිසාද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ උන්වහන්සේ කුරුසියෙහි [වධකනුවෙහි NW] ඇණගසනු ලැබූ බවත් මිස වෙන කිසිවක් නුඹලා අතරෙහි නොදැන සිටින්ට නියමකර ගතිමි.” (1 කොරින්ති 2:1-2; ක්‍රියා 18:5) ඔහු අවධානය තමා වෙතට ම යොමු කරවා ගත්තේවත් එයට බාහිරාලංකාරයෙන් යුත් පණ්ඩිත පෙනුමක් දීමට එය සැරසුවාවත් නොවේ. ඒ වෙනුවට ඔහු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට හා දෙවියන් වහන්සේ මෙම තැනන් වහන්සේ ව යොදා ගත් ආකාරය වෙතට අවධානය යොමු කළේ ය.
ඇත්ත වශයෙන් ම, යේසුස් වහන්සේ ක්‍රිස්තියානි ගොඩ නැංවීම සඳහා උත්කෘෂ්ටවත් ලෙස ශක්තිමත් වූ අත්තිවාරමක් වේ. උන් වහන්සේ මිදීමේ මිළය සැපයූ සේක. උන් වහන්සේ දැන් ස්වර්ගික රජ කෙනෙකු වී සිටින අතර, එවන් කෙනෙකු වශයෙන් දෙවියන් වහන්සේගේ සතුරන් ව අර්මගෙදොන් හි දී ඉක්මනින් විනාශ කරනු ඇත. දහස් අවුරුදු රාජ්‍යය කාලයක් තුළ දී උන් වහන්සේ දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ක්‍රියාත්මක කරවන අතර, දෙවියන් වහන්සේගේ උත්තම පූජකයාණන් වශයෙන් මිනිස් ජාතිය ක්‍රමයෙන් සම්පූර්ණත්වයට ඔසවනු ඇත. පුද්ගලයෙකුට වුවමනා කරවිය හැක්කේ වෙන කුමන අත්තිවාරමක් ද?
එමනිසා අපගේ දරුවන් තුළ ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ගොඩ නැංවීමෙහි දී අප පාවුල් අනුකරණය කිරීමත්, ඔවුන් මෙම අතිවැදගත් කරුණු අගය කිරීම සහතික වීමත් වඩා හොඳ ය. ඔවුන්ගේ ළදරු අවදියේ සිට ම යේසුස් වහන්සේ අපට කර ඇති සහ තවමත් කරමින් සිටින දේ සඳහා ප්‍රේම කිරීමට අප අපේ දරුවන්ට ඉගැන්විය යුතු ය.—1 පේතෘස් 1:8.
ගොඩ නැංවීම
කෙසේ වුවද මෙම කදිම අත්තිවාරම පාවුල් දමා තිබූ අතර ඔහු හැර ගිය පසු ගොඩ නැංවීමේ කටයුතු පසුබෑම් කිහිපයකට භාජනය විය. (1 කොරින්ති 3:10) ගැටලුව අද දෙමාපියන් අත් දකින දෙයට අසමාන වූයේ නැත. ඔවුන් තම දරුවන් ක්‍රිස්තියානි ඇදහිල්ලෙහි ඇති දැඩි කරන අතර, ඔවුන්ගේ දරුවන් සත්‍යය කුමක් ද කියා අවබෝධ කර ගනිතැයි ඔවුන්ට නිසැක ව හැඟී යයි. එහෙත් ඔවුන් වැඩිවියට පත් වන විට දරුවෝ ඉවතට ඇදී යති නැතහොත් ඇදහිල්ල ප්‍රතික්ෂේප කරති. ඒ මන්ද? බොහෝ විට ඒ සඳහා යොදා ගත් ගොඩනැගිලි ද්‍රව්‍ය නිසා ය.
රත්රන්, රිදී, සහ අනගි ගල් යන වටිනා ද්‍රව්‍යවලින් පුද්ගලිකත්වයන් ගොඩනැගිය හැකි බව පාවුල් කීය. නැතහොත් ලී, තෘණ, හා, පිදුරු යන ලාභ ද්‍රව්‍යවලින් ඒවා ගොඩනැගිය හැක: (1 කොරින්ති 3:12) දැන්, ගොඩනැගිලිකරුවෙක් රත්රන්, රිදී හා අනගි ගල් යොදා ගන්නේ නම් ඔහු කැපී පෙනෙන වටිනාකමකින් යුත් උසස් වර්ගයේ ගොඩනැගිල්ලක් ඉදි කරනවා විය යුතු ය. එහෙත් ලී, තෘණ හා පිදුරු යොදා ගන්නා ගොඩනැගිලිකරුවෙක් ගොඩනගන්නේ හුදෙක් අටවාගත්, තාවකාලික, හා බාල යමක් පමණි.
කොරින්තියෙහි පහසුවෙන් බිඳ වැටෙන ආත්මික ද්‍රව්‍ය යොදා ගෙන තිබූ බව පෙනුණි. ප්‍රේරිත පාවුල්ගේ අත්තිවාරම් දැමීම අනුගමනය කළ සමහරු ශක්තිමත්, කල් පවතින ගොඩනැගිලි ඉදි කරමින් නොව, බාල දේවල් ගොඩනගමින් සිටියෝ ය. කොරින්තිවරු මනුෂ්‍යයන් කෙරෙහි බලා සිටීමට පටන් ගෙන තිබුණි. ඔවුන් අතරෙහි භේද, ඊර්ෂ්‍යා සහ දබර තිබුණි. (1 කොරින්ති 1:10-12; 3:1-4) මෙය වැළැක්විය හැකි ව තිබුණේ කෙසේ ද? ඔවුන් වඩාත් හොඳ තත්ත්වයේ කල් පවතින ද්‍රව්‍ය යොදා ගැනීම මගින් ය.
මේවා ක්රිස්තියානිවරයෙකුගේ පුද්ගලිකත්වයේ අත්‍යවශ්‍ය කොටසක් වන අගනා, වෙන්කර හඳුනා ගත හැකි ගති ලක්ෂණ නියෝජනය කරයි. වෙන්කර හඳුනා ගත හැකි කුමන ගති ලක්ෂණ ද? ප්‍රේරිත පේතෘස් එකක් සඳහන් කළේ මෙසේ ය: “සෝදිසිකරන්නාවූ රනට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල.” (1 පේතෘස් 1:6, 7) සාලමොන් රජ තවත් දෙකක් සඳහන් කළේ මෙසේ ය. “වාසියක් වශයෙන් රිදී තිබෙනවාටත් වඩා හොඳ වූ ප්‍රඥාව හා විචාර බුද්ධිය.” (හිතෝපදේශ 3:13-15, NW) එමෙන් ම යෙහෝවඃ වහන්සේ කෙරෙහි භය සහ උන් වහන්සේගේ ආඥාවන් ගැන අගය කිරීම රන්වලටත් වඩා ආශා වීමට වැඩියෙන් තිබිය යුතු බව දාවිත් රජ අපට සිහිපත් කළේ ය.—ගීතාවලිය 19:9, 10.
අපේ දරුවන්ට පරීක්ෂණවලින් බේරී ගැලවීමට ආධාර වීම පිණිස මේවා සහ අනෙකුත් වටිනා ද්‍රව්‍ය ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් තුළට ගොඩ නංවනු ලැබිය හැක. එසේ වුවද අප ගොඩ නගමින් සිටින්නේ එවන් ද්‍රව්‍යවලින් බවට නිසැක විය හැක්කේ කෙසේ ද? අපේ දරුවන්ගේ හා අපේ ම හදවත්වලට අවධානය යොමු කිරීමෙන් ය.
සාර්ථක ගොඩ නැංවීමේ කාර්යයක්
මෙම ගොඩ නැංවීමේ කාර්යයෙහි දී දෙමාපියන්ගේ හෘදය ඉටු කරන කොටස සම්බන්ධයෙන් පුරාණ ඊශ්‍රායෙල් ජාතියේ දෙමව්පියන්ට යෙහෝවඃ වහන්සේ විසින් දෙන ලද ආඥාවක මෙසේ දැකීමට තිබේ: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ [හෘදයේ NW] තිබේවා.” එකල උන් වහන්සේ මෙසේ ද පැවසූ සේක. “ඒවා නිතර නිතර පැවසීම මගින් නුඹේ දරුවන්ට [පුත්‍රයාට NW] හොඳාකාරයෙන් උගන්වාපන්න [නොකඩවා කාවද්දවන්න NW]. (ද්විතීය කථාව 6:6, 7) එනිසා අන්‍යයන් ගොඩ නැංවීමට අපට හැකි වීමට පෙර අපට අප ව ම ගොඩ නැංවීමට සිදු ව ඇත. අප කියන හා කරන දේවල් තුළ අපගේ පුද්ගලිකත්වයන් සෑදී ඇත්තේ හරියාකාර ද්‍රව්‍යවලින් බව අපේ දරුවන් දැකිය යුතු ය.
ඉන් පසු අපේ ඉගැන්වීම ඔවුන්ගේ හෘදයට කිඳා බැසිය යුතු ය. වඩා සාර්ථක ක්‍රිස්තියානි පුද්ගලිකත්ව ගොඩ නංවන්නා වන යේසුස් වහන්සේ උපමා හා ප්‍රශ්න මගින් හෘදවලට කිඳා බැස්ස සේක. (මතෙව් 17:24-27; මාර්ක් 13:34) ඉගැන්වීමේ මෙම ශිල්පීය ක්‍රම ඉතා බලපෑමෙන් යුක්ත බව දෙමාපියෝ සොයා ගනිත්. තම බාල දරුවන්ගේ හෘදවලට ක්‍රිස්තියානි සත්‍යයන් ආකර්ෂණය කර වීමට ඔවුහු උපමා උපයෝගි කර ගනිති. ඔවුන්ගේ වැඩිමහල් දරුවන් සැබවින් ම සිතන්නේ කුමක් දැයි හා ඔවුන් තම හෘද තුළ තර්ක කරන්නේ කෙසේ දැයි අවබෝධ කර ගැනීමට ඔවුහු හොඳින් සිතා බැලූ ප්‍රශ්න යොදා ගනිති.—හිතෝපදේශ 20:5.
ඇදහිලිවන්ත ව රැඳී සිටීමට ආශාවක් ඊශ්‍රායෙල්වරුන් තුළ ගොඩ නැංවීමට මෝසෙස් උත්සාහ කරමින් සිටින විට ඔහු මෙසේ කීය: “නුඹේ යහපත පිණිස . . . ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ආඥාද පනත්ද” පවත්වන්න. (ද්විතීය කථාව 10:13) ඒ හා සමාන ව, දෙවියන් වහන්සේගේ ප්‍රමිති තම දරුවන්ට පැහැදිලි ව පහදා දීමට පමණක් නොව නමුත් අවංකකම, සදාචාර පිරිසිදුකම, සහ යහපත් ආශ්‍රය ඔවුන්ගේ යහපත පිණිස වන බව ඒත්තු යන අයුරින් පෙන්වා දීමටත් දෙමාපියන් කටයුතු කළොත් යහපති.
අවසන් වශයෙන්, යේසුස් වහන්සේ මෙසේ කී සේක: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.” (යොහන් 17:3) දරුවන් බාල වියේ දී ම යෙහෝවඃ වහන්සේ ව පුද්ගලික ලෙස දැනගැනීමට පැමිණෙන විට, ඔවුන්ගේ ප්‍රශ්න ගැන උන් වහන්සේ සමඟ කථා කිරීමට ඉගෙන ගන්නා විට, ඔවුන්ගේ යාච්ඤාවලට උන් වහන්සේ විසින් පිළිතුරු දීමේ අත් දැකීම ලබන විට ක්‍රිස්තියානි පුද්ගලිකත්වයේ වඩාත් අතිශයින් වැදගත් කොටස වන තම මැවුම්කරුවාණන් සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් ඔවුහු වර්ධනය කර ගනිති.
ගින්න
කොරින්තියෙහි ගොඩ නැංවීමේ කටයුතු නිසියාකාර ව නොකර තිබූ විට නිකායවාදය හා මතභේද වැනි ලෞකික විශේෂිත ලක්ෂණ මුල් ඇදගත් බව පාවුල් සොයා ගත්තේ ය. මෙය අන්තරාදායක විය. මක්නිසාදයත් ඔහු පහදාදුන් පරිදි, “එක් එක්කෙනාගේ කර්මාන්තය කොයි ආකාරදැයි ගින්නෙන්ම ඔප්පු වන්නේය.”—1 කොරින්ති 3:13.
ගින්න යනු කුමක් ද? එය ක්‍රිස්තියානියෙකු මත සාතන් ගෙනෙන ඕනෑ ම පරීක්ෂණයක් විය හැක. එය තුල්‍ය පීඩනය, මාංසික දුර්පරීක්ෂා, ද්‍රව්‍ය වාදය, පීඩා, සැකයේ ක්ෂයකරවන සුලු බලපෑම පවා විය හැක. එවන් පරීක්ෂාවන් ස්ථිර වශයෙන් ම පැමිණෙනු ඇත. “එය ගින්නෙන් එළිදරව්වන නිසා ඒ දවස තෙමේ එය ප්‍රකාශ කරන්නේය.” දරුවන් පරීක්ෂා කරනු ලබන්නේය යන බලාපොරොත්තුවෙන් ප්‍රඥාවන්ත දෙමාපියෝ තම දරුවන්ගේ පුද්ගලිකත්වයන් ගොඩ නංවති. එහෙත් යෙහෝවඃ වහන්සේගේ උපකාරයෙන් ඔවුන්ගේ දරුවන් පරීක්ෂා කිරීමෙන් බේරී ගැලවෙන බවට ඔවුහු නිසැක වෙති. දෙමාපියන්ට මෙම ආකල්පය තිබේ නම් ඔවුන් බොහෝ සෙයින් ආශීර්වාද ලබනු ඇත.
විපාකය
පාවුල් මෙසේ පැවසී ය: “ඒ පිට ගොඩනැගුවාවූ යම් කෙනෙකුගේ කර්මාන්තය පවතී නම්, ඔහු විපාකයක් ලබන්නේය.” (1 කොරින්ති 3:14) ප්‍රේරිත පාවුල් විපාකයක් ලැබුවේ ය. ගොඩ නැගීමේ කටයුතු ද කර තිබූ තෙසලෝනික නගරයේ ක්‍රිස්තියානින්ට ඔහු මෙසේ ලීවේ ය: “අපගේ බලාපොරොත්තුවත් ප්‍රීතියත් පාරට්ටුවේ ඔටුන්නත් කිමෙක්ද? අපගේ ස්වාමීවූ යේසුස්වහන්සේගේ ඊමේදී උන්වහන්සේ ඉදිරියෙහි නුඹලාම නොවේද? එසේය, නුඹලා අපේ ගෞරවයත් අපේ ප්රීතියත්ය.”—1 තෙසලෝනික 2:19, 20.
වන්ඩාගේ මවට මෙම විපාකය ලැබිණි. දොළොස් හැවිරිදි වන්ඩා තම මවගෙන් වෙන් කරනු ලැබූ බව සොයා ගත් විට පළමු ව ඈ නින්ද යන තෙක් ම හැඬුවා ය. ඉන් පසු ඇගේ මතකයට ආවේ, යාච්ඤාවෙහි දී යෙහෝවඃ වහන්සේ සමඟ ඇගේ ගැටලු සාකච්ඡා කරන ලෙසට වූ ඇගේ මවගේ උපදේශයයි. ඇය යාච්ඤා කළ අතර, ළඟපාත යම් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙකු සිටින්නේ දැයි බැලීමට දුරකථන පොත පෙරළා බැලීමේ අදහසක් ඇයට ඉක්මනින් ඇති විය. ඇය ඔවුන් ව ඇමතීමෙන් ඇගේ පියාගේ නිවස තිබූ පාරෙහි ම පවුලක් වෙසෙන බව ඇය දැනගත්තා ය. “මා සන්තෝෂ වුණේ නැද්ද!” වන්ඩා පවසන්නී ය.
මෙම පවුලේ දිරිගැන්වීම සමඟින්, ඇගේ මල්ලී සහ නංගී ව නැවත ක්‍රිස්තියානි වැඩකටයුතුවලට ගෙන යාමට වන්ඩා සංවිධානය කළා ය. “අප ව රැස්වීම් සඳහා සූදානම් කරවීම සඳහා මම වගකිව යුතු වූයෙමි.” ඇය පහදා දෙයි. “අපේ රෙදි සේදීමට, අපේ හිස පීරීමට සහ අප පිරිසිදු සහ අප පිළිගනු ලැබිය හැකි තත්ත්වයක සිටින බවට මා නිසැක විය යුතු ව තිබුණි.” එය ලාබාල ගැහැණු ළමයෙකු සඳහා අමාරු වැඩ වූ නමුත් ඈ එය කළා ය. එක් අවස්ථාවක ඇගේ පියා ඔවුන්ගේ රැස්වීමට සහභාගි වීම නැවැත්වීමට උත්සහ කළේ ය, නමුත් දරුවන් ඔහුට ඇවටිලි කරන ලද්දෙන් ඔහු ඔවුන්ට යාමට ඉඩ හළේ ය.
පසු ව, එම දරුවෝ ඔවුන්ගේ මව සමඟ එක් කරනු ලැබූහ. වන්ඩා 15 හැවිරිදි වූ විට ඇය බව්තීස්ම ලත් ක්රිස්තියානිවරියක් වී අවසානයේ දී මිෂනාරිවරියක වීමේ ඇගේ අභිලාෂය ප්‍රකාශ කළා ය. එසේ ය, වන්ඩාගේ මවගේ වැඩය පරීක්ෂණයෙන් සමත් විය. ඇගේ දියණිය තනි ව ම සත්‍යය සඳහා ස්ථිර ව සිටිනු දැකීමේ විපාකය ඇය භුක්ති වින්දා ය. සියලු ම ක්‍රිස්තියානි දෙමාපියන් තම දරුවන් තුළ ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ගොඩ නැංවීමට ක්‍රියා කරන කල, ඔවුන් ද ඒ හා සමාන ව සාර්ථකත්වයක් ලබා ගනීවා. w91 7/1
[23වන පිටුවේ කොටුව]
මෙම ලිපිය පෙන්වන පරිදි, දෙමාපියන් තම දරුවන් තුළ ක්‍රිස්තියානි පුද්ගලිකත්වයන් ගොඩ නැංවීමට බලවත් උත්සාහයන් දරන අතරේ දී, ඔවුන්ගේ දරුවන්ට ද පුද්ගලික වගකීමක් තිබේ. සියලු ක්‍රිස්තියානින් මෙන් ඔවුන් ද තමන් තුළ ම ගොඩ නැංවීමේ වැඩක් කළ යුතු ය. (එපීස 4:22-24) මෙහි දී, උපකාරී වීමට දෙමාපියන් හට විස්මයජනක ප්‍රස්තාවක් තිබුණත්, අවසන් වශයෙන් එක් එක් පුද්ගලයාට, යෙහෝවඃ වහන්සේට සේවය කිරීමට ඔහුගේ හෝ ඇයගේ ම තීරණයක් ගැනීමට සිදුවේ.