‘යෙහෝවඃ වහන්සේ තුළ දැඩි විශ්වාසය තබන’ යෞවනයෝ
රූපශ්‍රීය තිබෙන්නේ යෞවනයන්ට පමණක්වත්, ප්‍රඥාව අත්කර ගෙන තිබෙන්නේ මහලු අය පමණක්වත් නොවේ. (සසඳන්න හිතෝපදේශ 11:22; දේශනාකාරයා 10:1.) ඒ වෙනුවට, කල් පවතින රූපාලංකාරයක් මෙන් ම අව්‍යාජ ප්‍රඥාවක් දරන්නේ, යෙහෝවඃ වහන්සේ කෙරෙහි දැඩි විශ්වාසය තබමින් හෘදපූර්ණ ව “ඔබ මාගේ දෙවියන්වහන්සේ” යයි උන් වහන්සේ ගැන පවසන අයයි.—ගීතාවලිය 31:14; හිතෝපදේශ 9:10; 16:31.
ලොව වටා යෞවන හා මහලු යන දෙපිරිසට ම අයත් රූ සම්පත ඇත්තවුන්ගේ වැඩි වන්නා වූ සංඛ්‍යාවක් සිටිත්. මොවුන් සිය ප්‍රඥාව පෙන්වන්නේ, දෙවියන් වහන්සේට සේවය කිරීමෙනුත්, දේව රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමෙනුත් ය. උදාහරණයක් වශයෙන්, අවුරුදු අටක් වයසැති සැබ්රිනා සැලකිල්ලට ගන්න.
සැබ්රිනා ජර්මනියේ වාසය කරන අතර දෙවන ශ්‍රේණියේ ඉගැනුම ලබන්නී ය. ඇගේ පාසලට ඇතුල් වූ පළමුවන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකාරිය ඇයයි. සිය ගුරුවරිය තමන්ගේ කැමති ම පොත පාසලට ගෙනෙන්නැයි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටි දිනය දක්වා, කනගාටුදායක ලෙසින්, ඇය සිය පාසල් ශිෂ්‍යයන්ගේ අපහාසයට කේන්ද්‍ර ගත ව සිටියා ය. මගේ බයිබල් කතන්දර පොත ගෙන යාමට සැබ්රිනා තීරණය කළා ය. ඊට පෙර දින රාත්‍රියේ, මදක් චකිතයකින් සිටිය ද, පන්තිය සඳහා ඇය හොඳින් සූදානම් වුණා ය. ඇගේ පන්තියේ ශිෂ්‍යයන් 26 දෙනෙක් සිටි නිසා, ඇයට වැඩි කාලයක් නොලැබෙන බව ඇය දැන සිටියා ය. එහෙත් තමාගේ ඉදිරිපත් කිරීමට බාධා කරන්නට කිසිවෙකුට ඉඩ නොහරින්නට ඇය අධිෂ්ඨාන කරගෙන සිටි අතර, යෙහෝවඃ වහන්සේ තමාට උපකාර කරන බව ඇය නිසැක ව දැන සිටියා ය. නියමිත දිනයේ, පොතක් ගෙනාවේ කවුද, එමෙන් ම එය මුලින් ම පෙන්වන්නට කැමති කවුද, යන්න ගුරුවරයා ඇසුවේ ය. පුදුම සහගත ලෙසින්, පොතක් ගෙනැවිත් තිබුණේ සැබ්රිනා පමණි. ඇය පන්තිය ඉදිරියේ සිටගෙන පොත පිළිබඳ ව කථා කරන්නටත්, එය කියවන්නටත්, ඉන් පින්තූර පෙන්වන්නටත්, එහි ඇති සැමෙකක් ම බයිබලය මත පදනම් බව පැහැදිලි කරන්නටත් පටන් ගත්තා ය. සිය කථාව නිම කරමින් ඇය මෙසේ ඇසුවා ය: “මේ පොත ලබා ගන්නට කැමති කවුද?” ඇය එක් පිටපතක් ගුරුවරියට දුන් අතර ඊළඟ දින කිහිපය තුළ ඇය තමාගේ පන්තියේ ශිෂ්‍යාවන් සමහරෙකුට අමතර පොත් දහයක් දුන්නා ය. ඇගේ ඉදිරිපත් කිරීම ගැන ගුරුවරයාගේ එක ම අදහස වූයේ, “මා එවැනි කිසිවක් කිසිදාක දැකලා නැහැ” යන්න ය. ඇය සැබ්රිනාගේ වැඩ කොටසට ‘ඒ’ සමර්ථයක් දුන්නා ය.
ඇත්ත වශයෙන් ම, යෞවන සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් පාසලේ දී ශුභාරංචියේ ප්‍රීතිමත් ප්‍රචාරකයන් වන්නාහ. මැක්සිකෝවේ වාසය කරන අවුරුදු 11ක් වයසැති එරිකා තවත් ආදර්ශයක් වන්නී ය. ළදරු කාලයේ පටන් යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නට ඇයට උගන්වා තිබේ. ඇගේ පාසල් වැඩකටයුතු විශිෂ්ට ය. ඇයට පවරා තිබූ එක් විෂයක් වූයේ, ඒඩ්ස් මෙන් ම දුම් කොළ හා මත්පැන්වලට ඇබ්බැහි වීම පිළිබඳ තොරතුරු සූදානම් කිරීම ය. පිබිදෙව්! සඟරාව පාවිච්චි කරමින් ඇය හොඳින් සූදානම් වූ අතර ඉහළ ම ලකුණු ලැබුවා ය. එම තොරතුරු ඇය ලැබුවේ කොතැනින් දැයි ඇගේ ගුරුවරිය ඇසූ අතර එම විෂයන් පිළිබඳ ලිපි අඩංගු ව තිබූ සඟරා ඇයට දෙනු ලැබී ය. පසු ව, මුළු පන්තිය සමඟ ම එම විෂයන් සාකච්ඡා කිරීමට ගුරුවරිය එම සඟරා පාවිච්චි කළා ය. එරිකාගේ හැසිරීම, තමාගේ ගුරුවරුන් සඳහා ඈ දැක් වූ ගෞරවය හා ඇගේ ඉහළ ලකුණු මට්ටම යනාදිය නිසා ඇය තෑගි, ඩිප්ලොමාවන් මෙන් ම, අඩක් ගෙවනු ලබන ශිෂ්‍යත්ව සඳහා ද සුදුසුකම් ලබා ඇත. එසේ ද වුවත්, ඇගේ ඉහළ ම ජයග්රහණයන් යයි ඇය සිතන්නේ තමා ව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් හැටියට ඇය හඳුන්වා දී තිබීමත්, බයිබල් ප්‍රකාශන බෙදා දීමට හැකි වීමත්, එමෙන් ම දෙවියන් වහන්සේගේ නාමය මහිමවත් කිරීමත් ය.
ඒත් සමඟ ම නවසීලන්තයේ වාසය කරන අවුරුදු දහයක් වයසැති ෂැනන් සැලකිල්ලට ගමු. ඔහුට ඇත්තේ ඇසක් පමණි; අනෙක ඔහු ළදරුවෙක් ව සිටි කාලයේ පිළිකාව නිසා අහිමි විය. ෂැනන්ට අවුරුදු හතක් වයස් ව තිබිය දී, ඔහුගේ මව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නට පටන් ගත්තා ය. කෙසේ වෙතත්, ඇගේ බයිබල් පාඩම පටන්ගෙන වැඩි කලක් යන්නට මත්තෙන්, ඇය නීත්‍යානුකූල ව විවාහ නොවූ පුරුෂයෙක් සමඟ වාසය කරන්නට පටන් ගත් අතර තමාගේ පාඩම් නතර කරන්නට තීරණය කළා ය. එහෙත් ෂැනන් තමාගේ බයිබල් පාඩම දිගට ම කරගෙන යාමට අවසර දෙන හැටියට අයැද සිටියේ ය. ඔහුගේ කැමැත්තට ඉඩ දෙනු ලැබී ය. සාක්ෂිකරුවා දිගට ම එහි ගිය අතර අවසානයේ ගෙදර සාමාජිකයන් තිදෙනා ම බයිබලය පාඩම් කරන්නට පටන් ගෙන ආත්මික ව ප්‍රගතියක් ලැබූහ. නීත්‍යානුකූල ව විවාහ වීමෙන් පසු, ෂැනන්ගේ මව හා සුරැකි පියා බව්තීස්මය ලැබූහ.
දිනක් ෂැනන් ද චාරිකා අවේක්ෂකගේ භාර්යාව ද එකට ක්ෂේත්‍ර සේවයේ යෙදී සිටියහ. එවිට නිවැසියෙක් ෂැනන්ගෙන්, “ඔබගේ ඇසට මොනව ද වුණේ? කියා ඇසී ය. ඔහු පිළිතුරු දුන්නේ මෙසේ ය: “එහි පිළිකාවක් හැදුණා, එනිසා එය ගලවන්න සිදු වුණා. ඉක්මනින් ම පාරාදීසයේ දී යෙහෝවඃ වහන්සේ මට අලුත් ඇසක් දෙන්නට යනවා, අපි අද මෙහාට ආවෙත් ඒ ගැන කියන්න තමයි.”