මාගේ ජීවිතය තුළ “යෙහෝවඃවහන්සේගේ හස්තය”
ලෝරන්ස් තොම්ප්සන් පැවසූ පරිදි
වර්ෂ 1946 එක් රාත්‍රියක, මගේ පියාත් මාත් රථයේ අසුන්ගෙන උත්තරාලෝකය අහසේ දීප්තියෙන් බබළන ආකාරය බලා සිටියා. එහිදී යෙහෝවඃවහන්සේගේ මහිමය ගැනත් අපගේ පහත් ස්වභාවය ගැනත් අප කථා කළා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු කැනඩාවේ තහනම් කර තිබූ අවධියේ ඇතැම් සිදුවීම් අපි යළි සිහියට නැංවූවා. මෙසේ පියා මගේ සිතට කාවද්දමින් සිටියේ එම කාලය තුළින් යෙහෝවඃවහන්සේ ස්වකීය සෙනඟ උසුලා මඟ පෙන්වූ ආකාරයයි.
එවිට මට අවුරුදු 13ක්ව තිබුණත්, පියා පවසමින් සිටි කාරණාවේ සත්‍යය මට අගය කළ හැකිව තිබුණා. තවමත් කිරීමට තිබෙන දේශනා වැඩවල හදිසිතාවය හා අතිවිශාල ප්‍රමාණය පිළිබඳ හැඟීමක්ද ඔහු මට කාවැද්දුවා. ගණන් කථාව 11:23 උපුටා දැක්වූ පියා, සැබවින්ම, යෙහෝවඃවහන්සේගේ හස්තය කිසිකලෙක ලුහුඬු නොවන බව මට අවධාරණය කළා. උන්වහන්සේ අපට කරන්නට යන දෙය සීමා කරනු ඇත්තේ උන්වහන්සේ කෙරෙහි පවතින අපගේ ඇදහිල්ලේ හා විශ්වාසයේ මදිකම පමණකි. එය මා කිසිදිනක අමතක නොකරන, අනර්ඝ පිය-පුතු අදහස් හුවමාරුවක් විය.
වොච් ටවර් ප්‍රකාශන අධ්‍යයනය කිරීම, විශේෂයෙන් 1939දී ප්‍රකාශිත සැල්වේෂන් නම් පොත, මගේ ජීවිතයේ මුල් අවධියට මහත් බලපෑමක් ඇති කළා. එම පොතේ කැපී පෙනෙන ආරම්භක නිදසුන මට කිසිදිනක අමතක වන්නේ නැහැ: “ජනයාගෙන් පිරි සීඝ්‍රගාමි දුම්රිය, පැයට සැතපුම් සියයක වේගයෙන් ගමන් කරමින් තිබුණි. දුම්රියේ පසුපස මැදිරියේ සිටින අය එන්ජිම දිස්වන ලෙසින්, සියයට පනහක පමණ වංගුවක් සහිත පාලමක් මතින් ගඟ හරහා ගමන් කළ යුතු වේ . . . පසුපස මැදිරියේ ගමන් කරන දෙදෙනෙක් . . . පාලමේ ඈත කෙළවරේ කොටසක් ගිනිගෙන, ගඟට කඩා වැටෙනු දුටහ. තමන් මහත් අන්තරාවකට මුහුණ දෙමින් සිටි බව ඔවුහු වටහා ගත්හ. එය සැබෑ හදිසිතාවයක් විය. එහි ගමන් කළ මගීන් විශාල සංඛ්‍යාවගේ ජීවිත බේරා ගැනීමට, කල් ඇතිව එම දුම්රිය නවතා ගත හැකිද?”
එම උදාහරණය අදාළ කර ගනිමින්, එම පොත මෙවන් නිගමනයක් කළා: “සමානාකාරයෙන් අදදින, පොළොවේ සියලු ජාතීන් හා ජනයා මහත් හදිසිතාවයකට මුහුණදී සිටිති. අර්මගෙදොන්හි විනාශය තදාසන්න බව, දෙවියන්වහන්සේ ආඥා කරන පරිදි ඔවුන්ට අනතුරු ඇඟවීමක් කරමින් තිබේ. . . . අනතුරු අඟවනු ලැබීමෙන් පසු, මෙසේ අනතුරු ඇඟවීම ලද එක් එක් පුද්ගලයා තමා ගන්නට යන ක්‍රියාමාර්ගය දැන් තෝරා ගත යුතුය.”
වේගයෙන් ඉදිරියට ඇදෙන දුම්රිය, දැවෙන පාලම හා දේශනා වැඩකටයුත්තේ හදිසිතාව යනාදිය අමතක නොවන ආකාරයකට මගේ මනසේ කාවැදී තිබුණා.
මුල් දේශනා ක්‍රියාකාරකම
මා දේශනා කටයුත්තේ හවුල් වන්නට පටන් ගත්තේ 1938දීය, එනම් මට අවුරුදු පහක්ව තිබියදීය. හෙන්රි හා ඇලිස් ට්වීඩ් නම් පුරෝගාමින් (පූර්ණ-කාලීන දේව සේවකයන්), දෙදෙනෙක් මාව ඔවුන් සමඟ රැගෙන ගිය අතර, අප ජනයාට කථා කිරීමෙහි දිනකට පැය 10 සිට 12 දක්වා කාලයක් වැය කළා. දවස පුරා යෙහෝවඃවහන්සේට සේවය කළ එම කාලය තුළ මම මහත් ප්‍රීතියක් භුක්ති වින්දා. එබැවින්, ඊළඟ වසරේ ප්‍රචාරකයෙක් බවට පත්ව, මගේ සේවය වාර්තා කිරීමට මගේ පියාත් මවත් මට ඉඩ හළ විට, ඇත්තෙන්ම මම මහත් ප්රමෝදයක් ලැබුවා.
ඒ මුල් දවස්වල, අප තොරතුරු දක්වන පා ගමන්වල, එනම් බොරු ආගම එළිදරව් කරමින් දේව රාජ්‍යය ප්‍රචාරය කළාවූ උද්යෝග පාඨ සහිත පුවරු ඇඳගෙන නගරයේ ප්‍රධාන වීදි දිගේ කරන ගමන්වල අපි නිරත වුණා. අතේ ගෙන යා හැකි තැටි වාදක යන්ත්රද අප භාවිතා කළ අතර නිවැසියන්ගේ දොරටුවලදීම බයිබලය මත පදනම් පණිවුඩ අප වාදනය කළා. එහිදී වාදනය කළ වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි, ජේ. එෆ්. රදෆර්ඩ්ගේ කථාවලින් සමහරක් මම කටපාඩමෙන් දැන සිටියා. “බොහෝ විට පවසා ඇත්තේ, ආගම මලපතක් මෙන්ම මුදල් ඉපැයීමට කරන මහත් වංචාවක්! යනුවෙනි” යයි ඔහු පවසනවා මට තවමත් ඇසෙනවා.
කැනඩාවේ අපගේ වැඩ තහනම් කෙරේ
දෙවන ලෝක යුද්ධය අතරතුර, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ නාට්සි ජර්මනියේ මෙන්ම වෙනත් රටවල සිදුවූ ආකාරයට, කැනඩාවේත් තහනම් කරනු ලැබුවා. එබැවින්, අප බයිබලය පමණක් භාවිතා කළද, බයිබල් උපදෙස්වලට අවනතව දෙවියන්වහන්සේ විසින් බලය පවරා ඇති අපගේ සේවය දිගටම කරගෙන ගියා. (මතෙව් 28:19, 20; ක්‍රියා 5:29) අපගේ රැස්වීම් හා අපගේ නිවාස මත පොලිසිය කඩා වැදුණු අවස්ථා සමඟ කටයුතු කරන ආකාරය අපි ඉගෙන ගත්තා. අපි විනිශ්චයකරුවන් ඉදිරියේ සාක්ෂි දීමෙහි මෙන්ම හරස් ප්‍රශ්න අසන්නන්ට පිළිතුරු දීමෙහිද අද්දැකීම්ලත් තත්ත්වයකට පත්වුණා.
මගේ අයියා වන ජිම් මෙන්ම මාත්, ගමන් කරන වාහනවලින් දොරකඩවලටත් ඉස්තෝප්පුවලටත් පොත්පිංච වීසි කිරීමෙහි ප්‍රවීණයන් බවට පත්වුණා. මීට අමතරව, එක්සත් ජනපදයේ සමුළුවලට සහභාගි වීමට මායිම හරහා යන අය සඳහා ඇතැම් අවස්ථාවන්හි පණිවිඩකරුවන් මෙන්ම මුරකරුවන් හැටියටත් අප ක්‍රියා කළා.
අපගේ නිවස පිහිටා තිබුණේ ඔන්ටාරියෝහි, පෝට් ආතර් (දැන් තන්ඩර් බේ) අවට ප්‍රදේශයේ ගස් හා පඳුරුවලින් වට වූ අක්කර කීපයක් මතයි. අපට වැස්සියෙක්, වහු පැටියෙක්, ඌරන් හා කුකුළන් සිටි අතර, මේ සියල්ලක්ම, දේව රාජ්‍යය දේශනා කිරීම හේතුවෙන් සිරගත කරනු ලැබීමට ලුහු බඳිමින් සිටි සෙසු යෞවන ක්‍රිස්තියානින්ට සහාය වීමේ ව්‍යාජ වේශයක් හැටියට අපගේ වැඩය සඳහා කදිම උපකාරයක් වුණා.
යෞවන ක්‍රිස්තියානින් රැගත් කාර්, ට්‍රක් හා ට්‍රේලර් රථ රාත්රියේදී අපගේ වෙන්කර තිබූ මිදුල තුළටත් ඉන් පිටතටත් ගමන්කරනවා. අපි මෙම යෞවනයන්ව රඳවාගැනීම, සැඟවීම, වෙස් මාරු කිරීම හා පෝෂණය කිරීම කළ අතර අනතුරුව ඔවුන්ව පිටත්කර හැරියා. එම මුල් වැඩකරුවනුත් එමෙන්ම මගේ පියාත් මවත්, යෙහෝවඃ දෙවියන්වහන්සේට සේවය කිරීමටත් ප්‍රේම කිරීමටත් මගේ යෞවන හෘදය හැඩගැන්වූ හෘදපූර්ණ සේවකයන් වුණා.
වර්ෂ 1941 අගෝස්තු මාසයේ, මම මගේ ජීවිතය යෙහෝවඃවහන්සේට කැප කර, ලඳු කැලෑවේ ඇතුළට වන්නට පිහිටි කුඩා විලක බව්තීස්මය ලැබුවා. ලාම්පුවෙන් පහන් කරන ලද කුටියක රැඳී සිටිමින් මහ රෑ සිදුකරන ලද මෙම සිද්ධියට අපි කීපදෙනෙක් එක්රැස් වී සිටියා. මෙය සැක කළ පොලිසිය, පරීක්ෂා කිරීමට යොදන දීප්තිමත් විදුලි ආලෝක, විල දෙසට විහිදුවමින්, ඒ වටා මුර සංචාරය කළද, ඔවුනට අපව සොයන්න නොහැකි වුණා.
පූර්ණ-කාලීන සේවයේ මුහුණත් බොහොමයක්
වර්ෂ 1951දී, මම ජ්‍යෙෂ්ඨ පාසලෙන් සමත්වූ අතර ඔන්ටාරියෝහි, කෝබර්ග් නම් නගරයේ පුරෝගාමි පැවරුමක් භාර ගැනීමට සැතපුම් සියයක් පමණ ගමන් කළා. එහි තිබුණේ කුඩා සභාවක්, මට පුරෝගාමි සේවයේ හවුල්වීමට කෙනෙක් එහි සිටියේ නැහැ. එහෙත් යෙහෝවඃවහන්සේගේ හස්තය කෙටි නොවන බව මතකයේ තබා ගනිමින්, කාමරයක් කුලියට ගෙන, මගේ ආහාර පිස ගනිමින්, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට මම සතුටින් සිටියා. ඊළඟ වසරේ, ටොරොන්ටෝහි පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ සේවය කිරීමට මට ආරාධනා කරනු ලැබුවා. අනාගත රාජ්‍යය සේවාව සඳහා මාව විශෝධනය කළ වටිනා පාඩම් බොහොමයක් මම එහිදී ඉගෙන ගත්තා.
මා ටොරොන්ටෝහි වසරකට වැඩි කාලයක් පුරෝගාමියෙක් හැටියට සේවය කළ පසු, ලූසි ටෲඩෝ හා මා විවාහ වූ අතර 1954 ශීත ඍතුවේදී, අපට ක්විබෙක්හි, ලිවස් වෙතට පුරෝගාමි පැවරුමක් ලැබුණා. එහි කාලගුණය ඉතා ශීත තත්ත්වයක තිබුණා, කැරලිකාර පිරිස් හා පොලිසියේ හිරිහැර කිරීම් මහත් බියක් දනවන්නට වුණා, එමෙන්ම ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීම අභියෝගයක් වුණා. මේ සියල්ල හමුවේ යෙහෝවඃවහන්සේගේ හස්තය කිසිවිටෙක ලුහුඬු නොකරන ලද බැවින්, දුෂ්කර කාලවල් තිබුණත්, අපට ඒත් සමඟම ආශීර්වාදයන් බොහොමයක්ද තිබුණා.
උදාහරණයක් වශයෙන්, 1955 විශාල ජාත්‍යන්තර යුරෝපා සමුළුවලට නියෝජිතයන් ප්රවාහණය කිරීමට සමිතිය පාවිච්චි කරන්නට අදහස් කළ නැව් දෙකක් වන ස්ටාර් හා අරෝසා කුල්ම් (අරෝසා) පරීක්ෂා කරන හැටියට අපෙන් ඉල්ලනු ලැබුවා. සමිතියේ වෙළෙඳ ගනුදෙනු දිගටම තබා ගැනීමට ආශාවෙන්, නැව් සමාගමේ විධායකයන් සමහර අවස්ථාවන්හි අපට ආගන්තුක සත්කාරය ඉදිරිපත් කළ අතර මෙය එවකට ක්විබෙක්හි තිබූ පීඩාකාරී දේවසේවයට ප්‍රසන්න විරාමයක් වුණා.
වර්ෂ 1955 සරත් ඍතුවේදී, සංචාරක අවේක්ෂකයෙක් හැටියට සේවය කිරීමට මට ආරාධනා කරනු ලැබූ අතර අප එම ශීත ඍතුව ගත කළේ ශීතාධික උතුරු ඔන්ටාරියෝහි දුරස්තර සභාවන් බැහැදකිමින්ය. ඊළඟ වසරේ අප එක්සත් ජනපදයේ වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් නම් පාසලට ඇතුල්වූ අතර, ඉන්පසු අප දකුණු අමෙරිකාවේ, බ්‍රසීලයට මිෂනාරිවරුන් හැටියට පැවරුම් ලැබුවා.
අපි උද්යෝගයෙන් යුක්තව අපගේ නව පැවරුමේ වැඩවල නිරත වූ අතර ඉක්මනින්ම පෘතුගීසි භාෂාවෙන් දේශනා කරන්නටත් උගන්වන්නටත් සමත් වුණා. වර්ෂ 1957 මුල් භාගයේදී, සංචාරක අවේක්ෂකයෙක් වශයෙන් සේවය කරන්නට යළිත් මම පැවරුම් ලැබුවා. මෙහිදී, උතුරේ ශීතාධික තත්ත්වය වෙනුවට, අපට අධික උෂ්ණත්වය සමඟ කටයුතු කරන්නට සිදුවුණා. වාර ගණනාවක්, අපට නැවතී අපගේ සපත්තුවලින් දැවෙන වැලි ඉවත් කරන්නටත් අපව ශක්තිමත්ව තබා ගැනීමට විකනු පිණිස උක්ගස් කපන්නටත් සිදු වුණා. එහෙත් ආශීර්වාදයන් තිබුණා.
රෙසෙන්ටි ෆෙයිජූ නම් නගරයේදී, මම පොලිසියේ ප්‍රධානියාට කථා කළ අතර, ඔහු සියලුම කඩසාප්පු වසන ලෙස ආඥා කර, සෑම කෙනෙකුටම නගර චතුරස්රයට යන්නට කීවා. කොළ පළල්ලැති මල්බර ගසක සෙවණේ සිට, මම නගර ජනයාට බයිබල් කථාවක් ඉදිරිපත් කළා. අදදින එහි සාක්ෂිකරුවන්ගේ සභාවක් තිබෙනවා.
අපගේ දරුවන්ව බ්‍රසීලයේ හදාවඩා ගැනීම
වර්ෂ 1958 ලූසි ගැබ් ගත්විට, අපි ශ්විස ඩෙ ෆෝරා නම් ස්ථානයේ පදිංචි වී විශේෂ පුරෝගාමින් හැටියට සේවය කළා. ඊළඟ වසර දෙක ඇතුළත, සූසන් හා කිම් යන අපගේ දියණියන් දෙදෙනා උපන්නා. ඔවුහු නගරයේ කැපීපෙනෙන අය බවට පත්වෙමින්, දේව සේවයේ සැබෑ ආශීර්වාදයක් බවට ඔප්පු වුණා. ගල් අතුරා තිබූ පාර දිගේ අප ඔවුන්ගේ ප්‍රෑම් කරත්ත තල්ලු කරත්ම, ජනයා ඔවුන්ව බලන්නට පිටතට පැමිණියා. සමකයට මදක් දකුණින් පිහිටි, රසිෆේහි රාජ්‍යය ප්‍රචාරකයන් සඳහා අවශ්‍යතාවය මහත්වූ බැවින්, අපි අතිශයින් උණුසුම්වූ එම ස්ථානයේ පදිංචියට ගියා.
වර්ෂ 1961දී, සාඕ පවුලෝහි පවත්වන සමුළුවට සහභාගි වන සාක්ෂිකරුවන් සඳහා ගුවනින් ප්රවාහණය සකස් කිරීමෙහි මට උපකාර කරන්නට පුළුවන් වුණා පමණක් නොව, මටත් එම අමතක නොවන සමුළුවට සහභාගි වන්නට හැකි වුණා. විනාඩි 20ක් පමණ ගුවන් ගමනෙහි යෙදී සිටියදී, කෙසේ හෝ, එම ගුවන් යානය මගීන්ව කුටිය පුරා වීසි කරමින්, හදිසියේ පොළොව දෙසට ගමන් කරන්නට පටන් ගත්තා. ගුවන් යානය ඇතුළත බොහෝ දේ කැඩී බිදී තිබුණා; ඒවා සවිකර තිබූ ස්ථානවලින් ආසන ඇඹරී ඉවතට ගැලවුණු අතර මගීන් පොඩිවී ලේ ගලන තත්ත්වයකට පත්වුණා. ගුවන් යානය කඩා වැටෙන තත්ත්වයෙන් බේරා ගන්නට එම ගුවන් නියමුවා සමත්වූ අතර එම ගුවන් යානය ආරක්ෂා සහිතව බිමට පහත් වීම සතුටට කරුණක් වුණා. වෙනත් ගුවන් යානයකින් සාඕ පවුලෝ වෙතට දිගටම ගමනේ යෙදිය නොහැකි ආකාරයට අප කිසිවෙකුට එතරම් දරුණු තුවාල සිදු වී තිබුණේ නැහැ. අප විස්මයජනක සමුළුවක් ප්‍රීතියෙන් භූක්ති වින්ඳ නමුත්, මා කියා සිටියේ කිසිදිනක යළිත් මා ගුවන් යානයකින් ගමන් නොකරන බවයි!
කෙසේවෙතත්, සමුළුවෙන් පසු මා ගෙදර පැමිණි විට, තවත් පැවරුමක් මා එනතෙක් මගබලා සිටියා. පියාවුයි ප්‍රාන්තයේ, ටෙරෙසියා නම් ස්ථානයේ කැලය අභ්‍යන්තරයේ පවත්වන්නට නියමිතව තිබූ සමුළුවක් භාරව මා කටයුතු කළ යුතුව තිබුණා. එතැනට යාමට මට ගුවන් යානයෙන් යා යුතුව තිබුණා. මා භයෙන් සිටියද, යෙහෝවඃවහන්සේගේ හස්තය මත විශ්වාසය තබමින්, මම එම පැවරුම පිළිගත්තා.
වර්ෂ 1962 අපගේ පුත් ග්‍රෙග්, රසිෆේහි ඉපදුණා. මේවන විට වැඩෙන පවුලක් මට සිටියෙන් තවදුරටත් පුරෝගාමි සේවයේ යෙදෙන්නට මට හැකියාවක් නොතිබුණද, එම කුඩා සභාව කෙරෙහි ඒකාන්ත බලපෑමක් කරන්නට මට හැකියාවක් තිබුණා. දේව සේවය අපගේ දරුවන්ගේ සිත්ගන්නා දෙයක් බවට අප පත් කළ නිසා, ඔවුන් අපත් සමඟ එහි හවුල් වන්නට උනන්දුවෙන් සිටියා. ඔවුන් සෑම කෙනෙක්ම, අවුරුදු තුනේ පටන්, නිවෙස්වලට යමක් ඉදිරිපත් කරන්නට සමත් තත්ත්වයක සිටියා. රැස්වීම්වලට පැමිණීමේ හෝ ක්ෂේත්‍ර සේවයේ හවුල්වීම කිසිදිනක අතපසු නොකරන්නට අපි පුරුද්දක් කර ගත්තා. පවුලේ කෙනෙක් රෝගාතුර වී, තවත් කෙනෙකුට එම තැනැත්තා සමඟ නිවසේ රැඳී සිටින්නට සිදුවන විට පවා, ඉතිරි අය රැස්වීමට පැමිණෙනවා, නැතහොත් ක්ෂේත්‍ර සේවයේ හවුල් වෙනවා.
ගතවූ කාලය පුරා, අපගේ දරුවන්ව යෙහෝවඃවහන්සේගේ සංවිධානය සමඟ වෘත්තියක් සඳහා සූදානම් කරමින්, අපි නිතිපතා දරුවන්ගේ පාසල් පාඨමාලාවන් හා ඔවුන්ගේ ජීවිතයේ ඉලක්කයන් ගැන පවුලක් හැටියට සාකච්ඡා කළා. රූපවාහිනි වැනි, දුර්වල කරවන බලපෑම්වලට ඔවුන්ව නිරාවරණය නොකිරීමට අපි සැලකිලිමත් වුණා. දරුවන් සිය නවයොවුන් වියට පිවිසෙනතෙක්, අප නිවසේ රූපවාහිනියක් තබා ගත්තේ නැහැ. එමෙන්ම අපට හැකියාවක් තිබුණත්, අපි ද්‍රව්‍යමය දේවල් මගින් ඔවුන්ව නරක් කළේ නැහැ. උදාහරණයක් වශයෙන්, තිදෙනාම හවුලේ පාවිච්චි කිරීමට අප මිලදී ගත්තේ එක් බයිසිකලයක් පමණයි.
පැසි පන්දු ක්‍රීඩා කිරීම, පිහිනීම හා පවුලේ ගමන්වල යෙදීම යනාදි සෑම දෙයකම, හැකි තරම් දුරට අප එකට කටයුතු කළා. අපගේ ගමන් සම්බන්ධ වී තිබුණේ සමුළුවලට යාම හෝ විවිධ රටවල බෙතෙල් නිවාස බැහැදැකීමට යාම සමඟයි. අපගේ දරුවන්ගේ හෘදයන්හි තිබූ අදහස් ලූසිටත් මටත් දැනගත හැකිවන ලෙසින්, මෙම ගමන් නිදහසේ එකට කථා කිරීමට අපට කාලය ලබා දුන්නා. එම ප්‍රීතිමත් කාලයන් ගැන අප යෙහෝවඃවහන්සේට කොතරම් කෘතඥ වෙනවාද!
අවසානයේ, සමකය අසළ නිවර්තනයේ අපගේ දස අවුරුද්ද ලූසිගේ සෞඛ්‍යට දරුණු බලපෑම් ඇති කළා. එබැවින්, දකුණේ, පැරානා ප්‍රාන්තයේ, කියුරිටිබාහි වඩාත් මධ්‍යස්ථ කාලගුණයකට මාරුවීමක් අපි සාදරයෙන් පිළිගත්තා.
කැනඩාවට හැරී යාම
බ්‍රසීලයේ වසර 20ක් ගත කිරීමෙන් පසු, වර්ෂ 1977දී, ලූසිත් මාත් අපගේ දරුවන් සමඟ රෝගාතුරව සිටි මගේ පියාව රැකබලා ගැනීම සඳහා පෙරළා කැනඩාවට පැමිණියා. එය අපගේ පවුලට සංස්කෘතිකමය වශයෙන් කොතරම් වෙනසක්වීද! එහෙත් අපගේ ප්‍රේමනීය ක්‍රිස්තියානි සහෝදර සමාගම සමඟ අප එම ක්‍රියා පිළිවෙළම පවත්වාගත් නිසා, ආත්මික වශයෙන් එය වෙනසක් වුණේ නැහැ.
අපගේ දියණියන් එක් එක්කෙනා පිළිවෙළින් පූර්ණ-කාලීන පුරෝගාමි සේවයට ඇතුල් වූ නිසා, කැනඩාවේ සිටින අතර පූර්ණ-කාලීන දේව සේවය පවුල සම්බන්ධ වූ දෙයක් බවට පත් වුණා. අපගේ පවුලේ එක්සත් වෑයමට අපි සියල්ලන්ම දායක වුණා. අර්ධ කාලීන රැකියාවන්ගෙන් ලද ඕනෑම ආදායමක් අපගේ නිවස හා අපගේ විහිදී තිබුණ ක්ෂේත්රය පියවීමට අවශ්‍ය කළ වාහන තුන නඩත්තු කිරීම සඳහා වූ වියදම් අරමුදලට බැර කරනු ලැබුවා. සෑම සතියකම, අපගේ පවුලේ බයිබල් පාඩමට පසුව, අපි අපගේ පවුලේ සැලසුම් සාකච්ඡා කළා. මෙම සාකච්ඡා අපි යමින් සිටින ස්ථානය හා අප අපගේ ජීවිත සමඟ කරමින් සිටින දෙය අර්ථ දක්වන්නට සෑම කෙනෙක් සඳහාම උපකාරවත් වුණා.
අපගේ පුත්‍රයා වන ග්‍රෙග්, සිය වැඩිමහල් සහෝදරිය මෙන්, පූර්ණ-කාලීන දේව සේවය සිය ඉලක්කය කරගෙන සිටියා. ඔහුට අවුරුදු පහක් වයස්ව සිටි කාලයේ පටන්, ඔහු සිය ආශාව පළ කළේ බෙතෙල් යනුවෙන් හඳුන්වනු ලබන සමිතියේ ශාඛා කාර්යාලයක සේවය කිරීමටයි. ඔහු එම ඉලක්කය අත් නොහළ අතර ජ්‍යෙෂ්ඨ පාසලෙන් සමත්වීමෙන් පසු, ඔහු සිය මවගෙනුත් මගෙනුත් ඇසුවේ, “මා බෙතෙල් සේවයට අයදුම් කළ යුතුය කියා ඔබ සිතනවාද?” යනුවෙනුයි.
අපගේ පුත්‍රයාට අපෙන් ඉවත්වීමට ඉඩ හැරීම අපගේ හෘදයන්ට දැරිය නොහැකි වුවද, අපි පැකිළීමකින් තොරව මෙසේ පිළිතුරු දුන්නා: “යෙහෝවඃවහන්සේගේ සංවිධානයේ හෘදය වන, බෙතෙල්හිදී ඔබට දැනෙන්නට යන තරම් යෙහෝවඃවහන්සේගේ හස්තය ඔබට කිසි විටෙකත් නොදැනෙනු ඇත.” මාස දෙකක් ඇතුළත ඔහු කැනඩාවේ බෙතෙල් වෙතට ඉවත්ව ගියා. වර්ෂ 1980දී එය සිදුවූ අතර එවක් පටන් ඔහු එහි සේවය කර තිබෙනවා.
එක්දහස් නවසිය අසූගණන් ලූසිටත් මටත් නව අභියෝගයන් ඉදිරිපත් කළා. අප දෙදෙනාම තනිවී, අප පටන් ගත් ස්ථානයට නැවතත් අපි පැමිණ සිටියා. ඒ වන විට සූසන් විවාහ වී සිය ස්වාමිපුරුෂයා සමඟ පුරෝගාමි සේවයේ නියැලෙමින් සිටි අතර කිම් හා ග්‍රෙග් යන දෙදෙනාම බෙතෙල්හි සේවය කරමින් සිටියා. අප කරන්නේ කුමක්ද? කැනඩාව හරහා සැතපුම් 1,200ක පමණ දුරක් විහිදී තිබූ, පෘතුගීසි චාරිකාවක සේවය කරන්නට 1981දී අපව ආරාධනා කරනු ලැබූ විට, එම පැනයට වහා පිළිතුරු දෙනු ලැබුවා. අපි තවමත් එම සංචාරක වැඩය ප්‍රීතියෙන් භුක්ති විඳිමින් සිටිනවා.
කිම් ඉන්පසුව විවාහ වී ගිලියඩ් පාසලට සහභාගි වූ අතර දැන් ඇය සිය ස්වාමිපුරුෂයාත් සමඟ බ්‍රසීලයේ චාරිකා වැඩවල නිරතව සිටිනවා. සූසන් හා ඇගේ සැමියා, සිය දරුවන් දෙදෙනාව හදාවඩා ගනිමින්, තවමත් කැනඩාවේ සිටින අතර ඇගේ පුරුෂයා පුරෝගාමි සේවයේ නිරතව සිටිනවා. පූර්ණ-කාලීන සේවයේ අපගේ විවිධ පැවරුම් නිසා, අපගේ පවුල මෑත කාලයේ කායික වශයෙන් වෙන්ව සිටියත්, අපි ආත්මික හා චිත්තවේගී වශයෙන් තවදුරටත් සමීපව සිටිනවා.
ලූසිත් මාත් පවිත්‍ර කරන ලද පොළොවක් මත අපගේ පවුලත් සමඟ දීප්තිමත් අනාගතයක් බලාපොරොත්තුවෙන් සිටිනවා. (2 පේතෘස් 3:13) අතීතයේ විසූ මෝසෙස් මෙන්, ගණන් කථාව 11:23හි ඇති ප්‍රශ්න විලාසයෙන් කරන “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] හස්තය ලුහුඬුව තිබේද? මාගේ වචනය ඉෂ්ටවේද නැද්ද කියා දැන් නුඹට පෙනේ” යන ප්‍රකාශය සඳහා ඇති පිළිතුරේ සත්‍යතාවය අපි කෙළින්ම අද්දැක තිබෙනවා. ඇත්ත වශයෙන්ම, සිය හෘදපූර්ණ සේවාව සඳහා ස්වකීය සේවකයන්ට ආශීර්වාද කිරීමෙන් කිසිවකට යෙහෝවඃවහන්සේව වළක්වන්නට නුපුළුවන.
[25වන පිටුවේ පින්තූරය]
මගේ භාර්යාව වන ලූසි සමඟ