යේසුස්වහන්සේ පිළිබඳ සැක යුක්තිසහගතද?
නාසරෙත්හි යේසුස්වහන්සේ සැබවින්ම ප්රාතිහාර්යයන් සිදු කළසේක්ද? උන්වහන්සේගේ ගෝලයන් ප්‍රකාශ කළ පරිදි, උන්වහන්සේව මළවුන්ගෙන් නැඟිටුවනු ලැබීද? උන්වහන්සේ ඇත්තෙන්ම ජීවත් වූසේක්ද? පෙනෙනාකාරයට අපගේ නවීන යුගයේ බොහෝදෙනෙකුට, නිශ්චිත වශයෙන් මෙම ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට නොහැකි වී ඇත. ඒ මන්ද? ඔවුන්ට යේසුස්වහන්සේ පිළිබඳ සැක තිබෙන නිසාය, තවද, සැකයන් අවිනිශ්චිතභාවයේ හැඟීම් වේ, යම් දෙයක් සැබෑ හෝ සිදුවිය හැකියයි නොදැන සිටීමය. එහෙත් යේසුස්වහන්සේ පිළිබඳ අවිනිශ්චිතභාවයේ හැඟීම් යුක්තිසහගතද? අපි දැන් බලමු.
යේසුස්වහන්සේ ගැන සැක ඇති වූ ආකාරය
දහනවවන ශතවර්ෂයේ අගභාගයේදී සහ 20වන ශතවර්ෂයේ මුල්භාගයේදී සමහර ජර්මානු දේවවේදීහු, යේසුස්වහන්සේව “පුරාතන පල්ලියේ මිථ්‍යා පුද්ගලයෙකු” ලෙස විස්තර කළෝය. යේසුස්වහන්සේගේ ඓතිහාසිකත්වය පිළිබඳ ඔවුන් පහළ කළ සැක, මෙම සියවස ආරම්භයේදී විශාරදයන් අතර මෙන්ම ඒ කාලයේ සිටි මහජනයා අතරද විවාදයකට මඟ පෑදූ අතර, එය අදදින දක්වාම බලපෑමක් එල්ල කරයි. නිදසුනක් වශයෙන්, යේසුස්වහන්සේ “කිසිදිනක ජීවත් නොවූ” බවත් “ප්‍රේරිතයන් උන්වහන්සේව ප්‍රබන්ධ” කළ බවත්, සම්මුඛ සාකච්ඡාවට ලක් කළ අයගෙන් සියයට 3ක්ම විශ්වාස කළ බව ජර්මනියේ මෑතකදී කළ අධ්‍යයනයකදී හෙළි විය. එසේය, මෙම සියවසේ මුලදී යේසුස්වහන්සේ පිළිබඳ වපුරන ලද සැක, අදදින දක්වා ජනයාගේ හෘදයන් තුළ සරු පසක් සොයාගෙන ඇත.
යේසුස්වහන්සේ නිකම්ම “ප්‍රබන්ධයක්” බව, යන නිගමනයට පැමිණීම යුක්තිසහගත නොවන්නේ මන්ද? බයිබල් විශාරද වෝල්ෆ්ගං ට්‍රිලිං මෙසේ අදහස් දක්වයි: “යේසුස්වහන්සේ කිසිදිනක ජීවත් වූ බවට විවාදය, වෙනත් වචනවලින් කිවහොත් උන්වහන්සේ ඓතිහාසික පුද්ගලයෙක්ද නැතහොත් මිථ්‍යාවක්ද, යන ප්රශ්නය විසඳන ලදි. එම ප්රශ්නය උගත් ආකාරයකින් විසඳනු ලැබීය, යටත් පිරිසෙයින් බරපතළ ලෙස කල්පනා කරන අය මෙම ප්රශ්නය තවදුරටත් අවිනිශ්චිතභාවයකින් නොසලකන ආකාරයකින් එසේ කරන ලදි.” කෙසේවෙතත්, යේසුස්වහන්සේ ජීවත් වූ බව සමහරු තවමත් සැක කරති. එනිසා කෙනෙකුට යේසුස්වහන්සේගේ ඓතිහාසිකත්වය සහ උන්වහන්සේ පිළිබඳ සැක දුරු කළ හැකි ආකාරය අපි පරීක්ෂා කර බලමු.
සැක දුරු කරන සාක්ෂි
නීච අපරාධකරුවෙකු ලෙස යේසුස්වහන්සේගේ නින්දිත මරණය, “යේසුස්වහන්සේගේ ඓතිහාසිකත්වය පිළිබඳ විරුද්ධවාදීන්ට වඩාත් ඒත්තු ගන්වන තර්ක” ඉදිරිපත් කරන බව ට්‍රිලිං ප්‍රකාශ කරයි. ඒ මන්ද? උන්වහන්සේව මරණයට පත් කිරීම, “යුදෙව්වන් සහ යුදෙව් නොවන්නන් අතර නව ඇදහිල්ල විසුරුවා හැරීමට බාධා හෝ අවහිර පවා” ඇති කළ නිසාය. (1 කොරින්ති 1:23 සසඳන්න.) යේසුස් නම් මෙසියස්වහන්සේව මරණයට පත් කිරීම, යුදෙව්වන් සහ අන්‍යජාතීන්ට එතරම් බලවත් නිග්‍රහයක් වූයේ නම්, එය කිසිසේත් ප්‍රේරිතයන්ගේ ප්‍රබන්ධයක් නොවනු ඇත! තවද, යේසුස්වහන්සේගේ මරණය ඓතිහාසික සිද්ධියක් ලෙස සුවිශේෂ හතර මගින් පමණක් නොව, නමුත් රෝමානු ලේඛක ටැසිටස් විසින් සහ යුදෙව් තල්මුඩයෙහි සනාථ කර ඇත.a
යේසුස්වහන්සේගේ ජීවිත කාලයේ වෙනත් සිද්ධීන්, සුවිශේෂවල විශ්වසනීයත්වයට අභ්‍යන්තර සාක්ෂි ලෙස සැලකේ, එනම් ඒවාවල උන්වහන්සේ පිළිබඳ අපට පවසන දේවලට සාක්ෂි සපයයි. නිදසුනක් වශයෙන්, නාසරෙත් වැනි නොවැදගත් සේ පෙනෙන ස්ථානයකින් යේසුස්වහන්සේගේ පැමිණීම උන්වහන්සේගේ ගෝලයන් විසින් නිර්මාණය කරනු ඇද්ද? එසේ නැත්නම් ඔවුන් විශ්වාස කළ සහයකයකු වූ යූදස් විසින් උන්වහන්සේව පාවා දීම ප්‍රබන්ධ කළා විය හැකිද? යේසුස්වහන්සේව තම ගෝලයන් විසින් ඉතාමත් බියසුලු ආකාරයකින් අත්හරිනු ලැබූ බවට කතාවක් ප්‍රබන්ධ කරනු ඇතැයි සිතීම යථාර්ථවාදී බව පෙනේද? ගෝලයන් විසින් මෙතරම් හානිදායක තොරතුරු ගොඩනැඟීම සහ දුර නුදුර ප්‍රකාශ කිරීම සැබවින්ම තර්කානුකූල නොවේ! මීට අමතරව, යේසුස්වහන්සේ විසින් උපයෝගි කරනු ලැබූ ඉගැන්වීමේ කලාවට ඉතාමත් අද්විතීය ශෛලියක් තිබිණ. උන්වහන්සේගේ උපමාවලට සමාන කළ හැකි කිසිම දෙයක් පළමු සියවසේ යුදෙව් සාහිත්‍යයෙහි අඩංගු වී නැත. කන්ද උඩ දේශනාව තරම් විශිෂ්ට කෘතියක් “නිර්මාණය” කිරීමට කුමන නිර්නාමික පුද්ගලයෙකුට හැකි වනු ඇද්ද? යේසුස්වහන්සේගේ ජීවිතය පිළිබඳ වාර්තා වශයෙන් සුවිශේෂවල විශ්වාසවන්තකම, තහවුරු කිරීමට මෙම තර්කයන් උපකාර කරයි.
යේසුස්වහන්සේගේ ඓතිහාසිකත්වයට බාහිර සාක්ෂිද ඇත. උන්වහන්සේ විශේෂිත වූ, නිරවද්‍ය ලෙස විස්තර කර ඇති, ඓතිහාසික පසුබිමක් මත ජීවත් වූ බව සුවිශේෂ හතර විස්තර කරයි. බෙත්ලෙහෙම සහ ගලීලය වැනි ස්ථානද; පොන්තියුස් පිලාත් සහ ඵරිසිවරුන් වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් සහ කණ්ඩායම්; ඒ සමඟම යුදෙව් චාරිත්‍ර සහ වෙනත් විශේෂයන් නිකම්ම ප්‍රබන්ධ කළ දේවල් නොවේ. ඒවා පළමු සියවසේ ජීවිත ව්‍යූහයේ කොටසක් සකස් කළ අතර, බයිබලය මත පදනම් නොවූ මූලාශ්‍ර මගින් සහ පුරාවිද්‍යාත්මක සොයාගැනීම් තුළින්ද ඒවා සනාථ වී ඇත.
මෙසේ, යේසුස්වහන්සේ ඓතිහාසික පුද්ගලයෙකු බවට අභ්‍යන්තර මෙන්ම බාහිර, තර්කානුකූල සාක්ෂි ඇත.
කෙසේවෙතත්, බොහෝදෙනෙක් උන්වහන්සේ හා සම්බන්ධ ප්රාතිහාර්යයන් පිළිබඳව, සැක ඇති කරගනිති. සැබවින්ම, ඉහත උපුටා දක්වන ලද සමීක්ෂණයකට අනුව, යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන් සහ නැවතනැඟිටුවීම “සැබවින්ම සිදුවූ බව” ජර්මනියේ පල්ලි යන්නන් අතරින් ඉතා කුඩා සංඛ්‍යාවක් පමණක් විශ්වාස කරති. යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන් සහ නැවතනැඟිටීම පිළිබඳ සැක යුක්තිසහගතද?
යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන් සමහරුන් විසින් සැක කිරීමට හේතුව
යේසුස්වහන්සේ ආශ්චර්යවත් ලෙස ලෙඩුන් සුව කළ බවත්, මළවුන් නැඟිටෙවූ බවත්, යක්ෂයන් දුරු කළ බවත්, මතෙව් 9:18-36 වාර්තා කරයි. ඉතිහාසඥයෙකු වූ මහාචාර්ය හියුගෝ ෂ්ටැව්ඩිඥර් මෙසේ අදහස් දක්වයි: “මෙම අතිවිශේෂ වාර්තාවන්, විචිත්‍ර මනඃකල්පිතයක් ආශ්රයෙන් බිහිවූ බව විශ්වාස කළ නොහැකි තරම්ය, ඓතිහාසික දෘෂ්ටිකෝණයෙන් තවද විය නොහැකි දෙයකි.” ඒ මන්ද? පෙනෙනාකාරයට මුල් සුවිශේෂ ලියා තිබුණේ, මෙම ප්රාතිහාර්යයන් ඇසින් දුටු සාක්කිකරුවන් බොහෝදෙනෙකු ජීවත්ව සිටියදීය! ෂ්ටැව්ඩිඥර් තවදුරටත් ප්‍රකාශ කරන පරිදි, යුදෙව් විරුද්ධකාරයන් “යේසුස්වහන්සේ අපූරු වූ ආශ්චර්යයන් සිදු කළ බව කිසිදා ප්‍රතික්ෂේප නොකළ” බැවින් එය තවදුරටත් තහවුරු විය. අනික් සෑම සාක්ෂියක්ම ප්‍රතික්ෂේප කර, මෙම බාහිර සාක්ෂිය මත පමණක් අපගේ විනිශ්චය පදනම් කිරීමෙන්, යේසුස්වහන්සේගේ ප්රාතිහාර්යයන්, අප විසින් විශ්වාස කරනු ලැබීම නිරර්ථක දෙයක් නොවන බව අප සොයාගන්නවා ඇත.—2 තිමෝති 3:16.
“යේසුස්වහන්සේ ලෙඩුන් සුව කළ බව ජර්මානුවන්ගෙන් බහුතරයක් විශ්වාස” කළත්, මෙම සුව කිරීම් පිටුපස ඇති බලය ගැන බොහෝදෙනෙකුට සැක ඇත. උදාහරණයක් වශයෙන්, ප්‍රසිද්ධ ජර්මානු දේවවේදියෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, යේසුස්වහන්සේ විසින් සිදු කළාවූ සුව කිරීම්, මෝහනය කිරීමේ බලයේ ප්‍රතිඵලයක් වූ අතර, මානසිකව පීඩාවෙන් වේදනා විඳින අය කෙරෙහි බලපෑම් කිරීමක් වූ බවය. මෙය අව්‍යාජ පහදා දීමක්ද?
ඇත්තෙන්ම සලකා බලන්න. යේසුස්වහන්සේ මනුෂ්‍යයෙකුගේ වියළුණු අතක් සුව කළ බව මාර්ක් 3:3-5 වාර්තා කරයි. එහෙත් වියළුණු අතක් මානසික අසහනයක ප්‍රතිඵලයක්ද? ස්ථිරයෙන්ම නැත. ඒ හේතුවෙන් මෙම සුව කිරීම් මෝහනයේ බලයෙන් සිදු කරන බව කිව නොහැක. එසේනම් මෙම ප්රාතිහාර්යයන් සිදු කිරීමට යේසුස්වහන්සේට හැකි කරවූයේ කුමක්ද? ස්ථිරයෙන්ම වලංගු නීති නැත්නම් සහ යමෙකු සම්පූර්ණයෙන්ම දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප නොකරන්නේ නම්, මනුෂ්‍ය බලය ඉක්මවා යන බලයක් ඇති දෙවියන්වහන්සේට අසමාන්‍ය ක්‍රියාවන් ඉටු කිරීමට ඇති හැකියාව යමෙකුට මූලික වශයෙන් ඉවත් කළ නොහැක. එසේය, යේසුස්වහන්සේ, වචනානුසාරයෙන්ම ‘දෙවියන්වහන්සේගේ බලයේ’ උපකාරයෙන්, ලෙඩුන් සුව කළසේක. එනිසා උන්වහන්සේගේ ප්‍රාතිහාර්යයන්වල අව්‍යාජභාවය සැක කිරීමට කිසිම හේතුවක් නැත.—ලූක් 9:43; මතෙව් 12:28.
දි අමෙරිකන් පීපල්ස් එන්සයික්ලොපීඩියා කාරණය දක්වන පරිදි, යේසුස්වහන්සේගේ නැවතනැඟිටීම—එනම් සියලුම ප්රාතිහාර්යයන්ගෙන් උතුම්ම ප්රාතිහාර්යය—සිදුවී නම්, සුවිශේෂවල වාර්තා කර ඇති අනික් සෑම ප්රාතිහාර්යයක්ම “සිදුවිය හැකි ගණයට වැටෙනු ඇත.” යේසුස්වහන්සේ ඇත්තෙන්ම, මළවුන්ගෙන් නැඟිටුවනු ලැබූසේක්ද?
යේසුස්වහන්සේගේ නැවතනැඟිටීම පිළිබඳ සැක යුක්තිසහගතද?
උන්වහන්සේගේ නැවතනැඟිටීම සනාථ කරන බලවත් පරිවේෂණ සාක්ෂියක් පළමුව සලකා බලන්න—එනම් උන්වහන්සේගේ සොහොන් ගෙය හිස්ව පැවතීම. යේසුස්වහන්සේගේ සොහොන් ගෙය හිස්ව සොයාගැනීම නමැති කාරණය, උන්වහන්සේගේ සමකාලීනයෝ සහ විරුද්ධකාරයෝ පවා විවාදයකින් තොරව පිළිගත්හ. (මතෙව් 28:11-15) වංචාවක් පහසුවෙන්ම අනාවරණය කිරීමට හැකි වනු ඇත! ඉහත සඳහන් ආශ්‍රේය කෘතිය නිවැරදි ලෙස මෙසේ නිගමනය කරයි: “ ‘උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැඟිටුණුසේක,’ යන බයිබල් ප්‍රකාශය හැර, සොහොන් ගෙය හිස්ව පැවතීමට වෙන කිසිම සාධාරණ පහදා දීමක් යෝජනා කර නැත, (මතෙව් 28:6).”
නැවතනැඟිටුවනු ලැබූ මෙසියස්වහන්සේ, උන්වහන්සේ බව සෑම තැනකම ප්‍රකාශ කළේ, යේසුස්වහන්සේගේ ගෝලයන් පමණක්ය කියමින් සමහරු විරුද්ධ වෙති. ඔවුහු එසේ කළෝය. එසේනමුත්, විශේෂයෙන්ම යේසුස්වහන්සේගේ මරණය සහ නැවතනැඟිටීම පිළිබඳ ඔවුන්ගේ පණිවුඩයේ සත්‍යතාව, ඓතිහාසිකත්වය මත ස්ථිර ලෙස රඳා නොපැවතියේද? ඇත්තෙන්ම. ප්‍රේරිත පාවුල් මෙසේ ලියූ විට, හේ මේ සම්බන්ධව අවබෝධයෙන් සිටියේය: “ඉදින් ක්‍රිස්තුස්වහන්සේ නැගුටුවනු නොලැබූසේක් නම්, අපගේ දේශනාකිරීම නිෂ්ඵලය, නුඹලාගේ ඇදහීමත් නිෂ්ඵලය. ක්‍රිස්තුස්වහන්සේව උන්වහන්සේ නැඟිටෙවූසේකැයිද අප උන්වහන්සේ ගැන සාක්ෂිදුන් බැවින්, අපත් දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂිකාරයන් බව පෙනේ.”—1 කොරින්ති 15:14, 15; සසඳන්න යොහන් 19:35; 21:24; හෙබ්‍රෙව් 2:3.
පළමු සියවසේ, ඉතා ප්‍රසිද්ධ වූ අනන්‍යතා තිබූ බොහෝදෙනෙකු සිටි අතර, යේසුස්වහන්සේගේ මරණයෙන් පසු උන්වහන්සේගේ පෙනී සිටීම ගැන සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔවුන්ට හැකි වනු ඇත. මේ අය අතුරින් ප්‍රේරිතවරු 12දෙනා සහ පාවුල්ද, තවත් ඇසින් දුටු සාක්කිකරුවෝ 500කට වඩා වැඩිදෙනෙක්ද සිටියහ.b (1 කොරින්ති 15:6) එමෙන්ම මත්තියස්, අවිශ්වාසවන්ත ප්‍රේරිත යූදස් වෙනුවට පත්වීම සඳහා සුදුසුකම් ලැබීමට හේතුව මනසේ තබාගන්න. මත්තියස්ට යේසුස්වහන්සේගේ නැවතනැඟිටීමට සහ උන්වහන්සේ පිළිබඳ කලින් සිද්ධීන්වලට සාක්ෂි, ඉදිරිපත් කළ හැකි බවට ක්‍රියා 1:21-23 වාර්තා කරයි. යේසුස්වහන්සේගේ ජීවිතය සහ නැවතනැඟිටීම, සත්‍යය වෙනුවට ප්‍රබන්ධයක් වුවහොත්, පත් කිරීම සඳහා මෙවන් අවශ්‍යතාවක් සැබවින්ම නිෂ්ඵල වනු ඇත.
යේසුස්වහන්සේගේ ජීවිතය, ප්රාතිහාර්යයන්, මරණය සහ නැවතනැඟිටීම සම්බන්ධයෙන් පළමු සියවසේ ඇසින් දුටු සාක්කිකරුවන් බොහෝදෙනෙකුට සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි වූ බැවින්, ක්‍රිස්තියානි ධර්මය, ඉහත සඳහන් බාධක හමුවෙහි පවා සාපේක්ෂ වශයෙන් ඉක්මනින්ම රෝමානු අධිරාජ්‍යය පුරා පැතිර ගියේය. සෑම තැනකටම, නැවතනැඟිටීම පිළිබඳ සහ එයින් නිකුත් වන මූලික සත්‍යය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී උන්වහන්සේගේ අනුගාමිකයෝ දුෂ්කරතා, පීඩා සහ මරණය පවා විඳීමට සූදානමින් සිටියෝය. කුමන සත්‍යයද? එනම් උන්වහන්සේගේ නැවතනැඟිටීම සිදු කිරීමට හැකි වූයේ දෙවියන්වහන්සේගේ බලය හේතුවෙන් පමණක් බවය. තවද යෙහෝවඃවහන්සේ, යේසුස්වහන්සේව මරණයෙන් නැවත උත්ථානය කළේ මන්ද? එම ප්‍රශ්නයට පිළිතුර, ඓතිහාසික යේසුස්වහන්සේ කවුරුන්දැයි පෙන්වයි.
පෙන්තකොස්ත දවසේදී ප්‍රේරිත පේතෘස්, මවිතයට පත් යෙරුසලමේ යුදෙව්වන්ට නිදහස් ලෙස මෙසේ ප්‍රකාශ කළේය: “මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. එහෙයින් උන්වහන්සේ දෙවියන්වහන්සේගේ දකුණතින් උසස්කරනු ලැබ, පොරොන්දුවූ ශුද්ධාත්මයාණන්වහන්සේ පියාණන්වහන්සේගෙන් ලබා, නුඹලා අසන දකින මේ දේ වැගිරෙවුසේක. මක්නිසාද දාවිත් ස්වර්ගයට නැගුණේ නැත. නමුත් ඔහු කථාකොට: මා විසින් නුඹේ සතුරන් නුඹේ පාපුටුව කරන තෙක් මාගේ දකුණු පැත්තේ හිඳගනින්නැයි ස්වාමීන්වහන්සේ මාගේ ස්වාමීන්වහන්සේට කීසේකැයි ඔහුම කියයි. එබැවින් නුඹලා විසින් කුරුසියෙහි ඇණගැසුවාවූ මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද කරනු ලැබූ බව ඉශ්‍රායෙල්ගේ මුළු වංශය නිසැකව දැනගනී[වා].” (ක්‍රියා 2:32-36) එසේය, යෙහෝවඃ දෙවියන්වහන්සේ නාසරෙත්හි යේසුස්වහන්සේව “ස්වාමීන්වහන්සේද ක්‍රිස්තුස්වහන්සේද” කළසේක. දෙවියන්වහන්සේගේ අරමුණෙහි මෙම අංගයට අනුව උන්වහන්සේගේ කාර්යභාරය සම්බන්ධ සැක යුක්තිසහගතද?
යේසුස්වහන්සේගේ වත්මන් භූමිකාව සැක කළ යුත්තේ මන්ද?
යේසුස්වහන්සේගේ අනන්‍යතාව සහ භූමිකාව පිළිබඳ සැක පහ කළ හැක්කේ කෙසේද? උන්වහන්සේ සැබෑ අනාගතවක්තෘවරයෙක් වූ බවට යන කාරණයෙනි. උන්වහන්සේ අදදින අප දකින යුද්ධ, සාගත, පොළෝකම්පා, අපරාධ සහ ප්‍රේමයේ ඌනතාව පුරෝකථනය කළසේක. මීට අමතරව, උන්වහන්සේ මෙසේ පුරෝකථනය කළසේක: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:3-14) මෙම අනාගතවාක්‍යය ඉටුවීමෙන් ඔප්පු වන්නේ අදෘශ්‍යමානව “සතුරන් මැද” ආණ්ඩු කරන යේසුස්වහන්සේ, නැවතනැඟිටුවන ලද ක්‍රිස්තුස් බවත්, උන්වහන්සේ ඉක්මනින්ම දෙවියන්වහන්සේගේ නව ලෝකය දියත් කරන බවත්ය.—ගීතාවලිය 110:1, 2; දානියෙල් 2:44, 45; එළිදරව් 21:1-5.
අදදින වෙන කිසිදිනකට වඩා, මනුෂ්‍යයන්ට අධිමානුෂ ප්‍රඥාවකින් යුත් ගැළවුම්කරුවෙක් ඉතා ඉක්මනින්ම අවශ්‍ය වේ. මනුෂ්‍යයන්ව ගැළවීමට තෝරාගත් තැනැත්තා යේසුස්වහන්සේ බව අප සැක කළ යුත්තේ මන්ද? යේසුස්වහන්සේගේ සිත්ගන්නාසුලු ප්රාතිහාර්යයන් සහ උන්වහන්සේගේ නැවතනැඟිටීම ඇසින් දුටු සාක්ෂිකාරයෙක් වූ යොහන් මෙසේ ප්‍රකාශ කළේය: “පියාණන්වහන්සේ විසින් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයා කොට එවූ බව අපි දුටිමුව, ඊට සාක්ෂිදෙමු.” (1 යොහන් 4:14; සසඳන්න යොහන් 4:42.) යේසුස්වහන්සේගේ පැවැත්ම, ප්රාතිහාර්යයන්, මරණය සහ නැවතනැඟිටීම සැක කිරීමට අපට තර්කානුකූල පදනමක් නැති සේම, උන්වහන්සේව, යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් තම දකුණු පැත්තේ සිටින නීත්‍යනුකූල රජ ලෙස සිංහාසනාරූඪ කරනු ලැබීමත්, සැක කිරීමට කිසිම හේතුවක් අපට නැත. කිසිම සැකයක් නැතුව නාසරෙත්හි යේසුස්වහන්සේ, දේවරාජ්‍යයේ රජ සහ “ලෝකයාගේ ගැළවුම්කාරයා” වනසේක.—මතෙව් 6:10.
[පාදසටහන්වල]
a යේසුස්වහන්සේ පිළිබඳ විවාදාත්මක යොමු දැක්වීම්, අව්‍යාජ බව, තල්මුඩයෙහි සමහර විශාරදයෝ පමණක් පිළිගනිති. අනික් අතට යේසුස්වහන්සේ පිළිබඳ ටැසිටස්, සූටෝනියස්, කනිෂ්ඨ ප්ලිනි සහ ෆ්ලේවියස් ජොසෙෆස් විසින් අඩුම වශයෙන් කර ඇති, යොමු දැක්වීම් එකක්වත්, යේසුස්වහන්සේගේ ඓතිහාසික පැවැත්මට සාමාන්‍යයෙන් පිළිගත් සාක්ෂි වේ.
b එක් අවස්ථාවකදී නැවතනැඟිටුවාවූ යේසුස්වහන්සේ තම ගෝලයන් සමඟ මාළු අනුභව කළ බැවින්, උන්වහන්සේගේ පෙනී සිටීම, සමහරුන් පවසන පරිදි දර්ශනයක් නොවේ.—ලූක් 24:36-43.