ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w96 12/1 15-20 පි.
  • තම මැවුම්කරුව සිහි කරන යෞවනයෝ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තම මැවුම්කරුව සිහි කරන යෞවනයෝ
  • 1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන්වහන්සේ ඔබට කෙතරම් සැබෑ කෙනෙක්ද?
  • සිහි කිරීම යන්නෙන් අදහස් කරන දේ
  • අරමුණක් ඇතුව අධ්‍යාපනය
  • ඔබේ මුදල් ඥානවන්තව හැසිරවිය යුත්තේ මන්ද?
  • අනුකරණය කිරීමට වටින යෞවනයෝ
  • බයිබලය අධ්‍යාපනය අධෛර්යය කරවයිද?
    1998 පිබිදෙව්!
  • අධ්‍යාපනය—යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට එය යොදාගන්න
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෞවනයෙනි, ඔබේ මැවුම්කරුව අමතක නොකරන්න
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙමාපියෙනි, ඔබේ දරුවන් ඉදිරියේ ඔබ තබන්නේ කෙබඳු අනාගතයක්ද?
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w96 12/1 15-20 පි.

තම මැවුම්කරුව සිහි කරන යෞවනයෝ

“තවද නුඹේ යෞවන දවස්වලදී නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න.”—දේශනාකාරයා 12:1.

1. එකොළොස් හැවිරිදි ළමයෙකුට අපේ මැවුම්කරු සැබෑ කෙනෙකු බව හෙළි කරන්නේ ඔහුගේ කුමන ප්‍රකාශයන්ද?

යෞවනයන් කතා කරන හා ක්‍රියා කරන ආකාරයෙන්, ඔවුන් සැබෑ පුද්ගලයෙකු වශයෙන් යෙහෝවඃ දෙවියන්වහන්සේව අගය කිරීමට, සතුටු කිරීමට කැමති බව පෙන්නුම් කරන විට, එය මොනතරම් කදිම දෙයක්ද! එකොළොස් හැවිරිදි පිරිමි ළමයෙක් මෙසේ පැවසීය: “මං තනියම ඉන්න කොට, මං ජනේලයෙන් පිට තියෙන දේවල් දිහා බලනවා; එතකොට යෙහෝවඃවහන්සේගේ මැවිලි කොච්චර ලස්සනද කියලා මට පේනවා. ඊට පස්සේ අනාගතයේදී පාරාදීසය කොච්චර ලස්සන වෙයිද කියලාත්, සත්තුන්ව අතගාන්න පුළුවන් වෙන විදිහ ගැනත් මම සිහින මවනවා.” (යෙසායා 11:6-9) අමතරව, ඔහු මෙසේ පැවසීය: “මං තනියම ඉන්න කොට, යෙහෝවඃවහන්සේට යාච්ඤා කරනවා. එයාට හැමතිස්සෙම යාච්ඤා කළත්, එයා මාත් එක්ක තරහ වෙන්නේ නැහැ කියලා මං දන්නවා. එයාට හැමතිස්සෙම මාව පේනවා කියලත් මං දන්නවා.” මෙම පිරිමි ළමයාට සැබෑ වන්නාක් මෙන්ම, අපේ මැවුම්කරු ඔබටත් සැබෑ කෙනෙක්ද?

දෙවියන්වහන්සේ ඔබට කෙතරම් සැබෑ කෙනෙක්ද?

2. (අ) ඔබේ මැවුම්කරු ඔබට සැබෑ කෙනෙකු විය හැක්කේ කෙසේද? (ආ) දෙවියන්වහන්සේ සැබෑ පුද්ගලයෙකු බව අගය කිරීමට තම දරුවන්ට උපකාර කිරීමේදී දෙමාපියන්ට කුමන කොටසක් තිබිය හැකිද?

2 යෙහෝවඃවහන්සේ හා උන්වහන්සේගේ පොරොන්දු ඔබට සැබෑවීමට නම්, පළමුකොට උන්වහන්සේ ගැනත්, බයිබලය විස්තර කරන ධර්මිෂ්ඨ නව ලොවෙහි උන්වහන්සේ ඔබට ඉදිරිපත් කරන මහිමාන්විත අනාගතය ගැනත් ඔබ ඉගෙනගත යුතුය. (එළිදරව් 21:3, 4) මේ දේවල් ගැන ඔබේ දෙමාපියන් ඔබට උගන්වා තිබේ නම්, කෘතඥපූර්වක වීමට ඔබට හේතු තිබේ; ඒ මන්දයත්, “නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න,” යන දේවානුභාවය ලත් ආඥාවට අවනත වීමට මෙය ඔබට උපකාරවත් වන බැවිනි. (දේශනාකාරයා 12:1) මුලදී දෙමාපියන්ගෙන් ලැබුණු පුහුණුව ගැන එක් යෞවනියක් මෙසේ පැවසුවාය: “ජීවිතයේ හැම දෙයක්ම යෙහෝවඃවහන්සේට සම්බන්ධයි. මගේ මැවුම්කාරයා සිහි කිරීමට උදව් වුණ යතුරයි මේ.” තවත් යෞවන ස්ත්‍රියක් මෙසේ නිරීක්ෂණය කළාය: “යෙහෝවඃවහන්සේ සැබෑ පුද්ගලයෙක් කියලා මට ඉගැන්වූ අම්මටයි තාත්තටයි මම සදා ණයගැතියි. එයාට ප්‍රේම කරන්නේ කොහොමද කියලත්, එයාට පූර්ණ-කාලීනව සේවය කිරීමේ ප්‍රීතිය ගැනත් ඒගොල්ලෝ මට පෙන්නලා දුන්නා.”

3, 4. යෙහෝවඃවහන්සේව සැබෑ පුද්ගලයෙකු හැටියට සැලකීමට ඔබට කුමක් උපකාර විය හැකිද?

3 එහෙත්, තමුන් ගැන සැලකිල්ලක් දක්වන සැබෑ පුද්ගලයෙකු හැටියට දෙවියන්වහන්සේව සැලකීම බොහෝදෙනෙකුට සිතාගැනීම අමාරුය. ඔබටත් එය අමාරු දෙයක්ද? දෙවියන්වහන්සේ සම්බන්ධයෙන් පෞද්ගලික ආකාරයකින් සිතීමට එක් යෞවනයෙකුට උපකාරවත් වූයේ මුරටැඹ සඟරාවෙහි පළ වූ මෙම අදහසයි: “යෙහෝවඃ දෙවියන්වහන්සේ තම ශරීරයට සාපේක්ෂව කොතරම් විශාලද කියා අපි නොදනිමු.” ඇත්තෙන්ම, දෙවියන්වහන්සේගේ උදාරත්වය, උන්වහන්සේගේ ප්‍රමාණයට හෝ හැඩයට අනුව තීරණය නොවන බවට කිසි අනුමානයක් නැත; මේ කාරණය එම මුරටැඹ සඟරාවේ ඊළඟ වාක්‍යයෙහි පළ වී තිබේ: “උන්වහන්සේගේ නියම ශ්‍රේෂ්ඨත්වය රඳා පවතින්නේ, උන්වහන්සේ කුමන ආකාරයේ දෙවිකෙනෙකුද යන කාරණය මතය;” ඇත්තෙන්ම උන්වහන්සේ විශ්වාසවන්ත, දයානුකම්පිත, ප්‍රේමනීය හා සමාව දීමට කැමති දෙවිකෙනෙක් වනසේක.a (නික්මයාම 34:6; ද්විතීය කථාව 32:4; ගීතාවලිය 86:5; යාකොබ් 5:11) යෙහෝවඃවහන්සේව එවැනි පුද්ගලයෙකු හැටියටත්, අනර්ඝ සම්බන්ධයක් පැවැත්විය හැකි විශ්වාසවන්ත මිතුරෙකු හැටියටත් සැලකීමට ඔබට හැකි වී තිබේද?—යෙසායා 41:8; යාකොබ් 2:23.

4 දෙවියන්වහන්සේ සමඟ පෞද්ගලික සම්බන්ධයක් භුක්තිවිඳීමට යේසුස්වහන්සේ තම මුල් අනුගාමිකයන්ට උපකාර කළසේක. එබැවින්, ප්‍රේරිත යොහන් ස්වර්ගික ජීවිතයක් තුළට තමා අපේක්ෂා කළ නැවත නැඟිටීම ගැන ලියූ විට, ඔහු මෙසේ නිරීක්ෂණය කළේය: “අපි [දෙවියන්වහන්සේට] සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමු.” (1 යොහන් 3:2; 1 කොරින්ති 15:44) දෙවියන්වහන්සේ සැබෑ පුද්ගලයෙකු හැටියට, එනම් උන්වහන්සේව පෞද්ගලිකව දැකගත නොහැකි වුවත්, හොඳින් දැන හඳුනාගත හැකි කෙනෙකු හැටියට සැලකීමටත් අදදින යෞවනයන්ට උපකාර කළ හැක. යෞවන පුරුෂයෙක් මෙසේ අදහස් පළ කළේය: “ ‘යෙහෝවඃවහන්සේ මොනව කියයිද? ඔයාගේම වචනවලින් ඔයා ඒක පැහැදිලි කරන්නේ කොහොමද? ඒකේ තේරුම මොකද්ද?’ මේ වාගේ ප්‍රශ්න රාශියක් ඇසීමෙන්, යෙහෝවඃවහන්සේව සිහි කරන්න මගේ දෙමාපියෝ මට උපකාර කළා.” මෙවැනි ප්‍රශ්න දෙවියන්වහන්සේ සමඟ අපට තිබෙන පෞද්ගලික සම්බන්ධය ගැන සිතාබැලීමට අපව පොලඹවන්නේ නැද්ද?

සිහි කිරීම යන්නෙන් අදහස් කරන දේ

5. යමෙකුව සිහි කිරීම, ඔහුගේ නම සිහිපත් කිරීමට වඩා වැඩි යමක් බව පෙන්නුම් කරන්නේ කුමන බයිබල් ආදර්ශයන්ද?

5 “නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න,” යන ආඥාවට අවනත වීම, යෙහෝවඃවහන්සේ ගැන නිකම්ම කල්පනා කිරීමට වඩා වැඩි දෙයක් අදහස් කරයි. උන්වහන්සේට සතුට ගෙන දෙන දෙයක් කිරීම, එනම් යම් ක්‍රියාවක් ඊට සම්බන්ධයි. “ඔබගේ රාජ්‍යයෙන් යුක්තව ඔබ එන කල මා සිහිකළ මැනව” කියමින්, අපරාධකාරයා යේසුස්වහන්සේගෙන් අයැද සිටි විට, තමාගේ නම මතක් කිරීමට වඩා වැඩි යමක් යේසුස්වහන්සේ කරනවාට ඔහු කැමති විය. යේසුස්වහන්සේ ක්‍රියාත්මක වී, තමාව නැවත නැඟිටුවීම ඔහුට ඕනෑ විය. (ලූක් 23:42) ඒ හා සමානව, තමා ගැන ඵාරාවෝට සිහි කරන්නැයි සිරභාරයේ සිටි යෝසෙප් ඵාරාවෝගේ කුසලාන දරන්නාගෙන් ඉල්ලූ විට, තමා වෙනුවෙන් යම් ක්‍රියාවක් කිරීම ඔහු අපේක්ෂා කළේය. එමෙන්ම, ‘මාව සිහි කරන්න’ කියා යෝබ් දෙවියන්වහන්සේගෙන් අයැද සිටි විට, යම් අනාගත කාලයකදී දෙවියන්වහන්සේ ක්‍රියාත්මක වී ඔහුව නැවත නැඟිටුවන්නැයි යෝබ් ඉල්ලමින් සිටියේය.—යෝබ් 14:13; උත්පත්ති 40:14, 23.

6. “සිහිකරන්න” සඳහා භාවිත කරන හෙබ්‍රෙව් වචනය, සිහි කරන දෙය හෝ පුද්ගලයා වෙත හිතවත්කමක් අඟවන්නේ කෙසේද?

6 “මනසෙහි තැන්පත් හිතවත්කම මෙන්ම සිහිපත් කිරීම හා බැඳි ක්‍රියාව,” “සිහිකරන්න” යනුවෙන් පරිවර්තනය කර තිබෙන හෙබ්‍රෙව් වචනයෙන් ඇඟවෙන බව එක් මූලාශ්‍රයක පැවසේ. “සිහිකරන්න” යන වචනයට “හිතවත්කමක්” මුසු වී තිබෙන බවට වූ කාරණය පාළුකරයේ සිටි “මිශ්‍ර සමූහයා[ගේ]” මෙම හැඟීම්බර ප්‍රකාශයෙන් දැකගත හැක: “මිසරයෙහිදී අප . . . කෑවාවූ මාලු . . . අපට මතක්වෙයි.” අනුග්‍රහය ඇතුව තමාව සිහි කරන්නැයි යෝබ් දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටියාක් මෙන්ම, හෙසකියා, නෙහෙමියා, දාවිත් හා නම සඳහන් කර නැති ගීතිකාකාරයෙක්ද, තමුන් දැක්වූ විශ්වාසවන්තකම වෙනුවෙන්, හිතවත් ආකාරයකින් තමුන්ව සිහි කරන්න කියා යෙහෝවඃවහන්සේගෙන් අයැද සිටියෝය.—ගණන් කථාව 11:4, 5; 2 රාජාවලිය 20:3; නෙහෙමියා 5:19; 13:31; ගීතාවලිය 25:7; 106:4.

7. හිතවත්කමකින් යුක්තව අප දෙවියන්වහන්සේව සිහි කරනවා නම්, මෙය අපේ හැසිරීමට බලපාන්නේ කෙසේද?

7 එබැවින් අපට මෙසේ ඇසිය හැක: ‘අපි අපේ මැවුම්කරුව හිතවත් හැඟීමෙන් යුතුව සිහි කොට, උන්වහන්සේට ශෝකයක් හෝ වේදනාවක් දැනීමට සැලැස්විය හැකි ඕනෑම දෙයක් කිරීමෙන් වැළකී සිටින්නෙමුද?’ යෞවනියක් මෙසේ නිරීක්ෂණය කළාය: “යෙහෝවඃවහන්සේට හැඟීම් තියෙනවා කියලා තේරුම්ගන්න අම්මා මට උපකාර කළ අතර, මගේ ක්‍රියාවන් උන්වහන්සේට බලපාන බව කුඩා කාලයේ ඉඳලම මං දැනං හිටියා.” (ගීතාවලිය 78:40-42) තවත් තැනැත්තියක් මෙසේ පැහැදිලි කළාය: “සාතන් යෙහෝවඃවහන්සේට එරෙහිව කළ අභියෝගයට පිළිතුරක් දීමේදී මගේ ක්‍රියාවන් එක්කෝ රුකුලක් වෙයි එහෙම නැත්නම් බාධාවක් වෙයි කියලා මං දැනගෙන හිටියා. මගේ ආශාව වුණේ යෙහෝවඃවහන්සේගේ හෘදය සතුටු කරන්නයි; ඒ නිසා ඒක මට උපකාරවත් වුණා; අදත් දිගටම එය මට උපකාරවත් වෙනවා.”—හිතෝපදේශ 27:11.

8. (අ) අප යෙහෝවඃවහන්සේව හිතවත්කමකින් යුක්තව සිහි කරන බව, කුමන දෙයක් පසුපස යෑමෙන් අඟවනු ලැබේද? (ආ) යෞවනයන් ඥානවන්තව කුමන ප්‍රශ්නවලට සැලකිල්ල යොමු කරනු ඇද්ද?

8 මෙම දුෂ්ට ලෝකයෙහි, යෙහෝවඃවහන්සේව සතුටු කරවන ක්‍රියාකාරකම්වල සම්පූර්ණයෙන්ම සහභාගි වීම තුළින්, උන්වහන්සේව සිහි කිරීම හැමවිටම පහසු දෙයක් නොවන බව පිළිගත යුතුය. එහෙත්, පුරෝගාමී සේවකයෙකු වශයෙන් ක්‍රිස්තියානි සේවය පූර්ණ-කාලීනව කිරීම තුළින් පළමු සියවසේ යෞවන තිමෝති මෙන්ම, වර්තමානයේ සිටින දේවභයැති යෞවනයන් දහස් ගණන අනුකරණය කිරීමට ඔබට හැකි නම්, එය මොනතරම් කදිම දෙයක්ද! (ක්‍රියා 16:1-3; 1 තෙසලෝනික 3:2) කෙසේවෙතත් මෙවැනි ප්‍රශ්නයක් ඉස්මතු විය හැක: පුරෝගාමී සේවය කරන අතරම ඔබේ අවශ්‍යතා පිරිමැසීමට ඔබට පුළුවන් වේවිද? එමෙන්ම ඔබ විවාහ වූවොත්, ඔබේ පවුලේ අයව රැකබලාගැනීමට අවශ්‍ය දක්ෂතා ඔබ සතු වනු ඇද්ද? (1 තිමෝති 5:8) මේවා වැදගත් ප්‍රශ්න වන අතර, ඒවා බැරෑරුම් ලෙස කල්පනා කර බැලීම ඉතා වැදගත්ය.

අරමුණක් ඇතුව අධ්‍යාපනය

9. ලෞකික අධ්‍යාපනය සම්බන්ධයෙන් යෞවනයන්ට මුහුණ දීමට සිදු වන්නේ කුමන තීරණයටද?

9 මිනිස් සමාජය තව තවත් සංකීර්ණ වෙත්ම, පුරෝගාමී සේවය කරන අතරතුර ඔබේ අවශ්‍යතා පිරිමසාගැනීමට ප්‍රමාණවත් වන රැකියාවක් ලබාගැනීමට වැඩි අධ්‍යාපනයක් අවශ්‍ය විය හැක. විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයක් ලබා තිබෙන අයට පවා, අදදින ස්වාමිවරුන් අගය කොට සලකන නව දක්ෂතා අත් කරගැනීමට අමතර දේවල් ඉගෙනගැනීමට සිදු වී ඇති බව ඔබ දන්නවා විය හැක. එසේනම්, දෙවියන්වහන්සේව සතුටු කිරීමට ඕනෑ යෞවනයන්, කොතරම් දුරට අධ්‍යාපනයක් ලබනු ඇද්ද? හරි තීරණයක් ගැනීමට නම්, “නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න,” යන දේවානුභාවය ලත් ආඥාව මනසෙහි තබාගෙන කටයුතු කළ යුතුය.

10. අපට ලබාගත හැකි හොඳම අධ්‍යාපනය කුමක්ද?

10 කෙසේවෙතත්, ලෞකික අධිකාරීන් පවා හොඳම අධ්‍යාපනය හැටියට සලකන දේ, එනම් දේවවචනය පරෙස්සමින් අධ්‍යයනය කිරීමෙන් ලබන අධ්‍යාපනය පසුපස යෑමට ඔබ කැමති වන බවට සැකයක් නැත. ජර්මානු ලේඛක යොහාන් වුල්ෆ්ගාං ෆොන් ගර්ට මෙම අදහස පළ කළේය: “[ජනතාවකගේ] බුද්ධි මට්ටම දියුණු වන තරමටම, බයිබලය අධ්‍යාපනයේ අඩිතාලමක් මෙන්ම මෙවලමක් හැටියට උපයෝගි කරගැනීමට තිබෙන හැකියාවත් වැඩි වන්නේය.” ඔව්, වෙනත් ඕනෑම අධ්‍යාපනයකට වඩා, බයිබලය අධ්‍යයනය කිරීම ජීවිතයට මුහුණ දීම සඳහා ඔබව සන්නද්ධ කරනවා නිසැකයි!—හිතෝපදේශ 2:6-17; 2 තිමෝති 3:14-16.

11. (අ) අපට කළ හැකි වඩාත් වැදගත්ම වැඩය කුමක්ද? (ආ) එක් යෞවනියක යම් දුරකට අධ්‍යාපනය ලබාගැනීමට තීරණය කළේ ඇයි?

11 දෙවියන්වහන්සේ පිළිබඳ දැනුම, ජීවනය ගෙන දෙන යමක් වන නිසා, අදදින ඔබට කළ හැකි වඩාත් වැදගත්ම වැඩය නම්, එම දැනුම අන් අය සමඟ බෙදාගැනීමය. (හිතෝපදේශ 3:13-18; යොහන් 4:34; 17:3) කෙසේවෙතත්, මෙය ඵලදායී ආකාරයකින් කිරීමට නම්, මූලික දේවල් සම්බන්ධයෙන් ඔබ දැනුවත් වී සිටීම අවශ්‍යය. පැහැදිලිව කල්පනා කිරීමට, තර්කානුකූලව කතා කිරීමට හා හොඳින් කියවීමට හා ලිවීමට ඔබ ඉගෙනගත යුතුය; මෙම දක්ෂතා පාසැලේදී උගන්වනු ලැබේ. එබැවින්, විශිෂ්ට සමත්වීම් ලබා උසස් පාසැලෙන් සමත් වූ අ.එ.ජ. ෆ්ලොරිඩාහි යෞවනියක වන ට්‍රේසි කළාක් මෙන්, ඔබේ පාසැල් අධ්‍යාපන පාඨමාලා බැරෑරුම් ලෙස සලකන්න. ඇගේ බලාපොරොත්තුව ඈ මෙසේ පළ කළාය: “මගේ දෙවි වන යෙහෝවඃවහන්සේගේ පූර්ණ-කාලීන සේවකයෙකු වීම මගේ නිරන්තර ඉලක්කය වී තිබෙනවා; මගේ අධ්‍යාපනය එම ඉලක්කය අත් කරගැනීමට රුකුලක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.”

12. අමතර ලෞකික අධ්‍යාපනයක් ලබාගැනීමට තීරණය කෙරේ නම්, එය කුමන අරමුණ ඉටු කරගැනීමට උපකාරවත් විය හැකිද?

12 ඔබ පාසැලට යන්නේ ඇයි කියා ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද? මූලිකවම යෙහෝවඃවහන්සේගේ ඵලදායී සේවකයෙකු වීමට ඔබව සන්නද්ධ කිරීම සඳහාද? එය සත්‍යයක් නම්, ඔබේ අධ්‍යාපනය මෙම අරමුණ කෙතරම් හොඳින් ඉටු කරනවාද කියා බැරෑරුම් ලෙස සලකා බැලීමට ඔබට වුවමනා වනු ඇත. ඔබේ දෙමාපියන්ගෙන් අදහස් විමසීමෙන් පසුව, නීතියෙන් අපේක්ෂා කරන අවම මට්ටමෙන් ඔබ්බට අධ්‍යාපනයක් ලැබීමට තීරණයක් ගත හැක. මෙවන් අමතර අධ්‍යාපනයක්, ඔබේ අවශ්‍යතා පිරිමැසීම සඳහා රැකියාවක් ලබාගැනීමට උපකාරවත් විය හැකි අතර, රාජ්‍ය සේවයෙහි පූර්ණ ලෙස සහභාගි වීමටත් ඔබට කාලය හා ශ්‍රමය ඉතිරි කළ හැක.—මතෙව් 6:33.

13. අමතර අධ්‍යාපනය ලැබීමට උත්සාහ කළ රුසියානු ක්‍රිස්තියානීන් දෙදෙනෙකු, තම ජීවිතයේ අරමුණුසහගතබව විදහාපෙන්වා ඇත්තේ කෙසේද?

13 අමතර අධ්‍යාපනයක් ලබාගන්නා සමහරදෙනෙක්, එම අධ්‍යාපනය ලබන අතරතුර පවා පූර්ණ-කාලීන සේවයෙහි නිරත වෙති. රුසියාවේ මොස්කව්හි නහඹර වියේ යෞවනියන් දෙදෙනෙකු වන නාඩ්‍යා හා මරීනා සලකා බලන්න. දෙදෙනාම 1994 අප්‍රියෙල් මාසයේ බව්තීස්ම වී උපකාරික පුරෝගාමී සේවිකාවන් හැටියට සේවය කරන්න පටන්ගත්හ. ඉන් වැඩි කල් නොගොස්, ඔවුහු උසස් පාසැලෙන් සමත් වී, අවුරුදු දෙකක ගණකාධිකරණ පාඨමාලාවකට ඇතුල් වූහ. වර්ෂ 1995 මැයි මස සිට ඔවුහු ස්ථාවර පුරෝගාමීන් ලෙස සේවය කිරීමට පටන්ගත්තද, ඔවුන්ගේ ගණකාධිකරණ පංතිවල ලකුණුවලට ‘A’ සාමාන්‍යයක් පවත්වාගනිමින් සිටියෝය. එපමණක්ද නොව, එම පාඨමාලා හදාරමින් සිටි අතරතුර, හැම සතියකම සාමාන්‍යයෙන් බයිබල් පාඩම් 14ක් පැවැත්වීමට ඔවුහු දෙදෙනාම සමත් වූහ. ගණකාධිකරණය පිළිබඳව ඔවුන් ලබන අධ්‍යාපනය, පූර්ණ-කාලීන සේවය කරන අතරම තම අවශ්‍යතා පිරිමැසීමට සරිලන රැකියාවක් සොයාගැනීමට උපකාරවත් වෙයි කියා එම යෞවනියෝ අපේක්ෂා කරති.

14. අප කොතරම් දුරකට ලෞකික අධ්‍යාපනය ලබාගැනීමට තීරණය කළත්, අපේ ජීවිතයෙහි වඩාත් වැදගත්ම දෙය විය යුත්තේ කුමක්ද?

14 නීතියෙන් ඉල්ලා සිටින ප්‍රමාණයට වඩා ලෞකික අධ්‍යාපනය ලබන්ට ඔබ තීරණය කරනවා නම්, එසේ කිරීමට ඔබට තිබෙන හේතුව ඥානවන්තව පරීක්ෂා කර බලන්න. එය කීර්තියක් ලබා, ද්‍රව්‍යමය සම්පත් රැස් කරගැනීමටද? (යෙරෙමියා 45:5; 1 තිමෝති 6:17) එසේ නැතහොත්, යෙහෝවඃවහන්සේගේ සේවයෙහි වඩාත් පූර්ණ ආකාරයකින් සහභාගි වීමේ අරමුණින් අතිරේක අධ්‍යාපනය යොදාගැනීම ඔබේ ඉලක්කයද? අමතර අධ්‍යාපනයක් ලබාගැනීමට තෝරාගත් යෞවනියක වන ලිඩියා, මෙසේ පැහැදිලි කරමින්, ආත්මික කාරණා කෙරෙහි තමා යොමු වී සිටි බව කදිම ආකාරයකින් පෙන්නුම් කළාය: “වෙනත් අය උසස් අධ්‍යාපනය පසුපස ගිහිල්ලා, ද්‍රව්‍යවාදය බාධාවක් කරගන්නවා; එතකොට ඒගොල්ලෝ දෙවියන්වහන්සේව අමතක කරලා දානවා. ඇත්තෙන්ම මට තියෙන වැදගත්ම දේ නම්, දෙවියන්වහන්සේ සමඟ තියෙන පුද්ගලික සම්බන්ධතාවයයි.” අප සියල්ලන් සඳහා මොනතරම් ප්‍රශංසා කටයුතු ආකල්පයක්ද!

15. පළමුවන සියවසේ ක්‍රිස්තියානීන් අතර තිබුණේ කුමන නානාවිධ අධ්‍යාපන පසුබිම්ද?

15 පළමු සියවසේ ක්‍රිස්තියානීන්ට නානාවිධ අධ්‍යාපන පසුබිම් තිබීම, සැලකිල්ලට ගත යුත්තකි. උදාහරණයක් හැටියට, පේතෘස් හා යොහන් යන ප්‍රේරිතයන්, රබ්බිවරුන්ගේ පාසැල්වල පුහුණුවක් නොලද හෙයින්, ඔවුන්ව “අපණ්ඩිතවූ නූගත්” අය වශයෙන් සලකන ලදි. (ක්‍රියා 4:13) අනික් අතට, ප්‍රේරිත පාවුල් වර්තමානයේ විශ්වවිද්‍යාලීය අධ්‍යාපනයකට සම අධ්‍යාපනයක් ලැබුවේය. එහෙත්, තමා කෙරෙහි අවධානය යොමු කරගැනීමට පාවුල් එම අධ්‍යාපනය භාවිත කළේ නැත; එනමුත්, ඔහු විවිධාකාර පසුබිම්වලින් පැමිණි ජනයාට දේශනා කළ විට, එය ඔහුට පිටුවහලක් විය. (ක්‍රියා 22:3; 1 කොරින්ති 9:19-23; පිලිප්පි 1:7) ඒ හා සමානව, “දේශාධිපතිවූ හෙරොද් සමඟ ඇතිදැඩිවුණාවූ” මානායින්, අන්තියෝකියේ සභාවේ පෙරමුණ ගෙන කටයුතු කළ අය අතර විය.—ක්‍රියා 13:1.

ඔබේ මුදල් ඥානවන්තව හැසිරවිය යුත්තේ මන්ද?

16. (අ) අප ණය වී සිටිනවා නම්, අපේ මැවුම්කරු සිහි කිරීම වඩාත් අමාරු විය හැක්කේ මන්ද? (ආ) වියදම් කිරීමට කලින් කල්පනා කිරීමේ වැදගත්කම යේසුස්වහන්සේගේ උපමාවකින් හෙළි වන්නේ කෙසේද?

16 ඔබ සතු මුදල් ඥානවන්තව හැසිරවීමට ඔබ අසමත් වන්නෙහි නම්, ඔබේ මැවුම්කරුට ප්‍රසන්න වන දේවල් කිරීමෙන් උන්වහන්සේව සිහි කිරීම වඩාත් දුෂ්කර විය හැක. ඒ මන්දයත්, ඔබ ණය වෙනවා නම්, ඔබට තවත් ස්වාමියෙකු සිටින බව පැවසිය හැකි බැවිනි. බයිබලය මෙසේ පැහැදිලි කරයි: “මුදල් ණයට ගන්නවා නම්, ඔබ ණයහිමියාගේ දාසයා බවට පත් වන්නෙහිය.” (හිතෝපදේශ 22:7, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) මුදල් වියදම් කිරීමට කලින්, කල්පනා කර බැලීමේ වැදගත්කම යේසුස්වහන්සේගේ උපමාවකින් කැපීපෙනෙන්ට සැලැස්වේ. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද? එසේ නොකළොත්, අත්තිවාරමක් දමා නිමකරන්ට බැරිවූ විට ඒ දකින සියල්ලෝ . . . ඔහුට සරදම්කරන්ට පටන්ගන්නෝය.”—ලූක් 14:28-30.

17. තමා වියදම් කරන ආකාරය පාලනය කිරීම බොහෝදුරට අමාරු වන්නේ මන්ද?

17 එසේනම්, “එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව” නොසිටීමේ ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිය අනුව ඔබ ඥානවන්තව ජීවත්වීමට වෑයම් කරන්නෙහිය. (රෝම 13:8) එහෙත්, ඔබට අවශ්‍යමයි යන හැඟීම දෙන ප්‍රචාරක දැන්වීම්වල නිරන්තර පෙලඹවීම හමුවේ, අඛණ්ඩව ඉදිරිපත් වන අලුත් භාණ්ඩ රාශියකට මුහුණ දීමට සිදු වන විට, එසේ කිරීම දුෂ්කරය. තම දරුවන්ට විචාර බුද්ධියෙන් කටයුතු කිරීමට උපකාර කරන්න වෑයම් කළ එක් දෙමාපියෙක් මෙම නිරීක්ෂණය කළේය: “අවශ්‍යතාවය මොකද්ද කියලා ඒවගේම වුවමනාව මොකද්ද කියලා සාකච්ඡා කරන්න අපි හුඟ කාලයක් ගත කරලා තියෙනවා.” මෙවැනි කාරණා සම්බන්ධයෙන් ඉගැන්වීමට පාසැල් පොදුවේ අසමත් වී ඇති අතර, වගකීමක් ඇතුව මූල්‍ය කටයුතු හැසිරවීමට උපදෙස් සපයා නැති තරම්ය. එක් සමාජ සේවිකාවක් මෙම අදහස පළ කළාය: “අපි උසස් පාසැලෙන් සමත් වෙන කොට, අපට මුදල් ඉතිරි කරන එකට වඩා, සමද්විපාද ත්‍රිකෝණය ගැන තියෙන දැනුම වැඩියි.” එසේනම්, ඥානවන්තව මුදල් වියදම් කිරීමට ඔබට කුමක් උපකාර විය හැකිද?

18. මුදල් ඥානවන්තව හැසිරවීමට යතුර කුමක්ද; ඒ මන්ද?

18 ඔබේ මුදල් ඥානවන්තව හැසිරවීමේ යතුර නම්, “නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න,” යන අවවාදයට අවනත වීමයි. ඊට හේතුව නම්, ඔබ එම ආඥාවට කීකරු වන විට, මූලික සැලකිල්ල යෙහෝවඃවහන්සේව සතුටු කිරීමට යොමු වන නිසාත්, ඔබ ඔබේ මුදල් වැය කරන්නේ කෙසේද යන්න, උන්වහන්සේ කෙරෙහි ඔබට තිබෙන ස්නේහය මගින් පොලඹවනු ලබන නිසාත්ය. එබැවින්, දෙවියන්වහන්සේට මුළු ප්‍රාණයෙන්ම භක්තිය පිදීමට, පෞද්ගලික වුවමනා එපාකම් බාධාවක් කර නොගැනීමට ඔබ වෑයම් කරනවා ඇත. (මතෙව් 16:24-26) ඔබේ ඇස “සරලව” තබාගැනීමට එනම්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය හා උන්වහන්සේගේ කැමැත්ත කිරීම වෙත පැහැදිලිව යොමු කිරීමට ඔබ ප්‍රයත්න දරනවා ඇත. (මතෙව් 6:22-24) මෙසේ “නුඹේ සම්පතින් . . . ස්වාමීන්වහන්සේට ගෞරව කරන්න,” යන දිව්‍යමය අවවාදය ප්‍රීතිදායක වරප්‍රසාදයක් සේ සැලකීමට ඔබට හැකි වෙනවා ඇත.—හිතෝපදේශ 3:9.

අනුකරණය කිරීමට වටින යෞවනයෝ

19. අතීතයේ යෞවනයන් තම මැවුම්කරුව සිහි කර ඇත්තේ කෙසේද?

19 අතීතයේ මෙන්ම වර්තමානයේ යෞවන යෞවනියන් බොහෝදෙනෙකු තම මැවුම්කරුව සිහි කිරීම සන්තෝෂයට කරුණකි. කුඩා සාමුවෙල් සමඟ සේවය කළ අය දුරාචාරය සඳහා බලපෑමක් වුවද, ඔහු මණ්ඩපයේ කළ සේවයෙහි අඛණ්ඩව යෙදී සිටියේය. (1 සාමුවෙල් 2:12-26) වරදට පොලඹවන්නියක වූ පෝතිඵර්ගේ වශී කරවනසුලු භාර්යාවට, වේශ්‍යාකම් කිරීමට තරුණ යෝසෙප්ව පොලඹවාගැනීමට බැරි විය. (උත්පත්ති 39:1-12) “බාලයෙක්” වුවත්, දැඩි විරුද්ධවාදිකම් හමුවේ, යෙරෙමියා නිර්භීතව දේශනා කළේය. (යෙරෙමියා 1:6-8) කුඩා ඉශ්‍රායෙල් දැරියක් බලසම්පන්න සිරියානු හමුදාපතියෙකුට ඉශ්‍රායෙල් දේශයට ගොස් උපකාර ලැබීමට මඟ පෙන්වූවාය; එහිදී යෙහෝවඃවහන්සේ ගැන ඉගෙනීමට ඔහුට හැකි විය. (2 රාජාවලිය 5:1-4) ආහාර සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ පනවා තිබූ නීති පිළිබඳව පරීක්ෂා කරනු ලැබූ විට, තරුණ දානියෙල්ද ඔහුගේ මිතුරෝද තම ඇදහිල්ල රක්ෂා කළෝය. එමෙන්ම තරුණ ෂද්‍රක්, මේෂක් සහ අබේද්-නෙගෝ පිළිමයකට වන්දනාමාන කොට දෙවියන්වහන්සේට තිබූ තම පක්ෂපාතකම අත්හරිනවා වෙනුවට, ගිනි උඳුනකට හෙළාදමනු ලැබීම තෝරාගත්හ.—දානියෙල් 1:8, 17; 3:16-18; නික්මයාම 20:5.

20. වර්තමානයේ යෞවනයන් බොහෝදෙනෙකු තම මැවුම්කරුව සිහි කොට ඇත්තේ කෙසේද?

20 වර්තමානයේ, අවුරුදු 19ත් 25ත් අතර යෞවනයෝ 2,000කට අධික සංඛ්‍යාවක්, අ.එ.ජ. නිව් යෝර්ක් ජනපදයේ පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ සේවය කරති. ලොව පුරාම තම මැවුම්කරුව සිහි කරන යෞවනයන් දසදහස් ගණනෙන් ඔවුන් අතළොස්සක් පමණි. පුරාණයෙහි විසූ යෝසෙප් මෙන්, ඔවුහු තම සදාචාර පිරිසිදුකම අත්හැරීම ප්‍රතික්ෂේප කොට ඇත. සේවය කරන්නේ කාටද කියා තෝරාගැනීමට බල කරනු ලැබූ විට, බොහෝදෙනෙකු මනුෂ්‍යයාට වඩා දෙවියන්වහන්සේට කීකරු වී ඇත. (ක්‍රියා 5:29) වර්ෂ 1946දී පෝලන්තයේ, 15 හැවිරිදි හෙන්රිකා සූර්, ආගමික පිළිම නමස්කාරයේ ක්‍රියාවක යෙදීම ප්‍රතික්ෂේප කළ විට, වධ හිංසාවට ලක් වූවාය. ඇගේ වධකයෙක් මෙම යෝජනාව ඉදිරිපත් කළේය: “ඇතුළාන්තයෙන් ඔයාට ඕනෑම දෙයක් ගැන හිතන්න පුළුවන්; කතෝලික කුරුස සංකේතය විතරක් දාන්න.” එසේ කිරීමට ප්‍රතික්ෂේප කළ නිසා, ඇයව වනාන්තරය තුළට ඇදගෙන ගොස් වෙඩි තබනු ලැබීය; නමුත් සදාකාල ජීවනය පිළිබඳ ඇගේ සහතික බලාපොරොත්තුව නොදැවී පැවතිණ.b

21. කුමන ආරාධනාවක් පිළිගැනීම නුවණට හුරු වනු ඇද්ද; කුමන ප්‍රතිඵලයක් ඇතුවද?

21 ගෙවී ගොස් ඇති සියවස් ගණනාව පුරා, යෙහෝවඃවහන්සේව සිහි කොට ඇති යෞවනයන්, උන්වහන්සේගේ හෘදය තුළ මොනතරම් උණුසුම් හැඟීමක් ඇති කර ඇද්ද! “නුඹේ [උදාර, NW] මැවුම්කාරයා සිහිකරන්න,” යන උන්වහන්සේගේ ඇරයුමට ඔබ ප්‍රතිචාරය දක්වනු ඇද්ද? උන්වහන්සේ ඔබ විසින් සිහි කළ යුතු කෙනෙකු වන බවට අනුමානයක් නැත! උන්වහන්සේ ඔබ වෙනුවෙන් කර ඇති දෙයත්, ඉදිරියේදී කරන්ට යන දෙයත් ගැන කල්පනා කොට, උන්වහන්සේගේ මෙම ඇරයුම පිළිගන්න: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්‍රීතිමත්කරන්න.”—හිතෝපදේශ 27:11.

[පාදසටහන්වල]

a ද වොච්ටවර්, 1953 දෙසැම්බර් 15, 750වන පිටුව.

b වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත නයින්ටීන් නයින්ටිෆෝර් යියර්බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස්, 217-18 පිටු බලන්න.

ඔබට මතකද?

◻ දෙවියන්වහන්සේ සැබෑ පුද්ගලයෙකු හැටියට සැලකීමට යෞවනයන්ට උපකාර කළ හැක්කේ කෙසේද?

◻ ඔබේ මැවුම්කරු සිහි කිරීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

◻ අප ලබන අධ්‍යාපනය කුමන අරමුණක් ඉටු කළ යුතුද?

◻ අපේ මුදල් ඥානවන්තව හැසිරවීම ඉතා වැදගත් වන්නේ මන්ද?

◻ ඔබ විසින් අනුකරණය කිරීමට වටින්නේ කුමන යෞවනයන්වද?

[17වන පිටුවේ පින්තූරය]

පාසැලට යන්නේ ඇයි කියා ඔබ කල්පනා කර තිබෙනවාද?

[18වන පිටුවේ පින්තූරය]

ඔබේ මුදල් ඥානවන්තව හැසිරවීමට ඔබ ඉගෙනගනිමින් සිටිනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න