කිසිදා පහ නොවන ප්‍රේමයේ මඟ
“වඩා උතුම් [දීමනාවන් ජ්වලිතව ලුහුබඳින්න, NW] තවද ඊටත් වඩා උතුම් මාර්ගයක් මම නුඹලාට පෙන්වමි.”—1 කොරින්ති 12:31.
1-3. (අ) ප්‍රේමය පෙන්වීමට ඉගෙනගැනීම, හරියට අලුත් භාෂාවක් ඉගෙනගන්නවාට සමාන වන්නේ කොහොමද? (ආ) ප්‍රේමය පෙන්වීමට ඉගෙනගැනීම අභියෝගයක් කරන්නේ කුමන සාධකද?
ඔබ කවදාහරි අලුත් භාෂාවක් ඉගෙනගන්න උත්සාහ කරලා තියෙනවාද? එය අභියෝගයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ! ඒත් කුඩා ළමයෙකුට නම්, යම් භාෂාවක් භාවිත කරන පසුබිමක සිටිය පමණින්ම එම භාෂාව ඉගෙනගැනීමට හැකියි. ඔහුගේ මනස, වචනවල ශබ්ද සහ අර්ථයන් ඉතාමත් පහසුවෙන්ම උරාගන්න නිසා, වැඩිකල් යන්ට මත්තෙන් සිඟිත්තා ඉතා දක්ෂ ලෙස මෙන්ම ඇතැම්විට තොරතෝංචියක් නැතුව කතා කරන්න පටන්ගන්නවා. නමුත් වැඩිහිටියන් සම්බන්ධයෙන් තත්වය එසේ නොවෙයි. අපට, නොදන්න භාෂාවක එන යෙදුම් කීපයක් හොඳින් හුරුවීම සඳහා පමණක්ම එම භාෂාව සම්බන්ධයෙන් තිබෙන ශබ්දකෝෂයක් නැවත නැවතත් බලන්න සිදු වෙනවා. කෙසේවෙතත්, කාලයාගේ ඇවෑමෙන් සහ අලුත් භාෂාව ප්‍රමාණවත් ලෙස භාවිත කිරීමෙන් පසු, අපට එම භාෂාවට අනුව සිතන්න සහ කතා කරන්න වඩාත් පහසු වෙනවා.
2 ප්‍රේමය පෙන්වීමට ඉගෙනගැනීමත් බොහෝදුරට අලුත් භාෂාවක් ඉගෙනගැනීම හා සමානයි. මෙම දිව්‍ය ගුණාංගය තරමක් දුරට සහජයෙන්ම මනුෂ්‍යයන් තුළ තිබෙන බව ඇත්තයි. (උත්පත්ති 1:27; සසඳන්න 1 යොහන් 4:8.) ඒත්, විශේෂයෙන්ම ජන්ම ස්නේහයේ ඌනතාවක් තිබෙන අද වගේ කාලයක ප්‍රේමය පෙන්වීම සඳහා සාමාන්‍යයට වඩා වෑයමක් දැරිය යුතුයි. (2 තිමෝති 3:1-5) සමහර අවස්ථාවලදී පවුල තුළම මෙවැනි තත්වයක් තිබිය හැකියි. ඇත්තෙන්ම බොහෝදෙනෙක් ඇති දැඩි වෙන්නේ, ඉතාමත් කලාතුරකින් හෝ එසේත් නැතිනම් කොහෙත්ම ප්‍රේමනීය වදනක් අසන්න නොලැබෙන කර්කශ පසුබිමකයි. (එපීස 4:29-31; 6:4) එසේනම්, ඒ සම්බන්ධයෙන් අපට තිබෙන අද්දැකීම් අඩු වුණත්, අප ප්‍රේමය පෙන්වීමට ඉගෙනගන්නේ කොහොමද?
3 අපට උපකාර කිරීමට බයිබලයට පුළුවන්. පාවුල් 1 කොරින්ති 13:4-8හි ප්‍රේමය කියන්නේ කුමක්දැයි විස්තර කිරීමට සපයන්නේ හැඟීමකින් තොරව, යාන්ත්‍රිකව කරන අර්ථ දැක්වීමක් නොවෙයි. නමුත් ඔහු මෙම උසස් ගණයේ ප්‍රේමය ක්‍රියා කරන්නේ කෙසේද යන්න ගැන පැහැදිලි විස්තර කිරීමක් සපයනවා. මෙම පද සලකා බැලීම, මෙම දිව්‍ය ගුණාංගයේ ස්වභාවය වටහාගැනීමට අපට උපකාර කරන අතර, එය පෙන්වීම සඳහා අපව වඩාත් හොඳින් සූදානම් කරන්න යනවා. පාවුල් විස්තර කර තිබෙන ආකාරයට, ප්‍රේමයේ සමහර අංග කීපයක් දැන් අපි සලකා බලමු. අප ඒවා පුළුල් ලෙස වර්ග තුනකට මෙයාකාරයෙන් වෙන් කර දක්වන්න යනවා: පොදුවේ ගත් විට, අපගේ හැසිරීම, විශේෂයෙන්ම අනිත් අයත් සමඟ තිබෙන අපගේ සබඳතාව සහ අවසාන වශයෙන් අපේ විඳදරාගැනීම.
ප්‍රේමය උඩඟුකම ජයගන්න උපකාර කරයි
4. ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන් බයිබලය සපයන්නේ කෙබඳු තීක්ෂ්ණ බුද්ධියක්ද?
4 පාවුල් ප්‍රේමය සම්බන්ධයෙන් කළ තම මූලික අදහස් දැක්වීමෙන් පසු, ඔහු කොරින්තිවරුන්ට මෙසේ ලිව්වා: “ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත.” (1 කොරින්ති 13:4) වෙනත් අයගේ දියුණුව හෝ ඔවුන් අත් කරගන්නා යම් වරප්‍රසාද හේතුවෙන් නොසෑහීමට පත්වීම නිසා කුඩුකේඩුකමින් යුත් ඊර්ෂ්‍යාවක් විදහාපෙන්වන්න පුළුවන්. මෙයාකාර ඊර්ෂ්‍යාවක් ශාරීරික, චිත්තවේගීය සහ ආත්මික වශයෙන් විනාශකාරි වෙනවා.—හිතෝපදේශ 14:30; රෝම 13:13; යාකොබ් 3:14-16.
5. සමහර දිව්‍යාණ්ඩු වරප්‍රසාද අහිමි වෙනවායයි හැඟෙන විට ඇති වන ඊර්ෂ්‍යාව ජයගැනීම සඳහා අපට ප්‍රේමය උපකාර කරන්නේ කොහොමද?
5 මේ සම්බන්ධයෙන් ඔබගෙන්ම මෙසේ අසන්න: ‘දිව්‍යාණ්ඩු වරප්‍රසාදයක් නොලැබීම නිසා මා තුළ කුඩුකේඩුකමේ හැඟීමක් ඇති වෙනවාද?’ පිළිතුර ඔව් නම්, බලාපොරොත්තු සුන් කරගන්න එපා. සියලුම අසම්පූර්ණ මනුෂ්‍යයන් තුළ “කුඩුකේඩුකමට ප්‍රවණතාවක්” තිබෙන බව බයිබල් ලේඛක යාකොබ් අපට සිහිගන්වනවා. (යාකොබ් 4:5, NW) ඔබේ සහෝදරයා කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය මගින්, ඔබේ සමබරතාව ඔබට නැවත අත් කරගත හැකියි. එය, වෙනත් කෙනෙකුට යම් වරප්‍රසාදයක් ලැබෙන විටදී හෝ ඔහුව ප්‍රශංසාවට ලක් කරන විටදී, අපට ප්‍රීතිවන්නන් සමඟ ප්‍රීතිවීමටත්, එය පෞද්ගලිකව අපට කරන නිග්‍රහයක් හැටියට නොදකින්නත් අපට හැකි කරවනවා.—1 සාමුවෙල් 18:7-9 සසඳන්න.
6. පළමු ශතවර්ෂයේ කොරින්ති සභාව තුළ වර්ධනය වුණේ කුමන නරක තත්වයද?
6 පාවුල් තවදුරටත්, ප්‍රේමය “පාරට්ටුකරගන්නේ නැත, උඩඟුවෙන්නේ නැත” කියා පවසනවා. (1 කොරින්ති 13:4, 5) අපට යම් කුසලතාවක් හෝ හැකියාවක් තිබෙනවා නම්, එය ප්‍රදර්ශනය කිරීමට අවශ්‍යතාවක් නැහැ. පෙනෙන විදිහට, පුරාණ කොරින්ති සභාවට රහසින් ඇතුල් වී තිබුණු සමහර අභිලාෂකාමී මනුෂ්‍යයන්ට මෙය ප්‍රශ්නයක් වී තිබුණා. ඔවුන්ට අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් හෝ වඩාත් කාර්යක්ෂම ලෙස දේවල් කිරීමට අතිදක්ෂ හැකියාවන් තිබුණා විය හැකියි. ඔවුන් අවධානය තමන්ටම ගැනීම නිසා, සභාව තුළ භේද ඇතිවීමට එය දායක වූවා විය හැකියි. (1 කොරින්ති 3:3, 4; 2 කොරින්ති 12:20) තත්වය කොතරම් දරුණු අතට හැරී තිබුණාද කිව්වොත් කොරින්තිවරුන්ට තරවටු කරන්න පාවුල්ට සිදු වුණා. එසේ කිරීමට සිදු වූයේ “උත්කෘෂ්ට ප්‍රේරිතයන්” ලෙස පාවුල් විවේචනාත්මකව විස්තර කළ ‘අඥානයන්ට ඔවුන් ඉඩ දී තිබූ’ නිසයි.—2 කොරින්ති 11:5, 19, 20.
7, 8. අප සතුව තිබෙන ඕනෑම සහජ හැකියාවක් එක්සත්කම වර්ධනය කිරීම සඳහා යොදාගත හැක්කේ කෙසේද කියා බයිබලයෙන් පෙන්වන්න.
7 අදදිනත් එයාකාර තත්වයක් වර්ධනය විය හැකියි. උදාහරණයකට, සේවයේදී තමන් ලබා ඇති ප්‍රගතිය ගැන හෝ දෙවිගේ සංවිධානය තුළ තමන්ට ලැබී ඇති වරප්‍රසාද ගැන හෝ පුරසාරම් දෙඩීමේ නැඹුරුවාවක් යමෙකුට තිබෙන්න පුළුවන්. අපට සභාවේ සිටින සෙසු අයට නැති විශේෂ දක්ෂකමක් හෝ හැකියාවක් තිබුණත්, උද්දච්ච වීමට එය අපට අයිතිවාසිකමක් ලබා දෙනවාද? අපට තිබෙන ඕනෑම සහජ හැකියාවක් අපවම උසස් කොට සැලකීම සඳහා යොදාගන්නවා වෙනුවට එක්සත්කම වර්ධනය කිරීම සඳහා යොදාගත යුතු බව නොකිවමනායි.—මතෙව් 23:12; 1 පේතෘස් 5:6.
8 සභාවක බොහෝ සාමාජිකයන් සිටියත්, ‘දෙවි ශරීරයක් ලෙස සංයෝජනය කළ’ බව පාවුල් ලිව්වා. (1 කොරින්ති 12:19-26) “සංයෝජනය” ලෙස පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයෙන්, හරියට සායම් මිශ්‍ර කිරීමක් මෙන් වූ එකඟතාවෙන් යුත් මිශ්‍රවීමක් අදහස් කරනවා. එමනිසා සභාවක සිටින කිසිම පුද්ගලයෙකුට තම හැකියාවන් සම්බන්ධයෙන් උද්දච්චකමේ හැඟීමක් ඇති නොවිය යුතු අතර, අනිත් අය අතරේ ආධිපත්‍යය පතුරුවන්න උත්සාහ නොකළ යුතුයි. උඩඟුකමට සහ අභිලාෂකාමිත්වයට දෙවිගේ සංවිධානය තුළ කිසිම තැනක් නැහැ.—හිතෝපදේශ 16:19; 1 කොරින්ති 14:12; 1 පේතෘස් 5:2, 3.
9. තමන්ගේම අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගන්න බලන පුද්ගලයන් සම්බන්ධයෙන් බයිබලය සපයන්නේ කිනම් අනතුරු අඟවන උදාහරණද?
9 ප්‍රේමය “තමාගේම කාරණා සොයන්නේ නැත.” (1 කොරින්ති 13:5) ප්‍රේමනීය පුද්ගලයෙක් තමන්ගේම අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගැනීම සඳහා අනිත් අයව පාලනය කරන්නේ නැහැ. මෙම කාරණය සම්බන්ධයෙන් අනතුරු අඟවන උදාහරණ බයිබලයේ ඇතුළත් වෙනවා. මෙය නිදර්ශනය කිරීමට, තමන්ගේ ආත්මාර්ථකාමී අරමුණු මුදුන් පමුණුවාගැනීම සඳහා අනිත් අයව පාලනය කළ ස්ත්‍රීන් වන දෙලීලා, යෙසෙබෙල් සහ අතලියා ගැන අපට කියවන්න පුළුවන්. (විනිශ්චයකාරයා 16:16; 1 රාජාවලිය 21:25; 2 ලේකම් 22:10-12) දාවිත් රජුගේ පුත් අබ්සලොම්ද ඔවුන් අතුරින් කෙනෙක්. විනිශ්චය ලබාගැනීම පිණිස යෙරුසලමට පැමිණි අය වෙත ගොස්, ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් රාජ විනිශ්චය සභාව අවංක උනන්දුවක් දක්වන්නේ නැහැයි කියා ඔහු ප්‍රයෝගකාරි ලෙස ඔවුන්ට පැවසුවා. ඊට පසුව ඔහු, රාජ විනිශ්චය සභාවට ඇත්තෙන්ම අවශ්‍ය වන්නේ හරියට ඔහු වගේ සිත උණු වන මනුෂ්‍යයෙක්ය කියා කෙළින්ම පැවසුවා! (2 සාමුවෙල් 15:2-4) ඇත්තෙන්ම අබ්සලොම් උනන්දු වූයේ ඔහු ගැනම මිසක්, පීඩිත තත්වයට පත්වූවන් ගැන නොවෙයි. තමා විසින්ම පත් වූ රජකෙනෙක් හැටියට ක්‍රියා කිරීමෙන්, බොහෝදෙනෙකුව ඔහු තමන්ගේ පැත්තට නම්මවාගත්තා. නමුත් කාලයාගේ ඇවෑමෙන් අබ්සලොම් අන්ත පරාජයක් අද්දැක්කා. ඔහු මැරුණු අවස්ථාවේදී, ඔහුව ගෞරවාන්විත භූමදානයක් ලබන්නවත් වටින කෙනෙක් හැටියට සැලකුවේ නැහැ.—2 සාමුවෙල් 18:6-17.
10. අනිත් අය ගැනත් සැලකිලිමත් වන බව අපට පෙන්වන්න පුළුවන් කොහොමද?
10 මෙය අදදින සිටින ක්‍රිස්තියානීන් සඳහා අනතුරු ඇඟවීමක් වෙනවා. පුරුෂයෙක් වුණත් ස්ත්‍රියක් වුණත්, වෙනත් අයව නම්මවාගැනීමේ හැකියාවක් අපට සහජයෙන්ම තිබෙන්න පුළුවන්. සාකච්ඡාවක් පාලනය කිරීම හෝ තමන්ට එකඟ නැති වෙනස් මත දරන අයව පාගා දැමීම දේවල් අපට අවශ්‍ය විදිහට හසුරුවන්න පහසුවක් විය හැකියි. කොහොමවුණත්, අප අවංකවම ප්‍රේමනීය නම්, අනිත් අයගේ යහපත සම්බන්ධයෙන් හොඳින් සැලකිලිමත් වෙනවා. (පිලිප්පි 2:2-4) අපගේ අද්දැකීම් නිසා හෝ දෙවිගේ සංවිධානයේ තිබෙන අපගේ තත්වය නිසා, සලකා බැලීමට වටින්නේ අපගේ අදහස් පමණක්යයි සිතමින්, අප අනිත් අයගෙන් අයුතු ප්‍රයෝජන ගන්නේවත්, සැක සහිත අදහස්වලට අනුබල දෙන්නේවත් නැහැ. ඒ වෙනුවට අප මෙම බයිබල් හිතෝපදේශය මතක් කරගන්නවා: “විනාශයට පළමුවෙන් උඩඟුකමද වැටීමට පළමුයෙන් අහංකාර සිතද වෙයි.”—හිතෝපදේශ 16:18.
ප්‍රේමය සාමකාමී සබඳතාවන් ඇති කරයි
11. (අ) ගුණවන්ත මෙන්ම ගෞරවනීය වන ප්‍රේමය අපට පෙන්විය හැක්කේ කුමන මාර්ගවලින්ද? (ආ) අප අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවන බව අපට පෙන්වන්න පුළුවන් කොහොමද?
11 ප්‍රේමය “ගුණවන්ත” බවත්, එය ‘අශෝභන ලෙස හැසිරෙන්නේ නැති’ බවත් පාවුල් ලිව්වා. (1 කොරින්ති 13:4, 5) ඔව්, ප්‍රේමය අපට පරුෂ, අසභ්‍ය හෝ අගෞරවනීය ආකාරයකින් ක්‍රියා කිරීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට අනිත් අයගේ හැඟීම් අප සැලකිල්ලට ගන්නවා. උදාහරණයකට ප්‍රේමනීය පුද්ගලයෙක් අනිත් අයගේ හෘද සාක්ෂියට බාධා වන දේවල් කිරීමෙන් වළකිනවා. (1 කොරින්ති 8:13 සසඳන්න.) ප්‍රේමය “අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය.” (1 කොරින්ති 13:6) අප යෙහෝවාගේ නීතියට ප්‍රේම කරනවා නම්, දුරාචාරයෙන් හෝ දෙවි ද්වේෂ කරන දේවල්වලින් වින්දනයක් ලැබීමේ තිබෙන බරපතළකම අප සැහැල්ලුවට ගණන් ගන්නේ නැහැ. (ගීතාවලිය 119:97) බිඳ දමන දේවල්වලින් සතුට ලබනවා වෙනුවට, ගොඩනංවනසුලු දේවල්වලින් සතුට සොයාගැනීමට ප්‍රේමය අපට උපකාර කරනවා.—රෝම 15:2; 1 කොරින්ති 10:23, 24; 14:26.
12, 13. (අ) යමෙක් අපට වරදක් කළ විට අප ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? (ආ) සාධාරණව ඇති වන කෝපය පවා අපව අඥාන ලෙස ක්‍රියා කිරීමට පෙලඹවිය හැකි බව පෙන්වීමට බයිබල් උදාහරණ ගෙනහැර දක්වන්න.
12 ප්‍රේමය “කෝපවෙන්නේ නැත” (“ඉක්මනින්ම කිපෙන්නේ නැහැ,” ෆිලිප්ස්) කියා පාවුල් ලියනවා. (1 කොරින්ති 13:5) යමෙක් අපට විරුද්ධව යමක් කළ විට, අසම්පූර්ණ මනුෂ්‍යයන් වශයෙන්, අප කලබලයට පත්වීම හෝ යම් ප්‍රමාණයකට කෝපයක් ඇතිවීම සාමාන්‍ය දෙයක් බව ඇත්තයි. කොහොමවුණත්, අමනාපය දිගින් දිගටම පවත්වාගෙන යෑම හෝ දිගටම කෝපයෙන් සිටීම වැරදියි. (ගීතාවලිය 4:4, NW; එපීස 4:26) සාධාරණ කෝපය වුණත් අප පාලනය කළේ නැතිනම් අඥාන ලෙස ක්‍රියා කරන්න හේතු විය හැකි අතර, අපට මේ සම්බන්ධයෙන් යෙහෝවාට ගණන් දෙන්න සිදු වෙනවා.—උත්පත්ති 34:1-31; 49:5-7; ගණන් කථාව 12:3; 20:10-12; ගීතාවලිය 106:32, 33.
13 සමහරුන්, අනිත් අයගේ අසම්පූර්ණකම් නිසා, ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑම හෝ දේවසේවයේ සහභාගි වීම නතර කර දමා තිබෙනවා. කලින් මේ අයගෙන් බොහෝදෙනෙක්, ඇතැම්විට පවුල් විරුද්ධවාදිකම්, රැකියා ස්ථානයේ සිටින අයගේ සමච්චල් කිරීම් සහ ඒ හා සමාන වෙනත් දේවල් විඳදරාගනිමින් ඇදහිල්ල වෙනුවෙන් ප්‍රබල සටනක් කර තිබෙනවා. ඔවුන් එවැනි විරුද්ධවාදිකම් විඳදරාගෙන තිබෙන්නේ ඒවා අඛණ්ඩතාව සම්බන්ධ පරීක්ෂණ ලෙස සැලකූ නිසයි. තවද එසේ සැලකීම යෝග්‍ය දෙයක් වෙනවා. නමුත් සෙසු ක්‍රිස්තියානිවරයෙක් අකාරුණික අන්දමින් යමක් කියන විට හෝ කරන විට කුමක් සිදු වෙයිද? මෙයත් අඛණ්ඩතාව සම්බන්ධ පරීක්ෂණයක් නොවේද? ඇත්තවශයෙන්ම එය එසේ වෙනවා. මන්දයත් අප කෝපාවිෂ්ට තත්වයක සිටියොත්, අප “යක්ෂයාට ඉඩ” දිය හැකියි.—එපීස 4:27.
14, 15. (අ) ‘නපුර ගණන් තබාගන්නවා’ කියා පැවසීමෙන් අදහස් කරන්නේ කුමක්ද? (ආ) සමාව දීමේදී අපට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද?
14 හොඳ හේතු ඇතුව, ප්‍රේමය “නපුර ගණන් තබාගන්නේ නැත” කියා පාවුල් තවදුරටත් පවසනවා. (1 කොරින්ති 13:5, NW) පෙනෙන ආකාරයට, මෙහිදී ඔහු ගණකාධිකරණයට සම්බන්ධ යෙදුමක් භාවිත කරන්නේ, තමාට කළ වරද අමතක නොවන ලෙස එය ලෙජරයක එනම් ගනුදෙනු ලියන පොතක සටහන් කරගැනීම ඇඟවීම සඳහායි. අපට මතු කලකදී අවශ්‍ය වේයයි සිතා, සිත රිදවූ වචනයක් හෝ ක්‍රියාවක් මනසේ නොමැකෙන ලෙස සටහන් කරගැනීම ප්‍රේමනීය දෙයක්ද? යෙහෝවා අපව එවැනි දයා විරහිත ආකාරයකින් සියුම් ලෙස පරීක්ෂා නොකිරීම ගැන අපට මොනතරම් සතුටු වෙන්න පුළුවන්ද! (ගීතාවලිය 130:3) ඔව්, අප පසුතැවිලි වන විට ඔහු අපේ වැරදි මකා දමනවා.—ක්‍රියා 3:19, 20.
15 අපට මේ සම්බන්ධයෙන් යෙහෝවාව අනුකරණය කරන්න පුළුවන්. වෙන කෙනෙක් අපව නොසලකා හරිනවායයි සිතූ පමණින්ම අප සිත් රිදවා නොගත යුතුයි. අප ඉක්මනින්ම කිපෙනවා නම්, අපගේ සිත රිදවූ තැනැත්තා විසින් අපට ඇති කරන්න පුළුවන් වේදනාවට වඩා වැඩි වේදනාවක් අප විසින්ම ඇති කරගන්නවා විය හැකියි. (දේශනාකාරයා 7:9, 22) ඒ වෙනුවට, ප්‍රේමය ‘සියල්ල විශ්වාස කරන’ බව අප මතක තබාගන්න අවශ්‍යයි. (1 කොරින්ති 13:7) අප කිසිම කෙනෙකුට පහසුවෙන් රැවටෙන්න අවශ්‍ය නැති බව ඇත්තයි. නමුත් අපි, අපේ සහෝදරයන්ගේ චේතනාවන් අයුතු ලෙස සැක කිරීමත් නොකළ යුතුයි. හැකි සෑම අවස්ථාවකදීම, අපි අනිත් තැනැත්තාට නරක චේතනාවත් නොතිබුණු බව උපකල්පනය කරමු.—කොලොස්සි 3:13.
ප්‍රේමය විඳදරාගැනීමට උපකාර කරයි
16. අපට බොහෝ ඉවසිලිවන්ත වීම සඳහා ප්‍රේමය උපකාරවත් වන්නේ කුමන අවස්ථාවන්වලදීද?
16 පාවුල් ඊළඟට, “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය” කියා අපට පවසනවා. (1 කොරින්ති 13:4) ඇතැම්විට, දීර්ඝ කාලයක් පුරා පවතින පරීක්ෂණාත්මක තත්වයන් දරාගැනීමට එය අපට උපකාර කරනවා. උදාහරණයකට, බොහෝ ක්‍රිස්තියානීන් අවුරුදු ගණනාවක් පුරා ආගමික වශයෙන් බෙදුණු පවුල්වල ජීවත් වී තිබෙනවා. තවත් අය කැමැත්තෙන්ම නොවුවත්, ‘ස්වාමින් තුළ’ සුදුසු සහකරුවෙක්ව හෝ සහකාරියක්ව සොයාගැනීමට අපොහොසත් වී තිබෙන නිසා, තනිකඩව සිටිනවා. (1 කොරින්ති 7:39; 2 කොරින්ති 6:14) එමෙන්ම, බෙලහීන කරවන සෞඛ්‍ය ගැටලු සමඟ පොරබදන අයත් සිටිනවා. (ගලාති 4:13, 14; පිලිප්පි 2:25-30) ඇත්තවශයෙන්ම කිසිවෙකුට, මේ අසම්පූර්ණ පිළිවෙළ තුළ යම් ආකාරයක විඳදරාගැනීමක් අවශ්‍ය නොවන ජීවිතයක් ගැන සිතාගන්නවත් බැහැ.—මතෙව් 10:22; යාකොබ් 1:12.
17. සියල්ල විඳදරාගැනීමට අපට උපකාර කරන්නේ කුමක්ද?
17 ප්‍රේමය “සියල්ල දරාගන්නේය, . . . සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය [විඳදරාගන්නේය, NW]” කියා පාවුල් අපට සහතික වෙනවා. (1 කොරින්ති 13:7) යෙහෝවාට තිබෙන අපේ ප්‍රේමය නිසා ධර්මිෂ්ඨකම උදෙසා පැමිණෙන ඕනෑම දෙයක් විඳදරාගැනීමට එය අපට හැකි කරවනවා. (මතෙව් 16:24; 1 කොරින්ති 10:13) අප ප්‍රාණ පරිත්‍යාගිකයන් වීමට වෑයම් කරන්නේ නැහැ. ඒ වෙනුවට අපේ අරමුණ සාමකාමී සන්සුන් ජීවිතයක් ගත කිරීමයි. (රෝම 12:18; 1 තෙසලෝනික 4:11, 12) කෙසේවුණත්, ඇදහිල්ල සම්බන්ධ පරීක්ෂා උද්ගත වන විට, මේවා ක්‍රිස්තියානි ගෝලත්වයේ කොටසක්ව සිටීම නිසා ඇති වූ ඒවා ලෙස සලකා අප සන්තෝෂයෙන් විඳදරාගන්නවා. (ලූක් 14:28-33) අප විඳදරාගන්නා විට, ඉවසීමට අපහසු ඉතාමත් අසීරු අවස්ථාවන් මධ්‍යයේ හොඳම ප්‍රතිඵල බලාපොරොත්තු වෙමින් ඒකාන්ත ආකල්පයක් පවත්වාගැනීමට අප උත්සාහ කරනවා.
18. හිතකර කාලවලදී පවා විඳදරාගැනීම අවශ්‍ය වන්නේ කොහොමද?
18 අපට විඳදරාගැනීම අවශ්‍ය වන්නේ පීඩා සහිත කාලවලදී පමණක් නොවෙයි. සමහර අවස්ථාවලදී විඳදරාගැනීමෙන් අදහස් වන්නේ, අප තෝරාගත් නිශ්චිත මාර්ගයක අසීරු අවස්ථාවන් පැමිණියත් නැතත් නොකඩවා ගමන් කිරීමයි. හොඳ ආත්මික දිනචර්යාවක් පවත්වාගෙන යෑම විඳදරාගැනීමට අයත් වෙනවා. උදාහරණයකට, ඔබේ තත්වයට අනුව, ඔබ අර්ථාන්විතව දේශනා සේවයේ හවුල් වෙනවාද? ඔබ දෙවිගේ වචනය කියවමින් සහ මෙනෙහි කරමින් සිටිනවාද? ඒ වගේම ඔබ යාච්ඤාව තුළින් ඔබේ ස්වර්ගික පියාත් සමඟ අදහස් හුවමාරු කරගනිමින් සිටිනවාද? ඔබ නොකඩවා සභා රැස්වීම්වලට පැමිණෙනවාද? එමෙන්ම සෙසු ඇදහිලිවන්තයන්ගේ දිරිගැන්වීමෙන් ඔබ ප්‍රයෝජන ලබනවාද? එසේ කරනවා නම්, දැන් හිතකර කාලයක් වුවත්, පීඩාකාරි කාලයක් වුවත්, ඔබ විඳදරාගනිමින් සිටිනවා. මෙය අත්හරින්න එපා. මන්දයත් “අපි ක්ලාන්ත නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමුව.”—ගලාති 6:9.
ප්‍රේමය—“වඩා උතුම් මාර්ගයක්”
19. ප්‍රේමය “වඩා උතුම් මාර්ගයක්” වන්නේ කොහොමද?
19 පාවුල් ප්‍රේමය පෙන්වීමේ ඇති වැදගත්කම අවධාරණය කළේ මෙම දිව්‍ය ගුණාංගය “වඩා උතුම් මාර්ගයක්” ලෙස සඳහන් කිරීමෙනුයි. (1 කොරින්ති 12:31) මෙය “වඩා උතුම්” වන්නේ කුමන අර්ථයෙන්ද? හොඳයි, පාවුල් විසින් පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානීන් අතරේ පොදුවේ දක්නට ලැබුණු ආත්මයේ දීමනාවන් එකිනෙක සඳහන් කර තිබුණා. සමහරුන්ට අනාවැකි කීමේ හැකියාව තිබුණා. තවත් අයට ලෙඩ රෝග සුව කිරීමේ බලය දී තිබුණා. බොහෝදෙනෙකුට අන්‍ය භාෂාවලින් කතා කිරීමේ හැකියාව ලැබී තිබුණා. ඇත්තවශයෙන්ම ඒවා පුදුම දනවන දීමනායි! ඒ වුණත් පාවුල් කොරින්තිවරුන්ට මෙසේ පැවසුවා: “මම මනුෂ්‍යයන්ගේද දේවදූතයන්ගේද භාෂාවලින් කථාකරන්නෙම් නුමුත් මට ප්‍රේමය නැත්නම්, හඬනගන පිත්තලට නොහොත් ශබ්ද පවත්වන අත්තලකට සමානවී සිටිමි. මට අනාගතවාක්‍යකීමේ දීමනාව ඇතුව, සියලු රහස්ද සියලු දැනගැන්මද දනිම් නුමුත්, කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි.” (1 කොරින්ති 13:1, 2) ඔව්, දෙවි සඳහා සහ අසල්වාසීන් සඳහා තිබෙන ප්‍රේමය අපේ චේතනාව නොවන්නේ නම්, යම් වටිනාකමකින් යුත් ක්‍රියාවන් පවා, “මළ ක්‍රියාවල්” බවට පත් වෙනවා.—හෙබ්‍රෙව් 6:1.
20. අපට ප්‍රේමය වර්ධනය කරගැනීමට අවශ්‍ය නම් නොකඩවා උත්සාහ කිරීම අවශ්‍ය වන්නේ ඇයි?
20 අප ප්‍රේමය නමැති දිව්‍ය ගුණාංගය වර්ධනය කරගත යුතු වීමට තවත් හේතුවක් යේසු අපට දෙනවා. ඔහු මෙසේ පැවසුවා: “නුඹලා එකිනෙකාට ප්‍රේමකරනවා නම්, නුඹලා මාගේ ගෝලයෝ බව එයින් සියල්ලන් දැනගන්නවා ඇත.” (යොහන් 13:35) “නම්” යන පදයෙන්, ක්‍රිස්තියානිවරයෙක් ප්‍රේමය ප්‍රකාශ කරන්න ඉගෙනගන්නවාද නැද්ද කියන දේ පෞද්ගලිකව තීරණය කරන්න අවශ්‍ය බව පෙන්නුම් කරනවා. මන්දයත් විදේශීය රටක වාසය කළ පමණින්ම, එහි භාෂාව කතා කරන්න ඉගෙනගැනීමට එය අපට බලපෑමක් කරන්නේ නැහැ. ඒ වගේම නිකම්ම රාජ්‍ය ශාලාවක රැස්වීම්වලට සහභාගි වූ පමණින් හෝ සෙසු ක්‍රිස්තියානීන්ව ඇසුරු කළ පමණින් ප්‍රේමය පෙන්වීමට ඉබේම අප ඉගෙනගන්නේ නැහැ. මේ “භාෂාව” ඉගෙනගැනීමට නිරන්තර උත්සාහයක් අවශ්‍ය වෙනවා.
21, 22. (අ) පාවුල් සාකච්ඡා කළ ප්‍රේමයේ ඇතැම් අංගයන් පිළිපැදීමට අප අසමත් වෙනවා නම් අප ක්‍රියා කළ යුත්තේ කෙසේද? (ආ) ‘ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැහැ’ කියා පැවසිය හැක්කේ කිනම් අර්ථයෙන්ද?
21 ඇතැම් අවස්ථාවලදී පාවුල් විසින් සාකච්ඡා කළ ප්‍රේමයේ ඇතැම් අංගයන් පිළිපැදීමට ඔබ අසමත් වෙනවා විය හැකියි. නමුත් අධෛර්යය වෙන්න එපා. ඒවා ඉවසිලිවන්තව අදාළ කරගන්න වෑයම් කරන්න. බයිබලය දිගටම සෝදිසි කර, අනිත් අයත් සමඟ ඔබ කටයුතු කරන විටදී, එහි ප්‍රතිපත්ති අදාළ කරගන්න. යෙහෝවා අප සඳහා තබන ආදර්ශය කිසිවිටකත් අමතක කරන්න එපා. පාවුල් එපීසවරුන්ට මෙසේ අවවාද කළා: ‘නුඹලා එකිනෙකා කෙරෙහි ගුණවන්තව අනුකම්පා ඇතුව සිට, ක්‍රිස්තුස් තුළ දෙවි නුඹලාට කමා වුණ ලෙසම නුඹලාත් එකිනෙකාට කමා වෙන්න.’—එපීස 4:32.
22 අලුත් භාෂාවක් කතා කිරීමට ඉගෙනගැනීම මගින් අවසානයේදී අදහස් දක්වන්න ඔබට වඩාත් පහසු වෙනවා හා සමානව, කාලයාගේ ඇවෑමෙන් ප්‍රේමය පෙන්වීමත් වඩාත් පහසු වන බවක් ඔබට හැඟෙයි. ‘ප්‍රේමය කිසි කලක පහ වන්නේ නැති’ බව පාවුල් අපට සහතික වෙනවා. (1 කොරින්ති 13:8) ප්‍රාතිහාර්යමය ආත්මික දීමනා මෙන් නොව, ප්‍රේමය කිසි කලක නැතුව යන්නේ නැහැ. එමනිසා මෙම දිව්‍ය ගුණාංගය පෙන්වීමට නොකඩවාම ඉගෙනගන්න. පාවුල් පවසන ආකාරයට එය “වඩා උතුම් මාර්ගයක්.”
ඔබට පැහැදිලි කළ හැකිද?
◻ උඩඟුකම ජයගැනීමට ප්‍රේමය අපට උපකාර කරන්නේ කොහොමද?
◻ සභාව තුළ සාමය වර්ධනය කිරීම සඳහා ප්‍රේමය අපට උපකාර කරන්නේ කිනම් මාර්ගවලින්ද?
◻ විඳදරාගැනීම සඳහා අපට ප්‍රේමය උපකාර කරන්නේ කොහොමද?
◻ ප්‍රේමය, “වඩා උතුම් මාර්ගයක්” වන්නේ කොහොමද?
[19වන පිටුවේ පින්තූරය]
ප්‍රේමය, අපේ සෙසු ඇදහිලිවන්තයන්ගේ වැරදි නොසලකා හරින්න අපට උපකාර වෙනවා
[23වන පිටුවේ පින්තූර]
අපේ දිව්‍යාණ්ඩු දිනචර්යාව පවත්වාගෙන යෑම විඳදරාගැනීමෙන් අදහස් කරනවා