වැදගත්කමක් ඇති සහස්‍රයට සූදානම් වන්න!
ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය මනුෂ්‍ය පවුලට නිම නොවන ආශීර්වාද ගෙනෙනු ඇත. යේසුස්ගේ ප්‍රේමනීය මඟ පෙන්වීම යටතේ, මනුෂ්‍යවර්ගයාව දැන් ඔවුන් සිටින දුක්ඛිත තත්වයෙන් තේජවත් පරිපූර්ණත්වය කරා ගෙනෙනු ලබනවා. එයින් ඔබට අර්ථවත් විය හැකි දේ ගැන සිතා බලන්න. මනා සෞඛ්‍යයක්! සෑම උදෑසනකම කලින් දිනට වඩා ප්රබෝධයකින් යුතුව අවදි වීම ගැන සිතා බලන්න. එම සන්තෝෂවත් කාලයේ ජීවත් වීමට පුරුෂයන්, ස්ත්‍රීන් හා දරුවන් මිලියන ගණනක් ආශාවෙන් බලා සිටිනවා. ඔවුන් එය එන තෙක් ඇඟිලි ගණිමින්, එය ඉල්ලා යාච්ඤා කරමින් සිටිනවා. බයිබලය පාඩම් කිරීමෙන් මෙම ආශීර්වාද ඔවුන්ට භුක්ති විඳිය හැකි බව ඔවුන් ඒත්තුගෙන තිබෙනවා.
කෙසේවුවත්, යේසුස් ක්‍රිස්තුස් තම දහස් අවුරුදු පාලනය පටන්ගන්න පෙර, තම පාලකත්වයට විරුද්ධ වන සියල්ලන්වම පොළොවෙන් තුරන් කළ යුතුයි. බයිබලයේ අර්මගෙදොන් ලෙස හඳුන්වන සටනේදී ඔහු මෙය කරනු ඇත. (එළිදරව් 16:16) ඒ යුද්ධයේදී පොළොවේ සිටින අව්‍යාජ ක්‍රිස්තියානීන් සටන් කරන්න යන්නේ නැහැ. එය දෙවිගේ යුද්ධයයි. එමෙන්ම එය එක් භූගෝලීය ස්ථානයකට සීමා වන යුද්ධයක් නොවෙයි. එය පොළෝ කෙළවර දක්වා දිව යන බව බයිබලයේ පවසනවා. ක්‍රිස්තුස්ගේ පාලකත්වයට විරුද්ධවන්නන්ව ඝාතනය කරනු ලබනවා. ඔවුන්ගෙන් කිසිවෙකු බේරෙන්නේ නැහැ!—යෙරෙමියා 25:33.
ඉන්පසු සාතන් වන යක්ෂයා හා ඔහුගේ භූතයන් වෙත යේසුස් තම අවධානය යොමු කරනු ඇත. එළිදරව් පොතේ ලේඛකයා මෙම දර්ශනය දුටු ආකාරය හිතේ මවාගන්න: “පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැලක්ද ඇතුව දේවදූතයෙක් [යේසුස් ක්‍රිස්තුස්] ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය.” (එළිදරව් 20:1, 2) පසුව, සාතන් හා ඔහුගේ භූතයන් සදහටම විනාශ වී යනු ඇත.—මතෙව් 25:41.
“කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක්” අර්මගෙදොන්වලදී බේරෙනු ඇත. (එළිදරව් 7:9) එඬේරෙක් තම බැටළුවන්ව ජීවිත ගළවන ජලය වෙතට මඟ පෙන්වන ආකාරයටම, ක්‍රිස්තුස් මොවුන්ට ‘ජීවන—දිය—උල්පත්වලින්’ පූර්ණ වශයෙන් ප්‍රයෝජනගැනීමට මඟ පෙන්වනවා. (එළිදරව් 7:17) සාතන් හා ඔහුගේ භූතයන්ගෙන් තම ආත්මික ප්‍රගතියට බාධාවක් නැති, අර්මගෙදොනෙන් බේරී එන මේ අයට පරිපූර්ණත්වයට ළඟා වන තුරු තම පාපතර නැඹුරුවාවන් ජයගැනීමට ක්‍රම ක්‍රමයෙන් උපකාර ලැබෙනු ඇත!
ක්‍රිස්තුස්ගේ ප්‍රේමනීය පාලකත්වය යටතේ, ජීවන තත්වයන් ශීඝ්‍ර ලෙස වර්ධනය වෙයි. යේසුස් ක්‍රිස්තුස් මගින් යෙහෝවා දෙවි වේදනාව හා දුකට හේතු වන සියලුම දේ තුරන් කරනු ඇත. ඔහු “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස [දමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය.” (එළිදරව් 21:4) අනාගතවක්තෘ යෙසායා චිත්‍රය සම්පූර්ණ කරමින් මෙසේ පැවසුවා: “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව [සතුටින්] ගී කියන්නේය.” (යෙසායා 35:5, 6) එමෙන්ම මළාවූ “ලොකු අයද කුඩා අයද” නැවත කිසිදා මිය නොයන බලාපොරොත්තුවෙන් යළි ජීවනයට පැමිණෙනවා!—එළිදරව් 20:12.
දැනටත්, අර්මගෙදොනෙන් බේරෙන “මහත් සමූහය” එක්රැස් කෙරෙමින් පවතිනවා. ඔවුන් ක්‍රිස්තුස්ගේ සහස්ර පාලනයට සූදානම් වෙමින් සිටිනවා. ඒ පාලනය පටන්ගන්නේ කවදාද කියා ඔවුන් නොදන්නවා වුණත්, දෙවිගේ නියමිත කාලයේදී එය ගෙන එන බව ඔවුන්ට නිසැකයි. ඔබට ඔවුන් අතරේ සිටිය හැකි නමුත් ඔබත් සූදානම් විය යුතුයි. ඔබ සතු දේ විකුණා, යම් භූමික ස්ථානයකට යෑමෙන් නොව නමුත් බයිබලය පාඩම් කිරීම තුළින් යෙහෝවා දෙවි හා ඔහුගේ අරමුණු පිළිබඳව හරි දැනුම ලබාගැනීම තුළින් සූදානම් විය යුතුයි. බයිබලය පාඩම් කිරීමෙන් ඔබට හා ඔබේ පවුලට ප්‍රයෝජන ලැබිය හැකි ආකාරය, කිසිම අය කිරීමකින් හෝ බඳවාගැනීමකින් තොරව යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට පෙන්වා දීමට සතුටු වෙනවා. වැඩිදුර තොරතුරු සැපයීමට මේ සඟරාවේ ප්‍රචාරකයන් සතුටෙන් සිටිනවා.
[7වන පිටුවේ කොටුව]
ඇත්තටම අවුරුදු දහසක්ද නැත්නම් එය සංකේතාත්මකද?
බයිබලයේ එළිදරව් පොතේ වැඩිහරියක් ලියා තිබෙන්නේ සංකේත භාෂාවෙන් නිසා ප්‍රශ්නයක් පැනනඟිනවා. එළිදරව්හි සඳහන් ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනය ගැන කුමක් කිව හැකිද? එය සැබෑ කාල පරිච්ඡේදයක්ද, සංකේතමය කාල පරිච්ඡේදයක්ද?
අදහස් කර තිබෙන්නේ සැබෑ අවුරුදු-දහසකට බවට හැම ඇඟවීමක්ම තිබෙනවා. මෙය සලකා බලන්න: මනුෂ්‍යවර්ගයාව විනිශ්චය කරනු ලබන ක්‍රිස්තුස්ගේ දහස් අවුරුදු පාලනයට ප්‍රේරිත පාවුල් යොමු දක්වන්නේ දවසක් කියායි. (ක්‍රියා 17:31; එළිදරව් 20:4) යෙහෝවාට එක දවසක් (පැය 24ක්) හරියට අවුරුදු දාහක් වගෙයි කියා ප්‍රේරිත පේතෘස් ලිව්වා. (2 පේතෘස් 3:8) මේ විනිශ්චය “දවස” සැබෑවටම අවුරුදු දහසක් බවට එය සාක්ෂි සපයනවා. ඊට අමතරව, එළිදරව් 20:3, 5-7හි තුන් වතාවක්ම කියවන්න තිබෙන්නේ “අවුරුදු දහසක්” වශයෙන් නොව නමුත් “අවුරුදු දහස” කියායි. මෙයින් නිශ්චිත කාල පරිච්ඡේදයක් අඟවන බව පෙනෙන්න තිබෙනවා.