අනතුරු බහුල ලොවක සුරැකිව සිටිය හැකි අයුරු
බිම් බෝම්බ වළලා තිබෙන ප්‍රදේශයක පයින් ගමන් කිරීම ජීවිතය අහිමි වීමට හේතු විය හැක. එහෙත් බිම් බෝම්බ වළලා තිබෙන තැන් ලකුණු කර තිබෙන සිතියමක් ඔබට ලැබුණොත්, එය ඔබට මහත් උපකාරයක් වන්නේ නැද්ද? ඔබ ළඟ සිතියම තිබෙනවා පමණක් නොව, විවිධ බිම් බෝම්බ හඳුනාගැනීමට ඔබ පුහුණුවක්ද ලබා තිබෙනවා කියා සිතන්න. එසේනම්, අබ්බගාතයෙකු වීමේ හෝ මරුමුවට පත්වීමේ අවදානම බොහෝදුරට අඩු කරගත හැකි බව පැහැදිලිය.
බයිබලය එම සිතියමට සමාන කළ හැකි අතර, අනතුරු හඳුනාගැනීමට අවශ්‍ය පුහුණුවද එය සපයයි. අනතුරු වළක්වාගැනීම හා ජීවිතයේ ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් වෙනත් කිසිදු තැනකින් ලබාගත නොහැකි ප්‍රඥාවන්ත මඟ පෙන්වීම් බයිබලයේ අඩංගු වේ.
හිතෝපදේශ 2:10, 11හි [NW] සඳහන් මෙම විශ්වාසවන්ත පොරොන්දුව සැලකිල්ලට ගන්න. “ප්‍රඥාව ඔබේ හෘදයට ඇතුල් වූ විටද ඔබ දැනුමට ප්‍රිය වන විටද සිතීමේ හැකියාව ඔබව රැකවල් කරන්නේය. විචාර බුද්ධිය ඔබව ආරක්ෂා කරන්නේය.” මෙහි සඳහන් වන්නේ මිනිසුන් සතු ප්‍රඥාව හා විචාර බුද්ධිය ගැන නොව, දෙවි විසින් සපයනු ලබන ප්‍රඥාව හා විචාර බුද්ධිය ගැනයි. ‘[දෙවි සපයන ප්‍රඥාවට] ඇහුම්කන් දෙන තැනැත්තා සුව සේ වාසය කරමින් විපතට භය නොවී නිශ්චලව සිටින්නේය.’ (හිතෝපදේශ 1:33) අපේ ජීවිතවලට ආරක්ෂාව සැපයීමටත් බොහෝ ගැටලුවලින් වැළකී සිටීමට අපට උපකාර කිරීමටත් බයිබලයට හැකි අයුරු අපි දැන් සලකා බලමු.
මාරාන්තික අනතුරු වළක්වාගැනීම
රථවාහන අනතුරුවලින් ලොව පුරා වාර්ෂිකව මිය යන ගණන 11,71,000ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මෑතකදී ප්‍රකාශයට පත් කළ සංඛ්‍යා ලේඛනවල දැක්වේ. මීට අමතරව, දශලක්ෂ 40කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් දශලක්ෂ 8කට වැඩි පිරිසක් දිගු කාලයකට වැඩ පළක් කරගත නොහැකි තත්වයට පත් වී තිබේ.
රිය පදවන විට ආරක්ෂාව ගැන සියයට සියයක්ම සහතික විය නොහැකි වුවත්, මහාමාර්ග නීති පිළිපැදීමෙන් අපට බොහෝ අනතුරු වළක්වාගත හැක. රිය පැදවීම හා සම්බන්ධ නීති පනවන රජයේ බලධාරීන් ගැන බයිබලයේ මෙසේ සඳහන් වේ. “හැමදෙනාම උසස් බලධාරීන්ට යටත් වෙත්වා.” (රෝම 13:1, NW) මෙම උපදේශයට කීකරු වීමෙන් රිය පදවන්නන්ට භයානක අනතුරුවලට මුහුණ දීමේ අවදානම අඩු කරගැනීමට හැකි වී තිබේ.
ජීවිතයට ගරු කිරීම, ආරක්ෂාකාරිව රිය පැදවීමට තවත් හේතුවකි. යෙහෝවා දෙවි ගැන බයිබලයේ මෙසේ සඳහන් වේ. “[ජීවිතයේ] උල්පත ඔබ සමඟය.” (ගීතාවලිය 36:9) මෙම වදන්වලින් පැහැදිලි වන්නේ ජීවිතය යෙහෝවා දෙවිගෙන් ලැබී තිබෙන තෑග්ගක් බවය. මේනිසා මේ තෑග්ග කිසිවෙකුගෙන් උදුරා ගැනීමටවත්, අපේම ජීවිතය ඇතුළුව අන් අයගේ ජීවිතවලට ගරු නොකිරීමටවත් අපට කිසිම අයිතියක් නැත.—උත්පත්ති 9:5, 6.
මිනිස් ජීවිතයට ගරු කිරීමට නම්, අප පාවිච්චි කරන වාහනය හා ජීවත් වන නිවස අනතුරු ඇති නොවන තත්වයක තබාගත යුතුයි. ඉපැරණි ඉශ්රායෙල් සමාජය තුළ ආරක්ෂාවට ප්රමුඛස්ථානයක් හිමි විය. උදාහරණයක් හැටියට, නිවසක් සාදන විට, එහි පැතලි වහල වටේට කුඩා තාප්පයක් බඳින්න කියා දෙවි දුන් ව්‍යවස්ථාවේ නියම කර තිබිණ. බොහෝ අවස්ථාවලදී මෙම පැතලි වහල මත පවුලේ සාමාජිකයෝ එකට කාලය ගත කළහ. මේ නිසා දෙවිගේ ව්‍යවස්ථාවේ මෙසේ සඳහන් විය. “නුඹ අලුත් ගෙයක් ගොඩනගන විට යමෙක් පියස්සෙන් වැටීමෙන් ලේවල දෝෂය නුඹේ ගේ පිටට නුඹ විසින් පමුණුවානොගන්න පිණිස පියස්ස වටේ පවුරක් සාදන්න.” (ද්විතීය කථාව 22:8) ව්‍යවස්ථාව මගින් නියම කළ ලෙස වහල වටේට කුඩා තාප්පයක් ගොඩනඟා නොතිබියදී යමෙකු එයින් වැටුණා නම්, නිවස අයිතිකරු එයට වගකිව යුතුව තිබිණ. ව්‍යවස්ථාවේ සඳහන් අන් අය කෙරෙහි ප්‍රේමය පෙන්වන එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් රැකියා ස්ථානයේදී හෝ ක්‍රීඩාවල නිරත වන විටදී පවා අනතුරු අඩු කරගත හැක.
මරණය ගෙන දෙන ඇබ්බැහි වීම්වලින් ජයගැනීම
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවලට අනුව මේ වන විට ලොව පුරා දුම්පානය කරන්නන් කෝටි සියයකට වඩා සිටින අතර, වාර්ෂිකව දශලක්ෂ හතරක් පමණ දුම්පානය නිසා මිය යයි. ඊළඟ වසර 20 හෝ 30 ඇතුළත මේ ගණන දශලක්ෂ දහය දක්වා ඉහළ යයි කියා විශ්වාස කෙරේ. දුම්පානය කරන්නන් මෙන්ම හුදෙක් විනෝදය සඳහා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නන්ද තමන්ගේ සෞඛ්‍යයට හානි පමුණුවාගනී. එමෙන්ම ඔවුන්ගේ ඇබ්බැහි වීම් නිසා ඔවුන්ගේ ජීවිත ගැටලුවලින් පිරී තිබේ.
දුම්කොළ භාවිතය සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය ගැන දේවවචනයේ විශේෂයෙන්ම සඳහන් කර නොමැත. එහෙත් එම හානිකර පුරුදුවලින් ආරක්ෂා වීමට එහි සඳහන් ප්‍රතිපත්ති අපට උපකාරවත් වේ. උදාහරණයක් හැටියට 2 කොරින්ති 7:1හි සඳහන් මෙම උපදේශය සැලකිල්ලට ගන්න. “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින් අපම පවිත්‍ර [කරගනිමු].” දුම්කොළ හා මත්ද්‍රව්‍යවල අඩංගු නොයෙකුත් හානිකර රසායනික ද්‍රව්‍ය මගින් අපේ මාංසය අපවිත්‍ර කරන බවට කිසි සැකයක් නැත. එපමණක්ද නොව, අපේ ශරීර ‘ශුද්ධව,’ එනම් නිර්මලව හා පවිත්‍රව තබාගැනීම දෙවි අපෙන් බලාපොරොත්තු වේ. (රෝම 12:1) මෙම ප්‍රතිපත්තිවලට අනුව ජීවත් වීමෙන් යමෙකුගේ ජීවිතයට සිදු විය හැකි බරපතළ හානි වළක්වාගත හැකි බවට ඔබ එකඟ වන්නේ නැද්ද?
හානිකර පුරුදුවලින් මිදීම
බොහෝදෙනෙකුට කෑම බීම සම්බන්ධයෙන් සීමාවක් නැත. පමණ ඉක්මවා කෑම හේතුවෙන් දියවැඩියාව, පිළිකාව හා හෘදයාබාධ ඇතුළු නොයෙකුත් රෝගවලට ඔවුහු නිරාවරණය වෙති. මත්පැන්වලට ඇබ්බැහි වීම, සිරෝසිස්, පවුල් බිඳවැටීම හා රථවාහන අනතුරු වැනි ගැටලු මත්පැන් අනිසි ලෙස භාවිත කිරීමේ ප්‍රතිඵල වී තිබේ. ආහාර ගැනීම සීමා කිරීම නිසාද සෞඛ්‍යයට හානි සිදු විය හැක. තවත් අන්තයක් වන සිරුරේ බාහිර පෙනුම ගැන සිතා හිතාමතාම ආහාර නොගෙන සිටීම, ඇනරෙක්සියා නර්වෝසා කියා හඳුන්වන ජීවිතයට පවා තර්ජනයක් එල්ල කළ හැකි ආහාර ගැනීමේ අක්රමිකතාවට මඟ පෑදිය හැක.
බයිබලය වෛද්‍යමය තොරතුරු ඇතුළත් පොතක් නොවුවත්, ආහාර පානාදිය සමබර ලෙස ගැනීමේ අවශ්‍යතාව ගැන එහි මෙලෙස ඍජු උපදෙස් සපයා තිබේ. “මාගේ පුත්‍රය, අසා ප්‍රඥාවන්ත වී, නුඹේ සිත හරි මාර්ගයෙහි ගෙනයන්න. මුද්‍රිකපානයෙහි ලොල්වූවන්ටවත් මස් කෑමෙහි ගිජුවූවන්ටවත් එක් නොවන්න. මක්නිසාද බේබද්දාත් කෑදරයාත් දිළිඳුවන්නේය.” (හිතෝපදේශ 23:19-21) එහෙත් කෑම බීම සතුට ගෙන දෙන දෙයක් කරගන්න කියාද බයිබලයේ උනන්දු කර තිබේ. “කොයි මනුෂ්‍යයෙක් නුමුත් කා බී තමාගේ මුළු වෑයමේදී සැප භුක්තිවිඳින්නේ නම් එය [දෙවිගේ] දීමනාවක්ය.”—දේශනාකාරයා 3:13.
‘ශාරීරික ව්‍යායාමයෙන් ප්‍රයෝජන ටිකක් තිබෙන’ බව බයිබලයේ සඳහන් වන අතර, ඒ සම්බන්ධයෙන් සමබර ආකල්පයක් ඇතුව සිටීමට දිරිගන්වයි. එහෙත් එහි තවදුරටත් මෙසේ සඳහන් වේ. “භක්තිවන්තකමට දැන් තිබෙන ජීවිතය ගැනත් මතු ජීවිතය ගැනත් පොරොන්දු තිබෙන බැවින් එය හැම දේටම ප්රයෝජනවත්ය.” (1 තිමෝති 4:8) ‘භක්තිවන්තකම දැන් ප්‍රයෝජනවත් වන්නේ කෙසේද’ කියා ඔබ ඇසිය හැකියි. එය බොහෝ ආකාරවලින් ප්‍රයෝජනවත් වේ. දේවභක්තිය මගින් පුද්ගලයෙකු තුළ ආත්මික දේවල් කෙරෙහි ලැදියාවක් ඇති කරන අතර, ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය හා ආත්ම දමනය වැනි ප්‍රයෝජනවත් ගුණාංග වර්ධනය කරගැනීමටද එය උපකාරවත් වේ. ජීවිතය දෙස ශුභවාදීව බැලීමටත් යහපත් සෞඛ්‍යයක් ඇතුව සිටීමටත් ඒ සෑම දෙයක්ම උපකාරවත් වේ.—ගලාති 5:22, 23.
දුරාචාරයේ කටුක ප්‍රතිඵල
අද බොහෝදෙනෙකු සදාචාර ප්‍රමිති නොසලකා හැර තිබේ. මෙහි එක් කනගාටුදායක ප්‍රතිඵලයක් නම් ඒඩ්ස් වසංගතයයි. ඒඩ්ස් වසංගතය පටන්ගත් දා සිට මේ දක්වා දශලක්ෂ 16කට වැඩි පිරිසක් එයින් මිය ගොස් සිටින බවත්, ඒඩ්ස් රෝගකාරකය වන HIV වයිරසය දශලක්ෂ 34දෙනෙකුට පමණ ශරීරගත වී තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාවල දැක්වේ. ඒඩ්ස් රෝගයෙන් පීඩා විඳින බොහෝදෙනෙකුට මෙම රෝගය වැළඳී තිබෙන්නේ විවිධ පුද්ගලයන් සමඟ ලිංගික සබඳතා පැවැත්වීමෙන් හෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් භාවිත කළ වයිරසය අඩංගු බෙහෙත් විදින කටු මගින් හෝ වයිරසය තිබෙන රුධිරය ශරීරගත වීමෙනි.
හර්පිස්, ගොනොරියා, හෙපටයිටිස් B සහ C මෙන්ම සිෆිලිස් වැනි රෝගවලට ගොදුරු වීමට හේතුවද සදාචාර ප්‍රමිති නොසලකා හැරීමයි. මෙම රෝග හඳුන්වන වෛද්‍යමය වචන බයිබලය ලියූ කාලයේදී භාවිත නොවුවත්, ඒ කාලයේදී බහුලව පැවති ලිංගිකව බෝවෙන ඇතැම් රෝගවලින් බලපෑමට ලක් වන ඉන්ද්රියයන් හඳුනාගෙන තිබිණ. උදාහරණයක් හැටියට, ‘ඊගසක් අක්මාවට වදිනවා’ හා සමාන කරමින් වේශ්‍යාකම නිසා ඇති වන දරුණු ප්‍රතිඵල හිතෝපදේශ 7:22හි විස්තර කර ඇත. හෙපටයිටිස් රෝගයේදී සිදු වන්නාක් මෙන් සිෆිලිස් රෝගයේදීද අක්මාවට හානි සිදු වේ. ‘ලෙයින්ද වේශ්‍යාකමින්ද වැළකී සිටින්න’ කියා ක්‍රිස්තියානීන්ට බයිබලයේ දී තිබෙන උපදේශය මොනතරම් කාලෝචිත මෙන්ම ප්‍රේමනීය උපදේශයක්ද!—ක්‍රියා 15:28, 29.
මුදලට ප්‍රේම කිරීමේ උගුල
ඉක්මනින් ධනවත් වීමට වෑයම් කරන බොහෝදෙනෙක් ඔවුන් සතු මුදල් දැඩි අවදානමක් තිබෙන ව්‍යාපාරවල යොදවති. බොහෝ අවස්ථාවලදී එවන් අවදානම් සහිත ව්‍යාපාරවල මුදල් යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස පාඩු ලැබීම හෝ ඔවුන් යෙදවූ මුදල් අහිමි වීම කනගාටුදායකය. කෙසේවෙතත්, දෙවිගේ සේවකයන්ට බයිබලය මෙසේ පවසා තිබේ. “හිඟ අයට දෙන්ට පුළුවන් වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා [වෙහෙස මහන්සි වී වැඩ කරන්න, NW].” (එපීස 4:28) වෙහෙස මහන්සි වී වැඩ කරන අය සැමවිටම ධනවත් නොවන බව සැබෑවකි. එහෙත් එවැනි කෙනෙකුට මනසේ සාමය පවත්වාගනිමින් ආත්ම ගරුත්වය රැකගත හැක. එපමණක්ද නොව යහපත් වැඩවලට පරිත්‍යාග කිරීම සඳහා මුදලක්ද ඔහුට ඉතුරු කරගත හැක.
“ධනවත්වන්ට ආශා ඇත්තෝ [අදිටන් කරගෙන සිටින්නෝ, NW] පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය. මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී . . . බොහෝ වේදනාවලින් තුමූම ඇනගත්තෝය.” (1 තිමෝති 6:9, 10) ‘ධනවත් වීමට අදිටන් කරගෙන සිටි’ බොහෝදෙනෙකු ධනවත් වී ඇති බව සැබෑවකි. එහෙත් ඔවුන්ට සිදු වී තිබෙන පාඩුව ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ සෞඛ්‍යය, පවුල, ආත්මිකත්වය යනාදියට යම් ආකාරවලින් හානි සිදු වී තිබෙන බව සැබෑවක් නොවේද? එමෙන්ම ඔවුන්ට සුවදායී නින්දක් පවා නොලැබේ.—දේශනාකාරයා 5:12.
‘තමන් සතු දේපොළ මත තමන්ගේ ජීවිතය පිහිටා නැති’ බව නැණවත් තැනැත්තා වටහාගනියි. (ලූක් 12:15) කෙසේවුවත්, අද කාලයේ ජීවත් වීමට මුදල් සහ දේපොළ අවශ්‍ය වේ. “මුදල ආරක්ෂාවක්” බව බයිබලයේද සඳහන් වේ. එහෙත් එහි තවදුරටත් මෙසේ පවසා තිබේ. “දැනගැන්මෙහි වාසියක් තිබේ, ප්‍රඥාව වනාහි එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂාකරන්නේය.” (දේශනාකාරයා 7:12) මුදල් මෙන් නොව, නිවැරදි දැනුම හා ප්‍රඥාව අපේ ජීවිතයට බලපාන සෑම කාරණාවකදීම අපට මහත් උපකාරයක් විය හැක.—හිතෝපදේශ 4:5-9.
ප්‍රඥාව පමණක් අපට රැකවරණය සලසන කාලයක්
මින් පෙර කවදාවත් සිදු නොවූ ආකාරයකින් ළඟදීම ප්‍රඥාව ‘එය ඇත්තාගේ ජීවිතය ආරක්ෂා කරනු ඇත.’ දෙවි දුෂ්ටයන්ව විනාශ කරන, ‘මහත් පීඩාව’ වේගයෙන් ළඟා වෙමින් තිබෙන අතර ඒ කාලයේදී ප්‍රඥාව අත් කරගත් අයගේ ජීවිත ආරක්ෂා වනු ඇත. (මතෙව් 24:21) ඒ කාලයේදී මිනිසුන් ඔවුන් සතු මුදල් “අපවිත්‍ර දෙයක්” මෙන් පාරවල්වලට විසි කරන බව බයිබලයේ සඳහන් වේ. ඔවුන් එසේ මුදල් පාරවල්වලට විසි කරන්නේ ඇයි? ‘යෙහෝවාගේ උදහස් දවසේදී’ ඔවුන් සතු රන් රිදීවලින් තම ජීවිත ආරක්ෂා කරගැනීමට නොහැකි බව ඔවුන් මුහුණ දෙන අමිහිරි අද්දැකීම්වලින් ඉගෙනගන්න නිසාය. (එසකියෙල් 7:19) මීට වෙනස්ව, දුර දක්නා නුවණින් කටයුතු කරමින් ආත්මික කාරණාවලට තමන්ගේ ජීවිතයේ මුල්තැන දී ‘තමුන්ගේ වස්තු ස්වර්ගයෙහි රැස් කරගත්’ “මහත් සමූහය” දැඩි විශ්වාසයෙන් යුතුව කළ ආයෝජනයේ ප්‍රයෝජන ලබන අතර, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වනු ඇත.—මතෙව් 6:19, 20; එළිදරව් 7:9, 14; 21:3, 4.
මෙම සුරක්ෂිත අනාගතයට අපටත් පංගුකාරයන් විය හැක්කේ කෙසේද? මෙම ප්‍රශ්නයට යේසුස් මෙසේ උත්තර දෙයි. “මින් අදහස් කරන්නේ සදාකාල ජීවනයය—එනම් එකම සැබෑ දෙවි වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැන ඔවුන් විසින් දැනුම ලබාගැනීමයි.” (යොහන් 17:3, NW) දශලක්ෂ ගණනක් දෙනා දෙවිගේ වචනය වන බයිබලය තුළ තිබෙන දැනුම අත් කරගෙන තිබේ. මොවුන්ට අනාගතය පිළිබඳ මවිතකර බලාපොරොත්තුවක් තිබෙනවා පමණක් නොව, මේ කාලයේදී පවා ඔවුහු යම් ප්‍රමාණයකට සාමය හා සුරක්ෂිතභාවය භුක්ති විඳිති. ඔවුන් අද්දකින දෙය ගීතිකාකරුගේ මෙම වදන්වලින් ප්‍රකාශ වෙයි. “මම සමාදානයෙන් වැතිරී නිදන්නෙමි. මක්නිසාද [යෙහෝවා], ඔබ මා උදක්ම සුවසේ [වාසය කරවන්නේය].”—ගීතාවලිය 4:8.
ඔබේ සෞඛ්‍යයට හා ජීවිතයට සිදු වන අනතුරු අඩු කරගැනීම සඳහා බයිබලය මෙන් ඔබට උපකාරවත් වන වටිනා තොරතුරු සපයන වෙනත් පොතක් ගැන ඔබට සිතාගත හැකිද? බයිබලය සතු බලය වෙනත් කිසිදු පොතක නොමැත. අද අප ජීවත් වන අනතුරු බහුල ලෝකයේ සැබෑ සුරක්ෂිතභාවය සොයාගැනීමට ඔබට උපකාර කළ හැකි වෙනත් කිසිදු පොතක් නැත. මෙහි තිබෙන තොරතුරු තවදුරටත් පරීක්ෂා කර බැලීමට පියවර ගැනීම හොඳ අදහසක් නොවේද?
[6වන පිටුවේ කොටුව⁄පින්තූරය]
නිරෝගි, සුරක්ෂිත ජීවිතයක් සඳහා බයිබලයෙන් ලැබුණු උපකාරය
තමන්ට මුහුණ දීමට සිදු වන දේවලින් පලා යෑම සඳහා ජේන්a නමැති තරුණිය මරිජුආනා, දුම්කොළ, කොකේන්, උත්තේජක වර්ග, LSD හා වෙනත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියාය. ඈ අධික ලෙස මත්පැන්ද පානය කළාය. තම ස්වාමිපුරුෂයාද මේ දේවලට ඇබ්බැහි වී සිටි බව ජේන් පවසයි. ඔවුන්ගේ අනාගතය තිබුණේ අඳුරුසහගත තත්වයකය. ජේන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න පටන්ගත් අතර, මුරටැඹ සහ එහි සහයක සඟරාව වන පිබිදෙව්! සඟරාව තම ස්වාමිපුරුෂයා සමඟ කියවීමට පටන්ගත්තාය. තවද, ඔවුන් දෙදෙනාම සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්නත් පටන්ගත්හ. යෙහෝවාගේ උසස් සදාචාර ප්‍රමිති අගය කරන්න පටන්ගැනීමත් සමඟම ඔවුන් දෙදෙනා තමන් ඇබ්බැහි වී සිටි සියලුම දේවල් අත්හැරියහ. එහි ප්‍රතිඵලය වූයේ කුමක්ද? “අලුත් ජීවිතයක් ගත කරන්න පටන්ගත් නිසා අපි මහත් සතුටක් ලබනවා. යෙහෝවාගේ වචනය සතු ජීවිත පවිත්‍ර කිරීමේ බලය ගැනත් දැන් අපි භුක්ති විඳින සෞඛ්‍ය සම්පන්න ජීවිතය ගැනත් මම යෙහෝවාට හුඟාක් ස්තුතිවන්ත වෙනවා” කියා අවුරුදු කිහිපයකට පසු ජේන් සඳහන් කළාය.
අවංක සේවකයෙකු වීමේ වටිනාකම කර්ට්ගේ අද්දැකීමෙන් පැහැදිලි වේ. ඔහු පරිගණක පද්ධති නඩත්තු කිරීම හා සම්බන්ධ රැකියාවක් කරමින් සිටියේය. එම ආයතනයට අලුත් උපකරණ මිල දී ගැනීමට අවශ්‍ය විය. එහි අයිතිකරු ඒවා ලාභදායී තැනකින් මිල දී ගැනීමේ කාර්යය විශ්වාසයෙන් යුතුව කර්ට්ට පැවරීය. කර්ට් හොඳ සැපයුම්කරුවෙකුව සොයාගෙන, අවශ්‍ය උපකරණ මිල දී ගැනීමට කටයුතු සැලසුම් කළේය. නමුත් එම සැපයුම්කරුගේ ලිපිකරු අතින් බිල්පතෙහි යම් වරදක් සිදු විය. එහි නියමිත මිලට වඩා ඩොලර් 40,000ක් අඩුවෙන් ලියා තිබිණ. මේ අත්වැරැද්ද දුටු කර්ට් ඒ සමාගමට ඒ බව දැන්නුවේය. තමා රැකියාව කරමින් සිටින අවුරුදු 25ක කාලය තුළ ඒ වගේ අවංකකමක් දැක නැති බව එම සමාගමේ කළමනාකරු පැවසීය. අවංකව කටයුතු කිරීමට හේතු වූයේ, තමාගේ හෘදය සාක්ෂිය බයිබලයට එකඟව පුහුණු කර තිබීම බව කර්ට් පැහැදිලි කළේය. මොහුගේ අවංකකමේ ප්‍රතිඵලයක් හැටියට, කළමනාකරු තම සමාගමේ සේවකයන් අතර බෙදාහැරීම සඳහා අවංකකම ගැන තොරතුරු ඇතුළත් පිබිදෙව්! සඟරාවක පිටපත් 300ක් ඉල්ලුම් කරනු ලැබීය. කර්ට්ගේ අවංකකම නිසා ඔහුට උසස් වීමක්ද ලැබුණේය.
[පාදසටහන]
a සැබෑ නම් නොවේ.
[7වන පිටුවේ පින්තූරය]
‘ප්‍රයෝජන ලබාගැනීමට නුඹට උගන්වන්නේ නුඹේ දෙවි වූ යෙහෝවා වන මමය.’—යෙසායා 48:17