අනතුරු සහිත පරිසරයක ජීවත් වීම
“සෑම දවසකම අවදානමකින් තොරව කළ හැකි දෙයක් නොමැති තරම්ය. නිදාගැනීම පවා අවදානම් සහිත දෙයක් වී තිබේ.”—ඩිස්කවර් සඟරාව.
බොහෝ අවස්ථාවලදී කිසිදු අනතුරු ඇඟවීමකින් තොරව, කුමන මොහොතක හෝ තුවාල සිදු කරමින් නැත්නම් මරණය ගෙන දෙමින් පිපිරිය හැකි බිම් බෝම්බ වළලා තිබෙන ප්‍රදේශයක් හරහා පයින් ගමන් කිරීමකට ජීවිතය සමාන කර තිබේ. අනතුරුවලට හේතු වන දෑ රටින් රටට වෙනස් වේ. රිය අනතුරු, සිවිල් යුද්ධ, සාගත, ඒඩ්ස්, පිළිකා, හෘදයාබාධ හා වෙනත් බොහෝ දේවල් මගින් මිනිසාට අනතුරු එල්ල වී තිබේ. උදාහරණයක් හැටියට, සහරා කාන්තාරයට දකුණින් පිහිටි අප්‍රිකානු රටවල සිදු වන මරණවලට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ ඒඩ්ස් රෝගයයි. පසුගිය වසරකදී ඒඩ්ස් රෝගය නිසා “මිනිසුන් ලක්ෂ 22ක් මිය ගිය අතර, මෙම ගණන මුළු අප්‍රිකානු මහද්වීපයේම සිවිල් යුද්ධවලින් මිය ගිය ගණන මෙන් දහගුණයක්” කියා යූ. එස්. නිව්ස් ඇන්ඩ් වර්ල්ඩ් රිපෝට් නමැති සඟරාවේ සඳහන් විය.
මේ අතරවාරයේදී, මිනිසුන්ගේ ආයු කාලය දීර්ඝ කිරීමේ හා රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු කිරීමේ අරමුණින් මුදල් කෝටි සියගණනක් ලොව පුරාම වැය කෙරේ. සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස ආහාර පාන ගැනීම හා ශාරීරික ව්‍යායාමවල යෙදීම යනාදිය කෙරෙහි බොහෝදෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන අතර, ඒවායින් යම් ප්‍රමාණයකට ප්‍රයෝජන අත් කරගත හැක. කෙසේවෙතත්, ජීවත් වීමේදී සැලකිල්ලට යොමු කළ යුතු සෑම වැදගත් කාරණයක් ගැනම විශ්වාසදායක තොරතුරු සපයන එක් මූලාශ්‍රයක් තිබේ. අනතුරු අවම කරගනිමින් සුරක්ෂිත ජීවිතයක් ගත කිරීම සඳහා ඔබට උපකාර කරන්න එහි අන්තර්ගත තොරතුරුවලට හැක. ඒ මූලාශ්‍රය බයිබලයයි. අපේ සෞඛ්‍යයට හා ශුභසිද්ධියට බලපාන බොහෝ කාරණා සම්බන්ධයෙන් මඟ පෙන්වීම් එහි සපයා ඇත. සෑම ගැටලුවක්ම හසුරුවන ආකාරය ගැන සවිස්තරාත්මක තොරතුරු බයිබලයේ අඩංගු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ආහාර ගැනීමේ පුරුදු, ශාරීරික ව්‍යායාම, මානසික ආකල්ප, ලිංගික කාරණා, මත්පැන් හා දුම්කොළ භාවිතය සහ හුදෙක් විනෝදය සඳහා ගන්නා බවට කියන මත්ද්‍රව්‍ය මෙන්ම මෙහි සඳහන් නොකළ තවත් බොහෝ කාරණා ගැන අපට මඟ පෙන්වීම් සපයන අනගි ප්‍රතිපත්ති එහි සඳහන් වේ.
තවද, බොහෝදෙනෙක් බලාපොරොත්තු නොවූ ආකාරයට මූල්‍යමය දුෂ්කරතාවලටද මුහුණ දෙති. මෙහිදීද බයිබලය අපට උපකාර කරයි. එය මුදල් පාලනය කිරීම ගැන නැණවත් මඟ පෙන්වීම් සපයනවා පමණක් නොව, හොඳ ස්වාමියෙකු හා සේවකයෙකු වන ආකාරයත් පෙන්වා දෙයි. සරලව කියනවා නම්, බයිබලය මූල්‍යමය සුරක්ෂිතභාවය හා නිරෝගිකම ගැන පමණක් නොව ජීවිතයේ සෑම කාරණයක් ගැනද නැණවත් මඟ පෙන්වීම් සපයයි. බයිබලය අදදින අපට ප්‍රායෝගික මඟ පෙන්වීම් සපයන ආකාරය ගැන දැනගැනීමට ඔබ කැමතිද? එසේනම්, ඊළඟ ලිපිය කියවන්න.