ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 10/1 21-25 පි.
  • දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන්න
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සුදුසු පියවර ගන්න
  • සමබර වෙන්න
  • දෙවිට කරන සේවය ජීවිතයේ මූලිකම දේ කරගන්න
  • අරුත්බර ජීවිතයක්
  • අර්ථවත් දිවියක් සොයා
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?
    යෞවනයෙනි ඔබේ ජීවිතයේ අපේක්ෂාවන් මොනවාද?
  • පූර්ණකාලීන සේවකයන්ව අගයමු
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 10/1 21-25 පි.

දෙවිගේ කැමැත්තට මුල් තැන දෙන්න

‘[යෙසුස්] සියල්ලන් වෙනුවෙන් මිය ගියේ, ජීවත් වන අය තවදුරටත් තමන් උදෙසාම ජීවත් නොවන පිණිසයි’—2 කොරින්ති 5:15.

1. එක් පූර්ණකාලීන දේවසේවකයෙකුගේ අද්දැකීම වූයේ කුමක්ද?

දිනක් යම් පිරිසක් ඉතා අවදානම් සහිත ගමනක නිරත වුණා. ඒ අය අතර සිටි ඒරන් මෙසේ පවසනවා.a “අප්‍රිකාවේ එක් පිටිසර ගම්මානයක තිබුණු සිවිල් යුද්ධය නතර වුණාට පස්සේ හමුදා රථවලට අමතරව අපේ රථය තමයි ඉස්සෙල්ලාම එහෙට ගියේ. හැබැයි අපි එතනට යන්න කලින් එහෙ හිටපු ක්‍රිස්තියානි සහෝදර සහෝදරියන් එක්ක අදහස් හුවමාරු කරන්න කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ. ඒ වුණත් අපි ඔවුන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, කෑම බීම හා බයිබල් ප්‍රකාශන වගේ දේවල් අරගෙන ගියා. ඒ විතරක් නෙවෙයි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානය හඳුනාගනිමු කියන වීඩියෝ පටියත් අපි ගෙනිච්චා.b පිදුරු සෙවිලි කළ මඩුවක් ඇතුළේ තමයි රූපවාහිනියක් යොදාගෙන මේ වීඩියෝ පටිය පෙන්නුවේ. කොච්චර සෙනඟක් ආවද කියනවා නම් අපිට සිද්ධ වුණා මේ වීඩියෝ පටිය දෙපාරකට පෙන්නන්න. ඒකෙන් පස්සේ ගොඩක් අය බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. අපි දරපු හැම වෑයමක්ම සාර්ථක වුණා.”

2. (අ) දෙවිට සේවය කරන්න ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ ඇයි? (ආ) දැන් අපි සලකා බලන්න යන්නේ කුමන ප්‍රශ්නද?

2 ඒරන් ඇතුළු පිරිස එවැනි දුෂ්කර ගමනක් ගියේ ඇයි? ඊට හේතුව ඔවුන් යේසුස්ගේ ජීවිත පූජාව අගය කරමින් තම ජීවිත දෙවිට කැප කර තිබීමයි. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ දෙවිගේ අරමුණට එකඟව තම ජීවිත ගත කරන්නයි. ඔවුන් මෙන් දෙවිට කැප වී සිටින සියලුම ක්‍රිස්තියානීන් උත්සාහ කරන්නේ “තවදුරටත් තමන් උදෙසාම ජීවත් නොවී” “ශුභාරංචිය වෙනුවෙන්” ජීවත් වෙන්නයි. (2 කොරින්ති 5:15; 1 කොරින්ති 9:23) මේ සමාජ ක්‍රමය පහව යනකොට එහි තිබෙන සියලුම ධනය හා කීර්තිය නැති වී යන බව ඔවුන් දන්න නිසා දෙවිට සේවය කරන්න හැකියාව තියෙන කාලයේදී උපරිමයෙන් එය කරන්න ඔවුන් උත්සාහ කරනවා. (දේශනාකාරයා 12:1) එය අපිට කළ හැකි දෙයක්ද? එය කරන්න අවශ්‍ය නිර්භීතකම හා ශක්තිය අපිට ලබාගත හැක්කේ කොහෙන්ද? දෙවිට සේවය කරන්න කුමන ප්‍රස්තා විවෘතව තිබෙනවාද?

සුදුසු පියවර ගන්න

3. දෙවිගේ කැමැත්ත කිරීම ඇරඹෙන්නේ කුමන පියවර ගැනීමත් සමඟද?

3 දෙවිගේ කැමැත්ත කිරීම යනු තම ජීවිතය තියෙන තුරා ක්‍රිස්තියානීන් නියැලී සිටිය යුතු කාර්යභාරයක්. එය ඇරඹෙන්නේ කෙනෙක් දිව්‍යාණ්ඩු සේවා පාසැලට ඇතුල් වීම, නිතිපතා බයිබලය කියවීම, දේශනා සේවයේ හවුල් වීම සහ බව්තීස්මය දක්වා දියුණු වීම ආදී පියවර ගැනීමත් සමඟයි. එලෙස දියුණු වෙත්ම පාවුල්ගේ මේ වදන් සිහියේ තබාගැනීම වැදගත්. “මේ දේවල් ගැන ගැඹුරින් කල්පනා කරන්න. ඒවායෙහි යෙදී සිටින්න. එවිට ඔබේ දියුණුව සියල්ලන්ට පෙනෙන්නේය.” (1 තිමෝති 4:15) එම දියුණුව අත් කරගන්නේ අපේම වාසි ප්‍රයෝජනය වෙනුවෙන් නෙවෙයි. ඒ වෙනුවට ඉන් පෙන්නුම් කරන්නේ දෙවිගේ කැමැත්ත කරන්න අපි ආශාවෙන් සිටින බවයි. එසේ කිරීමෙන් අපි පෙන්වන්නේ ජීවිතයේ සියලු කාරණාවලදී අපිට හොඳම මඟ පෙන්වීම් ලබා දිය හැකි දෙවිට අපි වෙනුවෙන් ඒවා ලබා දීමට ඉඩහරින බවයි.—ගීතාවලිය 32:8.

4. සේවයට බාධා කළ හැකි හැඟීම්වලින් ජයගත හැක්කේ කෙසේද?

4 උවමනාවට වඩා තමන් ගැන සිතමින් පියවර ගන්න පසුබට වෙනවා නම් දෙවිගේ සේවය තුළ ඉදිරියට යන්න හැකි වෙන්නේ නැහැ. (දේශනාකාරයා 11:4) දෙවිට හා අන් අයට සේවය කිරීමෙන් ප්‍රීතිය අද්දකින්න නම් මුලින්ම අපේ සේවයට බාධා කළ හැකි හැඟීම් හඳුනාගෙන ඉන් ජයගත යුතුයි. ඒ සම්බන්ධයෙන් එරික්ගේ අද්දැකීම වූයේ මෙයයි. වෙනත් භාෂාවක් කතා කරන සභාවක් සමඟ සේවය කරන්න ඔහු කැමති වුණා. ඒත් ඔහු සිතුවා ‘ඒ සහෝදරයන් මට කැමති වෙයිද, මම ඒගොල්ලන්ට කැමති වෙයිද’ කියලා. එලෙස සිතීම ඔහුට බාධාවක් වුණා. නමුත් අන්තිමේදී ඔහු මෙසේ පවසනවා. “මම තේරුම්ගත්තා ඕනෑවට වඩා මං ගැන හිතන්නේ නැතුව මගේ සහෝදරයන් ගැන හිතන්න ඕනේ කියලා. ඒ නිසා මම උපකාර ඉල්ලලා දෙවිට යාච්ඤා කෙරුවා. ඊට පස්සේ අවශ්‍ය පියවර ගත්තා. දැන් මගේ සේවයෙන් මම ලොකු සන්තෝෂයක් ලබනවා.” (රෝම 4:20) ඔව්, පරාර්ථකාමී ලෙස දෙවි වෙනුවෙන් හා අන් අය වෙනුවෙන් අපේ උපරිමය කරනවා නම් ප්‍රීතිය හා සතුට අද්දකින්න අපිටත් පුළුවන්.

5. දෙවිගේ අරමුණට මුල් තැන දීමේදී හොඳින් සැලසුම් කිරීම වැදගත් වෙන්නේ ඇයි කියා පැහැදිලි කරන්න.

5 දෙවිගේ අරමුණට එකඟව ජීවත් වීමට නම් අනවශ්‍ය ලෙස ණය වීමෙන් වැළකී සිටීම වැදගත්. ඊට හේතුව එම ණය පියවීම සඳහා අපේ වටිනා කාලය යෙදවීමට සිදුවීමෙන් දෙවිට කරන සේවය සීමාවීමයි. බයිබලයේ සඳහන් වෙන්නේ ‘ණයගැතියා ණයහිමියාගේ සේවකයෙක්’ වෙනවා කියායි. (හිතෝපදේශ 22:7, නව ලොව පරිවර්තනය, NW) අපි දෙවි කෙරෙහි විශ්වාසය තබමින් ඔහුගේ සේවයට සම්පූර්ණ අවධානය දිය යුතුයි. එසේ කිරීමෙන් වඩා වැදගත් දේවලට මුල් තැන දීමට හැකි වෙනවා. ගුඕමින්ගේ අද්දැකීම සලකා බලන්න. ඔහු සමඟ සිටි මව සහ සහෝදරියන් දෙදෙනා ජීවත් වුණේ විශාල ගෙවල් කුලියක් ගෙවන්න සිදු වූ ප්‍රදේශයකයි. ස්ථිර රැකියාවක් සොයාගැනීමත් පහසු වුණේ නැහැ. ඔවුන් හැමෝම රැකියාවක් නොකළත් වියදම් හවුලේ බෙදාගනිමින්, අරපිරිමැස්මෙන් කටයුතු කළ නිසා අවශ්‍යම කරන දේවල් මිල දී ගන්න ඔවුන්ට හැකි වුණා. ගුඕමින් මෙසේ පවසනවා. “අපි හැමෝම රස්සාවල් කළේ නැති වුණත් දිගටම පුරෝගාමි සේවයේ හවුල් වෙන ගමන්ම අම්මවත් හොඳින් බලාගන්නවා. අම්මා කවදාවත් ඇගේ සුවපහසුව තකා මුදල් උපයන්න කියලා අපිට බල කරන්නේ නැහැ. අම්මත් කැමතියි අපි දෙවිගේ සේවයට මුල් තැන දෙනවට.”—2 කොරින්ති 12:14; හෙබ්‍රෙව් 13:5.

6. දෙවිගේ කැමැත්තට එකඟව අපේ ජීවිත හැඩගස්වා ගන්න පුළුවන් බව පෙන්නුම් කරන අද්දැකීම කුමක්ද?

6 මුදල් උපයන්න හෝ වෙනත් දේවලට ඔබ වැඩිපුර කාලය යොදවනවා නම් දෙවිගේ කැමැත්ත කිරීම වෙනුවෙනුත් කාලය යොදවන එක අභියෝගයක් වෙන්න පුළුවන්. එවැනි තත්වයක සිටින කෙනෙක් ජීවිතයේ යම් වෙනස්කම් කිරීමට උත්සාහ කළත් එය එක රැයකින් සිදු වෙයි කියා හිතන්න බැහැ. එය කිරීමට යෑමේදී අසාර්ථක වෙන අවස්ථාවන්ද තිබිය හැකියි. නමුත් වැදගත් වෙන්නේ උත්සාහය අත් නොහැරීමයි. තම විනෝදය වෙනුවෙන් ගොඩක් කාලය යෙදවූ කොයිචිගේ අද්දැකීම සලකා බලන්න. ඔහු බයිබලය පාඩම් කළේ යෞවනයෙකුව සිටියදීයි. ඒත් අවුරුදු ගාණක් පුරා වීඩියෝ ක්‍රීඩා සඳහා ඔහු බොහෝ කාලයක් යෙදෙව්වා. දවසක් කොයිචි එයාගෙන්ම මෙසේ අසාගත්තා. ‘මම මොනවද මේ කරන්නේ. මට දැන් වයස අවුරුදු තිස්ගාණක් වෙලත් තාම කිසි වැදගත් දෙයක් මම කරලා නැහැ!’ ඔහු යළිත් බයිබලය අධ්‍යයනය කරන්න පටන්ගත්තා. කොයිචිගේ ජීවිතය එකපාරටම වෙනස් වුණේ නැතත් ඔහු උත්සාහය අත්හැරියේ නැහැ. දෙවිට ඒ ගැන යාච්ඤා කිරීමෙන් හා සභාවේ සිටින අයගේ උපකාරයෙන් අවසානයේදී ඔහු ගැටලුවෙන් ජයගත්තා. (ලූක් 11:9) දැන් ඔහු සභා සේවකයෙක් ලෙස සතුටින් සේවය කරනවා.

සමබර වෙන්න

7. අපි දෙවිට සේවය කිරීමේදී සමබරව කටයුතු කළ යුත්තේ ඇයි?

7 දෙවිගේ අරමුණ ඉටු කරමින් ඔහුගේ කැමැත්ත කරන්න නම් කම්මැළි නොවී අපේ උපරිමයෙන් ඔහුට සේවය කළ යුතුයි. (හෙබ්‍රෙව් 6:11, 12) ඒ වුණත් කළ හැකි ප්‍රමාණයට වඩා සේවය කරමින් අපි මානසිකව හා ශාරීරිකව අධික වෙහෙසක් දරනවා දකින්න දෙවි කැමති නැහැ. අපේම ශක්තියෙන් පමණක් දෙවිට සේවය කරන්න බැරි බව අපි නිහතමානීව තේරුම්ගත යුතුයි. එම ආකල්පය ඇතුව කටයුතු කිරීමෙන් දෙවිව ප්‍රශංසාවට පත් කළ හැකි අතර අපිට සමබරව කටයුතු කරන්නත් හැකි වෙනවා. (1 පේතෘස් 4:11) දෙවි තමාට සේවය කිරීම සඳහා අවශ්‍ය කරන ශක්තිය සිය සේවකයන්ට ලබා දෙන බවට පොරොන්දු වෙනවා. නමුත් අපේ සීමාව පසු කරමින් දෙවි අපෙන් බලාපොරොත්තු නොවන දේවල් කිරීමෙන් අපි පරෙස්සම් විය යුතුයි. (2 කොරින්ති 4:7) අනවශ්‍ය ලෙස වෙහෙසට පත් නොවී දෙවිට සේවය කරන්න නම් සමබරව ක්‍රියා කිරීම ඉතාමත් වැදගත්.

8. එක් යෞවන සහෝදරියක් ලෞකික දේටත් දෙවිටත් තම උපරිමය දීමෙන් අද්දුටුවේ කුමක්ද? පසුව ඇය කළේ කුමක්ද?

8 උදාහරණයකට, නැඟෙනහිර ආසියාවේ ජීවත් වූ එක් සහෝදරියකගේ අද්දැකීම සලකා බලන්න. ඇය ඉතා වෙහෙසකර රැකියාවක නිරත වෙන ගමන්ම පුරෝගාමි සේවයේද හවුල් වුණා. ඇය මෙසේ පැවසුවා. “දෙවිට උපරිමයෙන් සේවය කරන ගමන්ම රැකියාවට වැඩි කාලයක් දෙන්න ගිහින් මම ගොඩක් වෙහෙසට පත් වුණා. මම නිදාගත්තේ දවසකට පැය පහක් විතරයි. මගේ මනසටත් ලොකු විඩාවක් දැනුණා. මම දෙවිට සේවය කළත් එච්චර ප්‍රීතියක් ලැබුවේ නැහැ.” නමුත් යෙහෝවා දෙවිට ‘මුළු හදවතින්ද මුළු ජීවිතයෙන්ද මුළු මනසින්ද මුළු ශක්තියෙන්ද’ සේවය කරන්න අවශ්‍ය වූ නිසා ඇය වෙනත් රැකියාවක් තෝරාගත්තා. (මාක් 12:30) ඇය දැන් මෙසේ පවසනවා. “මගේ පවුලේ අය ගොඩක් මුදල් උපයන්න කියලා මට බල කළත් මම දෙවිගේ අරමුණට මුල් තැන දීලා වැඩ කළා. මේ රැකියාවෙනුත් මට ඕන කරන දේවල් ගන්න මුදල් ලැබෙනවා වගේම අවශ්‍ය තරමට නිදාගන්නත් කාලය තියෙනවා. දෙවිගේ සේවයේ හවුල් වීමෙන් දැන් මම ලොකු ප්‍රීතියක් අද්දකිනවා. ඒ වගේම මගේ ඇදහිල්ලත් ශක්තිමත් වෙලා. ඒකට හේතුව මම අනවශ්‍ය විදිහට ලෞකික දේවලට මගේ කාලය නොදීමයි.”—දේශනාකාරයා 4:6; මතෙව් 6:24, 28-30.

9. අප සේවය සඳහා දරන වෑයම දැකීමෙන් මිනිසුන් කුමක් කරන්න පෙලඹිය හැකිද?

9 සෞඛ්‍ය තත්වයන්, මහලු විය හෝ වෙනත් හේතූන් නිසා හැම කෙනෙකුටම පූර්ණකාලීන දේවසේවකයන් වෙන්න බැහැ. ඒ වුණත් ඔබ හැකි අයුරින් යෙහෝවා දෙවිට මුළු සිතින්ම සේවය කරනවා නම් දෙවි ඔබව අගය කරනවා. (ලූක් 21:2, 3) අපි සේවය කරන ප්‍රමාණය කුමක් වුණත් අපි දරන වෑයම දැකීමෙන් මිනිසුන් අපේ පණිවුඩයට ඇහුම්කන් දෙන්න පෙලඹෙනවා. අපි දේශනා සේවයේ ගියත් කිසි කෙනෙක් අපේ පණිවුඩයට හොඳ ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ කියා සිතන්න. අපි ප්‍රදේශයෙන් පිටත්ව ගියාට පසුව යම් දවසක අපි කරන සේවය ගැන ඔවුන් කතා කරන්න ඉඩ තියෙනවා. හැම කෙනෙක්ම හොඳින් ඇහුම්කන් නොදෙන්න පුළුවන්. ඒත් සමහරුන් අපේ පණිවුඩය පිළිගන්නවා. (මතෙව් 13:19-23) තවත් අය සමාජයේ තත්වයන් වෙනස් වෙද්දී හෝ ඔවුන්ගේ ජීවිතවල යම් වෙනස්කම් සිදු වෙද්දී ශුභාරංචිය පිළිගන්න පෙලඹෙන්න පුළුවන්. එමනිසා ‘දෙවි සමඟ හවුල් වැඩකරුවන්’ ලෙස අපේ උපරිමයෙන් දෙවිගේ සේවයේ යෙදෙමු.—1 කොරින්ති 3:9.

10. සභාවක සිටින සියලුදෙනාටම කළ හැක්කේ කුමක්ද?

10 ඊට අමතරව, අපිට පවුලේ අයගේ හා සෙසු ක්‍රිස්තියානීන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම වෙනුවෙනුත් බොහෝ දේවල් කළ හැකියි. (ගලාති 6:10) අපේ කදිම ආදර්ශය නිසා අන් අයට දිගු කාලීන යහපත් ප්‍රතිඵල අත් විය හැකියි. (දේශනාකාරයා 11:1, 6) වැඩිමහල්ලන් හා සභා සේවකයන් උනන්දුවෙන් තම වගකීම් ඉටු කරද්දී සභාවේ සිටින සෙසු ක්‍රිස්තියානීන්ට දෙවි සමඟ ශක්තිමත් මිත්‍රත්වයක් ඇති කරගත හැකි වෙනවා. ප්‍රතිඵලයක් ලෙස දෙවිට හොඳින් සේවය කරන්න සියලුදෙනා පෙලඹෙනවා. ‘ස්වාමීන්ගේ වැඩෙහි නිතරම නියැලී සිටිනවා’ නම් අප ‘දරන වෙහෙස නිෂ්ඵල නොවන බවට’ වූ සහතිකය අපට ඇත.—1 කොරින්ති 15:58.

දෙවිට කරන සේවය ජීවිතයේ මූලිකම දේ කරගන්න

11. අපි අයත්ව සිටින සභාවේ සේවය කිරීමට අමතරව, සේවය සඳහා තවත් කුමන ප්‍රස්තාවන් විවෘත විය හැකිද?

11 ක්‍රිස්තියානීන් ලෙස අපි ජීවිතය ඉතා අගය කරනවා. අපි උත්සාහ කරන්නේ අපි කරන සියලු දෙයින් දෙවිව මහිමයට පත් කරන්නයි. (1 කොරින්ති 10:31) අපි දේවරාජ්‍යය ගැන ශුභාරංචිය ප්‍රකාශ කරමින් යේසුස් ආඥා කළ දේවල් පිළිපදින්න මිනිසුන්ට උගන්වද්දී දෙවිට සේවය කළ හැකි පැති බොහොමයක් තිබෙන බව අපටම පැහැදිලි වේවි. (මතෙව් 24:14; 28:19, 20) උදාහරණයකට අපේම සභාවේ කරන සේවයට අමතරව වෙනත් භාෂාවක් ඉගෙනගෙන දේවසේවකයන්ගේ අවශ්‍යතාව වැඩියෙන් තියෙන බලප්‍රදේශයක හෝ රටක සේවය කරන්න ප්‍රස්තාව තිබෙනවා. සුදුසුකම් ඇති අවිවාහක වැඩිමහල්ලන්ට හා සභා සේවකයන්ට දේවසේවා පුහුණු පාසැලට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබෙන්න පුළුවන්. ඉන් පුහුණුව ලැබූ පසු ඔවුන්ව තම රටේ හෝ වෙනත් රටක අවශ්‍යතාව තිබෙන සභාවන්වල සේවය කිරීම සඳහා යවනු ලබනවා. පූර්ණකාලීන සේවයේ හවුල් වෙන විවාහක යුවළයන්ට ගිලියද් මුරටැඹ බයිබල් පාසැලට සහභාගි වෙන්න සුදුසුකම් ලබාගත හැකියි. පසුව වෙනත් රටක සේවය කිරීමට ඔවුන්ට පැවරුම් ලැබෙනවා. එමෙන්ම බෙතෙල් නිවාසවල ස්වේච්ඡා සේවකයන්ට කිරීමට බොහෝ කාර්යයන් තිබෙනවා. ශාඛා කාර්යාල හා රාජ්‍ය ශාලා ඉදි කිරීමට මෙන්ම ඒවා නඩත්තු කිරීම සඳහාද ස්වේච්ඡා සේවකයන්ව අවශ්‍යයි.

12, 13. (අ) දෙවිට සේවය කරන්න තෝරගන්නේ කුමන ක්‍රමයද කියා ඔබට තීරණය කළ හැක්කේ කෙසේද? (ආ) එක් පැවරුමකින් ලැබෙන පුහුණුව තවත් පැවරුමකදී ප්‍රයෝජනවත් විය හැකි බව පෙන්වන අද්දැකීම විස්තර කරන්න.

12 දෙවිට සේවය කිරීමට තෝරාගන්නේ කුමන ක්‍රමයද කියා ඔබ තීරණය කළ යුතුයි. දෙවිගේ කැප වූ සේවකයෙක් ලෙස එය තීරණය කිරීම සඳහා දෙවි තම සංවිධානය මාර්ගයෙන් ලබා දෙන මඟ පෙන්වීම් හොඳින් හිතට ගන්න. දෙවිගේ “යහපත් ආත්මය” එනම් ඔහුගේ බලයේ උපකාරයෙන් ඔබට නිවැරදි තීරණයක් ගැනීමට හැකි වෙනවා. (නෙහෙමියා 9:20) එක් පැවරුමකින් ලැබෙන පුහුණුව හා අද්දැකීම් තවත් පැවරුමක් හොඳින් කරන්න උපකාරවත් වෙන්න පුළුවන්.

13 ඩෙනිස් හා ජෙනී අද්දැක්කේ එයයි. ඔවුන් යම් කාලයක් පුරා රාජ්‍ය ශාලා ඉදි කිරීමේ කාර්යයේ හවුල් වුණා. කැත්රීනා චණ්ඩ මාරුතය එක්සත් ජනපදයට පහර දුන් කාලයේ මේ යුවළ සහන සේවා සපයමින් මිනිසුන්ට උදව් කළා. ඒ සම්බන්ධයෙන් ඩෙනිස් මෙසේ පවසනවා. “රාජ්‍ය ශාලා ඉදි කරනකොට ලබපු පුහුණුව පාවිච්චි කරලා අපේ සහෝදර සහෝදරියන්ගේ ගෙවල් හදලා දෙන්න ලැබුණු එක ලොකු සතුටක්. ඒ අය අපි කරපු දේ අගය කරද්දී අපේ සතුට තවත් වැඩි වුණා. විපතට පත් වුණු අයගේ ගෙවල් හදලා දෙන්න ආපු තවත් සහන සේවා කණ්ඩායම් හිටියා. ඒත් ඒ අයට එච්චර සාර්ථක වෙන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අලුත්වැඩියා කර නැවත ගොඩනැඟූ ගෙවල් සංඛ්‍යාව 5,300 ඉක්මවා ගියා. ඔවුන් රාජ්‍ය ශාලා පවා ඉදි කළා. මේක දැකපු මිනිසුන් දැන් අපි ප්‍රකාශ කරන පණිවුඩයට හොඳින් ඇහුම්කන් දෙන්න පවා පෙලඹී තිබෙනවා.”

14. පූර්ණකාලීන සේවයේ හවුල් වෙන්න ඔබ ඉලක්ක කරනවා නම් ඔබට කළ හැක්කේ කුමක්ද?

14 පූර්ණකාලීන සේවය කරමින් ඔබටත් පුළුවන්ද දෙවිගේ අරමුණට ජීවිතයේ මුල් තැන දෙන්න? ඔබට එය කිරීමට හැකි නම් ඔබ බොහෝ ආශීර්වාද ලබනවා. ඒත් එසේ කරන්න ඔබට අවස්ථාවක් නැත්නම් තත්වය කුමක්ද? එසේනම් ඔබේ ජීවිතයේ යම් සකස් කිරීම් කරන්න සිදු වෙන්න පුළුවන්. විශාල කාර්යයක් කිරීමට කැමැත්තක් දැක්වූ නෙහෙමියා දෙවිට ඒ ගැන මෙසේ යාච්ඤා කළා. ‘යෙහෝවා දෙවියනි, ඔබගේ මෙහෙකරුවාව දියුණු කරන්න.’ නෙහෙමියා මෙන් ඔබටත් පුළුවන් දෙවිට යාච්ඤා කිරීමට. (නෙහෙමියා 1:11) ඉන්පසු ‘යාච්ඤා අසන තැනැත්තා’ කෙරෙහි සම්පූර්ණ විශ්වාසය තබා ඔබ කළ යාච්ඤාවට එකඟව අවශ්‍ය වෙනස්කම් කරන්න. (ගීතාවලිය 65:2) දෙවිට වැඩි සේවයක් කරන්න ඔබ දරන උත්සාහය දකිද්දී දෙවි ඔබට ආශීර්වාද කරනවා. පූර්ණකාලීන සේවයේ හවුල් වෙන්න ඔබ තීරණය කළා නම් ඒ තීරණය යළි වෙනස් කරන්න එපා. කාලයත් සමඟ ඔබ අද්දැකීම් ලබද්දී ඔබේ ප්‍රීතියද තවත් වැඩි වෙනවා.

අරුත්බර ජීවිතයක්

15. (අ) දෙවිට විශ්වාසවන්තව සේවය කළ අය සමඟ කතා කිරීමෙන් හා ජීවිත කතා කියවීමෙන් අපි ප්‍රයෝජන ලබන්නේ කෙසේද? (ආ) ඔබ කියවා තිබෙන දිරිගන්වනසුලු ජීවිත කතාවක් ගැන සඳහන් කරන්න.

15 දෙවිගේ අරමුණට ජීවිතයේ මූලික ස්ථානය දී කටයුතු කිරීමෙන් ඔබ අද්දකින්නේ කුමක්ද? කාලයක් තිස්සේ දෙවිට පූර්ණකාලීනව සේවය කර තිබෙන අය සමඟ කතා කරන්න. ඔවුන් මොන තරම් අර්ථවත් ජීවිත ගත කරනවාද කියා ඔබටම තේරේවි. (හිතෝපදේශ 10:22) ඔවුන් ඔබට කියයි අසීරු කාලවල පවා දෙවි ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා දේවල් සපයමින් ඔවුන්ව බලාගත් විදිහ ගැන. (ෆිලිප්පි 4:11-13) වර්ෂ 1955 සිට 1961 දක්වා මුරටැඹ සඟරාවල පූර්ණකාලීන සේවයට මුල් තැන දී කටයුතු කළ අයගේ අද්දැකීම් සඳහන් වුණා. එදා සිට අද දක්වා ජීවිත කතා රැසක් අපේ සඟරාවල පළ වී තිබෙනවා. ඒවා කියවන විට බයිබලයේ ක්‍රියා පොතේ සඳහන් මුල් සියවසේ ක්‍රිස්තියානීන් තුළ තිබූ නිර්භීතකම හා ප්‍රීතිය අපට මතක් වෙනවා. එවැනි ලිපි කියවීමෙන් ඔබටත් හිතෙයි ඔවුන් මෙන් පූර්ණකාලීන සේවයේ නියැලෙන්න.

16. අපේ ජීවිතය සතුටෙන් පිරි අර්ථවත් එකක් වෙන්නේ කුමක් නිසාද?

16 අපි මුල්ම ඡේදයේ සඳහන් කළ ඒරන් මෙසේද පැවසුවා. “අප්‍රිකාවේදී අර්ථවත් ජීවිතයක් සොයන යෞවනයන්ව මට නිතරම මුණගැහිලා තියෙනවා. හැබැයි ඔවුන් හොයන ඒ ජීවිතය ඔවුන්ට ලැබිලා නැහැ. දේවරාජ්‍යයේ ශුභාරංචිය ගැන දැනුම් දෙමින් අභියෝගයන් අද්දැක්කත් අපි ගත කරන්නේ අර්ථවත් ජීවිතයක්. ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ලැබෙන බව අපි හොඳින්ම අද්දැකලා තියෙනවා.”—ක්‍රියා 20:35.

17. අපි දෙවිගේ කැමැත්ත කරමින් සිටීම වැදගත් වෙන්නේ ඇයි?

17 ඔබේ ජීවිතයේ මුල් තැන දී තිබෙන්නේ කුමකටද? දෙවිගේ සේවය හා සම්බන්ධ ඉලක්ක ඔබගේ මනසේ නැත්නම් ඔබ පහසුවෙන්ම වෙනත් මඟකට යොමු වෙන්න පුළුවන්. සාතන්ගේ පාලනය යටතේ තිබෙන මේ ලෝකය වෙනුවෙන් ඔබේ කාලය හා ජීවිතය යෙදවීමෙන් පලක් තියෙයිද? නුදුරු අනාගතයේදී “මහත් පීඩාව” ඇරඹීමත් සමඟම මේ ලෝකයේ තිබෙන ධනය හා කීර්තිය නැති වී යනවා. ඉතිරි වෙන්නේ දෙවි සමඟ අපි ඇති කරගත් සම්බන්ධතාව පමණයි. දෙවිගේ කැමැත්තට මුල් තැන දී දෙවිටත් අන්‍යයන්ටත් සේවය කර තිබීම ගැන එදාට අපි කොතරම් සන්තෝෂ වේවිද!—මතෙව් 24:21; එළිදරව් 7:14, 15.

[පාදසටහන්වල]

a සමහර නම් වෙනස් කර ඇත.

b සකස් කරන ලද්දේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින්.

ඔබට පැහැදිලි කළ හැකිද?

• අපි කරන සේවය ගැන දෙවිට හැඟෙන්නේ කොහොමද?

• සුදුසු පියවර ගැනීමෙන් හා සමබර වීමෙන් හොඳ සේවයක් කළ හැක්කේ කෙසේද?

• දෙවිට සේවය කිරීම සඳහා කුමන ප්‍රස්තාවන් විවෘතව තිබෙනවාද?

• දැන් පවා අර්ථවත් ජීවිතයක් ගත කළ හැක්කේ කෙසේද?

[23වන පිටුවේ පින්තූර]

දිගටම දෙවිට සේවය කරන්න නම් සමබර වීම වැදගත්

[24වන පිටුවේ පින්තූර]

දෙවිට සේවය කළ හැකි පැති බොහොමයක් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න