දෙවිට උපරිමයෙන් සේවය කරන්න අන් අයට උදව් කරන්න
“මම ඔබ දෙස හොඳින් බලා ඔබට අවවාද කරන්නෙමි.”—ගීතා. 32:8.
1, 2. යෙහෝවා දෙවි ඔහුගේ සේවකයන්ව සලකන්නේ කොහොමද?
දරුවෝ කරන කියන දේවල් දිහා හොඳින් බලාගෙන ඉන්න දෙමාපියන් ඔවුන්ට තියෙන දක්ෂකම් දැකලා පුදුම වෙනවා. සමහරු යම් ක්‍රීඩාවකට දක්ෂයි. සමහරු චිත්‍ර අඳින්න, තවත් අය එක එක නිර්මාණ කරන්න දක්ෂයි. දරුවාට තියෙන ඒ දක්ෂකම් අඳුනගෙන තව තවත් හොඳින් ඒවා කරන්න දෙමාපියන් දරුවාට උදව් කරන්නේ හරිම සතුටින්.
2 අපේ සභාවල ඉන්න අයටත් විවිධ හැකියාවන්, දක්ෂකම් තියෙනවා. සමහර සහෝදරයෝ දක්ෂ කතිකයන්. සමහරුන්ට හොඳට දේවල් සංවිධානය කරන්න පුළුවන්. සමහර සහෝදරියන්ට වෙනත් භාෂාවක් ඉගෙනගන්න තියෙන්නේ පුදුම හැකියාවක්. තවත් අය අසනීප වුණු අයව බලාගන්න, අධෛර්යය වුණු අයව දිරිගන්වන්න හුඟක් දේවල් කරනවා. (රෝම 16:1, 12) ඒ වගේ විවිධ හැකියාවන්, දක්ෂතාවන් තියෙන අය අපේ සභාවේ ඉන්න එක මොන තරම් වටිනවද! ඒත් ඒ හැම දේටම වඩා අපේ දෙවි පියා වන යෙහෝවාට ඔවුන්ව වටින්නේ ඔවුන් විශ්වාසවන්තව සේවය කරන නිසයි. ඒ නිසා ඔහු ඔවුන්ව සලකන්නේ “වටිනා වස්තු” විදිහටයි.—හග්. 2:7.
3. මේ ලිපියෙන් බලන්නේ මොන ප්‍රශ්නවලට උත්තරද?
3 තරුණ නැත්නම් අලුත බව්තීස්ම වුණු අයට හිතෙන්න පුළුවන් සභාව වෙනුවෙන් සේවය කරන්න තරම් දක්ෂතා තමන්ට නැහැ කියලා. ඒ අයට තියෙන දක්ෂතා අඳුනගෙන දෙවිට වැඩියෙන් සේවය කරන්න ඒ අයට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? සහෝදරයන්ගේ හොඳ පැති දිහා බලන එක වැදගත් වෙන්නේ ඇයි?
අපි තුළ තියෙන හොඳ දකින දෙවි
4, 5. දෙවි ගිඩියොන්ව දැක්කේ මොන වගේ කෙනෙක් විදිහටද? යෙහෝවා දෙවිගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?
4 යෙහෝවා දෙවි දකින්නේ ඔහුට සේවය කරන අයගේ හොඳ ගතිගුණ විතරක් නෙමෙයි. වඩාත් හොඳ සේවයක් කරන්න ඔවුන්ට හැකියාව තියෙන්නේ මොන මොන පැතිවලින්ද කියලත් ඔහු දකිනවා. ගිඩියොන් ගැන හිතන්න. ඊශ්‍රායෙල්වරුන්ව මිදියන්වරුන්ගෙන් බේරගන්න දෙවි තෝරගත්තේ ගිඩියොන්වයි. ඒ වෙනකොට ගිඩියොන් හිතන් හිටියේ තමන්ගේ කිසිම වටිනාකමක් නැහැ කියලයි. ඒත් දේවදූතයෙක් ඇවිත් “ඔබ එඩිතර, බලසම්පන්න කෙනෙක්. ඔබේ උපකාරයට යෙහෝවා දෙවි ඉන්නවා” කියලා කිව්වම ඔහු පුදුම වෙන්න ඇති. මොකද තමන් “එඩිතර, බලසම්පන්න කෙනෙක්” කියලා ඔහු කොහොමටවත් හිතුවේ නැහැ. සෙනඟව බේරගන්න තමන්ට බැහැ කියලයි ඔහු හිතුවේ. ඒත් ඔහුට කරන්න පුළුවන් දේ දෙවි දැක්ක නිසා ඊශ්‍රායෙල්වරුන්ව බේරගන්න ඔහුට පුළුවන් කියලා දෙවි දැනගෙන හිටියා.—විනිශ්චයකරුවෝ 6:11-16 කියවන්න.
5 ගිඩියොන් ගැන යෙහෝවා දෙවිට ඒ වගේ නිසැකකමක් තිබුණේ ඔහු තුළ තිබුණු දක්ෂකම් දෙවි අඳුනගෙන තිබුණ නිසයි. උදාහරණයකට දෙවි දැක්කා තිරිඟු ඇට වෙන් කරගන්න ගිඩියොන් මහන්සි වෙලා වැඩ කරන හැටි. ඒ විතරක් නෙමෙයි හුඟක් කල්පනාකාරීව වැඩ කරන, හොඳට හිතලා තීරණ ගන්න කෙනෙක් කියලත් දෙවි දැක්කා. ඒ කොහොමද? සාමාන්‍යයෙන් ගොවියෝ තිරිඟු ඇට වෙන් කළේ එළිමහනේ. ඒත් එහෙම කළොත් මිදියන්වරු ඒක දැකලා ඒවා පැහැරගනියි කියලා ගිඩියොන් තේරුම්ගත්තා. මිදි මඬින යන්ත්‍රයක දාලා තිරිඟු ඇට වෙන් කරගත්තේ ඒ නිසයි. ගිඩියොන්ට තිබුණු ඒ වගේ දක්ෂකම් දැකලා ඒවා යොදාගෙන සෙනඟව බේරගන්න දෙවි ඔහුව පුහුණු කළා.
6, 7. (අ) ආමොස් දිහා දෙවි බලපු විදිහයි මිනිසුන් බලපු විදිහයි අතර තියෙන වෙනස මොකක්ද? (ආ) දෙවි තෝරගත්තේ හරියටම ගැළපෙන කෙනාවයි කියලා කියන්න පුළුවන් ඇයි?
6 මිනිසුන් නොදැකපු හුඟක් දේවල් දෙවි ආමොස් තුළත් දැක්කා. හුඟක් අය හිතුවේ ඔහු නිශ්ශබ්ද, කිසි වැදගම්මකට නැති කෙනෙක් කියලයි. ඔහු රැකියාව විදිහට කළෙත් බැටළුවන්ව බලාගන්න එක, අත්තික්කා ගස් බලාගන්න එක වගේ දේවල්. ඒත් දෙවි ඔහුට ලොකු වගකීමක් දුන්නා. ඒ වෙනකොට ඊශ්‍රායෙල්වරුන්ගේ ගෝත්‍ර 10කින් හැදිලා තිබුණු රාජ්‍යය දෙවිට අකීකරු වුණ නිසා දෙවිගේ විනිශ්චයන් ගැන දැනුම් දෙන වගකීම දෙවි ආමොස්ට භාර දුන්නා. දෙවි තෝරගත්තේ වැරදි කෙනාවයි කියලා සමහරුන්ට හිතෙන්න ඇති.—ආමොස් 7:14, 15 කියවන්න.
7 ආමොස් ජීවත් වුණේ පිටිසර ප්‍රදේශයක තමයි. ඒත් අවට නගරවල, රටවල සිද්ධ වුණු දේවල් ගැන ඔහු හොඳට දැනුවත් වෙලා හිටියා. උදාහරණයකට අවට හිටපු ජාතීන් වගේම ඊශ්‍රායෙල් සෙනඟ දෙවිට විරුද්ධව කරපු දේවල් ඔහු දැනගෙන හිටියා. සමහරවිට ඔහු ඒ දේවල් දැනගන්න ඇත්තේ ඔහු ජීවත් වුණු නගරය හරහා ගිය වෙළෙන්දන්ගෙන් වෙන්න ඇති. (ආමො. 1:6, 9, 11, 13; 2:8; 6:4-6) ඒ වගේම ආමොස් හොඳ ලේඛකයෙක්. සරලව ඒත් ප්‍රබල වචන යොදාගෙන ලියන්න ඔහුට හැකියාව තිබුණා. දුෂ්ට පූජකයෙක් වුණු අමෂියාට දෙවි කියපු විනිශ්චය පණිවිඩය කියන්න ඔහු බය වුණෙත් නැහැ. ඇත්තටම දෙවි ඔහුගේ පණිවිඩ දැනුම් දෙන්න තෝරගත්තේ ගැළපෙනම කෙනාවයි. මොකද අනිත් අය දැකපු නැති වටිනා හැකියාවන් රැසක් ආමොස් තුළ තියෙනවා දෙවි දැක්කා.—ආමො. 7:12, 13, 16, 17.
8. (අ) දෙවි දාවිත්ට දීපු පොරොන්දුව මොකක්ද? (ආ) තමන් ගැන අඩුවෙන් හිතන කෙනෙක්ට ගීතාවලිය 32:8 කියන දේ දිරිගැන්වීමක් වෙන්නේ කොහොමද?
8 යෙහෝවා දෙවි තමන්ගේ සේවකයන් හැමෝම තුළ තියෙන හැකියාවන්, දක්ෂතා ගැන දන්නවා. ඒවා යොදාගෙන දෙවිට වැඩි සේවයක් කරන්න අපිට උදව් කරන්නයි දෙවිට ඕනේ. කරන්න ඕන දේවල් ගැන කියලා දීලා අවශ්‍ය අවවාද දෙන්නම් කියලා දෙවි දාවිත්ට පොරොන්දු වුණේ ඒ නිසයි. (ගීතාවලිය 32:8 කියවන්න.) ඒක අපිටත් දිරිගැන්වීමක් නේද? අපි ගැන අපි අඩුවෙන් හිතුවට දේවල් දක්ෂ විදිහට කරන්න අපිට උදව් කරන්න දෙවිට පුළුවන්. අද්දැකීම් අඩු ශිෂ්‍යයෙක්ට අවශ්‍ය උපදෙස් දීලා ඔහුව හොඳින් පුහුණු කරන දක්ෂ ගුරුවරයෙක් වගේ යෙහෝවා දෙවිත් අපේ උපරිමයෙන් ඔහුට සේවය කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් දෙනවා. ඔහු ඒ දේ කරන්න අපේ සහෝදර සහෝදරියන්වත් යොදාගන්නවා.
අනිත් අයගේ හොඳ පැති දිහා බලන්න
9. අපේ සහෝදර සහෝදරියන් ගැන “පෞද්ගලික සැලකිල්ල දක්වන්න” පුළුවන් විදිහක් මොකක්ද?
9 පාවුල් කිව්වා අපේ සහෝදර සහෝදරියන් ගැන “පෞද්ගලික සැලකිල්ල දක්වන්න” කියලා. (ෆිලිප්පි 2:3, 4 කියවන්න.) අනිත් අයගේ දක්ෂකම්, හැකියාවන් අඳුනගෙන ඔවුන්ව අගය කරන එකත් පෞද්ගලික සැලකිල්ල දක්වන එක විදිහක්. හිතන්න ඔබ යම් දෙයක් හොඳට කළා කියලා. වෙන කෙනෙක් ඒ ගැන ඔබව අගය කළොත් ඔබට කොහොමද හැඟෙන්නේ? ඒ දේ තවත් හොඳට කරන්න හිතෙනවා නේද? අපිත් අපේ සහෝදර සහෝදරියන් තුළ තියෙන හොඳ ගුණාංග, දක්ෂකම් දැකලා ඒ ගැන ප්‍රශංසා කරනවා නම් තව තවත් හොඳින් දෙවිට සේවය කරන්න ඒ අය තුළ ලොකු ආශාවක් ඇති වෙයි.
10. අපේ සැලකිල්ල විශේෂයෙන්ම ඕනෙ කාටද?
10 කාලෙන් කාලෙට අපි හැමෝටම අනිත් අයගේ සැලකිල්ල ඕන වෙනවා. විශේෂයෙන්ම තරුණ නැත්නම් අලුත බව්තීස්ම වුණු සහෝදරයන්ට ඒ දේ ඕනේ. අපි එහෙම කරනවා නම් සභාවට ඒ අයව වටිනවා කියලා ඒ අයට දැනෙයි. සහෝදරයන්ට බයිබලේ දිරිගන්වන්නේ සභාවේ වගකීම් භාරගන්න වෑයම් කරන්න කියලයි. (1 තිමෝ. 3:1) ඒත් ඒ අය කරන දේවල් අපි අගය කරන්නේ නැත්නම් තව වැඩියෙන් සේවය කරන්න ඒ අය උනන්දු වෙයිද?
11. (අ) වැඩිමහල්ලෙක් තවත් වැඩියෙන් දෙවිට සේවය කරන්න යෞවන සහෝදරයෙක්ට උදව් කළේ කොහොමද? (ආ) ජූලියන්ගේ අද්දැකීමෙන් ඔබ ඉගෙනගත්තේ මොනවද?
11 සහෝදරයන් ගැන අවංක උනන්දුවක් දක්වලා ඒ අයට උදව් කරනවා නම් තවත් වැඩියෙන් දෙවිට සේවය කරන්න ඒ අය පෙලඹෙනවා කියලා ලූඩෝවික් කියන වැඩිමහල්ලා කියනවා. ජූලියන් කියන සහෝදරයා ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. සභාවේ දේවල් වැඩියෙන් කරන්න එයාට උනන්දුවක් තිබුණත් එයාට එයා ගැනම එච්චර විශ්වාසයක් තිබුණේ නැති නිසා සමහර වෙලාවට කලබල වෙලා ටිකක් අමුතු විදිහට වැඩ කළා. ඒත් ලූඩෝවික් මෙහෙම කියනවා. “එයා හුඟක් කරුණාවන්ත, අනිත් අයට උදව් කරන්න කැමති කෙනෙක් කියලා මං දැක්කා. ඒ නිසා එයා කරන සමහර දේවල් ගැන දොස් කියනවා වෙනුවට එයාගේ හොඳ පැති මං අගය කළා. තවත් හොඳට කරන්න එයාව දිරිගැන්නුවා.” ප්‍රතිඵලය? ටික කාලයක් ඇතුළත සහායක සේවකයෙක් වෙන්නත් පස්සේ ස්ථාවර පුරෝගාමි සේවය කරන්නත් ජූලියන්ට පුළුවන් වුණා.
උපරිමය කරන්න අන් අයට උදව් වෙමු
12. සහෝදරයන්ට උදව් කරන්න නම් අපි කරන්න ඕනෙ මොනවද? උදාහරණයක් දෙන්න.
12 උපරිමයෙන් දෙවිට සේවය කරන්න අනිත් අයට උදව් කරන්න නම් අපි ඒ අයව තේරුම්ගන්න ඕනේ. අඩුපාඩු, වැරදි දිහා බලනවා වෙනුවට ඒ අයගේ හොඳ ගුණාංග, හැකියාවන් දිහා බලමු. යේසුත් පේතෘස් දිහා බැලුවේ එහෙමයි. සමහර වෙලාවට පේතෘස් ගැන විශ්වාසය තියලා වැඩ කරන්න අමාරුයි කියලා පේන්න තිබුණත් ඔහු තුළ තිබුණු හොඳ පැති යේසුස් දැක්කා. පේතෘස් සත්‍යය තුළ පර්වතයක් වගේ ස්ථිරව ඉඳියි කියලා යේසුස්ට විශ්වාසයක් තිබුණා. ඒ නිසයි යේසුස් පර්වතය කියන තේරුම තියෙන සීෆස් යන නම ඔහුට දුන්නේ.—යොහ. 1:42.
13, 14. (අ) බානබස් මාක්ව සැලකුවේ කොහොමද? (ආ) වැඩිමහල්ලෙක්ගෙන් ලැබුණු උදව් ඇලෙක්සාන්ඩ්රේට ප්‍රයෝජනවත් වුණේ කොහොමද? (ලිපියේ මුල් පින්තූරය බලන්න.)
13 අපි දැන් ටිකක් බානබස් සහ මාක් ගැන බලමු. (ක්‍රියා 12:25) පාවුල් බානබස් එක්ක පළවෙනි මිෂනාරි ගමන යද්දී ඔවුන්ගේ සහයට හිටියේ මාක්. ඒත් පම්ෆිලිය කියන ප්‍රදේශයට ආවාම එකපාරටම මාක් ඔවුන්ව අත්හැරලා ගියා. ඒ නිසා අනතුරුදායක ප්‍රදේශ හරහා ඔවුන් දෙන්නට යන්න වුණේ මාක්ගේ උදව් නැතුවයි. (ක්‍රියා 13:5, 13) ඒත් මාක් එහෙම කරපු නිසා එයාගෙන් වැඩක් නැහැ කියලා බානබස් හිතුවේ නැහැ. බානබස් බැලුවේ මාක්ගේ හොඳ පැති මිසක් අඩුපාඩු නෙමෙයි. විශ්වාස කරන්න බැරි කෙනෙක් විදිහට මාක් දිහා බලනවා වෙනුවට ඔහු මාක්ව හොඳින් පුහුණු කළා. ප්‍රතිඵලයක් විදිහට අවබෝධයෙන් වැඩ කරන ක්‍රිස්තියානියෙක් වෙන්න මාක්ට පුළුවන් වුණා. (ක්‍රියා 15:37-39) අවුරුදු ගාණකට පස්සේ පාවුල් රෝමයේ සිරගත වෙලා ඉද්දී ඔහුගේ උදව්වට හිටියේ මාක්. පාවුල් කොලොස්සිවරුන්ට ලියද්දී මාක් ගැන හුඟක් හොඳ කිව්වා. (කොලො. 4:10) පාවුල් මාක්ගේ උදව් ඉල්ලද්දී බානබස්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද?—2 තිමෝ. 4:11.
14 සහෝදරයෙක් තමන්ට උදව් කරපු විදහ ගැන ඇලෙක්සාන්ඩ්‍රේ කියන වැඩිමහල්ලා මෙහෙම කියනවා. “තරුණ කාලෙදී අනිත් අය ඉස්සරහා යාච්ඤාවක් කරන්න කියලා මට කිව්වොත් මං හුඟක් බය වුණා. ඒත් හොඳට සූදානම් වෙලා, සන්සුන්ව ඒක කරන විදිහ ගැන වැඩිමහල්ලෙක් මට කියලා දුන්නා. වැරදුණා කියලා යාච්ඤා කරන්න නොදී ඉන්නවා වෙනුවට සේවයේ යන්න ඉස්සෙල්ලා තියෙන රැස්වීමේදී නිතරම වගේ මට යාච්ඤා කරන්න අවස්ථාව දුන්නා. ඒ නිසා ටිකෙන් ටික ඒ දේ හොඳට කරන්න මට පුළුවන් වුණා.”
15. සහෝදර සහෝදරියන්ව තමන්ට වටිනවා කියලා පාවුල් පෙන්නුවේ කොහොමද?
15 සභාවේ ඉන්න අයගේ හොඳ පැති දැක්කම ඔබ මොකද කරන්නේ? ඔබ ඒ අයව අගය කරනවද? රෝම 16වෙනි පරිච්ඡේදයේ පාවුල් සහෝදර සහෝදරියන් 20කටත් වඩා වැඩිදෙනෙක්ගේ නම් සඳහන් කරලා ඒ අය තුළ තිබුණු හොඳ පැති අගය කළා. (රෝම 16:3-7, 13) අන්ද්‍රොනිකස් සහ ජූනියස් තමන්ටත් වඩා දිර්ඝ කාලයක් තිස්සේ විඳදරාගෙන දෙවිට කරන සේවය පාවුල් අගය කළා. ඒ වගේම රූෆස්ගේ අම්මා තමන්ගේම අම්මා වගේ තමන්ට සලකපු විදිහ ගැනත් ඔහු සඳහන් කළා.
දිගටම යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න ෆ්රෙඩ්රික් (වමේ) රිකෝව දිරිගැන්නුවා (16 ඡේදය බලන්න)
16. යෞවනයන්ව අගය කරද්දී ලැබෙන්නේ මොන වගේ ප්‍රතිඵලද?
16 අපිත් අනිත් අයව අගය කරද්දී ඒකෙන් හුඟක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රංශයේ හිටපු රිකෝ කියන පිරිමි ළමයාගේ අද්දැකීම බලන්න. රිකෝගේ තාත්තා දෙවිට සේවය කළේ නැති කෙනෙක්. රිකෝ බව්තීස්ම වෙනවට එයා කැමති වුණේ නැහැ. ඒ නිසා බව්තීස්ම වෙන්න වැඩිහිටියෙක් වෙනකම් බලාගෙන ඉන්න වෙයි කියලා එයා හිතුවා. සාක්ෂිකරුවෙක් නිසා ඉස්කෝලෙ ළමයිනුත් එයාට විහිළු කළා. ඒ දේවල් නිසා රිකෝ ටිකක් අධෛර්යය වෙලයි හිටියේ. ඒත් සභාවේ හිටපු ෆ්රෙඩ්රික් කියන වැඩිමහල්ලා රිකෝව හුඟක් අගය කළා. එයාට ඉස්කෝලෙ ළමයිගෙන්, තාත්තාගෙන් විරුද්ධවාදිකම් එන්නේ එයා බය නැතුව දෙවි ගැන කතා කරන නිසයි කියලා එයාව දිරිගැන්නුවා. ඒ කාරුණික වචන රිකෝට ලොකු ශක්තියක් වුණා. තාත්තාට තව කිට්ටු වෙන්නත් අවුරුදු 12දී බව්තීස්ම වෙන්නත් ඒ නිසා එයාට පුළුවන් වුණා.
මිෂනාරි සේවකයෙක් වෙන්න ජෙරෝම් (දකුණේ) රයන්ට උදව් කළා (17 ඡේදය බලන්න)
17. (අ) උපරිමයෙන් දෙවිට සේවය කරන්න සහෝදරයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද? (ආ) මිෂනාරි සේවකයෙක් තරුණ සහෝදරයන්ට උපකාර කළේ කොහොමද? ලැබුණු ප්‍රතිඵල මොනවද?
17 යම් දෙයක් හොඳට කරන හැම වෙලාවකම සහෝදරයන්ව අගය කරද්දී තවත් හොඳට දෙවිට සේවය කරන්න ඒ අය තුළ ලොකු පෙලඹීමක් ඇති වෙනවා. ප්‍රංශයේ බෙතෙල් නිවසේ අවුරුදු ගාණක් සේවය කරපු සිල්විa කියනවා සහෝදරයන්ව අගය කරන්න සහෝදරියන්ටත් පුළුවන් කියලා. එහෙම කරන එක එයාගේ වගකීමක් කියලත් එයා හිතුවා. (හිතෝ. 3:27) සහෝදරයන්ගේ අවධානයට ලක් වෙන්නේ නැති සමහර දේවල් සහෝදරියන්ට පේන්න පුළුවන්. ඒ නිසා අද්දැකීම් ලත් සහෝදරයන් අගය කරනවට අමතරව සහෝදරියන් යමක් අගය කරපුවම ඒ අයට ඒක තවත් දිරිගැන්වීමක්. ප්‍රංශ ගයනාවේ මිෂනාරි සේවය කරන ජෙරෝම් එහෙ ඉන්න හුඟක් තරුණ සහෝදරයන්ට මිෂනාරි සේවය කරන්න දිරිගැන්නුවා. සේවයේ යද්දී සහෝදරයන් හොඳින් අදාළ කරගන්න යම් කරුණක් ගැන එහෙම නැත්නම් රැස්වීම්වලදී දීපු හොඳ අදහසක් ගැන කියලා අගය කරද්දී ඒ අයට තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. ඒ වගේම ඒ දේ තවත් හොඳට කරන්න ඒ අය උනන්දු වෙනවා කියලා ජෙරෝම් කියනවා.
18. තරුණ සහෝදරයන් එක්ක කිට්ටුවෙන් වැඩ කරන එක වැදගත් ඇයි?
18 අපිටත් පුළුවන් අනිත් අය එක්ක කිට්ටුවෙන් වැඩ කරලා තවත් හොඳින් දෙවිට සේවය කරන්න ඒ අයට උදව් කරන්න. උදාහරණයකට අපේ වෙබ් අඩවියෙන් ලිපි ප්‍රින්ට් කරලා ඒවා කොම්පියුටර් එකක් නැති සහෝදරයන්ට දෙන වගකීම තරුණ සහෝදරයෙක්ට භාර දෙන්න වැඩිමහල්ලෙක්ට පුළුවන්. එහෙම නැත්නම් නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න, අලුත්වැඩියා කරන්න ඔබත් එක්ක හවුල් වෙන්න කැමතිද කියලා තරුණ සහෝදරයෙකුගෙන් අහන්න. තරුණ සහෝදරයන් එක්ක වැඩ කරද්දී ඒ අයගේ දක්ෂතා දකින්න, ඒවා අගය කරන්න ඔබට පුළුවන්. ඒ අයව අගය කරද්දී තවත් හොඳින් දේවල් කරන්න ඒගොල්ලෝ පෙලඹෙන විදිහ දකින්නත් ඔබට පුළුවන්.—හිතෝ. 15:23.
අනාගතයට අඩිතාලමක්
19, 20. දෙවිට තව වැඩියෙන් සේවය කරන්න අපි අනිත් අයව දිරිගන්වන එක වැදගත් ඇයි?
19 ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා වෙන්න යොෂුවාව තෝරගෙන දෙවි මෝසෙස්ට කිව්වා ඔහුව පුහුණු කරන්න කියලා. දිරිගන්වලා, ශක්තිමත් කරන්න කියලා. (ද්විතීය කතාව 3:28 කියවන්න.) අද විශාල පිරිසක් දෙවිට නමස්කාර කරන්න ඇදී එනවා. ඒ නිසා මූලිකත්වය අරන් වැඩ කරන්න සුදුසුකම් තියෙන සහෝදරයන් සඳහා තියෙන්නේ ලොකු අවශ්‍යතාවක්. තමන්ගේ හැකියාවන්, දක්ෂතාවන් යොදාගෙන දෙවිට වැඩි සේවයක් කරන්න තරුණ, අලුත බව්තීස්ම වුණු සහෝදරයන්ට උදව් කරන එක සභාවේ හැමෝම කරන්න ඕන දෙයක්. එහෙම කරද්දී පූර්ණකාලීන සේවය තෝරගන්න අයගේ ගාණ තව තවත් වැඩි වෙයි. ඒ වගේම ‘අන් අයට ඉගැන්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගන්න’ හුඟක් අයට පුළුවන් වෙයි.—2 තිමෝ. 2:2.
20 අපි ඉන්නේ අද්දැකීම් ලත් සහෝදරයන් හුඟදෙනෙක් ඉන්න විශාල සභාවක වුණත් කුඩා කණ්ඩායමක වුණත් අනාගතයේදී වගකීම් දරන්න සහෝදරයන්ට උදව් කරන්න අපි හැමෝටම පුළුවන්. ඒ නිසා යෙහෝවා දෙවිව ආදර්ශයට අරන් අනිත් අයගේ හොඳ පැති දකින්න අපි දිගටම උත්සාහ කරමු.
a නම වෙනස් කර ඇත.