මුල් පිටුවෙන් | ජීවිතය සහ මරණය ගැන බයිබලයේ කියන්නේ මොනවාද?
බයිබලයෙන් උත්තරයක්
මිනිසාගේ ආරම්භය ගැන බයිබලයේ මුල්ම පොතේ කියන්නේ මොනවාද? දෙවියන් පළවෙනි මිනිසා වුණ ආදම්ට කිව්ව දේ බලන්න. “ඔබට උයනේ සියලු ගස්වලින් ඕනෑ තරම් කන්න පුළුවන. නමුත් ‘හොඳ හා නරක හඳුනාගැනීම’ යන නමින් හැඳින්වෙන ගසෙන් ඔබ නොකෑ යුතුය. මන්ද එයින් කෑ දවසේදීම ඔබ අනිවාර්යයෙන්ම මැරෙන්නෙහිය.” (උත්පත්ති 2:16, 17) දෙවියන් කිව්ව දේ ආදම් ඒ විදිහටම පිළිපැද්දා නම් මැරෙන්නේ නැතුව හැමදාටම ඒ උයනේ ජීවත් වෙන්න එයාට අවස්ථාව තිබුණා.
හැබැයි ආදම් එයාගේ බිරිඳ කිව්ව දේ අහලා දෙවියන් එපා කිව්ව දේ කළා. ඒ කියන්නේ හැමදාම ජීවත් වෙන්න තිබුණ අවස්ථාව ආදම් නැති කරගත්තා. එයා තෝරගත්තේ මරණය. (උත්පත්ති 3:1-6) ඒකේ ප්‍රතිඵල අපි අදටත් විඳිනවා. ඒ කොහොමද? ඒ ගැන බයිබලයේ විස්තර කරන්නේ මේ විදිහට. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි. සියලුදෙනා තුළම මෙම පව්කාර ස්වභාවය තිබෙන නිසා මරණය සියලුදෙනාටම උරුම විය.” (රෝම 5:12) ඒ “එක් මිනිසා” ආදම් කියලා අපි දැනටමත් දන්නවා. ඒත් “පව්කාර ස්වභාවය” කියන්නේ මොකක්ද? ඒකෙන් මරණය උරුම වුණේ කොහොමද?
ආදම් දෙවියන්ගේ නීතිය කැඩුවේ හිතාමතාම. පාපය කියන්නේ ඒකටයි. (1 යොහන් 3:4) දෙවියන් ආදම්ට කිව්වේ පව් කෙරුවොත් මැරෙනවා කියලා. ඔහු කිව්ව දේ පිළිපැද්දා නම් ආදම්ට සහ එයාගේ දරුවන්ට කවදාවත්ම පව්කාර ස්වභාවයවත් මරණයවත් උරුම වෙන්නේ නැහැ. ඒ කියන්නේ දෙවියන් අපිව හැදුවේ මැරෙන්න නෙවෙයි, හැමදාම ජීවත් වෙන්නයි.
“මරණය සියලුදෙනාටම උරුම” වුණ විදිහ ගැන දැන් අපි දන්නවා. එතකොට මැරුණට පස්සේ අපේ සිරුරෙන් වෙන් වෙලා යන අමරණීය දෙයක් තියෙනවා කියන අදහස ඇත්තක්ද? ගොඩක් අය හිතනවා ඒක ඇත්ත කියලා. ඒත් ඒක ඇත්ත නම්, දෙවියන් කියලා තියෙන්නේ බොරුවක්! ඔහු ආදම්ට කිව්වේ පව් කළොත් අනිවාර්යයෙන්ම මැරෙනවා කියලා. මැරුණට පස්සේ වෙන තැනකට ගිහින් ජීවත් වෙනවා කියලා නෙවෙයි. බයිබලයේ කියන්නේ ‘දෙවියන් කිසි ලෙසකින්වත් බොරු කියන්නේ’ නැහැ කියලා. (හෙබ්‍රෙව් 6:18) ඇත්තටම බොරු කිව්වේ දෙවියන් නෙවෙයි සාතන්. සාතන් තමයි කිව්වේ “ඔබ කවදාවත් මිය යන්නේ නැහැ” කියලා.—උත්පත්ති 3:4.
අමරණීය ආත්මයක් කියලා දෙයක් නැත්නම් මැරුණට පස්සේ ඇත්තටම මොකද වෙන්නේ?
බයිබලයේ කියන දේ
මිනිසාව නිර්මාණය කරපු විදිහ ගැන බයිබලයේ මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි භූමියේ දූවිල්ලෙන් මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.” (උත්පත්ති 2:7) “ජීවමාන පුද්ගලයෙක්” කියන අදහස අරන් තියෙන්නේ “නෙෆෙෂ්”a කියන හෙබ්‍රෙව් වචනයෙන්. ඒකට “හුස්ම” කියන මූලික අදහස ඇතුළත්.
ඒකෙන් පැහැදිලි වෙන්නේ දෙවියන් මිනිසාව නිර්මාණය කරපු අවස්ථාවේදී එයාට හුස්ම දුන්නා මිසක් අමරණීය දෙයක් එයාගේ ශරීරයට ඇතුල් කළේ නැහැ කියන එකයි. ඒ නිසයි බයිබලයේ කිසිම තැනක “අමරණීය ආත්මය” කියන වචනය පාවිච්චි කරලා නැත්තේ.
එහෙමනම් අමරණීය ආත්මය කියන ඉගැන්වීම ආවේ කොහෙන්ද? ඒකට උත්තරේ ඉපැරණි ඊජිප්තුවෙන් හොයාගන්න පුළුවන්.
කොහෙන් ආපු ඉගැන්වීමක්ද?
ක්‍රි.පූ. 5වෙනි සියවසේ හිටපු ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩටස් කියන විදිහට “අමරණීය ආත්මය කියන අදහස ඉස්සෙල්ලාම විශ්වාස කළේ ඊජිප්තුවරුන්.” පස්සේ කාලෙක බැබිලෝනිවරුනුත් ඒ ගැන සඳහන් කළා. ක්‍රි.පූ. 332 මහ ඇලෙක්සැන්ඩර් මැද පෙරදිග යටත් කරගත්ත කාලය වෙද්දී ග්‍රීක දාර්ශනිකයන් මේ ඉගැන්වීම ප්‍රසිද්ධ කරලා තිබුණා. ප්‍රතිඵලයක් විදිහට ඉක්මනින්ම ඒක ග්‍රීක රාජ්‍යය පුරාම පැතිරුණා.
බයිබලයේ කිසිම තැනක “අමරණීය ආත්මය” කියන වචනය පාවිච්චි කරලා නැහැ
ක්‍රි.ව. 1වෙනි සියවසේදී යුදෙව් නිකායන් දෙකක් වුණ එසනිවරු සහ පරිසිවරු ඉගැන්නුවේ මැරුණට පස්සේ අමරණීය ආත්මයක් තියෙනවා කියලා. එක විශ්වකෝෂයක කියන විදිහට “යුදෙව්වරු අමරණීය ආත්මය කියන ඉගැන්වීම පිළිගත්තේ ග්‍රීක දාර්ශනිකයන්ගේ අදහස් දැනගත්තාට පස්සේ. ඒකට වැඩියෙන්ම බලපෑවේ ප්ලේටෝගේ අදහස්.” (The Jewish Encyclopedia) 1වෙනි සියවසේ හිටපු ඉතිහාසඥ ජොසීෆස් පවා කියන්නේ ඒක “ග්‍රීකයන්ගෙන් ආපු ඉගැන්වීමක්” කියලා. ග්‍රීකයන්ගේ ඉගැන්වීම් එයා සැලකුවේ ප්‍රබන්ධ කතා විදිහට. අමරණීය ආත්මය බයිබලයෙන් ආපු ඉගැන්වීමක් නෙවෙයි මිනිස්සු හදාගත්ත එකක් කියලයි එයා කිව්වේ.
ග්‍රීක අදහස් පැතිරෙද්දී ක්‍රිස්තියානීන් කියලා කියාගන්න අයත් ඒ ඉගැන්වීම පිළිගත්තා. ඉතිහාසඥ යෝනා ලෙන්ඩරිං මෙහෙම කිව්වා. “මිනිසුන්ගේ ආත්ම කලින් හොඳ තැනක ඉඳලා දැන් පව්කාර තත්වයකට වැටිලා තියෙනවා කියලා ප්ලේටෝ ඉගැන්නුවා. ඒ අදහස පල්ලියේ ඉගැන්වීම් එක්ක හරි ලේසියෙන් එකතු වුණා.” අමරණීය ආත්මය කියන වැරදි අදහස පල්ලියේ ප්‍රධාන ඉගැන්වීමක් වුණේ ඒ විදිහටයි.
“සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා”
1වෙනි සියවසේ හිටපු බයිබල් ලේඛකයෙක් වුණ පාවුල් මේ විදිහට අනතුරු ඇඟෙව්වා. “අනාගතයේ යම් යම් කාලවලදී ඇතැම් අය සත්‍ය ඉගැන්වීම් අත්හැර යන බව දෙවි තම බලයෙන් පැහැදිලිව එළිදරව් කර ඇත. ඔවුන් එසේ නොමඟ යන්නේ දෙවිගෙන් ලැබෙනවායයි සිතෙන මුළා කරවනසුලු අදහස්වලට හා භූතයන්ගේ ඉගැන්වීම්වලට ඔවුන් සවන් දෙන නිසාය.” (1 තිමෝති 4:1) එහෙම බලද්දී අමරණීය ආත්මය කියන්නෙත් “භූතයන්ගේ ඉගැන්වීමක්.” මොකද ඒක බයිබලයේ තියෙන දෙයක් නෙවෙයි බොරු ආගම්වලින් සහ දර්ශනවාදීන්ගෙන් ආපු අදහසක්.
ඒත් යේසුස් කිව්ව මේ දේ නිසා අපිට සතුටු වෙන්න පුළුවන්. “ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහන් 8:32) බයිබලය ගැන හරි අවබෝධයක් තියෙනවා නම් බොරු ඉගැන්වීම්වලට අපි රැවටෙන්නේ නැහැ. දෙවියන්ට අගෞරව කරන ඉගැන්වීම්, සිරිත් විරිත් අඳුරගෙන ඒවාට හවුල් වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්. අවමංගල්‍ය චාරිත්‍ර හා මැරුණ අය ගැන තියෙන වැරදි මතවලින් අයින් වෙලා ඉන්නත් ඒක උදව්වක්.—“මැරුණට පස්සේ මොනවාද වෙන්නේ?” කියන කොටුව බලන්න.
යෙහෝවා දෙවියන් අපිව නිර්මාණය කළේ අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා මේ ලෝකය අත්හැරලා වෙන තැනකට ගිහින් ජීවත් වෙන්න නෙවෙයි. දෙවියන්ගේ අරමුණ වුණේ ඔහුට කීකරු වෙන අය මේ පොළොවේ හැමදාටම ජීවත් වෙනවා දකින්නයි. ගීතාවලිය 37:29 කියන්නේ “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය” කියලා. ඒ අරමුණ අනිවාර්යයෙන්ම ඉටු වෙනවා. (මලාකි 3:6) දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියන එකට ඒක සාක්ෂියක් නෙවෙයිද?
a “නෙෆෙෂ්” කියන වචනය ‘පැරණි අනුවාදයේ’ “ජීවමාන ප්‍රාණයක්” විදිහටත් ‘නව අනුවාදයේ’ “ජීවමාන කෙනෙක්” විදිහටත් පරිවර්තනය කරලා තියෙනවා.