ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 2 6-7 පි.
  • අකුරටම ඉටු වුණ අනාවැකි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අකුරටම ඉටු වුණ අනාවැකි
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මේ කාලේ ඉටු වෙන අනාවැකි
  • මහා සයිරස්
    2013 පිබිදෙව්!
  • යෙහෝවා—‘ධර්මිෂ්ඨ වූ දෙවිකෙනෙක්ය, ගැළවුම්කාරයෙක්ය’
    යෙසායාගේ අනාවැකිය—සියලු මනුෂ්‍යවර්ගයා සඳහා පහන II
  • දෙවිගේ සෙනඟ බබිලෝනියෙන් පිට වෙයි
    මගේ බයිබල් කතන්දර පොත
  • මේද පර්සියාව ගැන බයිබල් වාර්තාව
    2011 පිබිදෙව්!
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 2 6-7 පි.
බයිබල් අනාවැකි අධ්‍යයනය කරමින්

අකුරටම ඉටු වුණ අනාවැකි!

දිවැසිවරයෙක්ගේ අපැහැදිලි අනාවැකියක් නිසා ක්‍රෝඒසස් රජ පර්සියාවේ සයිරස් රජ හමුවේ අන්ත පරාජයකට පත් වුණා කියලා අපි දැනගත්තා. ඒත් සයිරස් රජ ගැන පැහැදිලි තොරතුරු ඇතුළත් අනාවැකියක් බයිබලයේ තියෙනවා. ඒ අනාවැකිය අකුරටම ඉටු වුණා!

ඒ අනාවැකියේ සඳහන් වුණේ ලෝක අධිරාජ්‍යයක් වුණ බැබිලෝනියේ විනාශය ගැනයි. බැබිලෝනිය විනාශ කරන රජගේ නම සයිරස් කියලත් බැබිලෝනිය විනාශ කරන්නේ කොහොමද කියලත් යෙසායා කියන අනාගතවක්තෘවරයා කිව්වා. එයා ඒ අනාවැකිය කිව්වේ සයිරස් රජ ඉපදෙන්න අවුරුදු 200කට විතර කලින්.

යෙසායා 44:24, 27, 28. ‘යෙහෝවා දෙවි කියන මේ දෙයට සවන් දෙන්න. “වියළී යන්න. මම ඔබේ සෑම අතු ගංගාවක්ම වියළී යන්න සලස්වමි” කියා මහා ජල කඳට අණ කරන්නේ මමය. සයිරස් ගැන සඳහන් කරමින්, “ඔහු මා පත් කළ එඬේරාය. මා කැමති සියල්ල ඔහු ඉටු කරන්නේය” කියා පැවසුවේද මමය. “යෙරුසලම යළි ගොඩනඟනු ඇත” කියාද “දේවමාලිගාවේ අත්තිවාරම දමනු ඇත” කියාද මා දුන් පොරොන්දුවත් ඔහු මාර්ගයෙන් ඉටු වනු ඇත.’

ඒ අනාවැකිය ඉටු වුණේ කොහොමද? ග්‍රීක ඉතිහාසඥයෙක් වන හෙරෝඩටස් කියන විදිහට සයිරස්ගේ හමුදාව බැබිලෝනියට ආරක්ෂාව ලැබුණ යුප්‍රටීස් ගඟේ ජල කඳ වෙනත් දිශාවකට හැරෙව්වා. ගඟේ ජල මට්ටම පහත වැටුණ නිසා සෙබළුන්ට ලේසියෙන්ම ගං පතුල හරහා නගරයට ඇතුල් වෙන්න පුළුවන් වුණා. සයිරස් රජ බැබිලෝනිය අල්ලාගත්තාට පස්සේ වහලුන් වෙලා හිටපු ඊශ්‍රායෙල්වරුන්ව නිදහස් කරලා අවුරුදු 70කට කලින් විනාශ වුණ යෙරුසලම නැවත ගොඩනඟන්න එයාලට අවසර දුන්නා.

යෙසායා 45:1, පාදසටහන. ‘යෙහෝවා දෙවි තම අභිෂේක ලත් තැනැත්තා වන සයිරස්ගේ දකුණතින් අල්ලාගෙන ජාතීන්ව ඔහුට යටත් කර දුන්නේය. දෙවි රජවරුන්ගේ තුනටියට පහර දී ඔවුන්ගේ බලය නැති කර දැමුවේය. නුවරේ අකුළන පියන් සහිත දොරටු පවා ඔහුට විවෘත කර දුන්නේය.’

අනාවැකියේ කියපු විදිහටම නගරයේ ආරක්ෂාවට තනා තිබුණු අකුළන පියන් සහිත දැවැන්ත දොරටු නොසැලකිලිමත් විදිහට ඇරලා දාලා තිබුණා. ඒ නිසා පර්සියානු හමුදාව සටනක් නොකරම නුවරට ඇතුල් වෙලා බැබිලෝනිය යටත් කරගත්තා.

අකුරක් නෑර ඉටු වුණ මේ වගේ අනාවැකි බොහොමයක් බයිබලයේ තියෙනවා.a ඒ අනාවැකි මිනිසුන් බොරු දෙවිවරුන්ගේ උදව්වෙන් කියන අනාවැකිවලට වඩා වෙනස්. මොකද බයිබලයේ සඳහන් අනාවැකි පවසන්නේ එකම සැබෑ දෙවියන්. ඔහු ගැන බයිබලයේ මෙහෙම කියනවා. “අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි. මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.”—යෙසායා 46:10.

ඒ වගේ දෙයක් කියන්න පුළුවන් සැබෑ දෙවියන් වන යෙහෝවාට විතරයි. “යෙහෝවා” කියන නමේ තේරුම “තමන් අරමුණු කරන දේ ඉටු කිරීමට ඉතා ක්‍රියාශීලීව කටයුතු කරන තැනැත්තා” කියන එකයි. ඒ කියන්නේ අනාගතයේ සිද්ධ වෙන දේවල් දැනගන්නත් තමන්ගේ අරමුණ ඉටු වෙන විදිහට අවශ්‍ය නම් ඒ දේවල් වෙනස් කරන්නත් දෙවියන්ට පුළුවන් කියන එකයි. ඒ නිසා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙන හැම දෙයක්ම ඔහු ඉටු කරනවා කියලා අපිට කිසිම සැකයක් නැහැ.

මේ කාලේ ඉටු වෙන අනාවැකි

මේ කාලේ ඉටු වෙන අනාවැකි මොනවාද කියලා දැනගන්න ඔයා කැමතිද? මීට අවුරුදු 2,000කට විතර කලින් බයිබලයේ කියලා තිබුණා “අවසාන කාලයේදී ඉතා අසීරු, අනතුරු සහිත කාලයක් පැමිණෙනවා” කියලා. එතන කතා කරන්නේ මේ පොළොවේවත් මිනිසුන්ගේවත් අවසානය ගැන නෙමෙයි, මිනිසුන් විඳින දුක් වේදනා සහ හිංසා පීඩාවල අවසානය ගැනයි. දැන් අපි ‘අවසාන කාලය’ හඳුනගන්න උදව් වෙන අනාවැකි කිහිපයක් බලමු.

2 තිමෝති 3:1-5. ‘අවසාන කාලයේදී මිනිස්සු තමන් ගැනම සිතන, මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, දෙවිට අපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, ද්‍රෝහිකම් කරන අය වනු ඇත. ඔවුහු තමන්ගේම අය කෙරෙහිවත් කිසි සෙනෙහසක් නැති, කිසිම දෙයක් ගැන එකඟ නොවන, නින්දා කරන, තමන්වම පාලනය කරගත නොහැකි, දරුණු, යහපත්කමට කිසි ඇල්මක් නොදක්වන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට වඩා විනෝදයට ඇල්මක් දක්වන අය වනු ඇත. මිනිසුන්ට පෙනෙන්න ඔවුන් දෙවි සඳහා භක්තියකින් කටයුතු කළත් ඔවුන් ඇත්තටම ක්‍රියා කරන්නේ ඒ භක්තියට පටහැනිවය.’

අද වැඩිපුරම ඉන්නේ තමන් ගැන විතරක් හිතන, විනෝදයට මුල් තැන දෙන, සල්ලිවලට කෑදර, උඩඟු අය නෙමෙයිද? කිසිම දේකට එකඟ වෙන්නේ නැති, තමන්ට ඕනෙ දේ කොහොමහරි කරගන්න හදන අය නෙමෙයිද? හුඟක් දරුවන්ට දෙමව්පියන් ගැන කිසි ගෞරවයක් තියෙනවාද? මේ තත්වය දවසින් දවස තවත් නරක අතට හැරෙනවා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?

මතෙව් 24:6, 7. ‘ඔබට යුද්ධ ගැනත් යුද්ධ පිළිබඳ ආරංචි ගැනත් අසන්න ලැබෙයි. ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත් නැඟී සිටියි.’

ගණන් බලලා තියෙන විදිහට 1914 ඉඳලා යුද්ධ සහ ගැටුම් නිසා කෝටි 10කට වඩා මිය ගිහින් තියෙනවා. ඒ සංඛ්‍යාව සමහර රටවල ජනගහනයටත් වඩා වැඩියි. අහිමි වුණ ඒ ජීවිත නිසා අසරණ වුණ අයගේ සංඛ්‍යාව ගණන් කරන්නවත් බැරි තරම්! මෙච්චර හානියක් වෙලත් පාලකයන් යුද්ධ නවත්වන්න කිසිම පියවරක් අරන් නැහැ.

මතෙව් 24:7. ‘එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම් ඇති වෙයි.’

ලෝක ආහාර වැඩසටහන වාර්තා කරන දේ බලන්න. “මුළු ලෝකයටම ඇති වෙන්න අද ආහාර නිෂ්පාදනය කළත් හැම දවසකම ලෝක ජනගහනයෙන් 1/9ක් (මිලියන 815ක්) නින්දට යන්නේ බඩගින්නේ. ඒ වගේම 1/3ක් මන්දපෝෂණ තත්වයකින් පෙළෙනවා.” ඒ විතරක් නෙමෙයි වාර්තාවලට අනුව හැම අවුරුද්දකම දරුවන් මිලියන 3ක් විතර බඩගින්න නිසා මිය යනවා.

ලූක් 21:11. “මහත් භූමිකම්පා ඇති වෙයි.”

හැම අවුරුද්දකම අපිට දැනෙන තරමේ භූමිකම්පා 50,000ක් විතර වෙනවා. ඒවායින් 100ක් විතර ගොඩනැඟිලිවලට හානි වෙන තරම් විශාල ඒවා. ඒ වගේම හැම අවුරුද්දකම ඉතා දරුණු භූමිකම්පා අඩුම තරමින් එකක්වත් සිදු වෙනවා. ගණන් බලලා තියෙන විදිහට 1975ත් 2000ත් අතර කාලයේදී භූමිකම්පා නිසා 4,71,000කට විතර ජීවිත අහිමි වෙලා තියෙනවා.

මතෙව් 24:14. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය පැමිණෙයි.”

රටවල් 240ක විතර ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන 8කට වඩා වැඩිදෙනෙක් දෙවියන්ගේ රාජ්‍යය ගැන “ශුභාරංචිය” ප්‍රකාශ කරනවා. එයාලා විශාල නගරවල විතරක් නෙමෙයි පිටිසර ගම්මානවලට පවා ගිහින් මේ පණිවිඩය ප්‍රකාශ කරනවා. ඒත් දෙවියන් ඒ කාර්යය නවත්වන්න කියන දවසක් එනවා. ඊටපස්සේ “අවසානය පැමිණෙයි” කියලා අනාවැකියේ කියනවා. ඒ කියන්නේ දෙවියන්ගේ රාජ්‍යය මාර්ගයෙන් හැම මිනිස් පාලනයක්ම විනාශ කරන්න යනවා කියන එකයි. ඊටපස්සේ ඒ රාජ්‍යය මාර්ගයෙන් මේ පොළොව පාලනය කරනවා. එදාට වෙන දේවල් ගැනත් බයිබලයේ කලින්ම කියලා තියෙනවා. ඒ ගැන දැනගන්න ඔයා කැමතිද?

a “නිහඬ සාක්ෂියක්!” කියන ලිපිය බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න