ශුභාරංචිය බාර දී ඇත්තෝ
1 දෙවිගේ ශුභාරංචිය බාර දීමට අපව තෝරාගෙන තිබීම මොන තරම් වරප්‍රසාදයක්ද! (1 තෙස. 2:4) මිනිසුන්ගේ ජීවිත කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කරන මෙම පණිවිඩය සමහරුන් ප්‍රතික්ෂේප කළත් අවංක හදවත් ඇති අයව එයට ඇදි යන්නේ මිහිරි සුවඳකට යන්නාක් මෙනි. (2 කොරි. 2:14-16) ශුභාරංචිය පිළිගෙන එයට කීකරු වන අයට ඉන් අදහස් කරන්නේ ගැලවීමයි. (රෝම 1:16) අපට බාර දී තිබෙන මේ දෙය කෙරෙහි අප සැලකිල්ල දැක්විය යුත්තේ කෙසේද?
2 යේසුස් සහ ප්‍රේරිතයෝ: යේසුස් ඔහුගේ ජීවිතයේ මුල් තැන දුන්නේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමටයි. (ලූක් 4:18, 43) ඔහු වෙහෙසට පත්ව සිටි අවස්ථාවලදී හා කුසගින්නෙන් පසු වූ අවස්ථාවලදී පවා අන් අයට ශුභාරංචිය පැවසීමට පෙලඹුණේ ජනයා කෙරෙහි ඔහුට තිබූ ප්‍රේමය නිසයි. එහි වටිනාකම ඔහු තේරුම්ගෙන සිටි නිසයි. (මාක් 6:30-34) ඔහු රාජ්‍යය ගැන දේශනා කිරීමේ වැදගත්කම ගැන වචනයෙන් හා ආදර්ශයෙන් ගෝලයන්ට කාවැද්දුවේය.—මතෙ. 28:18-20; මාක් 13:10.
3 ප්‍රේරිතයෝ යේසුස්ව අනුකරණය කරමින් ජ්වලිතව රාජ්‍යයේ පණිවිඩය ප්‍රකාශ කළහ. ඔවුන්ට පහර දී දේශනා කිරීම නතර කරන්න කියා අණ කරනු ලැබූ අවස්ථාවලදී පවා ‘ඔවුහු අත්නෑර උගන්වමින්ද ශුභාරංචිය ප්‍රකාශ කරමින්ද සිටියෝය.’ (ක්‍රියා 5:40-42, NW) ප්‍රේරිත පාවුල් මෙම කාර්යයෙහි වෙහෙස නොබලා හවුල් වූයේය. (1 කොරි. 15:9, 10; කොලො. 1:29) ශුභාරංචිය අන් අය සමඟ බෙදාගැනීමේ වරප්‍රසාදය ඔහු සැලකුවේ ඔහුගේ කාලයේ විසූ ජනයාට ගෙවීමට තිබූ ණයක් ලෙසයි. මෙම ණය ගෙවීම සඳහා තමන්ගේ පෞද්ගලික සැප පහසුව අත්හැරීමට ඔහු කැමැත්තෙන් සිටියේය.—ක්‍රියා 20:24; රෝම 1:14-16.
4 අද දින අප සතු වරප්‍රසාදය: අපට බාර දී තිබෙන පරිශුද්ධ පැවරුම සඳහා තිබෙන අගය කිරීම, දේශනා කිරීමේ කාර්යයෙහි තව වැඩියෙන් හවුල් විය හැකි ආකාර සොයා බැලීමට අපව පොලඹවනු ඇත. (රෝම 15:15, 16) රෝද පුටුවකට වී කල් ගෙවීමට සිදු වූ එඩ්වඩ්, හෝටලයක ප්‍රධාන දොරටුව අසල සිට එයට පැමිණෙන අමුත්තන්ට ඔහුගේ ඇදහිල්ල ගැන කතා කළේය. තවත් වැඩියෙන් දේශනා කිරීමට තිබූ ආශාව ඉටු කරගැනීම සඳහා තමන් ගමන්ට කිරීමට හැකි වන පරිදි කැබ් රථයක විශේෂ කුටියක් සකස් කරගත්තේය. ඔහු මෙම වාහනයෙන් කිලෝමීටර් දහස් ගණනක් ගමන් කරමින් අවුරුදු ගණනාවක් පුරෝගාමි සේවය කළේය. ශුභාරංචිය පතුරුවාහැරීමේ කාර්යයෙහි වැඩියෙන් හවුල් වීම සඳහා එඩ්වඩ් මෙන් අද සිටින බොහෝදෙනෙකු තමන්ගේ තත්වයන් සකස් කරගෙන තිබේ.
5 යේසුස්ව හා ප්‍රේරිතයන්ව අනුකරණය කරමින් අපිත් අපේ ජීවිතවල මුල් තැන දේශනා කිරීමේ කාර්යයට නිතරම දෙමු. මෙසේ කිරීමෙන් ජනයා කෙරෙහි අපට තිබෙන ප්‍රේමය පෙන්වමු. එමෙන්ම අපට බාර දී තිබෙන ශුභාරංචිය ඉතා වටිනා දෙයක් ලෙස අපි සලකන බවද පෙන්වමු.