බයිබලයේ ඉගැන්වීම් පොත ලබා දෙන විට උතුම් ගුරුවරයාව අනුකරණය කරන්න
1. යේසුස් ඉගැන්නුවේ මොන ආකාරයටද?
1 උතුම් ගුරුවරයා වන යේසුස් හැමවිටම ඉගැන්නුවේ සරල හා පැහැදිලි ක්රමයකටයි. සවන් දෙන්නන්ව සිතීමට පෙලඹුවේ ඔවුන්ගේ අදහස් විමසා බැලීමෙන්. (මතෙ. 17:24-27) ඔහු ඔවුන්ගේ අවධානය යොමු කළේ දෙවිගේ වචනය වෙතටයි. (මතෙ. 26:31; මාක් 7:6) ඔහු තම ගෝලයන්ට දරාගත නොහැකි තරමට තොරතුරු නොදුන්නේ ඉදිරියේදී ඔවුන් තවදුරටත් ඉගෙනගන්නා බව දන්නා නිසයි. (යොහ. 16:12) ඔවුන්ට ඉගැන්වූ දේවල් ඔවුන් වටහාගෙන තිබෙනවාද, විශ්වාස කරනවාද කියාත් සොයා බැලීමට යේසුස් උනන්දු වුණා. (මතෙ. 13:51) බයිබලයේ ඉගැන්වීම් පොත සකස් කර තිබෙන්නේ එයාකාරයෙන් ඉගැන්වීමටයි.
2. පරිච්ඡේදය හඳුන්වා දෙන ප්‍රශ්න යොදාගත හැක්කේ කොයි ආකාරයෙන්ද?
2 පරිච්ඡේදය හඳුන්වා දෙන ප්‍රශ්න: පරිච්ඡේදයක් සාකච්ඡා කිරීමට පෙර එම පාඩම හඳුන්වා දෙන ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න. ඒ ප්‍රශ්න මගින් ඔබ සාකච්ඡා කරන්න යන කරුණු ගැන ශිෂ්‍යයාට කුතුහලයක් ඇති කරන්න. එහෙමත් නැත්නම් ඔහුගේ අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙන්න ඔබට හැකියි. ශිෂ්‍යයා වැරදි අදහසක් දැක්වුවත් ඒ අවස්ථාවේදීම නිවැරදි කිරීම අවශ්‍ය නැහැ. අදහස් දැක්වීම ගැන ඔහුට ස්තුති කර පරිච්ඡේදය ආරම්භ කරන්න. ඔහු දක්වපු අදහස්වලින් ඔබට පැහැදිලි වෙයි පාඩමේ සමහර කොටස්වලට වැඩි අවධානයක් දිය යුතුයි කියලා.
3. පාඩම සරලව පැවැත්විය හැක්කේ කෙසේද?
3 බයිබල් පද: මෙය බයිබල් පාඩමක් බව මතකයේ තියාගෙන හැකි සෑමවිටම බයිබලය වෙතට අවධානය යොමු කරන්න. (හෙබ්‍රෙ. 4:12) කෙසේවෙතත් සඳහන් කර තිබෙන සෑම බයිබල් පදයක්ම කියවන්න අවශ්‍ය නැහැ. අපේ විශ්වාසයන්ට පදනමක් සපයන බයිබල් පද අවධාරණය කරන්න. බයිබලයේ ඉගැන්වීම් පොතේ සත්‍යයන් ඉදිරිපත් කර තිබෙන්නේ සරල ආකාරයටයි. එමනිසා ඔබේ බයිබල් පාඩමත් සරල ආකාරයට පවත්වන්න. අමතර කරුණු ගෙනහැර දක්වමින් ඕනෑවට වඩා කතා නොකර මූලික කරුණු පමණක් සාකච්ඡා කරන්න.
4. උපග්‍රන්ථයේ තොරතුරු පාඩම අතරතුරේදීම සලකා බැලිය යුතුද නැද්ද කියා තීරණය කරන්නේ කෙසේද?
4 උපග්‍රන්ථය: ප්‍රධාන පරිච්ඡේදවලට අදාළ විෂයන් 14ක් එහි ආවරණය කෙරෙනවා. කැමති නම් පාඩම අතරතුරේදී මෙම විෂයන් සාකච්ඡා කළ හැකියි. පරිච්ඡේද සාකච්ඡා කරන විට ශිෂ්‍යයා කරුණු හොඳින් අවබෝධ කරගන්නවා නම් සහ ඒවා පිළිගන්නවා නම් සමහර විෂයන් සම්බන්ධයෙන් මෙහි ඇති අමතර කරුණු පෞද්ගලිකව කියවාගැනීමට ඔබේ ශිෂ්‍යයාව දිරිගැන්විය හැකියි. උදාහරණයකට යේසුස් ගැලවුම්කරු බව ශිෂ්‍යයා දැනටමත් විශ්වාස කරනවා නම්, “යේසුස් ක්‍රිස්තුස් කියන්නේ කවුද?” යන 4වන පරිච්ඡේදය සාකච්ඡා කරද්දී “පොරොන්දු කරන ලද ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්” යන කොටස ඔහු සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය නැහැ. එසේ නොවේ නම් පාඩම අතරතුරේදීම උපග්‍රන්ථයේ ඊට අදාළ සම්පූර්ණ තොරතුරු හෝ ඉන් කොටසක් සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් විය හැකියි.
5. උපග්‍රන්ථයේ තොරතුරු සලකා බැලීමට තීරණය කරනවා නම් අපි කොහොමද එය කරන්නේ?
5 උපග්‍රන්ථයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරනවා නම් කලින් ඔබම ප්‍රශ්න සූදානම් කරගන්න. ඉන්පසු පරිච්ඡේදයක් සාකච්ඡා කරන ආකාරයට ඡේද කියවා පාඩම කරන්න. නැතහොත් ශිෂ්‍යයාගේ තත්වය අනුව පාඩම අතරතුරේදීම එහි තොරතුරු පුනරීක්ෂණය කිරීමට විනාඩි කීපයක් ගත හැකියි. එවිට ශිෂ්‍යයා පෞද්ගලිකව කියෙවූ තොරතුරු තේරුම්ගෙන තිබෙනවාද යන්න ඔබට දැනගත හැකි වෙයි.
6. පරිච්ඡේදය අවසානයේ ඇති කොටුව යොදාගත හැක්කේ කෙසේද?
6 බයිබලයේ උගන්වා තිබෙන ආකාරයට යන කොටුව: සෑම පරිච්ඡේදයක් අවසානයේ ඇති කොටුවේ පරිච්ඡේදය හඳුන්වා දෙන ප්‍රශ්නවලට බොහෝවිට පිළිතුරු තිබෙනවා. පරිච්ඡේදයේ ප්‍රධාන කරුණු පුනරීක්ෂණය කිරීම සඳහා එහි ඇති අදහස් යොදාගත හැකියි. කොටුවේ සඳහන් සෑම අදහසක්ම හා අදාළ බයිබල් පද ශිෂ්‍යයා සමඟ කියවීම උපකාරවත් බව සමහර ප්‍රචාරකයන්ට පෙනී ගොස් තිබෙනවා. එක් එක් අදහසට බයිබල් පදය සම්බන්ධ වන ආකාරය කෙටියෙන් පැහැදිලි කිරීමට ශිෂ්‍යයාව දිරිගැන්විය හැකියි. එවිට ශිෂ්‍යයා පාඩමේ ප්‍රධාන කරුණුත් බයිබලයෙන් ඒවා තහවුරු කර තිබෙන ආකාරයත් පැහැදිලිව වටහාගෙන තිබෙන බවත්, ඔහු ඊට එකඟද නැද්ද කියාත් ඔබට තේරුම්ගන්න පුළුවන්. මෙය අන් අයට සත්‍යය පැහැදිලි කිරීමට බයිබලය යොදාගන්න ශිෂ්‍යයාව පුහුණු කිරීමක්ද වෙනවා.
7. අපේ පැවරුම හොඳින් ඉටු කිරීමට බයිබලයේ ඉගැන්වීම් පොත භාවිත කළ හැක්කේ කෙසේද?
7 ඉගැන්වීමට හා ගෝලයන් සෑදීමට අපට ලැබී තිබෙන පැවරුම පලදායී ලෙස ඉටු කිරීමට යේසුස්ගේ ඉගැන්වීමේ කලාව අනුකරණය කරමු. (මතෙ. 28:19, 20) බයිබලයේ ඉගැන්වීම් පොතට හැකියි ඒ සඳහා අපට උපකාර කරන්න. පැහැදිලිව හා සරලව මෙන්ම ශිෂ්‍යයාට ආශාවක් ඇති වන ආකාරයෙන් එය හොඳින් භාවිත කරන්න.