9වන පරිච්ඡේදය
යෙහෝවාගේ කැමැත්ත කිරීමට සංවිධානය වීම
ශුභාරංචිය දේශනා කළ හැකි ක්‍රම
102 සිට 108 දක්වා පිටු
බලප්‍රදේශය
දේවරාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ලොවපුරා නගරවල මෙන්ම ගම්වලද පිළිවෙළකට දේශනා කිරීම යෙහෝවා දෙවිගේ අරමුණයි. මේ අරමුණ ඉටු කරගැනීම සඳහා අදාළ රටේ දේශනා සේවය හා සම්බන්ධ කටයුතු සැලසුම් කරන ශාඛා කාර්යාලය මගින් සභාවන්ට මෙන්ම දුර ප්‍රදේශවල සේවය කරන පුද්ගලයන්ටද බලප්‍රදේශ වෙන් කර දෙයි. (1 කොරි. 14:40) මුල් සියවසේද දේශනා සේවය කරනු ලැබුවේ මේ ක්‍රමයටයි. (2 කොරි. 10:13; ගලා. 2:9) මේ අන්තිම දවස්වල දේවරාජ්‍යය ගැන සාක්ෂි දැරීම පුළුල් වී තිබෙනවා. මේ නිසා එක් සභාවකට වෙන් කර තිබෙන බලප්රදේශයක තවත් සභාවක් සේවය කිරීමට ඉඩ තිබෙනවා. සභාවකට බලප්‍රදේශය පැවරීම හොඳින් සංවිධානය කිරීමෙන් එවැනි තත්වයන් වළක්වාගත හැකියි. එමෙන්ම වැඩි පිරිසකට ශුභාරංචියට සවන් දීමේ ප්‍රස්තාවද එමගින් උදා වෙයි.
යම් සභාවකට වෙන් කර දී තිබෙන බලප්රදේශයක දේශනා කිරීමේ කටයුතු අධීක්ෂණය කරන්නේ ඒ සභාවේ සේවා අවේක්ෂකයි. සභාවේ යම් ප්‍රචාරකයෙකුට හෝ කණ්ඩායමකට ප්‍රදේශයක් වෙන් කර දීමටත් ඒ ප්‍රදේශ පියවන ආකාරය ගැන වාර්තා තබාගැනීමටත් සේවා අවේක්ෂකගේ අධීක්ෂණය යටතේ සභා සේවකයෙකුට හැකියි. සභාවට අයත් බලප්‍රදේශය කුඩා නම් තම කණ්ඩායමේ සිටින ප්‍රචාරකයන්ට සේවය කළ හැකි ප්‍රදේශයක් වෙන් කර තබාගැනීමට සභා පොත් පාඩම් අවේක්ෂකට හැකියි.
ඔබ අයත් වන්නේ විශාල බලප්‍රදේශයක් තිබෙන සභාවකට නම් ඔබේ නිවසට ළඟ තිබෙන ප්‍රදේශයක් වෙන් කරවාගෙන, එහි සේවය කරන්න ඔබ කැමති විය හැකියි. මෙහි තිබෙන එක් ප්‍රයෝජනයක් නම් ක්ෂේත්‍ර සේවය සඳහා වැඩි කාලයක් යොදවන්න හැකි වීමයි. මෙසේ සභාවෙන් ඔබට වෙන් කර දුන් ප්‍රදේශයේ ඔබ සමඟ සේවයේ හවුල් වීමට තවත් ප්‍රචාරකයෙකුට ආරාධනා කරන්න ඔබ කැමති විය හැකියි.
ඔබ අයත් වන්නේ එසේ පෞද්ගලික ප්‍රදේශ වෙන් කරවාගත හැකි සභාවකට නම්, ඔබේ සභාවේ බලප්‍රදේශ බාරව සිටින සහෝදරයාව හමු වී, වෙනත් කෙනෙකුට පවරා නැති ප්‍රදේශයක් ඔබට වෙන් කර දෙන මෙන් ඉල්ලා සිටින්න පුළුවන්. ඔබට වෙන් කර දුන් ප්‍රදේශයේ සේවය කරන සෑම අවස්ථාවකදීම එම ප්‍රදේශය පිය වූ ආකාරය ගැන ඒ සහෝදරයාට දැනුම් දිය යුතුයි. ඔබ පෞද්ගලිකව ප්‍රදේශයක් වෙන් කරවාගෙන සේවය කරන විට එම ප්‍රදේශයේ බොහෝදෙනෙකුව හොඳින් දැනහඳුනා ගන්න ඔබට හැකි වෙයි. කාලයක් යන විට ඔවුන්ගෙන් සමහර දෙනෙකුට දෙවි ගැන තවත් දැනුම ලබාගැනීමට උපකාර කරමින් ඔවුන්ට ගැලවීමේ මාර්ගයට පිවිසෙන්න උපකාර කිරීමේ ප්‍රීතියද ඔබට භුක්ති විඳින්න පුළුවන්.
ඔබ ප්‍රදේශයක් වෙන් කරවාගෙන තිබෙනවා නම් එම ප්‍රදේශයේ හැකි තරම් පිරිසකට දේශනා කිරීමේ වගකීම ඔබ සතුයි. මෙහිදී නිවෙස්වල නැති අයට වෙනත් දවසක ගොස් සාක්ෂි දරන්නත් ශුභාරංචිය ගැන තවත් දැනගන්න උනන්දුවක් දක්වන අයව නැවත ගොස් හමු වන්නත් අවශ්‍යයි. බයිබල්, පොත්, සඟරා, විවරණිකා, පත්‍රිකා, අත්පත්‍රිකා හා “විශ්වාසවන්ත නුවණ ඇති දාසයා” සපයා තිබෙන වෙනත් දේවල්ද යොදා ගනිමින් බලප්‍රදේශයේ ජනයාට සම්පූර්ණ සාක්ෂියක් දැරිය හැකි ආකාර ගැන යෝජනා කලින් කලට අපගේ රාජ්‍ය සේවාවේ පළ වෙනවා. ඔබේ බලප්‍රදේශයේ සමහර ජනයා ආරක්ෂක ගේට්ටුවකින් ඇතුල් විය යුතු නිවාස සංකීර්ණයක හෝ අධි ආරක්ෂිත කළාපයක ජීවත් විය හැකියි. මොවුන්ට සාක්ෂි දැරීමට සිදු වන්නේ ලිපි මාර්ගයෙන් හෝ දුර කථනයක් මාර්ගයෙන් හෝ වෙනත් ක්‍රමයක් යොදාගෙනයි. සමහරවිට වීදි සාක්ෂි දැරීමේදී ඔවුන්ව හමු විය හැකියි. ඔබේ ප්‍රදේශයේ පවතින තත්වයන් සමඟ හා පුද්ගලයන් සමඟ කටයුතු කරන ආකාරය ගැන යෝජනා සේවා අවේක්ෂකගෙන් හෝ ඔබේ පොත් පාඩම් අවේක්ෂකගෙන් විමසන්න.
සභාවේ සිටින සියලුම ප්‍රචාරකයන් සේවය හා සම්බන්ධ සැලසුම්වලට සහයෝගය දෙන විට සභා බලප්‍රදේශය පුරාම නිසි පිළිවෙළකට හොඳ සාක්ෂියක් දැරිය හැකියි. එමෙන්ම එකම ප්‍රදේශයේ එකම දවසේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් සේවය කිරීමද වළක්වාගත හැකියි. ඒ ප්‍රදේශයේ ගෙවැසියන් අනවශ්‍ය ලෙස කුපිත වීමද වළක්වාගත හැකියි. මෙසේ යම් සැලැස්මකට අනුව සේවය කිරීමෙන් අපි පෙන්වන්නේ අපේ සහෝදරයන් කෙරෙහි මෙන්ම බලප්‍රදේශයේ ජනයා කෙරෙහිද අපි සැලකිලිමත් බවයි.
වෙනත් භාෂා කතා කරන ජනයාට සාක්ෂි දැරීම
සියලුම මිනිසුන් යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ පුත්‍රයා හා ඔහුගේ රාජ්‍යය ගැනත් දැනගත යුතුයි. (එළි. 14:6, 7) අප බලප්‍රදේශයේ සිටින වෙනත් භාෂා කතා කරන අයටද ගැලවීම ලබාගැනීම සඳහා යෙහෝවා දෙවිගේ නාමය කියා අයැදින්නත් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වය පැලදගැනීමටත් අපි උපකාර කළ යුතුයි. (රෝම 10:12, 13; කොලො. 3:10, 11) එහෙත් එවැනි අයට සාක්ෂි දැරීමේදී මුහුණ පෑමට සිදු වන විවිධ තත්වයන් හා ගැටලු ප්‍රේමණීය ලෙස හා හොඳ ප්‍රතිඵල ලැබෙන අයුරින් හසුරුවන්න හැක්කේ කෙසේද?
ක්‍රිස්තියානීන් අන් අයට සැලකිය යුත්තේ ඒ අය තමන්ට සලකනවාට කැමති ආකාරයටයි. (මතෙ. 7:12) වෙනත් රටකින් පැමිණි කෙනෙකුව හෝ වෙනත් භාෂාවක් කතා කරන කෙනෙකුව සාදරයෙන් පිළිගන්න යමක් පවසන විට එයින් පෙන්වන්නේ අපි ඒ කෙනාව වටිනා පුද්ගලයෙක් ලෙස සලකන බවයි. (රෝම 15:7) වෙනත් රටවලින් පැමිණි ජනයාට සාක්ෂි දරන විට එවන් ආකල්පයක් ඇතිව සිටීම වැදගත්. එයින් අපි පෙන්වන්නේ දෙවි ඔවුන්ව සලකන ආකාරයට අපිත් ඔවුන්ව සලකන බවයි.—ක්‍රියා 10:34, 35; 17:26.
ඔබට නොතේරෙන භාෂාවක් කතා කරන කෙනෙක් හමු වූ විට ඔහු පොත් පත් කියවන භාෂාව කුමක්ද කියා දැනගැනීමට වෑයම් කරන්න. සියලුම ජනයා සඳහා ශුභාරංචි නමැති පොත් පිංචයේ ඔහුගේ භාෂාවෙන් සඳහන් පණිවිඩය ඔහුට පෙන්වන්න. ඒ තැනැත්තාගේ භාෂාවෙන් රැස්වීම් පවත්වන සභාවක් හෝ කණ්ඩායමක් ළඟපාත තිබෙනවා නම් අදාළ සහෝදරයන්ට ඔහුව හමු වීමට කටයුතු පිළියෙළ කරන්න ඔබට පුළුවන්. සමහරවිට ඒ භාෂාව දන්න ඔබේ සභාවේ සිටින සහෝදරයෙකුට ඔහුව ගොස් හමු විය හැකියි. එසේත් නැත්නම් ඒ භාෂාවෙන් අපේ පොත් පත් සඟරා ගෙනැවිත් දෙන්න පුළුවන් කියා ඔහුට පවසන්න. ඒ භාෂාවෙන් තිබෙන පොත් පත් මොනවාද කියා පොත් පත් අංශය භාර සහෝදරයාගෙන් අසා දැනගන්න.
වෙනත් භාෂාවකින් කෙටියෙන් සාක්ෂි දැරිය හැකි ආකාරය ගැන සමහර ප්‍රචාරකයන් ඉගෙනගෙන තිබෙනවා. තවත් ප්‍රචාරකයන් උනන්දුව දක්වන තැනැත්තාගේ භාෂාවෙන් තිබෙන අපේ ප්රකාශනයක් යොදාගෙන ඔහු සමඟ පාඩම් කරන්න වෑයම් කර තිබෙනවා. අදාළ පොතේ පින්තූරු කෙරෙහි ඔහුගේ අවධානය යොමු කරවන්න. එමෙන්ම සඳහන් කර තිබෙන බයිබල් පද කියවන්න ඔහුට ආරාධනා කරන්න. මෙසේ කිරීමෙන් ඇතැම් මූලික බයිබල් සත්‍යයන් තේරුම්ගන්න ඔහුට හැකි වේවි. සමහරවිට ඔහු කතා කරන භාෂාවත් ඔබ කතා කරන භාෂාවත් දන්න ඔහුගේ පවුලේ කෙනෙක් සිටිය හැකියි. සාකච්ඡා කරන තොරතුරු පරිවර්තනය කිරීම සඳහා ඒ කෙනාව යොදාගන්න පුළුවන්.
උනන්දුව දක්වන තැනැත්තාට ඔබේ සභාවේ රැස්වීම් පවත්වන භාෂාව තේරෙන්නේ නැති වුණත් රැස්වීම්වලට ආරාධනා කරන්න. සභාවේ සහෝදර සහෝදරියන් සමඟ ඇසුරුකිරීමෙන් ඔහුගේ ඇදහිල්ල තවත් ශක්තිමත් විය හැකි අතර සත්‍යය තුළ වර්ධනය වීමටද එය උපකාරවත් වෙයි. අපේ මූලික අරමුණ වන්නේ ගෝලයකු වීමට ඔහුට උපකාර කිරීම බව මතක තබාගනිමු.
වෙනත් භාෂාවක් කතා කරන ජනයා විශාල ප්‍රමාණයක් යම් සභා බලප්රදේශයක සිටිනවා නම් ඒ ප්‍රදේශයේ දේශනා කිරීම සඳහා වැඩිමහල්ලන් කටයුතු සැලසුම් කළ යුතුයි. විදේශීය භාෂාවක් කතා කරන ජනයා සභා බලප්‍රදේශ කිහිපයක ජීවත් විය හැකියි. එවැනි අවස්ථාවකදී අදාළ සභාවන් බැහැදකින චාරිකා අවේක්ෂක(යන්) සංවිධානය දී තිබෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීම සඳහා වැඩිමහල්ලන්ට උපකාර කරයි. මෙමගින් අදාළ සභාවන්ට විදේශීය භාෂාවක් කතා කරන ජනයාට සැලසුමකට අනුව දේශනා කළ හැකියි. ඉදිරියේදී විදේශීය භාෂාවෙන් රැස්වීම් පැවැත්විය හැකිද කියා තීරණය කිරීම සඳහා කලින් කලට ප්‍රසිද්ධ කථාවක් හෝ මුරටැඹ පාඩමක් පවත්වන්න පුළුවන්.
පහත සඳහන් අවශ්‍යතා සපුරා තිබෙන විට විදේශීය භාෂාවකින් රැස්වීම් පවත්වන කණ්ඩායමක් පිහිටුවිය හැකියි. (1) එම විදේශීය භාෂාව තේරුම්ගත හැකි ප්‍රචාරකයන් හා උනන්දුව දක්වන අය සිටින විට, (2) සතියකට අඩුම තරමින් එක රැස්වීමවක්වත් මෙහෙයවීමට මූලිකත්වය ගත හැකි සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සිටින විට, (3) වැඩිමහල් මණ්ඩලය එම කණ්ඩායමට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින විට. මෙම අවශ්‍යතා සපුරා තිබෙන විට වැඩිමහල්ලන් ඒ ගැන ශාඛා කාර්යාලයට දැන්විය යුතුයි. එවිට කණ්ඩායම විධිමත් ලෙස පිහිටුවිය හැකි අතර ඒ සම්බන්ධයෙන් තව මඟ පෙන්වීම්ද ශාඛා කාර්යාලය ලබා දෙයි.
සාමාන්‍යයෙන් කණ්ඩායමක් මුලදී සෑම සතියකම පවත්වන රැස්වීම වන්නේ සභා පොත් පාඩමයි. පසුව වැඩිමහල්ලන් ප්‍රසිද්ධ රැස්වීම හා මුරටැඹ පාඩම පැවැත්වීමට අනුමැතිය දිය හැකියි. කණ්ඩායමක පිහිටුවා තිබෙන විදේශීය භාෂාව හොඳින් කතා කළ හැකි වැඩිමහල්ලෙක් හෝ සභා සේවකයෙක් සිටිනවා නම් දිව්‍යාණ්ඩු සේවා පාසැලේ ශිෂ්‍ය කතා රාජ්‍ය ශාලාවේ වෙනම තැනක ඉදිරිපත් කළ හැකියි. එම කණ්ඩායම වෙනුවෙන් ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීමක්ද පිළියෙළ කළ හැකියි. මේ යෝජනා ඕනෑම විදේශීය භාෂාවක් සඳහා අදාළ වේ.
කණ්ඩායමේ සිටින සියලුදෙනාම සේවය කරන්නේ තම කණ්ඩායම බලාගන්නා සභාවේ වැඩිමහල්ලන් දෙන මඟ පෙන්වීම්වලට අනුවයි. එම වැඩිමහල්ලන් සමබර ලෙස යම් මඟ පෙන්වීම් දිය හැකි අතර කණ්ඩායමේ අවශ්‍යතා සපුරාලීම සඳහා මහත් ඕනෑකමින් වැඩ කරයි. චාරිකා අවේක්ෂක කණ්ඩායමට සහයෝගය දක්වන සභාව බැහැදකින විට එම කණ්ඩායම සමඟද ඔහු සේවය කරයි. එය ලබන වර්ධනය ගැනත් එහි තිබෙන අවශ්‍යතා ගැනත් සඳහන් කරමින් ඔහු ශාඛා කාර්යාලයට වාර්තාවක් යවයි. විදේශීය භාෂාවක් කතා කරන ක්ෂේත්රයක සේවය කරන සියලුදෙනාම බයිබලයේ හා සංවිධානය දී තිබෙන මඟ පෙන්වීම් පිළිපඳින විට එයින් යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් වෙයි.—1 කොරි. 1:10; 3:5, 6.
විවිධ භාෂාවලට අයත් ජනයා සිටින ප්‍රදේශයවල සේවය කිරීම
විවිධ භාෂාවලට අයත් ජනයා සිටින ප්‍රදේශවල බලප්‍රදේශ පවරා තිබෙන්නේ ඒ ඒ භාෂාවලට අනුවයි. මේ නිසා එවැනි ප්‍රදේශවල පිහිටි සභාවල සිටින ප්‍රචාරකයන් දේශනා කළ යුත්තේ තමන් සාක්ෂි දරන භාෂාවට අයත් ජනයාටයි. මෙවැනි ප්‍රදේශයක තිබෙන සභාවල සේවා අවේක්ෂකයන් එකතු වී මේ ප්‍රදේශයේ දේශනා සේවය කරන ආකාරය ගැනත් උනන්දුව දක්වන අයව යොමු කළ යුතු යෝග්‍ය සභාව කුමක්ද කියාත් අදාළ සභාවන්ට එකඟ විය හැකි සැලැස්මක් සකස් කළ හැකියි. එවැනි දෙයක් කිරීම අවශ්‍යය වීමට එක් හේතුවක් වන්නේ ඒ ඒ භාෂාවලින් රැස්වීම් පවත්වන සභාවල ප්‍රචාරකයන් එකම ප්‍රදේශයක එකම දවසේ සේවය කිරීම වළක්වාගැනීමට එමගින් හැකි නිසයි. එමෙන්ම අපි සැමවිටම උත්සාහ කරන්නේ “ක්‍රිස්තුස් ගැන ශුභාරංචියට අපගෙන් කිසි බාධාවක් නොවන පිණිස” සේවය කරන්නයි.—1 කොරි. 9:12.
වීදි සාක්ෂි දැරීමේදී හා අවිධිමත් සාක්ෂි දැරීමේදී විවිධ භාෂාවලින් තිබෙන පොත් පත් සඟරා රැගෙන යන්න ප්‍රචාරකයන්ට හැකියි. එහෙත් ගෙයින් ගෙට සේවයේ හවුල් වන විට සාමාන්‍යයෙන් ඔවුන් ගෙවැසියන්ට ඉදිරිපත් කරන්නේ තමන්ගේ සභාවේ කතා කරන භාෂාවෙන් තිබෙන පොත් පත් හා සඟරායි. මෙවැනි ප්‍රදේශවල බලප්‍රදේශ වෙන් කර තිබෙන්නේ ඒ ඒ භාෂාවලට අනුව බව මතක තබාගන්න. මේ නිසා පොත් පත් බෙදාහරින ප්‍රචාරකයන් උනන්දුව දක්වන අයව ඔවුන්ට පහසුවෙන් තේරුම්ගත හැකි හෝ ඔවුන් ප්‍රිය කරන භාෂාවලින් රැස්වීම් පත්වන සභාවලට යොමු කළ හැකියි. (1 කොරි. 14:9) අපි සේවයේ හවුල් වන විට අප අයත් සභාවේ රැස්වීම් පත්වන භාෂාව තේරුම්ගන්න හෝ එයට ප්‍රිය කරන ජනයා කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමෙන් වැඩිදෙනෙකුට ගැලවීමේ මාර්ගයේ ගමන් කිරීමට උපකාර කරන්න අපිට පුළුවන්.
කණ්ඩායම් හැටියට සාක්ෂි දැරීම
ජනයාට ශුභාරංචිය ගැන පැවසීම, දෙවිට කැප වී සිටින සෑම ක්රිස්තියානියෙකුගේම වගකීමයි. මෙය ඉටු කළ හැකි ක්‍රම බොහොමයක් තිබුණත් අපගෙන් බොහෝදෙනෙක් සතුටු වන්නේ අන් අය සමඟ ක්ෂේත්‍ර සේවයේ යෑමයි. (ලූක් 10:1) මේ නිසා සභාවේ ප්‍රචාරකයන් සති අන්තවල මෙන්ම සතියේ දවස්වලද ක්ෂේත්‍ර සේවය සඳහා යම් ස්ථානයකට රැස් වෙනවා. ප්‍රසිද්ධ නිවාඩු දිනවල සහෝදර සහෝදරියන් බොහෝදෙනෙක් රැකියාවට යන්නේ නැති නිසා අන් අය සමඟ දේශනා සේවයේ හවුල් වීමට ඔවුන්ට කදිම ප්‍රස්තාවක් එවැනි දිනවල උදා වෙනවා. ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම් ප්‍රචාරකයන්ට පහසු තැනක සැලසුම් කළ හැකියි. මෙම රැස්වීම් රාජ්‍ය ශාලාවේ හෝ සභා පොත් පාඩම පත්වනු ලබන නිවෙස්වල හෝ වෙනත් පහසු හා යෝග්‍ය තැනක පැවැත්විය හැකියි.
ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම්වලදී අලුත් මෙන්ම අද්දැකීම් අඩු ප්‍රචාරකයන්ට උපකාර කිරීමටද යම් ක්‍රම සැලසුම් කළ හැකියි. ඇතැම් හේතු නිසා සමහර ප්‍රදේශවල ප්‍රචාරකයන් දෙදෙනෙක් හෝ ඊට වැඩි දෙනෙක් එකට සේවය කිරීම සුදුසු විය හැකියි. මෙසේ එකට ක්ෂේත්‍ර සේවයේ හවුල් වන අයට අනිත් කෙනාව දිරිගැන්විය හැකියි. එමෙන්ම සේවයේදී පලදායක යෝජනාද බෙදාගගන්නත් පුළුවන්. සමහරවිට ඔබ තනිවම සේවය කරන්න සැලසුම් කර තිබුණත් කණ්ඩායම සමඟ සිටීමෙන්, එදින සේවයේ පැමිණ සිටින සියලුදෙනාම දිරිගැන්වීමක් ලබයි. එමෙන්ම තවත් සහෝදර සහෝදරියන් සේවයේ නිරත වෙමින් සිටිනවා කියා දැන සිටීමෙන් ඒ ප්‍රදේශයේ සේවය කර ගෙන යන්න ඔබට නිසැකකමක්ද ඇති වෙයි.
යේසුස් සහ ඔහුගේ ගෝලයන් තැබූ ආදර්ශය අනුගමනය කිරීමට අපි සෑම කෙනෙක්ම වෑයම් කරමු. දේවරාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම තරම් අතිවැදගත් කාර්යයක් තවත් නැහැ. අපි හැකි උපරිමයෙන් එම කාර්යයේ නිරත වීමට දරන වෑයම්වලට යෙහෝවා දෙවි ආශීර්වාද කරනවා නිසැකයි.—ලූක් 9:57-62.