ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජූනි 20-25 පි.
  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජීවමාන දෙවියන් ඔයාව ශක්තිමත් කරයි
  • ජීවමාන දෙවියන් ඔයාට ආශීර්වාද කරයි
  • ජීවමාන දෙවියන්ට දිගටම ළං වෙලා ඉන්න
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විශ්වාසවන්ත පුරුෂයන්ගේ අවසන් වදන්වලින් පාඩම්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අපි කවදාවත් තනි වෙන්නේ නැහැ
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාගේ උදව්වෙන් විඳදරාගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජූනි 20-25 පි.

පාඩම් ලිපිය 25

ගීතිකාව 7 යෙහෝවා දෙවි අපේ ශක්තියයි

යෙහෝවා “ජීවමානයි” කියලා මතක තියාගන්න

“යෙහෝවා දෙවි ජීවමානයි.”—ගීතා. 18:46.

ලිපියේ අරමුණ

අපි නමස්කාර කරන දෙවියන් ජීවමානයි කියලා මතක තියාගන්න එකෙන් අපිට ගොඩක් ප්‍රයෝජන ලැබෙනවා.

1. ප්‍රශ්න තිබුණත් දෙවියන්ට සේවේ කරන්න ඔහුගේ සෙනඟට උදව් වෙලා තියෙන්නේ මොකක්ද?

“ඉතා අසීරු, අනතුරු සහිත කාලයක්.” අපි ජීවත් වෙන මේ කාලය බයිබලේ විස්තර කරලා තියෙන්නේ අන්න ඒ විදිහටයි. (2 තිමෝ. 3:1) සාතන්ගේ මේ දුෂ්ට සමාජයේ හැමෝම මූණ දෙන ප්‍රශ්නවලට අමතරව දෙවියන්ගේ සෙනඟ නිසා විරුද්ධවාදිකම්වලටත් අපි මූණ දෙනවා. ඒත් මේ හැම දෙයක්ම මැද්දේ යෙහෝවාට දිගටම නමස්කාර කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? ඒකට ප්‍රධානම හේතුව තමයි යෙහෝවා ‘ජීවමානයි’ කියන දේ අපි අද්දකින එක.—යෙරෙ. 10:10; 2 තිමෝ. 1:12.

2. යෙහෝවා ජීවමානයි කියන්නේ ඇයි?

2 යෙහෝවා කියන්නේ ජීවමාන දෙවි කෙනෙක්. ඔහු අපි මූණ දෙන හැම අභියෝගයක්ම දකිනවා වගේම අපිට උදව් කරන්න අවස්ථා හොයනවා. (2 ලේක. 16:9; ගීතා. 23:4) ඉතින් අපි දෙවියන්ව ජීවමාන කෙනෙක් විදිහට දකිනවා නම් අපේ ඉස්සරහට එන ඕනෑම අභියෝගයක් පරාද කරන්න අපිට පුළුවන්. අපි දැන් බලමු දාවිත් රජ කොහොමද ඒක කළේ කියලා.

3. “යෙහෝවා දෙවි ජීවමානයි” කියලා කියපු එකෙන් දාවිත් අදහස් කළේ මොකක්ද?

3 දාවිත් යෙහෝවා දෙවියන්ව හොඳට දැනන් හිටියා. ඒ වගේම එයා ඔහු මත රඳා හිටියා. සාවුල් ඇතුළු සතුරන් එයා පස්සේ පන්නද්දී දාවිත් යාච්ඤාවෙන් යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. (ගීතා. 18:6) දෙවියන් එයාගේ යාච්ඤාවට ඇහුම්කන් දීලා එයාව ආරක්ෂා කළාට පස්සේ එයා කිව්වා “යෙහෝවා දෙවි ජීවමානයි” කියලා. (ගීතා. 18:46) ඒකෙන් දාවිත් අදහස් කළේ දෙවියන් කියලා කෙනෙක් නිකම්ම ඉන්නවා කියලා විතරක් නෙවෙයි. එක පොතක කියනවා දාවිත් එතන කාවද්දන්න හැදුවේ “තමන්ගේ සෙනඟට උදව් කරන්න ලෑස්ති පිට ඉන්න දෙවියන් සැබෑ කෙනෙක්” කියලා. දාවිත් අද්දැකීමෙන්ම දැනන් හිටියා එයා මූණ දෙන හැම දෙයක්ම යෙහෝවා දකිනවා, ඔහු එයාට උදව් කරන්න ලෑස්තියි කියලා. ඒක දාවිත්ට ලොකු ශක්තියක් වුණා යෙහෝවාට දිගටම සේවේ කරන්න.—ගීතා. 18:28, 29, 49.

4. යෙහෝවාව ජීවමාන කෙනෙක් විදිහට දකින එකෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවාද?

4 යෙහෝවා ජීවමානයි කියලා අපිට ස්ථිර වෙද්දී ඔහුට උද්‍යෝගයෙන් සේවේ කරන්න අපිට පුළුවන්. ඒකෙන් ඕනම පීඩාවක් විඳදරාගන්න ඕන කරන ශක්තිය වගේම යෙහෝවාට උපරිමෙන් සේවේ කරන්න තල්ලුවකුත් ලැබෙනවා. දිගටම යෙහෝවාට ළං වෙලා ඉන්න අපිට තියෙන අධිෂ්ඨානයත් තව වැඩි වෙනවා.

ජීවමාන දෙවියන් ඔයාව ශක්තිමත් කරයි

5. අභියෝගවලට මූණ දෙද්දී අපිට ස්ථිර මොකක් ගැනද? (ෆිලිප්පි 4:13)

5 යෙහෝවා ජීවමානයි කියලත් අභියෝගවලදී ඔහු අපේ උදව්වට ඉන්නවා කියලත් මතක තියාගන්න එක ලොකු, පුංචි ඕනම අභියෝගයක් විඳදරාගන්න අපිට උදව් වෙනවා. අපි කොච්චර ලොකු ප්‍රශ්නෙක හිර වෙලා හිටියත් යෙහෝවාට උදව් කරන්න බැරි ප්‍රශ්න මේ ලෝකේ නැහැ. ඔහු තමයි සියලු බලැති දෙවියන්. ඔහුට පුළුවන් විඳදරාගන්න ඕන බලය අපිට දෙන්න. (ෆිලිප්පි 4:13 කියවන්න.) ඒ නිසා මොන ප්‍රශ්නේ ආවත් අපි සැලෙන්නේ නැහැ. පුංචි පුංචි අභියෝගවලදී යෙහෝවා උදව් කරන විදිහ දකිද්දී ඒක අපිට උදව් වෙනවා ලොකු ප්‍රශ්නවලදී ඔහු අපේ උදව්වට එයි කියන විශ්වාසය වැඩි කරගන්න.

6. යෞවන කාලේදී දාවිත් අද්දැක්ක මොන දේවල් නිසාද එයාට යෙහෝවා ගැන තිබුණ විශ්වාසය වැඩි වුණේ?

6 දාවිත්ගේ හිතේ යෙහෝවා ගැන තිබුණ විශ්වාසය වැඩි වෙන්න බලපාපු සිද්ධි දෙකක් අපි බලමු. දාවිත් යෞවන කාලේ තාත්තාගේ බැටළුවන් බලාගද්දී සැරයක් වලහෙක් ඇවිත් බැටළුවෙක්ව ඩැහැගෙන ගියා. තව සැරයක් සිංහයෙක් ඇවිත් බැටළුවෙක්ව අරන් ගියා. මේ අවස්ථා දෙකේදීම දාවිත් උන් පස්සේ පන්නගෙන ගිහින් බැටළුවන්ව බේරගත්තා. හැබැයි එයා හිතුවේ නැහැ මේ හපන්කම් කරන්න එයාට පුළුවන් වුණේ එයාගේ දක්ෂකම නිසා කියලා. එයා දැනන් හිටියා එයාට උදව් කළේ යෙහෝවා කියලා. (1 සාමු. 17:34-37) දාවිත් කවදාවත් ඒ දේවල් අමතක කළේ නැහැ. ඒවා ගැන කල්පනා කරන්න කරන්න එයාගේ හිතේ ලොකු විශ්වාසයක් ඇති වුණා ජීවමාන දෙවියන් ඉස්සරහටත් එයාට ශක්තිය දෙයි කියලා.

7. දාවිත් බැලුවේ මොනවා දිහාද? ගොලියත් එක්ක සටන් කරන්න ඒක එයාට උදව් වුණේ කොහොමද?

7 යෞවන වයසේ ඉද්දී දවසක් දාවිත් ඊශ්‍රායෙල් හමුදාවේ කඳවුරකට ගියා. ඒ වෙලාවේ එයා දැක්කා ගොලියත් “ඊශ්‍රායෙල් හමුදාවට අභියෝග කරද්දී” සෙබළු බයෙන් වෙවුලන විදිහ. (1 සාමු. 17:10, 11) එයාලා අවධානය දුන්නේ ගොලියත් කියපු දේවල්වලටයි, එයාගේ සද්දන්ත ශරීරෙටයි. (1 සාමු. 17:24, 25) හැබැයි දාවිත් අවධානය දුන්නේ ඒකට නෙවෙයි. ගොලියත් සෙනඟට කරපු අපහාස දාවිත් දැක්කේ ‘ජීවමාන දෙවියන්ට’ විරුද්ධව කරන අපහාසයක් විදිහට. (1 සාමු. 17:26) ඒකෙන් පේනවා දාවිත් දේවල් දිහා බැලුවේ යෙහෝවාගේ පැත්තෙන් කියලා. ඒ කියන්නේ දාවිත්ගේ මනසේ හිටියේ යෙහෝවා. දාවිත්ට ලොකු විශ්වාසයක් තිබ්බා බැටළුවන්ව බලාගද්දී උදව් කරපු යෙහෝවා මේ අවස්ථාවේදීත් එයාව තනි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ විශ්වාසෙන් එයා බය නැතුව ගොලියත් ඉස්සරහට ගියා. අන්තිමට එයා දින්නා.—1 සාමු. 17:45-51.

8. ප්‍රශ්න එද්දී යෙහෝවාව අපේ මනසේ තියාගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

8 දෙවියන් ඕනම වෙලාවක අපේ උදව්වට ඉන්නවා කියලා අපි මනසේ තියාගන්නවා නම් අපිට පුළුවන් ඕනම ප්‍රශ්නයක් මැදින් යන්න. (ගීතා. 118:6) ඒත් ඒ වගේ විශ්වාසයක් ඇති කරගන්න නම් අතීතයේ ඔහු කරපු දේවල් ගැන අපි මතක් කරගන්න ඕනේ. ඔයාට පුළුවන් යෙහෝවා ඔහුගේ සේවකයන්ව ගලවගත්ත විදිහ බයිබලෙන් කියවන්න. (යෙසා. 37:17, 33-37) අදත් ඔහු අපේ සහෝදරයන්ට උදව් කරන විදිහ jw.org එකෙන් බලන්න. ඔයාට පුළුවන් යෙහෝවා ඔයාගේ ජීවිතේ ඔයාට උදව් කරපු විදි ගැනත් මතක් කරගන්න. සමහරවිට ඔයාට හිතෙයි ‘වලහෙක්ගෙන්, සිංහයෙක්ගෙන් බේරුවා වගේ ලොකු ලොකු දේවල් යෙහෝවා මගේ ජීවිතේ කරලා නෑනේ’ කියලා. ලොකු දේවල් කළේ නැතුවට ඔහු ඔයාගේ ජීවිතේ පුරාම ඔයාට උදව් කරලා තියෙනවා. යෙහෝවාත් එක්ක බැඳීමක් ඇති කරගන්න ඔයාව ඔහු ළඟට ඇදලා ගත්තේ ඔහුමයි. (යොහ. 6:44) ඔයා තාමත් සත්‍යයේ ඉන්න එකෙනුත් පේනවා යෙහෝවාගේ උදව් ඔයාට තියෙනවා කියලා. යෙහෝවාගෙන් ඉල්ලන්න ඔහු ඔයාගේ යාච්ඤාවලට උත්තර දීපු විදිහ, හරිම වෙලාවේදී ඔයාගේ උදව්වට ආපු විදිහ, ප්‍රශ්න මැදින් යන්න ඔයාත් එක්කම හිටපු විදිහ මතක් කරගන්න ඔයාට උදව් කරන්න කියලා. ඒවා උදව් වෙයි යෙහෝවා ඔයාත් එක්කම ඉන්නවා කියන විශ්වාසේ තව වැඩි කරගන්න.

සහෝදරයන් දෙන්නෙක් හිරගෙදර ඇඳක ඉඳගෙන කතා කරනවා. එයාලට පිටිපස්සේ තියෙන බිත්තියේ කාඩ්, ලියුම්, චිත්‍ර අලවලා තියෙනවා.

අපි ප්‍රශ්නවලට මූණ දෙන විදිහ යෙහෝවාට බලපානවා (8-9 ඡේද බලන්න)


9. ප්‍රශ්නවලට මූණ දෙද්දී අපි මතක තියාගන්න ඕනෙ මොකක්ද? (හිතෝපදේශ 27:11)

9 යෙහෝවාව ජීවමාන කෙනෙක් විදිහට දකින එක ප්‍රශ්න දිහා හරි විදිහට බලන්න උදව්වක්. මොකද එතකොට අපි වැඩි අවධානයක් දෙන්නේ අපේ ප්‍රශ්නවලට නෙවෙයි විශ්වයේ තියෙන වැදගත්ම ප්‍රශ්නෙට. ඒ කියන්නේ යෙහෝවායි, සාතනුයි අතරේ තියෙන ප්‍රශ්නෙට. සාතන් චෝදනා කරනවා ප්‍රශ්න එද්දී අපි යෙහෝවාව දාලා යයි කියලා. (යෝබ් 1:10, 11; හිතෝපදේශ 27:11 කියවන්න.) අපි ප්‍රශ්නවලට සාර්ථකව මූණ දෙද්දී යෙහෝවාට අපි ආදරෙයි කියලත් සාතන් බොරුකාරයෙක් කියලත් අපි පෙන්නනවා. ඔයා ඉන්නේ සාක්ෂිකරුවන්ට ආණ්ඩුවෙන් පීඩා කරන පැත්තකද? ඔයා ආර්ථික ප්‍රශ්නවලට මූණ දෙනවාද? ඔයාගේ පැත්තේ අය අපේ පණිවිඩේ අහන්නේ නැද්ද? නැත්නම් ඔයා වෙන ප්‍රශ්නෙකට මූණ දෙනවද? එහෙමනම් මතක තියාගන්න ඒ ඕනෑම දෙයක් යෙහෝවාගේ හිත සතුටු කරන්න ඔයාට ලැබෙන අවස්ථාවක් කියලා. යෙහෝවා ඔයාට කවදාවත් දරාගන්න පුළුවන් ප්‍රමාණයට එහායින් දෙයක් වෙන්න ඉඩහරින්නේ නැහැ. (1 කොරි. 10:13) ප්‍රශ්න දරාගන්න ඕන ශක්තිය ඔහු ඔයාට දෙනවාමයි.

ජීවමාන දෙවියන් ඔයාට ආශීර්වාද කරයි

10. ජීවමාන දෙවියන්ට නමස්කාර කරන අය වෙනුවෙන් ඔහු කරන්නේ මොනවාද?

10 යෙහෝවාට නමස්කාර කරන අයට ඔහු ආශීර්වාද කරනවා. (හෙබ්‍රෙ. 11:6) ඔහු සතුටින්, සමාදානයෙන් ජීවත් වෙන්න අපිට අවශ්‍ය දේවල් දැන් දෙනවා. අනාගතේදී සදාකාල ජීවිතෙත් දෙනවා. යෙහෝවා ගැන අපිට සම්පූර්ණයෙන්ම විශ්වාසේ තියන්න පුළුවන්. අපි දන්නවා අපිට ආශීර්වාද කරන්න ඔහුට ආසාවක් වගේම බලයක් තියෙනවා කියලා. ඒක දැනන් ඉන්න එක අපිව පොලඹවනවා ඔහු වෙනුවෙන් අපේ උපරිමය කරන්න. අතීතයේ හිටපු අයත් එහෙම කළා. ඒ වගේ කෙනෙක් තමයි තිමෝති.—හෙබ්‍රෙ. 6:10-12.

11. මහන්සි වෙලා සභාව වෙනුවෙන් සේවේ කරන්න තිමෝති පෙලඹුණේ ඇයි? (1 තිමෝති 4:10)

11 1 තිමෝති 4:10 කියවන්න. එයා කරන දේවල්වලට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා තිමෝති විශ්වාස කළා. ඒ නිසයි යෙහෝවා වෙනුවෙන්, අනිත් අය වෙනුවෙන් එයා මහන්සි වුණේ. පාවුල් එයාට කිව්වා සේවේදීත් සභාවේදීත් හොඳ ගුරුවරයෙක් විදිහට දියුණු වෙන්න කියලා. සභාවේ හිටපු යෞවනයන්ට, වැඩිහිටියන්ට හොඳ ආදර්ශයක් වෙන්න කියලත් පාවුල් එයාව දිරිගැන්නුවා. එයාට අමාරු පැවරුමුත් ලැබුණා. ඒ පැවරුම්වලට කෙළින් ඒත් ආදරෙන් උපදෙස් දෙන එකත් ඇතුළත්. (1 තිමෝ. 4:11-16; 2 තිමෝ. 4:1-5) සමහරවිට තිමෝති මහන්සි වෙලා කරපු දේවල් අනිත් අය දකින්න නැතුව ඇති. හැබැයි එයා දැනන් හිටියා ඒක යෙහෝවා දකිනවා, ඔහු එයාට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා කියලා.—රෝම 2:6, 7.

12. මහන්සි වෙලා සේවේ කරන්න වැඩිමහල්ලන් පෙලඹෙන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)

12 අදත් වැඩිමහල්ලන් මහන්සි වෙලා සේවේ කරනවා. එයාලා දන්නවා යෙහෝවා ඒ හැම දෙයක්ම දකිනවා, ඔහුට ඒවා ගොඩක් වටිනවා කියලා. වැඩිමහල්ලන් සභාවේ අයව බලන්න ගිහින් එයාලව දිරිගන්නනවා. එයාලට උගන්නනවා. සේවේ යනවා. එයාලා ඉදි කිරීම් ව්‍යාපෘතිවලත් සහන සේවා වැඩවලටත් හවුල් වෙනවා. තවත් අය රෝහල් සබඳතා කමිටුවල, රෝගීන් බලන්න යන කණ්ඩායම්වල සේවේ කරනවා. ඒ වගේ සැලසුම් එයාලා දකින්නේ මිනිස්සු ඇති කරපු දේවල් විදිහට නෙවෙයි, යෙහෝවාගේ සැලසුම් විදිහට. ඒකයි එයාලා එයාලාගේ උපරිමය ඒ වැඩවලට දෙන්නේ. මොකද ඒ මහන්සියට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි කියලා එයාලාගේ හිත් කොනකවත් සැකයක් නැහැ.—කොලො. 3:23, 24.

වැඩිමහල්ලන් දෙන්නෙක් රෑ වීඩියෝ කොන්ෆරන්ස් හරහා සහෝදරියක්ව දිරිගන්වනවා. එක වැඩිමහල්ලෙක් එයාට බයිබල් පදයක් පෙන්නනවා. ඒ වැඩිමහල්ලා ඉස්සරහා තියෙන බිත්තියේ හැම දවසකම කරන්න තියෙන වැඩ ලකුණු කරලා තියෙන කැලැන්ඩරයක් සහ ඉදි කිරීම්වලදී පාවිච්චි කරන ඇඳුම් කට්ටලයක් එල්ලලා තියෙනවා.

සභාව වෙනුවෙන් කරන සේවේට ජීවමාන දෙවියන් ඔයාට ආශීර්වාද කරනවා (12-13 ඡේද බලන්න)


13. අපි යෙහෝවා වෙනුවෙන් කරන දේවල් ගැන ඔහුට හැඟෙන්නේ කොහොමද?

13 අපි හැමෝටම වැඩිමහල්ලන් වෙන්න බැහැ. හැබැයි අපි හැමෝටම යෙහෝවා වෙනුවෙන් දෙයක් දෙන්න පුළුවන්. අපි ඔහුගේ හිත සතුටු කරන්න උපරිමය කරද්දී ඔහු ඒක ගොඩක් අගය කරනවා. ඔයා ලෝක ව්‍යාප්ත සේවේ වෙනුවෙන් කරන සම්මාදම් ඔහු දකිනවා. ඒක කොච්චර පොඩි ගාණක් වුණත් යෙහෝවාට ඒක වටිනවා. සමහරවිට ඔයා ටිකක් ලැජ්ජ කෙනෙක් වෙන්න ඇති. ඒත් අමාරුවෙන් හරි රැස්වීමේදී අත උස්සලා අදහස් දෙද්දී යෙහෝවා ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපේ හිත රිද්දන අයට අපි සමාව දෙද්දීත් ඔහු සතුටු වෙනවා. ඔයාට හිතෙනවා ඇති හිතේ හැටියට යෙහෝවා වෙනුවෙන් සේවේ කරගන්න බැහැ කියලා. හැබැයි කරන ටික ඔහුට ගොඩක් වටිනවා. යෙහෝවා ඔයාට ගොඩක් ආදරෙයි. ඔහු අනිවාර්යයෙන්ම ඔයා කරන දේවල්වලට ආශීර්වාද කරනවා.—ලූක් 21:1-4.

ජීවමාන දෙවියන්ට දිගටම ළං වෙලා ඉන්න

14. යෙහෝවාට ළං වෙලා ඉන්න එක ඔහුට විශ්වාසවන්තව ඉන්න උදව් වෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

14 දෙවියන් අපිට සැබෑ කෙනෙක් නම් ඔහුට විශ්වාසවන්තව ඉන්න අපිට ලේසියි. ඒක යෝසෙප්ගේ ජීවිතෙන් පේනවා. අයුතු යෝජනාවක් එද්දී යෝසෙප්ට කෙළින්ම ඒකට “බැහැ” කියලා කියන්න පුළුවන් වුණේ එයාට යෙහෝවා සැබෑ කෙනෙක් වුණ නිසයි. එයා කැමැති වුණේ නැහැ යෙහෝවාගේ හිත රිද්දන්න. (උත්. 39:9) අපිටත් යෙහෝවා සැබෑ කෙනෙක් වෙන්න නම් අපි ඔහුට යාච්ඤා කරන්න, ඔහුගේ වචනේ අධ්‍යයනය කරන්න කාලේ ගන්න ඕනේ. එතකොට ඔහුත් එක්ක තියෙන අපේ බැඳීම ටික ටික වැඩි වෙනවා. යෝසෙප්ට වගේ අපිටත් යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියෙනවා නම් අපි කවදාවත් ඔහුගේ හිතට දුකක් දෙන්නේ නැහැ.—යාකො. 4:8.

පන්තියේ ළමයි ෆෝන් එකකින් දෙයක් බලද්දී යෞවන සහෝදරයෙක් එතනින් අයින් වෙලා යනවා.

ජීවමාන දෙවියන්ට ළං වෙලා ඉන්න එක විශ්වාසවන්තව ඉන්න ඔයාට උදව්වක් (14-15 ඡේද බලන්න)


15. ඊශ්‍රායෙල්වරුන්ට වුණ දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (හෙබ්‍රෙව් 3:12)

15 යෙහෝවා ජීවමාන, සැබෑ දෙවියන් කියලා අමතක කළොත් අපිව හරිම ලේසියෙන් ඔහුගෙන් ඈතට ගහගෙන යන්න පුළුවන්. පාළුකරයේදී ඊශ්‍රායෙල්වරුන්ට වෙච්ච දේ බලන්න. එයාලා දැනන් හිටියා යෙහෝවා ඉන්නවා කියලා. හැබැයි ඔහු එයාලව බලාගනියිද, එයාලට ඕන දේවල් දෙයිද කියලා එයාලා සැක කරන්න පටන්ගත්තා. ඒකයි එයාලා ඇහුවේ “යෙහෝවා දෙවි ඇත්තටම අප අතරේ ඉන්නවාද” කියලා. (නික්. 17:2, 7) ඒ සැකේ නිසා එයාලා දෙවියන්ට විරුද්ධව කැරලිගහන තත්වයට වැටුණා. එයාලාගේ අවාදර්ශය අපිට අනතුරු ඇඟවීමක්. අපි කාටවත් ඕනෙ නැහැ එයාලා වගේ වෙන්න.—හෙබ්‍රෙව් 3:12 කියවන්න.

16. අපේ විශ්වාසය සෝදිසියට ලක් වෙන්න පුළුවන් කොහොමද?

16 යෙහෝවාට දිගටම ළං වෙලා ඉන්න මේ ලෝකෙන් එන බලපෑම අපිට බාධාවක් වෙන්න පුළුවන්. මොකද හුඟදෙනෙක් දෙවි කෙනෙක් ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් කියන දේවල් සත පහකට ගණන් ගන්නේ නැති අය සතුටින් ඉන්නවා වගේ පේනවා. ඒවා දකිද්දී අපේ විශ්වාසෙත් හෙල්ලෙන්න පුළුවන්. අපි කවදාවත් යෙහෝවා නැහැ කියලා කියන්නේ නැහැ. ඒත් ඔහු අපිට උදව් කරනවාද කියලා සැක හිතෙන්න පුළුවන්. 73වෙනි ගීතිකාව ලියපු කෙනාටත් එහෙම වුණා. එයා දැක්කා දෙවියන්ගේ නීතිය පිළිපදින්නේ නැති අය කරදරයක් නැතුව ඉන්න විදිහ. ඒ නිසා එයාට සැකයක් ඇති වුණා යෙහෝවාට සේවේ කරන එකෙන් වැඩක් තියෙනවාද කියලා.—ගීතා. 73:11-13.

17. යෙහෝවාට දිගටම ළං වෙලා ඉන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

17 ගීතිකාකරුට එයා හිතන විදිහ වෙනස් කරගන්න උදව් වුණේ මොකක්ද? එයා යෙහෝවාව අමතක කරපු අයට වෙන දේ ගැන කල්පනා කළා. (ගීතා. 73:18, 19, 27) දෙවියන්ට සේවේ කරන එකෙන් ලැබෙන ප්‍රයෝජන ගැනත් එයා හිතුවා. (ගීතා. 73:24) ඉතින් අපිටත් පුළුවන් යෙහෝවා අපිට කොච්චර ආශීර්වාද කරලා තියෙනවාද කියලා හිතන්න. දෙවියන්ට සේවේ කළේ නැත්නම් අපේ ජීවිත මොන වගේ වෙයිද කියලා හිතන්නත් අපිට පුළුවන්. එහෙම කරනවා නම් අපි යෙහෝවාට දිගටම විශ්වාසවන්තව ඉඳියි. එතකොට ගීතිකාකරු වගේ අපිත් කියයි “දෙවිට ළං වී සිටීම මට යහපතකි” කියලා.—ගීතා. 73:28.

18. අනාගතේ ගැන අපි බය වෙන්න ඕන නැත්තේ ඇයි?

18 අපි මහන්සි වෙලා සේවේ කරන්නේ ‘ජීවමාන, සැබෑ දෙවි කෙනෙක් වෙනුවෙන්.’ (1 තෙස. 1:9) ඒ නිසා මේ අන්තිම කාලේ මොන අභියෝග ආවත් අපිට පුළුවන් ඒවා සාර්ථකව ජය ගන්න. අපේ දෙවි සැබෑ කෙනෙක් නිසා ඔහුගේ සෙනඟට උදව් කරන්න ඔහු ඕනෑම වෙලාවක ලෑස්තියි. ඔහු අතීතයේදීත් ඔහුගේ සෙනඟ එක්ක හිටියා. දැනුත් ඉන්නවා. ළඟදීම අපි මහත් පීඩාවකට මූණ දෙනවා. හැබැයි අපි තනි වෙන්නේ නැහැ. එදාටත් යෙහෝවා අපේ උදව්වට ඉන්නවා. (යෙසා. 41:10) ඒ නිසා බය නැතුව අපිටත් පුළුවන් මෙහෙම කියන්න. “මට උපකාර කරන්නේ යෙහෝවා දෙවිය. මම බිය නොවන්නෙමි.”—හෙබ්‍රෙ. 13:5, 6.

යෙහෝවා “ජීවමාන දෙවි” කියලා මතක තියාගන්න එක . . .

  • ඔයාව ශක්තිමත් කරන්නේ කොහොමද?

  • ස්ථිරව ඉන්න උදව් වෙන්නේ කොහොමද?

  • ඔහුට ළං වෙලා ඉන්න උදව් වෙන්නේ කොහොමද?

ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න