පාඩම් ලිපිය 32
ගීතිකාව 38 දෙවි වේ ඔබේ සවිය
යෙහෝවාගේ උදව්වෙන් විඳදරාගන්න
‘හැම අතින්ම මහත් කරුණාවක් පෙන්නන දෙවියන් ඔයාලව ශක්තිමත් කරයි. විශ්වාසවන්තව ඉන්නත් නොසැලී ඉන්නත් ඔහු ඔයාලට උදව් කරයි.’—1 පේතෘ. 5:10.
ලිපියේ අරමුණ
විඳදරාගන්න යෙහෝවා අපිට උදව් කරන විදි ගැනත් ඒවායින් ප්‍රයෝජන ගන්න අපිට පුළුවන් කොහොමද කියලත් අපි බලමු.
1. අපි විඳදරාගන්න ඕනෙ ඇයි? විඳදරාගන්න අපිට උදව් කරන්නේ කවුද? (1 පේතෘස් 5:10)
මේ අමාරු, අන්තිම දවස්වල යෙහෝවාගේ සෙනඟට විඳදරාගන්න සිද්ධ වෙනවා. සමහරු කාලයක් තිස්සේ බරපතළ අසනීපයක් එක්ක පොරබදිනවා. තවත් අයට ආදරේ කරන කෙනෙක්ගේ වියෝව දරාගන්න වෙලා තියෙනවා. තවත් සමහරුන්ට පවුලේ අයගෙන්, බලධාරීන්ගෙන් විරුද්ධවාදිකම් එනවා. (මතෙ. 10:18, 36, 37) ඔයා මේ වෙලාවේ මොන ප්‍රශ්න මැද හිටියත් ඒක දරාගන්න ඔයාට උදව් කරන්න යෙහෝවාට පුළුවන්.—1 පේතෘස් 5:10 කියවන්න.
2. අපිට විඳදරාගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඇයි?
2 විඳදරාගන්න කෙනෙක් විරුද්ධවාදිකම්, පීඩා, ප්‍රශ්න, වැරදි පෙලඹීම් ආවත් නොසැලී, විශ්වාසවන්තව ඉන්නවා. බලාපොරොත්තුව ශක්තිමත්ව තියාගන්නවා. ක්‍රිස්තියානීන් විදිහට අපි විඳදරාගන්නේ අපේම ශක්තියෙන් නෙවෙයි. “මිනිස්සුන්ගේ ශක්තියෙන් ලබාගන්න බැරි බලයක්” දෙන යෙහෝවා දෙවියන්ගේ ශක්තියෙන්. (2 කොරි. 4:7) ඉතින් අපි මේ ලිපියෙන් බලමු යෙහෝවා අපිට විඳදරාගන්න උදව් කරන විදි හතරක් ගැන. ඒවායින් ප්‍රයෝජන ගන්න අපිට කරන්න පුළුවන් දේවල් ගැනත් අපි බලමු.
යාච්ඤාව
3. යාච්ඤාව ආශ්චර්යයක් කියන්නේ ඇයි?
3 විඳදරාගන්න උදව් කරන්න යෙහෝවා අපිට පුදුමාකාර දෙයක් දීලා තියෙනවා. අපි පව්කාරයන් වුණත් අපිට අවස්ථාව තියෙනවා යෙහෝවාත් එක්ක කතා කරන්න. ඒ වගේම ඔහු අපිට ඇහුම්කන් දෙනවා. (හෙබ්‍රෙ. 4:16) ඕනම වෙලාවක, ඕනම දෙයක් ගැන යෙහෝවාට යාච්ඤා කරන්න අපිට පුළුවන්. අපි මොන භාෂාවෙන්, කොහේ ඉඳන් යාච්ඤා කළත් අපි තනි වෙලා හිටියත් හිරේ හිටියත් අපිට ඇහුම්කන් දෙන්න ඔහුට පුළුවන්. (යෝනා 2:1, 2; ක්‍රියා 16:25, 26) සමහර වෙලාවට පීඩනය නිසා අපිට දැනෙන විදිහ කියාගන්න වචන එන්නෙත් නැහැ. හැබැයි ඒ වගේ වෙලාවටත් අපි කියන්න හදන දේ ඔහු තේරුම්ගන්නවා. (රෝම 8:26, 27) යාච්ඤාව කියන්නේ ඇත්තටම ආශ්චර්යයක්!
4. විඳදරාගන්න උදව් ඉල්ලලා අපි කරන යාච්ඤා දෙවියන්ගේ කැමැත්තට එකඟයි කියන්නේ ඇයි?
4 බයිබලේ කියනවා “දෙවියන්ගේ කැමැත්තට එකඟව අපි දෙයක් ඉල්ලලා යාච්ඤා කළොත් ඔහු අනිවාර්යයෙන්ම අපිට ඇහුම්කන් දෙනවා” කියලා. (1 යොහ. 5:14) ඉතින් විඳදරාගන්න අපිට යෙහෝවාගේ උදව් ඉල්ලන්න පුළුවන්ද? ඔව්! ඒක දෙවියන්ගේ කැමැත්තට එකඟයි. ඇයි අපි එහෙම කියන්නේ? අපි විඳදරාගද්දී දෙවියන්ට නින්දා කරන සාතන්ට උත්තරයක් දෙන්න දෙවියන්ට පුළුවන්. (හිතෝ. 27:11) අනිත් අතට බයිබලේ කියනවා “මුළු හදවතින්ම ඔහුට ළැදි අය වෙනුවෙන් ඉදිරිපත් වෙලා එයාලට උදව් කරන්න” යෙහෝවා ආසාවෙන් ඉන්නවා කියලා. (2 ලේක. 16:9) ඒ නිසා අපිට ස්ථිරයි අපිට විඳදරාගන්න උදව් කරන්න යෙහෝවාට බලය වගේම ආසාවත් තියෙනවා කියලා.—යෙසා. 30:18; 41:10; ලූක් 11:13.
5. යාච්ඤා කරද්දී අපිට සහනයක් ලැබෙන්නේ කොහොමද? (යෙසායා 26:3)
5 බයිබලේ කියනවා අපි ඕනෑකමින් යෙහෝවාට යාච්ඤා කරද්දී ‘කිසිම මනුස්සයෙක්ට තේරුම්ගන්න බැරි සමාදානයක්’ දෙවියන් අපිට දෙයි, ‘ඒ සමාදානය අපේ හදවතයි, සිතුවිලියි ආරක්ෂා කරයි’ කියලා. (ෆිලි. 4:7) දෙවියන්ට නමස්කාර නොකරන අයත් ප්‍රශ්නවලට මූණ දෙනවා. එයාලා මනසේ සමාදානය අද්දකින්න එක එක විදිහේ දේවල් කරනවා. උදාහරණෙකට සමහරු මනස හිස් කරගන්න හිතාගෙන භාවනා කරනවා. මනස එහෙම හිස් කරගන්න එක භයානකයි. (මතෙ. 12:43-45) ඇත්තටම ඒ වගේ භාවනා ක්‍රමවලින් යම් සහනයක් ලැබුණත් ඒ සහනය යෙහෝවාට යාච්ඤා කරද්දී ලැබෙන සහනය අහළකින්වත් තියන්න බැහැ. අපි යාච්ඤා කරද්දී යෙහෝවා මත සම්පූර්ණයෙන්ම රැඳිලා ඉන්න නිසා ඔහු “නිමක් නැති සමාදානයක්” අපිට දෙනවා. (යෙසායා 26:3 කියවන්න.) ඔහු ඒක කරන එක විදිහක් තමයි අපේ හිත සැනසෙන බයිබල් පද අපිට මතක් කරලා දෙන එක. ඒ බයිබල් පද අපිට උදව් වෙනවා යෙහෝවා අපි ගැන හිතනවා, ඔහුට ඕනෙ අපි මේ ප්‍රශ්නෙන් කොහොමහරි ගොඩ එනවා දකින්නයි කියලා තේරුම්ගන්න. ඒක ඇත්තටම අපිට සහනයක්.—ගීතා. 62:1, 2.
6. ඔයාගේ යාච්ඤා තව අර්ථවත් කරගන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
6 ඔයාට කරන්න පුළුවන් දේ. ඔයා ප්‍රශ්නෙක ඉද්දී ඔයාගේ “හිතේ තියෙන හැම බරක්ම යෙහෝවාට භාර දෙන්න.” සමාදානය දෙන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. (ගීතා. 55:22) හරි තීරණ ගන්න ප්‍රඥාව ඉල්ලන්න. (හිතෝ. 2:10, 11) විඳදරාගන්න ඔහුගෙන් උදව් ඉල්ලනවා වගේම ඔහුට ස්තුති කරන්නත් අමතක කරන්න එපා. (ෆිලි. 4:6) හැම දවසකම යෙහෝවා ඔයාට විඳදරාගන්න උදව් කරන පුංචි පුංචි විදි වුණත් අඳුරගන්න උත්සාහ කරන්න. ඒවාට ඔහුට ස්තුති කරන්න. දැනටමත් ඔයාට යෙහෝවාගෙන් ලැබිලා තියෙන ආශීර්වාද ප්‍රශ්නවලින් වැහෙන්න දෙන්න එපා.—ගීතා. 16:5, 6.
යාච්ඤා කරද්දී ඔයා යෙහෝවාට කතා කරනවා. බයිබලේ කියවද්දී යෙහෝවා ඔයාට කතා කරනවා (6 ඡේදය බලන්න)b
දෙවියන්ගේ වචනය
7. බයිබලේ අධ්‍යයනය කරන එක විඳදරාගන්න උදව් වෙන්නේ කොහොමද?
7 විඳදරාගන්න උදව් කරන්න යෙහෝවා අපිට ඔහුගේ වචනය දීලා තියෙනවා. යෙහෝවා අපිට උදව් කරනවා කියලා සහතික කරන්න බයිබලේ ඕන තරම් පද තියෙනවා. එක උදාහරණයක් බලමු. මතෙව් 6:8 කියනවා “දෙයක් ඉල්ලන්නත් කලින් ඔයාලට ඕනෙ මොනවාද කියලා ඔයාලාගේ පියාණන් දන්නවා” කියලා. මේ වචන කිව්වේ යේසුස්. යේසුස් තරම් යෙහෝවා ගැන දන්න වෙන කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා අපිට ස්ථිරයි අමාරු දේකට මූණ දීලා ඉද්දී අපිට ඕනෙ මොනවාද කියලා යෙහෝවා දන්නවා වගේම ඔහු අපිට අනිවාර්යයෙන්ම උදව් කරනවා කියලා. අපි අමාරු දේවලට මූණ දෙද්දී අපිව ශක්තිමත් කරන්න උදව් වෙන ඒ වගේ බයිබල් පදවලින් බයිබලේ පිරිලා.—ගීතා. 94:19.
8. (අ) විඳදරාගන්න උදව් වෙන බයිබලේ තියෙන උපදෙසක් කියන්න. (ආ) ඕනම කරන වෙලාවලදී බයිබල් ප්‍රතිපත්ති මතක් වෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
8 බයිබලේ තියෙන උපදෙස්වලට පුළුවන් විඳදරාගන්න අපිට උදව් කරන්න. ඒවායින් හොඳ තීරණ ගන්න අපිට ඕන කරන ප්‍රඥාව ලැබෙනවා. (හිතෝ. 2:6, 7) උදාහරණෙකට බයිබලේ අපිව දිරිගන්නනවා හෙට දවසේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් දේවල් ගැන හිතහිත කරදර වෙන්න එපා කියලා. (මතෙ. 6:34) ඉතින් අපි පුරුද්දක් විදිහට බයිබලේ කියවලා ඒ ගැන හිතනවා නම් අපිට ඕනම කරන උපදෙස ඕනම කරන වෙලාවේ මතක් වෙයි.
9. යෙහෝවා අපිට උදව් කරනවා කියන විශ්වාසේ ශක්තිමත් කරගන්න බයිබලේ තියෙන සිද්ධීන් උදව් වෙන්නේ කොහොමද?
9 යෙහෝවා ගැන විශ්වාසේ තියපු, ඔහුගෙන් උදව් ලබපු අපි වගේම සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත කතා ගැන බයිබලේ තියෙනවා. (හෙබ්‍රෙ. 11:32-34; යාකො. 5:17) යෙහෝවා “අපේ රැකවරණය. අපේ ශක්තිය. දුක් කරදරවලදී අපිට උදව් කරන්න ඔහු ඕනෙම වෙලාවක සූදානමින් ඉන්නවා” කියන විශ්වාසේ ඒ වාර්තා කියවද්දී තව ශක්තිමත් වෙනවා. (ගීතා. 46:1) අතීතයේ හිටපු දෙවියන්ගේ සේවකයන් පීඩා මැදත් දෙවියන්ට විශ්වාසවන්තව හිටපු විදිහ ගැන හිතද්දී එයාලා වගේ විශ්වාසවන්තව ඉන්න, විඳදරාගන්න අපිත් පෙලඹෙනවා.—යාකො. 5:10, 11.
10. බයිබලෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාට පුළුවන් කොහොමද?
10 ඔයාට කරන්න පුළුවන් දේ. හැමදාම බයිබලේ කියවන්න. ඔයාට උදව් වෙන බයිබල් පදවල ලිස්ට් එකක් හදාගන්න. හැමදාම උදේට බයිබලේ තියෙන දෙයක් මනසට දාගන්න දිනපදේ හුඟක් අයට උදව් වෙලා තියෙනවා. සහෝදරි මාරිa දැනගත්තා එයාගේ අම්මාටයි, තාත්තාටයි දෙන්නාටම පිළිකා තියෙනවා කියලා. එයාලව බලාගත්ත අන්තිම මාස කීපයේ විඳදරාගන්න එයාට උදව් වුණ දේ ගැන එයා මෙහෙම කියනවා. “හැමදාම මං දිනපදේ කියවලා ඒ ගැන හොඳට හිතුවා. ඒක පුරුද්දක් විදිහට කරද්දී බයිබලේ තියෙන දේකින් හැමදාම මනස පුරෝගන්න මට පුළුවන් වුණා. ඒක මට උදව් වුණා මගේ ප්‍රශ්න ගැනම හිතහිත ඉන්නවාට වඩා යෙහෝවා ගැන, ඔහු දීලා තියෙන පොරොන්දු ගැන හිතන්න.”—ගීතා. 61:2.
සහෝදර සහෝදරියන්
11. ප්‍රශ්න විඳදරාගද්දී අපි තනි වෙලා නැහැ කියලා දැනන් ඉන්න එක අපිට හයියක් කියන්නේ ඇයි?
11 විඳදරාගන්න උදව් කරන්න යෙහෝවා අපේ සහෝදර සහෝදරියන්වත් දීලා තියෙනවා. ‘ලෝකේ පුරාම ඉන්න අපේ සහෝදර සහෝදරියන් අපි මූණ දෙන දුක් පීඩාවලටම මූණ දෙනවා කියලා අපි දන්නවා.’ ඒ නිසා අපිට සහතිකයි අපි තනි වෙලා නැහැ කියලා. (1 පේතෘ. 5:9) අපි මොන ප්‍රශ්නෙට මූණ දුන්නත් ඒ වගේම ප්‍රශ්නවලට අපේ සහෝදර සහෝදරියනුත් මූණ දීලා ඒවා විඳදරාගෙන තියෙනවා කියලා අපි දන්නවා. ඒ කියන්නේ අපිටත් පුළුවන් ඒවා විඳදරාගන්න.—ක්‍රියා 14:22.
12. අපිට උදව් කරන්න අනිත් අයට පුළුවන් කොහොමද? අපිට අනිත් අය වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද? (2 කොරින්ති 1:3, 4)
12 විඳදරාගන්න අපිට ශක්තියක් වෙන්න අපේ සහෝදර සහෝදරියන්ට පුළුවන්. පාවුලුත් ඒක අද්දැක්කා. නිවාස අඩස්සියේ ඉද්දී සහෝදරයන් පාවුල්ව සැනසුවා, දිරිගැන්නුවා. එයාට ඕන කරන උදව් දුන්නා. ඒ නිසා පාවුල් එයාගේ ලියුම්වල එහෙම උදව් කරපු අයගේ නම් සඳහන් කරලා එයාලව අගය කළා. (ෆිලි. 2:25, 29, 30; කොලො. 4:10, 11) අදත් ඒ වගේමයි. අපිට විඳදරාගන්න උදව් ඕන වෙද්දී අපේ සහෝදර සහෝදරියන් අපි වෙනුවෙන් ඉන්නවා. එයාලට අපේ උදව් ඕන වෙද්දී අපි එයාලා වෙනුවෙන් ඉන්නවා.—2 කොරින්ති 1:3, 4 කියවන්න.
13. විඳදරාගන්න මායාට උදව් වුණේ මොකක්ද?
13 රුසියාවේ ඉන්න සහෝදරි මායාට සහෝදර සහෝදරියන්ගේ දිරිගැන්වීම් ලොකු ශක්තියක් වුණා. 2020දී නිලධාරීන් එයාගේ ගේ සෝදිසි කළා. එයා විශ්වාසයන් ගැන අනිත් අයත් එක්ක කතා කරපු නිසා එයාව උසාවිය ඉස්සරහටත් ගෙනිච්චා. මායා මෙහෙම කියනවා. “සිද්ධ වෙච්ච දේවල් නිසා මං හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. සහෝදර සහෝදරියන් හැම තිස්සේම වගේ කෝල් කරලා, ලියුම් එවලා මට ගොඩක් ආදරෙයි කියලා කිව්වා. මං කොහොමත් දැනං හිටියා මට ආදරණීය පවුලක් ඉන්නවා කියලා. හැබැයි 2020න් පස්සේ තමයි මට ඒක හොඳටම තේරුණේ.”
14. සහෝදරයන්ගෙන් ලැබෙන උදව්වලින් ප්‍රයෝජන ගන්න අපි කරන්න ඕනෙ මොනවාද? (පින්තූරයත් බලන්න.)
14 ඔයාට කරන්න පුළුවන් දේ. විඳදරාගන්න අතරේ දිගටම සහෝදර සහෝදරියන්ට ළං වෙලා ඉන්න. වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්න අදිමදි කරන්නත් එපා. මොකද එයාලා “සුළඟින් මුවා වෙන්න ස්ථානයක් වගෙත් කුණාටුවෙන් සැඟවෙන්න පුළුවන් රක්ෂස්ථානයක් වගෙත් වෙයි.” (යෙසා. 32:2, පාදසටහන) මතක තියාගන්න අනිත් අයත් ඔයා වගේම ප්‍රශ්න මැද විඳදරාගන්නවා. ඒ නිසා උදව්වක් ඕන කෙනෙක් දැක්කොත් ඉක්මනටම ඒ උදව්ව කරන්න. ප්‍රශ්න මැද සතුටින් ඉන්නත් ඔයාගේ ප්‍රශ්න ගැන ඕනෑවට වඩා හිතන්නේ නැතුව ඉන්නත් ඒක ඔයාට උදව් වෙයි.—ක්‍රියා 20:35.
සහෝදර සහෝදරියන්ට ළං වෙලා ඉන්න (14 ඡේදය බලන්න)c
අපේ බලාපොරොත්තුව
15. යේසුස්ට බලාපොරොත්තුව උදව් වුණේ කොහොමද? බලාපොරොත්තුව අපිට උදව් වෙන්නේ කොහොමද? (හෙබ්‍රෙව් 12:2)
15 විඳදරාගන්න උදව් කරන්න යෙහෝවා අපිට බලාපොරොත්තුවක් දීලා තියෙනවා. (රෝම 15:13) යේසුස් මේ පොළොවේ ගත කරපු අමාරුම දවසේ විඳදරාගන්න ඔහුට බලාපොරොත්තුව උදව් වුණ විදිහ ගැන හිතන්න. (හෙබ්‍රෙව් 12:2 කියවන්න.) යේසුස් දැනන් හිටියා යෙහෝවාගේ නමට වෙලා තියෙන කැළල අයින් කරන්න ඔහුගේ විශ්වාසවන්තකම උදව් වෙනවා කියලා. යේසුස් බලන් හිටියේ ආයෙත් ස්වර්ගෙට ගිහින් ඔහුගේ තාත්තාත් එක්ක සතුටු වෙන දවස දිහා. ඒ වගේම දේවරාජ්‍යයේ රජ විදිහට ඔහුගේ සහෝදරයන් එක්ක පාලනය කරන දවස දිහා. ඒ වගේ අපිටත් පාරාදීසේ සදහටම ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තුව උදව් වෙනවා සාතන්ගේ මේ ලෝකේ අමාරුකම් දරාගන්න.
16. බලාපොරොත්තුව එක සහෝදරියකට උදව් වුණේ කොහොමද? එයා කියපු දෙයින් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
16 රුසියාවේ ඉන්න සහෝදරි ආලාට බලාපොරොත්තුව උදව් වුණ විදිහ ගැන දැන් අපි බලමු. එයාගේ මහත්තයාව අත්අඩංගුවට අරන් රඳවලා තියාගත්තා. ආලා මෙහෙම කියනවා. “මං බලාපොරොත්තුව ගැන නිතරම යාච්ඤා කළා. ඒ ගැන හිතුවා. ඒක මට උදව් වුණා වැටෙන්නේ නැතුව ඉන්න. මට තේරුණා මේක අන්තිමේ නෙවෙයි, යෙහෝවා අනිවාර්යයෙන්ම දිනනවා. යෙහෝවා දිනනවා කියන්නේ අපිත් දිනනවා.”
17. යෙහෝවා දීලා තියෙන බලාපොරොත්තුව ගැන අපිට ලොකු අගයක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)
17 ඔයාට කරන්න පුළුවන් දේ. යෙහෝවා ඔයා වෙනුවෙන් දෙන්න ලෑස්ති කරලා තියෙන ලස්සන අනාගතේ ගැන හිතන්න කාලේ ගන්න. ඒ අලුත් පොළොවේදී යෙහෝවා දෙන ආශීර්වාද හිතින් මවාගන්න. ඒවාත් එක්ක බලද්දී අද අපි අද්දකින දේවල් ‘එච්චර ලොකු දේවල් නෙවෙයි.’ අනික “ඒවා තියෙන්නෙත් කෙටි කාලෙකට විතරයි.” (2 කොරි. 4:17) ඔයාගේ විශ්වාසයන් ගැන අනිත් අයට කියන්නත් ඔයාට පුළුවන්. යෙහෝවාට නමස්කාර නොකරන අය ගැන හිතන්න. අනාගතේ ගැන යෙහෝවා පොරොන්දු වෙලා තියෙන දේවල් ගැන එයාලා දන්නේ නැහැ. ඒ නිසා එයාලාගේ ජීවිත කොච්චර අමාරු ඇද්ද? පුංචි කතාබහකින් වුණත් දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුවක් එයාලාගේ හිතේ ඇති කරන්න ඔයාට පුළුවන්.
යෙහෝවා ඔයාට දෙන්න ලෑස්ති කරන් ඉන්න ඒ ලස්සන අනාගතේ ගැන හිතන්න කාලේ ගන්න (17 ඡේදය බලන්න)d
18. යෙහෝවාගේ පොරොන්දු ගැන අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?
18 ගොඩක් ප්‍රශ්න සාර්ථකව විඳදරාගත්තාට පස්සේ යෝබ් යෙහෝවාට මෙහෙම කිව්වා. “ඔබට කරන්න බැරි දෙයක් නැහැ කියලා මට දැන් හොඳටම තේරෙනවා. ඔබ කරන්න තීරණය කරන ඕනම දෙයක් ඔබට කරන්න පුළුවන් කියලා මං දැන් දන්නවා.” (යෝබ් 42:2) යෝබ් තේරුම්ගත්තා යෙහෝවාගේ පොරොන්දු ඉටු වෙන එක වළක්වන්න කිසිම කෙනෙක්ට බැහැ කියලා. ඒක දැනන් ඉන්න එක විඳදරාගන්න අපිටත් ලොකු හයියක්. ඒක තේරුම්ගන්න මෙහෙම හිතන්න. බරපතළ අසනීපයක් තියෙන කාන්තාවක් දොස්තරලා කීපදෙනෙක්වම හම්බ වෙන්න ගියත් එයාලට එයාගේ අසනීපේ සුව කරන්න බැරි වෙනවා. ඒ නිසා මේ කාන්තාව ඉන්නේ හොඳටම අධෛර්යය වෙලා. හැබැයි පස්සේ හොඳට අද්දැකීම් තියෙන, විශ්වාසවන්ත දොස්තර කෙනෙක් එයාගේ ලෙඩේ අඳුරගන්නවා. එයා ඒ ලෙඩේ හොඳ කරන්නේ කොහොමද කියලා කාන්තාවට කියනවා. ලෙඩේ හොඳ වෙන්න ටික කාලයක් යනවා කියලා දැනන් හිටියත් ඒ කාන්තාවට ලොකු සහනයක් දැනෙනවා. මොකද දැන් එයාට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේ අපිටත් පාරාදීසේ ගැන තියෙන බලාපොරොත්තුව ඉටු වෙනවා කියලා ස්ථිර නිසා විඳදරාගන්න ලේසියි.
19. විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
19 අපි බලපු විදිහට විඳදරාගන්න උදව් කරන්න යෙහෝවා යාච්ඤාව, ඔහුගේ වචනය, සහෝදර සහෝදරියන් සහ අනාගතේ ගැන බලාපොරොත්තුව දීලා තියෙනවා. අපි ඒ දේවලින් උපරිම ප්‍රයෝජන ගන්නවා නම් මොන ප්‍රශ්න ආවත් සාතන්ගේ මේ දුෂ්ට සමාජය නැත්තටම නැති වෙන දවස එන කල් යෙහෝවා අපිව උසුලගෙන යයි.—ෆිලි. 4:13.
ගීතිකාව 33 ඔබේ බර යෙහෝවා දෙවිට දෙන්න
a සමහර නම් වෙනස් කරලා තියෙනවා.
b පින්තූරේ අදහස: දවසින් දවස ගෙවෙද්දී විශ්වාසවන්තව විඳදරාගන්න මහලු සහෝදරයෙක්.
c පින්තූරේ අදහස: දවසින් දවස ගෙවෙද්දී විශ්වාසවන්තව විඳදරාගන්න මහලු සහෝදරයෙක්.
d පින්තූරේ අදහස: දවසින් දවස ගෙවෙද්දී විශ්වාසවන්තව විඳදරාගන්න මහලු සහෝදරයෙක්.