ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 අගෝස්තු 8-13 පි.
  • යෙහෝවා ඔයාට ආදරෙයි කියලා විශ්වාස කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා ඔයාට ආදරෙයි කියලා විශ්වාස කරන්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යෙහෝවාගේ ආදරේ විශ්වාස කරන්න
  • යෙහෝවාගේ ආදරේ විශ්වාස කරන්න උදව් වෙන දේවල්
  • යෙහෝවාගේ ආදරේ ගැන යේසුස් කිව්වා
  • දිගටම විශ්වාස කරන්න
  • දෙවියන්ගේ සෙනෙහස ඔයාට දැනෙනවාද?
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • වෙනස් නොවෙන ආදරයක්!
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ජීවිත පූජාවෙන් වටිනා පාඩම්
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 අගෝස්තු 8-13 පි.

පාඩම් ලිපිය 33

ගීතිකාව 4 “යෙහෝවා දෙවි මාගේ එඬේරාය”

යෙහෝවා ඔයාට ආදරෙයි කියලා විශ්වාස කරන්න

“මම ඔබට නොසැලෙන ආදරයක් පෙන්නලා ඔබව මං ළඟට ගත්තා.”—යෙරෙ. 31:3.

ලිපියේ අරමුණ

යෙහෝවා අපිට ආදරෙයි කියලා අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි කියලත් ඒ විශ්වාසේ තව වැඩි කරගන්න පුළුවන් කොහොමද කියලත් බලමු.

1. ඔයා ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කළේ ඇයි? (පින්තූරයත් බලන්න.)

ඔයාගේ ජීවිතේ ඔයා යෙහෝවාට කැප කරපු දවස මතකද? ඔයා ඒ තීරණේ ගත්තේ ඔයා ඔහුව අඳුරගෙන ඔහු ගැන ආදරයක් ඇති වුණ නිසයි. එදා ඔයා ඔහුට පොරොන්දු වුණා ඔහුට කරන සේවේ ඔයාගේ ජීවිතේ අංක එකට දානවා කියලා. ඒ වගේම ඔයාගේ මුළු හදවතින්ම, ජීවිතෙන්ම, හැම සිතුවිල්ලකින්ම ඔහුට ආදරේ කරනවා කියලා. ඔයාගේ මුළු ශක්තියම ඔහු වෙනුවෙන් වැය කරනවා කියලත් ඔයා පොරොන්දු වුණා. (මාක් 12:30) එදා ඉඳන් ඔහු ගැන ඔයාට තියෙන ආදරේ තව තව වැඩි වුණා. ඉතින් කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් “ඔයා ඇත්තටම යෙහෝවාට ආදරෙයිද” කියලා ඔයා දෙපාරක් හිතන්නේ නැතුව කියන්නේ “ඔව්, මං වැඩියෙන්ම ආදරේ කරන්නේ යෙහෝවාටයි” කියලා.

පින්තූරවල අදහස: සහෝදරියක් එයා කැප වුණ සහ බව්තීස්ම වුණ දවස ගැන කල්පනා කරනවා. 1. එයා එළිමහනේ ඉඳගෙන යාච්ඤා කරනවා. 2. එයා ගඟක බව්තීස්ම වෙනවා.

යෙහෝවාට ජීවිතේ කැප කරලා බව්තීස්ම වෙද්දී ඔයා ඔහුට කොච්චර ආදරේ කළාද කියලා මතකද? (1 ඡේදය බලන්න)


2-3. අපි මොකක් විශ්වාස කරනවා දකින්නද යෙහෝවාට ඕනේ? මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද? (යෙරෙමියා 31:3)

2 හැබැයි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් “යෙහෝවා ඔයාට ආදරෙයි කියලා ඔයාට ෂුවර්ද” කියලා? ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඔයාට ටිකක් අමාරුයි වගේද? සමහරවිට ඔයාට හිතෙනවා ඇති යෙහෝවාගේ ආදරේ ලබන්න තරම් ඔයා වටින්නේ නැහැ කියලා. පුංචි කාලේ ඉඳන් ගොඩක් කටුක දේවල්වලට මූණ දීපු සහෝදරියක් මෙහෙම කියනවා. “මං යෙහෝවාට ආදරෙයි කියලා මං දන්නවා. හැබැයි යෙහෝවා මට ආදරෙයිද කියන එක නං මට සමහර වෙලාවට සැකයි.” ඒත් යෙහෝවාට ඇත්තටම ඔයා ගැන හැඟෙන්නේ කොහොමද?

3 යෙහෝවා ඔයාට ආදරෙයි කියලා ඔයා විශ්වාස කරනවා දකින්නයි ඔහු කැමති. (යෙරෙමියා 31:3 කියවන්න.) ඔයාව ඔහු ළඟට ගත්තේ ඔහුමයි. ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වුණ දවසේ ඉඳන් ඔයාට ඔහුගෙන් විශේෂ දෙයක් ලැබුණා. ඒ, ඔහුගේ නොසැලෙන ආදරය. ඒ කියන්නේ ඔහු ඔයාට හද පත්ලෙන්ම ආදරෙයි. ඔහු ඔයාව කවදාවත් අත්හරින්නේ නැහැ. ඒ ආදරේ නිසා යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව සලකන්නේ “වටිනා වස්තුවක්” විදිහටයි. ඔයා ගැන ඔහුට හැඟෙන්නෙත් ඒ විදිහටමයි. (මලා. 3:17, පාදසටහන) යෙහෝවාගේ ආදරේ ගැන පාවුල්ට කිසිම සැකයක් තිබුණේ නැහැ. එයා මෙහෙම කිව්වා. “දෙවියන් අපිට ආදරේ කරන එක නතර කරන්න කිසිම දේකට බැහැ කියලා මට විශ්වාසයි. මරණයටවත් මේ ජීවිතේටවත් දේවදූතයන්ටවත් ආණ්ඩුවලටවත් දැන් තියෙන දේවල්වලටවත් ඉස්සරහට එන්න තියෙන දේවල්වලටවත් කිසිම බලවේගයකටවත් උසකටවත් ගැඹුරකටවත් නිර්මාණය කරලා තියෙන වෙන කිසිම දේකටවත් ඒක කරන්න බැහැ.” (රෝම 8:38, 39) අපිටත් එහෙම දැනෙනවා දකින්නයි යෙහෝවා කැමති. ඒ නිසා යෙහෝවා අපිට ආදරෙයි කියලා අපි ස්ථිර කරගන්න ඕනෙ ඇයි කියලත් ඒක කරන්න අපිට උදව් වෙන දේවල් ගැනත් අපි බලමු.

යෙහෝවාගේ ආදරේ විශ්වාස කරන්න

4. සාතන්ගේ කපටි උපායකට විරුද්ධව සටන් කරන්න අපිට පුළුවන් කොහොමද?

4 යෙහෝවාගේ ආදරේ විශ්වාස කරද්දී සාතන්ගේ ‘කපටි උපායකට’ විරුද්ධව ඉන්න අපිට පුළුවන්. (එෆී. 6:11) යෙහෝවාට සේවේ කරන එකෙන් අපිව වළක්වන්න සාතන් ඕනම ගැටයක් ගහයි. යෙහෝවා අපිට ආදරේ නැහැ කියන සිතුවිල්ල අපේ හිතට දාන එක ඒ වගේ ගැටයක්. ඒත් ඒක පට්ටපල් බොරුවක්. බයිබලේ සාතන්ව සිංහයෙක්ට සමාන කරනවා. (1 පේතෘ. 5:8, 9) සිංහයෙක් ගොදුරු කරගන්නේ ඌට විරුද්ධව සටන් කරන්න බැරි, දුර්වල සතුන්ව. සාතනුත් ඒ වගේ අවස්ථාවාදියෙක්. අතීතයේ වුණ කටුක දේවල් නිසා, දැන් අද්දකින ප්‍රශ්න නිසා, අනාගතේ ගැන දැනෙන බය නිසා සමහර වෙලාවට අපි ඉන්නෙත් දුර්වල වෙලා. (හිතෝ. 24:10) අන්න එහෙම වෙලාවට තමයි සාතන් අපිව ඩැහැගන්න හදන්නේ. එයා හිතනවා අපි බිංදුවටම වැටුණොත් යෙහෝවාට සේවේ කරන එක නවත්තයි කියලා. හැබැයි යෙහෝවා අපිට ආදරෙයි කියලා 100%ක් විශ්වාසයි නම් ‘යක්ෂයාට විරුද්ධව ඉන්නත්’ එයා දාන ගැටවලට අහු නොවී ඉන්නත් අපිට පුළුවන්.—යාකො. 4:7.

5. යෙහෝවා අපිට ආදරෙයි, ඔහුට අපිව වටිනවා කියලා දැනෙන එක වැදගත් ඇයි?

5 යෙහෝවාගේ ආදරේ විශ්වාස කරද්දී අපි ඔහුට තව ළං වෙනවා. එහෙම කියන්නේ ඇයි? යෙහෝවා අපිව නිර්මාණය කළේ අනිත් අයට ආදරේ කරන, අනිත් අයගේ ආදරේ ලබන අවශ්‍යතාව ඇතුව. ආදරේට ආදරේ පෙන්නන එක සාමාන්‍ය දෙයක්. ඉතින් යෙහෝවාගේ ආදරේ දැනෙද්දී, ඔහුට අපිව වටිනවා කියලා දැනෙද්දී අපිට ඔහු ගැන තියෙන ආදරෙත් තව වැඩි වෙනවා. (1 යොහ. 4:19) එතකොට ඔහුත් තව වැඩියෙන් අපිට ආදරේ කරනවා. ඒකයි බයිබලේ කියන්නේ “දෙවියන්ට ළං වෙන්න. එතකොට ඔහුත් ඔයාට ළං වෙයි” කියලා. (යාකො. 4:8) ඒත් යෙහෝවා අපිට ආදරෙයි කියන විශ්වාසේ තව වැඩි කරගන්නේ කොහොමද?

යෙහෝවාගේ ආදරේ විශ්වාස කරන්න උදව් වෙන දේවල්

6. යෙහෝවාගේ ආදරේ ගැන ඔයාට විශ්වාස නැත්නම් මොකක්ද කරන්න පුළුවන්?

6 නිශ්චිතව ඉල්ලලා, ආයේ ආයේ යාච්ඤා කරන්න. (ලූක් 18:1; රෝම 12:12) යෙහෝවා දකින විදිහටම ඔයාට ඔයාව දකින්න උදව් කරන්න කියලා දවසට කීප සැරයක් වුණත් ඔයාට යාච්ඤා කරන්න වෙයි. ඔයා ඔයා ගැන ගොඩක් අඩුවෙන් හිතන නිසා යෙහෝවා ඔයාට ආදරේ නැහැ කියලා ඔයාට හිතෙයි. හැබැයි දෙවියන් ඔයාට වඩා හොඳින් ඔයාගේ හිත ගැන දන්නවා. (1 යොහ. 3:19, 20) ඔයා ඔයා ගැන දන්නවාට වඩා ඔහු ඔයා ගැන දන්නවා. ඔයාට ඔයාගේ පේන්නේ නැති හොඳ ඔහුට පේනවා. (1 සාමු. 16:7; 2 ලේක. 6:30) ඉතින් ඔයාට හැඟෙන “හැම දෙයක්ම ඔහුට කියන්න.” (ගීතා. 62:8) ඔහුගේ ආදරේ විශ්වාස කරන්න උදව් ඉල්ලන්න. ඊටපස්සේ අපි ඊළඟට කතා කරන්න යන දේවල් කරන්න.

7-8. යෙහෝවාගේ ආදරේ විශ්වාස කරන්න ගීතාවලිය පොත උදව් වෙන්නේ කොහොමද?

7 යෙහෝවා කියන දේ විශ්වාස කරන්න. බයිබලේ ලියපු අයට ඒවා ලියන්න බලය දුන්නේ යෙහෝවා. ඉතින් එයාලා යෙහෝවා ගැන කියපු දේවල් සැක කරන්න හේතුවක් නැහැ. යෙහෝවා අපි ගැන හිතන විදිහ ගැන දාවිත් කිව්වේ මෙහෙමයි. “යෙහෝවා බිඳුණු සිත් ඇති අය ළඟින්ම ඉන්නවා. අධෛර්යය වුණ අයව ඔහු බේරගන්නවා.” (ගීතා. 34:18, පාදසටහන) හදවත බිඳිලා තියෙද්දී ඔයාට දැනෙන්නේ ඔයා තනි වෙලා කියලා. ඒත් යෙහෝවා පොරොන්දු වෙනවා ඔයා ළඟින්ම ඉන්නවා කියලා. ඔහු දන්නවා ඒ වගේ වෙලාවට තමයි ඔයාට ඔහුව වැඩියෙන්ම ඕනෙ කියලා. තවත් තැනක දාවිත් කිව්වා “මගේ හැම කඳුළක්ම ඔබේ සම් භාජනයේ එකතු කරලා තියාගන්න” කියලා. (ගීතා. 56:8) ඔයා දුකෙන් ඉද්දී යෙහෝවා ඒක දකිනවා. ඔහු ඔයා ගැන හිතනවා. ඔයාගේ වේදනාව ඔහුටත් දැනෙනවා. කාන්තාරේ යන කෙනෙක්ට සම් භාජනයේ තියෙන හැම වතුර බිංදුවක්ම ගොඩක් වටිනවා වගේ ඔයාගේ ඇස්වලින් වැටෙන හැම කඳුළක්ම යෙහෝවාට වටිනවා. ඔයා අඬපු හැම වාරයක්ම ඔහුට මතකයි. ගීතාවලිය 139:3 කියනවා ‘මං කරන හැම දෙයක් ගැනම යෙහෝවා හොඳින් දන්නවා’ කියලා. ඔයා කරන හැම දෙයක්ම යෙහෝවාට පෙනුණත් ඔහු මතක තියාගන්නේ ඔයා කරන හොඳ දේ විතරයි. (හෙබ්‍රෙ. 6:10) ඔහුව සතුටු කරන්න ඔයා ගන්න හැම මහන්සියක්ම ඔහුට ගොඩක් වටිනවා.a

8 සහනයක් ගේන ඒ වගේ බයිබල් පද හරහා යෙහෝවා අපිට කියන්නේ “මං ඔයාට කොච්චර ආදරෙයිද, ඔයා ගැන කොච්චර හිතනවාද කියලා ඔයා දැනගන්නවාටයි මං කැමති” කියලා. හැබැයි අපි කලින් බැලුවා වගේ සාතන්ට ඕනෙ යෙහෝවා අපිට ආදරේ නැහැ කියන බොරුව අපි විශ්වාස කරනවා දකින්න. ඉතින් යෙහෝවා ඔයාට ආදරෙයිද කියලා ඔයාගේ හිතට සැකයක් ආවොත් චුට්ටක් නතර වෙලා මෙහෙම හිතන්න. ‘කාවද මං විශ්වාස කරන්නේ? “බොරුවේ පියාවද,” “සත්‍යය පවසන” දෙවියන්වද?’—යොහ. 8:44; ගීතා. 31:5.

9. යෙහෝවාට ආදරේ කරන අයට ඔහු දෙන පොරොන්දුව මොකක්ද? (නික්මයාම 20:5, 6)

9 යෙහෝවාට ආදරේ කරන අය ගැන ඔහුට හැඟෙන විදිහ හිතන්න. යෙහෝවා මෝසෙස්ටයි, ඊශ්‍රායෙල් සෙනඟටයි කියපු දේ බලන්න. (නික්මයාම 20:5, 6 කියවන්න.) ඔහුට ආදරේ කරන අයට ඔහු නොසැලෙන ආදරයක් පෙන්නනවා කියලා ඔහු පොරොන්දු වුණා. යෙහෝවා විශ්වාසවන්තයි. ඒ නිසා ඔහුට ආදරේ කරන කෙනෙක්ට ඔහු ආදරේ නොකර ඉඳියි කියලා අපිට හිතන්න බැහැ. (නෙහෙ. 1:5) ඉතින් ‘යෙහෝවා මට ආදරේ නැතුව ඇති’ කියලා ඔයාට හිතෙනවා නම් ‘මං යෙහෝවාට ආදරෙයිද’ කියලා ඔයාගෙන්ම අහගන්න. ඔයා යෙහෝවාට ආදරෙයි නම්, ඔහුව සතුටු කරන්න පුළුවන් හැම දේම කරනවා නම් ඔහු ඔයාට ආදරෙයි කියන සහතිකය ඔයාට තියෙනවා. (දානි. 9:4; 1 කොරි. 8:3) ඔයා යෙහෝවාට ආදරෙයි කියලා ඔයාට සැකයක් නැත්නම් ඇයි ඔයා ඔහුගේ ආදරේ සැක කරන්නේ?

10-11. යෙහෝවාට ඕනෙ ඔයා ජීවිත පූජාව කොහොම සලකනවා දකින්නද? (ගලාති 2:20)

10 ජීවිත පූජාව ගැන හිතන්න. ඒක තමයි යෙහෝවා මිනිස්සු හැමෝම වෙනුවෙන් දීපු වටිනාම තෑග්ග. (යොහ. 3:16) හැබැයි ඒක යෙහෝවා ඔයාට පෞද්ගලිකව දීපු තෑග්ගක් කියලා හිතන්න පුළුවන්ද? ඔව්. පාවුල් යේසුස්ගේ ගෝලයෙක් වෙන්න කලින් බරපතළ වැරදි කළා. ඊටපස්සෙත් එයාට දුර්වලකම් එක්ක දිගටම සටන් කරන්න වුණා. (රෝම 7:24, 25; 1 තිමෝ. 1:12-14) ඒත් පාවුල්ට ලොකු විශ්වාසයක් ඇති වුණා ජීවිත පූජාව යෙහෝවා එයාටම දීපු තෑග්ගක් කියලා. (ගලාති 2:20 කියවන්න.) පාවුල්ට දැනුණ ඒ දේ යෙහෝවා බයිබලේට ඇතුළත් කළා. බයිබලේ තියෙන හැම දෙයක්ම ලිව්වේ අපිට උගන්නන්න. (රෝම 15:4) ඒකෙන් තේරෙනවා ජීවිත පූජාව යෙහෝවාගෙන් ඔයාටම ලැබුණ තෑග්ගක් විදිහට ඔයා සලකනවා දකින්නයි දෙවියන් කැමති කියලා. ජීවිත පූජාව දිහා ඔයා ඒ විදිහට බලද්දී යෙහෝවා ඔයාට ගොඩක් ආදරෙයි කියන විශ්වාසේ තව වැඩි වෙයි.

11 අපි වෙනුවෙන් ජීවිතේ දෙන්න යේසුස්ව එවපු එක ගැන අපි යෙහෝවාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒත් යේසුස් පොළොවට එන්න තව හේතුවක් තිබුණා. ඒ, යෙහෝවා ගැන සත්‍යය මිනිස්සුන්ට උගන්නන්න. (යොහ. 18:37) යේසුස් කියලා දීපු එක සත්‍යයක් තමයි යෙහෝවාට ඔහුගේ දරුවන් ගැන හැඟෙන්නේ කොහොමද කියන දේ.

යෙහෝවාගේ ආදරේ ගැන යේසුස් කිව්වා

12. යේසුස් යෙහෝවා ගැන කියපු දේවල් අපිට විශ්වාස කරන්න පුළුවන් ඇයි?

12 යෙහෝවා කොයි වගේ කෙනෙක්ද කියලා යේසුස් හරිම සතුටින් මිනිස්සුන්ට කියලා දුන්නා. (ලූක් 10:22) ඔහු යෙහෝවා ගැන කියපු දේවල් සැක කරන්න අපිට කිසිම හේතුවක් නැහැ. මොකද යේසුස් පොළොවට එන්න කලින් අපිට හිතාගන්නවත් බැරි තරම් කාලයක් යෙහෝවා එක්ක ස්වර්ගයේ හිටියා. (කොලො. 1:15) යෙහෝවාගේ ආදරේ යේසුස්ට දැනුණා. විශ්වාසවන්ත දේවදූතයන්ට, පොළොවේ හිටපු ඔහුගේ විශ්වාසවන්ත දුවලා පුතාලට ඔහු කොච්චර ආදරෙයිද කියලා යේසුස් දැක්කා. දෙවියන්ගේ ආදරේ ගැන විශ්වාසයක් ඇති කරගන්න යේසුස් අපිට උදව් කරන්නේ කොහොමද?

13. යෙහෝවා ගැන අපි මොකක් තේරුම්ගන්නවාටද යේසුස් කැමති?

13 යේසුස්ට ඕනෙ යෙහෝවාට අපි ගැන දැනෙන විදිහ අපිට කියලා දෙන්නයි. සුවිශේෂ පොත්වල යේසුස් යෙහෝවාට “තාත්තා,” “පියාණෙනි” කියලා කතා කරපු අවස්ථා 160කට වඩා තියෙනවා. ගෝලයන් එක්ක යෙහෝවා ගැන කතා කරද්දී යේසුස් කිව්වේ ඔහු “ස්වර්ගයේ ඉන්න ඔයාලාගේ පියාණන්” කියලා. (මතෙ. 5:16; 6:26) යේසුස් එන්න කලින් හිටපු දෙවියන්ගේ විශ්වාසවන්ත සේවකයන් දෙවියන්ව හැඳින්නුවේ ‘සියලු බලැති,’ ‘උසස්ම දෙවියන්,’ ‘ශ්‍රේෂ්ඨ නිර්මාතෘ’ වගේ නම්වලින්. ඒත් යේසුස් දෙවියන්ට කතා කළේ ‘තාත්තා,’ ‘පියාණෙනි’ කියලා. ඒකෙන් පේනවා පොඩි දරුවෙක් තාත්තාට ළං වෙනවා වගේ අපිත් ඔහුට ළං වෙනවා දකින්නයි යෙහෝවා කැමති කියලා. යේසුස්ට ඕනෙ ඔහුට ඔහුගේ තාත්තා ගැන හැඟෙන විදිහටම අපිටත් යෙහෝවා ගැන හැඟෙනවා දකින්න. යේසුස් යෙහෝවාට “පියාණෙනි” කියලා කතා කරපු අවස්ථා දෙකක් අපි බලමු.

14. ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපි එක් එක් කෙනාව ගොඩක් වටිනවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද? (මතෙව් 10:29-31) (පින්තූරයත් බලන්න.)

14 මුලින්ම අපි මතෙව් 10:29-31 බලමු. (කියවන්න.) යේසුස් කිව්වා පුංචි ගේකුරුල්ලෙක් බිමට වැටුණත් ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා ඒ ගැන දන්නවා කියලා. හැබැයි ගේකුරුල්ලන් යෙහෝවාට ආදරේ කරන්නෙවත් ඔහුට නමස්කාර කරන්නෙවත් නැහැ. එහෙමනම් ඔහුට ආදරේ කරන, ඔහුගේ විශ්වාසවන්තව සේවකයන්ව ඔහුට ඊට වඩා කොච්චර වටිනවා ඇද්ද! ඔහු එයාලා ගැන කොච්චර හිතනවා ඇද්ද! යේසුස් කිව්වා ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා අපේ “හැම කෙස්ගහක්ම ගණන් කරලයි තියෙන්නේ” කියලා. යෙහෝවා ඒ වගේ පුංචි දේවල් පවා දන්නවා නම් ඔහු අපි ගැන හිතනවා කියලා සැක කරන්න ඕනෙද? ඇත්තටම යේසුස්ට ඕන වුණේ ස්වර්ගයේ ඉන්න අපේ තාත්තාට අපි එක් එක් කෙනාව හුඟක් වටිනවා කියලා අපි විශ්වාස කරනවා දකින්නයි.

පියාඹගෙන ඇවිත් බිම වහන ගේකුරුල්ලෙක්ව යේසුස් පෙන්නනවා. ගෝලයෝ ඔහුට හොඳට ඇහුම්කන් දෙනවා.

ගේකුරුල්ලෙක් බිමට වැටෙද්දීත් යෙහෝවා ඒ ගැන දන්නවා. එහෙමනම් ඔහුට ආදරේ කරන, ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව ඔහුට කොච්චර වටිනවා ඇද්ද! (14 ඡේදය බලන්න)


15. යොහන් 6:44 තියෙන දෙයින් ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තා ගැන ඔයාට තේරුණේ මොකක්ද?

15 යේසුස් “පියාණෙනි” කියලා කියපු තවත් අවස්ථාවක් බලන්න. (යොහන් 6:44 කියවන්න.) එතන කියන්නේ ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තා තමයි ඔයාව ඔහු ළඟට ඒ කියන්නේ සත්‍ය මාර්ගයට ගත්තේ කියලා. ඔහු එහෙම කළේ සත්‍යය පිළිගන්න කැමති හදවතක් ඔයාට තියෙනවා කියලා ඔහු දැක්ක නිසයි. (ක්‍රියා 13:48) යොහන් 6:44 තියෙන දේ කියද්දී යේසුස්ගේ මනසේ තියෙන්න ඇත්තේ මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදේ යෙහෝවා කියපු දේ වෙන්න ඇති. එතන යෙහෝවා ඔහුගේ සෙනඟට මෙහෙම කියනවා. “මම ඔබට නොසැලෙන ආදරයක් පෙන්නලා ඔබව මං ළඟට ගත්තා [මම ඔබට දිගටම නොසැලෙන ආදරයක් පෙන්නනවා].” (යෙරෙ. 31:3, පාදසටහන; හොෂෙ. 11:4) හිතන්න, ස්වර්ගයේ ඉන්න අපේ තාත්තා බලන්නේ ඔයාටවත් පේන්නේ නැති ඔයාගේ ලස්සන ගති දිහායි. ඔයාට කොහොමද ඒ ගැන දැනෙන්නේ?

16. (අ) යේසුස් අපිට කියන්න හදන්නේ මොකක්ද? අපි ඔහුව විශ්වාස කරන්න ඕනෙ ඇයි? (ආ) අපිට ඉන්න හොඳම තාත්තා යෙහෝවා කියන විශ්වාසේ තව ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද? (“අපිට ඉන්න පුළුවන් හොඳම තාත්තා” කියන කොටුව බලන්න.)

16 යේසුස් කියන්න හදන්නේ “යෙහෝවා ඔහුගේ තාත්තා විතරක් නෙවෙයි යෙහෝවා ඔයාගෙත් තාත්තා” කියලයි. යේසුස්ට ඕනෙ “යෙහෝවා ඔයාට ගොඩක් ආදරෙයි, ඔහු ඔයා ගැන ගොඩක් හිතනවා” කියලා ඔයා විශ්වාස කරනවා දකින්නයි. ඉතින් යෙහෝවාගේ ආදරේ ගැන ඔයාට පුංචි හරි සැකයක් ආවොත් චුට්ටක් නතර වෙලා මෙහෙම හිතන්න. ‘අපේ තාත්තා ගැන හොඳටම දන්න, හැම වෙලාවෙම ඇත්ත කතා කරන යේසුස්ව නෙවෙයිද මං විශ්වාස කරන්න ඕනේ?’—1 පේතෘ. 2:22.

“අපිට ඉන්න පුළුවන් හොඳම තාත්තා”

ඒ අදහස අරන් තියෙන්නේ ‘යෙහෝවාට ළං වෙන්න’ පොතේ පෙරවදනෙන්. පොතේ අරමුණ ගැන මේ වගේ අදහසක් එතන තියෙනවා. ‘අපි හැමෝටම ඉන්න පුළුවන් හොඳම තාත්තා යෙහෝවා. බලවත්, යුක්තිසහගත, ප්‍රඥාවන්ත හා ප්‍රේමණීය කෙනෙක් වන ඔහු තමන්ගේ විශ්වාසවන්ත දරුවන්ව කවදාවත් අත්හරින්නේ නැහැ.’

තාත්තාගේ හිංසා පීඩා මැද ඇතිදැඩි වුණ කෙනෙක් මේ පොත එයාට උදව් වුණ විදිහ ගැන මෙහෙම කියනවා. “මං ‘තාත්තා’ කියන වචනෙටත් බයයි. හැබැයි මේ පොතෙන් යෙහෝවාගේ ලස්සන ගුණාංග ගැන දැනගද්දී මට තේරුණා හොඳ තාත්තා කෙනෙක් කොයි වගේද කියලා. මං දන්නවා යෙහෝවා මට ගොඩක් ආදරෙයි කියලා. මාත් මගේ තාත්තා යෙහෝවාට ගොඩක් ආදරෙයි.” මේ පොත කියෙව්වාට පස්සේ තවත් සහෝදරියක් මෙහෙම කිව්වා. “යෙහෝවා තමයි අපිට ඉන්න පුළුවන් හොඳම තාත්තා!”

ඔයාට ඉන්න පුළුවන් හොඳම තාත්තා යෙහෝවා කියලා තව වැඩියෙන් විශ්වාස කරන්න මේ පොත කියවලා අධ්‍යයනය කරන්න. ඔයා දැනටමත් ඒක කරලා තියෙනවා නම් ආයේ සැරයක් එහෙම කරන්න.

දිගටම විශ්වාස කරන්න

17. යෙහෝවාගේ ආදරේ ගැන අපිට තියෙන විශ්වාසේ අපි දිගටම වැඩි කරගන්න ඕනෙ ඇයි?

17 යෙහෝවාගේ ආදරේ ගැන අපිට තියෙන විශ්වාසේ අපි දිගටම ශක්තිමත් කරගන්න ඕනේ. මොකද අපේ හතුරා සාතන් හරිම කපටියි. යෙහෝවාට අපි සේවේ කරන එක නවත්තන්න එයා එයාට කරන්න පුළුවන් හැම දේම කරයි. සාතන්ට ඕනෙ අපිව වට්ටන්න. ඉතින් යෙහෝවා අපිට ආදරේ නැහැ කියන සිතුවිල්ල අපේ හිතට දාන්න සාතන් දිගටම උත්සාහ කරයි. හැබැයි සාතන්ට දිනන්න දෙන්න එපා.—යෝබ් 27:5.

18. යෙහෝවා ඔයාට ආදරෙයි කියලා ඔයාට දිගටම ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

18 යෙහෝවා ඔයාට ආදරෙයි කියලා දිගටම ස්ථිර කරගන්න නම් ඔහු ඔයාව දකින විදිහට ඔයාට ඔයාව දකින්න උදව් කරන්න කියලා ඔහුගෙන් ඉල්ලන්න. ඔහුට ආදරේ කරන අය ගැන යෙහෝවාට හැඟෙන විදිහ විස්තර කරන බයිබල් පද ගැන හිතන්න. යෙහෝවාට ආදරේ කරන අය ගැන ඔහුට දැනෙන විදිහ ගැනත් හිතන්න. ඔහුට ආදරේ කරන අයට ඔහු කවදාවත් ආදරේ නොකර ඉන්නේ නැහැ. ජීවිත පූජාව ඔයාටම දීපු තෑග්ගක් කියන්නේ ඇයි කියලත් කල්පනා කරන්න. ඒ වගේම යෙහෝවා ස්වර්ගයේ ඉන්න ඔයාගේ තාත්තා කියලා යේසුස් කියපු දේවල් විශ්වාස කරන්න. එතකොට කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් “යෙහෝවා ඔයාට ආදරෙයි කියලා ඔයාට ෂුවර්ද” කියලා? ඔයාට පුළුවන් මෙහෙම කියන්න. “ඔව්! ඔහු මට ආදරෙයි. මාත් ඔහුට ආදරෙයි කියලා පෙන්නන්න හැමදාම මගේ උපරිමය කරනවා!”

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවා අපිට ආදරෙයි කියලා අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි?

  • යෙහෝවාගේ ආදරේ විශ්වාස කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

  • යෙහෝවා අපිට ආදරෙයි කියලා විශ්වාස කරන්න යේසුස් උදව් කළේ කොහොමද?

ගීතිකාව 154 ප්‍රේමය සදාතනිකයි

a යෙහෝවා අපිට ආදරෙයි කියලා ස්ථිර කරගන්න උදව් වෙන තවත් බයිබල් පද හොයාගන්න ‘ක්‍රිස්තියානි ජීවිතයට බයිබල් ප්‍රතිපත්ති’ කියන පොතේ “සැකයන්” කියන කොටස බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න