පාඩම් ලිපිය 34
ගීතිකාව 3 ඔබයි අපේ ශක්තිය හා බලාපොරොත්තුව
යෙහෝවා සමාව දෙනවා කියලා විශ්වාස කරන්න
“ඔබ මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නා.”—ගීතා. 32:5.
ලිපියේ අරමුණ
යෙහෝවා සමාව දෙනවා කියලා අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි? පසුතැවිලි වෙන පව්කාරයන්ට යෙහෝවා සමාව දෙනවා කියලා බයිබලේ සහතික කරලා තියෙන්නේ කොහොමද?
1-2. යෙහෝවා අපේ වැරදිවලට සමාව දුන්නාම අපිට දැනෙන්නේ කොහොමද? (පින්තූරයත් බලන්න.)
කරපු වරදක් ගැන හිත වධ දෙද්දී දැනෙන විදිහ දාවිත් හොඳට දැනන් හිටියා. (ගීතා. 40:12; 51:3; පෙර සටහන) දාවිත් බරපතළ වැරදි කීපයක්ම කළා. හැබැයි එයා අවංකව පසුතැවුණාම යෙහෝවා එයාට සමාව දුන්නා. (2 සාමු. 12:13) යෙහෝවාගෙන් සමාව ලැබුණාම දැනෙන සහනය ගැන එයා හොඳ හැටි දැනන් හිටියා.—ගීතා. 32:1.
2 යෙහෝවා අපිට දයාව පෙන්නලා සමාව දෙද්දී දාවිත් වගේ අපිටත් ලොකු සහනයක් අද්දකින්න පුළුවන්. අපි බරපතළ වැරැද්දක් කළත් ඒ ගැන අවංකවම පසුතැවිලා, වරද පිළි අරන් ඒක ආයේ නොකර ඉන්න අපේ උපරිමය කරද්දී යෙහෝවා අපිට සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඒක දැනන් ඉන්න එක අපිට කොච්චර සහනයක්ද! (හිතෝ. 28:13; ක්‍රියා 26:20; 1 යොහ. 1:9) ඒ වගේම ඔහු අපිට සමාව දුන්නාම ඔහු ඒ වරද සලකන්නේ කවදාවත් නොවුණ එකක් ගාණට කියලා දැනන් ඉන්න එකත් අපිට ලොකු සතුටක්.—එස. 33:16.
යෙහෝවා සමාව දෙන විදිහ විස්තර කරන ගොඩක් ගීතිකා දාවිත් රචනා කළා (1-2 ඡේද බලන්න)
3-4. බව්තීස්ම වුණාට පස්සෙත් සහෝදරියකට දැනුණේ කොහොමද? අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 හැබැයි සමහර වෙලාවට අපිට ඇත්තටම යෙහෝවා සමාව දුන්නාද කියලා විශ්වාස කරන්න අමාරු වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉඳන් සත්‍යයේ හැදී වැඩුණ ජෙනිෆර්ගේ අද්දැකීම බලන්න. යෞවන කාලේ එයා ගොඩක් නරක දේවල් කළා. එයා දෙබිඩි ජීවිතයක් තමයි ගත කළේ. පස්සේ එයා ආයෙත් යෙහෝවාට ළං වෙලා බව්තීස්ම වුණා. එයා මෙහෙම කියනවා. “මං ඉස්සර අනාචාරයේ යෙදුණා. වැටෙන කල්ම බිව්වා. මට ගොඩක් කේන්ති ගියා. මං සල්ලි හම්බ කරන එක පස්සෙමයි ගියේ. මං දන්නවා මං අවංකවම පසුතැවිලා යෙහෝවාගෙන් සමාව ඉල්ලුවාම යේසුස්ගේ ජීවිත පූජාව නිසා මට සමාව ලැබෙනවා කියලා. ඒත් ඒක මගේ හිත පිළිගත්තේ නෑ.”
4 සමහරවිට ඔයාටත් දැනෙනවා ඇති කලින් කරපු වැරදි නිසා යෙහෝවා තාමත් ඔයාත් එක්ක කේන්තියෙන් ඉන්නේ කියලා. ඒත් යෙහෝවා දයාවන්තයි. දාවිත්ට ඒ ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒ නිසා එයා දැනන් හිටියා එයාගේ වැරදිවලට යෙහෝවා සමාව දුන්නා කියලා. අපිත් එහෙම හිතනවාටයි යෙහෝවා කැමති. ඉතින් යෙහෝවා සමාව දෙනවා කියලා අපි විශ්වාස කරන්න ඕනෙ ඇයි කියලත් ඒක කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද කියලත් මේ ලිපියෙන් බලමු.
යෙහෝවා අපිට සමාව දෙනවා කියලා විශ්වාස කරන්න ඕනෙ ඇයි?
5. අපි මොන විදිහට හිතනවා දකින්නද සාතන්ට ඕනේ? උදාහරණයක් දෙන්න.
5 යෙහෝවා සමාව දෙනවා කියලා විශ්වාස කරද්දී සාතන්ගේ එක උගුලකට අහු නොවී ඉන්න පුළුවන්. මතක තියාගන්න, අපි යෙහෝවාට කරන සේවේ නවත්තන්න සාතන් නොකරන දෙයක් නැහැ. එයා කරන එක දෙයක් තමයි අපි කරපු වැරදිවලට කවදාවත් සමාව දෙන්න බැහැ කියලා හිතන්න සලස්සන එක. ලිංගික දුරාචාරය නිසා කොරින්ති සභාවෙන් අයින් කරපු කෙනා ගැන හිතන්න. (1 කොරි. 5:1, 5, 13) එයා පස්සේ පසුතැවුණා. හැබැයි සාතන්ට ඕන වුණේ සභාවේ අය එයාට සමාව දෙන්නෙවත් එයාව පිළිගන්නෙවත් නැතුව ඉන්නවා දකින්න. ඒත් එක්කම සාතන්ට ඕන වුණා පසුතැවිලි වුණ කෙනාගේ වරදට එයාට කවදාවත් සමාව ලැබෙන්නේ නැහැ කියලා එයා හිතනවා දකින්න. එතකොට “එයා ගොඩක් දුක් වෙලා කලකිරිලා” යෙහෝවාට සේවේ කරන එක නවත්තලා දායි. අදටත් සාතන්ගේ අරමුණවත් උගුල්වත් වෙනස් වෙලා නැහැ. හැබැයි “සාතන් පාවිච්චි කරන කපටි උපක්‍රම ගැන අපි හොඳට දන්නවා.”—2 කොරි. 2:5-11.
6. යෙහෝවා සමාව දීලා නැහැ කියලා ඔයාට දැනෙනවා නම් සහනයක් ලබාගන්න පුළුවන් කොහොමද?
6 යෙහෝවා සමාව දුන්නා කියලා විශ්වාස කරද්දී හිතේ ඇති වෙන බර සැහැල්ලු වෙනවා. වැරැද්දක් කළාම ලොකු දුකක් දැනෙන එක සාමාන්‍යයි. (ගීතා. 51:17) ඒක ඇත්තටම හොඳ දෙයක්. එතකොට කරපු වැරැද්ද හදාගන්න අපි පියවර ගන්න පෙලඹෙනවා. (2 කොරි. 7:10, 11) හැබැයි අපි කරපු වරදක් ගැන පසුතැවිලි වෙලා කාලයක් ගියාට පස්සෙත් අපි ඒ ගැන හිතහිත වධ වෙනවා නම් අපි යෙහෝවාට කරන සේවේ නවත්තන්න වුණත් ඉඩ තියෙනවා. යෙහෝවා සමාව දුන්නා කියලා අපි පිළිගන්නවා නම් කරපු වැරැද්ද ගැන හිතහිත වධ වෙන එක අපිට පැත්තකට දාන්න පුළුවන්. ඊටපස්සේ නිදොස් හෘද සාක්ෂියක් තියාගෙන සතුටින් යෙහෝවා කැමති විදිහට ඔහුට සේවේ කරන්නත් පුළුවන්. (කොලො. 1:10, 11; 2 තිමෝ. 1:3) ඒත් යෙහෝවා ඇත්තටම අපිට සමාව දුන්නා කියලා විශ්වාස කරන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?
යෙහෝවා දෙන සමාව පිළිගන්න නම්
7-8. යෙහෝවා තමන් ගැන මෝසෙස්ට විස්තර කළේ කොහොමද? ඒකෙන් අපිට ලැබෙන සහතිකය මොකක්ද? (නික්මයාම 34:6, 7)
7 යෙහෝවා තමන්වම විස්තර කරන විදිහ ගැන හිතන්න. උදාහරණෙකට සීනයි කන්දේදී යෙහෝවා තමන්ව මෝසෙස්ට විස්තර කරපු විදිහ බලන්න.a (නික්මයාම 34:6, 7 කියවන්න.) ඕනෙ නම් යෙහෝවාට තමන්ව විස්තර කරන්න ගොඩක් ගතිගුණ තෝරගන්න තිබුණා. හැබැයි යෙහෝවා ඔහුව විස්තර කරන්න පටන්ගන්නේ ඔහු “අනුකම්පාව පෙන්නන, දයාවන්ත” දෙවි කෙනෙක් කියලා. ඒ වගේ දෙවි කෙනෙක් තමන්ට ආදරේ කරන කෙනෙක් අවංකව පසුතැවෙද්දී ඒ කෙනාට සමාව නොදී ඉඳියිද? කවදාවත් නැහැ! එහෙම කරනවා නම් ඒක කිසිම හිතක් පපුවක් නැති, කිසිම දයාවක් නැති වැඩක්. යෙහෝවා එහෙම කරන දෙවි කෙනෙක් නෙවෙයි.
8 යෙහෝවා හැම වෙලේම ඇත්ත කියන කෙනෙක් නිසා ඔහු තමන් ගැන බොරු කියයි කියලා හිතන්න බැහැ. (ගීතා. 31:5) ඒ නිසා ඔහු කියන දේවල් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඔයා අතීතයේ කරපු වැරදි ගැන හිතහිත වධ වෙන කෙනෙක් නම් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘යෙහෝවා ලොකු අනුකම්පාවක් පෙන්නන, දයාවන්ත දෙවි කෙනෙක් නිසා අවංකව පසුතැවෙන ඕනම කෙනෙක්ට ඔහු සමාව දෙනවා කියලා මට විශ්වාසද? එහෙනං ඔහු මටත් සමාව දුන්නා කියලා මං පිළිගන්න ඕනෙ නේද?’
9. යෙහෝවා සමාව දෙන විදිහ ගැන ගීතාවලිය 32:5 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
9 යෙහෝවාගේ මඟ පෙන්වීමෙන් බයිබල් ලේඛකයන් දෙවියන් සමාව දෙන විදිහ ගැන ලියපු දේවල් හිතන්න. උදාහරණෙකට බයිබල් ලේඛකයෙක් වුණ දාවිත් යෙහෝවා සමාව දෙන විදිහ ගැන කියපු දේ බලන්න. (ගීතාවලිය 32:5 කියවන්න.) එයා කිව්වා “ඔබ මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නා” කියලා. “සමාව දුන්නා” කියලා පරිවර්තනය කරලා තියෙන හෙබ්‍රෙව් වචනෙට “උස්සනවා,” “අයින් කරනවා,” “ගෙනියනවා” කියන අදහසුත් ඇතුළත්. යෙහෝවා දාවිත්ට සමාව දුන්නාම එයාට දැනුණේ එයාගේ හිතේ තිබුණ බර යෙහෝවා උස්සලා අයින් කළා වගේ. ඒකෙන් දාවිත්ට ලොකු සහනයක් දැනුණා. (ගීතා. 32:2-4) අපිත් අපේ වැරදි ගැන අවංකවම පසුතැවුණාම අපේ හිතට දැනෙන බරත් යෙහෝවා උස්සලා අපෙන් ඈතට ගෙනියනවා. ඉතින් අපි ආයෙත් ඒ බර කරගහන් ඉන්න ඕනෙ නැහැ.
10-11. “සමාව දෙන්න කැමතියි” කියන වචනවලින් යෙහෝවා ගැන අපි ඉගෙනගන්නේ මොනවාද? (ගීතාවලිය 86:5)
10 ගීතාවලිය 86:5 කියවන්න. එතන දාවිත් කිව්වා යෙහෝවා “සමාව දෙන්න කැමතියි” කියලා. එක පොතක ඒ ගැන කිව්වේ “ඔහු සමාව දෙනවා, ඒක ඔහුගේ විදිහ” කියලා. සමාව දෙන එක යෙහෝවාගේ විදිහ කියන්නේ ඇයි? ඒ පදේම ඉතුරු කොටසේ ඒකට හේතුව තියෙනවා. එතන කියනවා “ඔබේ නම කියලා අයැදින හැමෝටම ඔබ පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ” කියලා. අපි කලින් ලිපියේ බැලුවා වගේ යෙහෝවා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ට නොසැලෙන ආදරයක් පෙන්නන නිසා ඔහු එයාලා එක්ක බැඳිලා ඉන්නවා. එයාලව කවදාවත් අත්හරින්නේ නැහැ. ඒ ආදරේ ඔහුව පොලඹවනවා අවංකව පසුතැවෙන හැමෝටම “කැමැත්තෙන්ම” සමාව දෙන්න. (යෙසා. 55:7, පාදසටහන) යෙහෝවා ඔයාට සමාව දුන්නා කියලා පිළිගන්න ඔයාට අමාරුයි නම් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘අවංකවම පසුතැවිලා ඔහුගේ දයාව ඉල්ලලා කන්නලව් කරන හැමෝටම ඔහු සමාව දෙනවා කියලා මං විශ්වාස කරනවාද? එහෙනං මං දයාව ඉල්ලලා කන්නලව් කළාම ඔහු මටත් සමාව දුන්නා කියලා මං පිළිගන්න ඕනෙ නේද?’
11 අපි දූවිලි කියලත් අපේ අතින් වැරදි වෙනවා කියලත් යෙහෝවා තේරුම්ගන්නවා කියන දේ දැනන් ඉන්න එක අපිට ලොකු සහනයක්. (ගීතා. 139:1, 2) දාවිත් ලියපු තව ගීතිකාවකින් ඒක පැහැදිලි වෙනවා. යෙහෝවාගේ සමාව පිළිගන්න ඒකත් අපිට උදව් වෙනවා.
යෙහෝවා මතක තියාගන්න දේ ඔයා අමතක කරන්න එපා
12-13. ගීතාවලිය 103:14 කියන විදිහට යෙහෝවා සිහි කරන්නේ මොකක්ද? ඒක ඔහුව පොලඹවන්නේ මොනවා කරන්නද?
12 ගීතාවලිය 103:14 කියවන්න. පසුතැවෙන අයට යෙහෝවා සමාව දෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කියන්න එක හේතුවක් දාවිත් එතන කියනවා. ‘අපිව හැදුවේ දූවිල්ලෙන් කියලා යෙහෝවා සිහි කරනවා’ කියලා එයා කියනවා. ඒ කියන්නේ අපි පව්කාරයන්, වැරදි කරන එක අපේ ස්වභාවය කියලා යෙහෝවාට මතකයි. දැන් අපි ඒක තව ටිකක් හොඳට තේරුම්ගමු.
13 දාවිත් කිව්වා ‘අපිව නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද කියලා යෙහෝවා හොඳින් දන්නවා’ කියලා. යෙහෝවා ආදම්ව හැදුවේ “භූමියේ දූවිල්ලෙන්.” ඒ නිසා පරිපූර්ණ මිනිස්සුන්ටත් සීමාවන් තියෙනවා කියලා ඔහු දන්නවා. උදාහරණෙකට, ජීවත් වෙන්න නම් එයාලා හුස්ම ගන්න ඕනේ. කන්න ඕනේ. නිදාගන්න ඕනේ. (උත්. 2:7) හැබැයි ආදම්, ඒව පව් කළාම මිනිස්සු තවත් විදිහකින් දූවිලි වගේ වුණා. මොකද මිනිස්සු ඉපදෙන්නෙම පව්කාරකම උරුම කරගෙන. ඒ නිසා එයාලට වැරදි කරන්න පෙලඹීමක් තියෙනවා. ඒක යෙහෝවා දන්නවා. ඒ වගේම දාවිත් කිව්වේ ඔහු ඒක “සිහි කරනවා” කියලා. එතන පාවිච්චි කරලා තියෙන හෙබ්‍රෙව් වචනෙට ‘යහපත් දෙයක් කරනවා’ කියන අදහසත් ඇතුළත්. අපි අතින් වරදක් වුණාම අපි ඒ ගැන අවංකව පසුතැවෙනවා නම් යෙහෝවා පෙලඹෙනවා අපිට දයාව පෙන්නලා සමාව දෙන්න.—ගීතා. 78:38, 39.
14. (අ) යෙහෝවා සමාව දෙන විදිහ ගැන දාවිත් තව මොනවාද කිව්වේ? (ගීතාවලිය 103:12) (ආ) යෙහෝවා දාවිත්ට සමාව දීපු විදිහෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (“යෙහෝවා සමාව දීලා අමතක කරනවා” කියන කොටුව බලන්න.)
14 යෙහෝවා සමාව දෙන විදිහ ගැන තව මොනවාද අපි ඉගෙනගන්නේ? (ගීතාවලිය 103:12 කියවන්න.) දාවිත් කියනවා යෙහෝවා අපිට සමාව දුන්නාම ඔහු අපේ වැරදි අපෙන් ඈත් කරනවා කියලා. හරියට “බස්නාහිර නැඟෙනහිරෙන් හුඟක් දුරස්ව තියෙනවා වගේ.” බස්නාහිරයි, නැඟෙනහිරයි කියන්නේ සම්පූර්ණ විරුද්ධ පැති දෙකක්. ඒ දෙක කවදාවත් ළං වෙන්නේ නැහැ. යෙහෝවා සමාව දෙන විදිහ ගැන ඒකෙන් අපිට මොකක්ද තේරෙන්නේ? ඒ ගැන එක පොතක මෙහෙම කියනවා. “දෙවියන් අපේ වැරදි කොච්චර ඈතකට දානවාද කියනවා නම් ඒ වැරදි මතකයට එනවා තියා ඒකේ සුවඳත් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා.” සාමාන්‍යයෙන් සුවඳකට පුළුවන් පරණ මතකයන් අවදි කරන්න. හැබැයි යෙහෝවා සමාව දෙද්දී අපේ වැරදි ඔහුගේ මතකයට ගේන පුංචි සුවඳක්වත් ඔහු තියාගන්නේ නැහැ.—එස. 18:21, 22; ක්‍රියා 3:19.
15. කලින් කරපු වරදක් ගැන අපි හිතහිත වධ වෙනවා නම් අපිට කරන්න පුළුවන් මොකක්ද?
15 යෙහෝවාගේ සමාව පිළිගන්න 103වෙනි ගීතිකාවේ දාවිත්ගේ වචන උදව් වෙන්නේ කොහොමද? කලින් කරපු වරදක් ගැන හිතහිත ඔයා වධ වෙනවා නම් ඔයාගෙන්ම මෙහෙම අහගන්න. ‘යෙහෝවා සිහි කරන දේ මට අමතකද? මං පාපය උරුම කරගත්ත කෙනෙක් කියලා යෙහෝවා සිහි කරනවා කියලත් පසුතැවෙන මං වගේ කෙනෙක්ට යෙහෝවා සමාව දෙනවා කියලත් මට අමතකද? අනිත් අතට යෙහෝවා අමතක කරන දේවල් මං මතක තියාගන්නවාද? දැනටමත් සමාව දීලා යෙහෝවා අමතක කරපු මගේ වැරදි මං මතක තියාගන්නවාද?’ යෙහෝවා කවදාවත් අපේ පරණ වැරදි ගැන හිතහිත ඉන්නේ නැහැ. ඉතින් අපි හිතන්න ඕනෙත් නැහැ. (ගීතා. 130:3) යෙහෝවාගේ සමාව අපි පිළිගද්දී අපිට පුළුවන් අපිටම සමාව දීලා ඉස්සරහට යන්න.
16. පරණ වැරදි ගැන හිතහිත ඉන්න එක භයානක ඇයි? උදාහරණයක් කියන්න. (පින්තූරයත් බලන්න.)
16 අපි පරණ වැරදි ගැනම හිතහිත ඉන්නවා නම් ඒක හරියට කණ්ණාඩියෙන් පිටිපස්ස බලාගෙන වාහනයක් එළවනවා වගේ. සැරින් සැරේට කණ්ණාඩියෙන් පිටිපස්ස බලන එක හොඳයි. එතකොට මොකක් හරි අනතුරක් වෙන්න ගියොත් ඔයාට දැනගන්න පුළුවන්. හැබැයි පරෙස්සමෙන් ගමන යන්න නම් ඔයා ඉස්සරහා බලාගෙනයි යන්න ඕනේ. ඒ වගේ අපිත් කලින් කරපු වැරදි දිහා ඉඳලා හිටලා හැරිලා බලන එක හොඳයි. මොකද ඒවායින් පාඩම් ඉගෙනගන්නත් ආයේ ඒවා නොකර ඉන්නත් ඒක උදව් වෙයි. හැබැයි අපි දිගටම ඒවා දිහා බලාගෙන වධ වෙන්න ගියොත් යෙහෝවාට දැන් කරන්න පුළුවන් සේවේ කරගන්න අපිට බැරි වෙයි. ඒ නිසා අපි මේ ගමන යන්න ඕනෙ ඉස්සරහා බලාගෙන. මොකද අපි යන්නේ අමිහිරි මතකයන් “ආයේ මතකයට එන්නේ නැති” පාරාදීසයට යන පාරේ.—යෙසා. 65:17; හිතෝ. 4:25.
කණ්ණාඩියෙන් පිටිපස්ස බලබල එළවනවාට වඩා ඉස්සරහා බලාගෙනයි එළවන්න ඕනේ. අපිත් කලින් කරපු වැරදි ගැන හිතනවාට වඩා අනාගත ආශීර්වාද ගැනයි හිතන්න ඕනේ (16 ඡේදය බලන්න)
ඔයාටම ස්ථිර කරගන්න
17. යෙහෝවාගේ ආදරේ ගැනත් ඔහු දෙන සමාව ගැනත් අපි අපිටම ස්ථිර කරගන්න ඕනෙ ඇයි?
17 යෙහෝවාගේ ආදරේ ගැන, ඔහු දෙන සමාව ගැන අපි අපිටම ස්ථිර කරගන්න ඕනේ. (1 යොහ. 3:19, පාදසටහන) මොකද සාතන්ට ඕනෙ ‘යෙහෝවා අපිට ආදරේ නෑ, අපේ පව්කාරකම නිසා යෙහෝවා අපිට සමාව දෙන්නේ නෑ’ කියලා අපි හිතනවා දකින්නයි. ඒ මොන සිතුවිල්ල අපේ හිතට දැම්මාත් සාතන්ට තියෙන්නේ එක ඉලක්කයයි. ඒ, අපි යෙහෝවාට කරන සේවේ නවත්තනවා දකින එක. සාතන්ට තියෙන්නේ තව ටික කාලයක් නිසා එයා තව වැඩියෙන් ඒක කරන්න උත්සාහ කරයි. (එළි. 12:12) ඒත් එයාට දිනන්න දෙන්න එපා!
18. යෙහෝවා ඔයාට ආදරෙයි, ඔහු ඔයාට සමාව දෙන්න කැමතියි කියලා ස්ථිර කරගන්න ඔයාට කරන්න පුළුවන් මොනවාද?
18 කලින් ලිපියෙන් ඉගෙනගත්ත දේවල් අදාළ කරගෙන යෙහෝවාගේ ආදරේ ගැන ඔයාට තියෙන විශ්වාසේ තව වැඩි කරගන්න. යෙහෝවා දෙන සමාව ගැන ඔයාටම ස්ථිර කරගන්න. යෙහෝවා තමන්ව විස්තර කරලා තියෙන විදිහ ගැන හිතන්න. ඔහු සමාව දෙන විදිහ ගැන, ඔහුගේ මඟ පෙන්වීමෙන් බයිබල් ලේඛකයන් ලියපු දේවල් ගැන හිතන්න. ඔයා අතින් වැරදි වෙනවා කියලා යෙහෝවා දන්නවා කියලත් ඔයාත් එක්ක වැඩ කරද්දී ඔහු ඔයාට අනුකම්පාව පෙන්නනවා කියලත් මතක තියාගන්න. යෙහෝවා කවදාවත් භාගෙට සමාව දෙන්නේ නැහැ. ඔහු වරද සම්පූර්ණයෙන්ම අමතක කරනවා. යෙහෝවා ඔයාට සමාව දුන්නා කියලා ඔයාටම ස්ථිර වෙද්දී ඔයාට ලොකු සතුටක් දැනෙයි. එතකොට ඔයාටත් පුළුවන් මෙහෙම කියන්න. “‘මගේ වැරදිවලට, පව්වලට සමාව දුන්නාට’ තෑන්ක් යූ යෙහෝවා!”—ගීතා. 32:5.
ගීතිකාව 1 අපගේ දෙවි යෙහෝවා
a 2009 මැයි 1 ‘මුරටැඹ’ සඟරාවේ “දෙවිට ළං වෙන්න - යෙහෝවා දෙවියනි ඔබ කවුද?” කියන ලිපිය බලන්න.