පාඩම් ලිපිය 35
ගීතිකාව 121 අපව පාලනය කරගනිමු
වැරදි ආශාවන් පරද්දන්න ඔයාට පුළුවන්
“ඔයාලා කරන කියන දේවල් පාලනය කරන්න පව්කාරකමට ඉඩ දෙන්න එපා. මරණයට නියම වෙලා තියෙන ඔයාලාගේ ශරීරයේ ආශාවන්වලට යටත් වෙන්න එපා.”—රෝම 6:12.
ලිපියේ අරමුණ
අධෛර්යය කරවන හැඟීම්වලට, වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කරන්න මේ ලිපිය උදව් වෙනවා.
1. අපි හැමෝටම තියෙන සටන මොකක්ද?
යෙහෝවා අකමැති දෙයක් කරන්න එන පෙලඹීමත් එක්ක ඔයා සටන් කරලා තියෙනවාද? සමහරවිට ඔයාට හිතෙයි මට තියෙන්නේ වෙන කාටවත් නැති සටනක් කියලා. හැබැයි බයිබලේ මෙහෙම කියනවා. “වැරදි දෙයක් කරන්න ඔයාට මොන වගේ පෙලඹීමක් ආවත් ඒක අලුත් දෙයක් නෙමෙයි. අනිත් අයත් ඒ වගේ පීඩා අද්දැකලා තියෙනවා.” (1 කොරි. 10:13, පාදසටහන)a ඒ කියන්නේ ඔයා මොන වගේ වැරදි ආශාවක් එක්ක සටන් කළත් ඒක ඔයා විතරක් කරන සටනක් නෙවෙයි. තව අය ඒ සටන කරනවා. ඒ නිසා ඔයා තනි වෙලා නැහැ. යෙහෝවාගේ උදව්වෙන් ඔයාට පුළුවන් ඒ සටන ජය ගන්න.
2. සමහර ක්‍රිස්තියානීන්ටයි, බයිබල් ශිෂ්‍යයන්ටයි සටන් කරන්න වෙන්නේ මොන වගේ පෙලඹීම් එක්කද? (පින්තූරත් බලන්න.)
2 බයිබලේ කියනවා “කෙනෙක්ට පරීක්ෂාවක් වෙන්නේ තමන්ගෙම ආශාවන් පස්සේ යන එකයි” කියලා. (යාකො. 1:14) එක් කෙනෙක්ට එන පරීක්ෂාවක් තව කෙනෙක්ට එන පරීක්ෂාවකට වඩා වෙනස්. උදාහරණෙකට සමහර ක්‍රිස්තියානීන්ට විරුද්ධ ලිංගයේ කෙනෙක් එක්ක අනාචාරයේ යෙදෙන්න පෙලඹීමක් එන්න පුළුවන්. තවත් අයට සමලිංගික ආශාවන් ඇති වෙන්න පුළුවන්. කලින් අසභ්‍ය දර්ශන බලපු කෙනෙක්ට ආයේ ඒවා බලන්න ආස හිතෙයි. මත්පැන්, මත්ද්‍රව්‍යවලට කලින් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්ටත් තියෙන්නේ ඒ වගේම අභියෝගයක්. අපි ඒ බැලුවේ ක්‍රිස්තියානීන්ටයි, බයිබල් ශිෂ්‍යයන්ටයි සටන් කරන්න වෙන වැරදි පෙලඹීම් කීපයක් විතරයි. එහෙම බලද්දී සමහර වෙලාවට අපි හැමෝටම දැනෙන්නේ පාවුල්ට දැනුණා වගේමයි. එයා කිව්වා “හරි දේ කරන්න මට ඕනෙ වුණත් වැරදි දේ කරන්න තමයි පෙලඹීමක් එන්නේ” කියලා.—රෝම 7:21.
වැරදි පෙලඹීමක් ඕනෑම තැනකදී, ඕනෑම වෙලාවකදී අපේ හිතට එන්න පුළුවන් (2 ඡේදය බලන්න)d
3. එකම වැරදි ආශාව එක්ක දිගටම සටන් කරන කෙනෙක්ට කොහොම දැනෙන්න පුළුවන්ද?
3 ඔයා එකම වැරදි ආශාවක් එක්ක දිගටම සටන් කරනවා නම් සමහරවිට ඔයාට දැනෙයි ‘තවත් නං බෑ, මේක පරද්දන්න මට ශක්තිය නෑ’ කියලා. නැත්නම් ඔයාට හිතෙයි ‘මගේ හිතට මේ වගේ ආශාවන් එන නිසා යෙහෝවා මාව පිළිගන්නේ නෑ, මට දැන් ජීවිතේ කිසි බලාපොරොත්තුවක් නෑ’ කියලා. හැබැයි ඒ එකක්වත් ඇත්ත නෙවෙයි. ඒ ඇයි කියලා තේරුම්ගන්න අපි ප්‍රශ්න දෙකකට උත්තර බලමු. (1) ඒ වගේ සිතුවිලි අපේ හිතේ ඇති වෙනවාට කවුද කැමති? (2) වැරදි ආශාවන් එක්ක සටන් කරලා දිනන්න අපිට පුළුවන් කොහොමද?
“දුෂ්ටයා” කැමති අපි කොහොම හිතනවාටද?
4. (අ) වැරදි ආශාවන් පරද්දන්න ශක්තියක් නැහැ කියලා අපි හිතනවාට සාතන් කැමති ඇයි? (ආ) වැරදි ආශාවන් පරද්දන්න පුළුවන් කියලා අපි දන්නේ කොහොමද?
4 වැරදි ආශාවක් එක්ක සටන් කරන්න මට ශක්තියක් නැහැ කියලා හිතනවාට සාතන් හරි කැමතියි. යේසුස් යාච්ඤා කරන්න උගන්නද්දීත් ඒ කාරණේ කාවැද්දුවා. ඔහු මෙහෙම කිව්වා. “වැරදි පෙලඹීම්වලට අහු වෙන්න අපිට ඉඩ දෙන්න එපා. දුෂ්ටයාගෙන් අපිව බේරගන්න.” (මතෙ. 6:13) සාතන් කිව්වා වැරදි පෙලඹීම් එද්දී මිනිස්සු දෙවියන්ව අත්හරිනවා කියලා. (යෝබ් 2:4, 5) සාතන් එහෙම කිව්වාට එයාම තමයි තමන්ගේ ආශාවන් පස්සේ ගිහිල්ලා යෙහෝවාව අත්හැරියේ. එයා හිතන්නේ එයා වගේ අපිත් වැරදි ආශාවන් එද්දී යෙහෝවාව ඉක්මනින්ම අත්හරියි කියලා. කොටින්ම කිව්වොත් සාතන් හිතුවේ දෙවියන්ගේ පරිපූර්ණ පුතාවත් වැරදි පෙලඹීමකට අහු කරගන්න පුළුවන් කියලා. (මතෙ. 4:8, 9) හැබැයි හිතන්න, ඇත්තටම වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කරන්න අපිට බැරිද? පුළුවන්! පාවුල් කිව්වා “මට බලය දෙන තැනැත්තාගේ උදව්වෙන් ඕනෙම දේකට මූණ දෙන්න මට ශක්තිය ලැබෙනවා” කියලා. (ෆිලි. 4:13) ඒක අපිටත් එහෙමයි.
5. වැරදි ආශාවන්ට විරුද්ධව අපි කරන සටන දිනන්න පුළුවන් කියන දේ යෙහෝවාට විශ්වාසයි කියලා අපි දන්නේ කොහොමද?
5 යෙහෝවා සාතන් වගේ නෙවෙයි. ඔහුට ලොකු විශ්වාසයක් තියෙනවා අපි කොහොමහරි මේ සටන ජය ගනියි කියලා. කොහොමද අපි ඒක දන්නේ? යෙහෝවා කියනවා ඔහුට විශ්වාසවන්ත මහත් සමූහයක් මහත් පීඩාවෙන් බේරිලා එනවා කියලා. යෙහෝවාට බොරු කියන්න බැහැ. ඔහු කියන්නේ ටිකදෙනෙක් නෙවෙයි, විශාල සංඛ්‍යාවක් “බැටළු පැටියාගේ ලේවලින් එයාලාගේ ඇඳුම් හෝදලා සුදු කරගෙන” නිදොස් අය විදිහට අලුත් පොළොවට ඇතුල් වෙනවා කියලා. (එළි. 7:9, 13, 14) ඒකෙන් පේනවා යෙහෝවා අපිව දකින්නේ වැරදි ආශාවන්වලට විරුද්ධව කරන සටන ජය ගන්න බැරි අය විදිහට නෙවෙයි කියලා.
6-7. සාතන් කැමති අපි තව කොහොම හිතෙනවා දකින්නද?
6 ‘වැරදි ආශාවන් හිතට එන නිසා යෙහෝවා මාව පිළිගන්නේ නෑ. මට කිසිම බලාපොරොත්තුවක් නෑ.’ අපි එහෙම හිතනවාටත් සාතන් ගොඩක් කැමතියි. ඒත් ඇත්තටම බලාපොරොත්තුවක් නැත්තේ සාතන්ට. මොකද එයාට සදාකාල ජීවනය දෙන්නේ නැහැ කියලා යෙහෝවා දැනටමත් තීන්දු කරලා ඉවරයි. (උත්. 3:15; එළි. 20:10) ඒ නිසා සාතන්ට අපිත් එක්ක ගොඩක් ඉරිසියා ඇති. මොකද එයාට නැති සදාකාල ජීවිතේ ලබාගන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් සාතන් හදන්නේ ඒ සිතුවිල්ල අපේ හිතටත් දාලා අපිටත් කිසි බලාපොරොත්තුවක් නැහැ කියලා දැනෙන්න සලස්වන්න. හැබැයි බයිබලේ ස්ථිරවම කියනවා යෙහෝවාට ඕනෙ අපිට උදව් කරන්න මිසක් අපිව පැත්තකට දාන්න නෙවෙයි කියලා. “ඔහු කැමති නැහැ කිසිම කෙනෙක් විනාශ වෙනවා දකින්න. ඔහුට ඕනෙ හැමෝටම පසුතැවිලි වෙන්න අවස්ථාව දෙන්න.”—2 පේතෘ. 3:9.
7 අපි හිතනවා නම් ‘වැරදි ආශාවක් එක්ක සටන් කරන්න තරම් මට ශක්තිය නෑ, යෙහෝවා මාව පිළිගන්නේ නැති නිසා මට කිසි බලාපොරොත්තුවක් නෑ’ කියලා අපි හිතන්නේ සාතන් කැමති විදිහට. ඒක තේරුම්ගන්නවා නම් ඒක අපිට උදව් වෙනවා යක්ෂයාට විරුද්ධව ඉන්න අපි අරන් තියෙන අධිෂ්ඨානය තවත් ශක්තිමත් කරගන්න.—1 පේතෘ. 5:8, 9.
පව්කාරකම නිසා අපිට දැනෙන විදිහ
8. වැරදි කරන එකට අමතරව බයිබලේ පාපය කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද? (ගීතාවලිය 51:5) (“පැහැදිලි කිරීමක්” කියන කොටසත් බලන්න.)
8 ‘වැරදි ආශාවන් එක්ක සටන් කරන්න අපිට ශක්තිය නෑ, අපිට කිසි බලාපොරොත්තුවක් නෑ’ කියලා අපිට හිතෙන්නේ සාතන් නිසා විතරක් නෙවෙයි. ඒකට තව හේතුවක් තියෙනවා. ඒ, මුල් දෙමාපියන්ගෙන් අපිට උරුම වුණ පාපය.b—යෝබ් 14:4; ගීතාවලිය 51:5 කියවන්න.
9-10. (අ) පාපයට වැටුණාට පස්සේ ආදම් සහ ඒවට දැනුණේ කොහොමද? (පින්තූරයත් බලන්න.) (ආ) පාපය අපිට බලපාලා තියෙන්නේ කොහොමද?
9 පාපයට වැටුණාට පස්සේ ආදම් සහ ඒවට දැනුණ විදිහ ගැන හිතන්න. එයාලා යෙහෝවාගෙන් හැංගිලා කොළ අතුවලින් එයාලාගේ ශරීරය වහගත්තා. ඒ ගැන ‘ඉන්සයිට්’ පොතේ මෙහෙම කියනවා. “පාපය නිසා එයාලාගේ හිත වධ දුන්නා. එයාලට ලොකු බයක්, ලැජ්ජාවක් දැනුණා. එයාලාගෙන් වැඩක් නැහැ කියලා දැනුණා.” ඒක හරියට ආදම් සහ ඒව කාමර හතරක් තියෙන ගේක හිර වෙලා ඉන්නවා වගේ. ඒ හැඟීම් තමයි කාමර හතර. එයාලට කාමරයෙන් කාමරයට යන්න පුළුවන් වුණාට ඒ ගෙදරින් එළියට එන්න බැහැ. ඒ වගේ පව්කාරකමෙන් එළියට එන්න එයාලට පුළුවන්කමක් තිබ්බේ නැහැ.
10 ඒත් අපි ඉන්නේ ආදම් සහ ඒව හිටපු තත්වෙම නෙවෙයි. මොකද එයාලට ලැබෙන්නේ නැති දෙයක් අපිට ලැබෙනවා. ඒ, ජීවිත පූජාවෙන් ලැබෙන ප්‍රයෝජන. ඒ නිසා පව්වලට සමාව ලබාගන්නත් නිදොස් හෘද සාක්ෂියක් ඇතුව ඉන්නත් අපිට පුළුවන්. (1 කොරි. 6:11) ඒත් අපිට ආදම් සහ ඒවගෙන් පව්කාරකම උරුම වුණා. ඒ නිසා අපෙත් හිත වධ දෙනවා. කනස්සල්ලක්, ලැජ්ජාවක් දැනෙනවා. ආරක්ෂාවක් නැහැ කියලා හිතෙනවා. බයිබලෙත් කියනවා පාපය මිනිස්සුන්ව තදින් අල්ලගෙන ඉන්නවා කියලා. “ආදම් කරපු විදිහේ වරදක් කළේ නැති අයට වුණත් මරණයට යටත් වෙන්න වුණා.” (රෝම 5:14) හැබැයි ඒක අහලා ‘අපිට මේ සටන ජය ගන්න ශක්තිය නෑ. අපිට බලාපොරොත්තුවක් නෑ’ කියලා හිතලා අධෛර්යය වෙන්න ඕනෙ නැහැ. අපිට පුළුවන් ඒ හැඟීම් පරද්දන්න. ඒත් ඒ කොහොමද?
පාපය නිසා ආදම්, ඒවගේ හිත වධ දුන්නා. එයාලට ලැජ්ජාවක්, බයක් දැනුණා (9 ඡේදය බලන්න)
11. මේ සටන දිනන්න බැහැ කියලා හිතුණත් රෝම 6:12 කියන විදිහට අපිට කරන්න පුළුවන් මොකක්ද?
11 වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කරන්න තරම් ශක්තියක් නැහැ කියලා ඔයාගේ හිත ඔයාට කියනවා නම් මතක තියාගන්න ඒ ඔයාට කතා කරන්නේ පව්කාරකම කියලා. ඒකට ඇහුම්කන් දෙන්න එපා. බයිබලේ කියනවා අපිව දිගටම “පාලනය කරන්න” පව්කාරකමට ඉඩ නොදී ඉන්න අපිට පුළුවන් කියලා. (රෝම 6:12 කියවන්න.) ඒ කියන්නේ වැරදි ආශාවන්වලට යට වෙන්නේ නැතුව ඉන්න අපිට පුළුවන්. (ගලා. 5:16) යෙහෝවාටත් ලොකු විශ්වාසයක් තියෙනවා එහෙම කරන්න අපිට පුළුවන් කියලා. නැත්නම් එහෙම දෙයක් කරන්න කියලා ඔහු අපෙන් ඉල්ලන්නේ නැහැ. (ද්වි. 30:11-14; රෝම 6:6; 1 තෙස. 4:3) ඒකෙන් තේරෙනවා වැරදි ආශාවන්ට විරුද්ධව කරන සටන දිනන්න අපිට පුළුවන් කියලා.
12. කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා හිතුණොත් අපි කරන්න ඕනෙ මොකක්ද? ඒ ඇයි?
12 යෙහෝවා මාව පිළිගන්නේ නැති නිසා මට කිසිම බලාපොරොත්තුවක් නැහැ කියලා ඔයාගේ හිතත් ඔයාට කියනවා නම් මතක තියාගන්න ඒ කතා කරන්නෙත් පව්කාරකම කියලා. ඒකට ඇහුම්කන් දෙන්න එපා. බයිබලේ කියනවා අපි ඉපදෙන්නෙම උරුම කරගෙන කියලා යෙහෝවා තේරුම්ගන්නවා කියලා. (ගීතා. 103:13, 14) ඔහු අපි ගැන “හැම දේම දන්නවා.” අපි එක් එක් කෙනාට පව්කාර ආශාවන් ඇති වෙන්න පාපය බලපාන්නේ කොහොමද කියලත් ඔහු දන්නවා. (1 යොහ. 3:19, 20) ඒ නිසා අපි වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කරලා ඒ වැරදිවලට වැටෙන්නේ නැති තාක් කල් යෙහෝවා අපිව සලකන්නේ පවිත්‍ර අය විදිහට. කොහොමද ඒක හරියටම කියන්නේ?
13-14. අපිට වැරදි ආශාවන් තියෙන නිසාම යෙහෝවා අපිව පිළිගන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? පැහැදිලි කරන්න.
13 බයිබලේ පෙන්නනවා වැරදි ආශාවක් ඇති වෙන එක සහ වැරදි දෙයක් කරන එක අතර ලොකු වෙනසක් තියෙනවා කියලා. වැරදි ආශාවක් හිතට එන එක වළක්වන්න අපිට බැහැ. ඒත් වැරදි ක්‍රියාවකින් වැළකෙන්න අපිට පුළුවන්. කොරින්තියේ හිටපු ක්‍රිස්තියානීන් ගැන හිතන්න. එයාලාගෙන් සමහරු කලින් සමලිංගික ක්‍රියාවල හවුල් වුණ අය. ඒකයි පාවුල් කිව්වේ “ඔයාලාගෙන් සමහරදෙනෙක් කලින් ඒ වගේ දේවල් කළා” කියලා. ඒ කියන්නේ සත්‍යයට ආවාට පස්සේ එයාලට කවදාවත් සමලිංගික හැඟීම් ආවේ නැද්ද? එහෙම හිතන්න බැහැ. මොකද ඒ වගේ ආශාවන් ගොඩක් ප්‍රබල නිසා ඒවා ලේසියෙන් හිතෙන් යන්නේ නැහැ. ඒත් තමන්වම පාලනය කරගෙන ඒ ආශාවන්ට අහු වෙලා වැඩ නොකරපු අයව යෙහෝවා පිළිගත්තා. ඔහු එයාලව සැලකුවේ “හෝදලා පවිත්‍ර” කරපු අය විදිහට. (1 කොරි. 6:9-11) ඔහු ඔයාව සලකන්නෙත් එහෙමයි.
14 ඔයා මේ වෙලාවේ මොන වගේ වැරදි ආශාවක් එක්ක සටන් කළත් ඔයාට පුළුවන් ඒවා පරද්දන්න. ඒ ආශාව ඔයාගේ හිතෙන් සම්පූර්ණයෙන්ම අයින් කරන්න බැරි වුණත් ඔයාට පුළුවන් ඔයාවම පාලනය කරගෙන ‘ආශාවන්ට වහල් වෙලා ඔයාට හිතෙන හිතෙන හැම දෙයක්ම’ කරන එකෙන් වැළකිලා ඉන්න. (එෆී. 2:3) හැබැයි ඒ ආශාව පරද්දන්න උදව් වෙන්නේ මොනවාද?
දිනන්න නම් . . .
15. වැරදි ආශාවන් පරද්දන්න නම් අපි අපිටම අවංක වෙන්න ඕනෙ ඇයි?
15 වැරදි ආශාවන් පරද්දන්න නම් ඔයාටම අවංක වෙලා ඔයාගේ දුර්වලකම් අඳුරගන්න. හැබැයි ‘බොරු අදහස්වලින්’ ඔයාව රවට්ටගන්න එපා. (යාකො. 1:22) බොරු හේතු මවලා වරද බාල කරන්න එපා. ඔයාට හිතෙයි ‘මට වඩා අනිත් අය බොනවානේ’ කියලා. වරද වෙන කෙනෙක් පිට පටවන්නත් එපා. ඔයා කියයි ‘මගේ නෝනා මට මීට වඩා ආදරේ පෙන්නුවා නම් මං අසභ්‍ය දර්ශන බලන්නේ නෑනේ’ කියලා. ඒකෙන් වෙන්නේ වැරදි ආශාවට ඔයාව අහු කරගන්න ඔයාම උදව් කරන එකයි. වරදක් කරන්න හිතින්වත් නිදහසට හේතු මවන්න එපා. මොකද ඔයා කරන දේවලට වග කියන්න වෙන්නේ ඔයාටමයි.—ගලා. 6:7.
16. හරි දේ කරන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය තව ශක්තිමත් කරගන්න පුළුවන් කොහොමද?
16 ඔයා ඔයාටම අවංක වෙනවා වගේම වැරදි ආශාවකට යට නොවී ඉන්න ඔයා අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්නත් ඕනේ. (1 කොරි. 9:26, 27; 1 තෙස. 4:4; 1 පේතෘ. 1:15, 16) ඔයා වැරදි දේකට අහු වෙන්න වැඩි ඉඩකඩක් තියෙන්නේ මොන වගේ අවස්ථාවකදීද, මොන වගේ වෙලාවකදීද කියන එක ගැන කල්පනාවෙන් ඉන්න. ඔයා වැරදි පෙලඹීමකට අහු වෙන්න වැඩි ඉඩකඩක් තියෙන නිශ්චිත වෙලාවක් හරි නිශ්චිත දෙයක් හරි ඇති. උදාහරණෙකට ඒ වගේ දේකට ඔයා ලේසියෙන්ම අහු වෙන්නේ මහන්සි වෙලා ඉද්දීද? නැත්නම් ටිකක් රෑ බෝ වුණාමද? එන්න පුළුවන් වැරදි පෙලඹීම ගැන හිතලා ඒකට අහු නොවී ඉන්න ඔයා මොනවාද කරන්නේ කියලා තීරණේ කරන්න. හැබැයි ඔයා ඒක කරන්න ඕනෙ පෙලඹීම ආවාම නෙවෙයි ඊට කලින්.—හිතෝ. 22:3.
17. යෝසෙප්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද? (උත්පත්ති 39:7-9) (පින්තූරත් බලන්න.)
17 පොතිෆර්ගේ බිරිඳ වැරදි දෙයක් කරන්න යෝසෙප්ව පොලඹවගන්න හදද්දී යෝසෙප් වැඩ කරපු විදිහ ගැන හිතන්න. ඒ යෝජනාව එයා ඉක්මනින්ම, කෙළින්ම ප්‍රතික්ෂේප කළා. (උත්පත්ති 39:7-9 කියවන්න.) ඒකෙන් තේරෙනවා වැරදි යෝජනාව ගේන්න කලින් තමයි යෝසෙප් හරි දේ කරන්න අධිෂ්ඨාන කරගෙන හිටියේ කියලා. අපිත් අපිට වැරදි පෙලඹීමක් එන්න කලින් තමයි ඒකට අහු වෙන්නේ නැහැ කියලා අපි අරන් තියෙන අධිෂ්ඨානය ශක්තිමත් කරගන්න ඕනේ. එතකොට ‘වැරදි පෙලඹීමක් ආවොත් මං මෙන්න මෙහෙම කරනවා’ කියලා ඔයා අරන් තියෙන තීරණේට එකඟව වැඩ කරන්න ලේසියි.
යෝසෙප් වගේ ඉක්මනින් වැරදි පෙලඹීම් ප්‍රතික්ෂේප කරන්න (17 ඡේදය බලන්න)
“නිතරම සෝදිසි කරලා බලන්න”
18. වැරදි ආශාවන්වලට විරුද්ධව කරන සටන දිනන්න නම් තව මොනවාද ඔයාට කරන්න පුළුවන්? (2 කොරින්ති 13:5)
18 වැරදි ආශාවන්වලට විරුද්ධව කරන සටන දිනන්න නම් ඔයා ඔයාවම “නිතරම සෝදිසි කරලා බලන්න” ඕනේ. (2 කොරින්ති 13:5 කියවන්න.) කාලෙන් කාලෙට ඔයා හිතන විදිහ, වැඩ කරන විදිහ ගැන හිතලා අවශ්‍ය වෙනස්කම් කරගන්න. උදාහරණෙකට වැරදි පෙලඹීමක් එක්ක සටන් කරලා දින්නාට පස්සෙත් මෙහෙම හිතන්න. ‘කොච්චර වෙලාවක් මං ඒ ආසාව එක්ක ඔට්ටු වුණාද?’ සටන දිනන්න ඔයාට ටිකක් වෙලා ගියා කියලා තේරුණොත් අධෛර්යය වෙන්න එපා. ඒ වෙනුවට ඊළඟ සැරේ ඊට වඩා හොඳට සටන් කරන්න පුළුවන් විදිහ ගැන හිතන්න. ඔයාගෙන්ම මේ වගේ ප්‍රශ්න අහන එක ඒකට ඔයාට උදව් වෙයි. ‘වැරදි ආශාවක් හිතට ආවාම මීට වඩා ඉක්මනින් මට ඒක හිතින් අයින් කරගන්න පුළුවන්ද? මං අහන, බලන, කියවන දේවල් මගේ සටන තව අමාරු කරනවාද? අසභ්‍ය දෙයක් දැක්කාම මං ඉක්මනින්ම අහක බලාගන්නවාද? යෙහෝවාට කීකරු වෙන්න මට මාවම පාලනය කරගන්න මහන්සි වෙන්න වුණත් ඔහුට කීකරු වෙන එක තමයි හොඳම දේ කියලා මං තේරුම් අරන් ඉන්නවාද?’—ගීතා. 101:3.
19. එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා හිතලා අපි ගන්න මෝඩ තීරණ නිසා අපේ සටන තව අමාරු වෙන්න පුළුවන් කොහොමද?
19 නිදහසට කරුණු කියන එකෙනුත් වළකින්න. බයිබලේ කියනවා ‘හැම දේටම වඩා මිනිසාගේ හිත රැවටිලිකාරයි. හිත උත්සාහ කරන්නේ තමන් ආස කරන දේ කොහොමහරි ඉටු කරගන්නයි’ කියලා. (යෙරෙ. 17:9) යේසුත් කිව්වා “දුෂ්ට අදහස්” එන්නේ හිතෙන් කියලා. (මතෙ. 15:19) උදාහරණෙකට අසභ්‍ය දර්ශන බලන පුරුද්දෙන් ගොඩ ආපු කෙනෙක් කාලයක් ගියාට පස්සේ හිතයි ‘ලිංගික හැඟීම් අවුස්සන විදිහේ පින්තූර බැලුවාට ප්‍රශ්නයක් නෑ, මොකද ඒවාවල නිරුවත් දර්ශන නෑනේ’ කියලා. නැත්නම් එයා හිතයි ‘වැරදි දෙයක් කරන විදිහ මං හිතින් මවාගත්තාට කමක් නෑ, මොකද මං ඒක ඇත්තටම කරන්නේ නෑනේ’ කියලා. එහෙම හිතන කෙනෙක් කරන්නේ “වැරදි ආශාවන් ඉටු කරගන්නේ කොහොමද කියලා කල්තියාම සැලසුම් කරන” එකයි. (රෝම 13:14) ඒ උගුලට අහු නොවී ඉන්න ඔයාට පුළුවන් කොහොමද? ‘එච්චර ලොකු දෙයක් නෙවෙයි’ කියලා හිතලා ගන්න පුළුවන් මෝඩ තීරණ අඳුරගෙන ඒවායින් ඈත් වෙන්න. මොකද ඒ වගේ පොඩි තීරණ තමයි වැරැද්දකට පාර කපන ලොකු ලොකු තීරණ ගන්න ඔයාව පොලඹවන්නේ.c ඒ නිසා වැරදි දෙයක් කරන්න නිදහසට හේතු මවන, “දුෂ්ට අදහස්” සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න.
20. අනාගතේ ගැන අපිට තියෙන බලාපොරොත්තුව මොකක්ද? දැන් අපිට ලැබෙන උදව් මොනවාද?
20 අපි බැලුවා වගේ වැරදි ආශාවන්ට විරුද්ධව සටන් කරන්න ඕන ශක්තිය යෙහෝවා අපිට දෙනවා. ජීවිත පූජාව නිසා අපේ පව්වලට සමාව ලබාගෙන සදාකල් ජීවත් වෙන බලාපොරොත්තුවත් අපිට තියෙනවා. එදාට වැරදි පෙලඹීම් එක්ක සටන් කරන්න වෙන්නේ නැහැ. එදාට අපිට කොච්චර නිදහසකින් යෙහෝවාට සේවේ කරන්න පුළුවන් වෙයිද! දැනුත් වැරදි ආශාවන් පරද්දන්න ශක්තිය අපිට තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේට බලාපොරොත්තුවක් තියෙනවා. සටන් කරන්න අපි ගන්න මහන්සියට යෙහෝවා ආශීර්වාද කරන නිසා මේ සටන දිනන්න අපිට පුළුවන්.
ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු
a ඒ බයිබල් පදය ‘නව අනුවාදයේ’ තියෙන්නේ “පොදුවේ හැම මිනිසකුටම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත” කියලා.
b පැහැදිලි කිරීමක්: හොරකම් කරන එක, අනාචාරයේ යෙදෙන එක, මිනී මරන එක වගේ වැරදි ක්‍රියාවක් කරන එක තමයි හුඟක් වෙලාවට බයිබලේ “පාපය” කියද්දී අදහස් කරන්නේ. (නික්. 20:13-15; 1 කොරි. 6:18) සමහර පදවල “පාපය” කියද්දී අදහස් කරන්නේ අපිට උපතින්ම උරුම වෙන පව්කාරකම. අපි ඉපදෙද්දී කිසිම වරදක් කරලා නැති වුණත් අපි පව්කාරයන්.
c හිතෝපදේශ 7:7-23 කතා කරලා තියෙන තරුණයා ලිංගික දුරාචාරය කියන බරපතළ වරද කරන්න කලින් ‘එච්චර ලොකු දෙයක් නෙවෙයි’ කියලා හිතලා පොඩි පොඩි මෝඩ තීරණ ගත්තා.
d පින්තූරවල අදහස: වම: කෝපි එකක් බොන්න ගිහින් ඉන්න තරුණ සහෝදරයෙක් එතන ඉන්න පිරිමි දෙන්නෙක් එකිනෙකාට ආදරේ පෙන්නන විදිහ දකිනවා. දකුණ: සහෝදරියක් සිගරට් බොන දෙන්නෙක්ව දකිනවා.