පාඩම් ලිපිය 41
ගීතිකාව 108 දෙවිගේ සදාතනික ප්‍රේමය
වෙනස් නොවෙන ආදරයක්!
“ යෙහෝවා දෙවියන්ට ස්තුති කරන්න. මොකද ඔහු යහපත්. ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ.”—ගීතා. 136:1.
ලිපියේ අරමුණ
යෙහෝවා අපිට නොසැලෙන ආදරයක් පෙන්නනවා කියන එක බයිබලේ තියෙන මූලික ඉගැන්වීමක්. ඒක මතක තියාගන්න එක අමාරු දේකට මූණ දෙන්න අපිට උදව් වෙන විදිහ අපි බලනවා.
1-2. ගොඩක් ක්‍රිස්තියානීන් මූණ දෙන අභියෝගය මොකක්ද?
සැඩ කුණාටුවක් මැද තියෙන බෝට්ටුවක් ගැන හිතන්න. රළ පහරත් එක්ක බෝට්ටුව එහෙට මෙහෙට ගහගෙන යනවා. හැබැයි නැංගුරමක් දැම්මොත් රළ පහරත් එක්ක බෝට්ටුව ගහගෙන යන එක නවත්තගන්න පුළුවන්.
2 අමාරු ප්‍රශ්නෙකට මූණ දෙද්දී ඔයාත් අර එහෙට මෙහෙට ගහගෙන යන බෝට්ටුව වගේ. ඔයාගේ හැඟීම් ඉක්මනින් වෙනස් වෙයි. දවසක ඔයාට හිතෙයි යෙහෝවාගේ ආදරේ, උදව් ඔයාට තියෙනවා කියලා. හැබැයි ඊළඟ දවසේ හිතෙයි ‘යෙහෝවාට මං මේ විඳින වේදනාව පේන්නේ නැද්ද’ කියලා. (ගීතා. 10:1; 13:1) ඔයාගේ යාළුවෙක් ඇවිත් ඔයාව සනසද්දී ඔයාට ටික වෙලාවකට සහනයක් දැනෙයි. (හිතෝ. 17:17; 25:11) හැබැයි පස්සේ ආයෙත් ඒ සැකයන් මතු වෙයි. ඒ වගේ වෙලාවට ඔයාට හිතෙයි ‘යෙහෝවා මාව පැත්තකට දාලාද’ කියලා. එහෙම දැනෙද්දී නැංගුරමක් දාගන්න ඔයාට පුළුවන් කොහොමද? ඒ කියන්නේ යෙහෝවාගේ ආදරේ, උදව් ඔයාට තියෙනවා කියලා ස්ථිර වෙන්න පුළුවන් කොහොමද? ඒ ආදරේ ගැන දිගටම විශ්වාසෙන් ඉන්න පුළුවන් කොහොමද?
3. ගීතාවලිය 31:7 සහ 136:1 යෙහෝවාගේ ආදරේ ගැන ඉගෙනගන්න පුළුවන් මොකක්ද? ඒ වගේ ආදරයක් පෙන්නන ශ්‍රේෂ්ඨතම ආදර්ශය යෙහෝවායි කියන්නේ ඇයි? (පින්තූරයත් බලන්න.)
3 අමාරු ප්‍රශ්නයක් මැද්දේ ඔයාට නැංගුරමක් දාගන්න පුළුවන් එක විදිහක් තමයි යෙහෝවාගේ නොසැලෙන ආදරේ ගැන මතක තියාගන්න එක. (ගීතාවලිය 31:7; 136:1 කියවන්න.) “නොසැලෙන ආදරේ” කියන්නේ දෙන්නෙක් අතර තියෙන කවදාවත් වෙනස් වෙන්නේ නැති, ගැඹුරු බැඳීමකට. ඒ වගේ ආදරයක් පෙන්නන ශ්‍රේෂ්ඨතම ආදර්ශය අපේ යෙහෝවා. බයිබලේ ඔහුව විස්තර කරන්නේ “නොසැලෙන ආදරෙන් පිරුණු” කෙනෙක් විදිහට. (නික්. 34:6, 7) ‘යෙහෝවාගේ නම කියලා අයැදින හැමෝටම ඔහු පෙන්වන නොසැලෙන ආදරේට නිමක් නැහැ’ කියලත් ඒකේ කියනවා. (ගීතා. 86:5) ඒ පදවලින් අදහස් කරන දේ ගැන පොඩ්ඩක් හිතන්න. යෙහෝවා කවදාවත් ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව අත්හරින්නේ නැහැ. ඔයා කුණාටුවක් වගේ ප්‍රශ්නෙක ඉද්දී යෙහෝවාගේ ඒ ආදරේ මතක තියාගන්න එක හරියට නැංගුරමක් දානවා වගේ.—ගීතා. 23:4.
සැඩ කුණාටුවකට අහු වුණ බෝට්ටුවක් එක තැන තියාගන්න නැංගුරමකට පුළුවන්. ඒ වගේ යෙහෝවාගේ ආදරේ ගැන අපිට තියෙන විශ්වාසෙට පුළුවන් ප්‍රශ්න මැද ස්ථිරව ඉන්න අපිට උදව් කරන්න (3 ඡේදය බලන්න)
මූලික ඉගැන්වීමක් කියලා මතක තියාගන්න
4. බයිබලේ තියෙන මූලික ඉගැන්වීම්වලට උදාහරණ කීපයක් දෙන්න. අපි ඒවා සැක නොකර විශ්වාස කරන්නේ ඇයි කියලා පැහැදිලි කරන්න.
4 යෙහෝවාගේ ආදරේ කියන්නේ බයිබලේ තියෙන මූලික ඉගැන්වීමක් කියලා මතක තියාගන්න. ඒක උදව් වෙයි යෙහෝවාගේ ආදරේ ගැන ඔයාට තියෙන විශ්වාසේ වැඩි කරගන්න. “මූලික බයිබල් ඉගැන්වීමක්” කියද්දී ඔයාගේ ඔළුවට එන්නේ මොකක්ද? ඔයා බයිබලෙන් ඉගෙනගත්ත සත්‍යයන් සමහරවිට ඔයාට මතක් වෙයි. උදාහරණෙකට දෙවියන්ගේ නම යෙහෝවා කියලා ඔයා ඉගෙනගත්තා. යේසුස් දෙවියන්ගේ පුතා කියලත් මැරුණ අය කිසි දෙයක් දන්නේ නැහැ කියලත් පොළොව පාරාදීසයක් වෙලා මිනිස්සු හැමදාටම ඒකේ ජීවත් වෙනවා කියලත් ඔයා ඉගෙනගත්තා. (ගීතා. 83:18; දේශ. 9:5; යොහ. 3:16; එළි. 21:3, 4) ඔයා ඒ ඉගැන්වීම් සත්‍යයයි කියලා පිළිගත්තාම ඒවා ගැන ආයේ සැක කළේ නැහැ. මොකද ඒවා සත්‍යය කියලා පිළිගන්න ඔයාට හොඳ හේතු තිබුණා. අපි ප්‍රශ්නෙක ඉද්දී, යෙහෝවාගේ නොසැලෙන ආදරේ බයිබලේ තියෙන මූලික ඉගැන්වීමක් කියලා මතක තියාගන්න එක සැකයන් පරද්දන්න අපිට උදව් වෙනවා. ඒ කොහොමද?
5. කෙනෙක් බොරු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන විදිහ පැහැදිලි කරන්න.
5 බයිබලේ ඉගෙනගද්දී බොරු ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන්න ඔයාට මොනවාද උදව් වුණේ? ඔයාගේ ආගමේ උගන්නපු දේවලුයි, බයිබලෙන් ඉගෙනගත්ත දේවලුයි ඔයා සසඳලා බැලුවා. උදාහරණෙකට ඔයා විශ්වාස කරන්න ඇත්තේ සියලු බලැති දෙවියන් යේසුස් කියලා. හැබැයි බයිබලේ ඉගෙනගද්දී ඔයා හිතුවා ‘මං මේ විශ්වාස කරන දේ හරිද’ කියලා. බයිබලේ තියෙන සාක්ෂි හොයලා බැලුවාම ඔයාට තේරුණා ඒක වැරදියි කියලා. ඒ නිසා ඔයා ඒ බොරු ඉගැන්වීම අයින් කරලා යේසුස් “දෙවියන්ගේ මුල්ම නිර්මාණය,” “දෙවියන්ගේ එකම පුතා” කියන බයිබල් සත්‍යය පිළිගත්තා. (කොලො. 1:15; යොහ. 3:18) ඇත්ත, බොරු ඉගැන්වීම් ‘ශක්තිමත් බලකොටු’ වගේ. ඒවා ලේසියෙන් බිඳලා දාන්න බැහැ. (2 කොරි. 10:4, 5) හැබැයි ඔයා ඒවා බිඳලා දැම්මාට පස්සේ ආයෙත් ඒවා විශ්වාස කළේ නැහැ.—ෆිලි. 3:13.
6. යෙහෝවාගේ “ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ” කියලා ඔයාට ස්ථිර ඇයි?
6 යෙහෝවාගේ ආදරේ ගැන බයිබලේ තියෙන ඉගැන්වීමටත් ඔයාට ඒ වගේම දෙයක් කරන්න පුළුවන්. ප්‍රශ්නෙකට මූණ දෙද්දී යෙහෝවාගේ ආදරේ ගැන ඔයාට සැකයක් දැනෙනවා නම් ඔයාගෙන්ම අහගන්න ‘මං මේ හිතන විදිහ හරිද’ කියලා. ඊටපස්සේ ඒ සැකෙයි, මේ ලිපියේ ප්‍රධාන බයිබල් පදය වන ගීතාවලිය 136:1 කියන දේයි සසඳලා බලන්න. ඇයි එතන යෙහෝවාගේ ආදරේ “ඉමහත්” නැත්නම් “නොසැලෙන” එකක් කියන්නේ? ඇයි ඒ ගීතිකාවේ “ඔහුගේ ඉමහත් ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ” කියලා 26වතාවක්ම කියන්නේ? අපි බැලුවා වගේ යෙහෝවා නොසැලෙන ආදරයක් පෙන්නනවා කියන එකත් ඔයා බයිබලෙන් ඉගෙනගත්ත, පිළිගත්ත අනිත් මූලික ඉගැන්වීම් වගේම ඉගැන්වීමක්. ඒත් යෙහෝවාට ඔයාව වටින්නේ නැහැ, ඔහු ඔයාට ආදරේ නැහැ කියන්නේ බොරු ඉගැන්වීමක්. ඒ බොරු ඉගැන්වීමත් එක පයින්ම ප්‍රතික්ෂේප කරන්න.
7. යෙහෝවා ඔයාට ආදරෙයි කියලා සහතික කරන බයිබල් පද කීපයක් කියන්න.
7 යෙහෝවාගේ ආදරේ ගැන ස්ථිර කරන ගොඩක් බයිබල් පද තියෙනවා. උදාහරණෙකට යේසුස් ගෝලයන්ට කිව්වා “ඔයාලා ගේකුරුල්ලන් හුඟදෙනෙක්ට වඩා ගොඩක් වටිනවා” කියලා. (මතෙ. 10:31) යෙහෝවාම ඔහුගේ සෙනඟට මෙහෙම කිව්වා. “මම ඔබව ශක්තිමත් කරනවා. ඔබට උදව් කරනවා. යුක්තිය ඉටු කරන මගේ දකුණතින් මම ඔබව අල්ලගන්නවා. ඔබව කොහොමටවත් අත්හරින්නේ නැහැ.” (යෙසා. 41:10) ඒ වචන කොච්චර ස්ථිරද! යේසුස් කිව්වේ ‘යෙහෝවාට ඔයාව වටිනවා ඇති’ කියලා නෙවෙයි ‘ගොඩක් වටිනවා’ කියලයි. යෙහෝවා කිව්වේ ‘මං උදව් කරන්න බලන්නම්’ කියලා නෙවෙයි ‘ඔයාට උදව් කරනවා’ කියලයි. ප්‍රශ්නෙක ඉද්දී යෙහෝවාගේ ආදරේ ගැන සැක හිතුණොත් ඒ බයිබල් පද ගැන හිතන්න. ඒවා යෙහෝවාගේ ආදරේ ගැන නිකම්ම හැඟීමක් දෙනවාට වඩා දෙයක් කරනවා. ඒවා උදව් වෙනවා යෙහෝවා ඔයාට ආදරෙයි කියලා සැකයක් නැතුව ස්ථිර කරගන්න. මොකද ඒ පදවල තියෙන්නේ සත්‍ය තොරතුරු. යාච්ඤා කරලා ඒවා ගැන හොඳට හිතන්න. එතකොට 1 යොහන් 4:16 කියන මේ වචන ඔයාටත් කියන්න පුළුවන්. “දෙවියන්ගේ ආදරේ අපි අද්දැක්කා. ඒ නිසා ඔහු අපිට ආදරෙයි කියලා අපිට කිසිම සැකයක් නැහැ.”a
8. ඔයාට තාමත් යෙහෝවාගේ ආදරේ ගැන සැක ඇති වෙනවා නම් මොනවාද කරන්න පුළුවන්?
8 හැබැයි ඔයා මොනවා කළත් සැරින් සැරේ යෙහෝවාගේ ආදරේ ගැන සැකයක් හිතෙනවා නම් ඔයාට මොනවාද කරන්න පුළුවන්? ඒකට ඔයාට දැනෙන දේයි, ඔයා දන්න දේයි සන්සන්දනය කරලා බලන්න. හැඟීම් වෙනස් වෙනවා. හැබැයි සත්‍යයන් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. යෙහෝවා අපිට ආදරේ කරනවා කියන එක බයිබලේ අපිට උගන්නන සත්‍යයක්. ඒ ගැන අපි සැක කරනවා කියන්නේ දෙවියන් තමයි ආදරේ කියලා බයිබලේ කියන දේත් බොරුවක් කියලා කියනවා වගේ දෙයක්.—1 යොහ. 4:8.
යෙහෝවා ‘ඔයාට ආදරෙයි’ කියන එක ගැන හිතන්න
9-10. යොහන් 16:26, 27 “තාත්තා ඔයාලට ගොඩක් ආදරෙයි” කියලා යේසුස් කියද්දී ඔහුගේ මනසේ තිබ්බේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
9 යේසුස් ගෝලයන්ට කියපු දේකිනුත් යෙහෝවාගේ ආදරේ ගැන අපිට තව ඉගෙනගන්න පුළුවන්. ඔහු කිව්වා “තාත්තා ඔයාලට ගොඩක් ආදරෙයි” කියලා. (යොහන් 16:26, 27 කියවන්න.) යේසුස් එහෙම කිව්වේ ගෝලයන්ගේ හිතේ නිකම්ම හොඳ හැඟීමක් ඇති කරන්න හිතාගෙන නෙවෙයි. මොකද අවට පද බලද්දී තේරෙනවා යේසුස් කතා කරකර හිටියේ යාච්ඤා කරන එක ගැන කියලා.
10 යේසුස් ඒ වචන ගෝලයන්ට කියන්න කලින් කිව්වා යාච්ඤා කරද්දී ඔහුට නෙවෙයි, ඔහුගේ නමින් යාච්ඤා කරන්න කියලා. (යොහ. 16:23, 24) ඒක එයාලා තේරුම්ගන්න එක වැදගත් වුණා. මොකද යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ඔහුට යාච්ඤා කරන්න එයාලා පෙලඹෙන්න ඉඩ තිබුණා. යේසුස් එයාලාගේ කිට්ටු යාළුවෙක්. ඉතින් එයාලාගේ ඉල්ලීම් යේසුස්ට කිව්වොත් ඔහු ඒක තාත්තාට කියලා ඒවා ඉටු කරලා දෙයි කියලා එයාලා හිතන්න ඉඩ තිබුණා. හැබැයි යේසුස් කියන්නේ එයාලා එහෙම හිතන්න ඕනෙ නැහැ කියලා. මොකද ඔහු කිව්වේ “තාත්තා ඔයාලට ගොඩක් ආදරෙයි” කියලා. යෙහෝවා අපිට ගොඩක් ආදරේ නිසා අපේ යාච්ඤා අහන්නේ ඔහුමයි. ඒ දේ යාච්ඤාව ගැන බයිබලේ තියෙන මූලික ඉගැන්වීමක්. ඒක ඔයාට අදාළ වෙන විදිහ ගැන හිතන්න. ඔයා බයිබලේ ඉගෙනගද්දී යේසුස්ව අඳුරගත්තා. ඔයාට ඔහු ගැන ලොකු ආදරයක් ඇති වුණා. (යොහ. 14:21) හැබැයි “යෙහෝවා ඔයාට ආදරෙයි” කියලා ඔයා දන්න නිසා ඔයාටත් පුළුවන් යේසුස්ගේ ගෝලයන් වගේ යෙහෝවාට විශ්වාසෙන් යාච්ඤා කරන්න. ඔයා යෙහෝවාට යාච්ඤා කරන හැම වතාවකම පෙන්නනවා යේසුස් කියපු ඒ වචන ඔයාට විශ්වාසයි කියලා.—1 යොහ. 5:14.
යෙහෝවා ‘ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා දැනන් ඉන්න එක ඔයාට උදව් වෙනවා විශ්වාසෙන් ඔහුට යාච්ඤා කරන්න (9-10 ඡේද බලන්න)b
සැක ඇති වෙන්න හේතු තේරුම්ගන්න
11. යෙහෝවාගේ ආදරේ ගැන අපි සැක කරන්න ගත්තොත් ඒ ගැන සාතන් සතුටු වෙන්නේ ඇයි?
11 යෙහෝවාගේ ආදරේ ගැන අපි සැක කරන්න පෙලඹෙන්නේ ඇයි? ඔයා හිතයි ඒ සාතන් නිසා කියලා. ඔව්, ඒකේ ඇත්තක් තියෙනවා. මොකද සාතන් අපිව ‘ගිලලා දාන්න හොයහොය’ ඉන්නේ. අපි යෙහෝවාගේ ආදරේ ගැන සැක කළොත් එයාට ඒක කරන්න ලේසියි. (1 පේතෘ. 5:8) යෙහෝවා අපිට ආදරේ නිසා අපි වෙනුවෙන් යේසුස්ගේ ජීවිත පූජාව දුන්නා. හැබැයි සාතන්ට ඕනෙ ඒ පූජාවෙන් ප්‍රයෝජන ලබන්න තරම්වත් අපි වටින්නේ නැහැ කියලා අපි හිතනවාට. (හෙබ්‍රෙ. 2:9) යෙහෝවාගේ ආදරේ ගැන අපි සැක කරන්න ගත්තොත් ඒකේ වාසිය කාටද? සාතන්ට. අපි අධෛර්යය වෙලා යෙහෝවාව අත්හැරියොත් ඒ ගැන සතුටු වෙන්නේ කවුද? සාතන්ම තමයි. යෙහෝවා අපිට ආදරේ නැහැ කියලා සාතන් අපේ හිතට දාන්න හැදුවාට ඇත්තටම යෙහෝවාගේ ආදරේ නැත්තේ එයාට. හැබැයි අදටත් සාතන්ගේ ‘කපටි උපායක්’ තමයි යෙහෝවා අපිට ආදරේ නැහැ, ඔහුට අපිව වටින්නේ නැහැ කියලා අපිට දැනෙන්න සලස්වන එක. (එෆී. 6:11) අපේ සතුරා කරන්න හදන දේ අපි හොඳට තේරුම්ගද්දී අපිට පුළුවන් තව වැඩියෙන් සාතන්ට “විරුද්ධ වෙන්න.”—යාකො. 4:7.
12-13. පව්කාරකම නිසා යෙහෝවාගේ ආදරේ ගැන සැක කරන්න අපි පෙලඹෙන්න පුළුවන් ඇයි?
12 යෙහෝවාගේ ආදරේ ගැන සැක කරන්න අපිව පොලඹවන තව දෙයක් තියෙනවා. ඒ තමයි අපිට උරුම වුණ පව්කාරකම. (ගීතා. 51:5; රෝම 5:12) පව්කාරකම නිසා අපේ නිර්මාතෘ එක්ක අපිට තියෙන බැඳීමට හානියක් වුණා. ඒ වගේම අපේ මනසට, හදවතට සහ අපේ ශරීරයටත් ඒකෙන් හානියක් වුණා.
13 පව්කාරකම අපි හිතන විදිහටත් බලපෑවා. ඒකයි අපේ හිත් අපිට දොස් කියන්නේ. අපිට කනස්සල්ලක්, ලැජ්ජාවක් දැනෙන්නේ. අපි ගැනම අපි අඩුවෙන් හිතන්නේ. අපි වරදක් කළාම ඒ වගේ හැඟීම් ඇති වෙනවා. ඒත් අපි පව්කාරයන් කියලා හැමදාම මතක් වෙද්දීත් අපිට ඒ වගේ හැඟීම් එනවා. මොකද යෙහෝවා අපිව නිර්මාණය කරපු විදිහටම දේවල් කරන්න අපිට බැහැ. (රෝම 8:20, 21) හුළං ගිය ටයර් එකක් තියෙන වාහනේකට හොඳට යන්න බැහැ වගේ අපි පව්කාරයන් නිසා යෙහෝවා අපිව නිර්මාණය කරපු විදිහටම දේවල් කරන්නත් අපිට බැහැ. එහෙම බලද්දී කාලෙන් කාලෙට යෙහෝවාගේ ආදරේ ගැන සැක මතු වෙන එක පුදුමයක් නෙවෙයි. ඒත් ඒ වගේ වෙලාවට මතක තියාගමු “ලොකු ගෞරවයක් ලබන්න වටින, ශ්‍රේෂ්ඨ දෙවියන්” ඔහුට ‘ආදරේ කරන, ඔහුගේ නීතිවලට කීකරු වෙන අයට නොසැලෙන ආදරයක් පෙන්නනවා’ කියලා.—නෙහෙ. 1:5.
14. යෙහෝවා අපිට ආදරේ නැහැ කියන සැකය අයින් කරන්න ජීවිත පූජාව ගැන හිතන එක උදව් වෙන්නේ කොහොමද? (රෝම 5:8) (“‘පාපයට තියෙන බලය’ අඩු තක්සේරු කරන්න එපා!” කියන කොටුවත් බලන්න.)
14 සමහර වෙලාවට අපිට දැනෙයි අපි යෙහෝවාගේ ආදරේ ලබන්න වටින්නේ නැහැ කියලා. ඒක හරි. යෙහෝවාගේ ආදරේ ලබන්න අපි වටින්නේ නැහැ තමයි. ඒකයි ඒ ආදරේ එච්චරම විශේෂ. ඒ ආදරේ අපිට ලැබෙන්නේ අපි කරපු දෙයක් නිසා නෙවෙයි. යෙහෝවාම තමයි ඔහුගේ පුතාගේ ජීවිතේ දීලා අපේ වැරදිවලට සමාව දෙන්නේ. ඒ ඔහු අපිට ආදරේ නිසයි. (1 යොහ. 4:10) යේසුස් මේ පොළොවට ආවේ පරිපූර්ණ අය වෙනුවෙන් ජීවිතේ දෙන්න නෙවෙයි පව්කාරයන්ව ගලවගන්න. (රෝම 5:8 කියවන්න.) අපි කාටවත් බැහැ හැම දේම 100%ක් හරියටම කරන්න. යෙහෝවා ඒක බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. පව්කාරකම නිසා අපි යෙහෝවාගේ ආදරේ සැක කරන්න පෙලඹෙනවා කියලා අපි තේරුම්ගන්න තරමටම අපිට පුළුවන් ඒ වගේ සිතුවිලිවලට විරුද්ධව තව වැඩියෙන් සටන් කරන්න.—රෝම 7:24, 25.
දිගටම විශ්වාසවන්තව ඉන්න
15-16. අපි දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවා නම් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද? ඒ ඇයි? (2 සාමුවෙල් 22:26)
15 යෙහෝවාට ඕනෙ අපි “ඔහුව අත්හරින්නේ නැතුව ඔහුට ළං වෙලා ඉන්න” තීරණේ කරනවා දකින්න. (ද්වි. 30:19, 20) එහෙම කළොත් යෙහෝවා අපිව කවදාවත් අත්හරින්නේ නැහැ කියලා සහතිකයි. (2 සාමුවෙල් 22:26 කියවන්න.) අපි යෙහෝවාව අත්හරින්නේ නැති තාක් කල් ජීවිතේ මොන ප්‍රශ්න ආවත් යෙහෝවා අපි ළඟින් ඉඳලා අපිට උදව් කරයි කියලා කිසිම සැකයක් නැහැ.
16 අපි මේ ලිපියෙන් බැලුවා වගේ ප්‍රශ්න මැද නැංගුරමක් දාලා නොසැලී ඉන්න අපිට ඕන තරම් හේතු තියෙනවා. අපි දන්නවා යෙහෝවා අපිට ගොඩක් ආදරෙයි, ඔහු අපිට උදව් කරනවා කියලා. ඒක බයිබලේ අපිට උගන්නන සත්‍යයක්. ඉතින් කවදා හරි යෙහෝවාගේ ආදරේ ගැන සැකයක් ඇති වුණොත් ඒ වෙලාවේ අපිට දැනෙන දේ ගැන නෙවෙයි යෙහෝවාගේ ආදරේ ගැන අපි දන්න දේ මතක් කරගමු. යෙහෝවාගේ නොසැලෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන සත්‍යය ගැන දිගටම විශ්වාසෙන් ඉමු.
ගීතිකාව 159 යෙහෝවා, මේ ගීතේ ඔබටයි
a තවත් උදාහරණ ද්විතීය කතාව 31:8; ගීතාවලිය 94:14 සහ යෙසායා 49:15 තියෙනවා.
b පින්තූරවල අදහස: අසනීපෙන් ඉන්න නෝනාව බලාගන්න, වියහියදම් ගැන ඥානවන්ත තීරණ ගන්න, දුවට යෙහෝවා ගැන ආදරයක් ඇති වෙන විදිහට එයාව පුහුණු කරන්න උදව් ඉල්ලලා සහෝදරයෙක් යාච්ඤා කරනවා.