මව්කිරිවල ගුණයට පක්ෂව සාක්ෂි
නයිජීරියාවෙහි පිබිදෙව්! වාර්තාකරු විසිනි
ප්‍රණීත වූ ද, පහසුවෙන් ජීරණය වන්නා වූ ද, ඇරත් වර්ධනය වන බිළිඳුන්ගේ සෑම පෝෂණ අවශ්‍යතාවයක් ම සපුරාලන ළදරු ආහාරයක් ගැන සිතන්න. එය රෝගවලට එරෙහි ව ආරක්ෂාව සහ ප්‍රතිකාර සපයන “පුදුමාකාර ඖෂධයක්” වන ආහාරයකි. එය මිහි පිට කොතැනක හෝ වෙසෙන පවුල්වලට කිසි මිලක් නොගෙවා පහසුවෙන් ලබා ගත හැකි ආහාරයකි.
වෙන්න බෑ කියා ඔබ පවසනවා ද? ඇත්තට ම, එය කාර්යක්ෂම විද්‍යාඥයන් විසින් සාදා නොතිබුණත්, එවන් නිෂ්පාදනයක් තිබෙනවා. එය නම් මව්කිරි ය.
මිනිස් වර්ගයාගේ ඉතිහාසය පුරා මෙම මවිතකර ආහාරය දරුවා ව රැක බලා ගැනීමට ඉතා වැදගත් යයි සලකා තිබෙනවා. උදාහරණයක් ලෙස, ඵාරාවෝගේ දියණියට බිළිඳු මෝසෙස් ව සම්බ වූ වේලාවේ, ඔහු ව රැක බලා ගැනීමට “කිරිමවක්” ගෙන ඒමට ඇය ඔහුගේ සහෝදරිය යැවූ බව බයිබලය අපට පවසනවා. (නික්මයාම 2:5-9) පසු ව, ග්‍රීක සහ රෝම සමාජවල, ධනවත් දෙමව්පියන්ගේ බිළිඳුන් සඳහා කිරි දීමට ශක්තිමත් කිරිමව්වරුන් ව සාමාන්‍යයෙන් ම සේවයට බඳවා ගනු ලැබුවා. කෙසේ වුවත්, මෑත දශකයන්වල දී, මව්කිරි දීමේ පුරුද්ද ඉතා තියුණු ලෙස පහත වැටී තිබෙනවා, බොහෝ දුරට මෙසේ වී තිබෙන්නේ නවීන තාක්ෂණය මගින් නිපදවා තිබෙන ළදරු පිටි කිරිවලට වඩා මව්කිරි ගුණයෙන් අඩු බව බොහෝ දෙනා හට සිතීමට සලස්වන ප්‍රචාරක මාධ්‍යය හේතුවෙනි. අද දින, එම නැඹුරුවාව යළි වෙනස් වී “මව්කිරි හොඳ ම” දෙය බවට මව්වරුන් වැඩි දෙනෙකුට වැටහෙන්නට පටන්ගෙන තිබෙනවා.
හොඳ ම පෝෂණය
මැවුම්කරුවාණන්, ශරීරය තුළ ගොඩනගා ඇති බිළිඳුන් පෝෂණය කිරීමේ උපක්‍රමය විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කර තිබෙනවා ද? කොහෙත් ම නැත. යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල) මෙසේ සඳහන් කරනවා: “ජීවිතයේ පළමු මාස හතර සිට හය තුළ ළදරුවන් සඳහා දිය හැකි හොඳ ම ආහාරය සහ බීම මව්-කිරි පමණකි.” ජීවිතයේ පළමු මාස කිහිපයේ දී බිළිඳෙකුගේ සෞඛ්‍ය සම්පන්න වැඩීමට ඉතා වැදගත් වන්නා වූ, සියලු ප්‍රෝටීන්, වැඩීමට දායක වන උත්තේජක, මේද, කාබොහයිඩ්රේට්, එන්සයිම, විටමින් සහ අංශු මාත්‍ර මූල ධාතු මව්කිරිවල අන්තර්ගත ය.
අලුත උපන් ළදරුවන්ට මව්කිරි හොඳ ම ආහාරය වනවා පමණක් නොව නමුත් ඔවුනට අවශ්‍ය එක ම ආහාරය ද එයයි. ජගත් සෞඛ්‍ය රැස්වීම මගින්, 1992 මැයි මාසයේ දී යළි තහවුරු කරනු ලැබුවේ “ජීවිතයේ පළමු මාස හතර සිට හය තුළ දී බිළිඳෙකුගේ සාමාන්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යතාවන් සපුරාලීමට, මව්කිරිවලට අමතර ව ආහාර සහ දියර වර්ග, ජලය පවා, අවශ්‍ය නොවන බවයි.” උණුසුම් වියළි දේශ ගුණයක දී පවා ළදරුවෙකුගේ පිපාසය සංසිඳු වීම සඳහා ප්‍රමාණවත් ජලය මව්කිරිවල අඩංගු වෙනවා. අමතර ජලය හෝ පැණි රස බීම වර්ග බෝතලෙන් පෙවීම අනවශ්‍ය වනවා පමණක් නොව, නමුත් ළදරුවන් සාමාන්‍යයෙන් වඩාත් පහසු ක්‍රමයක් වන බෝතලෙන් බීමට වැඩි කැමැත්තක් දක්වන නිසා, ළදරුවාට මව්කිරි බීම සම්පූර්ණයෙන් ම නවතා දැමීමට සැලැස්විය හැකියි. ජීවිතයේ පළමු මාස කිහිපයෙන් පසු, ළදරුවාගේ ආහාර වේලට ක්‍රම ක්‍රමයෙන් වෙනත් ආහාර සහ බීම එකතු කළ යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.
බිළිඳුන්ගේ සෞඛ්‍ය සම්පන්න හැදී වැඩීම දියුණු කිරීම සඳහා එවන් කදිම සමබර කෑම වට්ටෝරුවක් වෙනත් කිසි ම ආදේශකයක් මගින් සපයන්නේ නැහැ. රිප්‍රොඩක්ටිව් හෙල්ත්—ග්ලෝබල් ඉෂූස් (ප්‍රති උත්පාදක සෞඛ්‍ය සමස්ත ලෝක ප්‍රශ්න) යන පොත මෙසේ සඳහන් කරනවා: “මව්කිරි වෙනුවට ආදේශකයන් යොදා ගැනීමට ගන්නා ප්‍රයත්නයන් සාර්ථක වී නැත. මව්කිරි බිවූ බිළිඳුන්ට වඩා මව්කිරි නොබිවූ බිළිඳුන්ට රෝග බෝවීමේ සහ මන්ද පෝෂණය සෑදීමේ වැඩි අවදානමක් තිබෙන බවට ඔප්පු කරමින් ඓතිහාසික පොත් පත්වල බිළිඳු පෝෂණය පිළිබඳ විෂය පිරී පවතී.”
මව්කිරි ජීවිත ගලවයි
ජගත් සෞඛ්‍ය සංවිධානය (ජ.සෞ.සං) පවසන අන්දමට, සියලු මව්වරු තම ළදරුවන්ට, ජීවිතයේ පළමු මාස හතර සිට හය තුළ දී වෙන කිසිවක් නොව නමුත් මව්කිරි දුන්නා නම් සෑම වසරක දී ම, ලොව පුරා බිළිඳු මරණ මිලියනයක් වළක්වා ගත හැකි වෙනවා. ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්’ස් චිල්ඩ්රන් 1992 යන යුනිසෙෆ් වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා: “තනිකර මව්කිරි බිවූ ළදරුවෙකුට වඩා දුගී සමාජයක බෝතලෙන් කිරි-බිවූ ළදරුවෙකු, දළ වශයෙන් 15 ගුණයකින් පාචන රෝගයෙන් මිය යාමට ද, නියුමෝනියාවෙන් 4 ගුණයකින් මිය යාමට ද ඇති ඉඩකඩ වැඩි ය.”
මෙසේ වන්නේ ඇයි? එක් හේතුවක් වන්නේ, පිටි කිරි මවගේ කිරිවලට වඩා පෝෂ්‍ය ගුණයෙන් අඩු වී තිබීමට අමතර ව, බොහෝ විට අපවිත්‍ර ජලය යොදා අධික ලෙස දියාරු කර ඇති අතර ජීවානු හරණය නොකළ බෝතල්වලට ද දමන නිසායි. එබැවින් බෝතල් කිරි පහසුවෙන් ම බැක්ටීරියා සහ වෛරස්වලින් අපවිත්‍ර විය හැකියි, එමගින් සංවර්ධනය වෙමින් පවතින රටවල දරුවන්ගේ ප්‍රධාන මරුවන් වන පාචන රෝග සහ ස්වසන ආසාදනයන් හටගනී. මීට පටහැනි ව, පයෝධරයෙන් කෙළින් ම ලැබෙන කිරි පහසුවෙන් අපවිත්‍ර වන්නේ නැහැ, මිශ්‍ර කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ, නරක් වන්නේ නැහැ, එමෙන් ම අධික ලෙස දියාරු කරන්නට ද නුපුළුවන.
මව්කිරි ජීවිත ගැලවීමට දෙවන හේතුවක් වනාහි රෝගවලට එරෙහි ව බිළිඳා ආරක්ෂා කරන ප්‍රති දේහ මවගේ කිරිවල අඩංගු වීමයි. පාචන රෝග හෝ වෙනත් ආසාදනයන් ඇති වන විට පවා, කිරි බිවූ බිළිඳුන් අතර සාමාන්‍යයෙන් ම ඒවා එතරම් ප්‍රබල නොවන අතර, ප්‍රතිකාර කිරීමට වඩා පහසු වෙනවා. මව්කිරි බිවූ දරුවන් දන්ත රෝග, පිළිකා, දියවැඩියාව සහ අසාත්මිකතාවන්වලට වඩාත් අඩුවෙන් ගොදුරු වේ යයි පෙනෙන්නට තිබෙන බව පර්යේෂකයන් ද අදහස් පළ කර සිටිනවා. තව ද මව්කිරි බීමේ දී උරා බීමේ ක්‍රියාව බලවත් සේ සිදුවන හෙයින් එය බිළිඳුන්ගේ මුහුණේ අස්ථිවල හා මාංස පේශිවල සුදුසු වර්ධනයට ද දායක විය හැක.
මව්වරුන්ට ප්‍රයෝජන
මව්කිරි දීම ප්‍රයෝජනවත් වන්නේ ළදරුවාට පමණක් නොවෙයි; එය මවටත් ප්‍රයෝජනවත් වෙනවා. එක් දෙයක් නම්, ළදරුවා පයෝධරය උරන විට උත්තේජනය මගින් ඔක්සිටෝසින් හෝමෝනය මුදා හැරෙනවා, මෙය කිරි මුදා හැර ශ්‍රාවය කිරීමට උපකාරවත් වනවා පමණක් නොව නමුත්, ගර්භාශය සංකෝචනය වීමටත් සලස්වනවා. ප්‍රසූත කිරීමෙන් පසු ගර්භාශය අප්‍රමාද ව සංකෝචනය වන විට, දිගට ම රුධිරය ගැලීම අඩු වෙනවා. මව්කිරි දීමෙන් යළි ඩිම්බ මේරීම සහ ආර්තවය ද ප්‍රමාද කෙරෙනවා. මෙය ඊළඟ ගර්භිණී වීම ප්‍රමාද කිරීමට නැඹුරු වෙනවා. ගර්භිණී වීම් අතර වඩා දිගු කාලාන්තරයන්වලින් අදහස් කරන්නේ වඩා සෞඛ්‍ය සම්පන්න මව්වරුන් හා ළදරුවන් ඇති වන බවයි.
ස්ත්‍රීන් සඳහා තවත් විශාල වාසියක් වන්නේ මව්කිරි දීම මගින් ඩිම්බකෝෂ සහ පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කිරීමයි. තම බිළිඳාට මව්කිරි දෙන ස්ත්‍රියකට පියයුරු පිළිකා සෑදීමට තිබෙන අවදානම, එසේ නොදුන් ස්ත්‍රියකට තිබෙන අවදානමෙන් අඩක් බව සමහර ප්‍රවීණයෝ පවසති.
ප්‍රයෝජන සඳහන් කිරීමේ දී නොසලකා නොහැරිය යුතු දෙයක් වන්නේ මව්කිරි දීමෙන්, මව හා දරුවා අතර බැඳීමක් ඇති කිරීමයි. එයට ඇතුළත් ව තිබෙන්නේ ආහාර දීම පමණක් නොව නමුත් මුඛ ස්පර්ශය, සමට සම ස්පර්ශය සහ ශාරීරික උණුසුම්භාවය වන බැවින්, මව සහ දරුවා අතර වැදගත් බැඳීමක් ඇති කිරීමට උපකාරවත් වීමට මව්කිරිවලට හැකි අතර දරුවාගේ චිත්ත වේගීය හා සමාජ හැසිරීමේ වර්ධනයට ද දායක වන්නට එයට පුළුවන.
මව්කිරි දීමට තීරණය කිරීම
ඇතැම් අවශ්‍යතාවන් සපුරාලනු ලැබුවොත් සියලු ම මව්වරුන්ට පාහේ තම බිළිඳුන්ට ප්‍රමාණවත් කිරි සැපයීමට ශාරීරික ව හැකි වෙනවා. ප්‍රසූත කිරීමෙන් පසු හැකි ඉක්මනින්, එනම් ළදරුවා බිහි කිරීමෙන් පළමු පැය ඇතුළත මව්කිරි දීමට පටන් ගත යුතුයි. (පළමු මව්කිරි, එනම් කොලොස්ට්‍රම් නමැති ඝන කහ පැහැති සාරයක්, ළදරුවන් සඳහා හොඳ වන අතර ආසාදනවලින් ඔවුන් ව ආරක්ෂා කිරීමට ද උපකාරවත් වෙනවා.) ඉන් පසු, නියම කරගත් කාල සටහනකට අනුව නොව, රාත්‍රී කාලය ඇතුළු ව දරුවාට කුසගිනි ඇති වන සෑම අවස්ථාවක දී ම ළදරුවන්ට කිරි දිය යුතුයි. පයෝධර වෙත ළදරුවා ව නිවැරදි ලෙස තැබීම ද වැදගත්. මෙම කාරණා සම්බන්ධයෙන් උපකාරය සැපයීමට පළපුරුදු, දයානුකම්පිත උපදේශකයෙකුට හැකියි.
සැබවින් ම, මවක් තම බිළිඳාට මව්කිරි දෙනවා ද නැද්ද යන්න රඳා පවතින්නේ එසේ කිරීමට ඇගේ ශාරීරික හැකියාවට වඩා වැඩි දෙයක් මතයි. ද ස්ටේට් ඔෆ් ද වර්ල්ඩ්’ස් චිල්රන් 1992 වාර්තා කරන්නේ මෙසේයි: “මව්වරුන්ට තම ළදරුවන් සඳහා හොඳ ආරම්භයක් දීමට නම් ඔවුනට රෝහල්වල සහාය අවශ්‍යයි; නමුත් ඔවුන් මව්කිරි දීම දිගට ම කරගෙන යාමට නම්, ඔවුනට සේව්‍යයන්ගේ, වෘත්තීය සංගම්වල, ප්‍රජාවන්ගේ—මෙන් ම පුරුෂයන්ගේ ද සහාය අවශ්‍යයි.” g93 9/22
[13 පිටුවෙහි ඇති කොටුව]
සංවර්ධනය වන ලෝකයෙහි මව්-කිරි දීම
1. ජීවිතයේ පළමු මාස හතර සිට හය තුළ ළදරුවෙකුට දිය හැකි හොඳ ම ආහාරය සහ පානය මව්කිරි පමණයි.
2. උපතෙන් පසු හැකි ඉක්මනින් ළදරුවන්ට මව්කිරි දීමට පටන් ගත යුතුයි. තම ළදරුවාට මව්කිරි දීමට සෑම මවකට ම පාහේ හැකියි.
3. ළදරුවාගේ අවශ්‍යතාවන් සඳහා ප්‍රමාණවත් මව්-කිරි නිපදවීමට නිති පතා උරන ක්‍රියාව අවශ්‍යයි.
4. බෝතල්-කිරි බීම දරුණු අසනීපයට සහ මරණයට මඟ පාදන්නට පුළුවන.
5. දරුවෙකුගේ ජීවිතයේ දෙවන වසර දක්වා හෝ හැකි නම් ඊටත් වඩා දිගු කලකට දිගට ම මව්-කිරි දිය යුතුයි.
මූලාශ්‍රය: යුනිසෙෆ්, ජ.සෞ.සං. සහ යුනෙස්කෝ මගින් ඒකාබද්ධ ව ප්‍රකාශිත ෆැක්ට්ස් ෆො ලයිෆ්.
[14 පිටුවෙහි ඇති කොටුව]
මව්-කිරි දීම සහ ඒඩ්ස්
එක්දහස් නවසිය අනූ දෙකේ අප්‍රියෙල් අවසානයේ දී, ජ.සෞ.සං. සහ යුනිසෙෆ්, ඒඩ්ස් හා මව්-කිරිවල සබඳතාවය සලකා බැලීමට ප්‍රවීණයන්ගේ ජාත්‍යන්තර කණ්ඩායමක් එකට එක් රැස් කළා. රැස්වීමේ අවශ්‍යතාවය, ඒඩ්ස් පිළිබඳ ජ.සෞ.සං. සමස්ත ලෝක වැඩසටහනේ අධ්‍යක්ෂක, ආචාර්ය මයිකල් මර්සන් විසින් පැහැදිලි කරනු ලැබුවා. ඔහු මෙසේ පැවසුවා: “මව්-කිරි දීම, දරුවා බේරී ජීවත්වීමේ තීරණාත්මක ධාතුවකි. ළදරුවෙකු මව්-කිරි මගින් ඒඩ්ස් සෑදී මිය යාමේ අවදානම, මව්-කිරි නොදුන්නහොත් වෙනත් හේතූන් නිසා ළදරුවා මිය යාමට ඇති අවදානම හා සමබර කළ යුතුයි.”
ජගත් සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට, HIV-ආසාදිත මව්වරුන්ට ලැබුණු සියලු ළදරුවන්ගෙන් තුනෙන් එකකට පමණ ද රෝගය බෝ වුණා. මවගෙන්-බිළිඳාට රෝගය සංක්‍රමණය වීමෙන් වැඩි හරියක් හට ගන්නේ ගර්භිණී අවධියේ සහ ප්‍රසූතිය සිදුවන අතරතුර දී වුවත්, මව්-කිරි මගින් ද එය හටගත හැකි බවට සාක්ෂි තිබෙනවා. කෙසේ වුවත්, ජ.සෞ.සං. සඳහන් කරන්නේ, “HIV-ආසාදිත මව්වරුන්ගෙන් කිරි බිවූ ළදරුවන්ගෙන් වැඩි දෙනෙකු මව්කිරි මගින් ආසාදිත වූයේ නැත,” කියා ය.
ප්‍රවීණයන්ගේ මණ්ඩලය මෙම නිගමනයට එළඹුණා: “බිළිඳුන් මිය යාමට ප්‍රධාන හේතුකාරකය ආසාදිත රෝග හා මන්ද පෝෂණය වන අවස්ථාවල දී ද, බිළිඳු මරණ අනුපාතය ඉහළ ව පවතින විට දී ද, HIV-ආසාදිතයන් ඇතුළත් ව, ගර්භිණී ස්ත්‍රීන් සඳහා සාමාන්‍ය උපදෙස විය යුත්තේ මව්කිරි දෙන්න කියායි. මෙයට හේතුව වන්නේ තම බිළිඳුන්ට මව්කිරි නොදුන්නහොත් වෙනත් හේතූන්ගෙන් මිය යාමේ අවදානමට වඩා මව්කිරි මගින් HIV රෝගය ඇති වීමේ අවදානම අඩු විය හැකි නිසායි.
“අනෙක් අතට, බිළිඳු කාලයේ දී මිය යාමේ ප්‍රධාන හේතුකාරකය, ආසාදිත රෝගයන් නොවන විට, ළදරු මරණ අනුපාතය අඩු පරිසරයන්වල දී, . . . HIV මගින් ආසාදිත යයි හැඳින්වෙන ගර්භිණී ස්ත්‍රීන්ට දෙන සාමාන්‍ය උපදෙස විය යුත්තේ මව්කිරි දෙනවාට වඩා තම ළදරුවාට වෙනත් ආරක්ෂිත කිරි දීමේ ක්‍රමයක් භාවිතා කිරීමටයි.”