පියයුරු පිළිකාව පිළිබඳව ස්ත්‍රීන් දැනගත යුතු දෑ
සෑම මහාද්වීපයකම පියයුරු පිළිකාව ඇති අයගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතියි. ඇතැම් තක්සේරුවලට අනුව, වර්ෂ 2000 වන විට, ලොව වටා සෑම වසරකම නව රෝගීන් මිලියනයකට පමණ පියයුරු පිළිකාව ඇති බවට රෝග නිර්ණය කරනු ලබනවා ඇත.
මෙම රෝගය වැළඳීමෙන් කිසි ස්ත්‍රියක් ආරක්ෂා සහිතව සිටීද? එය වැළැක්වීමට යමක් කළ හැකිද? තවද මෙම සතුරාට එරෙහිව සටන් කරන අයට කුමනාකාර සහනය සහ උපකාරය අවශ්‍ය වේද?
සමේ පිළිකා බොහොමයක් සූර්යයාගෙන් පැමිණෙන පාරජම්බූල කිරණ හේතුකොටගෙන ඇති වේ. පෙණහැල්ලේ හටගන්නා පිළිකා බොහොමයක් ඇතිවන්නේ දුම්පානය කිරීම නිසාය. එහෙත් පියයුරු පිළිකාව සඳහා යම් තනි හේතුවක් නිශ්චය කොට නැත.
කෙසේවෙතත්, මෑතකදී සිදු කරනු ලැබූ පර්යේෂණවලට අනුව, ප්රවේණි, පරිසරය සහ හෝමෝන සම්බන්ධ සාධක පියයුරු පිළිකාවට හේතු විය හැකිය. මෙම සාධකවලට නිරාවරණය වන ස්ත්‍රීන් වැඩි අවදානම් තත්ත්වයක සිටිය හැකිය.
පවුල් ඉතිහාසය
මවක්, සහෝදරියක්, නැතහොත් මවගේ සහෝදරියක් හෝ මවගේ මව වැනි පවුලේ සාමාජිකයෙකුට පියයුරු පිළිකාව ඇත්නම්, ස්ත්‍රියකට එය වැළඳීමට තිබෙන ඉඩකඩ වැඩිය. එමෙන්ම ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට මෙම රෝගය තිබුණා නම්, ඇයට එය හට ගැනීමට තිබෙන අවදානම ඊටත් වඩා වැඩි වේ.
ප්රවේණි සාධක සම්බන්ධ වන නමුත්, සියලුම පියයුරු පිළිකාවලින් සියයට 5 සිට 10 දක්වා අවස්ථාවලට පමණක් එය හේතු විය හැකි බව, එක්සත් ජනපදයේ ප්රවේණි විද්‍යාඥයෙකු වන වෛද්‍ය පට්රිෂා කෙලි පිබිදෙව්! සඟරාවට පවසන්නීය. “තවත් බොහොමයකට හේතුව එතරම්ම බලවත් නොවූ ප්රවේණි සාධක සමඟ මිශ්‍රවීමෙන් ක්‍රියා කරන පරිසරමය සාධක බව අපි සිතනවා,” යනුවෙන් ඈ පැහැදිලි කරන්නීය. ඒකාකාර ජාන ඇති පවුල් සාමාජිකයෝ එකම පරිසරයද හවුලේ බෙදා ගැනීමට නැඹුරු වෙති.
පරිසරමය සාධක
සයන්ස් නමැති සඟරාවේ අදහස් ප්‍රකාශ කළ විශාරද ඩෙව්රා ඩේවිස් පැවසුවේ රෝගය හටගැනීමට “පුළුල් වශයෙන් අවබෝධ කරගෙන ඇති පරිසරමය සාධක තිබීම පැහැදිලි,” බවය. ශරීරයේ විකිරණවලට වඩාත්ම සංවේදී කොටස්වලින් එකක් ස්ත්‍රී පියයුර වන හෙයින්, අයනිකරණ විකිරණයට නිරාවරණය කරනු ලබන ස්ත්‍රීහු, පියයුරු පිළිකාව හටගැනීමට වැඩි අවදානමක සිටිති. විෂ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වූ අයටද එබඳුම අවදානමක් තිබේ.
පරිසරයට සම්බන්ධ තවත් සාධකයක් වනුයේ ආහාරයයි. පියයුරු පිළිකාව විටමින්-ඌනතාවක් විය හැකි බව ඇතැමෙකු යෝජනා කරන අතර, විටමින් Dවල ඌනතාවකට ඔවුහු යොමු දක්වති. මෙම විටමිනය ශරීරයට කැල්සියම් උරාගැනීමට උපකාර කරයි, ප්‍රතිඵලයක් වශයෙන් පාලනය කළ නොහැකි සෛල වර්ධනය වැළැක්වීමට එයට උපකාර කිරීමට හැකිය.
ආහාරවල තිබෙන මේදය ඊට සම්බන්ධ බව කියන්නේ පියයුරු පිළිකාව හටගැනීමට හේතුවක් වශයෙන් නොව, නමුත් හටගැනීමට දායක වන්නෙකු වශයෙනි. ආහාරයට මේදය සහ සත්ත්ව ප්‍රෝටීන ඉතා බහුල වශයෙන් ගනු ලබන එක්සත් ජනපදය බඳු රටවල, පියයුරු පිළිකා මරණ අනුපාතය ඉතා ඉහළ වූ බව FDA කන්සියුමර් සඟරාව වාර්තා කරයි. එහි මෙලෙස ප්‍රකාශ විය: “ඓතිහාසික වශයෙන් ජපන් ජාතික ස්ත්රීන්ට පියයුරු පිළිකාව සඳහා පහත් අවදානමක් තිබේ, නමුත් ‘බටහිර පන්නයට නැඹුරුවීමක්’ දක්වන ආහාර ගැනීමේ පුරුදු සමඟ; එනම් මේද-අඩු භෝජනයක් අනුභව කිරීමේ සිට මේද-අධික භෝජනයක් අනුභව කිරීමට මාරු වීම නිසා, එම අවදානම අතිශයින් වැඩිවෙමින් පවතියි.”
මේද-අධික භෝජනයකින් ශරීරයට ලැබෙන අධික කැලරි ප්‍රමාණය නියම අවදානම පිළිබිඹු කළ හැකි බව මෑත අධ්‍යයනයකින් හෙළි විය. සයන්ස් නිව්ස්හි මෙසේ ප්‍රකාශ විය: “සෑම අමතර කැලරියක්ම පියයුරු පිළිකාවට තිබෙන අවදානම වැඩි කරයි, එමෙන්ම මේදවලින් ලැබූ සෑම අමතර කැලරියක්ම වෙනත් ප්‍රභවවලින් ලැබෙන කැලරිවලට වඩා සියයට 67ක අවදානමක් ඉදිරිපත් කරයි.” අමතර කැලරි නිසා අමතර බරද එකතු විය හැකි අතර, බොහෝ සේ බර වැඩි වූ ස්ත්රීන්ට, විශේෂයෙන් ආර්තවාභාවය පසු කළා වූ ස්ත්රීන්ට පියයුරු පිළිකාව සඳහා තුන්ගුණයක වැඩි අවදානමක් තිබෙන බව සලකනු ලබයි. පියයුරු පටකවල අහිතකර ලෙස ක්‍රියා කිරීමෙන් පිළිකාවට මඟ පෑදිය හැකි, ස්ත්‍රී හෝමෝනයක් වන ඊස්ට්‍රජන්, ශරීරයේ තිබෙන මේදය මගින් නිපදවනු ලබයි.
පෞද්ගලික ඉතිහාසය සහ හෝමෝන
ස්ත්‍රියකගේ ජීවිතය පුරාම පියයුරුවල වෙනස්කම් සිදු කරන හෝමෝනවලින් පිරුණු සාරවත් පරිසරයකින් ඇගේ පියයුරු සමන්විත වේ. ශල්යවේදි පිළිකා අර්බුද විශේෂඥ වෛද්‍ය පෝල් ක්‍රී, ඔස්ට්‍රේලියන් ඩොක්ටර් වීක්ලි සඟරාවේ මෙසේ ලියයි: “කෙසේවෙතත්, ඇතැම් ස්ත්‍රීන් තුළ, පියයුරු පටක දිගුකාලීනව හෝමෝන උත්තේජනයට නිරාවරණය කිරීම හේතුවෙන් . . . සෛලීය වෙනස්කම් පෙළක් සිදුවේ, මෙය අවසානයේදී සෝපදාව [පිළිකාමය] වෙනස්වීමකට හේතු වෙයි.” මෙම හේතුව නිසා, වයස අවුරුදු 12දී පමණ කලින් සිදුවන ආද්යාර්තවයක් අද්දකින හෝ 50ස් ගණන්වල මැදභාගයේදී පමණ ප්‍රමාදවන ආර්තවාභාවයක් අද්දකින ස්ත්රීන්ට වැඩි අවදානමක් තිබෙන බව සැලකේ.
ERT (ඊස්ට්‍රජන් ප්රතිසම්පාදන චිකිත්සාව) නමැති ප්‍රතිකාර ක්‍රමයෙන් ලැබෙන අමතර ඊස්ට්‍රජන් ප්‍රමාණය පියයුරු පිළිකාවට සම්බන්ධයක් තිබිය හැකි බව අධික මත භේදය සඳහා විෂයක් වී ඇත. ERT කිසි වැඩි අවදානම් තත්ත්වයක් ඇති නොකරන බව ඇතැම් අධ්‍යයනවලින් අඟවන අතර, වෙනත් අධ්‍යයනවලින් අඟවන්නේ දිගු-කාලීනව එය ලබන්නන්ට පැහැදිලි අවදානම් තත්ත්වයක් තිබෙන බවය. සැලකිල්ලට යොමු වූ අධ්‍යයන දෙස බැලීමේදී, 1992 බ්‍රිටිෂ් මෙඩිකල් බුලටින් ප්‍රකාශ කළේ දිගු කාලීන භාවිතයෙන් පසුව “පිළිසිඳ ගැනීම වළක්වන ඊස්ට්‍රජන්වලට සියයට 30-50ක් දක්වා පියයුරු පිළිකාව හට ගැනීමේ අවදානම වැඩි කිරීමට” හැකියාවක් තිබෙන බවයි.
උපත් පාලන පෙති වර්ග සහ පියයුරු පිළිකාව අතර සම්බන්ධය පිළිබඳ වාර්තාවලින් අඟවන්නේ ඒවායේ භාවිතයෙන් ඇති වන අවදානම ඉතා අඩු බවය. කෙසේවෙතත් වඩා වැඩි අවදානමක සිටින අමතර ස්ත්‍රී කණ්ඩායමක් ඉස්මතු වෙයි. වයසින් අඩු, කවදාවත් දරුවන් නොලැබුවා වූ සහ බොහෝ කලකට උපත්-පාලන පෙති භාවිතා කර තිබෙන ස්ත්රීන්ට පියයුරු පිළිකාව සඳහා සියයට 20ක තරම් වැඩි අවදානමක් තිබේ.
එහෙත්, පියයුරු පිළිකාව තිබෙන සෑම ස්ත්‍රීන් 4දෙනාගෙන් 3දෙනෙකුට එම රෝගය හටගැනීමට හේතු වූ කිසි විශේෂිත දෙයකට යොමු දැක්වීමට නොහැකි වේ. එමනිසා මෙම ප්රශ්නය මතුවෙයි, ඕනෑම ස්ත්‍රියක් තමා පියයුරු පිළිකාවෙන් ආරක්ෂා සහිතයි කියා සැලකිය යුතුද? FDA කන්සියුමර් නමැති සඟරාව මෙසේ වාර්තා කරයි: “රෝග විනිශ්චයඥයාගේ දෘෂ්ටිකෝණයෙන් බලන කල, සෑම ස්ත්‍රියක්ම පියයුරු පිළිකාව හටගැනීමට සැලකිය යුතු අවදානම් තත්ත්වයක සිටින බව කල්පනා කළ යුතු වේ.”
එබැවින්, විශේෂයෙන් වයසින් මුහුකුරා ගිය ස්ත්‍රීන් මෙම රෝගයට පහසුවෙන් ගොදුරු විය හැක. පියයුරු පිළිකාවට විවිධ හේතු තිබෙන නමුත්, ‘හුදෙක් වයසින් මුහුකුරා යෑම නිසා සෛල බෙදීමෙහි දෝෂයක් සිදුවීම ඇතැම් ඒවාට හේතු’ වන බව වෛද්‍ය කෙලි අදහස් දක්වයි.
පහසුවෙන් ගොදුරු වීමට හේතුව
ස්ත්‍රී පියයුරෙහි සැකැස්ම පරීක්ෂා කළහොත් එය පිළිකාවට එතරම්ම පහසුවෙන් ගොදුරු වන්නේ මන්ද යන වග පැහැදිලි වෙයි. එහි අභ්‍යන්තරයේ ප්‍රණාල පිහිටා ඇත, එනම් කුඩා මාර්ගයන්ය, මෙම මාර්ග ඔස්සේ කිරි නිපදවන කෝශ සිට තන පුඩුව දක්වා කිරි ගෙනයනු ලබයි. එම ප්‍රණාල ඇතුල් පැත්තේ ස්ත්‍රියකගේ මාසික චක්‍රයට ප්‍රතිචාරයක් වශයෙන් බෙදී දිගටම වෙනස්වන සෛල පිහිටා ඇත, මෙම සෛල ගර්භිණීභාවයටත්, කිරි එරීම සඳහාත්, දරුවන්ට කිරි දීමටත් ඇයව සූදානම් කරයි. බොහෝ පියයුරු පිළිකාවන් හටගන්නේ මෙම ප්‍රණාල තුළදීය.
ඕල්ටර්නටිව්ස්: නිව් ඩිවලප්මන්ට්ස් ඉන් ද වෝර් ඔන් බ්‍රෙස්ට් කැන්සර් නමැති පොතේ, රෝස් කුෂ්නර් පර්යේෂිකාව මෙසේ පැහැදිලි කරන්නීය: “නිතර නිතර යම් බාධාවකට අසු වන ඕනෑම චර්යාවක්—එය සම්පූර්ණයෙන්ම ස්වාභාවික වුවත් . . . දෝෂ සිදුවීමේ වඩා වැඩි අවදානමකට ලක්වෙයි.” ඈ තවදුරටත් මෙසේ ප්‍රකාශ කරන්නීය: “ශක්තිය ඉක්මවා වැඩ කරන පියයුරු සෛලය නිතරම, ‘එය කිරීම නවත්වන්න. මෙය කිරීම අරඹන්න,’ යනුවෙන් අණ කරන යම් හෝමෝනයකින් හැම විටම ආවරණය වෙයි. එම සෛලයෙන් බෙදී යන සෛල එතරම් ගණනාවක් පාලනය කිරීමට අපහසු වීම පුදුමයක් නොවෙයි.”
පියයුරු පිළිකාව ආරම්භ වන්නේ අසාමාන්‍ය සෛලයක් බෙදී, එහි වර්ධන ක්‍රියාවලිය පාලනය කිරීමට නොහැකි වී, ගණනින් වැඩි වන්නට පටන් ගන්නා විටය. එබඳු සෛලවල උත්පාදනය නතර නොවන අතර, ක්‍රමක්‍රමයෙන් එම සෛල අවට තිබෙන හොඳ පටක සම්පූර්ණයෙන්ම වටලයි, එමගින් නීරෝගී අවයවයක් රෝගී එකක් බවට පත් කරනු ලබයි.
ස්ථානාන්තරණය
පිළිකාවක් පියයුර තුළ පමණක් තිබෙන විට, එය ඉවත් කිරීමට හැකිය. පියයුරු පිළිකාව ශරීරයේ අභ්‍යන්තර පෙදෙස්වලට පැතිර ගොස් තිබෙන විට, එය ස්ථානාන්තරණ පියයුරු පිළිකාව යනුවෙන් හඳුන්වනු ලබයි. පියයුරු පිළිකා රෝගීන් මිය යෑමට බොහෝ දුරට හේතු වන්නේ මෙම තත්ත්වයයි. පියයුර තුළ පිළිකා සෛල වැඩිවෙමින් අර්බුදය ප්‍රමාණයෙන් වර්ධනය වෙනවාත් සමඟම, පිළිකා සෛලවලට නිසොල්මනේ නොදැනුවත්වම මූලික අර්බුද ප්‍රදේශයෙන් පිට වී රුධිර වාහිනී බිත්ති හා වසා ගැටිති පාසාරු කර ඒවා තුළට ඇතුල්වීමට හැකිය.
මෙම අවස්ථාවේදී අර්බුද සෛලවලට ශරීරයේ ඈත කොටස්වලට ගමන් කිරීමට හැකි වේ. ඒවාට ශරීරයේ ප්‍රතිශක්ති රැකවලෙන්, එනම් රුධිර මෙන්ම වසා ද්‍රවවල සංසරණය වන ස්වාභාවික මාරක සෛලවලින් බේරී යෑමට හැකි වුවහොත්, මෙම පිළිකා සෛලවලට අක්මාව, පෙණහලු සහ මොළය බඳු අත්‍යවශ්‍ය අවයව තුළ පදිංචි වීමට හැකිය. මෙම අවයවවලට පිළිකාව බෝකර දීමෙන් පසුව, ඒවාට වැඩි වී නැවතත් පැතිර යෑමට හැකිය. ස්ථානාන්තරණය ආරම්භ වූවායින් පසුව, ස්ත්‍රියකගේ ජීවිතය අවදානම් තත්ත්වයක පවතියි.
එබැවින්, බේරී ජීවත්වීමට එක් ක්‍රමයක් වනුයේ පියයුරු පිළිකාව හටගත් මුල් අවධියේදීම, එනම් ඊට පැතිර යෑමට අවස්ථාවක් ලැබීමට පෙර, එය සොයා දැනගැනීමයි. කල් ඇතිව එය සොයා දැනගැනීමට තිබෙන ඉඩකඩ වැඩි කිරීමට සෑම ස්ත්‍රියකටම කළ හැක්කේ කුමක්ද? ප්‍රථම වශයෙන් පියයුරු පිළිකාව වැළැක්වීමට උපකාරයක් වශයෙන් කළ හැකි යමක් තිබේද? g94 4/8
[4 පිටුවෙහි හුවා දැක්වීම]
පියයුරු පිළිකාව තිබෙන සෑම ස්ත්‍රීන් 4දෙනෙකුගෙන් 3න් දෙනෙකුට එම රෝගය හටගැනීමට හේතු වූ කිසි විශේෂ දෙයකට යොමු දැක්වීමට නොහැකි වේ