පියයුරු පිළිකා හඳුනාගමු කල් නොදමා
වයස අවුරුදු 40ක් වූ කොන්චීටා, සෞඛ්‍යය සම්පන්න කාන්තාවක්.a පුරුද්දක් වශයෙන් ඇය පියයුරු පිළිකා සඳහා කරන මැමෝග්රෑම් පරීක්ෂණය කරනවා. පියයුරු පිළිකාවක් තිබෙන බව ඉන් හෙළි වුණේ නැහැ. නමුත් දිනක් ඇගේ පියයුරේ ගැටිත්තක් තිබෙන බව ඇයට දැනුණා. ඒ නිසා ඇය වෛද්‍යවරයා ළඟට ගොස් පරීක්ෂා කරන විට ඔහු පැවසුවේ එය පිළිකාවක් බවයි. ඒ අවස්ථාවේදී ඇය පුදුම වුණා.
මෑතක් වන තුරුම පියයුරු පිළිකා සඳහා තිබුණු එකම විසඳුම වුණේ පියයුර සහ ඒ අවට තිබෙන වසා ගැටිති සමඟම මාංශ පේශිත් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. ඒ වගේම රසායනික හා කිරණ චිකිත්සා ප්‍රතිකාර කිරීමට සිදු වුණා. ඒ නිසා එදා, බොහෝ අයට පිළිකාවට වඩා වැඩි භයක් තිබුණේ ඒ සඳහා කරන ප්‍රතිකාරවලටයි.
ඒත් අද වන විට රෝගියාගේ වේදනාව අවම කිරීමටත් පියයුර ඉවත් නොකර ප්‍රතිකාර කිරීමටත් හැකියි. වෛද්‍ය ක්ෂේත්රයේ ඇති වී තිබෙන මෙම දියුණුව නිසා විවිධ ප්‍රතිකාර ක්‍රම හා දියුණු පරීක්ෂණ ක්‍රමද තිබෙනවා.b ඒ වගේම එවැනි රෝගීන්ට සුදුසු හා නුසුදුසු ආහාර වර්ග හඳුනාගැනීමටත් හැකි වී තිබෙනවා. වෛද්‍යවරුන් ඉන් බලාපොරොත්තු වන්නේ ඉදිරියේදී පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම තුරන් කිරීමයි.
කොහොමවුණත් පියයුරු පිළිකා නිසා ඇති වන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා.c බටහිර රටවල කාන්තාවන්ද පියයුරු පිළිකාවලින් පීඩා විඳිනවා. නමුත් පියයුරු පිළිකාවලින් පීඩා විඳින අප්‍රිකාවේ හා ආසියාවේ ජීවත් වන කාන්තාවන්ගේ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. එයට හේතුව අප්‍රිකාවේ එක් වෛද්‍යවරයෙක් මෙසේ පැවසුවා. “බොහෝ අය අපි ළඟට එනකොට පිළිකාව හුඟක් ව්‍යාප්ත වෙලා ඉවරයි.”
කාන්තාවන් වයසට යෑමත් සමඟ පියයුරු පිළිකා සෑදීමට තිබෙන ප්රවණතාවත් වැඩියි. උදාහරණයකට රෝගීන්ගෙන් සියයට 80ක් පමණ වයස අවුරුදු 50 ඉක්මවූ අයයි. නමුත් පිළිකා අතරින් සුව කිරීමට පහසු පිළිකාව වන්නේ මෙයයි. පිළිකාවේ මුල් අවදියේදීම ප්‍රතිකාර කළ අයගෙන් සියයට 97කටම තම ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වී තිබෙනවා. උදාහරණයකට කොන්චීටාගේ පියයුරු පිළිකාව හඳුනාගත්තේ මුල් අවදියේදීම නිසා ඇයට ප්‍රතිකාර කිරීම පහසු වුණා. දැනට වසර පහක් ගත වී තිබුණත් ඇය නිරෝගීව සිටිනවා.
දැනුවත් වෙන්න
බොහෝ අය පියයුරු පිළිකාවක් තිබෙනවා කියා සැක කරන්නේ පියයුරේ ඇති වන ගැටිත්තක් නිසයි. නමුත් සෑම ගැටිත්තක්ම පිළිකාවක් නොවන බව මතක තබාගන්න. පිළිකාවක් වීමේ අවදානමක් තිබෙන්නේ එවැනි ගැටිතිවලින් සියයට 20ක් පමණයි.
සාමාන්‍යයෙන් පිළිකාවක් ආරම්භ වන්නේ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීමත් සමඟයි. ඒ වගේම මෙම සෛල අනික් සෛල විනාශ කරමින් ගෙඩියක් බවට පත් වෙනවා. ඉන්පසුව එය ශරීරය පුරාම පැතිරීමටද ඉඩ තිබෙනවා. සමහර පිළිකා වේගයෙන් ව්‍යාප්ත වෙන අතර තවත් ඒවා හඳුනාගැනීමට වසර දහයක් පමණ ගත විය හැකියි.
කලින් සඳහන් කළ කොන්චීටාට තිබුණේ පියයුරු පිළිකාවක්ද කියා දැනගැනීමට, වෛද්‍යවරයා සිහින් එන්නත් කටුවක් මාර්ගයෙන් එම ගැටිත්තෙන් සෛල ගෙන පරීක්ෂා කළා. එය පිළිකාවක් කියා දැනගත් විට එය කොතරම් වේගයෙන් පැතිරෙනවාද කියාත් කොතරම්දුරට ව්‍යාප්ත වී තිබෙනවාද කියාත් සොයා බලා පසුව සම්පූර්ණයෙන්ම ඉවත් කළා.
බොහෝවිට ශල්‍යකර්මයකින් පසුව පවා පිළිකාව නැවත ඇති වීම වළක්වාගැනීම සඳහා අමතර ප්‍රතිකාර ලබාගැනීමට සිදු වෙනවා. ඊට හේතුව පිළිකා සෛල ඉතිරි වී තිබුණොත් ඒවා රුධිරය මගින් මොළයට, අක්මාවට, පෙණහලුවලට සහ ඇටමිදුළුවලට ගොස් නැවත මරාන්තික පිළිකාවක් ඇති විය හැකි වීමයි.
මේ හේතු නිසා රසායනික හා කිරණ චිකිත්සක ප්‍රතිකාර ලබාගැනීමට කොන්චීටාට සිදු වුණා. ඒ වගේම ඇගේ පිළිකාව වර්ධනය වීමට ඊස්ට්‍රජන් හෝමෝනයත් බලපෑ නිසා ඒ සඳහාත් ඇයට ප්‍රතිකාර ගැනීමට සිදු වුණා.
පියයුරු පිළිකා තිබෙන එක් එක් රෝගියාට ලබා දෙන ප්‍රතිකාර වෙනස්. උදාහරණයකට ආලෙට් නමැති කාන්තාවගේ පිළිකාව හඳුනාගත්තේ පිළිකාවේ මුල් අවදියේදී නිසා එය පැතිරීමට පෙර ඉවත් කිරීමට හැකි වුණා. ඒ නිසා ඇයට පියයුර ඉවත් කිරීමට අවශ්‍ය වුණේ නැහැ. ඇලිස් නම් කාන්තාවට රසායනික චිකිත්සක ප්‍රතිකාර ලබා දුන් නිසා ඇගේ පිළිකාවේ ප්‍රමාණය කුඩා කර පසුව ඉවත් කිරීමට හැකි වුණා. ජැනිස්ගේ තත්වය ඊට වඩා හුඟක් වෙනස්. ඇයට තිබූ පිළිකාවත් ඒ අවට ප්‍රදේශයේ තිබූ වසා ගැටිති කිහිපයක්ද ඉවත් කළා. නමුත් මේ වසා ගැටිති සම්පූර්ණයෙන්ම ඉවත් නොකළ නිසා පසුව ඇති විය හැකි අතුරු ආබාධවලින් ආරක්ෂා වීමට ඇයට හැකි වුණා.
තාක්ෂණයේ දියුණුවත් සමඟම පියයුරු පිළිකා සඳහා කරන ප්රතිකාරද දියුණු වී තිබෙනවා.
හේතුව කුමක්ද?
පියයුරු පිළිකා ඇති වීමට හේතුව තවමත් හරි හැටි සොයාගෙන නැහැ. සමහර අය පවසන්නේ පිළිකාව ඇති වීමට හේතුව සොයා බලනවාට වඩා ඒ සඳහා කරන ප්‍රතිකාර සොයාගැනීමට මුදල් වැය කිරීමෙන් වැඩි ලාභයක් ලැබෙන බවයි. ඒ කෙසේවෙතත් එම ප්‍රශ්නයට පිළිතුරු සොයාගැනීමට අවශ්‍ය වන වැදගත් තොරතුරු කිහිපයක්ම වෛද්‍ය විද්‍යාවෙන් සොයාගෙන තිබෙනවා. සමහර විද්‍යාඥයන් පවසන්නේ පියයුරු පිළිකා ඇති වීමට ජාන විකෘතියක් හේතු වන බවයි.
එසේනම් ජාන විකෘතිය ඇති වන්නේ කෙසේද? පියයුරු පිළිකා රෝගීන්ගෙන් සියයට පහත් දහයත් අතර සංඛ්‍යාවකට උපතින්ම ජාන විකෘතිතා තිබෙනවා. නමුත් බොහෝවිට එවැනි ජාන විකෘතිතාවකට හේතු වන්නේ විකිරණ හෝ රසායනික ද්‍රව්‍යයි. නමුත් මෙම තොරතුරුද සියයට සියයක්ම නිවැරදියි කියා ඔප්පු වී නැහැ.
පියයුරු පිළිකාවලට හේතු විය හැකි තවත් දෙයක් වන්නේ ඊස්ට්‍රජන් හෝමෝනයයි. ඒ නිසා අඩු වයසින් මල්වර වූ අයට, හුඟක් ප්‍රමාද වී ආර්ථවහරණය සිදු වූ අයට, වයසට ගොස් දරුවන් බිහි කළ හෝ කිසිදාක දරුවන් බිහි නොකළ අයට මෙන්ම කෘතිම හෝමෝන භාවිත කරන අයට පියයුරු පිළිකා වැලඳීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම මේදය මගින් ඊස්ට්‍රජන් හෝමෝනය නිෂ්පාදනය කරන නිසා තරබාරු අයට එම අවදානම වැඩියි. ඊට අමතරව තවත් බලපෑ හැකි දෙයක් වන්නේ ශරීරයේ ඉන්සියුලීන් ප්‍රමාණය අධික වීමයි. අනික් අතට මෙලටෝනින් නමැති හෝමෝනය අඩු වීමත් පියයුරු පිළිකා ඇති වීමට හේතු විය හැකියි. මෙලටෝනින් අඩුවෙන් නිෂ්පාදනය වන්නේ අඩු නින්දක් ලබන අයගේ බව මතක තබාගන්න.
පියයුරු පිළිකා සඳහා වඩා සාර්ථක ඖෂධ සොයන අතරේදීම කෙනෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කර ඒ තුළින් රෝගය මර්දනය කිරීමටත් වෛද්‍යවරුන් ක්‍රම සොයනවා. ඒ වගේම වඩා දියුණු ස්කෑන් පරීක්ෂණ කළ හැකි නිසා කිරණ චිකිත්සක ප්‍රතිකාර වඩාත් සාර්ථකව කිරීමටත් හැකි වී තිබෙනවා.
ඒ වගේම පිළිකාව පැතිරීමට හේතුවත්, සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීම වළක්වාගන්නේ කෙසේද කියාත්, එක් එක් පිළිකා වර්ගවලට අනුව කළ හැකි ප්‍රතිකාර ගැනත්, විද්‍යාඥයන් පර්යේෂණ පවත්වනවා.
වෛද්‍ය ක්ෂේත්රය කොතෙක් දියුණු වුණත් ලෙඩ රෝග සම්පූර්ණයෙන්ම නැති කිරීමටවත් මරණය නතර කිරීමටවත් බැහැ. (රෝම 5:12) නමුත් පියයුරු පිළිකා ඇතුළුව සියලුම ලෙඩ රෝග තුරන් කිරීමට අපගේ නිර්මාතෘ වන දෙවි පොරොන්දු වී තිබෙනවා. එදාට ‘කිසිවෙකුවත්, මා ලෙඩින් යයි පවසන්නේ නැහැ.’d (යෙසායා 33:24) එය දැන සිටීම අපට ඇත්තටම සහනයක් නොවේද!
[පාදසටහන්වල]
a නම් වෙනස් කර ඇත.
b පිබිදෙව්! යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ.
c කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි අයට පියයුරු පිළිකා වැලඳීමට තිබෙන ප්‍රවණතාව අඩුයි.
d මේ පොරොන්දුව ගැන වැඩි විස්තර දැනගැනීමට කැමති නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු ප්රකාශනය බලන්න.
[24, 25වන පිටුවල කොටුව/පින්තූරය]
හඳුනාගැනීමේ ලකුණු
මුල් අවදියේදීම පියයුරු පිළිකාවක් හඳුනාගැනීම වැදගත්. මැමෝග්රෑම් පරීක්ෂණයකින් පමණක් මෙය කළ හැකියි කියා සිතන්න එපා. වෛද්‍යවරුන් පවසන්නේ ස්වයං පරීක්ෂණයක් කරගන්න කියායි. ඔබ එසේ කරන විට මෙම ලක්ෂණ ඇද්දැයි බලන්න.
● පියයුරේ හා කිහිල්ල ආශ්‍රිතව ගැටිත්තක් හෝ යම් ගනවීමක්
● තන පුඩුවෙන් කිරි නොවන ශ්‍රාවය පිට වීමක්
● සමේ පැහැයේ හෝ වෙන ඕනෑම වෙනසක්
● තන පුඩුවේ ගිලී යෑමක් හෝ වේදනාවක්
[25වන පිටුවේ කොටුව]
ඔබට පියයුරු පිළිකාවක් ඇත්නම්
● ප්‍රතිකාර සඳහා අඩුම තරමින් වසරක්වත් ගත විය හැකි බව මතක තබාගන්න.
● පළපුරුදු මෙන්ම ඔබේ අවශ්‍යතාවන්ට හා විශ්වාසයන්ට ගරු කරන වෛද්‍යවරයෙකු තෝරාගන්න.
● ඔබේ තත්වය ගැන පවසන්නේ කාටද, කවදාද කියා පවුලේ අය සමඟ සාකච්ඡා කරන්න. ඔබ වෙනුවෙන් යාච්ඤා කිරීමට සහ ඔවුන්ගේ සැලකිල්ල පෙන්වීමට ඔබේ මිතුරන්ට මෙය අවස්ථාවක් වෙයි.—1 යොහන් 3:18.
● බයිබලය කියවීම, යාච්ඤා කිරීම හා දෙවිගේ පොරොන්දු ගැන කල්පනා කිරීම ඔබේ මනසට සහනයක් ගෙන දෙයි.—රෝම 15:4; ෆිලිප්පි 4:6, 7.
● ඔබ හා සමාන තත්වයකට මුහුණ දී තිබෙන අය සමඟ කතා කරන්න. එයින් ඔබට දිරිගැන්වීමක් ලැබෙයි.—2 කොරින්ති 1:7.
● ඕනෑවට වඩා කනස්සලු වෙන්න එපා. යේසුස් පැවසුවේ මෙයයි. “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි.”—මතෙව් 6:34.
● අධික ලෙස වෙහෙස නොවී ප්‍රමාණවත් විවේකයක් ගන්න.
[26වන පිටුවේ කොටුව/පින්තූරය]
වෛද්‍යවරයා හමු වීම
● පියයුරු පිළිකා හා සම්බන්ධ වෛද්‍ය විද්‍යාවේ භාවිත කරන යෙදුම් ගැන දැනගන්න.
● වෛද්‍යවරයාගෙන් ඇසීමට බලාපොරොත්තු වන ප්‍රශ්න මොනවාද කියා ලියාගන්න. ඔබේ සහයට තව කෙනෙකුව රැගෙන යන්න. අවශ්‍ය දේවල් සටහන් කරගන්න කියා ඔහුට පවසන්න.
● වෛද්‍යවරයා පවසන දෙයක් ඔබට නොතේරුණොත් එය පැහැදිලි කරන්න කියා ඔහුගෙන් ඉල්ලා සිටින්න.
● ඔබේ වෛද්‍යවරයා මෙවැනි රෝගීන් කීදෙනෙකුට ප්‍රතිකාර කර තිබෙනවාද කියා අසන්න.
● අවශ්‍ය නම් තවත් වෛද්යවරයෙකුවද හමු වන්න.
● හැකි නම් ඔබේ තත්වය ගැන එම වෛද්‍යවරුන් දෙදෙනාට සාකච්ඡා කරන්න කියා ඉල්ලා සිටින්න.
[27වන පිටුවේ කොටුව/පින්තූර]
අතුරු ආබාධවලට මුහුණ දීම
පිළිකාවකට ගන්නා ප්‍රතිකාර නිසා ඔක්කාර ගතියක් ඇති වීම, හිස කෙස් වැටීම, වේදනාව, වෙහෙස, ඇඟිලි හිරි වැටීම වැනි තත්වයන් ඇති විය හැකියි. ඒ නිසා පහත දැක්වෙන යෝජනාවන් ඔබට උපකාරවත් වෙයි.
● පෝෂ්‍යදායි ආහාර ගන්න. එවිට ඔබේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් වෙයි.
● ඇඟට අපහසුතාවක් ඇති කරන ආහාර ගැන සටහනක් තබාගන්න.
● වේදනාව හා ඔක්කාර ගතිය අඩු කිරීමට උපකාරවත් වන ප්‍රතිකාර මොනවාද කියා සොයා බලන්න.
● ශක්තිය වැඩි කිරීමට අවශ්‍ය කරන ව්‍යායාම් කරන්න. ඒ වගේම ඔබේ බර ගැන සැලකිලිමත් වෙන්න.e
● විවේක ගන්න. නමුත් ඕනෑවට වඩා ඇඳට වී සිටීම, වෙහෙසකර බව තවත් වැඩි කරයි.
● සැහැල්ලු ඇඳුම් අඳින්න. උණුසුම් වතුරෙන් ස්නානය කරන්න. සම වියළීමට ඉඩ නොදෙන්න.
[පාදසටහන]
e ව්‍යායාම් කිරීමට පෙර ඒ ගැන වෛද්‍යවරයා සමඟ කතා කරන්න.
[28වන පිටුවේ කොටුව]
ඔබ ආදරය කරන කෙනෙකුට පිළිකාවක් තිබෙනවා නම්
බයිබලයේ මෙසේ පවසනවා. “ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න. හඬන අයත් සමඟ හඬන්න.” (රෝම 12:15) දුරකථන ඇමතුමක් දීමෙන්, ලිපියක්, කාඩ් පතක්, ඊ-මේල් පණිවිඩයක් යැවීමෙන් හා ගොස් බැලීමෙන් ඔබේ සැලකිල්ල ඔවුන්ට පෙන්විය හැකියි. ඒ වගේම ඔවුන් සමඟ යාච්ඤා කරන්න. දිරිගැන්වෙන බයිබල් පදයක් හෝ කිහිපයක් කියවන්න. බෙරිල් නමැති කාන්තාව මෙවැනි දෙයක් පවසනවා. “පිළිකා නිසා මිය ගිය අය ගැන කතා කරනවා වෙනුවට ඉන් සුවය ලැබූ අය ගැන කතා කරන්න.” පිළිකාවක් වැලඳී සිටි ජැනිස් මෙසේ පවසනවා. “ආදරයෙන් කතා කරන්න. අසනීපය ගැන අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා. අවශ්‍ය නම් ඇයම ඔබට ඒ ගැන කියයි.” භාර්යාවක් එවැනි තත්වයකට පත් වුණොත් ස්වාමිපුරුෂයාගේ ආදරය හා සැලකිල්ල ඇයට හුඟක් වටිනවා.
ජෙෆ්ගේ බිරිඳට පිළිකාවක් වැලඳී තිබුණා. ඒ ගැන ජෙෆ් පැවසුවේ මෙයයි. “පුරුද්දක් හැටියට අපි දවසක් වෙන් කරගෙන ඒ දවසේදී බිරිඳගේ අසනීපය ගැන කිසිම දෙයක් කතා කරන්නේ නැහැ. එදාට කතා කරන්නේ අපේ ජීවිතයේ සතුටුදායක දේවල් විතරයි. ඒ දවසේදී අපි හුඟක් සතුටින් සිටිනවා.”
[28වන පිටුවේ කොටුව]
අද්දැකීම් කිහිපයක්
පිළිකාවක් තිබෙන බව දැනගත් මොහොත
ෂැරන්: මගේ බලාපොරොත්තු ඔක්කොම සුන් වුණා. “මේක තමයි මගේ අවසානය” කියලා මට හිතුණා.
අමාරුම අවස්ථා
සැන්ඩ්‍රා: ප්‍රතිකාරයට වඩා දරාගන්න අමාරු වුණේ සිතේ වේදනාවයි.
මාග්‍රට්: ප්‍රතිකාර කරනකොට එපා වෙනවා. ඒත් අමාරුවෙන් වුණත් දිගටම කරනවා.
මිතුරන්
ආලෙට්: අසනීපය ගැන යාළුවන්ට කිව්ව නිසා ඒ අය අපි වෙනුවෙන් යාච්ඤා කරයි කියලා අපිට විශ්වාසයි.
ජෙනී: මාත් එක්ක කතා කළ හැම කෙනෙකුව මට මතකයි.
ස්වාමිපුරුෂයාගෙන් ලැබුණු ආදරය
බාබ්රා: කොණ්ඩේ හැලෙන්න කලින්ම මම බූගෑවා. කොලින් ඒක දැකලා කිව්වා “ඔයාගේ තට්ටේ හරිම ලස්සනයිනේ” කියාලා. ඒක අහලා මටත් හිනා ගියා.
සැන්ඩ්‍රා: අපි දෙන්නා කණ්ණාඩියෙන් බලනකොට ජෝගේ මූණේ තිබුණේ ‘මොනවා වුණත් මට ඔයාව වටිනවා’ කියනවා වගේ හැඟීමක්.
සාෂා: කාල් නිතරම කියන්නේ මට පිළිකාවක් තියෙනවා කියලා නෙවෙයි “අපිට පිළිකාවක්” තියෙනවා කියලයි.
ජෙනී: ජෙෆ්ගේ ආදරය මට හුඟක් දැනුණා. එයාට දෙවි එක්ක තිබුණ ශක්තිමත් බැඳීම මට ලොකු හයියක් වුණා.
[27වන පිටුවේ රූප සටහන/පින්තූරය]
(මුද්‍රිත පිටපත බලන්න)
පිළිකා සෛල පාලනයකින් තොරව වර්ධනය වී නිරෝගී සෛල විනාශ කරයි
[රූප සටහන]
කිරි නාළයක තිබෙන නිරෝගී සෛල
නාළය තුළ වර්ධනය වන පිළිකා සෛල
නාළයෙන් පිටතට පැතිරෙන පිළිකා සෛල
[28වන පිටුවේ පින්තූරය]
ප්‍රතිකාරයේ එක් අංගයක් වන්නේ පවුලේ අයගෙන් හා මිතුරන්ගෙන් ලැබෙන ආදරයයි