ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g94 8/8 6-10 පි.
  • බේරී ජීවත්වීම සඳහා ක්‍රම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බේරී ජීවත්වීම සඳහා ක්‍රම
  • 1994 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වැළැක්වීම සහ ආහාර රටාව
  • කලින් සොයාගැනීම
  • ප්‍රතිකාරය
  • අධික වෙහෙස සහ පියයුරු පිළිකාව
  • පියයුරු පිළිකාව පිළිබඳව ස්ත්‍රීන් දැනගත යුතු දෑ
    1994 පිබිදෙව්!
  • පියයුරු පිළිකා හඳුනාගමු කල් නොදමා
    2011 පිබිදෙව්!
  • ඉතා වැදගත් වන උපකාරය
    1994 පිබිදෙව්!
  • මව්කිරිවල ගුණයට පක්ෂව සාක්ෂි
    1994 පිබිදෙව්!
තව තොරතුරු
1994 පිබිදෙව්!
g94 8/8 6-10 පි.

බේරී ජීවත්වීම සඳහා ක්‍රම

ඔබගේ අසල්වැසි ප්‍රදේශයේ මිනීමරුවෙකු ගැවසෙන බවට ප්‍රවෘත්ති වාර්තාවක් ඔබට අසන්ට ලැබුණි නම්, ඔබත් ඔබගේ පවුලත් ආරක්ෂා කරගැනීම සඳහා ඔබ පියවර ගන්නෙහිද? පහසුවෙන් ඇතුල්වීමට නොහැකි කරවීමේ අටියෙන් ඇතැම්විට ඔබ ඔබගේ දොරවල් වසා ඒවාට අගුල් දැමිය හැකිය. තවද සැක-සහිත අමුත්තන් ගැන ඔබ සැලකිලිමත් වන අතර ඔවුන් ගැන වහාම පොලිසියට දන්වනු ඇත.

මාරාන්තික රෝගයක් වන පියයුරු පිළිකාව සම්බන්ධයෙන්, ස්ත්‍රීන් ඊට වඩා අඩු සැලකිල්ලක් දැක්විය යුතුද? තමන්ව ආරක්ෂා කිරීමටත් බේරී ජීවත්වීම සඳහා තිබෙන ඉඩකඩ වැඩි කිරීමටත් ඔවුන්ට ගත හැකි පියවරවල් මොනවාද?

වැළැක්වීම සහ ආහාර රටාව

එක්සත් ජනපදයේ සෑම පිළිකා 3කින් 1ක් ආහාර නිසා හටගන්නා බව තක්සේරු කර තිබේ. ඔබගේ ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය පවත්වා ගැනීමට උපකාරවත් වන හොඳ ආහාර ගැනීමේ රටාවක්, එම රෝගයෙන් ආරක්ෂා වීමට තිබෙන ඔබගේ මුල් පියවර විය හැකිය. යම් විශේෂිත ආහාරයක් මගින් පිළිකාව සුව කළ හැකි යයි කිව නොහැකි නමුත්, ඇතැම් ආහාර අනුභව කිරීම සහ වෙනත් ඒවා අඩු කිරීම එය වැළැක්වීමට පියවර විය හැකිය. “නියම ආහාර අනුභව කිරීම පියයුරු පිළිකාව ඇති වීමට ඔබට තිබෙන අවදානම සියයට පනහකින් අඩු කළ හැක” යනුවෙන් නිව් යෝර්ක්වල වැල්හැලාහි පිහිටි අමෙරිකානු සෞඛ්‍ය පදනමේ ආචාර්ය ලෙනාර්ඩ් කොවන් ප්‍රකාශ කළේය.

නිවුඩු සහිත ධාන්‍ය පිටිවලින් සෑදූ පාන් සහ ධාන්‍ය වර්ග වැනි කෙඳි බහුල ආහාර වර්ග ප්‍රොලැක්ටින් සහ ඊස්ට්‍රජන් ප්‍රමාණය අඩු කිරීමට උපකාරවත් විය හැකිය, ඇතැම්විට ඒවායින් කෙරෙනුයේ මෙම හෝමෝනවලට සම්බන්ධ වීමෙන් පිටතට ඒවා සෝදා හැරීම විය හැකිය. නියූට්‍රිෂන් ඇන්ඩ් කැන්සර් නමැති සඟරාවට අනුව, “පිළිකාජනනයේ ආරම්භක අවධිය මැඩපැවැත්වීමට මෙම බලපෑම්වලට හැකිය.”

සන්තෘප්ත මේද වර්ග අඩු කිරීම අවදානම අඩු කළ හැකිය. යොදය සහිත කිරි වෙනුවට යොදය රහිත කිරිවලට මාරු වීම, බටර් ආහාරයට ගැනීම අඩු කිරීම, තෙල් රහිත මස් වර්ග ආහාරයට ගැනීම සහ කුකුල් මස්වලින් හම ඉවත් කිරීම සන්තෘප්ත මේද ප්‍රමාණය වඩාත් ආරක්ෂාකාරි පහත් මට්ටමකට පත් කළ හැකිය.

කැරට්, ලබු වැනි එළවුළු වර්ග, බතල සහ නිවිති, කොළ ගෝවා සහ අබ කොළ වැනි තද කොළ පැහැති පළා වර්ග ආදී A-විටමින බහුල එළවුළු උපකාරයක් විය හැකිය. පිළිකාවට විකෘතීන් හටගැනීම A-විටමිනය මගින් වළක්වන බව සැලකේ. තවද බ්‍රොකොලි නමැති ගෝවා වර්ගය, මල් ගෝවා ගෙඩි, ගෝවා අමු ලූණු ආදියෙහි ආරක්ෂාකාරී එන්සයිම වඩවන රසායනයන් අඩංගු වේ.

අස්වාභාවික සෛල හඳුනාගෙන ඒවා විනාශ කරන්නාවූ ප්‍රතිශක්ති පද්ධතිය, ආහාර මගින් ශක්තිමත් කළ හැකි බව, බ්‍රෙස්ට් කැන්සර්—වොට් එව්රි වුමන් ශුඩ් නෝ නමැති පොතේ වෛද්‍ය පෝල් රොඩ්රීගේස් පවසයි. තෙල් රහිත මස් වර්ග, කොළ පැහැති පළා වර්ග, ඉස්සෝ, බෙල්ලෝ වැනි මුහුදු ජීවීන් ආදී යකඩ අධික ආහාර වර්ග සහ C-විටමින බහුල පලතුරු සහ එළවුළු අනුභව කිරීමට ඔහු යෝජනා කරයි. C-විටමින බහුල පලතුරු සහ එළවුළු පියයුරු පිළිකාවට තිබෙන අවදානම අඩු කරන බව ජර්නල් ඔෆ් ද නැෂනල් කැන්සර් ඉන්ස්ටිටියූට් වාර්තා කරයි. සෝයා බෝංචි සහ නොපැසුණු සෝයා නිෂ්පාදනවල ජිනිස්ටීන් අඩංගු වේ, පරීක්ෂණාගාරවල කරනු ලැබූ පරීක්ෂණවලදී මෙය අර්බුදයක වර්ධනය මැඩපවත්වන බව සොයා ගෙන තිබෙන නමුත්, මනුෂ්‍යයන් සම්බන්ධයෙන් එහි සාර්ථකත්වය තවමත් ස්ථිර කර නැත.

කලින් සොයාගැනීම

“කලින් පියයුරු පිළිකාවක් සොයාගැනීම එහි ගමන් මාර්ගය වෙනස් කිරීමට වඩාත්ම වැදගත් පියවර වේ,” යනුවෙන් රේඩියොලොජික් ක්ලිනික්ස් ඔෆ් නෝර්ත් අමෙරිකා නමැති ප්‍රකාශනය පවසයි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පියවර තුනක් වනුයේ, තමා විසින්ම පියයුර නිතිපතා පරීක්ෂා කිරීම, වෛද්‍යවරයෙකු ලවා වාර්ෂිකව පරීක්ෂා කරගැනීම සහ පියයුරු X-කිරණ ඡායාරූප මගින් පරීක්ෂා කරනු ලැබීම යන මේවාය.

ස්ත්‍රියක ඇගේ පියයුරුවල පෙනුමෙන් හෝ අතගෑ විට දැඩි වීමක් හෝ ගැටිත්තක් බඳු සැක සහිත ඕනෑම දෙයක් සම්බන්ධයෙන් පරීක්ෂාකාරී වීම සඳහා, නොකඩවාම සෑම මසකම තමා විසින්ම පියයුරු පරීක්ෂා කිරීම කළ යුතු වේ. ඇය යමක් සොයාගතහොත් එය කොතරම් කුඩාව තිබුණත්, වහාම ඇගේ වෛද්‍යවරයා හමුවීම අවශ්‍යය. ගැටිත්තක් වඩාත් කල් ඇතුව නිර්ණය කරනු ලැබේ නම් එය එපමණට ස්ත්‍රියකගේ අනාගත බලාපොරොත්තු සහතික කළ හැක. ප්‍රමාණයෙන් අඟල් භාගයකට වඩා මදක් විශාල හෝ කුඩා හෝ වූ ශරීර අභ්‍යන්තරයට නොපැතුරුණු පියයුරු පිළිකාවක් ශල්‍යකර්මයක් මගින් ඉවත් කරනු ලැබුවා නම්, වසර 12ක ආයුෂ අපේක්ෂාවක් ලැබීමට සියයට 94ක ඉඩකඩක් තිබූ බව ස්වීඩනයෙන් වූ වාර්තාවක දැක්වීය.

වෛද්‍ය පට්‍රිෂා කෙලි මෙලෙස අදහස් ප්‍රකාශ කරන්නීය: “වසර 12 1⁄2කට පියයුරු පිළිකාවක නැවත හටගැනීමක් ඔබට සිදු වී නැත්නම්, එය නැවත සිදුවිය හැකි යයි සිතීමට අපහසුය. . . . තවද තමන්ගේ ඇඟිලි භාවිතා කිරීමෙන් පමණක් සෙන්ටි මීටර එකකට [අඟල් 1⁄3] වඩා කුඩා වූ පියයුරු පිළිකාවක් හඳුනා ගැනීමට ස්ත්‍රීන්ට ඉගැන්විය හැකිය.”

විශේෂයෙන් ස්ත්‍රියක් අවුරුදු 40ට පිවිසුනායින් පසුව, රෝග විනිශ්චයඥයෙකු හෝ වෛද්‍යවරයෙකු මගින් කායික පරීක්ෂණයක් විධිමත් ක්‍රියා පිළිවෙළක් අනුව සෑම වසරකම සිදු කළ යුතු බවට යෝජනා කර තිබේ. ගැටිත්තක් සොයාගනු ලැබුවා නම්, පියයුරු පිළිකා විශේෂඥයෙකු හෝ ශල්‍ය වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් පැතීම යෝග්‍ය වේ.

නිතිපතා පියයුරු X-කිරණ පරීක්ෂාවක් කිරීම පියයුරු පිළිකාවට එරෙහිව හොඳ ආයුධයක් වන බව එක්සත් ජනපදයේ පිහිටි ජාතික පිළිකා ආයතනය පවසයි. මෙයාකාර X-කිරණ ඡායාරූපයක් මගින් අර්බුදයක් ඇතැම්විට අතගෑමෙන් සොයාගැනීමට හැකි වීමට වසර දෙකකට පමණ කලින් සොයාගත හැකි වේ. මෙම ක්‍රියා පිළිවෙළ අවුරුදු 40න් ඉහළ ස්ත්‍රීන්ට නිර්දේශ කොට ඇත. කෙසේවෙතත්, වෛද්‍ය ඩැනියල් කෝපන්ස් අපට මෙලෙස දන්වයි: “එය මුළුමනින්ම පාහේ අංග-සම්පූර්ණ පරීක්ෂණයක් නොවෙයි.” සියලු ආකාර පියයුරු පිළිකාවන් සොයාගැනීමට එයට නොහැක.

අස්වාභාවික යමක සලකුණක් පියයුරු X-කිරණ මගින් කරන පරීක්ෂණයකින් පෙනෙන්නට නොතිබුණත් ස්ත්‍රියක හෝ ඇගේ වෛද්‍යවරයා විසින් එබඳු යමක් සොයාගනු ලැබුවොත්, භෞතික සොයාගැනීම නොසලකා හැර X-කිරණ ඡායාරූපය විශ්වාස කිරීමට නැඹුරුවාවක් ඇති විය හැකි බව නිව් යෝර්ක් ජනපදයේ පියයුරු පිළිකා චිකිත්සාගාරයක වෛද්‍ය වෙන්ඩි ලෝගන්-යං පිබිදෙව්! සඟරාවට පවසන්නීය. මෙය “අදදින අප දකිනා විශාලතම දෝෂය” බව ඈ පවසන්නීය. ඇය ස්ත්‍රීන්ට උපදෙස් දෙන්නේ පිළිකාවක් සොයාගැනීමට පියයුරු X-කිරණ මගින් කරන පරීක්ෂාවකට තිබෙන හැකියාව ගැන යම් තරමක සැක සහිත බවක් ඇතුව සිටීමටත් පියයුරු පරීක්ෂා කිරීම මතද අධික ලෙස රඳා සිටීමටත්ය.

පියයුරු X-කිරණ මගින් කරන පරීක්ෂණයකින් අර්බුද සොයාගැනීමට හැකි වුවත්, ඒවා පිළිකාකාරකද නැද්ද කියා සැබවින්ම නිර්ණය කිරීමට එමගින් නොහැක. එය කළ හැක්කේ පටක පරීක්ෂාවක් මගින් පමණි. පියයුරු X-කිරණ පරීක්ෂණයක් සඳහා ගිය අයිරීන්ගේ සිද්ධිය සලකා බලන්න. X-කිරණ ඡායාව මත පදනම් වෙමින්, ඇගේ වෛද්‍යවරයා ඈට තිබූ ගැටිත්ත පිළිකාවක් නොවූ පියයුරු රෝගයක් බවට නිර්ණය කර ඇයට මෙසේ පැවසුවේය: “ඔබට පිළිකාව නැති බවට මට හොඳටම විශ්වාසයි.” පියයුරු X-කිරණ පරීක්ෂාව කළ හෙදිය කලබල වූ නමුත්, අයිරීන් මෙසේ පැවසුවාය: “වෛද්‍යවරයාට නිසැකබවක් හැඟුණා නම්, මම වුවමනාවට වඩා වැඩියෙන් බිය වූවා කියා මට හැඟුණා.” ඉක්මනට එම ගැටිත්ත ප්‍රමාණයෙන් විශාල වූ නිසා අයිරීන් තවත් වෛද්‍යවරයෙකු හමු වන්නට ගියාය. පටක පරීක්ෂණයක් සිදු කරනු ලැබූ අතර, ඇයට ශීඝ්‍රයෙන්-වර්ධනය වන පිළිකාවක් එනම් ප්‍රදාහක පිළිකාජනකයක් තිබූ බව ඉන් හෙළි විය. අර්බුදයක් පිළිකාවක් නොවනවාද (10න් 8ක් පමණ එසේ වේ) නැතිනම් පිළිකාවක්ද කියා තීරණය කරගැනීම සඳහා, පටක පරීක්ෂණයක් සිදු කළ යුතු වේ. ගැටිත්ත පැහැදිලි ලක්ෂණවලට අනුව සැක සහිත පෙනුමක් දෙනවා නම් නැතහොත් ප්‍රමාණයෙන් විශාල වෙනවා නම්, පටක පරීක්ෂණයක් සිදු කළ යුතු වේ.

ප්‍රතිකාරය

වර්තමානයේ, ශල්‍යකර්මය, විකිරණ චිකිත්සාව සහ රසායන චිකිත්සාව පියයුරු පිළිකාව සඳහා වූ පිළිගත් ප්‍රතිකාර ක්‍රම වේ. අර්බුදයේ වර්ගය, එහි ප්‍රමාණය, එහි පැතිර යෑමේ ස්වභාවය, එය වසා ගැටිතිවලට පැතිර ගොස් තිබෙනවාද නැද්ද යන වග සහ ඔබගේ ආර්තවාභාවය පිළිබඳ තත්ත්වය යනාදිය සම්බන්ධ තොරතුරු, තෝරා ගත යුත්තේ කුමන ප්‍රතිකාර ක්‍රමයද යන්න ගැන ඔබටත් ඔබගේ වෛද්‍යවරයාටත් තීරණය කිරීම සඳහා උපකාරවත් විය හැකිය.

ශල්‍යකර්මය. සම්පූර්ණයෙන්ම පියයුර ඉවත් කිරීම එනම් යටින් පිහිටා තිබෙන පේශී සහ වසා ගැටිති සමඟ පියයුර ඉවත් කිරීම, දශක ගණනාවකට පුළුල් වශයෙන් සිදු කර තිබේ. එහෙත් මෑත වසරවලදී පියයුර ආරක්ෂා කරන ප්‍රතිකාර එනම් අර්බුදය සහ වසා ගැටිති පමණක් ඉවත් කිරීමෙන් පසුව විකිරණ චිකිත්සාව ඇතුළත්වන ප්‍රතිකාර සිදු කර තිබෙන අතර බේරී ජීවත්වන්නන්ගේ අනුපාත පියයුර සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේදී ඇති වූ අනුපාතවලට සමාන වී තිබේ. මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් අඩු විරූපීතාවක් ඇති කරන හෙයින්, කුඩා අර්බුදයක් ඉවත් කිරීම ගැන තීරණය කිරීමේදී ඇතැම් ස්ත්‍රීන්ට මානසික සහනයක් එමගින් ලැබී තිබේ. එහෙත් බ්‍රිටිෂ් ජර්නල් ඔෆ් සර්ජරි පවසන පරිදි, වයසින් අඩු, එකම පියයුරක බොහෝ ස්ථානවල පිළිකා ඇති අයට හෝ අඟලකට වඩා විශාල වූ අර්බුද ඇති අයට පියයුර ආරක්ෂා කිරීමේ ප්‍රතිකාරය කිරීමේදී පිළිකාව නැවත ඇති වීමේ වඩා වැඩි අවදානම් තත්ත්වයක් තිබේ.

නැවත පිළිකාව හට නොගෙන බේරී ජීවත්වීම සඳහා වැදගත් සාධකයක් ගැන ක්ලීව්ලන්ඩ් ක්ලිනික් ජර්නල් ඔෆ් මෙඩිසින් සඟරාවේ මෙසේ සඳහන් වේ: “විශාල පේශී ඉවත් නොකොට සිදුකරන පියයුරු ශල්‍යකර්මයෙන් පසු . . . බේරී ජීවත්වීමේ සහ පිළිකාව නැවත හටගැනීමේ අනුපාතය කෙරෙහි රුධිර ප්‍රවේශනයට අහිතකර බලපෑමක් ඇති කළ හැකිය. රුධිර ප්‍රවේශනය ලැබූ එක් කණ්ඩායමකට වසර පහකට බේරී ජීවත්වීමේ අනුපාතය සියයට 53ක් වූ අතර, එය නොලැබූ කණ්ඩායමේ අයට එය සියයට 93ක් වූ බව එම වාර්තාවේ දැක්වීය.”

බේරී ජීවත්වීම සඳහා වූ තවත් උපකාරයක් ද ලාන්සට් සඟරාවේ වාර්තා වී ඇත, එහිදී වෛද්‍ය ආර්. ඒ. බැඩ්වේ මෙසේ ප්‍රකාශ කළේය: “ආර්තවාභාවයට පත්ව නැති පියයුරු පිළිකා රෝගීන්ට සිදුවන දිගු කාලීන ප්‍රතිඵලය ගත් කල, ආර්තව චක්‍රයේදී ශල්‍යකර්මය සිදුකරන අවස්ථාව මහත් බලපෑමක් ඇති කරයි.” ඊස්ට්‍රජන් උත්තේජනය වන අවධියක අර්බුද කපා ඉවත් කිරීමකට යටත් වූ ස්ත්‍රීන් ආර්තව චක්‍රයේ වෙනත් අවස්ථාවලදී ශල්‍යකර්මයට යටත් වූ අයට වඩා දරුණු ප්‍රතිඵල අද්දුටු බව එම වාර්තාවේ සඳහන් විය—එනම් කලින් සඳහන් කළ අයගෙන් සියයට 54ක ප්‍රතිශතයක් වසර දහයකට බේරී ජීවත් වූ නමුත් පසු සඳහන් කළ අයගෙන් වසර දහයකට බේරී ජීවත් වූ අයගේ ප්‍රතිශතය සියයට 84ක් විය. ආර්තවාභාවයට පෙර පියයුරු පිළිකාව ඇති ස්ත්‍රීන් සඳහා ශල්‍යකර්මයට වඩාත්ම සුදුසු කාලය අඩුම වශයෙන් ඔසප් වීමෙන් දින 12කට පසුව විය යුතු යයි සඳහන් විය.

විකිරණ චිකිත්සාව. විකිරණ චිකිත්සාව මගින් පිළිකා සෛල මරා දමනු ලැබේ. පියයුර ආරක්ෂා කිරීමේ ප්‍රතිකාරය ගත් කල, වෛද්‍යවරයා පියයුර ආරක්ෂා කිරීමට තැත් කරන අතර ඉතා කුඩා පිළිකා බිජුවලට ඔහුගේ පිහියෙන් බේරී යෑමට ඉඩ ඇත. විකිරණ චිකිත්සාව මගින් ඒයාකාරයෙන් ඉතිරිවන සෛල විනාශ කරදැමීමට හැකි වේ. එසේ වුවත්, විකිරණයත් සමඟ අනෙක් පියයුරේ ද්විතීයික පිළිකා ඇති කිරීමේ මද අවදානමක් ඇත. වෛද්‍ය බෙනඩික් ෆ්‍රාස් නිර්දේශ කරන්නේ අනෙක් පියයුර, විකිරණවලට නිරාවරණය කිරීම හැකි තාක් දුරට අඩු කිරීමටයි. ඔහු මෙසේ සඳහන් කරයි: “සරල විධි ස්වල්පයකින් මූලික පියයුර ප්‍රකිරණයේදී විරුද්ධ පැත්තේ පියයුරට ලැබෙන විකිරණ ප්‍රමාණය සෑහෙන දුරට අඩු කිරීමට හැකිය.” අඟලක් ඝනැති ඊයම් ආවරණයක් විරුද්ධ පැත්තේ පියයුර මත තැබීමට ඔහු යෝජනා කරයි.

ඖෂධ චිකිත්සාව. ශල්‍යකර්මයන් පියයුරු පිළිකාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට උත්සාහයන් ගෙන තිබියදීත්, අලුත සොයා ගනු ලැබූ පිළිකාවන් ඇති ස්ත්‍රීන්ගෙන් සියයට 25 සිට 30ක ප්‍රතිශතයකට තවමත් සහලක්ෂණ හෙළි කිරීමට නොහැකි තරම් කුඩා වූ පැතිරී ගිය ස්ථානාන්තරණ තිබිය හැකිය. ශරීරයේ වෙනත් කොටස් ආක්‍රමණය කරන්නාවූ එම සෛල මරා දැමීම සඳහා උත්සාහයක් වශයෙන් රසායනයන් භාවිතා කරන ප්‍රතිකාර ක්‍රමයකි රසචිකිත්සාව.

රස චිකිත්සාවට ඇති කළ හැකි බලපෑම සීමාසහිතය, මන්දයත් පිළිකා අර්බුද සකස් වී තිබෙන්නේ විවිධාකාර සෛලවලිනි, මෙම සෛල ඖෂධවලට දක්වන සංවේදීතාව එකිනෙකට වෙනස්ය. ප්‍රතිකාරයට පසුව විනාශ නොවී ඉතිරිවන සෛල මගින් නව ඖෂධ-ප්‍රතිරෝධක අර්බුද පරම්පරාවක් උත්පාදනය කළ හැකිය. එසේ වුවත් ස්ත්‍රියකගේ වයසට අනුව, අමතර දශකයක් බේරී ජීවත්වීමේ හැකියාව රසායන චිකිත්සාව මගින් සියයට 5 සිට 10 දක්වා ප්‍රතිශතයකින් වැඩි වූ බවට සාක්ෂි ද ලාන්සට් සඟරාවේ 1992 ජනවාරි කලාපයේ ඉදිරිපත් කරන ලදි.

රසායන චිකිත්සාවේ අතුරු ආබාධවලට ඔක්කාරය, වමනය, කෙස් වැටීම, ලේ යෑම, හෘදයට හානි සිදු වීම, ප්‍රතිශක්තිය මැඩපැවැත්වීම, වඳභාවය සහ ශ්වේත රක්ත රෝගය යනාදිය ඇතුළත් විය හැකිය. සයන්ටිෆික් අමෙරිකන් සඟරාවේ ලිවීමේදී ජෝන් කැයර්න්ස් මෙසේ අදහස් ප්‍රකාශ කළේය: “දරුණු වූ එමෙන්ම වේගයෙන් පැතිර යන පිළිකාවක් ඇති රෝගියෙකුට මේවා සාපේක්ෂ වශයෙන් සුළු උපද්‍රවයන් මෙන් දිස්විය හැකි නමුත්, කුඩා [අඟලකින් 1⁄3ක් පමණ] මෙන්ම ප්‍රත්‍යක්ෂ ලෙස එක් තැනකට පමණක් සීමා වූ පියයුරු පිළිකාවක් ඇති ස්ත්‍රියකට ඒවා බරපතළ ලෙස සැලකිය යුතු කරුණු වේ. ශල්‍යකර්මයෙන් පසුව ඇය අමතර ප්‍රතිකාර නොලැබුවත්, ඇගේ පිළිකාව හේතුවෙන් වසර පහක් ඇතුළත මිය යෑමට ඇයට තිබෙන ඉඩකඩ සියයට 10ක් පමණි.”

හෝමෝන චිකිත්සාව. ප්‍රති-ඊස්ට්‍රජන් ප්‍රතිකාරය මගින් ඊස්ට්‍රජන්වලට තිබෙන වර්ධනය-වඩවන බලපෑම් කපාහරිනු ලබයි. මෙය ඉටු කරනු ලබන්නේ ශල්‍යකර්මය මගින් ඩිම්බ කෝෂ ඉවත් කිරීමෙන් හෝ ටැමොක්සිෆෙන් වැනි ඖෂධ මගින් ආර්තවාභාවයට පෙර ස්ත්‍රීන් තුළ ඊස්ට්‍රජන් ප්‍රමාණය අඩු කිරීමෙනි. මෙම ක්‍රම දෙකෙන් එකක් මගින් ප්‍රතිකාර ලැබූ ස්ත්‍රීන් 100දෙනාගෙන් 8 සිට 12දෙනෙකු දක්වා වසර-දහයක බේරී ජීවත්වීමේ අනුපාතයක් තිබූ බව ද ලාන්සට් සඟරාවේ වාර්තා විය.

පියයුරු පිළිකාව ඇති ඕනෑම ස්ත්‍රියකට ඉන්පසුව තමාව සාත්තු කිරීම ජීවිතාන්තය දක්වා දරන ප්‍රයත්නයක් වේ. දැඩි ලෙස පරීක්ෂා සහිත වීමක් පවත්වා ගත යුතුය, මන්දයත් එක් ක්‍රමයක් අසමත් වී නැවත රෝගය ඇති වුවහොත්, ඊට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ශක්තිය වෙනත් ආකාර ප්‍රතිකාර මගින් සැපයීමට සමත් වීමට ඉඩ තිබෙන හෙයිනි.

වෙනත් ආකාරයක එළැඹීමක් ගන්නා පිළිකා ප්‍රතිකාර ක්‍රමයක් කැචෙක්සියා නමැති සංධාවය මත කේන්ද්‍රගත වේ. පිළිකාව හේතුකොටගෙන ඇති වන සියලුම මරණ අතර තුනෙන් දෙකක්, පේශි සහ වෙනත් පටක ගෙවී යෑම විස්තර කිරීම සඳහා භාවිතා කරනු ලබන වචනයක් වන කැචෙක්සියා නිසා සිදුවන බව කැන්සර් රිසර්ච් නමැති සඟරාව පැහැදිලි කරයි. එක්සත් ජනපදයේ සිරකියූස් පිළිකා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය ජෝසෆ් ගෝල්ඩ් පිබිදෙව්! සඟරාවට මෙසේ සඳහන් කරයි: “කැචෙක්සියා සඳහා ජෛවරසායනික මාර්ගයන් විවෘතව තිබෙනවා නම් මිස අර්බුදයක් වැනි වර්ධනයකට ශරීරය පුරා පැතිර යෑමට නොහැකි බව අපට හැඟෙයි.” විෂ නොවන ඖෂධයක් වන හයිඩ්‍රසයින් සල්ෆේට් භාවිතා කරමින් මෙම ගමන් මාර්ගවලින් සමහරක් අවහිර කළ හැකි බව එක් සායනාගාරයක කරන ලද අධ්‍යයනයකින් දැක්වීය. පියයුරු පිළිකාව සෑහෙන දුරට වර්ධනය වූ අවස්ථාවේ පසුවූ රෝගීන් සියයට 50ක් තුළ ස්ථායි තත්ත්වයක් අත්කරගන්නා ලදි.

පියයුරු පිළිකාව සඳහා ශල්‍යකර්ම රහිත හෝ ශරීරයට විෂ නොවන ප්‍රතිකාර සැපයීම සඳහා ඇතැම් ස්ත්‍රීහු අනුපූරක ඖෂධ වැනි විකල්පවල පිහිට පතති. ප්‍රතිකාර ක්‍රම විවිධාකාර ස්වරූප ගනියි, හොක්සි ප්‍රතිකාර ක්‍රමයේදී මෙන්, ඇතැම් ඒවාට ආහාර මෙන්ම ඖෂධීය පැළෑටි වර්ග භාවිතා කෙරේ. එසේ වුවත් මෙම ප්‍රතිකාර ක්‍රමවල සඵලත්වය වටහාගැනීම හැකි කරවන, ප්‍රකාශයට පත්වූ අධ්‍යයනයන් ඇත්තේ ඉතා ස්වල්පයක් පමණි.

බේරී ජීවත්වීම සඳහා ප්‍රධාන ක්‍රම ඉදිරිපත් කිරීමට මෙම ලිපිය නිර්මාණය වී ඇති නමුත්, යම් ප්‍රතිකාර ක්‍රමයක් සුදුසු යයි සඳහන් කිරීම පිබිදෙව්! සඟරාවේ ප්‍රතිපත්තිය නොවෙයි. සියලු දෙනාටම අප දිරිගන්වන්නේ මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී මෙම විවිධාකාර ක්‍රම සියල්ල සාවධාන ලෙස පරීක්ෂා කිරීමටය.—හිතෝපදේශ 14:15.

අධික වෙහෙස සහ පියයුරු පිළිකාව

ආක්ටා නියූරොලොජිකා නමැති සඟරාවේ, වෛද්‍ය එච්. බාල්ටෘෂ් පැහැදිලි කරන්නේ අර්බුදවලට එරෙහිව සටන් කිරීමට ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියට තිබෙන ශක්තිය අතිශය නැතහොත් දිග්ගස්සන ලද අධික වෙහෙස මගින් හීන කළ හැකි බවයි. අධික මහන්සියට පත්වූ, විෂාදයෙන් (කලකිරීමෙන්) පීඩා විඳින හෝ චිත්ත වේගීය සහාය නොලබන ස්ත්‍රීන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය සියයට 50ක තරම් ප්‍රතිශතයක් දක්වා අවදානමේ තිබිය හැකිය.

එබැවින්, මයින්ඩ් ඇන්ඩ් කැන්සර් ප්‍රෝග්නොසිස් නමැති සඟරාවේ ලියද්දී වෛද්‍ය බැසිල් ස්ටොල් මෙය අවධාරණය කළේය: “පිළිකා රෝගීන්ට ප්‍රතිකාරය සපයනු ලබන කාලයේදී සහ ඉන්පසුව ඔවුන් දරන නොවැළැක්විය හැකි ශාරීරික මෙන්ම මානසික කම්පනය හැකිතාක් දුරට අඩු කිරීම සඳහා සෑම උත්සාහයක්ම දැරිය යුතු වේ.” එහෙත් කුමනාකාර සහයක් අවශ්‍ය වේද? g94 4/8

[7 පිටුවෙහි හුවා දැක්වීම]

යම් විශේෂිත ආහාරයක් මගින් පිළිකාව සුව කළ නොහැකි නමුත්, ඇතැම් ආහාර අනුභව කිරීම සහ වෙනත් ඒවා අඩු කිරීම එය වැළැක්වීමට පියවර විය හැකිය. “නියම ආහාර අනුභව කිරීම පිළිකාව ඇති වීමට ඔබට තිබෙන අවදානම් තත්ත්වය සියයට පනහක ප්‍රතිශතයක් දක්වා අඩු කළ හැක” යනුවෙන් වෛද්‍ය ලෙනාර්ඩ් කොවන් ප්‍රකාශ කළේය

[8 පිටුවෙහි හුවා දැක්වීම]

“කලින් පියයුරු පිළිකාවක් සොයා ගැනීම එහි ගමන් මාර්ගය වෙනස් කිරීමට වඩාත්ම වැදගත් පියවර වේ,” යනුවෙන් රේඩියොලොජික් ක්ලිනික්ස් ඔෆ් නෝර්ත් අමෙරිකා නමැති ප්‍රකාශනය පවසයි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පියවර තුනක් වනුයේ, තමා විසින්ම පියයුර නිතිපතා පරීක්ෂා කිරීම, වෛද්‍යවරයෙකු විසින් වාර්ෂිකව පරීක්ෂා කරගැනීම සහ පියයුරු X-කිරණ මගින් පරීක්ෂා කිරීම වේ

[10 පිටුවෙහි හුවා දැක්වීම]

අධික මහන්සියට පත්වූ, විෂාදයෙන් පීඩා විඳින හෝ චිත්ත වේගීය සහාය නොලබන ස්ත්‍රීන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය උවදුරක තිබිය හැක

[9 පිටුවෙහි ඇති කොටුව]

ස්වයං පරීක්ෂණය—මාසික පරීක්ෂාව

ඔසප්වීමෙන් පසුව දින හතරේ සිට හතක් දක්වා කාලය තුළ තමා විසින්ම පියයුරු පරීක්ෂා කළ යුතු වේ. ආර්තවාභාවයෙන් පසු කාලය ගෙවන ස්ත්‍රීන්ද සෑම මාසයකම එකම දවසේ පරීක්ෂා කළ යුතු වේ.

සෑම මසකම එකම දවසේදී විමසිලිමත් වීමට සුදුසු ලකුණු

• ඕනෑම ප්‍රමාණයේ ගැටිත්තක් (කුඩා හෝ විශාල) හෝ පියයුරේ ඝන වීමක්.

• පියයුරේ සමෙහි රැළි වැටීම, වළවල් ඇති වීම හෝ පැහැයෙහි වෙනසක් ඇති වීම.

• තනපුඩුව ඇතුළට ඇදී යෑම හෝ පහළට නැමීම.

• තනපුඩුවේ දද ඇතිවීම හෝ හම යෑම නැතහොත් දියරයක් පිටවීම.

• කිහිල්ලේ ග්‍රන්ථි ඉදිමීම.

• පියයුරේ ඇති ඉන්නන් හෝ කැපුම් කැලැල්වල වෙනස්වීම් ඇති වීම.

• සාමාන්‍යයට වඩා පියයුරුවල පැහැදිලි අසමානකම් ඇති වීම.

ස්වයං පරීක්ෂණය

කෙළින් හිටගෙන, වම් අත ඔසවන්න. දකුණු අත භාවිතා කරමින් පියයුරේ පිට කොනෙන් ආරම්භ කරමින්, ඇඟිලිවල පැතලි පැත්තෙන් කුඩා වෘත්තයක ආකාරයෙන් පියයුර වටේට සහ තනපුඩුව වෙතට ක්‍රමක්‍රමයෙන් අතගාන්න. කිහිල්ල සහ පියයුර අතර ප්‍රදේශයටත් අවධානය යොමු කරන්න.

කෙළින් වැතිරී, වම් උරහිස යට කොට්ටයක් තබන්න, දැන් වම් අත හිසට උඩින් හෝ පිටුපසින් තබන්න. ඉහත විස්තර කර තිබෙන එම වෘත්තාකාර පිළිවෙළම උපයෝගි කරන්න. දකුණු පැත්ත සඳහා එම ක්‍රියාවලිය විරුද්ධ අතට සිදු කරන්න.

යමක් ශ්‍රාවය වෙනවාද කියා පරීක්ෂා කිරීම සඳහා මෘදු ලෙස තන පුඩුව මිරිකන්න. දකුණු පියයුර සඳහා එම ක්‍රියාවලියම නැවත කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න