“අනේ යෙහෝවඃ වහන්ස, මගේ කුඩා දැරිය විශ්වාසනීය ව තබාගන්න!”
වර්ෂ 1930 ප්‍රංශයේ ඇල්සැස් හි කලාකාමී පවුලක මා උපත ලැබුවා. සවස්යාමවල දී, තාත්තා ඔහුගේ හාන්සි පුටුවේ වාඩි වී, භූගෝලය හෝ තාරකා ශාස්ත්‍රය පිළිබඳ පොත් කියවනවා. මගේ බල්ලා ඔහුගේ දෙපා ළඟ නිදා සිටිනවා, අම්මා පවුලේ අයට යමක් වූල්වලින් ගොතන අතර තාත්තා ඔහු කියවන දෙයින් යම් විශේෂ කොටස් ඇය සමඟ බෙදා ගන්නවා. එම සවස්යාමවලින් මං මොනතරම් සතුටක් ලැබුවා ද!
අපගේ ජීවිත තුළ ආගමට වැදගත් ස්ථානයක් තිබුණා. අප දැඩි කතෝලිකයන් වූ අතර, ඉරිදා උදෑසන අප පල්ලි යනවා මිනිස්සු දුටු විට කීවේ: “වෙලාව නවයයි. ආනෝල්ඩ් පවුල පල්ලි යනවා” කියායි. හැමදාම පාසලට යන්න ප්‍රථමයෙන් මම පල්ලියට ගියා. එහෙත් පූජකයාගේ නුසුදුසු හැසිරීම නිසා, මම තනියෙන් පල්ලි යෑම අම්මා තහනම් කළා. ඒ කාලයේ දී මගේ වයස අවුරුදු හයක් වුණා.
බීබල්ෆෝෂර් අයගේ (බයිබල් ශිෂ්‍යයෝ, දැන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස හඳුන්වනු ලැබේ) පොත් පිංච තුනක් පමණක් කියවීමෙන් පසු ව, මගේ මව ගෙයින් ගෙට දේශනා කිරීමට පටන් ගත්තා. මගේ පියා ඒ ගැන අසතුටු වුණා. මා ඉදිරියේ කිසි ම ආගමික සාකච්ඡාවක් නොපැවැත්විය යුතු බවට ඔහු නීතියක් නියම කළා. ‘ඔය ජරාව කියවන්නේ නැහැ!’ එනමුත් සත්‍යය ගැන අම්මා කොතරම් උද්යෝගයෙන් සිටියා ද කිවහොත් මා සමඟ බයිබලය කියවීමට ඇය තීරණය කළා. ඇය කතෝලික බයිබල් අනුවාදයක් ලබාගෙන, හැම උදයක ම එයින් කියෙව්වා, නමුත් තාත්තාට කීකරු වීමට අවශ්‍ය වූ නිසා ඒ සම්බන්ධයෙන් ඇය අදහස් ප්‍රකාශ කළේ නැහැ.
එක දවසක් ඇය ගීතාවලිය 115:4-8 කියෙව්වා: “ඔවුන්ගේ දේවතා රූප රන් රිදීය, මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තයෝය. . . . ඒවා සාදන්නොත් ඒවා කෙරෙහි විශ්වාසය තබන සියල්ලොත් ඒවාට සමානවන්නෝය.” එය දස පනතේ දෙවන පනත සමඟ ඇය සම්බන්ධ කළා, එය මෙසේ ප්‍රකාශ කරයි: “කැපූ රූපයක් . . . සාදානොගනුව.” (නික්මයාම 20:4-6) මම වහා ම නැගිට ගොස් මගේ කාමරයේ තිබූ මගේ පුද්ගලික අල්තාරය විනාශ කර දැම්මා.
මම පාසලට ගොස් මගේ පංතියේ සිටි කතෝලික මිත්‍රයන් සමඟ මගේ දින පතා බයිබල් කියවීමේ කරුණු හවුලේ බෙදා ගන්නවා. ඒ හේතුවෙන් පාසලේ තරමක කලබලයක් හට ගත්තා. බොහෝ විට පාරේ දී ළමුන් මගේ පසුපසින් ඇවිත් “නීච යුදෙව්වා” යනුවෙන් මට අවමන් ලෙස කථා කළා. ඒ සියල්ල සිදු වුණේ 1937 දී ය. මේ තත්ත්වය නිසා මම ඉගෙන ගනිමින් සිටි දේවල් සෝදිසි කර බැලීමට මගේ තාත්තා පෙලඹුණා. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත ක්‍රියේෂන් නමැති පොත ඔහු ලබා ගත්තා. ඔහු එය කියවා සාක්ෂිකරුවෙක් බවට පත්වුණා!
බෙල්ජියමේ මායිම හරහා ජර්මානු හමුදාව ප්‍රංශයට ඇතුල් වූ විගස, නගර ශාලාවට උඩින්, ඒවන විටත් ප්‍රංශ කොඩිය ලෙලදෙමින් තිබූ නමුත්, පල්ලිවලට උඩින් ස්වස්තිකය දරණ කොඩි අපට දැකගන්නට ලැබුණා! ප්‍රංශ ජාතිකයන් විසින් අපගේ රාජ්‍යය ශාලාව වසා දමනු ලැබූ අතර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ ද තහනම් කර තිබුණා, තව ද ජර්මානු ජාතිකයන් පැමිණෙන විට අප රහසින් වැඩ කරමින් සිටියා. එසේ වුවත් සාක්ෂිකරුවන් ව යටපත් කිරීම සඳහා වූ වෑයම බලවත් වුණා. වසර දෙකකට පසු ව, මට වයස 11 දී, මම බව්තීස්මය ලැබුවා.
මාසයකට පසු ව, 1941 සැප්තැම්බර් 4, දහවල් දෙකට, දොරේ සීනුව නාද වුණා. තාත්තා වැඩ ඇරී එන වෙලාව එයයි. මම පැන ගොස් දොර ඇරලා, ඔහුගේ දෑතට කඩා වැදුණා. ඔහු පිටුපසින් සිටි මිනිසෙක්, හයිල් හිට්ලර් ‘හිට්ලර්ට ජයවේවා!’ යනුවෙන් හඬ නගා කීවා! මා වැළඳගත් මිනිසා SS (හිට්ලර්ගේ විශේෂ බලකාය) හමුදා භටයෙක් වූ බව නැවතත් මා ව බිමින් තැබූ විට මම වටහා ගත්තා! ඔවුන් මා ව මගේ කාමරයට යවා, මගේ මවගෙන් පැය හතරකට හරස්-ප්‍රශ්න කළා. ඔවුන් යන විට ඔවුන්ගෙන් එක්කෙනෙක් මෙසේ හඬ නගා කීවා: “ඔයාට ඔයාගේ ස්වාමිපුරුෂයා ව නැවත දකින්න ලැබෙන්නේ නැහැ! ඔයාටත් ඔයාගේ දරුවාටත් වෙන්නේ එම දේමයි!”
එදින උදෑසන තාත්තා ව හිර භාරයට රැගෙන තිබුණා. ඔහුගේ මාසික වැටුප ඔහුගේ සාක්කුවේ තිබුණා. SS භටයෝ බැංකුවේ තැන්පත් ගිණුම වසා දැමූ අතර මගේ මවට රැකියා පතක්—එනම් රැකියාවක් ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය ලියවිල්ලක්—දීමට ඔවුන් ප්‍රතික්ෂේප කළා. “ඒ නීචයන්ට ජීවනෝපායක් ලැබෙන්න යන්නේ නැහැ!” යන්න ඔවුන්ගේ ප්‍රතිපත්තිය වුණා.
පාසලේ දී පීඩාව
මේ කාලය අතරතුර පාසලේ දී පීඩාවන් නොකඩවා වැඩි වුණා. ගුරුවරයා පන්තියට පැමිණි සෑම අවස්ථාවක දී ම, ශිෂ්‍යයෝ 58 දෙනාට ම නැගිට අත් ඔසවා, “හයිල් හිට්ලර්” යනුවෙන් කියන්නට තිබුණා. ආගමික අධ්‍යාපනය ලබා දීමට පූජකවරයා පැමිණි විට, ඔහු “හයිල් හිට්ලර්—ස්වාමීන් වහන්සේගේ නාමයෙන් පැමිණෙන තැනැත්තා ආශීර්වාද ලද්දෙක් ය” යනුවෙන් කියනු ඇත. පන්තිය පිළිතුරු දුන්නේ, “හයිල් හිට්ලර්—ආමෙන්!” යනුවෙනි.
“හයිල් හිට්ලර්” යනුවෙන් කීමට මම ප්‍රතික්ෂේප කළ අතර, මේ ගැන පාසල් අධ්‍යක්ෂකට දැනගන්නට ලැබුණා. අනතුරු අඟවන ලිපියක් ලියනු ලැබුවා, එහි මෙසේ ප්‍රකාශ වුණා: “ශිෂ්‍යාවක් පාසල් නීතිවලට අවනත නොවෙමින් සිටියි, තව ද සතියක් ඇතුළත කිසි ම වෙනසක් සිදු නොවේ නම්, මෙම ශිෂ්‍යයාවට පාසල හැර යාමට සිදු වනු ඇත.” මෙම ලිපිය සිමෝන් ආනෝල්ඩ් වන මා විසින් පන්ති 20කටත් අධික ගණනකට කියවිය යුතු යයි එම ලිපියේ කෙළවරේ සඳහන් වුණා.
මගේ තීරණය දන්වා සිටීමට මා ව පන්තිය ඉදිරියට කැඳවනු ලැබූ දිනය පැමිණියා. ආචාර කිරීමට හෝ මගේ පාසල් ලියකියවිලි ටික රැගෙන යෑමට යන දෙකෙන් එකක් කිරීමට තවත් විනාඩි පහක් අධ්‍යක්ෂකවරයා මට දුන්නා. එම විනාඩි පහ කෙළවර නොවන කාලාන්තරයක් මෙන් මට දැනුණා. මගේ කකුල් දෙක දුර්වල වුණා, මගේ ඔලුවේ බර ගතියක් දැනුණා, මගේ හෘදය වේගයෙන් ස්පන්දනය වුණා. මුළු පන්තියේ ම නිශ්ශබ්දතාවය මැද, සිටි ගමන් ම “හයිල් හිට්ලර්,” යනුවෙන් කර්කශ හඬක් ඇසෙන්නට ලැබුණු අතර, මුළු පන්තිය ම නැවත නැවත තුන්වරක් එය රැව් දුන්නා. මම මේසයට දිව ගොස්, මගේ ලිය කියවිලි ටික රැගෙන පිට වී දිව ගියා.
ඊළඟ සඳුදා මම නැවතත් පාසලේ සිටියා. මා ව පාසලෙන් අස් කිරීමට හේතුව මා කිසිවෙකුටවත් කීවේ නැත්නම් මට ආපහු පැමිණෙන්නට පුළුවන් කියා අධ්‍යක්ෂකවරයා කීවා. මගේ පන්තියේ මිතුරු මිතුරියන් මට විරුද්ධකම් පාන්නට පටන් ගත්තා, ඔවුන් මට සොරා කියාත්, බාලාපරාධකරුවෙක් කියාත් හඬගසන්නට පටන් ගත්තා, මා ව පිට කළේ එමනිසා යයි ඔවුන් කීවා. සැබෑ හේතුව පැහැදිලි කරන්නට මට නොහැකි වුණා.
මම පන්තියේ අන්තිම පුටු පෙළේ වාඩි වී සිටියා. මා ළඟ වාඩි වී සිටි ගැහැණු ළමයා මා ආචාර නොකළ බව වටහා ගත්තා. මම ප්‍රංශ විරුද්ධකාරියෙක් යයි ඇය සිතුවා. හිට්ලර්ට හයිල් යන්න පතන්නට මා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ඇයට පැහැදිලි කිරීමට මට සිදු වුණා: “ක්‍රියා 4:12ට අනුව, ‘වෙන කිසිවෙකු තුළ ගැලවීම නැත්තේ ය. මක්නිසා ද අපේ ගැලවීමට අවශ්‍ය වූ, මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේ ය.’ අපගේ ගැලවුම්කාරයා ක්‍රිස්තුස් වහන්සේ පමණයි. ‘හයිල්’ යන්න යමෙකු මාර්ගයෙන් ගැලවීම ලැබීම අදහස් කරන හෙයින්, හිට්ලර් ඇතුළු ඕනෑ ම මිනිසෙකු මාර්ගයෙන් මෙම ගැලවීම ලැබෙයි කියා මට පැවසිය නොහැක.” මෙම ගැහැණු ළමයා සහ ඇගේ මව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය අධ්‍යයනය කිරීමට පටන් ගත් අතර ඔවුන් සාක්ෂිකරුවන් බවට පත්වුණා!
රහසිගත ව කටයුතු කිරීම
මේ කාලය පුරා ම අපි නොකඩවා රහසින් දේශනා කරමින් සිටියා. සෑම මසක ම මුල් ඉරිදා දවසේ අපි කඳුවල එක් ස්ථානයකට ගොස් එහි දී අපට ලැබුණු ප්‍රංශ මුරටැඹ සඟරාව ජර්මානු භාෂාවට පරිවර්තනය කළා. මුරටැඹ සඟරාව ගෙන යන්න සැඟවුණු සාක්කුවක් ඇති මේස් උසුලා තබන විශේෂ ඉණ පටියක් අම්මා මට හදල තිබුණා. එක දවසක් හමුදා භටයින් දෙදෙනෙකු අප ව නතර කරල කඳුවල පිහිටි ගොවි පොළකට අප ව ගෙනගොස්, එහි දී අප ව සෝදිසි කළා. මම කොතරම් අසනීප වුණා ද කිවහොත්, ගොස් පිදුරු ගොඩේ හාන්සි වෙන්න කියා ඔවුන් මට කීවා, මේ නිසා මුරටැඹ සඟරාව සොයාගන්නට ඔවුන්ට කොහෙත් ම හැකි වුණේ නැහැ. කෙසේ හෝ හැම විටක දී ම යෙහෝවඃ වහන්සේ මා ව ආරක්ෂා කරමින් සිටියා.
එක දවසක් “මනෝ වෛද්‍යවරයෙකු” ළඟට යාමට මට ඇරයුමක් ලැබුණා. ඒ SS හමුදා භටයන්ගෙන් දෙදෙනෙක්. වෙනත් සාක්ෂිකාර දරුවනුත් එහි සිටියා. ඔවුන් අන්තිමට ම කථා කළේ මටයි. “වෛද්‍යවරු” දෙදෙනා මේසයක් ළඟින් වාඩි වී සිටියා, මා වාඩි වී සිටිය අතර මගේ මුහුණට දීප්තිමත් ආලෝකයක් යොමු කර තිබුණා, හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ වුණා. එක් “වෛද්‍යවරයෙක්” මගෙන් භූගෝලීය හෝ ඓතිහාසික ප්‍රශ්න සමහරක් අසනු ලැබුවා, නමුත් මම පිළිතුරු දෙන්නටත් කලින්, අනිත් තැනැත්තා රහසිගත වැඩය පිළිබඳ ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. අනෙක් සාක්ෂිකරුවන්ගේ නම් ද ඔහු ඉල්ලා සිටියි. මා මානසික ව බිඳවැටීමකට ආසන්න ව සිටිය දී හිටි ගමන් ම දුරකථන ඇමතුමක් නිසා ඔවුන්ගේ අතුරු විමසීමට බාධා වුණා. හැමවිට ම මොනතරම් පුදුමාකාර ලෙසින් යෙහෝවඃ වහන්සේගේ උපකාරය ලැබුණා ද!
එක් අවස්ථාවක දී හිට්ලර් යූත් පුහුණු කඳවුරකට සති දෙකකට යාමට අපේ පන්තිය තෝරා ගනු ලැබුවා. ඒ ගැන මගේ මවට මං කිසිවක් කීවේ නැහැ. එහි නොයාමට වූ මගේ තීරණය ගැන ඇය කිසි ම වගකීමක් දරනවාට මං කැමති වුණේ නැහැ. පිට වී යාමට නියමිත ව තිබූ දිනය පැමිණෙන්නට පෙර, පාසල් අධ්‍යක්ෂක මට මෙසේ අනතුරු අඟවමින් කීවා: “සඳුදාට ඔයා දුම්රිය නැවතුම් පොළේ හෝ මගේ කාර්යාලයේ සිටියේ නැත්නම්, ඔයා ව අල්ලගන්න මම පොලීසියට සලස්වනවා!”
එමනිසා සඳුදා උදෑසන මම දුම්රිය පොළ පසු කරගෙන පාසලට ගියා. මගේ මිතුරියන් සියල්ලෝ ම ඔවුන් සමඟ යාමට මට කථා කළා, එහෙත් මගේ අධිෂ්ඨානය වූයේ අධ්‍යක්ෂකගේ කාර්යාලයට යාමයි. මම එතැනට යන්න ප්‍රමාද වූ බැවින්, මම අනෙක් අය සමඟ දුම්රියේ ගිය බව ඔහු සිතාගෙන සිටියා. මා දුටු විට ඔහුට මහත් කෝපයක් ඇති වුණා. ඔහු තම පන්ති කාමරයට මා ව රැගෙන ගොස් පැය හතරකට මුළු පන්තියට ම පීඩා විඳීමට සැලැස්වූවා. නිදසුනක් වශයෙන්, ඔහු එක් එක් ශිෂ්‍යයා ව පන්තිය ඉදිරියට කැඳවා, ඔවුන්ගේ සටහන් පොත අතට දෙනවා වෙනුවට, ඔවුන්ගේ මුහුණට පොතෙන් පහරක් දෙනු ලැබුවා. ඔහු මා ව පෙන්වා: “මේකට හේතුව ඇයයි!” කියා කීවා. වයස අවුරුදු දහයක් පමණක් වූ ළමයින් 45 දෙනා ම, මට විරුද්ධ වීමට සලස්වන්න ඔහු වෑයම් කළා. එහෙත් පන්තිය අවසන් වූ විට, මම යුද්ධ ගීත ගායනා කිරීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් පැමිණ මට ප්‍රශංසා කළා.
පසු ව මට කඩදාසි, භාජන සහ ඇටකටු තෝරා වෙන් කර තැබීමට නියම කරනු ලැබුවා. භාජන ටික යුද්ධමය කාරණා සඳහා භාවිතා කරනු ලැබූ හෙයින් එම වැඩය කිරීම මම ප්‍රතික්ෂේප කළා. ඔවුන් මට පහර දී මා ව සිහි සුන් තත්ත්වයකට පත් කළා. මට නැවතත් ප්‍රකෘතිමත් ස්වභාවයට පැමිණීමට උපකාර කළේ මගේ පන්තියේ මිතුරු මිතුරියන්.
මම පාසලට නැවත පැමිණි විට, පන්තිවල ළමුන් සියල්ලෝ ම මිදුලේ සිටවන ලද කොඩියක් වටේට හිටගෙන ඉන්නවා දැකීමෙන් මම පුදුමයට පත් වුණා, එතැන ළමුන් 800ක් පමණ සිටියා. මා ව මැද සිටවනු ලැබුවා, නිදහස ගැනත් ද්‍රෝහීන්ට ලැබෙන විපාක ගැනත් දීර්ඝ විස්තරයක් දෙනු ලැබුවා, ඒ සමඟ ම සීග් හයිල්! (ජයග්‍රහණය සහ ගැලවීම) තුන්වරක් හඬනගා කියනු ලැබුවා. ජාතික ගීය ගායනා කරනු ලබද්දී මම භයෙන් වෙව්ල වෙව්ලා හිටගෙන සිටියා. යෙහෝවඃ වහන්සේ මට උපකාර කළා; මගේ අඛණ්ඩතාවය මම රැක ගත්තා.
මට එම උපකාරය අවශ්‍ය වුණා. මගේ දෙමව්පියන්ගේ සහ මගේ ම ස්ථාවරය හේතුවෙන් මා ව අත් අඩංගුවට ගෙන තිබූ අතර, උසාවියේ දී විභාග කරනු ලැබ විනිශ්චයකරු විසින් “චරිත ශෝධනාගාර පාසලකට” මා ව නියම කරනු ලැබුවා. අධිකරණ මතයේ සඳහන් වූයේ, ‘නීතිය මගින් තහනම් කරන ලද ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමයේ ඉගැන්වීම්වලට අනුව ඇය ව ඇති දැඩි කර තිබෙන අතර, ඇය දූෂිත චරිතයක් ද එමෙන් ම අන් අයට අනතුරුදායක කෙනෙක් ද වනු ඇත,’ යනුවෙනි. ඒවන විට අවුරුදු 12ක් පමණ වූ මට, එම බිය උපදවන නඩු-ශාලාවේ සිටීම, අධික සේ තැති ගන්වන අත් දැකීමක් වුණා! පසු ව අපගේ නිවසට ඇතුල් වූ විට, ඇඳ මත මගේ ඇඳුම් ද ලිපියක් ද තිබෙනවා මා දුටුවා, එහි මෙසේ සඳහන් වුණා: “සිමෝන් ආනෝල්ඩ් හෙට උදෑසන දුම්රිය පොළේ දී පෙනී සිටිය යුතු ය.”
චරිත ශෝධනාගාර පාසලට
පසු ව දා උදෑසන මගේ මව හා මා දුම්රිය පොළේ සිටියා. ස්ත්‍රීන් දෙදෙනෙක් මා ව අත් අඩංගුවට ගත්තා. දුම්රියේ දී මගේ මව නැවතත් මගේ හැසිරීම ගැන මට උපදෙස් දුන්නා. “හැමවිට ම, අසාධාරණකම්වලට මුහුණ දෙන විට පවා, ආචාර සම්පන්න, කරුණාවන්ත සහ මෘදු ලෙස හැසිරෙන්න. කවදාවත් මුරණ්ඩු වන්න එපා. කවදාවත් හරස් පද කියන්න හෝ ගරුසරු නැති ආකාරයකින් පිළිතුරු දෙන්න එපා. ස්ථිරයෙන් සිටීම හා මුරණ්ඩුකම අතර කිසි ම සම්බන්ධයක් නැති බව හොඳින් මතක තබා ගන්න. මෙය ඔබගේ අනාගත ජීවිතය සඳහා පුහුණුවක් වන්නට යනවා. අපගේ අනාගත ප්‍රයෝජනය සඳහා අපි පීඩා විඳීම යෙහෝවඃ වහන්සේගේ කැමැත්තයි. ඔයා ඊට හොඳින් සූදානම් වෙලයි සිටින්නේ. ඔයාට මහන්න දන්නවා, ඉහුම් පිහුම් දන්නවා, රෙදි සෝදන්න සහ ගෙවතු වගාව කරන හැටිත් දන්නවා. ඔයා දැන් තරුණ වියේ ස්ත්‍රියක්.”
පැය පහක දුම්රිය ගමනකින් පසු ව, අප චරිත ශෝධනාගාරයට පැමිණියා. එදින සවස මගේ මව සහ මම දණ ගසාගෙන නැවත නැගිටීමේ බලාපොරොත්තුව ගැන රාජ්‍යය ගීතිකාවක් කියා යාච්ඤා කළා. ස්ථිර හඬකින් අම්මා මා වෙනුවෙන් අයදින්නට වූවා: “අනේ යෙහෝවඃ වහන්ස, මගේ තරුණ දියණිය විශ්වාසනීය ව තබා ගන්න!” අන්තිම වරට අම්මා මා ව සිඹගෙන ඇඳේ තබා නිදි කෙරෙව්වා.
ඊළඟ දවසේ දේවල් ඉක්මනින් සිදු වුණා, මගේ මවගෙන් සමුගැනීමට පවා මට අවස්ථාවක් ලැබුණේ නැහැ. ගැහැණු ළමයෙක් දහයියාවලින් සාදන ලද මෙට්ටයක් මට පෙන්නුවා. මගේ සපත්තු අයින් කරනු ලැබූ අතර, නොවැම්බර් පළවනදා දක්වා පාවහන් නැති ව අපට ඇවිදින්නට සිදු වුණා. ප්‍රථම දිවා ආහාරය ගිලින්නට පවා දුෂ්කර වුණා. මේස් ජෝඩු හයක් එළලීමට මට ලැබුණා; එය නිම නොකළා නම් මට ආහාර ලැබෙන්නේ නැහැ. මුල්වරට මං අඬන්න පටන් ගත්තා. කඳුළුවලින් මේස් ටික පවා තෙමුණා. මුළු රාත්‍රිය ම වගේ මං ඇඬුවා.
ඊළඟ දින උදෑසන 5:30ට මම අවදි වුණා. මගේ ඇඳේ ලේ තැවරී තිබුණා—ඔසප් වීම මීට ටික කලකට පෙර මට පටන්ගෙන තිබුණා. මා ඉදිරියට ආ පළවෙනි ගුරුවරිය, එනම් මෙසින්ජර් මෙනවිය වෙතට මං වෙව්ලමින් ගියා. ඇල් වතුරේ මගේ ඇතිරිල්ල සේදීමට මට පෙන්වා දීමට ඇය ළමයෙකු කැඳෙව්වා. ගල් බිම සීතල වූ අතර, වේදනාව වඩා වැඩි වුණා. මං නැවතත් අඬන්නට පටන් ගත්තා. එවිට මෙසින්ජර් මෙනෙවිය කුරිරු සිනහවක් සමඟින්: “ඔයාගේ යෙහෝවාට කියන්න ඔයාගේ ඇතිරිල්ල සෝදල දෙන්න කියල!” කියා මට කීවා. මට අහන්නට අවශ්‍ය ව තිබුණේ ඒ ටික විතරයි. මං මගේ කඳුළු පිස දැම්මා, ඊට පස්සේ කිසි දිනකවත් මට කඳුළු සැලීමට සැලැස්වීමට ඔවුන්ට හැකි වුණේ නැහැ.
උදෑසන 8:00ට සුප් දීසියකින් සමන්විත වූ අපේ උදේ ආහාරය ගැනීමට පෙර නිවස සුද්ද පවිත්‍ර කිරීම සඳහා හැමදාම උදේ 5:30ට නැගිටින්නට අපට සිදු වුණා. වයස අවුරුදු 6 සිට 14 දක්වා වූ දරුවන් 37 දෙනා සඳහා නිවසේ දී ම පාසල පවත්වනු ලැබුවා. බර වැඩ කිරීමට පිරිමි අය නොසිටි නිසා, අප ම දහවල් කාලයේ දී සේදීම, මැහුම් වැඩ සහ ගෙවත්තේ වැඩ ටික කළා. වර්ෂ 1944⁄45හේ ශීත කාලයේ දී, තවත් ගැහැණු ළමයෙකු සමඟ, දැව කපන්නෙකුගේ කියතක් භාවිතා කරමින්, අඩි දෙකක විෂ්කම්භයක් සහිත ගස් කපන්නට අපට සිදු වුණා. එකිනෙකා සමඟ කථා කිරීමට ළමුන්ට තහනම් කර තිබූ අතර තනියෙන් සිටීමට, වැසිකිළියට පවා තනියෙන් යාමට හෝ ඔවුනට ඉඩ ලැබුණේ නැහැ. අපි නෑවේ වසරකට දෙවරක්, හිසකෙස් සේදුවේ වසරකට එක වතාවයි. ආහාර තහනම් කිරීම හෝ කෝටුවෙන් තැලීම අපේ දඬුවම වුණා.
මට මෙසින්ජර් මෙනවියගේ කාමරය සුද්ද පවිත්‍ර කිරීමට නියම ව තිබුණා. හැමදා ම ඇඳ යටට ගොස් ඇඳේ දුණු පිරිසිදු කිරීමට ඇය මගෙන් බලෙන් ඉල්ලා සිටියා. මම හොරෙන් රැගෙන ආ කුඩා බයිබලයක් මා ළඟ තිබුණා, මෙය දුණු අතර සඟවා තැබීමට මට හැකි වුණා. ඉන් පසු, හැමදා ම බයිබලයේ කොටස් කියවන්නට මට හැකි වුණා. එහි සිටි ළමුන් අතර ඉතාමත් ම සෙමින් වැඩ කළ ළමයා කියා ඔවුන් මට නම් තැබීම පුදුමයක් නොවෙයි!
රෙපරමාදු ගැහැණු ළමයි ටික ඉරිදාට ඔවුන්ගේ පල්ලියට ගිය අතර, කතෝලික ගැහැණු ළමයි තුන්දෙනා ම ඔවුන්ගේ පල්ලියටත් ගියා, එහෙත් දරුවන් 37 දෙනාට ම උයන්න සිදු වුණේ මටයි. මං කොතරම් කුඩා ව සිටියා ද කියනවා නම්, සුප් එක හැඳිගෑම සඳහා, බංකුවක හිටගෙන අත් දෙකෙන් ම හැන්ද අල්ලන්න මට සිදු වුණා. අපගේ ගුරුවරුන් හතර දෙනාට මස් උයන්නත්, කේක් හදන්නත්, එළවලු පිළියෙළ කරන්නත් මට සිදු වුණා. ඉරිදා දහවල් අත්පිස්නවලට විසිතුරු මැහුම් දමන්නට අපට නියමිත වී තිබුණා. සෙල්ලම් කිරීම සඳහා කාලය තිබුණේ නැහැ.
මාස ගණනාවකට පසු ව, මගේ ආදරණීය අම්මා ව අත් අඩංගුවට ගෙන තිබූ බවත්, දැන් වධක කඳවුරක සිටින බවත්, මෙසින්ජර් මෙනෙවිය ඉතා ප්‍රීතියකින් යුක්ත ව මට කීවා.
වර්ෂ 1945 දී යුද්ධය අවසානයකට පැමිණියා. රට පුරා වධක කඳවුරුවල සිටිය අය නිදහස් කරනු ලැබූ අතර, මේ නිසා තවමත් ඉතිරි ව සිටිය හැකි පවුලේ සාමාජිකයන් සොයමින් මිනිසුන් දහස් ගණනක් එහෙමෙහෙ ඇවිදින්නට පටන් ගත්තා.
හද දනවන නැවත එකතුවීම්
මගේ මව නම් අඩු ම වශයෙන් මම ඉන්න තැනවත් දැනගෙන හිටියා, නමුත් ඇය මා ව රැගෙන යන්න පැමිණි විට, මම ඇය ව අඳුනා ගත්තේ නැහැ. ඇය හට දරාගැනීමට සිදු වූ දේ නිසා එය පුදුම වීමට කරුණක් නොවෙයි! අම්මා ව අත් අඩංගුවට ගත් විට, ඇය ව තාත්තා සිටි කඳවුරට ම, එනම් ශිර්මෙක් කඳවුරට එවනු ලැබුවා, නමුත් වෙනස වූයේ ඇය ස්ත්රීන්ගේ කඳවුරට නියම වීමයි. ඇය යුද භටයන්ගේ නිල ඇඳුම් මහන්න ප්‍රතික්ෂේප කළ නිසා පොළොවෙන් යට තිබූ කුඩා කාමරයක මාස හතරකට හුදෙකලාවේ තබනු ලැබුවා. ඊළඟට, ඇයට රෝග බෝකිරීමට, උපදංශය රෝගය වැළඳී තිබූ ස්ත්‍රීන් සමඟ ඇය ව තැබුවා. රාවන්ස්බෲක්වලට ගෙන යනු ලබන අතරතුරේ දී, ඇයට කැස්සක් බෝ වී ඇය ඔත්පළ ව සිටියා. ඒ අවධියේ දී ජර්මානු අය පළා ගිය අතර, රාවන්ස්බෲක්වලට ගමන් කරමින් සිටි සිරකරුවන් හිටි ගමන් ම නිදහස් කරනු ලැබුවා, ඔවුන් අතර මගේ මව ද සිටියා. ඇය, මා නතර වී සිටි, කොන්ස්ටන්ස් බලා පිටත් වුණා, නමුත් ගගන ප්‍රහාර බෝම්බයක් පිපුරුණ නිසා ඇගේ මුහුණේ කැපුම් පහරවල් ද තැනින් තැන ලේ ගලමින් ද තිබුණා.
මම ඈ ඉදිරියට ගෙනෙනු ලැබූ විට, ඇය අතිශයින් වෙනස් වී සිටියා—සාගින්න නිසා කෙට්ටු වී, පැහැදිලි ව ම අසනීපයෙන්, එමෙන් ම ඇගේ මුහුණ සීරී තිබූ අතර තැනින් තැන ලේ පැල්ලම් ද තිබුණා, ඇගේ කට හඬ පවා නොඇසෙන තරම්. බලන්න එන අය ඉදිරියට ගොස් හිස නමා ආචාර කිරීමටත් ඔවුන්ට මගේ වැඩ සියල්ල ම පෙන්වන්නටත්—එනම් විසිතුරු මැහුම් සහ වෙනත් මැහුම් ආදිය පෙන්වන්නටත්—මට පුරුදු කර තිබුණා, මන්දයත් සමහර ස්ත්‍රීන් වැඩකාරියක් ලබා ගැනීම සඳහාත් මෙම නිවසට පැමිණි නිසා. මගේ අම්මාටත් මං සැලකුවේ එලෙසටයි! ඇය මගේ මව වූ බව මට තේරුම් ගියේ, මා ව නිවසට ගෙන යාමට නීතිමය අයිතිය ලබා ගැනීම සඳහා ඇය මා ව විනිශ්චයකරුවෙකු වෙතට රැගෙන ගිය විට පමණයි! සිටි ගමන් ම මාස 22ක් පුරා හිර වී තිබුණු කඳුළු ගංඟාව හිටි හැටියේ ම කඩා හැලෙන්නට වුණා.
අප එතැනින් පිටත් ව යන විට, අධ්‍යක්ෂකවරිය වූ ලේඩරිය මෙනෙවිය පැවසූ දෙය මගේ මවට සැනසිලිදායක තෛලයක් මෙන් වුණා. ඇය පැවසුවේ මෙයයි: “මම ඔයාගේ දියණිය ව ඔයාට නැවත භාර දෙන්නේ ඇය එන විට ඇයට තිබූ එම මානසික ආකල්පය ම ඇතුවයි.” මගේ අඛණ්ඩතාවය තවමත් නොවෙනස් ව තිබුණා. අපි අපේ නිවස සොයා ගත් අතර එහි පදිංචි වීමට අපි පටන් ගත්තා. අප ව තවමත් දුකට පත් කළ එක ම කාරණාව වූයේ තාත්තා ව සොයා ගැනීමට නොහැකි වීමයි. රතු කුරුස සංවිධානයේ මළ අයගේ නාම ලැයිස්තුවේ ඔහුගේ නමත් සඳහන් ව තිබුණා.
වර්ෂ 1945 මැයි මාසයේ මැද භාගයේ දී, දොරට තට්ටු කරන හඬක් අපට ඇසුණා. නැවතත් දොර අරින්න මම දිව ගියා. මිතුරියක්, මරියා කෝල්! දොර අසල සිටි අතර, ඇය මෙසේ පැවසුවා: “සිමෝන්, මම ඉන්නේ තනියෙන් නෙමෙයි. ඔයාගේ තාත්තා පඩි පෙළ ළඟ ඉන්නවා.” තාත්තාට පඩි පෙළ උඩට නගින්න පවා දුෂ්කර වුණා, ඇරත් ඔහුට කන් ඇසීම ද අහිමි වී තිබුණා. ඔහු මා ව පසු කරගෙන කෙළින් ම අම්මා වෙතට ගියා! එම දීර්ඝ මාස ගණනාව තුළ ඔහු දැන ගෙන සිටියා වූ නිරායාසයෙන් ම ක්‍රියා කරන කුඩා 11 හැවිරිදි දැරිය දැන් ලැජ්ජාශීලී නහඹර යෞවනියක් බවට පත් වී තිබුණා. ඔහු මෙම අලුත් දැරිය ව හඳුනා ගත්තේවත් නැහැ.
ඔහු අත් දැක්ක දෙයින් ඔහුට හානි සිදු වී තිබුණා. මුලින් විශේෂ කඳවුරක් වූ, ශිර්මෙක් වෙතටත්, පසු ව ඩඛව් කඳවුරට ඔහු ව මාරු කරනු ලැබුවා, එහි දී ඔහුට ටයිෆස් උණ බෝ වුණ අතර, ඉන් අනතුරු ව දින 14ක් ඔහු සිහි නැති ව සිටියා. ඉන් පසු ඔහු ව වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිතා කරනු ලැබුවා. ඩාඛව් සිට ඔහු ව පසු ව මවුත්හවුසන් එනම් ඩඛව්වලටත් වඩා දරුණු සමූල ඝාතන කඳවුරකට යවනු ලැබුවා, එහි දි අධික වැඩටත් පහරදීම්වලටත් එමෙන් ම පොලීස් බල්ලන්ට පවා ඔහු ගොදුරු වුණා. එහෙත් ඔහු බේරී ජීවත් වූ අතර අවසානයේ දී දැන් නිවසේ අප සමඟ සිටියා.
මට අවුරුදු 17ක් වූ විට, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේව සේවකයෙකු වශයෙන් මම පූර්ණ-කාලීන සේවයට පා තැබූ අතර, ඉන් පසු ව එක්සත් ජනපදයේ ගිලියඩ්, එනම් මිෂනාරිවරුන් සඳහා වොච්ටවර් සමිතියේ පාසලට මම ගියා. හිට්ලර්ගේ වධක කඳවුරුවලින් එකක දී සාක්ෂිකරුවෙකු බවට පත් වූ ජර්මානු ජාතික යුදෙව්වෙක් වූ මාක්ස් ලිබ්ස්ටර් ව, සමිතියේ ලෝක මූලස්ථානයේ දී, මට හමු වුණා. වර්ෂ 1956 දී අප විවාහ වූ අතර, අපගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේගේ උපකාරය ඇති ව, පූර්ණ-කාලීන සේවයේ විශේෂ පුරෝගාමින් වශයෙන් අප මේ දක්වා ප්‍රංශයේ සේවය කර තිබෙනවා. මගේ මව මා ව චරිත ශෝධනාගාර පාසලේ තබා යන්නට කලින් යාච්ඤාවේ දී කීවා වූ එම වදන් කොතරම් සැබෑ බවට පත් වී තිබෙනවා ද: “අනේ යෙහෝවඃ වහන්ස, මා ඔබගෙන් අයදින්නේ, මගේ තරුණ දියණිය විශ්වාසනීය ව තබා ගැනීමටයි!”
එමෙන් ම මේ දවස දක්වා, යෙහෝවඃ වහන්සේ විසින් ඒ දේ ම කර තිබෙනවා!—සිමෝන් ආනෝල්ඩ් ලිබ්ස්ටර් විසින් පැවසූ පරිදි. g93 9/22
[18 පිටුවෙහි ඇති පින්තූර]
සිමෝන් ආනෝල්ඩ් ලිබ්ස්ටර් සහ ඇගේ ස්වාමිපුරුෂයා වන මාක්ස් ලිබ්ස්ටර්