තාරකා සහ මිනිසා සම්බන්ධයක් තිබේද?
තාරකා දෙස බැලීමේ පුරුද්ද අලුත් යමක් නොවෙයි. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසන පරිදි, වසර දහස් ගණනකට පෙර සිටි ගොවියෝ “තමන්ගේ බෝග සිටුවීමට සුදුසු කාලය දැනගැනීම සඳහා තාරකා දෙස බැලූහ. සංචාරකයෝ දිශාව කීම සඳහා තාරකා භාවිත කිරීමට පුරුදු වූහ.” අදදින පවා අභ්‍යවකාශ තරණයේදී, මාර්ග සලකුණු වශයෙන් තාරකා තවමත් භාවිත කෙරේ. තවද පැරැන්නෝ තාරකා කණ්ඩායමක් නැතහොත් නක්ෂත්ර මණ්ඩලවලින් පිළිබිඹු කරනු ලැබූ බවට ඔවුන්ට හැගුණ පුද්ගලයන් සහ සත්ත්වයන් ගැන මිථ්‍යා කථා ප්‍රබන්ධ කළහ. කල්යත්ම තාරකාවලට තමන්ගේ ජීවිතයට බලපෑ හැකි බව මිනිසුන්ට හැඟෙන්න පටන් ගැනුණි.
තේරීමට තාරකා විමානයක්
තාරකාවල සංඛ්‍යාව සහ විශාලත්වය පමණක්ම ගරුබිය උපදවයි. මන්දාකිනි, නැතහොත් විශාල තාරකා සමූහ දසදහස් කෝටියක් පමණ විශ්වයේ තිබෙන බවට තක්සේරු කර තිබේ! දි එන්සයික්ලොපීඩියා ඔෆ් ඇස්ට්රොනමි මෙසේ පවසයි: “එය වනාහි සාමාන්‍ය ප්‍රමාණයේ ආසන දෙව් මැදුරක් තුළට දැමිය හැකි හාල් ඇටවල ගණන වේ.” අපගේ සෞරග්‍රහ මණ්ඩලයඅයත්වන අහස් ගඟ නම් මන්දාකිනියට අඩු තරමින් ඒ ගණනට සමාන තාරකා ගණනක් තිබෙන බවට තක්සේරු කර තිබේ. ඇල්ෆා සෙන්ටෝරි එනම් ධනු රාශියේ තාරකා කණ්ඩායමට අයත් තාරකාවක් වන, (සූර්යයා හැර), අපගේ පෘථිවියට වඩාත්ම කිට්ටු වූ තාරකාවක්, ආලෝක-වර්ෂ 4.3ක් පමණ ඈතින් පිහිටා තිබේ. ආලෝක-වර්ෂයක් යනු අවුරුද්දක කාලයක් තුළදී ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එසේ නම් අප එම තාරකාව දෙස බලන විට, අපගේ ඇසට ගැටෙන ආලෝකය එම තාරකාවෙන් වර්ෂ 4.3කට කලින් පිටත් වූ අතර, ඒ කාලය පුරාම එම ආලෝකය අවකාශය හරහා තත්ත්පරයකට කිලෝමීටර 2,99,792ක ප්‍රවේගයකින් ගමන් කළ බව ඉන් අදහස් කරයි. මීට ඇතුළත් වන දුර ප්‍රමාණය කල්පනා කර බැලීම අපගේ මානසික හැකියාව ඉක්මවයි. ඇරත්, එය වඩාත්ම කිට්ටු තාරකාව පමණි. සමහර තාරකා අපගේ මන්දාකිනියෙන් ආලෝක-වර්ෂ බිලියන ගණනක් ඈතින් පිහිටා ඇත. දෙවියන්වහන්සේගේ අනාගතවක්තෘ මෙසේ පැවසීම පුදුමයක් නොවෙයි: “බලව, ජාතීහු කළයකින් වැටෙන දිය බින්දුවක් මෙන්ද තුලාවෙහි ධූලි මෙන්ද ගණන්ගනු ලබන්නෝය. මෙන්න, උන්වහන්සේ දිවයින් ඉතා කුඩා දෙයක් මෙන් උස්සනසේක.” (යෙසායා 40:15) කුඩා දූලි බිඳක් ගණන් ගන්නේ කවුද?
පෘථිවියට වඩාත්ම කිට්ටු වූ ආකාශ වස්තුව සඳ වන අතර, අපගේ පෘථිවියට අනිවාර්ය බලපෑමක් ඇති කරයි, එහි ගුරුත්වය ඇතැම් ස්ථානවල වඩදිය බාදිය අතර අඩි 50කට වඩා වැඩි වෙනසක් පවා ඇති කරයි. ප්‍රංශ විද්‍යාඥයන් තිදෙනෙකුට අනුව, පෘථිවියේ අක්ෂය අංශක 23ක් ඇලවී තිබීමට සලස්වන්නේ සඳේ ගුරුත්වය බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් නොකඩවාම ඍතුවල වෙනසක් ඇතිවන බවත් දැන් විශ්වාස කෙරේ. (නේචර්, 1993 පෙබරවාරි 18) අපගේ ග්‍රහයා කෙරෙහි සඳ මගින් එතරම් බලවත් භෞතික බලපෑමක් ඇති කරන හෙයින්, මෙසේ ඇසීම සාධාරණ වේ, බිලියන ගණන් තාරකා සම්බන්ධයෙන් කුමක් කිව හැකිද? එහෙත් ප්‍රථම වශයෙන්, බයිබලය වැනි, පුරාණ මූලාශ්‍ර, තාරකා ගැන අපට කියන්නේ කුමක්ද?
ශුද්ධ ලියවිලිවල තාරකා
වචනානුසාරමය මෙන්ම සංකේතමය අර්ථයෙන් තාරකාවලට බයිබලයේ බොහෝවර යොමු දැක්වේ. නිදසුනක් වශයෙන්, එක් ගීතිකාකරුවෙකුට අනුව, පෘථිවියට ආලෝකය සැපයීමට තාරකා උපකාරවත් වන පරිදි, මැවුම්කරුවාණන් “රාත්‍රියෙහි ආණ්ඩුකිරීමට සඳ සහ තාරකා මැවූ” සේක. (ගීතාවලිය 136:9) පසු කලෙක, ඇදහිලිවන්ත ආබ්‍රහම් සමඟ ගිවිසුමක් ඇති කළ අවස්ථාවේදී, දෙවියන්වහන්සේ මෙසේ පැවසූසේක: “අහස දෙස බලා තාරකා ගණන්කළ හැකි නම් ඒවා ගණන්කරපන්නැයි කීසේක; නුඹේ වංශයද එසේම වන්නේයයි ඔහුට කීසේක.” (උත්පත්ති 15:5) තාරකාවලට විවිධත්වයක් තිබෙන බව ප්‍රේරිත පාවුල් දක්වන්නේ මෙසේ කීමෙනි: “සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය.”a (1 කොරින්ති 15:41) ඒ සමඟම, මෙම තාරකා රැස සහ ඒවායේ මහිමය ඒවා මැවූ තැනැන්වහන්සේගේ විෂයට හෝ පාලනයට පිටින් තිබෙන්නේ නැත: “උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක.”—ගීතාවලිය 147:4.
අනෙක් අතට, ශුද්ධ ලියවිලිවල තාරකාවන් බොහෝ විට පුද්ගලයන්, පාලකයන් සහ දේවදූතයන්ට යොමු දැක්වීමට භාවිත කරනු ලබන බව අපට සොයාගත හැක. යාකොබ්ගේ පුත්‍ර යෝසෙප් සිහිනයක් දකියි, එහිදි ඔහුගේ දෙමව්පියන් “ඉර [සහ] සඳ” වශයෙන්ද ඔහුගේ සහෝදරයන් “තාරකා” වශයෙන්ද දැක්වේ. දේවදූතයන්ව “පහන් තාරකා” හැටියට යොමු දක්වා තිබේ. “දෙවියන්වහන්සේගේ තාරකාවලට” ඉහළින්, එනම් ඉශ්රායෙල් දේශයේ දාවිත්ගේ පෙළපතේ පාලකයන්ට ඉහළින් සිටීමට බබිලෝනියේ රජ වෑයම් කළ බව සඳහන් වේ. ක්‍රිස්තියානි සභාව තුළ සිටින අස්ථිර පුරුෂයන්ව “මුළාවයන තාරකා”වලට සමාන කර තිබෙන අතර, සභාවල විශ්වාසවන්ත වැඩිමහල්ලන්ගේ මණ්ඩල ක්‍රිස්තුස්වහන්සේගේ දකුණතේ ඇති “තාරකා” ලෙස සඳහන් වේ.—උත්පත්ති 37:9, 10; යෝබ් 38:7; යෙසායා 14:13; යූද් 13; එළිදරව් 1:16.
වසර 20කට ඉශ්රායෙල් ජාතියට පීඩා කළා වූ, කානාන් දේශයේ රජ වූ යාබින්ගේ හමුදාවේ ප්‍රධානියා වූ ‘සිසෙරාට විරුද්ධව අහසේ කක්ෂ සිට තාරකා සටන් කළ’ බව බයිබල් වාර්තාවක සඳහන් වේ. වහල්භාවයෙන් ඉශ්රායෙල් මුදවාගැනීමට ඉශ්රායෙලයේ විනිශ්චයකාර බාරාක්ට යෙහෝවඃවහන්සේ පැවරූ අතර, රෝදවල යකඩ දෑකැති සවි කර තිබූ යුද රථ නවසීයක් සිසෙරාට තිබුණ නමුත්, බාරාක් ඔහුට එරෙහිව මහත් ජයග්‍රහණයක් ලැබුවේය. ජයග්‍රහණ ගීතිකාවේ ඉශ්රායෙල්වරු මෙසේ ගායනා කළහ: “තාරකාවෝ අහසේ සිට යුද්ධ කළෝය, ස්වකීය හසරවලදී සිසෙරාට විරුද්ධව සටන් කළෝය.” තාරකාවන් කෙසේ සටන් කළාද යන්න ගැන කිසිම පැහැදිලි විස්තරයක් සපයා නැත. සටනේදී තාරකා මගින් ඍජු බලපෑමක් ඇති වූ බව සිතා ගැනීම වෙනුවට, ඉශ්රායෙල් වෙනුවෙන් යම් ආකාරයක දිව්‍යමය මැදිහත් වීමක් එම ප්රකාශනයෙන් අඟවන බව විශ්වාස කිරීම වඩා සාධාරණ වේ.—විනිශ්චයකාරයන් 5:20.
බෙත්ලෙහෙමේ “තාරකාව”
ගවමඩුවක උපත ලැබූ යේසුස්වහන්සේව උන්වහන්සේගේ දෙමව්පියන් ගෙන ගිය නිවසට, “පූර්වදිශාවෙන්” පැමිණි ජ්යොතිෂ්ශාස්ත්රඥයන් මඟ පෙන්වූ බෙත්ලෙහෙමේ “තාරකාව,” ඇතැම් විට බයිබලයේ සඳහන් වඩාත්ම ප්‍රසිද්ධ තාරකාවලින් එකක් විය හැකිය. එම තාරකාව කුමක් වීද? නිසැකවම එය සාමාන්‍ය එකක් නොවීය, මන්දයත් එම ජ්යොතිෂ්ශාස්ත්රඥයන්ට එය පසුපස කිලෝමීටර 1,600කට පමණ ගමන් කිරීමට ප්‍රමාණවත් උසකින් එය පිහිටා තිබුණි. “එම තාරකාව” ඔවුන්ව මුලින් යෙරුසලමට ගෙන ගියේය. මේ ගැන දැනගත් හෙරොද් රජ ඔවුන්ගෙන් ප්‍රශ්න කළ අතර, අනතුරුව ළදරු යේසුස්වහන්සේව මරා දැමීමට තීරණය කළේය. පසුව “එම තාරකාව” යේසුස්වහන්සේ ජීවත්වෙමින් සිටියා වූ නිවසටම ජ්යොතිෂ්ශාස්ත්රඥයන්ව ගෙන ගියේය. අනිවාර්යයෙන්ම කිසිම සාමාන්‍ය තාරකාවකට එසේ කළ නොහැක. තාරකාවක් බඳු මෙම වස්තුව හටගත්තේ දෙවියන්වහන්සේගෙන්ද? ජ්යොතිෂ්ශාස්ත්රඥයන්ගේ පැමිණීම ‘බෙත්ලෙහෙමෙහිද එහි සියලු සීමාවලද සිටි වයස අවුරුදු දෙකක් හා ඊට බාල වූ සියලු පිරිමි දරුවන්ගේ’ ඝාතනයට අනියම් ආකාරයකින් මඟ පෑදූ නිසා, දෙවියන්වහන්සේගේ පුත්‍රයා විනාශ කිරීමේ වෑයමක් සඳහා, එම “තාරකාව,” දෙවියන්වහන්සේගේ සතුරා වන සාතන් විසින් භාවිත කරනු ලැබූ යමක් බව නිගමනය කිරීම සාධාරණ නොවේද?—මතෙව් 2:1-11, 16.
එම ජ්යොතිෂ්ශාස්ත්රඥයන් නැගෙනහිරින් පැමිණි බවත් මතක තබාගත යුතුය, ඇතැම්විට බබිලෝනියෙන් විය හැකිය, එම නගරය විජ්ජාව, මායාව සහ ජ්‍යොතිෂ්ශාස්ත්‍රය සඳහා පුරාණ කේන්ද්‍රස්ථානයක් විය. ආකාශමය වස්තු ගණනාවකට බබිලෝනියේ දෙවිවරුන්ගේ නම් තබා තිබේ. රජ වූ නෙබුකද්නෙශර්ගේ දවස්වල, ඔහුගේ යුද්ධ ව්‍යාපාරය සඳහා ගත යුතු මාර්ගය තීරණය කිරීමට ඔහුට උපකාරයක් සඳහා පේන කීම භාවිත කරන ලදි.—එසකියෙල් 21:20-22.
අනාගතවක්තෘ වූ යෙසායා බබිලෝනියේ උපදේශකවරුන්ට මෙසේ අභියෝග කළේය: “නුඹට [බබිලෝනිය] බොහෝ අවවාද ලැබුණත් නුඹ බල රහිතව සිටින්නෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද ආකාශයේ නොයෙක් මණ්ඩලවල සිතියම් අඳින්නෝද මාසයක් පාසා මාසයක් ඔබට සිදුවන්ට යන කාරණා දන්වන්නෝද නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා. බලව, ඔව්හු පිදුරු කැබලි මෙන් වන්නෝය; ගින්න ඔවුන් දවන්නේය; ගිනිදැල්ලක් ඔවුන් දවා දමන්නේය! තමුන්ව පවා ආරක්ෂා කරගැනීමට ඔවුන්ට නොහැකි වන්නේය. . . . නුඹ ගළවන්ට කිසිවෙක් ඉතිරි නොවන්නේය.” යෙසායගේ අනාවැකිය සැබෑ කරමින්, පො.යු.පෙ. 539දී බලසම්පන්න බබිලෝනිය, මහා කෝරෙෂ්ගේ ප්‍රහාරය හමුවේ වැටුණේය. තාරකාවලින් ලැබෙනවා යයි එම බබිලෝනිය ජ්යොතිෂ්ශාස්ත්රඥයන් පවසා සිටි මඟ පෙන්වීම සම්බන්ධ සියලු දෙනාටම බලපෑ මහත් විපතක් බවට හැරුණේය.—යෙසායා 47:13-15, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්.
තාරකාවලින් අපට කිසිවක් ඉගෙනගත නොහැකි බව මින් අදහස් කරයිද? g94 7/8
[පාදසටහන්වල]
a වර්ණය, ප්‍රමාණය, නිකුත් කරන ආලෝක ප්‍රමාණය, උෂ්ණත්වය සහ සාපේක්ෂී ඝනත්වය ආදී කරුණු උඩ තාරකා එකිනෙකට වෙනස්වන හෙයින්, නවීන දින තාරකා විද්‍යාව පාවුල්ගේ වදන් තහවුරු කරයි.
[5 පිටුවෙහි ඇති කොටුව]
ඇතමෙක් පවසා තිබෙන දෑ
ජ්‍යොතිෂ්ශාස්ත්‍රය: “තාරකා ශාස්ත්‍රයට සම්බන්ධ වන සහ නෑකම් කියන ශාස්ත්රයකි.”—යොහානස් කෙප්ලර් (1571-1630) ජර්මානු ජාතික තාරකා ශාස්ත්‍රඥයෙක්.
“ජ්‍යොතිෂ්ශාස්ත්‍රය විද්‍යාවක් නොව රෝගයකි. . . . එය වනාහි නොයෙක් ආකාර මිථ්‍යා විශ්වාසයන් සපලවීමට සෙවන දෙන ගසකි.”—මෝසස් මයිමොනඩීස් (1135-1204), මධ්‍යකාලීන යුගයේ විසූ යුදෙව් විශාරදයෙක්.
“ආකාශ වස්තුවල පිහිටීම අනුව තනි කෙනෙකුගේ පෞද්ගලිකත්වය සහ හැසිරීම තක්සේරු කිරීමටත් අනාගත නැඹුරුවාවන් සහ සිද්ධීන් පුරෝකථනය කිරීමටත් හැකි බව කියා සිටින ආදි කාල-විද්‍යාවකි. . . . ඇතැම්විට පො.යු. හයවන ශතවර්ෂයේදී—දකුණු ඉරාකයේ විසූ කල්දිවරුන් විසින් පෞද්ගලික හඳහන හඳුන්වා දුන් බව විශ්වාස කෙරේ. උපන් වේලාවේදී නොසෙල්වන තාරකා මෙන්ම සූර්යයා, සඳ හා ග්‍රහයන් පහක් මගින් ඇති කරනු ලබන බලපෑමට මෙය සම්බන්ධ විය. . . . ජ්යොතිෂ්ශාස්ත්රයේ ක්‍රියා පිළිවෙත් සහ හඳහන්වල අර්ථ දැක්වීම පුද්ගලයන්ට අනුව වෙනස්වන බව, මෙන්ම තාරකා ශාස්ත්‍රඥයන්ට සහ වෙනත් විද්‍යාඥයන්ට පිළිගත නොහැකි බව හැඟෙන අදහස් මතද රඳා පවතී.”—සී. ඒ. රොනාන්, එංගලන්තයේ කේම්බ්‍රිජ්හි, පෙරදිග ආසියාතික විද්‍යා ඉතිහාස භාරකාර මණ්ඩලයේ, ව්‍යාපෘති සම්බන්ධක සහ මෙම උපුටනය රැගෙන තිබෙන දි ඉන්ටනැෂනල් එන්සයික්ලොපීඩියා ඔෆ් ඇස්ට්රොනමි යන ප්රකාශනයට දායකයෙක්.
පුද්ගලයන්ට අනුව වෙනස් වන මෙම ස්වභාවය විස්තර කිරීමට, රොනාන් පැහැදිලි කරන්නේ බටහිර ජාතිකයාගේ මනසට රතු ග්‍රහයා වන අඟහරු, යුද්ධය සහ යුද්ධකාමිත්වය සමඟ සම්බන්ධ වේ, චීන ජාතිකයන්ට, රතු ඉතා අලංකාර වර්ණයකි, එමනිසා අඟහරු ග්‍රහයා මෘදු බලපෑමක් ඇති කරන බව සැලකේ. වෙනස බලන කල, බටහිර මිථ්‍යා ප්‍රබන්ධවල සිකුරු ග්‍රහයාව සුදු පැහැයටත් අලංකාරයටත් සම්බන්ධ කෙරේ. චීන ජාතිකයන්ට “සුදු පැහැය . . . මරණයේ, දිරායෑමේ සහ විනාශයේ වර්ණය ලෙස සැලකේ; එමනිසා සිකුරු ග්‍රහයාට යොමු දක්වනු ලබන්නේ ‘යුද්ධයේ අඳුරු ග්‍රහයා වශයෙනි.’ ”
රොනාන් තවදුරටත් මෙසේ පවසයි: “ඊට ආදි කාලීන-විද්‍යා ස්වභාවයක් තිබුණත්, මුල් කාලවලදී තාරකා නිරීක්ෂණ කිරීමට සහ එම නිරීක්ෂණය කරගෙන යෑම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීම සඳහා ජ්‍යොතිෂ්ශාස්ත්‍රය ප්‍රයෝජනදායක කොටසක් දැරීය.”
නොබෙල් ත්‍යාගලාභීන් 19දෙනෙක් ඇතුළු වෙනත් විද්‍යාඥයෝද 1975දී “ජ්යොතිෂ්ශාස්ත්රයට විරුද්ධව අදහස්—ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් 192දෙනෙකු විසින් ප්‍රකාශයක්” යන මැයින් ප්‍රසිද්ධ ප්රකාශනයක් ඉදිරිපත් කළහ. එහි මෙසේ ප්‍රකාශ විය:
“පුරාණ කාලවල ජනයාට . . . පෘථිවිය සිට ග්‍රහයන් සහ තාරකා වෙතට තිබූ අතිවිශාල දුර ප්‍රමාණ ගැන අදහසක් තිබුණේ නැත. මෙම දුර ප්‍රමාණ දැන් ගණනය කිරීමට හැකි මෙන්ම එසේ කර තිබෙන නිසා, ඈත පිහිටා තිබෙන ග්‍රහයන් මෙන්ම ඊටත් වඩා දුරක පිහිටා තිබෙන තාරකා මගින් ඇති කරනු ලබන ගුරුත්වාකර්ෂණය මෙන්ම වෙනත් බලපෑම් කොතරම් අල්ප එකක් වේද කියා අපට අවබෝධ කරගත හැක. උපන් අවස්ථාවේදී තාරකා සහ ග්‍රහයන් මගින් ඇති කරන බලපෑම ඕනෑම ආකාරයකින් අපගේ අනාගතය හැඩගස්වන බව කල්පනා කිරීම සරලව කියනවා නම් වැරදිය.”b
[පාදසටහන්වල]
b ජ්‍යොතිෂ්ශාස්ත්‍රය පිළිබඳව වැඩි තොරතුරු සඳහා 1986 6-4 පිබිදෙව්! පිටු 3-9 බලන්න.