තාරකාවලට ඔබ සඳහා පණිවුඩයක් තිබේ!
පෙර ලිපිවල දක්වා තිබෙන පරිදි, තාරකා ඓශ්වර්යයක් විදහා පෙන්වනවා වුවද, මනුෂ්‍යයන්ගෙන් බලාපොරොත්තු වූයේ, මැවුම්කරුවාණන්ගේ අරමුණ උදෙසා ආකාශයේ තබන ලද අප්‍රාණික වස්තු වශයෙන් ඒවාට සැලකීමට පමණි. ඒවා නමස්කාර කිරීම සඳහා නොවීය. යෙහෝවඃවහන්සේගේ නීතිවලට යටත් ස්වකීය මවිතකර මැවිල්ලේ අතිවැදගත් කොටසක් වශයෙන්, තාරකා ‘දෙවියන්වහන්සේගේ මහිමය ප්‍රකාශ’ කිරීමටත්, මිනිසා තමා සඳහා වූ මැවුම්කරුවාණන්ගේ අරමුණ ඉටු කරනවාත් සමඟම ඔහුට ආලෝකයේ ප්‍රභවයක් වශයෙන් ක්‍රියා කිරීමටත් විය.—ගීතාවලිය 19:1; ද්විතීය කථාව 4:19.
බයිබලයේ අපට මෙසේ කියවන්නට තිබේ: “පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්, මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් නුඹ අතරෙහි නොසිටීවා. මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW ] පිළිකුලක්ය.” (ද්විතීය කථාව 18:10-12) යෙසායා මෙසේ පැවසුවේය: “ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද . . . නැගිට, නුඹ පිටට පැමිණෙන දේවලින් නුඹ ගළවත්වා. බලව, ඔව්හු ඉපනැලි මෙන් වන්නෝය.”—යෙසායා 47:13, 14.
තාරකාවලින් අපට උගත හැකි දේ
කෙසේවෙතත්, අපි සවන් දීමට කැමැත්තෙමු නම් අපට යමක් පැවසීමට අප්‍රාණික තාරකාවලට හැකිය. එඩ්වින් වේ ටීල් මෙසේ ලීවේය: “අනාදිමත් කාලය ගත් කල, මිනිසා ගණන් ගැනීමටත් නොහැකි තරම් බව තාරකා මගින් පැවසේ.” එසේය, පැහැදිලි අහසක් ඇති රැයක අපගේ පියවි ඇසට පෙනෙන තාරකාවලින් විශාල බහුතරයක් ශතවර්ෂ ගණනාවකට පෙර සිටි අපගේ මුතුන්මිත්තන් විසිනුත් දකිනු ලැබූ බව අපට පැහැදිලි වන විට, එය අපව යටහත්වීමට සලස්වන්නේ නැද්ද? “පටන්ගැන්මේදී” ඒවා මවා පසුව මිනිස්වර්ගයාවද මැව්වා වූ මහානුභාවසම්පන්න තැනැන්වහන්සේ කෙරෙහි අප තුළ මහත් ගෞරවයක් ඇති වන්නේ නැද්ද? ඉශ්‍රායලයේ රජ වූ දාවිත් ගෞරවාන්විතව මෙසේ ලීවේය: “ස්වකීය ඇඟිලිවැඩයවූ ඔබගේ අහස්තලයත් ඔබ පිහිටෙවු සඳ හා තාරකාත් බලා කල්පනාකරන කල; ඔබ මනුෂ්‍යයා සිහිකිරීමට ඔහු කවරෙක්ද?ඔබ මනුෂ්‍යපුත්‍රයා සැලකීමට ඔහු කවරෙක්ද?” අහස අපව යටහත් පහත් කිරීමටත් අපගේ ජීවිතවලින් අප කුමක් කරමින් සිටිනවාද යන්න අපගෙන්ම ප්‍රශ්න කිරීමටත් සැලැස්විය යුතුය.—උත්පත්ති 1:1; ගීතාවලිය 8:3, 4.
එක් අවස්ථාවකදී දාවිත් මෙසේ යාච්ඤා කළේය: “ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය.” (ගීතාවලිය 143:10) දාවිත්ගේ ජීවිත වාර්තාවෙන් අඟවන්නේ ඔහුගේ යාච්ඤාවට පිළිතුරු ලැබූ බවය. දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි උන් වහන්සේගේ කැමැත්ත කිරීමට දාවිත් ඉගෙන ගත්තේය. තවද මිනිස්වර්ගයා උදෙසා වූ මැවුම්කරුවාණන්ගේ අරමුණ කුමක්ද කියාත් ඔහු ඉගෙන ගත් අතර, ඔහු ඒ ගැන ලීවේය. “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය. . . . නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව. . . . ධර්මිෂ්ඨයෝ දේශය උරුමකර ගන්නෝය, එහි සදාකල් වාසයකරන්නෝය.” එම අරමුණ සම්බන්ධ දැනුමත් සමඟ වගකීමක්ද පැමිණියේය: “නපුරෙන් ඉවත්ව යහපත්කම් කර[න්න].”—ගීතාවලිය 37:10, 11, 27-29.
තාරකාවලින් සියලු මිනිස්වර්ගයාට ලැබෙන්නේ එකම පණිවුඩයයි. ඒවාට නමස්කාර කිරීම හෝ ඒවා “විචාරීමෙන්” තොරව, ඒවායින් පිළිඹිබු වෙන මැවුම්කරුවාණන්ගේ ප්‍රේමය, ප්‍රඥාව සහ බලය අපට දැකගැනීමට හැකි වේ. ජ්‍යොතිෂ්ශාස්ත්‍රය නොව තාරකා ශාස්ත්‍රය අධ්‍යයනය කිරීම අපගේ හෘදයන් තුළ මහත් ගෞරවය පැළපදියම් වීමට සැලැස්විය යුතුය. එහෙත් ඊට වැඩියෙන්, දෙවියන්වහන්සේ ගැන වැඩි දැනුමක් ලබා ගැනීම සඳහා එමගින් අප තුළ දැඩි ආශාවක් ඇති කරන්නේ නැද්ද? එම අරමුණ උදෙසාම උන්වහන්සේ විසින් ස්වකීය වචනය වන බයිබලය අපට සපයා තිබේ. තාරකාවලින් ඔබ මෙම පණිවුඩය වටහාගෙන ඇත්නම්, මිනිස්වර්ගයා උදෙසා යෙහෝවඃවහන්සේ තබා තිබෙන දේ ගැන ඉගෙන ගැනීමටත්, වඩාත් වැදගත් ලෙසින්, ඔවුන් උදෙසා උන්වහන්සේ විසින් සූදානම් කර තිබෙන ආශීර්වාදවල හවුල්වීමට ඔබට හැකි ආකාරය ඉගෙනගැනීමටත් ඔබට හැකි වනු ඇත. දෙවියන්වහන්සේ ගැනත් ජීවිතයේ අරමුණ ගැනත් ඔබට ප්‍රශ්න තිබෙනවා නම්, ඔබගේ ප්‍රදේශයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හමුවීමට මැළි නොවන්න, නැතහොත් 5වන පිටුවේ සඳහන් ඔබට වඩාත්ම කිට්ටු ලිපිනයකට ලියන්න. g94 7/8
[8 පිටුවෙහි ඇති පින්තූරය]
තාරකාවලට අපට යටහත්පහත්කම ඉගැන්විය හැක