මගේ පියා “පරමාණු-බෝම්බය පිපිරීම නිසා හිරෙන් නිදහස් වුණා”
වර්ෂ 1945 අගෝස්තු 6වනදා, පෙ.ව. 8:15ට ජපානයේ හිරෝෂිමා මතට පරමාණු බෝම්බයක් පිපිරුණු අතර, එමගින් නගරය විනාශයට පත් වී එහි ජනගහනයෙන් දසදහස් ගණන් අය විනාශ වුණා. අධිරාජ්‍යයාට නමස්කාර කිරීමටත් ජපානයේ රණකාමී ප්‍රතිපත්තිවලට අනුබල දීමටත් ප්‍රතික්ෂේප කර තිබූ නිසා, මගේ පියා ඒ අවස්ථාවේදී හිරෝෂිමා බන්ධනාගාරයෙහි සිරකරුවෙකුව සිටියා.
එම අමතක කළ නොහැකි උදෑසනදී සිදු වූ දේ පියා බොහෝ වරක් විස්තර කළා. “මගේ කුටියේ සීලිම මත ආලෝකය විහිදී ගියා,” යනුවෙන් ඔහු පැවසුවා. “ඉන් පසුව කඳු සියල්ලක්ම එකවර බිම පෙරළුණා යන හැඟීමක් දුන් අතිමහත් ශබ්දයක් මට ඇසුණා. ක්ෂණිකවම තද අන්ධකාරයෙන් කුටිය වැසී ගියා. තද පැහැති වායුවක් මෙන් පෙනෙන්ට තිබූ දෙයින් වැළකීමට මම මගේ හිස මගේ මෙට්ටයෙන් සඟවාගත්තා.
“විනාඩි හතකට හෝ අටකට පසුව, මෙට්ටයෙන් හිස එසවූ මට ‘වායුව’ විසිරි ගොස් තිබූ බව දැනගන්නට ලැබුණා. නැවත වරක් ආලෝකය පැවතුණා. රාක්කය මත වූ බඩු සහ දූවිලි විශාල ප්‍රමාණයක් වැටී තිබුණ නිසා, සෑම තැනම අපිළිවෙළක් තිබුණා. සිරගෙය අවට තිබූ උස් වූ තාප්පය නිසා, පිටින් ගින්දර ඇතුල් වුණේ නැහැ.
“පිටිපස්සේ ජනේලයෙන් පිටත බැලූ මම මවිතයට පත් වුණා! සිරගෙදර වැඩ පොළවල් සහ ලී ගොඩනැගිලි සියල්ලක්ම කුඩු පට්ටම් වී තිබුණා. පසුව මම කුඩා ඉදිරි ජනේලයෙන් එළිය බැලුවා. ඉදිරියේ තිබූ ගොඩනැගිල්ලේ කුටි සියල්ලක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා. බේරුණ සිරකරුවන් උපකාරය ඉල්ලමින් මොරගසමින් සිටියා. බියත් කලබලයත් තිබුණා—එය මහත් ව්‍යාකූලත්වයේ හා භීෂණයේ දර්ශනයක් වුණා.”
“පරමාණු බෝම්බය පිපිරීම නිසා හිරෙන් නිදහස් වුණා” යයි පියා විස්තර කළ දෙය ගැන අපට කියනවා අසාගෙන සිටීමට පිරිමි ළමයෙකු වශයෙන් මා දැඩි ආශාවක් දැක්වූවා. ඔහුව අසාධාරණ හේතු උඩ සිරගත කර තිබූ හෙයින් වරද සහිතභාවයේ හැඟීම් නොමැතිව එම කථාන්තරය පැවසුවා. මගේ පියාට විරුද්ධව එල්ල කරනු ලැබූ චෝදනා සහ සිර අඩස්සියේ ඔහු ගත කළ වර්ෂ ගණනාව තුළදී ඔහුට සලකනු ලැබූ ආකාරය ගැන පැවසීමට පෙර ජපානයේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඒ කාලයේදී හඳුන්වනු ලැබූ ටොඩයිෂා සමඟ මගේ දෙමව්පියන් සම්බන්ධ වූ ආකාරය ගැන පැහැදිලි කිරීමට මට අවසර.
අරමුණක් සෙවීම
පියා පොත්වලට අතිශයින් ප්‍රිය කළ කෙනෙක්, තවද ඔහුගේ ජීවිතයේ මුල් කාලවලදීම තමාවම දියුණු කිරීමට ඔහු වෑයම් කළා. ප්‍රාථමික පාසැලේ තවමත් පස්වන ශ්‍රේණියේ සිටියදීම, ඊශාන දිග ජපානයේ ඉෂිනොමෝරිහි තිබූ ඔහුගේ නිවසින් ඔහු හොරෙන් පැන ගියා. යෑමට පමණක් ප්‍රමාණවත් මුදල් අතැතිව, ඔහු ටෝකියෝවට පිටත් වූ දුම්රියක නැගගත්තා, එහිදී ජපානයේ දෙවරක් අගමැතිව සිටියා වූ ෂිගෙනෝබූ ඔකුමාට ගෘහසේවකයෙකු සේ වැඩ කිරීමට ඔහුට දැඩි අධිෂ්ඨානයක් තිබුණා. එහෙත් අවලස්සන ලෙස ඇඳ පැළඳ සිටි මෙම ගම්බඳ පිරිමි ළමයා ඔකුමා මහතාගේ නිවසේදී පෙනී සිටිය විට, රැකියාවක් සඳහා ඔහු කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. පසුව කිරි විකුණන තැනක නැවතී සිට වැඩ කිරීමටත් මගේ පියාට හැකි වුණා.
තවමත් නහඹරයෙකුව සිටියත්, මගේ පියා දේශපාලනඥයන්ගේ සහ විශාරදයන්ගේ දේශනවලට යෑමට පටන්ගත්තා. එක් දේශනයකදී බයිබලය ඉතා වැදගත් පොතක් යයි සඳහන් කරනු ලැබුවා. එනිසා මගේ පියා හරස්-යොමු සහ බයිබල් සිතියම් තොරතුරු සහිත සම්පූර්ණ බයිබලයක් ලබාගත්තා. තමා කියවූ දෙය මනසේ ගැඹුරට කාවැදී තිබුණු නිසා, සියලු මිනිස්වර්ගයාට ප්‍රයෝජනවත් විය හැකි වැඩ කිරීමට ඔහු තුළ පෙලඹීමක් ඇති වුණා.
අවසානයේදී පියා ආපසු නිවසට පැමිණි අතර, ඔහු වයස අවුරුදු 24ක්ව සිටියදී, අවුරුදු 17ක් වූ හාගීනෝ සමඟ 1931 අප්‍රියෙල් මාසයේදී විවාහ වුණා. පියා විවාහ වී ටික කලකට පසුව, ටොඩයිෂා මගින් ප්‍රකාශිත පොත්පත් නෑදෑයෙක් ඔහුට එව්වා. පියා කියවූ දෙය කෙරෙහි තම සිත ඇදී ගිය අතර, ටෝකියෝහි පිහිටි ටොඩයිෂා වෙතට පියා ලිපියක් ලීවා. වර්ෂ 1931දී සෙන්ඩයිවලින්, මාට්සූඑ ඉෂි නම් වූ පූර්ණ-කාලීන සේවකයෙක් ඉශිනොමෝරිහි ඔහුව බැහැදැකීමට පැමිණියා.a ඇගෙන් පියා පොත් කිහිපයක් ලබාගත් අතර ද හාප් ඔෆ් ගෝඩ්, ක්‍රියේෂන් සහ ගවර්න්මන්ට් යන පොත් ඒවාට ඇතුළත් වුණා.
ජීවිතයේ අරමුණක් සොයාගැනීම
මිනිසාට අමරණීය ආත්මයක් තිබීම, දුෂ්ටයන් සදහටම නිරාගින්නේ දැවීම සහ මැවුම්කාර දෙවියන් ත්රිත්වාකාර දෙවිකෙනෙකු වීම යන පල්ලියේ විවිධ ඉගැන්වීම් බොරු වූ බව පියාට ක්ෂණිකවම තේරුම් ගියා. (දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4; යොහන් 14:28) මේ ලෝකයද අවසන් වනු ඇති බව ඔහුට වැටහුණා. (1 යොහන් 2:17) තමා කුමක් කළ යුතුද යන්න දැනගැනීමට කැමති වූ ඔහු, ටොඩයිෂාහි නියම ලත් නියෝජිතයාව හමු වූ අතර ඔහු 1931 අගෝස්තු මාසයේදී ඔහුව හමු වීමට පැමිණි අතර, ඔවුන්ගේ සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන්, පියා බව්තීස්ම ලැබූ අතර, යෙහෝවඃවහන්සේගේ පූර්ණ-කාලීන සේවකයෙකු වීමට තීරණය කළා.
දීර්ඝ සාකච්ඡාවලින් පසුව තමා බයිබලයෙන් ඉගෙනගත් දේවල් සත්‍යය වූ බව මවටත් ඒත්තු ගියා. ඇය යෙහෝවඃවහන්සේට ඇගේ ජීවිතය කැප කළ අතර 1931 ඔක්තෝබර් මාසයේදී බව්තීස්ම වුණා. මගේ පියා ඔහුගේ ඉඩම් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ විට, ඔහුට සිහි විකල් වී තිබෙන බව ඔහුගේ නෑදෑයන් සිතුවා.
පූර්ණ-කාලීන සේවකයන් වශයෙන් ජීවිතය
වෙන්දේසියෙන් ලැබූ සම්පූර්ණ මුදලම ආච්චිට දී, මගේ මවත් සමඟ 1931 නොවැම්බර් මාසයේදී ටෝකියෝවට පිටත් වුණා. රාජ්‍යයේ ශුභාරංචිය ගැන අන්‍යයන්ට කථා කරන්නේ කෙසේද කියා ඔවුන්ට උපදෙස් ලැබී නොතිබුණත්, ඔවුන් එහි පැමිණ ඊළඟ දිනයේම දේශනා කිරීමට පටන්ගත්තා.—මතෙව් 24:14.
ඔවුන්ගේ ජීවිතය පහසු එකක් වුණේ නැහැ. එවිට අවුරුදු 17ක් පමණක් වූ මගේ මවට එය විශේෂයෙන් දුෂ්කර වුණා. හවුල් සාක්ෂිකරුවන් සිටියේ නැහැ, රැස්වීම් තිබුණේ නැහැ, සභාවක්වත් තිබුණේ නැහැ—පෙරවරු 9:00 සිට පස්වරු 4:00 දක්වා ගෙයින් ගෙට බයිබල් පොත්පත් බෙදාහැරීමේ දෛනික කාලසටහනක් පමණි.
වර්ෂ 1933දී ඔවුන්ගේ දේශනා කිරීමේ පැවරුම ටෝකියෝවේ සිට කෝබේට මාරු කරනු ලැබුවා. වර්ෂ 1934 පෙබරවාරි 9වන දා මා එහි උපත ලැබුවා. මගේ උපතට මසකට පෙර දක්වා මගේ මව දේව සේවයේ ජ්වලිතව වැඩ කළා. ඉන් පසුව මගේ දෙමව්පියන් යාමාගූචි, ඌබෙ, කූරෙ සහ අවසානයේදී හිරෝෂිමා දක්වා තැනිත් තැනට මාරු වුණා, ඒ සෑම තැනකම වසරකට පමණ ඔවුන් දේශනා කළා.
මගේ දෙමව්පියන්ව අත්අඩංගුවට ගැනීම
ජපානයේ රණකාමී ප්‍රතිපත්තිය වඩාත් ප්‍රබල වෙත්ම, වොච් ටවර් සමිතියේ පොත්පත් තහනම් කරනු ලැබූ අතර විශේෂ රහස් සේවා පොලීසිය මගින් සාක්ෂිකරුවන්ව දැඩි පරීක්ෂණයට යටත් කරනු ලැබුවා. පසුව 1939 ජූනි 21වන දා, ජපානය පුරා සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන සේවකයන්ව වට කොට අල්ලාගනු ලැබුවා. අත්අඩංගුවට ගනු ලැබූවන් අතර මව හා පියාද සිටියා. ඉෂිනොමෝරිහි පදිංචිව සිටිය මගේ ආච්චිගේ භාරයට මාව දෙනු ලැබුවා. සිර අඩස්සියේ මාස අටකට තබාගැනීමෙන් පසුව, මගේ මවව ඇඟ බැඳීම මත නිදහස් කරනු ලැබූ අතර, අවසානයේදී, 1942දී සෙන්ඩයිහිදී ඈ සමඟ එකතු වීමට මට හැකි වුණා.
ඒ අතරතුරේදී, හිරෝෂිමා පොලීස් ස්ථානයේදී මගේ පියා වෙනත් සාක්ෂිකරුවන් සමඟ ප්‍රශ්න විමසීමකට භාජන කරනු ලැබුවා. ඔවුන් අධිරාජ්යවරයාට නමස්කාර කිරීමට හෝ ජපානයේ රණකාමී ප්‍රතිපත්තියට අනුබල දීම ප්‍රතික්ෂේප කළ නිසා, සාක්ෂිකරුවන්ට තදින් පහර එල්ල කරනු ලැබුවා. යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීමෙන් පියාව මදක්වත් ඉවත් කිරීමට ප්‍රශ්න කළ තැනැත්තාට නොහැකි වුණා.
රඳවා තබාගැනීමෙන් වසර දෙකකට වඩා වැඩි කලකට පසුව, පියාව නඩු විභාග කිරීමකට නියම කරනු ලැබුවා. එක් සැසිවාරයකදී, විනිශ්චයකරුවා මෙසේ ඇසුවා: “මිඌර, උත්තම අධිරාජ්‍යයාණන් ගැන ඔබට සිතෙන්නේ කොහොමද?”
“උත්තම අධිරාජ්‍යයාණන් ආදම්ගෙන් පැවත එන කෙනෙක්, එමෙන්ම ඔහු මැරෙනසුලු, අසම්පූර්ණ මනුෂ්‍යයෙක්,” යයි පියා පිළිතුරු දුන්නා. එම ප්‍රකාශය උසාවියේ ලඝුලේඛකයාව කොපමණ පුදුමයට පත් කළාද කිවහොත්, එය වාර්තාගත කිරීමට පවා ඔහු අසමත් වුණා. ඇත්තටම, ඒ කාලයේ සිටි බොහෝ ජපන් ජාතිකයන් අධිරාජ්‍යවරයා දෙවිකෙනෙක් ලෙස සැලකුවා. පියාට අවුරුදු පහක සිර දඩුවමක් නියම කරනු ලැබුවා, තවද ඔහුගේ ඇදහිල්ල අත්හැරියේ නැත්නම් ඔහුගේ ජීවිතාන්තය දක්වාම සිරගෙයිහි සිටීමට සිදුවෙයි කියා විනිශ්චයකරු ඔහුට පැවසුවා.
වැඩි කලක් යෑමට පෙර, 1941 දෙසැම්බර් මාසයේදී, හවායිහි පර්ල් වරායේදී, ජපානය එක්සත් ජනපදයට පහර දුන්නා. සිරගෙයිහිදී ආහාර හිඟයක් පවතින්ට පටන්ගත්තා, එමෙන්ම ශීත ඍතුවේ මාසවලදී, ඇඳුම් හිඟව තිබූ බැවින් පියා බොහෝ විට අධික සීතල නිසා නොනිදා රාත්‍රි ගණනාවක් ගත කළා. සියලු ආකාර ආත්මික ආශ්රයෙන් වෙන්ව තිබුණත්, සිරගෙයි පුස්තකාලයේ තිබූ බයිබලය කියවීමට පියාට හැකි වුණා, තවද එය නැවත නැවත කියවීමෙන්, ආත්මික ශක්තිය පවත්වාගැනීමට ඔහුට හැකි වුණා.
බෝම්බය වැටුණ විට
වර්ෂ 1945 අගෝස්තු 6 උදෑසන, පියා සමඟ පොත් හුවමාරු කරගැනීමට එක් සිරකරුවෙකුට අවශ්‍ය වුණා. මෙවැනි දේ තහනම් කර තිබුණා, නමුත් සිරකරුවා ඒ වන විටත් කොරිඩෝවේ බිම හරහා පියාගේ කුටිය තුළට සිය පොත තල්ලුකර තිබූ නිසා, පියා තමාගේ පොත එම සිරකරුවාගේ කුටිය තුළට තල්ලුකර දැම්මා. එමනිසා එදින උදෑසන සාමාන්‍යයෙන් නම්‍යසුලු නොවන ඔහුගේ කාලසටහනට අනුව වැඩ කිරීම වෙනුවට, බෝම්බය වැටෙන විට පියා කියවමින් සිටියා. සාමාන්‍ය පරිදි නම් උදෑසන ඒ වේලාවේදී ඔහු තම කුටියේ වැසිකිළිය පාවිච්චි කරමින් සිටිනවා ඇති. පිපිරීමෙන් පසුව, වැටෙන සුන්බුන් මගින් වැසිකිළිය තිබූ තැන විනාශ වී තිබුණ බව පියා දුටුවා.
පියාව ඉන්පසුව ළඟ පිහිටි ඉවාකූනි බන්ධනාගාරයට ගෙනයනු ලැබුවා. ඉන් ටික කලකට පසුව, ජපානය මිත්‍ර පාක්ෂික හමුදාවලට යටත් වුණා, එම නිසා යුද්ධයට පසුව ඇති වූ ව්‍යාකූලභාවය මධ්‍යයෙහි ඔහු සිර භාරයෙන් නිදහස් කරනු ලැබුවා. වර්ෂ 1945 දෙසැම්බර් මාසයේදී ඉෂිනොමෝරිහි අපගේ නිවසට ඔහු නැවත පැමිණියා. ඔහුගේ සෞඛ්‍යය අසාධ්‍ය තත්ත්වයක තිබුණා. ඔහුගේ වයස අවුරුදු 38ක් පමණක් වූ නමුත්, ඔහුගේ පෙනුම මහලු මිනිසෙකුගේ මෙන් වුණා. මුලදී ඔහු මගේ පියා බව මට විශ්වාස කරන්ට අපහසු වුණා.
ඔහුගේ ඇදහිල්ල තවමත් ශක්තිමත්ය
ජපානය ව්‍යාකූල තත්ත්වයක තිබුණා, තවද විශ්වාසවන්ත සාක්ෂිකරුවන් ස්වල්පදෙනා විසිරී ගොස් කොතැනක සිටියාද කියා අප දැන සිටියේවත් නැහැ. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පොත්පත් කිසිවක්වත් අප ළඟ තිබුණේ නැහැ. එහෙත්, යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය, නව ලෝකය සහ පැමිණෙන්ට යන්නාවූ අර්මගෙදොන් යුද්ධය පිළිබඳ වූ සත්‍යයන් කෙළින්ම බයිබලයෙන් පියාම මට ඉගැන්නුවා.—ගීතාවලිය 37:9-11, 29; යෙසායා 9:6, 7; 11:6-9; 65:17, 21-24; දානියෙල් 2:44, 45; මතෙව් 6:9, 10.
පසු කලක, උසස් පාඨශාලාවේදී මට පරිණාමවාදය උගන්වනු ලැබූ අවස්ථාවේදී, දෙවියන්වහන්සේගේ පැවැත්ම ගැන මා සැක කිරීමට පටන්ගත් විට, උන් වහන්සේගේ පැවැත්ම ගැන මගේ පියා මට ඒත්තුගැන්වීමට වෑයම් කළා. මා විශ්වාස කිරීමට අකමැත්තක් දැක්වූ විට, අවසානයේදී ඔහු මෙසේ පැවසුවා: “ලෝකයේ වැඩිදෙනෙක් යුද්ධයට අනුබල දී ලේ වැගිරවීමේ වරද තමන් පිට පමුණුවාගත්තා, මම නම්, බයිබලයේ සත්‍යයන්ට ඇලී සිටීමෙන් රණකාමී ප්රතිපත්තියටවත්, අධිරාජ්‍යවරයා නමස්කාර කිරීමටවත් හෝ යුද්ධයටවත් කිසිදිනක අනුබල දුන්නේ නැහැ. එම නිසා, ඔබ ගමන් කළ යුතු සැබෑ ජීවන මාර්ගය කුමක්ද කියා ඔබම පරෙස්සමින් සලකා බලන්න.”
මගේ පියා ඉගැන්වූ දේද තම ජීවිතය හැඩගැසීමට ඉවහල් වූ දේද දැන සිටි මම ඒවා මා පාසැලේදී ඉගෙනගනිමින් සිටි දේවල් සමඟ සන්සන්දනය කළ විට, පරිණාමවාදය වනාහි කල්පනා ක්රමයේ සුදුසු මාර්ගය නොවිය හැකි බව මට වැටහුණා. කිසිම පරිණාමවාදියෙකු ඔහුගේ විශ්වාසයන් නිසා තම ජීවිතය පරදුවට තබා නොතිබූ නමුත්, මගේ පියා ඔහුගේ විශ්වාසය වෙනුවෙන් මරණයට මුහුණ දීමට සූදානම්ව සිටියා.
වර්ෂ 1951 මාර්තු මාසයේදී එක දවසක, යුද්ධය අවසන් වී වසර පහකට වඩා වැඩි කලකට පසුව, පියා අසාහි පුවත්පත කියවමින් සිටියා. හිටිගමන්ම ඔහු මෙසේ කෑගැසුවා: “ආ, ඒගොල්ලෝ ආවා, ඒගොල්ලෝ ආවා!” ඔහු මට පුවත්පත පෙන්නුවා. එය ඔසාකාවලට පැමිණ සිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මිෂනාරිවරුන් පස්දෙනෙකු සම්බන්ධ ලිපියක් වුණා. ප්‍රීතියෙන් පිනාගිය පියා, පුවත්පත මාර්ගයෙන්, ටෝකියෝවල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් විසින් ශාඛා කාර්යාලයක් පිහිටුවා තිබූ බව දැනගත්තා. ඔහු ලිපිනය ලබාගෙන ශාඛා කාර්යාලය බැහැදැකීමට ගිය අතර, එමගින් යෙහෝවඃවහන්සේගේ සංවිධානය සමඟ සම්බන්ධය නැවත පිහිටුවාගත්තා.
අවසානය දක්වා විශ්වාසවන්තව
වර්ෂ 1952දී අපගේ පවුල සෙන්ඩයිහි පදිංචියට ගියා. වොච් ටවර් සමිතියේ මිෂනාරිවරුන් වූ ඩොනල්ඩ් සහ මේබල් හැස්ලට් එම වසරේම එහි පදිංචියට පැමිණි අතර මුරටැඹ පාඩම පැවැත්වීම සඳහා නිවසක් කුලියට ගත්තා. ඒ පළමුවන රැස්වීමට පැමිණ සිටියේ හතරදෙනෙක් පමණයි—එනම් හැස්ලට් යුවළ, මගේ පියා සහ මම. පසුව ෂිනිචි සහ මසාකෝ ටොහාරාද, ඇඩලයින් නාකෝද, එමෙන්ම ලිලියන් සැම්සන්ද හැස්ලට් යුවළ සමඟ මිෂනාරිවරුන් වශයෙන් සෙන්ඩයිහිදී සේවය කිරීම ආරම්භ කළා.
මෙම මිෂනාරිවරුන් සමඟ ආශ්‍රය කිරීම මගින්, දෙවියන්වහන්සේගේ වචනය හා සංවිධානය පිළිබඳව දැනගැන්මෙන් අපගේ පවුල ප්‍රගතියක් ලැබුවා. යුද්ධ කාලයේදී සිදුවූ දේවල් නිසා ඇදහිල්ල අතින් චංචල වූ මව, රැස්වීම්වලට යෑමටත් ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමටත් ඉක්මනින් අපත් සමඟ එකතු වුණා. යෙහෝවඃ දෙවියන්වහන්සේට මගේ ජීවිතය කැප කිරීමට මා පෙලඹුණු අතර, 1953 අප්‍රියෙල් 18වන දින මා බව්තීස්මය ලැබුවා.
යුද්ධයට පසුව රක්ෂණ සංස්ථාවක වෙළඳාම්කරුවෙකු වශයෙන් පියා වැඩ කළා. සිරගත වීමෙන් පසු වකුගඩු අක්‍රමිකතාවක් සහ අධික රුධිර පීඩනය ඇතුළුව ඇති වූ පසු ඵලවිපාක මධ්‍යයෙහි පවා, පුරෝගාමියෙකු වශයෙන් නැවතත් පූර්ණ-කාලීන සේවයේ යෙදීමට ඔහුට බලවත් ආශාවක් තිබුණා. මා බව්තීස්ම ලැබූ කාලයේදී පමණ ඔහුට එසේ කිරීමට හැකි වුණා. පුරෝගාමියෙකු වශයෙන් දීර්ඝ කලකට සේවය කිරීමට දුර්වල සෞඛ්‍ය තත්ත්වයන් ඔහුට බාධා කළත්, දේව සේවය සඳහා වූ ඔහුගේ ජ්වලිතය, මා යමින් සිටි විශ්ව විද්‍යාලයෙන් ඉවත් වී, ජීවිතයේ කාර්යය වශයෙන් පූර්ණ-කාලීන සේවයේ නියැලීමට මාව පෙලඹුවා.
නාගොයාහි කදිම තරුණයෙකු වූ ඉසාමු සූගියූර, මගේ සහකරු වශයෙන් නියම කරනු ලැබුවා. වර්ෂ 1955 මැයි 1වන දා, කියූෂු දූපතේ, බෙපූහි විශේෂ පුරෝගාමීන් වශයෙන් අපගේ සේවය අප පටන්ගත්තා. මුළු දූපතේම එවිට සිටියේ සාක්ෂිකරුවන් අතළොස්සක් පමණයි. දැන්, වසර 39කට වඩා වැඩි කලකට පසුව, ආත්මික වශයෙන් සඵලවන චාරිකා 15ක්ද, සාක්ෂිකරුවන් 18,000කටත් අධික සංඛ්‍යාවක්ද එම දූපතේ සිටිනවා. එමෙන්ම මුළු ජපානයේම, දැන් සාක්ෂිකරුවන් 2,00,000දෙනෙකුට ආසන්න ගණනක් සිටිනවා.
වර්ෂ 1956 වසන්ත කාලයේදී, ඉසාමුට සහ මට වොච් ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් නමැති පාසැලට සහභාගි වීමට ආරාධනා ලැබුණා. මෙය අධික සේ ප්‍රීතිවීමට අපට හේතුවක් වුණා. කෙසේවෙතත්, ගමන සඳහා සූදානම් වීමේදී මා ශාරීරික පරීක්ෂණයකට භාජන වූ විට, මට ක්ෂය රෝගය තිබූ බව වෛද්‍යවරුන් සොයාගත්තා. අතිශය නිෂ්ඵලභාවයට පත් වූ මා, සෙන්ඩයිහි මගේ නිවසට ආපසු පැමිණියා.
ඒ වන විට පියාගේ ශාරීරික සෞඛ්‍යය වඩා දුර්වල වී තිබුණ අතර, ඔහු නිවසේ ඇඳේ හාන්සිව සිටියා. කුලියට රැගෙන තිබුණ අපගේ නිවස සැකසී තිබුණේ, ටාටාමි පැදුරු එළන ලද වර්ග-අඩි-100ක් වූ එක් කාමරයකින්. තාත්තයි මායි එකට හාන්සි වී සිටියා. පියාට වැඩ කිරීමට නොහැකි වූ හෙයින්, අපගේ මූල්‍යමය අවශ්‍යතා සැපයීම මවට දුෂ්කර කාර්යක් වුණා.
වර්ෂ 1957 ජනවාරි මාසයේදී, එවිට වොච් ටවර් සමිතියේ උප සභාපති වූ ෆ්රෙඩ්රික් ඩබ්ලිව්. ෆ්රාන්ස්, ජපානය බැහැදැකීමට පැමිණි අතර, කියෝටෝහි විශේෂ සමුළුවක් පැවැත්වීමට විධිවිධාන යොදා තිබුණා. එයට යෑමට පියා මගේ මවගෙන් උදක්ම ඉල්ලා සිටියා. අපගේ අසනීප තත්ත්වයේදී අපව දමා යෑමට ඇය අකමැති වූ නමුත්, පියාට කීකරු වී සමුළුව සඳහා ඇය ගියා.
ඉන්පසුව ඉක්මනින් පියාගේ තත්ත්වය දිනෙන් දින වඩා දුර්වල වෙන්ටගත්තා. අප එකිනෙකා අසල හාන්සි වී සිටියදී මා සිත්තැවුලෙන් කරදර වෙන්න පටන්ගත්තා, තවද අපට අපගේ අවශ්‍යතා පිරිමැසීමට හැකිවෙන්නේ කෙසේද කියා මා ඔහුගෙන් විමසුවා. එයට ඔහු පිළිතුරු දුන්නේ: “අපගේ ජීවිත පවා පරදුවට තබා අප යෙහෝවඃවහන්සේට සේවය කර තිබෙනවා, ඇරත් උන්වහන්සේ සර්වබලධාරි දෙවියන්වහන්සේයි. ඔබ සිතින් කලබල වන්නේ ඇයි? අපට අවශ්‍ය දෑ යෙහෝවඃවහන්සේ නොවරදවාම අපට සපයයි.” ඉන්පසුව ඉතා මෘදු ලෙස ඔහු මට මෙසේ අවවාද කළා: “ඔබ තුළ වඩාත් ශක්තිමත් ඇදහිල්ලක් වර්ධනය කරගන්න.”
වර්ෂ 1957 මාර්තු 24වන දා, පියා නිහඬව ඔහුගේ අවසන් සුසුම් හෙළුවා. ඔහුගේ අවමංගල්‍ය කටයුතුවලින් පසුව, ඔහු වැඩ කළ රක්ෂණ සංස්ථාවේ කටයුතු බේරීමක් කරගැනීමට මම ගියා. මා පිටත්වීමට සූදානම් වෙද්දිම, ශාඛාවේ කළමනාකරු මට කඩදාසි උරයක් අතට දී මෙසේ පැවසුවා: “මෙය ඔබගේ පියාගේ.”
නිවසට නැවත පැමිණි විට, එහි යම් සෑහෙන මුදල් ප්‍රමාණයක් තිබුණ බව මා සොයාගත්තා. ඒ ගැන මා කළමනාකරුගෙන් පසුව විමසූ විට, එම මුදල පියාගේ වැටුපෙන් ඔහුට නොදැනුවත්වම මාසිකව අඩු කරනු ලැබූ මුදල් ප්‍රමාණයක් වූ බව ඔහු පැහැදිලි කළා. එබැවින් “අපට අවශ්‍ය දෑ යෙහෝවඃවහන්සේ නොවරදවාම අපට සපයයි,” යන පියාගේ වදන්, සැබෑ වුණා. යෙහෝවඃවහන්සේගේ ආරක්ෂාකාරි සැලකිල්ල කෙරෙහි වූ මගේ විශ්වාසය මින් අතිශයින් ශක්තිමත් කරනු ලැබුවා.
නොකඩවා දශක ගණනාවක් සේවය කිරීම
එම මුදල මාර්ගයෙන් සපයනු ලැබූ ද්‍රව්‍යමය උපකාරය නිවසේ සිට මගේ සෞඛ්‍යය යථා තත්ත්වයට ගෙන ඒමට උපකාරවත් වුණා. වසරකට පමණ පසුව, එනම් 1958දී, මගේ මව සහ මා විශේෂ පුරෝගාමීන් ලෙස නියම කරනු ලැබුවා. ඉන්පසුව, මම ජපානයේ සංචාරක අවේක්ෂකයෙකු ලෙස සේවය කළ අතර, 1961දී, නිව් යොර්ක් බෘක්ලින්හි, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථානයේ ගිලියඩ් පාසැලේ මාස-දහයේ පාඨමාලාවට සහභාගි වීමේ වරප්‍රසාදය මට ලැබුණා.
මා ජපානයට නැවත පැමිණි විට, නැවතත් සංචාරක අවේක්ෂකයෙකු වශයෙන් සභාවලට සේවය කිරීමට මම පටන්ගත්තා. පසුව, 1963දී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ වැඩ කරමින් සිටි යසූකෝ හාබා සමඟ මම විවාහ වුණා. ඇය මා සමඟ සංචාර වැඩයේ 1965වන තුරු හවුල් වුණා, ඒ අවස්ථාවේදී ටෝකියෝහි ශාඛා කාර්යාලයේ සේවය කිරීමට අපට ආරාධනා කරනු ලැබුවා. එවක් පටන් අප දෙදෙනා එකට සේවය කර තිබෙනවා—ප්‍රථමයෙන් ටෝකියෝහි ශාඛාව පිහිටා තිබෙන ස්ථානයේ, පසුව නූමාසූහි සහ දැන් එබිනාහි.
මව 1965 දක්වා විශේෂ පුරෝගාමියෙකු ලෙස සේවයේ රැඳී සිටියා. එවක් පටන් ඇය බොහෝදෙනෙකුට බයිබල් සත්‍යයන් පිළිගැනීමට උපකාර කිරීමෙහි ක්‍රියාශීලීව සේවය කර තිබෙනවා. ඇයට දැන් වයස අවුරුදු 79ක් වන අතර සාමාන්‍යයෙන් හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටිනවා. ඇය අසල ජීවත්වන නිසාත්, එබිනා ශාඛා කාර්යාලයට ළඟින් පිහිටා තිබෙන අප රැස්වීම්වලට යන සභාවේ රැස්වීම්වලට පැමිණීමට හැකි නිසාත් අපි සන්තෝෂ වෙනවා.
හිරෝෂිමා මත වැටුණු පරමාණු-බෝම්බයෙන් මගේ පියා බේරී ජීවත්වීම ගැන අප සැබවින්ම යෙහෝවඃ දෙවියන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඔහු තම ඇදහිල්ල රැකගත්තා, එමෙන්ම නව ලෝකයේදී ඔහුව නැවත පිළිගැනීමත්, ඔහු දැකීමට එතරම් ආශාවෙන් සිටි අර්මගෙදොන් නමැති සටනින් අප ගළවනු ලැබූ ආකාරය ඔහුට පැවසීමත් මගේ ආශාවයි. (එළිදරව් 16:14, 16; 21:3, 4)—ට්සූටෝමූ මිඌර පැවසූ පරිදි. g94 10/8
[පාදසටහන්වල]
a මාට්සූඑ ඉෂිගේ ජීවිත කථාව සඳහා, කරුණාකර 1988 මැයි 1, ද වොච්ටවර්හි පිටු 21-5 බලන්න.
[11වන පිටුවේ පින්තූරය]
කට්සුඕ සහ හාගිනෝ මිඌර, සිය පුත් ට්සූටෝමූ සමඟ
[15වන පිටුවේ පින්තූරය]
ජපන් ශාඛා කාර්යාලයේ සේවය කරන ට්සූටෝමූ මිඌර
[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Hiroshima Peace and Culture Foundation from material returned by the United States Armed Forces Institute of Pathology