අධිරාජ්‍යයාට නමස්කාර කිරීමේ සිට සැබෑ නමස්කාරය දක්වා
ඉසාමු සූගියූරා පැවසූ පරිදි
වර්ෂ 1945දී IIවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වන බව පැහැදිලිව පෙනෙන්න තිබුණත්, කමිකාස් (“දිව්‍යමය හුළඟ”) හමා, සතුරන් පරදවයි කියා අපිට ස්ථිරත්වයක් තිබුණා. කමිකාස්වලින් යොමු දක්වන්නේ 1274දී හා 1281දී ජපන් මුහුදු තීරයට ඔබ්බෙන් තිබූ ආක්‍රමික මොන්ගෝලියානු නාවික යාත්‍රා සමූහයෙන් වැඩි කොටසක් දෙවරක්ම විනාශ කළ කුණාටුවලටයි; මෙසේ ඔවුන්ව පසුබැසීමට සැලැස්සුවා.
ඒ නිසා, මිත්‍ර පාක්ෂික හමුදාවලට ජපානය යටත් වී ඇති බවට නිවේදනය කරමින් 1945 අගෝස්තු 15වෙනිදා හිරෝහිතෝ අධිරාජ්‍යයා ජාතිය ඇමතූ විට, ඔහුට කැපව සිටි මිලියන සියගණන් ජනතාවගේ බලාපොරොත්තු සුනු විසුනු වී ගියා. මම එතකොට පාසැල් යන ළමයෙක්; මගේ බලාපොරොත්තුත් සුන් වී ගියා. ‘අධිරාජ්‍යයා ජීවමාන දෙවි නෙවෙයි නම්, කවුද දෙවියා?’ කියා මම කල්පනා කළා. ‘කා කෙරෙහිද මම විශ්වාස කළ යුත්තේ?’
ඒත්, ඇත්තෙන්ම, IIවන ලෝක යුද්ධයේදී ජපානයේ පරාජය, මටත්, වෙනත් ජපන් ජාතිකයන්ටත් සැබෑ දෙවි වන යෙහෝවාව දැනගැනීමට මාර්ගය විවෘත කළා. මට කරන්න සිද්ධ වුණ වෙනස්කම් ගැන කියන්න කලින්, ආගමික පසුබිමක මා ඇති දැඩි වුණ ආකාරය විස්තර කරන්න මට ඉඩ දෙන්න.
බාල කාලේ ආගමික බලපෑම්
වර්ෂ 1932 ජූනි 16වෙනිදා නාගෝයා නගරයේ ඉපදුණ මම පිරිමි ළමයි හතරදෙනාගෙන් බාලයායි. තාත්තා නගරයෙහි මිනින්දෝරුවෙක් හැටියට වැඩ කළා. අම්මා ෂින්ටෝ නිකායක් වන ටෙන්රික්යෝ ධර්මයේ භක්තිවන්තියක්ව සිටි අතර, මගේ ලොකු අයියා ටෙන්රික්යෝ ගුරුවරයෙක් වීමට ආගමික පුහුණුවක් ලබාගෙන හිටියා. අම්මයි මායි හුඟක්ම කිට්ටුවෙන් හිටිය නිසා නමස්කාරය සඳහා එක්රැස් වෙන තැනට ඈ මාවත් රැගෙන ගියා.
මගේ හිස නමලා යාච්ඤා කරන්න මට ඉගැන්නුවා. ටෙන්රි ඕ නො මිකෝටෝ නම් මැවුම්කරුවෙක් කෙරෙහි මෙන්ම ඊට වඩා තරමක් පහත් දෙවිවරුන් දහදෙනෙකු කෙරෙහි විශ්වාසය තැබීමට ටෙන්රික්යෝ ධර්මය ඉගැන්නුවා. එහි සාමාජිකයන් ඇදහිල්ලෙන් සුව කිරීම් කළ අතර, අන්‍යයන්ට සේවය කිරීමත්, ඔවුන්ගේ විශ්වාසයන් පතළ කිරීමත් අවධාරණය කරනු ලැබුවා.
ළමයෙක් හැටියට මම හුඟාක් සෙවිල්ලෙන් හිටියා. රාත්‍රි අහසේ ඇති සඳ හා අසංඛ්‍යාත තාරකා දෙස මම පුදුමයෙන් බලා සිටි අතර, අහසේ කොයිතරම් දුරකට අභ්‍යවකාශය දිව යනවාද කියලා මම කල්පනා කළා. පිටුපස මිදුලේ පොඩි බිම් කෑල්ලක මම හිටෙව්ව වම්බොටු සහ පිපිඤ්ඤා වැවෙන හැටි බලාගෙන සිටීමෙන් මම පුදුමයට පත් වුණා. ස්වභාවධර්මය නිරීක්ෂණය කිරීමෙන් දෙවි කෙරෙහි මගේ විශ්වාසය ශක්තිමත් වුණා.
යුධ සමය
වර්ෂ 1939 සිට 1945 දක්වා ප්‍රාථමික පාසැලේ මම ගත කළ කාලයේදීමයි IIවන ලෝක යුධ සමයත් පැවතුණේ. අපේ පාසැල් අධ්‍යාපනයට ෂින්ටෝ ධර්මයේ වැදගත් කොටසක් වන අධිරාජ්‍යයාට නමස්කාර කිරීම අවධාරණය කළා. අපිට දේශාභිමානි හා රණකාමී ගතිලක්ෂණ සහිත සදාචාර පුහුණුවක් ඇතුළත් සුෂින් සම්බන්ධයෙන් ඉගැන්නුවා. කොඩිය එසවීමේ උත්සව, ජාතික ගීය ගැයීම, අධිරාජ්‍යමය අධ්‍යාපන නියෝග අධ්‍යයනය කිරීම හා අධිරාජ්‍යයාගේ පින්තූරයට ගරු බුහුමන් දැක්වීම යන සියල්ල අපේ පාසැල් දින චර්යාවට ඇතුළත්ව තිබුණා.
අධිරාජ්‍යයාගේ හමුදාවට ජයග්‍රහණය දෙන්න කියා දෙවිගෙන් අයැදින්නත් අපි ප්‍රදේශයේ ෂින්ටෝ සිද්ධස්ථානයට ගියා. මගේ අයියලා දෙන්නෙක් හමුදාවේ සේවය කළා. දේශාභිමානී ආගමික මත මගේ සිතට කාවද්දවා තිබුණු නිසා, ජපන් හමුදාවේ සාර්ථක වීම් පිළිබඳ ආරංචිවලින් මම සතුටට පත් වුණා.
නාගෝයා, ජපන් ගුවන් යානා කර්මාන්තය සඳහා මධ්‍යස්ථානයක් වුණා; ඒ නිසා ඒක එ.ජ. ගුවන් හමුදාවේ විශාල ප්‍රහාරයන්වල ප්‍රධාන ඉලක්කයක්ව තිබුණා. දවල් කාලයේදී, නගරයෙන් මීටර් 9,000කට වඩා ඉහළින් ගමන් කරමින් බී-29 සුපෆෝට්රස් බෝම්බ ප්‍රහාරක යානා කර්මාන්ත දිස්ත්‍රික්කයට බෝම්බ ටොන් සිය ගණනක් හෙළුවා. රාත්රියේදී මීටර් 1,300ක පමණ පහතින් තිබූ ප්‍රහාරක යානා පිරික්සුම් පහන්වලට හසු වුණා. ගුවන් ප්‍රහාර මගින් නොකඩවා එල්ල කළ ගිනි බෝම්බවලින් නිවාස ප්‍රදේශවල විශාල ගිනිගැනීම් සිදු වුණා. යුද්ධයේ අවසාන මාස නවයේදී නාගෝයාවලට විතරක් ගුවන් ප්‍රහාර 54ක් එල්ල වුණා; බොහෝ දුක් වේදනා සහ 7,700කට වැඩිදෙනෙකුගේ මරණයි එහි ප්‍රතිඵලය වුණේ.
මේ වන විට, මුහුදු තීරයේ පිහිටි නගර දහයකට එරෙහිව යුධ නැව්වලින් බෝම්බ හෙළීමට පටන්ගෙන තිබුණු අතර, ටෝකියෝ අසලින් එ.ජ. හමුදා රට තුළට පැමිණීමට ඇති ඉඩ කඩ ගැන ජනයා කතා කරමින් හිටියා. රට බේරාගැනීමට බම්බුවලින් තැනූ කඩුවලින් සටන් කිරීමට ස්ත්‍රීන්ව හා යෞවන පිරිමි ළමයින්ව පුහුණු කළා. “යටත් වෙනවාට වඩා මිලියන 100කට මරණය හොඳයි” යන අර්ථය ඇති “ඉචිඕකූ සෝග්යෝකූසයි” යන්න අපේ උද්යෝග පාඨය වුණා.
වර්ෂ 1945 අගෝස්තු 7වෙනිදා, පුවත්පත් සිරස්තලයක මෙසේ වාර්තා වුණා: “හිරෝෂිමාවලට අලුත් වර්ගයේ බෝම්බයක් හෙළයි.” දවස් දෙකකට පස්සේ, තවත් එකක් නාගසාකිවලට දැමුවා. මේවා පරමාණු බෝම්බ වූ අතර ඒවාවලින් ජීවිත 3,00,000කට වඩා බිලිගෙන තිබුණ බව අපට පසුව දැනගන්න ලැබුණා. ඉන්පසු, අගෝස්තු 15වෙනිදා, ලී තුවක්කු සහිතව පුහුණු පෙළපාළියක අවසානයේදී, යටත් වෙන්න කියා ජපන් ජාතිකයන්ට නිවේදනය කරමින් අධිරාජ්‍යයා කළ කතාව අපට අහන්න ලැබුණා. අප ජයගන්න බවට ඒත්තුගිහින් තිබුණත් මේ අවස්ථාවේදී අපි අන්දමන්ද වුණා!
අලුත් බලාපොරොත්තුවක් වර්ධනය වෙයි
අමෙරිකානු හමුදා රට අත් පත් කරගන්න පටන්ගත් විට, එක්සත් ජනපදය යුද්ධය ජයගත් බවට වූ සත්‍යය අපි ක්‍රමක්‍රමයෙන් පිළිගත්තා. ප්රජාතන්ත්රවාදය මෙන්ම නමස්කාරයේ නිදහස සහතික කළ අලුත් ව්‍යවස්ථාවක් ජපානයට හඳුන්වා දුන්නා. ජීවත් වීම අමාරු වුණා; ආහාර හිඟ වුණා; ඒ වගේම 1946දී මගේ තාත්තා මන්ද පෝෂණයෙන් මියගියා.
මේ අතරතුරේදී, මම ගිය පාසැලේ ඉංග්‍රීසි උගන්වන්න පටන්ගත් අතර, NHK ගුවන් විදුලි මධ්‍යස්ථානයෙන් ඉංග්‍රීසි කතා කිරීමේ පුහුණු වැඩසටහනක් ආරම්භ කළා. අවුරුදු පහක් පාඩම් පොතත් අතැතිව මම මේ ජනප්‍රිය වැඩසටහනට සවන් දුන්නා. මේ හින්දා, මම කවදාහරි එක්සත් ජනපදයට යනවා කියා සිහින මවන්න පටන්ගත්තා. ෂින්ටෝ හා බෞද්ධ ආගම් සම්බන්ධයෙන් අධෛර්යයට පත් වුණ නිසා, සමහරවිට බටහිර ආගම්වල දෙවි පිළිබඳ සත්‍යය තිබෙයි කියා හිතන්න මම පටන්ගත්තා.
වර්ෂ 1951 අප්‍රියෙල් මුලදී, වොච් ටවර් සමිතියේ මිෂනාරිවරියක් වූ ග්‍රේස් ග්‍රෙගරිව මට මුණගැසුණා. ඇය ඉංග්‍රීසි මුරටැඹ පිටපතකුත්, බයිබල් විෂයක් සම්බන්ධයෙන් වූ ජපන් පොත් පිංචයකුත් ඉදිරිපත් කරමින් නාගෝයා දුම්රියපොළ ඉදිරියේ හිටගෙන හිටියා. එවැනි වැඩක් කිරීමෙන් ඇය පෙන්වූ නිහතමානිකම මට තදින් කාවැදුණා. මම ප්‍රකාශන දෙකම ලබාගත් අතර, බයිබල් පාඩමක් කිරීමට ඇය කළ ආරාධනාවත් පිළිගත්තා. දවස් කීපයකට පස්සේ බයිබල් පාඩමට ඇගේ නිවසට පැමිණීමට මම පොරොන්දු වුණා.
දුම්රිය ආසනයක ඉඳගත් විට මම මුරටැඹ කියවන්න පටන්ගත්තා; මුල් ලිපියේ මුලින්ම තිබුණ “යෙහෝවා” කියන වචනය මගේ නෙතට හසු වුණා. මම ඊට පෙර කවදාවත් ඒ නම දැකලා තිබුණේ නැහැ. මම රැගෙන ගිය කුඩා ඉංග්‍රීසි-ජපන් ශබ්දකෝෂයේ එය තියෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ; නමුත් ඒක එහි තිබුණා! “යෙහෝවා . . . , බයිබලයේ දෙවියි.” එතකොටයි මම ක්රිස්තුධර්මයේ දෙවි ගැන දැනගන්න පටන්ගත්තේ!
මිෂනාරි නිවසට ගිය ඒ මුල් අවස්ථාවේදී, එවකට වොච් ටවර් බයිබල් හා පත්‍රිකා සමිතියේ සභාපති නේදන් එච්. නෝ’, සති කීපයකට පස්සේ බයිබල් දේශනයක් දෙන්න යන බව මට දැනගන්න ලැබුණා. ඔහු ඔහුගේ ලේකම් වූ මිල්ටන් හෙන්ෂල් එක්ක ජපානයට පැමිණි අතර, ඉන්පසු නාගෝයාවලටත් එන්න නියමිතව තිබුණා. මගේ බයිබල් දැනුම සීමා වෙලා තිබුණත්, කතාව වගේම මිෂනාරිවරුන් හා පැමිණි වෙනත් අයව ඇසුර කිරීමත් මම ප්‍රීතියෙන් භුක්ති වින්දා.
මාස දෙකක් විතර යද්දී, ග්‍රේස් එක්ක කළ පාඩම්වලින් මම යෙහෝවා, යේසුස් ක්‍රිස්තුස්, මිදීමේ මිලය, යක්ෂයා වන සාතන්, අර්මගෙදොන් හා පාරාදීස පොළොව ගැන මූලික සත්‍යයන් ඉගෙනගත්තා. මම සොයමින් හිටියෙත් හරියටම රාජ්‍ය ශුභාරංචිය වගේම පණිවිඩයක් තමයි. මම පාඩම් කරන්න පටන්ගත්තත් එක්කම සභා රැස්වීම්වලට යන්නත් පටන්ගත්තා. මේ එක්රැස්වීම්වලදී තිබුණ මිත්‍රශීලී වාතාවරණයට මම ආශාවක් දැක්වුවා; එහිදී මිෂනාරිවරුන් ජපන් ජාතිකයන් එක්ක බියසැක නැතුව මිශ්‍රව සිටි අතර, අප එක්කම ටාටාමිවල (පන්වලින් වියූ පැදුරුවල) ඉඳගත්තා.
වර්ෂ 1951 ඔක්තෝබර්වලදී, ජපානයේ ඔසාකා නගරයේ නාකානෝෂිමා මහජන ශාලාවේ මුල්ම චාරිකා එක්රැස්වීම පැවැත්තුවා. මුළු ජපානයේම හිටියේ සාක්ෂිකරුවන් 300කට වඩා අඩුවෙන්; නමුත් එක්රැස්වීමට 300දෙනෙක් විතර ආවා; එම සංඛ්‍යාවට මිෂනාරිවරුන් 50දෙනෙක් විතර ඇතුළත්ව සිටියා. මට වැඩසටහනේ පොඩි කොටසකුත් තිබුණා. මම දැක්ක දේවලුත්, සවන් දුන්න දේවලුත් මොනතරම් මගේ සිතගත්තාද කියනවා නම්, මගේ මුළු ජීවිත කාලයේදීම යෙහෝවාට සේවය කරන්න හදවතින් අධිෂ්ඨානයක් ගත්තා. ඊළඟ දවසේදී, ළඟපාත තිබුණ ප්‍රසිද්ධ නාන ගෙයකදී ඇල්මැරුණ වතුරේ මාව බව්තීස්ම කළා.
පුරෝගාමී සේවයෙහි ප්‍රීතිය
මට පුරෝගාමියෙක් වෙන්න ඕනෑ වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයන්ව හඳුන්වන්නේ ඒ විදිහටයි. නමුත් මගේ පවුලේ අයගේ නඩත්තුව සඳහා උපකාර කිරීමට වගකීමක් තිබෙන බවත් මට හැඟුණා. මගේ ආශාව ගැන මගේ ලොක්කාට කියන්න මම හිතට ධෛර්යය ගත්තහම, ඔහු මෙහෙම කියනවා ඇසීමෙන් මම පුදුමයට පත් වුණා: “ඒකෙන් ඔයා සතුටක් ලබනවා නම් මමත් කැමතියි ඔයාට සහයෝගය දෙන්න.” සතියකට දවස් දෙකක් විතරක් වැඩ කරන්න මට හැකි වුණ අතර, ගෙදර දොරේ වියහියදම් සඳහා මගේ අම්මාට දිගටම උපකාර කරන්නත් මට පුළුවන් වුණා. ඇත්තටම මට දැනුණේ මම මිටෙන් ඇරිය කුරුල්ලෙක් වගේ කියලයි.
තත්වයන් හොඳ අතට හැරෙමින් පවතිද්දී, මට මුලින්ම ග්‍රේස්ව මුණගැහුණු තැන ඉඳලා විනාඩි කීපයකින් ඇවිදගෙන යන්න පුළුවන් වූ, නාගෝයා දුම්රියපොළ පිටුපස බලප්රදේශයක, 1954 අගෝස්තු 1වෙනිදා මම පුරෝගාමී සේවය පටන්ගත්තා. මාස කීපයකට පස්සේ, ක්යුෂු බටහිර දූපතේ නගරයක් වූ බෙපුහි විශේෂ පුරෝගාමියෙකු හැටියට සේවය කරන්න මට පැවරුමක් ලැබුණා. මගේ සහකරුවා හැටියට පත් කර තිබුණේ ට්සුටෝමූ මිඌරවයි.a ඒ වෙද්දී, මුළු දූපතේම, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා එකක්වත් තිබුණේ නැති නමුත් දැන් චාරිකා 22කට වෙන් කර ඇති ඒවා සියගානක් තිබෙනවා!
නව ලොවේ රස කලින්ම විඳින්න
සහෝදර නෝ’ නැවතත් 1956 අප්‍රියෙල්වලදී ජපානයට පැමිණි විට, ඔහු මට කිව්වා ඉංග්‍රීසි මුරටැඹ සඟරාවක ඡේද කීපයක් ශබ්ද නඟා කියවන්න කියලා. මට හේතුව කිව්වේ නැහැ; නමුත් මාස කීපයකට පස්සේ, ගිලියද් මිෂනාරි පාසැලේ 29වෙනි පංතියට සහභාගි වෙන්න ඇරයුම් කළ ලිපියක් මට ලැබුණා. ඉතින් ඒ අවුරුද්දේ නොවැම්බර්වලදී, හුඟ කාලෙක ඉඳලා මවමින් හිටි සිහිනය සැබෑ කරමින් මම එක්සත් ජනපදය බලා සතුට දනවන ගමනක් ඇරඹුවා. බෘක්ලින්හි විශාල බෙතෙල් පවුල සමඟ මාස කීපයක් නැවතී සිටීමෙන් හා වැඩ කිරීමෙන් යෙහෝවාගේ දෘශ්‍යමාන සංවිධානය කෙරෙහි මගේ ඇදහිල්ල ශක්තිමත් වුණා.
වර්ෂ 1957 පෙබරවාරිවලදී, නියූ යෝක් උතුරුකරයේ පිහිටි සවුත් ලාන්සිංවල ගිලියද් පාසැල පවත්වන ස්ථානයට සහෝදර නෝ’ අපි තුන්දෙනෙකුව වාහනයෙන් ගෙනගියා. ගිලියද් පාසැලේ සිටි ඊළඟ මාස පහේදී මම යෙහෝවාගේ වචනයෙන් උපදෙස් ලබාගත් විට හා සෙසු ශිෂ්‍යයන් සමඟ ලස්සන පරිසරයක ජීවත් වුණ විට, මට පාරාදීස පොළොවේ රස කලින්ම විඳින්න හැකි වුණා. ශිෂ්‍යයන් 103දෙනාගෙන් මාත් ඇතුළුව දහදෙනෙක්ට ජපානයට පැවරුම් ලැබුණා.
මගේ පැවරුම් අගය කිරීම
මම 1957 ඔක්තෝබර්වලදී නැවතත් ආ විට ජපානයේ සාක්ෂිකරුවන් 860දෙනෙක් විතර හිටියා. මාව චාරිකා අවේක්ෂකයෙකු හැටියට සංචාරක වැඩයට පත් කළා; නමුත් මුලින්ම මට එම වැඩය සඳහා නාගෝයාහි ඒඩ්‍රියන් තොම්සන්ගෙන් දවස් කීපයක පුහුණුවක් ලැබුණා. මගේ චාරිකාවෙන් ෆූජි කඳුකරය අසල ෂිමිසූවල ඉඳලා ෂිකෝකු දූපතත්, ක්යොතෝ, ඔසාකා, කෝබේ සහ හිරෝෂිමා වැනි විශාල නගර දක්වා ප්‍රදේශයක් ආවරණය කළා.
වර්ෂ 1961දී, දිස්ත්‍රික් අවේක්ෂකයෙකු හැටියට මාව පත් කළා. මෙයට, උතුරුකරයේ පිහිටි හිමෙන් පිරි හොකයිඩෝ දූපතේ සිට උපනිවර්තන ඔකිනාවා දූපත දක්වාත්, ඊටත් ඔබ්බෙන් තායිවාන් අසල පිහිටි ඉෂිගාකි දූපත් දක්වාත් කිලෝමීටර් 3,000ක විතර දුරක් යෑම ඇතුළත් වුණා.
ඉන්පසු, 1963දී, බෘක්ලින් බෙතෙල්හි ගිලියද් පාසැලේ මාස දහයක පාඨමාලාවකට මට ආරාධනාවක් ලැබුණා. පාඨමාලාව අතරතුරේදී, සහෝදර නෝ’ වැඩ පැවරුම් කෙරෙහි සුදුසු ආකල්පයක් තබාගැනීමේ වැදගත්කම අවධාරණය කළා. නානකාමර පිරිසිදු කිරීම කාර්යාලයක වැඩ කරනවා වගේම වැදගත් පැවරුමක් කියා ඔහු පැවසුවා. නාන කාමර පිරිසිදුව තිබුණේ නැත්නම්, මුළු බෙතෙල් පවුලටම මෙන්ම ඔවුන්ගේ වැඩවලට බලපායි කියා ඔහු පැවසුවා. පසුව, ජපානයේ බෙතෙල්හි මගේ වැඩ කොටසට වැසිකිළි පිරිසිදු කිරීමත් ඇතුළත්ව තිබුණු අතර, මට ඒ අවවාදය මතක තිබුණා.
ජපානයට නැවතත් ගියාට පස්සේ, මාව නැවතත් සංචාරක වැඩයට පත් කළා. අවුරුදු කීපයකට පස්සේ, 1966දී, මම මැට්සූ නගරයේ සේවය කළ විශේෂ පුරෝගාමියක් වූ ජුන්කෝ ඉවාසාකිව විවාහ කරගත්තා. එවකට ජපානයේ ශාඛා අවේක්ෂකව සිටි ලොයිඩ් බැරි හද උණුසුම් කරවන විවාහ මංගල්‍යය කතාව දුන්නා. ඉන්පසු මා එක්ක සංචාරක වැඩයට ජුන්කෝත් හවුල් වුණා.
පරිවර්තන වැඩ කරන්න මාව ටෝකියෝවල ශාඛා කාර්යාලයට කැඳෙව්වහම, 1968දී අපේ පැවරුම් වෙනස් වුණා. කාමර හිඟය නිසා, මම ටෝකියෝ, සූමිඩාවල ඉඳන් බෙතෙල් එකේ වැඩට ආ අතර, ජුන්කෝ ප්‍රදේශයේ සභාවේ විශේෂ පුරෝගාමියක් හැටියට සේවය කළා. මේ වන විට, විශාල ශාඛා පහසුකම් අවශ්‍යව තිබුණා. ඉතින් 1970දී ෆූජි කඳුකරයෙන් වැඩි ඈතක නොවූ නුමාසූවල ඉඩමක් මිල දී ගත්තා. එහි තට්ටු තුනේ කර්මාන්ත ශාලාවක් හා නිවසක් ගොඩනැඟුවා. ගොඩනැඟීම පටන්ගන්න කලින්, සභා අවේක්ෂකයන් සඳහා පුහුණුව සපයන රාජ්‍ය සේවා පාසැල සඳහා පාවිච්චි කළේ ඉඩමේ තිබුණු ගෙවල් කීපයක්. පාසැලේ ඉගැන්වීමට මට වරප්‍රසාදයක් ලැබුණු අතර, ජුන්කෝ, ශිෂ්‍යයන් සඳහා කෑම පිළියෙළ කළා. දේවසේවය සඳහා ක්‍රිස්තියානි පුරුෂයන් සියගණනකට විශේෂ පුහුණුවක් දෙනවා දැකීම ලොකු ප්‍රීතියක්.
එක් දවාලක, මට හදිසි විදුලි පණිවිඩයක් ලැබුණා. අම්මාව රෝහලට ඇතුළත් කර තිබුණු අතර, ජීවත් කරවන්න බැරි වෙයි කියා පවසා තිබුණා. මම බුලට් දුම්රියෙන් නාගෝයාවලට ගිහින්, රෝහලට ඉක්මනින් ගියා. ඇයට සිහිය තිබුණේ නැහැ; නමුත් මම ඇගේ ඇඳ ළඟ රාත්‍රිය ගත කළා. හිමිදිරි පාන්දර අම්මා මියගියා. මම නුමාසූවලට ආපහු යද්දී, ඇගේ ජීවිත කාලයේදී ඇය වින්ද දුක් ගැහැට සහ මට ඇය දැක්වූ ආදරයත් මතක් වූ විට මගේ කඳුළු නවත්වගන්න මට බැරි වුණා. යෙහෝවාගේ කැමැත්ත නම්, නැවත නැඟිටීමේදී මට ඇයව නැවතත් දකින්න ලැබෙයි.
වැඩි කල් නොගොස් අපට නුමාසූවල ඉඩ පහසුකම් මදි වුණා. ඉතින් එබීනා නගරයේ හෙක්ටෙයාර් 7ක ඉඩමක් මිල දී ගත් අතර, 1978දී අලුත් ශාඛා සංකීර්ණයක් ගොඩනැඟීමට පටන්ගත්තා. දැන් මේ ඉඩමේ ඉඩ තිබුණු හැම තැනක්ම වැහෙන තරමට කර්මාන්ත ශාලා හා නේවාසික ගොඩනැඟිලිත්, ඒ වගේම ආසන 2,800කට වැඩි එක්රැස්වීමේ ශාලාවකුත් තිබෙනවා. ඉතා මෑතකදී, මේ අවුරුද්දේ මුල් භාගයේදී, තට්ටු 13කින් යුත් නේවාසික ගොඩනැඟිලි දෙකකුත්, තට්ටු පහකින් යුත් රථ ගාලක් හා සේවා ගොඩනැඟිල්ලක්ද ඊට එකතු කරනු ලැබුවා. අපේ බෙතෙල් පවුලේ දැන් සාමාජිකයන් 530ක් විතර ඉන්නවා වුණත්, විශාල කළ ගොඩනැඟිලි පහසුකම්වල 900කට විතර නවාතැන් පහසුකම් සපයන්න අපට පුළුවන්.
ප්‍රීතිවීමට බොහෝ හේතු
ඔව්, ‘සුළු තැනැත්තා බලවත් ජාතියක් වන්නේය’ යන බයිබල් අනාවැකිය ඉටු වී තිබෙනවා දැකීම ඉමහත් සතුටක්. (යෙසායා 60:22) “ජපානයේ සාක්ෂිකරුවන් කොච්චර ඉන්නවාද” කියා 1951දී මගේ අයියා කෙනෙක් මගෙන් ඇහැව්වා මට මතකයි.
“260ක් විතර” මම පිළිතුරු දුන්නා.
“එච්චරද?” ඔහු උපහාසාත්මක ස්වරූපයකින් ඇහැව්වා.
‘මේ ෂින්ටෝ-බෞද්ධ රටේ යෙහෝවාට නමස්කාර කරන්න කීදෙනෙක් ඇදී එයිද කියලා කාලය හෙළි කරන්නේ නැතැයි’ කියා හිතනවා මට මතකයි. ඒ වගේම යෙහෝවා පිළිතුරු දීලා තියෙනවා! අදදින, ජපානයේ දේශනා කිරීම සඳහා පවරනු නොලැබූ ප්‍රදේශ නැති අතර, සභා 3,800ක සැබෑ නමස්කාරකයන්ගේ ගණන 2,22,000කට වඩා වැඩි වෙලා!
මගේ ප්‍රේමනීය බිරිඳ එක්ක අවුරුදු 32ක් ඇතුළත්, පූර්ණ-කාලීන සේවයෙහි මගේ ජීවිතයේ පහුගිය අවුරුදු 44 විශේෂයෙන්ම සතුටින් පිරි ඒවා වී තිබෙනවා. එයින් අවුරුදු 25ක් පුරා මම බෙතෙල් එකේ පරිවර්තන අංශයේ සේවය කරලා තියෙනවා. වර්ෂ 1979 සැප්තැම්බර්වලදී, ජපානයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කමිටුවේ සාමාජිකයෙක් වීමටත් මට ආරාධනාවක් ලැබුණා.
අවංක, සාමයට-ලැදි ජනයාට යෙහෝවාගේ නමස්කාරයට පැමිණීමට උපකාර කිරීමෙහි සුළුවෙන් හෝ හවුල් වීමට ලැබීම වරප්‍රසාදයක් මෙන්ම ආශීර්වාදයක් වී තිබෙනවා. අධිරාජ්‍යයාට දුන් නමස්කාරය වෙනස් කර සැබෑ දෙවි යෙහෝවාට පමණක් නමස්කාර දෙමින් බොහෝදෙනෙක් මම කළා වගේම කරලා තියෙනවා. යෙහෝවාගේ ජයග්‍රාහී පැත්තට පැමිණ, සාමකාමී නව ලොවක අනන්ත ජීවිතයක් ලබාගැනීමට තවත් බොහෝදෙනෙකුට උපකාර කිරීම මගේ අවංක ආශාවයි.—එළිදරව් 22:17.
[පාදසටහන]
a ඔහුගේ පියා, ජපන් බන්ධනාගාරයක සිටිද්දී, 1945දී හිරෝෂිමාවල පිපිරූ පරමාණු බෝම්බයෙන් බේරුණ ඇදහිලිවන්ත සාක්ෂිකරුවෙක්. 1995 පෙබරවාරි 8 පිබිදෙව්! 11-15 පිටු බලන්න.
[29වන පිටුවේ පින්තූරය]
අධිරාජ්‍යයාට දුන් නමස්කාරය මත ගෙතී තිබුණු පාසැල් අධ්‍යාපනය
[හිමිකම් විස්තර]
The Mainichi Newspapers
[29වන පිටුවේ පින්තූරය]
සහෝදර ෆ්රාන්ස් එක්ක නියූ යෝක්හිදී
[29වන පිටුවේ පින්තූරය]
මගේ බිරිඳ වන ජුන්කෝ එක්ක
[31වන පිටුවේ පින්තූරය]
පරිවර්තන අංශයේ වැඩ කරද්දී