යෞවනයන් අසති . . .
කාලීන විලාසිතා—ඒවායේ ආකර්ෂණය කුමක්ද?
උද්යෝග පාඨ සහිත ටී-ෂර්ට් ඇඳීමේ ජනප්‍රිය විලාසිතා රැල්ලට අසුවූ යෞවනයන් දහස් ගණනකින්—සමහරවිට මිලියන ගණනකින්—කෙනෙකි යෞවන ඒවරි. සැබවින්ම, උද්යෝග පාඨ සහිත ටී-ෂර්ට් දිගු කලක් පුරා තිබී ඇත; ඔබේ දෙමව්පියන් පවා යෞවන කාලයේදී ඒවා ඇඳ තිබෙනවා විය හැක. කෙසේවුවද, නියූස්වීක් සඟරාවට අනුව, මෙම විලාසිතාවෙහි නව පෙරළියක් තිබේ. සමහර යෞවනයෝ “ඉතා පහත් පණිවුඩ විදහා දක්වන ටී-ෂර්ට් අහංකාරයෙන් ඇඳගෙන සිටිති.”
අලුත් කමිසවල ඇති උද්යෝග පාඨ වැඩි හරියක් මුද්‍රණය කිරීමට නුසුදුසුය. ඒවා වෙන ජාතියක් හෙළාදකින ප්‍රකාශවල සිට ස්ත්‍රීන් ගැන අසභ්‍ය අදහස් දැක්වීම දක්වා දිවෙයි. මෙම විලාසිතා අනුගමනය කරන්නෝ, පිළිකුල් උද්යෝග පාඨ ගැන දෙමව්පියන් ඇතුළු වෙනත් අයට හැඟෙන ආකාරය සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ නැති බව පෙනෙන්ට තිබේ. විශේෂයෙන්ම නුසුදුසු කමිසයක් ඇන්දේ මන්දැයි 18-හැවිරිදි ආන්ඩ්රිය, යෞවනයෙකුගෙන් ඇසූ විට “කුමක් පවසන්නදැයි ඔහු දැන සිටියේ නැත, ‘ඒක තමයි නියම, හැම යෞවනයෙක්ම වගේ අඳිනවා,’ වැනි නිදහසට කරුණු පමණක් ඉදිරිපත් කළා.”
ඉකුත් දශක පුරා, යෞවනයන්ගේ අවධානයට විලාසිතා සිය ගණනක් හසු වී තිබේ. එක්දහස් නවසිය පනස් ගණන්වලදී එක්සත් ජනපදයේ වඩාත්ම ජනප්‍රිය—මෙන්ම ලාභ උපදවන—විලාසිතාවක් වූයේ හූල-හූප් නැටුමේ පිස්සුවයි. ඊට වර්ෂ කීපයකට පෙර, ගෝල්ඩ්ෆිෂ් මාලුවා ගිල දැමීම හා කොපමණදෙනෙකු දුරකථන කුටියකට දැමිය හැකිදැයි බැලීම ජනප්‍රියව තිබුණි. මෑත වර්ෂවලදී, බ්රේක් නැටුම්, සායම් ගිය ජීන්ස්, රෝද සහිත තරණ ලෑලි සහ “ප්‍රසිද්ධියේ නිරුවතින් දිවයෑම” යන සියල්ලට ජනප්‍රියත්වයේ කාලවල් තිබුණි. බයිබල් ලේඛකයෙක් මෙසේ නිරීක්ෂණය කළේය: “මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.” (1 කොරින්ති 7:31) අදදින, විලාසිතා ගණනාවක්—සමහර ඒවා මෝඩ සිට අනතුරුදායක දක්වා වෙමින්—යෞවනයන් අතර දැනට පවතින මෝස්තර වී ඇත.
යෞවනයන් සහ ඔවුන්ගේ ඇඳුම් විලාසිතා
උදාහරණයක් වශයෙන්, ඇඳුම් ගැන සලකා බලන්න. ටයිම් සඟරාවට අනුව ක්ෂුද්‍ර චිපයෙන් (කුඩා විද්‍යුත් පරිපථයෙන්) පසුව (බොහෝවිට හිප්-හොප් ලෙස නම් කෙරෙන) රැප් සංගීතය “දැන් ලොව පුරා යෞවනයන් අතර සැබවින්ම රජයන, කාවැදී ඇති වඩාත්ම සාර්ථක අමෙරිකානු අපනයනය විය හැක.” එහෙත්, ඔබ හොඳින්ම දන්නා ලෙස, සංගීතයට වඩා වැඩි දෙයක් රැප්වල තිබේ. ටයිම් සඟරාව තවදුරටත් මෙසේ පවසයි: “රැප් ලෝක ව්‍යාප්ත මෝස්තර භාණ්ඩයක්ද වේ. බාච්චු කළිසම්, මිල අධික ක්‍රීඩා පාවහන්, කේතුහැඩ තොප්පිය සහිත ස්වෙටර, බැබළෙන ආභරණ යන අමෙරිකාවේ දක්නට ලැබෙන මූලික ඇඳුම් කට්ටලයේ දේශීය විලාසිතාව—සෑම තැනම දකින්ට තිබේ.” ජනප්‍රිය සංගීත කණ්ඩායම්—හා වීඩියෝ සංගීත දර්ශන—මගින් කර තිබෙන ඉමහත් ප්‍රවර්ධනයේ හේතුවෙන් හිප්-හොප් මෝස්තරවලට වේගයෙන් වැඩිවෙන ඉල්ලුමක් සඳහා පෝර දමා ඇත.
බාච්චු පෙනුම ඉතා මිල අධිකය—වළලුකර වැසෙන සේ පළඳින පාවහන් පමණක්ම ගැනීමට විශාල මුදල් ප්‍රමාණයක් වැය කළ යුතුයි! එහෙත් බොහෝ යෞවනයන්ට හැඟෙන්නේ ගෙවන මුදලට එය වටිනා බවය. මාර්කස් නමැති යෞවනයෙකු පවසන පරිදි, “ඔබ බාච්චු ඇඳුම් අඳින්නේ නැත්නම්, ඔබ හිප් හොප් කෙනෙක් නොවෙයි.”
ජනප්‍රිය “ග්‍රන්ජ්” නමැති පිළිවෙළක් නැති පෙනුම වෙත රුචියක් දක්වන යෞවනයන්ට එය ප්‍රශ්නයක් නොවේ. මෙම ඇඳුම් විලාසය පිළිබිඹු කරන ඉරුණු ජීන්ස් සහ වර්ණවත් කොටු සහිත කමිස, සමහර රහස් අමෙරිකානු රොක් කණ්ඩායම් මගින් ජනප්‍රිය කර තිබේ. එක් ලේඛිකාවක් “ග්‍රන්ජ්” නිළ ඇඳුම හැඳින්වූයේ “දුගීකම මවාපෑමක්” වශයෙනි. ඇත්තෙන්ම, බොරු ඇඟවීමක් පමණි. ග්‍රන්ජ් ඇඳුම ලාභ නැත. “ප්රතිගාමී විලාසිතාද” තිබේ. කැනඩාවේ මක්ලින්ස් සඟරාවට අනුව, මේවා “1960 අග භාගයේ හා 1970 මුල් භාගයේ තිබූ විලාසිතාවන් යළි පණගන්වන විලාසිතා වේ.” ඩිස්කෝ සංගීතය මෙන්ම යල් පැන ඇති බව පෙනෙන්ට තිබෙන මෙම විලාසිතාවලට—එනම් ඝන අඩි සහිත පාවහන් සහ බෙල්-බොටම් කළිසම් වැනි ඇඳුම් ආයිත්තම්වලට—යෞවනයන් අධික මිල ගෙවන විට වැඩිහිටියෝ පුදුමයෙන් ඇස් උඩ ඉන්දවාගනිති.
උසස් තාක්ෂණයේ උසස් විලාසිතා
හොඳ නිර්මාණ ශක්තියක් ඇති යෞවනයන්ට සැබවින්ම ඕනෑම දෙයක් උසස් මෝස්තරයක් බවට පත් කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් තවත් උදාහරණයකි, සාක්කු ප්‍රමාණයේ ඉලෙක්ට්‍රොනික් පේජර හෝ බීපර. නිරතුරුව ඇමතිය යුතු වෛද්‍යවරුන් හා වෙනත් නිලධාරීන් මුලදී භාවිත කළ මෙම උපකරණ, නගරබද මත්ද්‍රව්‍ය වෙළෙඳුන් අතර විගස ජනප්‍රිය විය. අනුග්රාහකයන් විය හැකි අය සමඟ රැස්වීම් පිළියෙළ කිරීමට මත්ද්‍රව්‍ය විකුණන්නන්ට බීපර මගින් පහසු කරවිය. ද නිව් යෝර්ක් ටයිම්ස් පවසන පරිදි “ඒවායේ භාවිතය කෙතරම් පැතිර තිබුණාද කිවහොත්, ඒවා මත්ද්‍රව්‍ය සංස්කෘතියේ ලාඤ්ඡනයක් බවට පත්විය.” එසේනම්, රට පුරා පාසැල් කාර්ය මණ්ඩල මගින් මෙම කුඩා උපකරණ පාසැලට ගෙන ඒම තහනම් කිරීම පුදුමයක් නොවේ!
කෙසේවුවත්, ඉන් ඵලක් වූයේ නැත. නගරබද යෞවනයන් අතර බීපර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. සමහරු තම දෙමව්පියන්ට තමන් සමඟ වඩා හොඳින් අදහස් හුවමාරු කිරීමට හෝ හදිසි අවස්ථාවකදී ඔවුන්ව ඇමතීමට හැකි තොරතුරු දැනුම්දීමේ උපකරණයන් වශයෙන්, එනම් එය නිෂ්පාදනය වූ අරමුණ සඳහා භාවිත කරති. එහෙත් වෙනත් යෞවනයන්ට මෙම උපකරණය වනාහි හුදෙක් මෝස්තර භාණ්ඩයක් පමණි. ටයිම්ස් පවසන පරිදි, “නහඹරයෝ පිටේ ගෙනයන බෑග් තුළ, කබා සාක්කුවල සහ ඉණ පටිවල බීපර රඳවති. බීපර අත්ඔරලෝසු, බීපර කර පටි, බීපර පෑන්, නිල්, රෝස සහ රතු බීපර මෙන්ම නිකම්ම කළු සහ දුඹුරු සාමාන්‍ය බීපරද තිබේ.” වයසින්-වැඩුණු ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිතය සඳහා තවමත් ඉබේම වාගේ බීපර සම්බන්ධ කරන අතරතුර, නිව් යෝර්ක් නගරයේ පොලිස් නිලධාරියෙක් මෙසේ පවසයි: “එය උණු කැවුම් මෙන් විකිණෙන භාණ්ඩයක් විතරයි. ඒවා සතු ළමුන්ගෙන් ස්වල්පදෙනෙක් මත්ද්‍රව්‍ය ගන්නා නමුත්, වැඩිදෙනෙක් එසේ නොගනියි. එය නිකම්ම විලාසිතාවක් පමණයි.”
කාලීන විලාසිතා—අශෝභනය, අනතුරුදායකය
හොඳම කාලීන විලාසිතා යයි පැවසිය හැකි ඇඳුම් අඩුම තරමින් යන්තම් ඉවසිය හැකි නමුත්, අනික් අන්තයේ ඒවා කොහෙත්ම සුදුසු නොවන අතර, සමහර ජනප්‍රිය විලාසිතා සාමාන්‍ය බුද්ධියේ සියලු නීති උල්ලංගනය කරන බව පෙනෙන්ට තිබේ. ඇතැම් ජනප්‍රිය නිරූපිකාවන්ගේ සිහින් පෙනුම අත්කරගනු වස්, බොහෝ යෞවනියෝ—තම සෞඛ්‍යයට සහ ශුභසිද්ධියට සිදුවන දේ නොසිතා ආහාර පාලිත ක්‍රම අනුගමනය කරති. “ආහාර පාලිත ක්‍රම අනුගමනය කිරීම ජාත්‍යන්තර වසඟ වීමකි,” යයි ඇල්වින් රෝසන්බෝම් ලියයි. “හොඳින්ම-විකිණෙන පොත් 10ක ඕනෑම ලැයිස්තුවක් අරන් බලන්න, ඔබට බොහෝවිට ආහාර පාලිත පොතක් ලැයිස්තුගත කර තිබෙන බව දක්නට ලැබෙයි.” මෙම ජනප්‍රිය පොත්වලින් වැඩි හරියක් අනුමාන සාර්ථකබවක් තිබෙන ආහාර පාලිත ක්‍රම වැඩිදියුණු කරන බව රෝසන්බෝම් හුවා දක්වයි. නහඹරයන් අතර අග්නිමාන්ද්‍යය වැනි—ආහාර ගැනීමේ අක්‍රමිකතා වැඩිවීම නිසා බොහෝ ප්‍රවීණයෝ සිහින්වීමේ ආශාවට දොස් පවරති.a
පෞද්ගලික පෙනුම සැරසීමට කරන වෙනත් විලාසිතා ක්‍රම, ඊට සමානවම අනතුරුදායක—හා අශෝභන විය හැක. නියූස්වීක් සඟරාවේ ලිපියකට අනුව, “පැරණි මිනිසුන්ගේ සහ දාමරිකයන්ගේ කලාව වූ පච්ච කෙටීම, මෝස්තර රැල්ල තුළට නොවෙනස්ව ගමන් කරමින් පැවත තිබේ.” ජනප්‍රිය නළු නිළියන්ගේ සහ හෙවි-මෙටල් රොක් සංගීතඥයන්ගේ ආදර්ශයෙන් කුල්මත් වූ සමහර යෞවනයෝ ස්ථිරයෙන්ම විසිතුරු ලෙස තමන්ගේම ශරීරයෙහි පච්ච කොටාගැනීමට අවස්ථාවක් එනතුරු බලා සිටිති. පච්ච කොටන තීන්ත හේතුවෙන් ඇතිවන හෙපටයිටිස් සහ අසාත්මික ප්‍රතික්‍රියාවල හානිය ගැන වෛද්‍යවරුන් දෙන අනතුරු ඇඟවීම්වලට ඔවුන් කිසි බියක් දක්වන්නේ නැති බව පෙනෙන්ට තිබේ.
නැතහොත් ශරීරය විදීම නමැති අරුමපුදුම විලාසිතාව ගැන කුමක් කිව හැකිද? ඇතැම් සංස්කෘතීන්වල ස්ත්‍රීන් කන් විදීම සිරිතක් විය හැකි වුවත්, සමහරු සියලු හොඳ සිහිය අභිබවා යමින් තම දිව සහ නාභිවල හිල් විද, නෙතට විගස ගැටෙන ආභරණ එල්ලති. තම දෙමව්පියන්ව කේන්ති කිරීමට අදිටන් කරගන්නා ඕනෑම යෞවනයෙකුට හෝ යෞවනියකට, වඩාත්ම එසේ කළ හැකි වන්නේ ලොකු නාස් තෝඩුවක් දැමීමෙන්ය.
කාලීන විලාසිතා—ඒවා පිටුපස ඇත්තේ කුමක්ද?
ඇඩොලෙසන්ට්ස් ඇන්ඩ් යූත් පොත, කාලීන විලාසිතාවක් යන්න නිර්වචනය කරන්නේ “ලබ්ධියක ස්වරූපයක් ගන්නා විටින් විට කෙටි කලක් පවතින විලාසිතාවක් වශයෙනි. කාලීන විලාසිතා නිර්වචනය කරනවා නම්, ඒවා තාවකාලික සහ ස්වභාවය කලින් නිශ්චය කළ නොහැකි, විශේෂයෙන්ම නහඹරයන් අතර පවතින ඒවා වේ.” එහෙත් යෞවනයන් මිලියන ගණනකට හදිසියෙන්ම බාච්චු කලිසම් ඇඳීමට හෝ බීපර රැගෙන යෑමට සලසන දේ කුමක්ද? එම ප්‍රශ්නයට විද්‍යාත්මක උත්තරයක් දීමට හැකිව තිබුණි නම්, නිෂ්පාදිතයෝ සහ නිවේදකයෝ බෙහෙවින් කැමති වෙති. දි ඉකොනමිස්ට් යන බ්‍රිතාන්‍ය සඟරාවේ ලිපියක් මෙසේ පිළිගත්තේය: “කාලීන විලාසිතා සහ මෝස්තරවලට සාධාරණ පහදාදීමක් දිය නොහැකි බව පෙනේ.”
කෙසේවුවද, ඇඩොලෙසන්ට්ස් ඇන්ඩ් යූත් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට වෙර දරමින්, මෙසේ පවසයි: “කාලීන විලාසිතාවල ජනප්රියභාවය පැහැදිලි කිරීමට විවිධ හේතු සාධක තිබිය හැක: අවධානය ඇදගැනීමේ ආශාව; සම වයසේ කණ්ඩායම් අගය කොට සලකන දේට එකඟවීමට ඇති බලවත් කැමැත්ත; පුද්ගලයන් වශයෙන් මෙන්ම වයස් සීමාවන්ට ඇතුළත් කණ්ඩායම් වශයෙන් විශිෂ්ටත්වයක් සඳහා ඇති අවශ්‍යතාව; එමෙන්ම අසාමාන්‍ය දේට ආකර්ෂණය වීම වේ.” නහඹර යෞවනයෙක් එය මෙසේ සරලව පහදයි: “පිස්සු දේවල් කිරීමට සහ ඔබේ ශරීරයෙන් එය පිටතට ගැනීමට හොඳම කාලයකි ජ්‍යෙෂ්ඨ පාසැලේ ගත කරන කාලය.”
බයිබලය යෞවනත්වයේ හැසිරීම හෙළාදකින්නේ නැත. ඇරත්, එය මෙසේ පවසයි: “යෞවනයෙනි, ඔබේ යෞවනය භුක්තිවිඳින්න. ඔබ තවමත් යෞවනව සිටියදී සන්තෝෂවන්න. ඔබට වුවමනා දේ කරන්න, ඔබේ හෘදයේ ආශාව ලෙස හැසිරෙන්න.” කෙසේවුවද, එම අවවාදයත් සමඟම බයිබලය මෙම අනතුරු ඇඟවීමද කරයි: “ඔබ කුමක් කරතත් දෙවියන්වහන්සේ විසින් එය විනිශ්චය කරන බව මතක තබාගන්න.” (දේශනාකාරයා 11:9, ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන්) මෙම බැරෑරුම් අවවාදය ගැන කල්පනා කර බලන කල, ක්‍රිස්තියානි යෞවනයෙකු අලුත්ම කාලීන විලාසිතාවලට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? කාලීන විලාසිතා පැමිණෙන ඉක්මනින් එම රැල්ලට හසුවන පළමු තැනැත්තා ඔබ විය යුතුද? මෙම කාරණා සම්බන්ධයෙන් මෙම ලිපි මාලාවේ අපගේ ඊළඟ කලාපය යම් උපකාරවත් උපදෙස් ඉදිරිපත් කරනු ඇත. g94 11/22
[පාදසටහන්වල]
a ආහාර ගැනීමේ අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු සඳහා 1992 ජූනි 8, පිබිදෙව්! පිටු 22-25 බලන්න. බර අඩුවීම සම්බන්ධයෙන් සමබර තොරතුරු සඳහා 1994 සැප්තැම්බර් 8 සහ ඔක්තෝබර් 8 “යෞවනයෝ අසති . . . ” කලාපද බලන්න.
[24වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“මේ කමිස . . . හැම යෞවනයෙක්ම වගේ අඳිනවා.”—දාහත් හැවිරිදි ඒවරි
[25වන පිටුවේ පින්තූරය]
ශරීරය විදීම හා පච්ච කෙටීම ඉතා ජනප්‍රිය වී ඇත