ඔබ සංවේදනීයව සවන් යොමු කරන්නෙක්ද?
ඔබගේ ජීවිතයට සම්බන්ධ සෑම කෙනෙකුටම මිල අධික දීමනාවක් දීමට ඔබට හැකියාව තිබූ බව කල්පනා කර බලන්න. ඔවුන් කොතරම් සන්තෝෂවත් මෙන්ම කෘතඥපූර්වක වනු ඇත්ද! ඇත්තවශයෙන්ම, අන් අයට විශේෂ දීමනාවක්, එනම් ඔවුන්ට සැබවින්ම අවශ්‍ය දෙයක් දීමට ඔබට හැක. ඊට සතයක්වත් වැය වන්නේ නැත. එය කුමක්ද? ඔබේ අවධානයය. බොහෝදෙනෙක් අවධානය ලබනවාට කැමැත්තක් දක්වන අතර, එසේ ලැබෙන විට අගය කිරීමකින් යුක්තව ප්‍රතික්‍රියා කරත්. කෙසේවෙතත්, ගුණාත්මක අවධානයක් යොමු කිරීමට නම්, ඔබ සංවේදනීයව සවන් යොමු කරන කෙනෙකු විය යුතුය.
ඔබ දෙමාපියෙකු නම් හෝ සේවා ස්ථානයක ස්වාමියෙකු නම්, එසේත් නැතහොත් උපදෙස් සහ මඟ පෙන්වීම ලබන්ට මනුෂ්‍යයන් ඔබ වෙතට පැමිණෙන තත්වයක සේවය කරන කෙනෙකු නම්, සංවේදනීය ලෙස සවන්දීමට ඔබට අවශ්‍යය. ඔබ එසේ නොකරන්නේ නම්, ඔබට අනුකම්පාවේ ඌනතාවක් තිබෙන බව ජනයා විසින් සොයාගනු ලබන අතර, ඔබ කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට පාඩු සිදුවනවා ඇත.
නිතරම පාහේ ඔබගෙන් උපදෙස් ලබා නොගැනුණත්, සහනය සොයමින් මිත්‍රයෙකු ඔබ වෙතට පැමිණීම වැනි අවස්ථාවලදී සංවේදනීය ලෙස සවන්දීමට ඔබට අවශ්‍ය වේ. බයිබල් හිතෝපදේශයක් පවසන්නාක් මෙන්, කතා කිරීමට පෙර සවන් යොමු කිරීමට අසමත් වීමේ ප්‍රතිඵලය අවමානයට ලක්වීම විය හැක. (හිතෝපදේශ 18:13) එසේනම්, ඔබ සංවේදනීයව සවන්දෙන්නෙකු බව නිරූපනය කිරීමට සමහරක් ක්‍රම මොනවාද?
සිත යොමු කරන්න
සංවේදනීය සවන්දෙන්නෙකු යනු කුමක්ද? වෙබ්ස්ටර්’ස් නිව් කොලීජියට් ඩික්ෂනරි “සංවේදනය” මෙසේ නිර්වචනය කරයි: “අනෙකකුගේ හැඟීම් හෝ අදහස්වලට සහභාගි වීමේ හැකියාව.” එම ශබ්දකෝෂයම “සවන්දීම” නිර්වචනය කරන්නේ මෙලෙසයි: “කල්පනාකාරි අවධානයෙන් යුක්තව ඇහුම්කන්දීම.” එමනිසා සංවේදනීය සවන්දෙන්නෙක්, යමෙකු පවසන දෙයට ඇහුම්කන්දීමට වඩා වැඩි යමක් කරයි. ඔහු අවධානය යොමු කර එම තැනැත්තාගේ සිතුවිලි හා හැඟීම්වලට හවුල් වෙයි.
මෙයට, ඔබගේ මනස ඉබාගාතේ යෑමට ඉඩ නොහැර, ඔබ සවන්දෙමින් සිටින දෙයට සිත යොමු කිරීම අවශ්‍ය කරයි. ඔබ පිළිතුරු දෙන්ට යන ආකාරය ගැන කල්පනා කිරීමට පවා සවන්දීමෙන් සිත වෙනතකට යොමු කරවයි. අන් තැනැත්තා පවසන දෙයට ඔබගේ සිත ඒකාග්රව තබාගැනීමට ඔබව හික්මවන්න.
ඔබ සමඟ කතා කරමින් සිටින පුද්ගලයා දෙස කෙළින් බලන්න. ඔබේ ඇස් සැම තැනම දුවනවා නම්, ඔබ තුළ උනන්දුවක් නැති බවක් පැහැදිලි වෙයි. ඔහුගේ අභිනයන් හා ශරීරයෙන් කරන ඇඟවීම් දෙස බලන්න. ඔහු මඳ සිනාවකින් යුක්තව සිටිනවාද නැතහොත් රවනවාද? ඔහුගේ ඇස්වලින් හාස්යබවක්, දුක, නැතහොත් භය සැක පිළිබිඹු වෙනවාද? ඔහු කෙළින් හෙළි නොකළ දෙයෙහි යම් වැදගත්කමක් තිබුණිද? ඔබ දෙන්ට යන උත්තරය ගැන කලබල නොවන්න; ඔබ සිත ඒකාග්රව තබා සවන්දීම නිසා එය නිරායාසයෙන්ම පැමිණෙනු ඇත.
සවන්දීමේදී, සමහරවිට ඔබ ඔබගේ හිස සොලවන්ට හැකියි, එමෙන්ම ‘මට පැහැදිලියි’ සහ ‘මට තේරෙනවා’ යන ඒත්තුගැනීමේ ප්‍රකාශයන් භාවිත කළ හැකියි. ඔබ සවන්දෙමින් සිටින බව මෙමගින් දැක්විය හැක. කෙසේවෙතත්, ඔබ සැබවින්ම සවන් නොදී සිටින විට, හිස සෙලවීම හෝ ඒත්තුගැනීමේ ප්‍රකාශයන් ඉදිරිපත් කිරීම, ඔබ සවන්දෙනවා යයි කල්පනා කිරීමට මිනිසුන්ට සලස්වයි කියා නොසිතන්න. ඇත්තවශයෙන්ම, නොකඩවා වේගවත්ව හිස සෙලවීම නොඉවසිල්ල හෙළි කළ හැකිය. එය හරියට, ‘ඉක්මන් කරන්න. කියන්න තියන දෙයක් ඉක්මන්ට කියලා ඉවර කරන්න’ යනුවෙන් කියනවා හා සමානය.
කෙසේවෙතත්, සවන්දීමේ පිළිවෙළ ගැන වුවමනාවට වඩා වැඩියෙන් සැලකිලිමත් වීමට ඔබට අවශ්‍ය නැත. අවංකව සවන්දෙන්න, එවිට ඔබගේ ප්‍රතිචාර ඔබගේ අවංකභාවය පිළිබිඹු කරයි.
තවද හොඳ ප්‍රශ්න ඇසීම, ඔබ සිත යොමු කරගෙන සිටින බවත්, සවන්දෙමින් සිටින බවත් අඟවයි. ඔබ උනන්දුවන බව ඒවා මගින් අඟවයි. නොපවසා තිබෙන නැතහොත් අපැහැදිලි කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්න. වැඩි විස්තර ඇතුව තවදුරටත් විවෘතව කතා කිරීමට අනික් තැනැත්තාව දිරිගන්වන ප්‍රශ්න අසන්න. ඔබ ඉඳ හිට අතරමැදි වීම ගැන කනස්සලු නොවන්න, නමුත් වුවමනාවට වඩා වැඩියෙන් එසේ නොකරන්න. දේවල් පැහැදිලිව අවබෝධ කරගැනීම සවන්දීමේ ක්‍රියාවලියේ කොටසකි. අතරමැදිවීම ප්‍රමාණය ඉක්මවා නොකෙරේ නම්, තමා කියන සියල්ල සම්පූර්ණයෙන්ම අවබෝධ කරගැනීම සඳහා වූ ඔබගේ ආශාව අනික් තැනැත්තා විසින් අගය කරනු ඇත.
තේරුම්ගන්නා බව පෙන්වන්න
ඔබ සමඟ කතා කරමින් සිටින තැනැත්තා ගැන ඔබට සැබවින්ම අනුකම්පාව දැනුණත්, මෙය වඩාත්ම දුෂ්කර කොටස විය හැකිය. සිත්තැවුලට පත්වූ යමෙකු ඔබ වෙතට පැමිණෙන විට, ඔබ එකවරම ඒකාන්ත යෝජනා හා විසඳුම් ඉදිරිපත් කරන්නෙහිද? තවත් කෙනෙකුගේ දුක සමඟ සැසඳීමේදී ඔහුගේ තත්වය එතරම් නරක නැති බව ඔබ එකවරම පෙන්වා දෙන්නෙහිද? මෙය සමහරවිට උපකාරවත් වන බව පෙනුණත්, ඊට නිෂේධාත්මක බලපෑමක් තිබිය හැකිය.
සවන්දීම නතර කර විසඳීමට පටන්ගැනීම සඳහා ඔබ නැඹුරුවාවක් දැක්වීමට හේතු රැසක් තිබිය හැක. පීඩිත පුද්ගලයාගේ මානසික ස්වභාවය ඉහළ නැංවීමට හරියටම අවශ්‍ය වන්නේ ඔබගේ උද්යෝගවත් යෝජනා යයි ඔබ කල්පනා කළ හැකිය. එසේත් නැතහොත් “වැරදී” ගොස් තිබෙන යමක් “හරිගැස්වීම” ඔබගේ වගකීම බවත් ඔබ එසේ නොකළොත්, ඔබ උපකාරවත් නොවන බව හෝ “ඔබගේ වගකීම ඉටු නොකරන” බව හෝ ඔබට හැඟිය හැකිය.
කෙසේවෙතත්, මුලින්ම විසඳුම් රැසක් ඉදිරිපත් කරනු ලැබේ නම්, සාමාන්‍යයෙන් මෙවන් අධෛර්යවත් කරන පණිවුඩ ලැබීමට සලස්වයි, එනම්, ‘මට පෙනෙන විදිහට නම්, ඔබගේ ගැටලුව ඔබ සිතනවාටත් වඩා සරල එකක්.’ නැතහොත්, ‘ඔබගේ ශුභ-සිද්ධියට වඩා, ගැටලු-විසඳන කෙනෙකු හැටියට මගේ නම්බුව ගැන මම වැඩියෙන් උනන්දු වෙනවා.’ එසේත් නැතහොත්, සමහරවිට, ‘මට කොහොමත් තේරෙන්නේ නැහැ—තවත් තේරුම්ගන්න මට අවශ්‍යත් නැහැ.’ පීඩිත තැනැත්තෙකුගේ ගැටලුව අන් අයගේ ගැටලු සමඟ සන්සන්දනය කිරීම බොහෝවිට මෙම අදහස ඉස්මතු වීමට සලස්වයි, ‘අනිත් අය ඔබට වඩා වැඩියෙන් දුක්විඳිනවා, මෙලෙස කලබල වීම ගැන ඔබ ලජ්ජා විය යුතුයි.’
ඔබ නොදැනුවත්වම එබඳු අධෛර්යවත් කරවනසුලු පණිවුඩ නිකුත් කරන්නෙහි නම්, ඔබ සැබවින්ම ඔබගේ මිත්‍රයාට ඇහුම්කන් නොදුන් බවත්, ඔහු කියන දේ ඔබට නොවැටහී ගිය බවත්, ඔහුට හැඟෙයි. ඔබ ඔහුට වඩා උසස් බව ඔබ සිතනවා කියා පවා ඔහු නිගමනය කළ හැක. ඊළඟ වතාවේදී, සහනය සඳහා ඔහු වෙනත් යමෙකු වෙතට ඇදී යා හැකිය.—පිලිප්පි 2:3, 4.
ඔබගේ මිත්‍රයා අනවශ්‍ය ලෙස කලබල වී සිටිනවා නම් කුමක් කළ හැකිද? නිදසුනකට, යම් වලංගු හේතුවක් නොමැතිව ඔහුට වැරදිසහගත බවක් හැඟිය හැක. ඔහුට හොඳ හැඟීමක් ලබාදීම සඳහා එසේ පැවසීමට ඔබ ඉක්මන් විය යුතුද? නැත, මන්දයත් ප්‍රථමයෙන් ඔබ ඔහුට සවන්දී නැත්නම්, ඔබ ඔහුව කොතරම් සැනසුවත් ඉන් ඵලක් නැත. සහනයක් දැනෙනවා වෙනුවට, තවමත් තම බර අඩු වී නැති බවත්, තම වරදසහගතභාවය තවමත් උසුලාගෙන සිටින බවත්, ඔහුට හැඟෙනු ඇත. දහනවවන ශතවර්ෂයේ දර්ශනවාදියෙකු වූ හෙන්රි ඩේවිඩ් තොරෝ කාරණය දැක්වූ පරිදි, “සත්‍යය පැවසීමට දෙදෙනෙක් අවශ්‍ය වේ: එනම් පැවසීමට එක්කෙනෙක් සහ ඊට ඇහුම්කන් දීමට තවත් කෙනෙක්.”
බයිබලය දෙන මඟ පෙන්වීම කොතරම් යෝග්‍ය වේද: “ඇසීමට ඉක්මන්වේවා, කථාකිරීමට . . . ප්‍රමාද වේවා.” (යාකොබ් 1:19) තවද සංවේදනය ඇතුව සවන්දීමද ඉතා වැදගත් වේ! ඔබ කෙරෙහි විශ්වාසය තබා කතා කරන පුද්ගලයාගේ හැඟීම් බෙදාගන්න. ඔහුගේ ගැටලුවේ අසීරුතාව, ඔහුගේ සිත්තැවුලේ ගැඹුර පිළිගන්න. ‘ඔබට අද දවස හරි නැති එක විතරයි,’ නැතහොත්, ‘ඇත්තටම දේවල් එතරම්ම නරක නැහැ,’ බඳු ප්‍රකාශයන් සමඟින් ඔහුගේ ගැටලුව කුඩා කොට නොදක්වන්න. ඊට වෙනස්ව එලෙස ගැටලුව කුඩා කොට දැක්වීම ඔහුගේ කැළඹුණු හැඟීම් වඩාත් තියුණුවීමට පවා සැලැස්විය හැකිය. ඔබ ඔහුගේ පණිවුඩය බැරෑරුම් ලෙස නොසලකන නිසා ඔහුගේ බලාපොරොත්තු සුන් වනු ඇත. එමනිසා කියනු ලබන දෙය ඔබට ඇසෙන බවත්, ඔහුට දැන් පවතින තත්වය ගැන හැඟෙන්නේ මෙලෙසට කියා ඔබ පිළිගන්නා බවත්, ඔබගේ ප්‍රතිචාරවලින් ඇඟවීමට ඉඩ සලසන්න.
සංවේදනීයව සවන්දීම යන්නෙන් අදහස් කරන්නේ, ඔබ කෙරෙහි විශ්වාසය තබා දේවල් කියන පුද්ගලයා සමඟ ඔබ එකඟවීම නොවේ. “මගේ රස්සාවට මං ආසම නැහැ!” යනුවෙන් පුද්ගලයෙකු ප්‍රකාශ කරන විට එය යුක්තිසහගත නොවන බව ඔබට හැඟිය හැක. එහෙත් ඔබ එකඟ නොවීමෙන් (‘ඔබ එහෙම හිතන එක සුදුසු නැහැ’) හෝ ප්‍රතික්ෂේප කිරීමෙන් (‘ඔබ ඇත්තටම ඒක අදහස් කරන්නේ නැහැ’), ප්‍රතිචාරය දැක්වුවහොත් ඔබට තේරෙන්නේ නැති බව ඔහු නිගමනය කරයි. ඔබට තේරෙන බව ඔබගේ ප්‍රකාශයන් මගින් හෙළි විය යුතුය. තම රැකියාවට අප්‍රිය කරන තැනැත්තාට ඔබට මෙසේ කිව හැක, ‘එය පීඩාකාරි එකක් වෙන්න ඇති.’ පසුව පැහැදිලි විස්තර ඉල්ලා සිටින්න. එමගින් ඔබ කරමින් සිටින්නේ, ඔහු තමාගේ රැකියාවට අප්‍රිය කළ යුතු බවට අනිවාර්යයෙන්ම එකඟ වීම නොව, නමුත් ඔහුට මේ දැන් මෙලෙස හැඟෙන බව පිළිගැනීම පමණි. එමගින් යමෙකු තමාට සවන්දුන්නාය යන හැඟීමක්, තම හැඟීම් සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කිරීමේ තෘප්තියක් ඔබ ඔහුට ලබාදෙනවා ඇත. බොහෝවිට, ගැටලුවක් ගැන තවත් කෙනෙකුට පැවසීමෙන් එහි බර සැහැල්ලු විය හැකිය.
ඊට සමාන ආකාරයකින්, “මගේ බිරිඳ අද වෛද්‍ය පරීක්ෂණයකට ගියා,” යනුවෙන් පවසන පුද්ගලයෙක්, “මට භය හිතෙනවා,” යන්න අදහස් කළ හැකිය. ඔබ මෙම තත්වය තේරුම්ගන්න බව ඔබගේ ප්‍රතිචාරයෙන් ඒත්තුගැන්වීමට සලස්වන්න. ඔහුගේ වදන් පිටුපස තිබෙන අදහසට ඔබ සවන්දුන් බව ඉන් ඇඟවෙයි, මෙය ඔහු අදහස් කළ දෙය නොසලකා හැරීමෙන්, ප්‍රතික්ෂේප කිරීමෙන් හෝ ඔහු බිය නොවිය යුතු බව පැවසීමෙන්, ඔහුව හරිගැස්වීමට තැත් කිරීමට වඩා සැනසිලිදායක වේ.—රෝම 12:15.
හොඳ සවන්දෙන්නෝ කථාවෙහිත් යෙදෙති!
“සවන් දෙන නමුත් ඉතා අඩුවෙන් කතා කරන අය ගැන දි ආර්ට් ඔෆ් කොන්වර්සේෂන් අදහස් දක්වමින් කියා සිටින්නේ, ඔවුන් එසේ කරන්නේ “ඔවුන්ට නිහඬව සිටීමෙන් ගරුගම්භීර ඉරියව්වක් ලබාදෙන බව සිතන” නිසාය. කතා කිරීමේ සම්පූර්ණ බරම අනික් තැනැත්තාට ඉසිලීමට මෙමගින් බල කෙරේ, මෙය අකාරුණික දෙයකි. අනික් අතට, ඔබ සවන්දෙමින් සිටින පුද්ගලයා ඔබට යමක් ප්‍රකාශ කිරීමට ඉඩ නොදී නොනවත්වා කතා කරගෙන යනවා නම්, එයත් අකාරුණික මෙන්ම වෙහෙසකාරි දෙයකි. එමනිසා, ඔබ හොඳ සවන්දෙන්නෙකු විය යුතුවාක් මෙන්ම, ඔබටත් උපකාරවත් යමක් පැවසීමට තිබෙන බව අනික් තැනැත්තාට දැනගැනීමට සැලැස්වීමට ඔබත් කැමති විය හැකිය.
ඔබට කුමක් පැවසිය හැකිද? ඔබගේ මිත්‍රයාගේ වචනවලට ගෞරවනීය ආකාරයකින් ඇහුම්කන්දීමෙන් පසුව, දැන් ඔහුට අවවාද කිරීමට ඔබ පටන්ගත යුතුද? එසේ කිරීමට ඔබ සුදුසුකම් ලත් තැනැත්තෙකු නම් ඇතැම්විට එසේ කළ හැකිය. ඔබගේ මිත්‍රයාගේ ගැටලුවට විසඳුමක් ඔබට තිබේ නම්, නිසැකවම ඔබ ඔහු සමඟ එය බෙදාගත යුතුය. ඔබගේ වදන්වලට යම් වැදගත්කමක් තිබෙනු ඇත, මන්දයත් ඔබ ප්‍රථමයෙන් සවන්දීමට කාලය ගත කළ නිසාය. ඔබගේ මිත්‍රයාට අවශ්‍ය ආකාරයේ මඟ පෙන්වීම හෝ උපකාරය සැපයීම සඳහා අවශ්‍ය සුදුසුකම් ඔබට නොතිබේ නම්, එසේ කිරීමට සුදුසු තත්වයක සිටින යමෙකු හමුවීමට ඔහුව යොමු කිරීමට වෙර දරන්න.
කෙසේවෙතත්, ඇතැම් අවස්ථාවලදී, අවවාදය අවශ්‍ය වන්නේවත්, එය සඳහා ඉල්ලීමක් කරනු ලබන්නේවත් නැත. එමනිසා වචන රැසක් කතා කිරීමෙන් ඔබගේ සවන්දීමෙන් ඇති වන හොඳ බලපෑම දුර්වල කිරීම ගැන පරෙස්සම් වන්න. පාලනය නොකළ හැකි තත්වයක් විඳදරාගැනීමට හෝ ඔහුගේ නිෂේධාත්මක හැඟීම්වලට විරුද්ධව කටයුතු කිරීමට කාලය ගත කිරීමට පමණක් ඔබගේ මිත්‍රයාට අවශ්‍ය විය හැකිය. ඔහු ඔබ වෙතට ආවේ ඔහුගේ සිත්තැවුල ඔබ සමඟ බෙදාගැනීමටයි. ඔබ සවන්දුන්නේය. ඔබ ඔහුගේ හැඟීම් බෙදාගත්තෙහිය, ඔබ ඔහු ගැන සැලකිල්ල දක්වන බවත්, ඔහු ගැන සිතන බවත්, යාච්ඤාවලදී මතක් කරන බවත්, ඔබ ඔහුට සහතික කළෙහිය. ඔබ වෙතට නැවත පැමිණීමට ඔහුට නිදහස තිබෙන බවත්, ඔහුගේ ගැටලුවල රහස් ස්වභාවයට ඔබ ගරු කරන බවත් ඔහුට දන්වන්න. ඔබ ඔහුගේ ගැටලුව විසඳන්න තැත් කරනවාට වඩා, ඔහුට අවශ්‍ය විය හැක්කේ එබඳු සැනසුමක් පමණි.—හිතෝපදේශ 10:19; 17:17; 1 තෙසලෝනික 5:14.
සවන් යොමු කිරීමට උපදෙස් එකතු කළත් නැතත්, සම්බන්ධවන දෙපාර්ශ්වයටම එය ප්‍රයෝජනවත් වනු ඇත. කතා කරන තැනැත්තාට ඇහුම්කන් දෙනු ලැබීමේ හා වටහාගනු ලැබීමේ තෘප්තිය ලැබේ. ඔහු පැවසීමට කැමති සියල්ලට ඇහුම්කන්දීමට තරම් යමෙකු සැලකිලිමත්ව සිටිනවාය යන හැඟීමෙන් ඔහු සැනසිල්ල ලබයි. සවන්දෙන තැනැත්තාද විපාක ලබයි. ඔහු දක්වන සැලකිල්ල අන් අය අගය කරත්. ඔහු උපදෙස් දුන්නොත්, එය ප්‍රශංසාවට වටිනා තරම් එකකි, මන්දයත් ඔහුට පැහැදිලි කළ තත්වය සම්පූර්ණයෙන්ම අවබෝධ වන තෙක්, ඔහු කතා නොකරන බැවිනි. සංවේදනීයව සවන්දීමට කාලයක් වැය වන බව සැබෑවකි. එනමුත් මොනතරම් වටිනා ආයෝජනයක්ද! ඇත්තවශයෙන්ම, ඔබගේ කල්පනාකාරි අවධානය ජනයාට දීමෙන්, ඔබ ඔවුන්ට විශේෂ දීමනාවක් දෙන්නෙහිය. g94 12/8