5 පාඩම
හොඳ සවන් දෙන්නෙකු වන්න
1-5. ඇහුම් කන් දීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද, එමෙන් ම විශේෂයෙන් ම සභා රැස්වීම්වල දී එය වැදගත් වන්නේ මන්ද?
1 යෙහෝවඃ වහන්සේගේ සේවකයෙක් හැටියට ඔබ ලබන දියුණුව සෑහෙන දුරට රඳා පවතින්නේ ඔබ ඇහුම් කන් දෙන ආකාරය මත ය. ඔබේ යාව ජීව අධ්‍යාපනයේ දී ඉගෙන ගැනීම කෙරෙහි ඇහුම් කන් දීම වැදගත් කාර්යයක් ඉටු කරයි. කල්පනාකාරී අවධානයකින් අසන විට ඔබ ඇහුම් කන් දෙන්නෙහි ය, නමුත්, කියන ලද දේ මත ඔබේ අවධානය යොමු වී නැත්නම්, එම වචන වැටෙන්නේ අගුල් දැමූ කන් මත ය. ඔබ, තමන්ගේ අවධානයේ කොටසක් සමඟින් පමණක් යොමු වූ පුද්ගලයන් සමඟ කථා කර තිබෙනවාට නිසැක ය. ඔවුන් කී වාරයක් ඔබ සමඟ එකඟ වුවත්, ඔබ කියන දේ ඔවුන් හරි හැටි වටහා නොගත් බවත්, ඒ නිසා ඔබ කී දෙයින් ඔවුන් සැබවින් ම ප්‍රයෝජනයක් නොලැබූ බවත් ඔබ දැන සිටියෙහි ය. එහෙයින්, සෑම අවස්ථාවක දී ම විශේෂයෙන් දිව්‍යමය අධ්‍යාපන පාඨ මාලාවකට සහභාගි වන විට, අපි කොපමණ සුපරීක්ෂාකාරී ලෙස සවන් දිය යුත්තෙමු ද! හිතෝපදේශ 1:6 හි කියා තිබෙන්නේ මෙලෙස ය: “ඤාණවන්තයා අසා ඉගෙනගැන්ම වැඩිකරගන්නේය.”
2 සභා රැස්වීම් යෙහෝවඃ වහන්සේගේ සංවිධානය තුළින් අපට සපයනු ලබන අධ්‍යාපන වැඩසටහනේ කොටසකි. ඕනෑකමින් ඇහුම් කන් දීමෙන් අපි යෙහෝවඃ වහන්සේටත්, අපේ අධ්‍යාපනය සඳහා උන් වහන්සේ සලසා ඇති විධිවිධානයටත් ගෞරව කරමු. එහෙත් අපේ ස්වභාවය නිසා සමහර අවස්ථාවල දී අපේ අවධානය ඒ මේ අත දිවීමට ඉඩ හරින බව දෙවියන් වහන්සේ දන්නා සේක, ඒ නිසා: “හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කාපල්ලා. . . . නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසාපල්ලා; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත් වන්නේ” යයි තමන් වහන්සේ විසින් බහුල ලෙස සපයා ඇති ආත්මික ආහාර අනුභව කරන ලෙස කළ ආරාධනය සම්බන්ධයෙන් උන් වහන්සේ අවධාරණය කළ සේක. (යෙසා. 55:2, 3) අපි සදාකාලික ජීවනය ලැබීමට යන්නෙමු නම්, ඇරත් එම දීමනාව අන් අයට ලබා ගැනීමට උපකාර කිරීමට අදහස් කරන්නෙමු නම්, අපට දෙවියන් වහන්සේගේ සිතුවිලිවලට ඉතා ඕනෑකමින් ඇහුම් කන් දී, ඒවා ග්‍රහණය කර ගැනීමට අවශ්‍ය වනු ඇත.—හෙබ්‍රෙ. 1:1, 2; 2:1.
3 සාවධාන ව ඇහුම් කන් දී ම තුළින් අපේ නිසි බැගෑපත්කම ද පෙන්නුම් කරයි. තව ද බැගෑපත් වීමට අප සියල්ලන්ට ම හොඳ හේතු තිබේ. වෙනත් කෙනෙකුගෙන් අප සියල්ලන්ට ම යමක් උගත හැක; අප කිසිවෙක් සියල්ල දන්නේ නැත. කථිකයාට ව්‍යක්තභාවයෙන් හෝ දක්ෂ කථිකයෙකුගේ වෙන යම් ගුණාංගයක් හෝ අඩු වෙතත් ඔහු කියන දේට සාවධාන ව ඇහුම් කන් දී ප්‍රතිචාරය දැක්වීමෙන් ඔහුට උපකාර කිරීමටත්, ඔහු දිරිගැන්වීමටත් අපේ අව්‍යාජ බැගෑපත්කම අප පෙලඹ විය යුතු ය. ඇරත්, අප විසින් මීට පෙර කිසි විටෙක කල්පනා නොකළ අර්ථ ප්‍රභේදයක් හෝ කෝණයක් ඔහු විසින් සඳහන් කළ හැකි බවට දන්නේ කවරෙක් ද? ආත්මික වශයෙන් පවසන ආකාරයට ළදරුවන්ගේ මුඛයන් පවා ඥානාලෝකය සැපයීමට යෙහෝවඃ වහන්සේට පුළුවන.—මතෙ. 11:25.
4 සභා රැස්වීම්වල දී සාවධාන ව ඇහුම් කන් දී ම ඉතා වැදගත් ය, මක්නිසා ද අප එහි දී ඉගෙන ගන්නා දේවල් අපේ ජීවිතවලට අදාළ කිරීමට තිබෙන නිසා ය. අපට අලුත් පුද්ගලිකත්වය පැළඳ ගත හැක්කේ “ඒකාන්ත දැනගැන්ම” ලබා ගැනීම තුළින් ය. (කොලො. 3:9, 10, NW) නමුත් අපි සාවධාන ව ඇහුම් කන් නොදී විස්තරවලට අවධානය යොමු කිරීමට අසමත් වන්නෙමු නම්, අපේ ජීවිතවල කුමන වෙනස්කම් සිදු කිරීමට අවශ්‍ය දැයි අපට සම්පූර්ණයෙන් ම අවබෝධ නොවන නිසා අපේ ආත්මික වර්ධනයට බාධා පැමිණෙනු ඇත. එමෙන් ම වාචික හෝ ලිඛිත පුනරීක්ෂණවල දී නිවැරදි පිළිතුරු දීම වැදගත් ය. නමුත් අපේ උදාර බලාපොරොත්තුව ගැන ක්ෂේත්‍ර සේවයේ දී ප්‍රශ්න කරන සෑම දෙනාට ම පිළිතුරක් දීමට සූදානම් ව සිටීම මීට වඩා කොපමණ වැදගත් ද!
5 කියනු ලබන දෙයට සාවධාන ව ඇහුම් කන් දීමේ හැකියාව ඔබ වර්ධනය කරන විට, ඔබට ඇසෙන දේ මතක තබා ගැනීමේ හැකියාව ද වැඩි දියුණු වනු ඇත.
6-8. කථාවක් ඉදිරිපත් කරනු ලබන විට, ඔබ ඔබේ මනස ඒ මේ අත දිවීමෙන් වළක්වා ගන්නේ කෙසේ ද?
6 සවන් දෙන ආකාරය. රැස්වීම්වල දී වෙනත් කරුණු මගින් අපගේ මනස අන් අතකට යැවීමට ඉඩ හැරීම පහසු දෙයකි. දවසේ සිද්ධීන් වෙත එය යොමු වී තිබිය හැක, එසේ නැත්නම්, හෙට දින කිරීමට ඇති යම් දෙයක් ගැන අප සැලකිලිමත් විය හැක. එහෙත් කියනු ලබන දෙයට කෙනෙක් ඕනෑකමින් ඇහුම් කන් නොදෙන්නේ නම්, එහි සිටීමෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? එබැවින්, අප එක් එක්කෙනා තම තමාගේ සිතුවිලි කෙරෙහි දැඩි පාලනයක් ඇති කරමින් හික්මවීමට අවශ්‍ය ය. මනස ඉබාගාතේ යෑමට ඉඩ නොහැර, කරනු ලබන සාකච්ඡාවට සම්පූර්ණ අවධානය යොමු කිරීමට කෙනෙක් අධිෂ්ඨාන කළ යුතු ය. මෙය හරියට, සාකච්ඡාවට භාජනය වන විෂයට බාහිර සියලු ම සිතුවිලි මනෝමය තීරයකින් වැසීමට සමාන විය යුතු ය. සිත එක්තැන් කිරීම යනු මෙයයි.
7 කථිකයා විසින් උපයෝගි කරන කරුණු සහ ශුද්ධ ලියවිලි පද සටහන් කර ගැනීම, මනස ඉබාගාතේ යාමෙන් හෝ දවල් සිහින දැකීමේ සිරිතෙන් ආරක්ෂා කළ හැකි හොඳ ක්‍රමයකි. මෙම සටහන් කෙටි විය යුතුයි, සටහන් අධික වීම ඔබේ අවධානයට බාධාවක් වන නමුත්, ටික වේලාවකට සිත එක් තැන් කර ගැනීමට උපකාරී වෙයි. මෙම සටහන් පසු අවස්ථාවක ඔබට ප්‍රයෝජනවත් විය හැක. එහෙත්, ඔබ ඒවා කිසි විටෙක නැවත භාවිතා නොකළත් කියනු ලබන දේ මත අවධානය යොමු කර තැබීමට ඔබට ඒවා සහාය වනු ඇත. ඔබ සාකච්ඡා කරනු ලබන විෂයට ගැඹුරු ලෙස සම්බන්ධ වන අතර, කථිකයාගේ ප්‍රධාන තර්ක ඔබට ඉතා පහසුවෙන් දැක්විය හැක.
8 සාමාන්‍ය සම්භාෂණයක දී සාකච්ඡා කරනු ලබන විෂය ගැන අනෙක් පුද්ගලයා බුද්ධිමත් ප්‍රශ්න මතු කරන්නේ නම්, ඔහු හොඳින් සවන් දෙන බවට එය හොඳ ලක්ෂණයකි. එමෙන් ම, සූදානම් කළ කථාවකට ඇහුම් කන් දෙන විට දී, ඔබ නිර්මාණාත්මක ප්‍රශ්න මතු කොට, කථිකයා ඒවාට පිළිතුරු දෙන්නේ දැයි බලා සිටීම ඔබේ මනස මාතෘකාවට අවධානය යොමු කර ඇති බවට හොඳ සාක්ෂියකි. වෙනත් දේවල් අතර, ඉදිරිපත් කරනු ලබන කරුණු ඔබට භාවිතා කළ හැක්කේ කෙසේ දැයි ඔබෙන් ම විමසන්න.
9. කථාවකට ඇහුම් කන් දෙන විට, සාපේක්ෂ වශයෙන් කල්පනා කිරීමේ ඉක්මන් වේගය වාසි දායක ලෙස උපයෝගි කළ හැක්කේ කෙසේ ද?
9 කථිකයාට කථා කළ හැකි වේගයට වඩා වැඩි වේගයකින් සාමාන්‍ය පුද්ගලයෙක් කල්පනා කරයි, ඒ නිසා, බාහිර සිතුවිලි මනසට ඇතුල්වීමට ඉඩ සැලසේ. කල්පනා කිරීමේ සාමාන්‍ය වේගය විනාඩියකට වචන 400ක් බවත්, නමුත් කථා කිරීමේ සාමාන්‍ය වේගය විනාඩියකට වචන 125ක් බවත් ගණන් බලා ඇත. කෙසේ වුවත්, ඉදිරිපත් කරනු ලබන කරුණු ගැන මෙනෙහි කිරීමෙන් ඒවා සාරාංශ කිරීමෙන්, පුනරීක්ෂණය කිරීමෙන් සහ එමගින් ඒවා අපේ මනසේ ස්ථිර ලෙස ධාරණය කර ගැනීමෙන් මෙම කල්පනා කිරීමේ වේගය අපේ ප්‍රයෝජන සඳහා යොදා ගත හැක.
10, 11. හරි චේතනාව සවන් දීමට ආධාරකයක් විය හැක්කේ කෙසේ ද?
10 කථිකයා ඉදිරිපත් කරන වැදගත් කරුණු සිතට ගත හැකි තවත් ක්‍රමයක් නම්, හරි චේතනාවෙන් යුක්ත ව ඇහුම් කන් දීමයි. කථිකයාගේ කරුණු හෝ ඉදිරිපත් කිරීමේ විලාසය විවේචනය කිරීම අපේ සවන් දීමේ අරමුණ නොවේ. දිව්‍යාණ්ඩු සේවා පාසලේ උපදෙස් දීමේ වගකීම පැවරෙන්නේ පත් කළ අවේක්ෂකට ය. ඒ නිසා කථිකයාට ඉදිරිපත් කිරීමට ඇති ප්‍රයෝජනවත් තොරතුරුවලින් යමක් ඇත්නම්, ඒවාට සිත යොමු කිරීමට, අන් අයට නිදහස ඇත.
11 එමෙන් ම, පාසල් අවේක්ෂක ශිෂ්‍ය කථිකයන්ට උපදෙස් දෙන විට, එම උපදෙස්වලට තමා එකඟ වන්නේ ද නැද්ද කියා තවත් ශිෂ්‍යයෙක් තීරණය කිරීම ඔහුට ප්‍රයෝජනවත් වන්නේ කලාතුරකිනි. ඒ වෙනුවට එම උපදෙස ම තමාටත් අදාළ වේ ද, එසේ නම් එයින් තමා ප්‍රයෝජනය ලබන්නේ කෙසේ ද කියා තමාගෙන් ම විමසා ගැනීම ඔහුට ස්ථිර වශයෙන් ම ප්‍රයෝජනවත් වනු ඇත. මේ අනුව තමාගේ දියුණුව තමාට පුද්ගලික ව කථා කිරීමට පැවරෙන වාර ගණන්වලට සීමා නොකොට, හොඳින් සවන් දෙන්නෙක් වීමෙන් ඉදිරිපත් කරනු ලබන එක් එක් කථා මගින් ඔහුට වර්ධනය වීමට උපකාර කරනු ලැබේ.
12. හොඳ ශ්‍රාවකයන් වීමට දරුවන්ට ඉගෙන ගත හැක්කේ කුමනාකාරයෙන් ද?
12 සාවධාන ශ්‍රාවකයන් වීමට යෞවනයන් ව සහ දරුවන් ව පුහුණු කළ යුතු ය. ඔවුහු දෙමාපියන් විසින් දැකිය හැකි තැනක වාඩි වී සිටීම මහත් උපකාරයකි. ඔවුන්ට කියවීමේ හැකියාව ඇත්නම්, භාවිතා කරනු ලබන ප්‍රකාශනයේ පුද්ගලික පිටපතක් ඔවුන් සතු ව තිබීම දිරිගන්වන සුලු ය. සාමාන්‍ය වශයෙන්, වැඩසටහනට බාහිර දෙයක නිරත වී කාලය ගත කිරීමට ඔවුනට අවසර දීම අනුවණකමකි. සවන් දීමට ප්‍රබෝධයක් වශයෙන් ගෙදර ගිය විට තමන් ඉගෙන ගත් දෙයක් ගැන ප්‍රශ්න කරනු ලබන බව ඔවුන්ට අවබෝධ කර විය හැක. ඔවුන් රැස්වීමේ කියන ලද යමක් මතක තබා ගත් විටක දී හෝ සටහන් කර ගත් විටක දී ඔවුන්ට උණුසුම් ලෙස ප්‍රශංසා කළ යුතු ය.—ද්වි. 31:12.
13, 14. අපගේ සවන් දීම කෙරෙහි ආහාර ගැනීමේ පුරුදු බලපෑ හැක්කේ කෙසේ ද?
13 බර ආහාර වේලක් ගැනීම නින්ද ඇති කරවන නිසා, රැස්වීමට ඔන්න මෙන්න කියා තිබිය දී එවැන්නකින් වැළකීමට සුපරීක්ෂාකාරී වීම, සිත එක්තැන් කිරීම පහසු කරවයි. ආහාර ජීරණය සඳහා ශරීර ශක්තිය වැය වන නිසා කල්පනා දාමය ක්‍රියාත්මක කිරීමට ඉතිරි වන්නේ අවමයක් පමණ ය. මෙසේ මනෝ සංජානනය මොට වීම නිසා, ප්‍රතිචාරයක් හෝ ගැඹුරු අගය කිරීමක් හෝ නැති ව කියනු ලබන දෙයට අලස ලෙස ඇහුම් කන් දීමේ හෝ නිදි කිරා වැටීමේ අවදානමක් ඇති වේ.
14 මීටත් වඩා වැදගත් කාරණය නම්, ඉදිරිපත් කරනු ලබන උපදෙස්වලට ඇහුම් කන් දීම සඳහා නිති පතා රැස්වීම්වලට පැමිණීමට හැකි වන විධියට ඔබේ පුද්ගලික කටයුතු සැලසුම් කර ගැනීම ය. බොහෝ පාසල්වල ශිෂ්‍යයෝ පංති වර්ජනය කොට කරුණු ගෙදර දී පුනරීක්ෂණය කිරීමට වෑයම් කරති. එහෙත් ඔබ ඇහුම් කන් නොදුන් උපදේශයකින් ප්‍රයෝජනය ගැනීම ඉතා දුෂ්කර ය. රැස්වීම්වලට පැමිණීමෙන් ඔබ ව වැළැක්වීමට ඥාති හිතවතුන්ට ඉඩ නොහරින්න. දෙවියන් වහන්සේගේ වචනයෙන් ඉදිරිපත් කරනු ලබන සත්‍යයන්ට ජීවිතය-සුරකින නිත්‍යතාවයෙන් ඇහුම් කන් දීමට වග බලා ගන්න.
15, 16. රැස්වීම්වල දී අපේ ඇහුම් කන් දීමේ හැකියාව පරීක්ෂා කළ හැක්කේත්, දියුණු කළ හැක්කේත් කෙසේ දැයි පහදන්න.
15 ඔබේ ශ්‍රවණ හැකියාව පරීක්ෂා කිරීම. අපි සති පතා පැය පහක් රැස්වීම්වල දී ගත කරමු, මෙම කාලය තුළ ඇහුම් කන් දී ඉගෙන ගැනීමට අපට අවස්ථාව ලැබේ. මෙම කාලයෙන් උපරිම ප්‍රයෝජනය ලැබීමට ඔබ පුද්ගලික ව ප්‍රයත්න දරන්නෙහි ද? සති පතා ප්‍රසිද්ධ කථිකයා විසින් ඉදිරිපත් කරනු ලබන අනගිමත් කරුණුවලින් කොපමණ ප්‍රමාණයක් ඔබ ධාරණය කර ගන්නෙහි ද? සේවා පාසල සහ සේවා රැස්වීමට සහභාගි වීමෙන් පසු, එක් එක් කථාවේ ප්‍රධාන අදහස ඔබට ඔබේ ම වචනවලින් සඳහන් කළ හැකි ද? නැතහොත් වැඩසටහනට සහභාගි වූයේ කවුද කියාවත් ඔබට අමතක වන අවස්ථා තිබේ ද? සමහර විට සටහන් ලියා ගැනීමට පවා මනස එක්තැන් කිරීමට වැඩි ප්‍රයත්නයක් දැරීමෙන් ඔබට පූර්ණ ප්‍රයෝජන ලබා ගත හැකි ද? එය අත්හදා බලන්න. ඉන් පසු රැස්වීම අවසානයේ දී ප්‍රධාන අදහස් අන් අය සමඟ සාකච්ඡා කිරීමෙන් පුනරීක්ෂණය කරන්න.
16 අපේ සති පතා රැස්වීම් කිහිපයක දී ම ප්‍රශ්න ඉදිරිපත් කොට පිළිතුරු දෙන ලෙස සභාවට ආරාධනා කරනු ලැබේ. බොහෝ විට, මෙම පිළිතුරු පැය ගණනාවක් මුළුල්ලේ කරන ලද පුද්ගලික අධ්‍යයනය සහ අවුරුදු ගණනාවක පළපුරුද්ද පිළිබිඹු කරයි. වෙනත් අය පිළිතුරු දෙන විට ඔබ ඇත්තට ම ඔවුන් කියන දේට ඇහුම් කන් දෙන්නෙහි ද? ඔවුන් ඉදිරිපත් කළ අදහස්වල සාරාංශයක් ඔබේ ම වචනවලින් කියන්නට හැකි වන තරම් හොඳින් ඔබ ඇහුම් කන් දෙන්නෙහි ද? එය ම කිරීමට වෑයම් කර බලන්න, එවිට ඔබට කොතරම් හොඳින් ඇහුම් කන් දිය හැකි ද යන්න ගැන ඔබ ප්‍රීති වන්නෙහි ය.
17. ඡේද කියවන විට අපේ අවධානය රඳවා ගැනීමට උපකාර වන්නේ කුමක්ද?
17 මෙම රැස්වීම්වල දී සෑහෙන කියවීම් ප්‍රමාණයක් කරනු ලැබේ. මුරටැඹ පාඩමේ දී සහ සභා පොත් පාඩමේ දී සාකච්ඡා කරනු ලබන ඡේද කියවනු ලැබේ. ඔබ ඇත්ත වශයෙන් ම කියවනු ලබන දෙයට ඇහුම් කන් දෙන්නෙහි ද, එසේත් නැත්නම්, කියවන අවස්ථාවේ දී ඔබේ මනස ඒ මේ අත දුවන්නට ඉඩ හරින්නෙහි ද? වාචික පිළිතුරු මගින් සම්පූර්ණ කළ නොහැකි විස්තර සම්භාරයක් එම ඡේදවල අන්තර්ගත වී ඇත. ඇරත් පිළිතුරු සපයන අයගේ අදහස්වල ප්‍රධාන කරුණු නැවත කීමෙන් එය මනසේ ධාරණය කර ගැනීමට උපකාරී වෙයි. රැස්වීම්වල කියවනු ලබන සෑම දෙයට ම සවන් දීමෙන් අපට ඉගෙන ගත හැකි ප්‍රමාණය කොපමණ ද! මුද්‍රිත කරුණු මත ඔබේ ඇස් නාභි ගත කිරීමෙන් සහ සවන් දීමෙන් එසේ කිරීමට ඔබට උපකාරී වෙයි.
18-20. මහත් ඕනෑකමින් සවන් දෙන්නන් විපාක ලබන්නේ කෙසේ ද?
18 මහත් ඕනෑකමින් සවන් දෙන්නෝ විපාක ලබති. ඉගෙනීමට බොහෝ දේ ඇති බව ඕනෑකමින් සවන් දෙන්නෝ පිළිගන්නා අතර, එයින් වැඩි හරියක් ග්‍රහණය කර ගැනීමට ඔවුහු උත්සුක වෙති. “නුවණට හඬගසා, ඥානයට නුඹේ ශබ්දය නගන්නෙහි නම්, . . . නුඹ රිදී මෙන් ඇය සොයාපන්න.” යනුවෙන් හිතෝපදේශ 2:3, 4 සඳහන් උපදේශය ඔවුහු පිළිපදිති. තව ද ඔවුහු සොයන විට යෙහෝවඃ වහන්සේ ඔවුනට ආශීර්වාද කරන සේක. මක්නිසා ද: “ඔබ යෙහෝවඃ වහන්සේ කෙරෙහි භය වීම තේරුම් ගන්නෙහි ය, දෙවියන් වහන්සේ හැඳින ගැනීමට ද පැමිණෙන්නෙහි ය . . . එවිට ඔබ ධර්මිෂ්ඨකම ද, යුක්තිය ද, ඍජුකම ද, එසේ ය, සියලු යහපත් මාවත් ද තේරුම් ගන්නෙහි” යයි කියා යෙහෝවඃ වහන්සේ පොරොන්දු වී තිබෙන හෙයිනි.—හිතෝ. 2:5, 9, NW.
19 හොඳ ශ්‍රාවකයන් වීමට නම්, අප, අප ව ම හික්මවා ගත යුතු බව සැබෑ ය. එහෙත් එයින් ලැබෙන විපාක මොනතරම් ද! අපේ ආත්මික වර්ධනය පහසුවෙන් පෙනෙනු ඇත. අපේ ජීවිත තුළ ප්‍රයෝජනදායක වෙනස්කම් සිදු වේ. ඇරත්, වේදිකාවේ සිට මෙන් ම ක්ෂේත්‍ර සේවයේ දී හා ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ දී අපේ හැකියාව දියුණු වේ.
20 අපේ පුද්ගලික පාඩම සඳහා කාලය සීමිත වුවත්, සභා රැස්වීම්වල දී ඇහුම් කන් දීමට අපට ඇති අවස්ථාව ඉමහත් ය. එසේ නම්, අපේ ඇහුම් කන් දීමේ ගුණාත්මක භාවය කොපමණ වැදගත් ද! ඇරත් අප අසන දෙය යෙහෝවඃ වහන්සේට අප කරන සේවයටත්, අපගේ සදාකාලික ජීවිතයටත් සම්බන්ධ වන හෙයින්: “නුඹලා අසන්නේ කෙසේද කියා බලාගනිල්ලා” යනුවෙන් යේසුස් වහන්සේ දුන් ඔවදන් කොපමණ උචිත ද!—ලූක් 8:18.