ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • be 13 පි.-16 පි. 5 ¶
  • ‘අසන්නේ කෙසේද කියා බලාගන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘අසන්නේ කෙසේද කියා බලාගන්න’
  • දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔබේ හදවත සූදානම් කරගන්න
  • ඔබේ අවධානය එක තැනක තබාගන්න
  • කතාවලට සවන් දීම
  • සාකච්ඡාවන් අතරතුරේදී සවන් දීම
  • එක්රැස්වීම් සහ සමුළුවලදී සවන් දීම
  • සවන් දීමට දරුවන්ව පුහුණු කිරීම
  • හොඳ සවන් දෙන්නෙකු වන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • හොඳ සවන්දෙන්නෙක් වන්න
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • යෙහෝවා අපට මඟ පෙන්වන අයුරු
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘අසා ඉගෙනගැන්ම වැඩි කරගන්න’
    2001 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
be 13 පි.-16 පි. 5 ¶

‘අසන්නේ කෙසේද කියා බලාගන්න’

ඉගෙනගැනීමේදී සවන් දීම අතිවැදගත් කාර්යයක් ඉටු කරන බවට මතක තබාගත යුතුයි. ඇත්තෙන්ම එය කෙනෙකුගේ ගැළවීම හා සම්බන්ධ කාරණයකි. යෙහෝවා මිසරයේ වහල්කමින් තම සෙනඟව ගළවාගැනීමට සූදානම් වූ විට, මෝසෙස්ට යම් උපදෙස් ලබා දුන්නේය. එම උපදෙස්වලට එකඟව මරණය ගෙන දෙන දූතයාගෙන් තම කුලුඳුල් පුත්‍රයන් ගළවාගැනීමට කුමක් කළ යුතුදැයි ඔහු ඉශ්‍රායෙල්හි වැඩිමහල්ලන්ට දැන්වීය. (නික්. 12:21-23) ඊළඟට වැඩිමහල්ලෝ මෙම තොරතුරු සෑම පවුලකටම දැන්වූවෝය. එසේ කළේ වාචිකවය. ඔවුන්ට සවන් දීම ජනතාවගේ පැත්තෙන් අනිවාර්ය දෙයක් විය. ජනතාවගේ ප්‍රතිචාරය ගැන කුමක් කිව හැකිද? බයිබලය මෙසේ වාර්තා කරයි. “සියලු ඉශ්‍රායෙල් පුත්‍රයෝ මෙසේ කළෝය. ඔව්හු [යෙහෝවා] මෝසෙස් සහ ආරොන්ට අණ කළ ලෙසම කළෝය.” (නික්. 12:28, 50, 51) ප්‍රතිඵලය කුමක් වීද? ඉශ්‍රායෙලිතයෝ අදහාගත නොහැකි ආකාරයේ ගැළවීමක් අද්දුටුවෝය.

අදදින, යෙහෝවා අප වෙනුවෙන් ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ගැළවීමක් සූදානම් කරමින් සිටියි. එසේ නම්, ඔහු උගන්වන දේවල් අපගේ දැඩි අවධානයට ලක් විය යුතුය. මෙවන් අවවාද අනුශාසනා සපයනු ලබන්නේ සභා රැස්වීම්වලදීය. එවන් රැස්වීම්වලින් ඔබ පෞද්ගලිකව පූර්ණ ප්‍රයෝජන ලබමින් සිටිනවාද? මෙය බොහෝදුරට රඳා පවතින්නේ ඔබ සවන් දෙන ආකාරය මතය.

ඔබ සවන් දෙන්නේ රැස්වීම්වලදී උගන්වනු ලබන දේවල විශේෂාංග ඔබට මතක තබාගත හැකි ආකාරයෙන්ද? සතියක් සතියක් පාසා ලැබෙන උපදෙස් ඔබේ ජීවිතයට අදාළ කරගත හැකි ආකාරය ගැන හෝ එය අනුන් සමඟ බෙදාගත හැකි ආකාරය ගැන හෝ ඔබ පුරුද්දක් ලෙස සිතා බලනවාද?

ඔබේ හදවත සූදානම් කරගන්න

ක්‍රිස්තියානි රැස්වීම්වල උගන්වනු ලබන දේවලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට නම්, අප අපගේ හදවත් සූදානම් කරගත යුතුය. යූදාහි යෙහෝෂාපාට් රජුගේ පාලන සමයේදී සිදු වූ දෙයකින් මෙසේ කිරීමෙහි වැදගත්කම කාවද්දවයි. යෙහෝෂාපාට් සැබෑ නමස්කාරය වෙනුවෙන් නිර්භීත ස්ථාවරයක් ගත් අයෙකි. හෙතෙම “යූදා රටින් උස්තැන්ද අෂේරා කණුද පහ කෙළේය.” ඊළඟට යූදා රටේ සියලු නුවරවල ජනතාවට යෙහෝවාගේ ව්‍යවස්ථාව ඉගැන්වීමේ කාර්යය අධිපතීන්ට, ලෙවීවරුන්ට සහ පූජකයන්ට පැවරීය. කෙසේ නමුත්, “උස්තැන් අහක් නොකරන ලද්දේය.” (2 ලේක. 17:6-9; 20:33) මිථ්‍යා දෘෂ්ටික උස් තැන්හි බොරු දෙවිවරුන්ට නමස්කාර කිරීම තහනම් වූවකි. ඇරත් එම ස්ථානවල යෙහෝවාට නමස්කාර කිරීම සඳහාවත් අවසර දී තිබුණේ නැත. කෙසේවෙතත්, මෙවැනි ක්‍රියාපිළිවෙත් ජනයාගේ සිත් තුළට කොතරම් ගැඹුරින් කාවැදී තිබුණාද කිවහොත්, එම ස්ථාන ඉවත් නොකරන ලදි.

යෙහෝෂාපාට් සැලසුම් කළ අධ්‍යාපන වැඩපිළිවෙළින් කල්පවතින ප්‍රයෝජන අත් කරගත නොහැකි වූයේ මන්ද? බයිබල් වාර්තාවෙහි සඳහන් කර ඇති දේ සලකා බලන්න. ‘ඒ වන තුරු සෙනඟ තමුන්ගේ පියවරුන්ගේ දෙවි දෙසට තමුන්ගේ සිත් යොමු කළේ [හදවත් පිළියෙළ කරගත්තේ, NW] නැත.’ ඉගැන්වූ දෙයට ඔවුන් සවන් දුන්නද, ඊට එකඟව ක්‍රියා කිරීමට ඔවුහු අපොහොසත් වූහ. පූජාවන් ඔප්පු කිරීමට බොහෝ දුර ගෙවා යෙරුසලමෙහි දේවමාළිගාවට ගමන් කිරීම අපහසු දෙයක් ලෙස ඔවුන්ට හැඟෙන්නට ඇත. හේතුව කුමක් වුවද, ඔවුන්ගේ හදවත් ඇදහිල්ලෙන් පෙලඹුණේ නැති බව නම් පැහැදිලිය. වැඩි කල් යෑමට මත්තෙන්, ඔවුහු තම පැරණි මාර්ගවලට යළිත් වැටුණාහ.

සාතන්ගේ ලෝකයේ පුරුදුවලට නැවතත් කෙමෙන් කෙමෙන් ඇදී යෑමෙන් වැළකී සිටීම සඳහා, යෙහෝවා අදදින අපට සපයන අධ්‍යාපනය සතුටින් භාරගැනීමට අපගේ හදවත් සූදානම් කරගත යුතුය. එසේ කරන්නේ කෙසේද? එක් වැදගත් ක්‍රමයක් නම් යාච්ඤාවයි. අපට දිව්‍ය අධ්‍යාපනය කෘතඥපූර්වක ආකල්පයකින් පිළිගැනීමට හැකියාව ඉල්ලා යාච්ඤා කළ යුතුය. (ගීතා. 27:4; 95:2) එවන් ආකල්පයක් අප තුළ වර්ධනය වනවා නම්, එය යෙහෝවා තම සෙනඟට ඉගැන්වීම සඳහා යොදාගන්නා අසම්පූර්ණ නමුත්, කැමැත්තෙන් ඉදිරිපත් වන අපගේ සහෝදරයන්ගේ උත්සාහය අගය කිරීමට රුකුලක් විය හැක. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප ඉගෙනගන්නා අලුත් දේවලට පමණක් නොව, කලින් ඉගෙනගත් කාරණා සම්බන්ධයෙන් අප සතු අගය තවත් වර්ධනය කරගැනීමට ලැබෙන ප්‍රස්තාව සඳහා යෙහෝවාට ස්තුති කරන්නත් අපි පෙලඹෙන්නෙමු. දේවකැමැත්ත කිරීමට අප තුළ හෘදයාංගම ආශාවක් ඇති බැවින් “[යෙහෝවා,] ඔබගේ මාර්ගය මට ඉගැන්නුව මැනව. . . . ඔබගේ නාමයට භය වෙන පිණිස මාගේ සිත එකඟ කළ මැනව” කියා යාච්ඤා කරන්නෙමු.—ගීතා. 86:11.

ඔබේ අවධානය එක තැනක තබාගන්න

සාවධානව ඇහුම්කන් දීමට ඇති වන බාධා බොහෝය. සමහරවිට, අප සිත්තැවුල්වලින් බර වී සිටිනවා විය හැක. සබය තුළ හෝ රැස්වීම් ශාලාවෙන් පිට ඇති වන ශබ්ද හා වෙනත් බාධා නිසා අපගේ සිත වෙනතකට යොමුවීමටද ඉඩ කඩ ඇත. සිරුරේ යම් අසනීප ගතියක් හෝ වේදනාවක් තිබෙන විටත්, සිත එක්තැන් කර තබාගැනීම අසීරුය. කුඩා දරුවන් සමඟ පැමිණෙන දෙමාපියන්ට රැස්වීමට අඛණ්ඩව අවධානය දීම සඳහා විශාල සටනක් කිරීමට සිදු වේ. එමනිසා වැඩසටහනට පූර්ණ අවධානයක් දීමට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

අපගේ අවධානය යොමු වන්නේ කුමක් කෙරෙහිද යන්න බොහෝදුරට තීරණය වන්නේ අපගේ ඇස් යොමු වන දිශාව මතය. අවධානය වෙනතකට යොමු නොවීම සඳහා ඔබේ ඇස් කථිකයා වෙතම යොමු කර තබාගන්න. බයිබල් පදයක් සඳහන් කරන විට, එය පෙරළා බලන්න. කථිකයා කියවන විට, එය ඔබේම බයිබලයෙන් බලාගන්න. ඉතා සුපුරුදු බයිබල් පදයක් වුවද එසේ කිරීම නුවණට හුරුය. ඔබේ සවනට වැකෙන සෑම ශබ්දයකටම හෝ දකින සෑම දෙයක් දෙසම හිස හරවා බැලීම ඔබට පරීක්ෂාවක් විය හැකිය. ඊට එරෙහි වන්න. දකින දකින දෙයින් හා ඔබට හැම මොහොතකම මතක් වන දෙයින් ඔබේ මනස ඔබ මොබ දිව යයි නම්, වේදිකාවේ සිට ඉදිරිපත් කරනු ලබන වැදගත් කරුණුවලින් බොහොමයක් ඔබේ අවධානයෙන් ගිලිහී යනවා ඇත.

වැඩසටහනට පූර්ණ අවධානයක් දීමට බාධා කරමින් යම් “සිතිවිලි” ඔබව කලඹයි නම්, ඔබේ මනස සහ හදවත සන්සුන් කරවාගැනීමට උපකාර ඉල්ලා යෙහෝවාට යාච්ඤා කරන්න. (ගීතා. 94:19; පිලි. 4:6, 7) සමහරවිට, යෙහෝවාගේ උපකාරය නැවත නැවතත් ඉල්ලීමට සිදු විය හැක. (මතෙ. 7:7, 8) ඇත්තෙන්ම සභා රැස්වීම් යෙහෝවාගේ සැපයුමක් ලෙස අප සැලකිය යුතුයි. ඔබත් එයින් උපරිම ප්‍රයෝජන නෙළාගන්නවා දැකීම ඔහුගේ ආශාව බව ඔබට නිසැක විය හැක.—1 යොහ. 5:14, 15.

කතාවලට සවන් දීම

ඇතැම් කතාවල විශේෂයෙන් ඔබේ සිත්ගත් කාරණා ඔබේ මතකයේ රැඳී තිබෙනවා වන්නට පුළුවන. කෙසේවෙතත්, කතාවකට සවන් දීම යනු කැපීපෙනෙන කරුණු එක්රැස් කිරීමේ කාර්යයට පමණක් සීමා වීමම නොවේ. ඇත්තෙන්ම කතාවක් ගමනකට සමාන කළ හැක. ගමනක් යන අතරතුරේදී සිත්ගන්නා දේවල් බොහොමයක් නැරඹිය හැකි වුවත්, ගමනෙහි පරමාර්ථය නම් ගමනාන්තයයි. මේ අනුව, කථිකයා උත්සාහ කරන්නේ සබය යම් දිශාවකට යොමු කරගැනීමටයි. ඔහු ඔවුන්ට යම් ගමනාන්තයකට නැත්නම් නිගමනයකට එළඹීමට මඟ පෙන්වනවා විය හැක. එසේ නැතහොත් යම් දෙයක් කිරීමට සබය පෙලඹවීම සඳහා ආයාසයක් දරනවා වන්නට පුළුවන.

නිදසුනකට, යෝෂුවා 24:1-15හි වාර්තා වී ඇති යෝෂුවා ඉදිරිපත් කළ දේශනය සලකා බලන්න. ඔහුගේ පරමාර්ථය වූයේ සැබෑ නමස්කාරය වෙනුවෙන් නොසැලෙන ස්ථාවරයක් ගැනීමට ජනයාව පෙලඹවීමයි. ඒ සඳහා අවට ජාතීන්ගේ රූප නමස්කාරයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව සිටීම අවශ්‍ය බව හෙතෙම කාවැද්දවීය. මෙය එතරම් වැදගත් වූයේ මන්ද? හාත්පස පැතිරුණු බොරු නමස්කාරය ඉශ්‍රායෙල් ජාතිය යෙහෝවා සමඟ භුක්ති වින්ද පිරිසිදු සම්බන්ධතාවට බරපතළ තර්ජනයක් එල්ල කළ බැවිනි. යෝෂුවාගේ ආයාචනයට ජනයා ප්‍රතිචාරය දැක්වූයේ මෙලෙසය. “යෙහෝවාව අත්හැර දමා වෙනත් දෙවිවරුන්ට සේවය කිරීම අපට සිතාගන්නවත් බැරි දෙයකි. . . . අපි යෙහෝවාට සේවය කරන්නෙමු.” ඇත්තෙන්ම එම පොරොන්දුවට ඔවුහු ඇලී සිටියෝය.—යෝෂු. 24:16, 18, 31, NW.

එමනිසා, කතාවකට සවන් දෙන විට එහි පරමාර්ථය තේරුම්ගැනීමට උත්සාහ කරන්න. තවද, කථිකයා එම පරමාර්ථය වෙතට අපව යොමු කරවීම සඳහා ඉදිරිපත් කරන කරුණු පෙළගස්වන ආකාරය ගැනද සිතා බලන්න. ඊළඟට එම තොරතුරු ඔබව පොලඹවන්නේ කුමක් කිරීමටද යන්න ඔබෙන්ම අසාගන්න.

සාකච්ඡාවන් අතරතුරේදී සවන් දීම

මුරටැඹ පාඩම, සභා පොත් පාඩම සහ සේවා රැස්වීමෙහි ඇතැම් කොටස් බයිබලය මත පදනම් වූ යම් මුද්‍රිත ලිපියක් පදනම් කරගෙන ප්‍රශ්නෝත්තර ක්‍රමයට මෙහෙයවනු ලබන සාකච්ඡාවන්ය.

ඇත්තෙන්ම සාකච්ඡාවකට සවන් දීම, යම් ආකාරයකින් සංවාදයකට හවුල් වීම හා සමාන කළ හැක. එමනිසා, උපරිම ප්‍රයෝජන නෙළාගැනීමට හොඳින් සවන් දෙන්න. සාකච්ඡාව යොමු වන්නේ කවර දිශාවටද කියා සැලකිල්ලට ගන්න. මෙහෙයවන්නා තේමාව සහ මූලික කරුණු අවධාරණය කරන අන්දමද ඔබේ අවධානයට හසු කරගන්න. යම් ප්‍රශ්න නැඟුවොත්, ඒවාට ඔබේ සිතින් පිළිතුරු දෙන්න. වෙනත් අය අදාළ තොරතුරු පැහැදිලි කරමින්, එහි අදාළ වීම ගැන අදහස් දක්වන විට, ඒවාට ඔබේ සවන් යොමු කරන්න. ඇත්තෙන්ම වෙනත් කෙනෙකුගේ අදහස්වලට සවන් දීමෙන් ඔබ නුදුටු කෝණයකින් තොරතුරු නැවත සලකා බැලීමට ඔබට හැකි වේ. සුපුරුදු විෂයක් වුවත්, කලින් ඔබේ අවධානයට හසු නොවූ පැති එනයින් අනාවරණය විය හැක. ඔබේ ඇදහිල්ල කියාපාන්නා වූ අදහස් ඉදිරිපත් කිරීමෙන් මෙම සංවාදයට දායක වන්නට ඔබටත් පුළුවන.—රෝම 1:12.

අදාළ කොටසට නියමිත ලිපි හෝ ලිපිය කලින් අධ්‍යයනය කිරීමද ප්‍රයෝජනවත්ය. එවිට සාකච්ඡාවට පූර්ණ අවධානයක් දීමට ඔබට හැකි වන අතර, අනික් අය ඉදිරිපත් කරන අදහස් තේරුම්ගැනීමටද පහසු වේ. ඔබ කාර්යබහුල කෙනෙක් නිසා තොරතුරු හොඳින් අධ්‍යයනය කිරීම ඔබට අසීරු කාර්යයක් විය හැක. එසේ නම්, රැස්වීමට කලින් ඒ තොරතුරු ගැන කෙටි අදහසක් ලැබීමට අඩුම තරමින් විනාඩි කිහිපයක්වත් ගත කරන්න. එසේ කිරීමෙන් සාකච්ඡාවෙන් වැඩි ප්‍රයෝජනයක් නෙළාගත හැකි වේවි.

එක්රැස්වීම් සහ සමුළුවලදී සවන් දීම

සභා රැස්වීම්වලට වඩා එක්රැස්වීම් හා සමුළුවලදී ඇති වන බාධාවන් වැඩිය. එමනිසා සවන් දීම වැඩිමනත් අභියෝගයක් විය හැකිය. මෙහිදී අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද?

වැදගත් කරුණක් නම් රාත්‍රියේදී හොඳ නින්දක් ලබාගැනීමය. අනික් අතට, දවසේ වැඩසටහන ආරම්භ වීමට කලින් එහි තේමාව ඔබේ මනසෙහි පැහැදිලිව සටහන් කරගන්න. සෑම කතාවකම තේමාව දෙස බලා, ඉදිරිපත් කරනු ලබන්නේ මොන වගේ කරුණුද කියා සිතා බැලීමට උත්සාහ කරන්න. ඔබේ බයිබලයද හොඳින් භාවිත කරන්න. තවද ප්‍රධාන කරුණු කෙටියෙන් සටහන් කරගැනීම මනස වැඩසටහන වෙතම යොමු කර තැබීමට රුකුලක් වන බව බොහෝදෙනෙකුට පෙනී ගොස් ඇත. ඔබේ ජීවිතයෙහි සහ ක්ෂේත්‍ර සේවයෙහි අදාළ කරගැනීමට අදහස් කරන උපදෙස්ද සටහන් කරගත හැක. එමෙන්ම සෑම දිනකම සමුළු භූමියේ සිට පැමිණෙද්දී සහ ඒ වෙත ගමන් කරද්දී දැනගත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමද ප්‍රයෝජනවත් වේ. මෙසේ කිරීම ඉගෙනගත් තොරතුරු මතකයේ ධාරණය කරගැනීමට ඉවහල් වේවි.

සවන් දීමට දරුවන්ව පුහුණු කිරීම

තම දරුවන්ව පමණක් නොව තම ළදරුවන්ව පවා ‘ගැළවීම පිණිස නැණවත් කිරීමට’ ක්‍රිස්තියානි දෙමාපියන්ට පුළුවන. ඒ සඳහා ඔවුන්ව සභා රැස්වීම්වලට, එක්රැස්වීම්වලට සහ සමුළුවලට රැගෙන යෑම අවශ්‍යය. (2 තිමෝ. 3:15) සෑම දරුවෙකුම ස්වභාවයෙන් සහ අවධානය දීමේ ශක්තිය අතින් විවිධාකාරය. එමනිසා සාවධානව ඇහුම්කන් දීමට උපකාර කරද්දී, විචාර බුද්ධිය පෙන්වීම වැදගත්ය. ඒ සඳහා මතු දැක්වෙන යෝජනා උපකාරවත් බව ඔබට පෙනී යනු ඇත.

නිවසේදී, ඔබේ දරු දැරියන්ට නිවිහැනහිල්ලේ අසුන්ගෙන අපගේ ක්‍රිස්තියානි ප්‍රකාශන අතට ගෙන කියවීමට නැතහොත් පින්තූරු බැලීමට කාලයක් වෙන් කර දෙන්න. රැස්වීම්වලදී කුඩා දරුවන්ට සෙල්ලම් බඩු දීමෙන් වැළකී සිටින්න. පුරාණ ඉශ්‍රායෙල්හි සැබෑ වූවාක් මෙන් අදදින අපගේ දරු දැරියන් පැමිණ සිටින්නේ ‘අසා ඉගෙනගන්නා’ පිණිසය. (ද්වි. 31:12) රැස්වීම්වලදී සාකච්ඡා කරන ප්‍රකාශනවල පෞද්ගලික පිටපත් ඉතා ළාබාල දරුවන්ට ලබා දීමෙන් යම් ප්‍රයෝජනයක් දකින අවස්ථාවන්හිදී, ඇතැම් දෙමාපියෝ එසේ කිරීමට පසුබට නොවෙති. දරුවන් වයසින් වැඩෙද්දී, සබයේ සහභාගිත්වයක් ඇති කොටස්වලට සහභාගි වීම සඳහා සූදානම් වීමට උපකාර කළ හැක.

යෙහෝවාට සවන් දීම සහ කීකරු වීම අතර ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති බව ශුද්ධ ලියවිල්ලෙහි හෙළි කර ඇත. ඉශ්‍රායෙල් ජාතියට මෝසෙස් පැවසූ මෙම වදන්වලින් මෙය දැකගත හැක. ‘මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬ ගසමි. එබැවින් නුඹ . . . ජීවනය තෝරාගෙන, . . . නුඹේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කොට, ඔහුගේ හඬට කීකරු වී, ඔහුට ඇලුම්ව සිටින්න.’ (ද්වි. 30:19, 20, අකුරු ඇල කළේ අපය.) අදදින, දෙවිගේ අනුමැතිය ලබාගැනීමටත්, සදා ජීවනයේ ආශීර්වාද භුක්ති විඳීමටත්, යෙහෝවා සපයන ඉගැන්වීමට සවන් දීම හා කීකරුව එය අපගේ ජීවිතවලට අදාළ කරගැනීම අත්‍යවශ්‍යය. එසේ නම්, ‘ඔබ සවන් දෙන ආකාරය ගැන හොඳ අවධානයකින් සිටින්න’ [‘අසන්නේ කෙසේද කියා බලාගන්න’] යන යේසුස්ගේ අවවාදයට කන් දීම කොතරම් වැදගත්ද!—ලූක් 8:18, NW.

ඵලදායී ලෙස සවන් දීම සඳහා යෝජනා

  • වැඩසටහනට ඔබේ අවධානය යොමු කිරීම සඳහා උපකාර ඉල්ලා යාච්ඤා කරන්න

  • ඔබේ ඇස් කථිකයා දෙසම යොමු කර තබාගන්න

  • බයිබල් පද සඳහන් කරන විට, ඒවා ඔබේ බයිබලයෙන්ම පෙරළා, කථිකයා සමඟ සිතින් කියවන්න

  • කතාවක පරමාර්ථය කුමක්දැයි තේරුම්ගැනීමට උත්සාහ කරන්න

  • අසනු ලබන ප්‍රශ්නවලට සිතින් පිළිතුරු දෙන්න. අන් අය ඉදිරිපත් කරන අදහස්වලට හොඳින් සවන් දෙන්න

  • කෙටි සටහන් ගන්න

  • පෞද්ගලිකව අදාළ කරගැනීමට ඔබ අදහස් කරන කරුණු මොනවාදැයි වෙන් කර හඳුනාගන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න