‘අසා ඉගෙනගැන්ම වැඩි කරගන්න’
1 ප්‍රඥාව මෙසේ මොරගසන බව හිතෝපදේශ පොතේ විස්තර කරයි. “අසන්න, මක්නිසාද මම උතුම් කාරණා කියන්නෙමි; මාගේ තොල්වලින්ද හරි කරුණු නික්මෙන්නේය. මන්ත්‍රණය සහ සාරවූ ඥානය මට තිබේ. . . . මට ඇහුම්කන්දෙන්න. මක්නිසාද මාගේ මාර්ග රක්ෂාකරන්නෝ වාසනාවන්තයෝය [සන්තෝෂවත්හුය, NW]. මා සම්බවන අයට ජීවනය සම්බවෙයි, [යෙහෝවාගේ] කරුණාවද ලබාගන්නේය.” (හිතෝ. 8:6, 14, 32, 35) “දෙවිගේ වචනය උගන්වන්නෝ” නමැති දිස්ත්‍රික් සමුළුවේදී අපි ඉගෙනගන්න යන දේවල් එම වදන්වලින් හොඳින් විස්තර කරනවා.
2 මෙම සමුළු වැඩසටහන් පිළියෙළ කර තිබෙන්නේ, ලොවපුරා සිටින සහෝදර සහෝදරියන්ගේ අවශ්‍යතා හොඳින් සැලකිල්ලට ගෙනයි. මෙහිදී ඉදිරිපත් කරනු ලබන ආත්මික උපදෙස් ඇතුළත් ඉගැන්වීම් හා ප්‍රායෝගික යෝජනා අදාළ කරගන්නවා නම්, සන්තෝෂවත් ජීවිතයක් ගත කළ හැකියි. එමෙන්ම, යෙහෝවා සමඟ යහපත් සබඳතාවක් පවත්වාගනිමින් ජීවනයට යන මාර්ගයේ දිගටම ගමන් කරන්නද එම උපදෙස් උපකාරවත් වෙයි. ඇත්තෙන්ම, ‘අසා ඉගෙනගැන්ම වැඩි කරගන්න’ අපිට හොඳ හේතු තිබෙනවා.—හිතෝ. 1:6.
3 වැඩසටහනට කලින්: සමුළුවෙන් ඉදිරිපත් කරනු ලබන දේවලින් පූර්ණ ප්‍රයෝජන ගැනීමට නම්, වැඩසටහන ආරම්භ වන විට හොඳ මනසකින් යුතුව අප අසුන්ගෙන සිටිය යුතුයි. මේ සඳහා දේවල් හොඳින් සංවිධානය කිරීම අවශ්‍යයි. මෙහිදී ඉතාමත් වැදගත් වන්නේ දේවල් වේලාසනින් කිරීමයි. සමුළුවට කලින් දා රාත්‍රියේ වේලාසනින් නින්දට යන්න. වේලාසනින් අවදි වන්න. මෙසේ කිරීමෙන් ඔබට හැකියි යමක් කා බී, ඇඳ පැළඳගෙන, ඔබ සමඟ සමුළුවට යන අනිත් අයත් සමඟ වෙලාවට යන්න. ආසනයක් සොයාගැනීමටත්, වැඩසටහන පටන්ගන්න කලින් අවශ්‍ය දේවල් කිරීමටත් හැකි වන පරිදි වේලාසනින් සමුළුව පවත්වන ස්ථානයට පැමිණෙන්න. සෑම දවසකම වැඩසටහන ආරම්භ වන්නේ පෙ.ව. 9:30ටයි.
4 මෙලෙස එක්රැස් වීමේ පරමාර්ථය වන්නේ ‘සමූහයන් අතරේ සිට’ යෙහෝවාව පැසසුමට ලක් කිරීමයි. එනිසා සෑම සැසිවාරයක්ම ආරම්භ කළ යුත්තේ ඔහුව මහිමයට පත් වන ආකාරයෙනුයි. (ගීතා. 26:12, NW) මේ පරමාර්ථය ඉටු කරගැනීම සඳහා ආරම්භක ගීතිකාව නිවේදනය කිරීමට කලින් අසුන්ගෙන සිටින්න කියා සියලුදෙනාවම දිරිගන්වන්න කැමතියි. මෙය ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් “සියල්ල ඔබිනාලෙසද පිළිවෙළින්ද කරනු ලැබේවා” යන උපදේශය සමඟ එකඟයි. (1 කොරි. 14:40) එම උපදේශය අපට අදාළ කරගන්න පුළුවන් කොහොමද? සංගීතය වාදනය වීම ආරම්භ වීමත් සමඟ සැසිවාර සභාපති වේදිකාවේ අසුන්ගන්නවා දකින විට, හැකි විගස ඔබේ ආසනය වෙත ගොස් අසුන්ගන්න. මෙසේ නියමිත වේලාවට ඔබේ ආසනයේ රැඳී සිටීමෙන්, සෑම සැසිවාරයක්ම යෙහෝවාව පැසසුමට ලක් කරමින් ගීතිකාවකින් ආරම්භ වන විට මුළු හදින්ම එයට හවුල් වෙන්න ඔබටත් පුළුවන්.—ගීතා. 149:1.
5 වැඩසටහන අතරතුර: එස්රා ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඔහුගේ සිත යොමු කරගත්තා [හෘදය සූදානම් කරගත්තා, NW].’ (එස්රා 7:10) යෙහෝවා සපයන උපදෙස් හා මඟ පෙන්වීම් ලබාගැනීම සඳහා අපේ හදවත් සූදානම් කරගන්න පුළුවන් කොහොමද? මුද්‍රිත වැඩසටහනේ සඳහන් කතාවල මාතෘකා ඔබ සලකා බලද්දී, ඔබෙන්ම මෙසේ අසන්න. ‘යෙහෝවා මේ වැඩසටහන මාර්ගයෙන් මට කියන්නේ මොනවාද? මටත් මගේ පවුලේ අයටත් ප්‍රයෝජන ගැනීම සඳහා ඉගෙනගන්න දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් කොහොමද?’ (යෙසා. 30:21; එපී. 5:17) සමුළු පවත්වන දින තුන පුරාම එම ප්‍රශ්න විටින් විට ඔබෙන්ම අසාගන්න. ඔබ ක්‍රියාත්මක කිරීමට අදහස් කරන කරුණු සටහන් කරගන්න. සෑම සැසිවාරයක් අවසානයේදීම ඒවා ගැන අනිත් අයත් සමඟ කතා කරන්න. මෙසේ කිරීමෙන් එම කරුණු මතක තබාගැනීමටත් අදාළ කරගැනීමටත් ඔබට හැකි වෙයි.
6 පැය කිහිපයක් එක දිගට එක දෙයක් කෙරෙහි සිත යොමු කර තබාගැනීම අමාරු දෙයක් වෙන්න පුළුවන්. සිත වෙනත් දේවලට ඇදී යෑමේ නැඹුරුවාවට යටපත් නොවී සිටීමට අපට උපකාරවත් වන්නේ කුමක්ද? ඇස සතු හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. බොහෝදුරට, අපේ ඇස්වලට යොමු වන දේවල් මගින් අපේ අවධානය පාලනය වෙයි. (මතෙ. 6:22) එනිසා, යම් ශබ්ද ඇසෙන විට හෝ යම් පුද්ගලයෙක් ගමන් කරන විට ඒ දෙසට ඔබේ හිස හරවා බැලීමට ඇති වන පෙලඹවීමට ඉඩ නොදෙන්න. ඔබේ ඇස් කථිකයා වෙතම යොමු කර තබාගන්න. ශුද්ධ ලියවිලි පාඨ කියවන විට, ඔබේ බයිබලය පෙරළා ඒවා බලන්න. එම වගන්ති සාකච්ඡා කරද්දී, ඔබේ බයිබලය විවෘත කර තබාගන්න.
7 වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරේදී අනිත් අයගේ අවධානයට බාධා වන ආකාරයට හැසිරීමෙන් වැළකී සිටීමට අපව පොලඹවන්නේ ක්‍රිස්තියානි ප්‍රේමයයි. (1 කොරි. 13:5) මෙය “නිශ්ශබ්දව සිටින්ට” හා සවන් දෙන්න “කාලයක්.” (දේශ. 3:7) එනිසා වැඩසටහන අතරතුර අනවශ්‍ය දේවල් කතා කිරීමෙන් හා එහාට මෙහාට යෑමෙන් වළකින්න. වැසිකිළියට යන වාර ගණන අඩු කිරීමට වෑයම් කරන්න. ක්ලාන්තය හෝ වෙනත් බරපතළ තත්වයක් නැත්නම්, නියමිත වේලාව පැමිණෙන තෙක් කෑමෙන් හා බීමෙන් වළකින්න. සෙලියුලර් දුරකථන, පේජර් යන්ත්‍ර, කැමරා, වීඩියෝ කැමරා වැනි දේවල් රැගෙන එන අය, ඒවා භාවිත කළ යුත්තේ අනිත් අයගේ අවධානයට බාධාවක් නොවෙන විදිහටයි. නහඹර වියේ පසු වන අය ඇතුළු පවුලේ සියලුම සාමාජිකයන්ට එකට අසුන්ගත හැකි වන පරිදි දෙමාපියන් කටයුතු සැලසුම් කළ යුතුය. මෙසේ කිරීමෙන් තමන්ගේ දරුවන් කෙරෙහි නිසි අවධානයක් දීමට ඔවුන්ට පුළුවන්.—හිතෝ. 29:15.
8 දශක ගණනාවක් තිස්සේ සමුළුවලට පැමිණෙන වැඩිමහල්ලෙක් පසුගිය අවුරුද්දේ ඔහු ගිය සමුළුව ගැන මෙසේ අදහස් පළ කළා. “විශේෂ හේතුවක් නිසා මේ සමුළුව කැපීපෙනෙන එකක් වුණා. ළමයි ඇතුළුව හැම කෙනෙක්ම වගේ කෙටි සටහන් ගත්තා. ඇත්තෙන්ම එය දකින්න හරිම ප්‍රියමනාප දෙයක්. කථිකයන් බයිබල් පද පෙරළා බැලීමට ආරාධනා කරද්දී හැම කෙනෙක්ම තමන්ගේ බයිබල් පෙරළා බැලුවා.” එසේ හොඳ අවධානයකින් සවන් දීම ප්‍රශංසනීය දෙයක්. එසේ කිරීමෙන් අපිටත් සමුළුවට පැමිණ සිටින අනිත් අයටත් ප්‍රයෝජන අත් කරගත හැකියි. වඩා වැදගත්ම දෙය වන්නේ අපේ ශ්‍රේෂ්ඨ ගුරුවරයා වන යෙහෝවා දෙවිව එයින් ගෞරවයට පැමිණවීමයි.—යෙසා. 30:20.