යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා එකට එක්රැස් වීම
1. මෙවර දිස්ත්‍රික් සමුළුවේ තේමාව කුමක්ද? යෙහෝවා අපේ ප්‍රශංසාව ලැබීමට වටින්නේ මන්ද?
1 යෙහෝවාට තිබෙන බලය වෙන කිසිවෙකුට නැත. ඔහු සර්වබලධාරීය. ඔහුගේ ප්‍රඥාව සම්පූර්ණයෙන්ම දැනගත නොහැක. ඔහු යුක්තියෙන් පරිපූර්ණයි. ප්‍රේමයේ පරිපූර්ණ ආදර්ශය ඔහුයි. මැවුම්කරුද, ජීවිත දායකයාණන්ද, විශ්ව පරමාධිපතිද වශයෙන් අපේ නමස්කාරය ලැබීමට වටිනා එකම තැනැත්තා වන්නේ ඔහුයි. (ගීතා. 36:9; එළි. 4:11; 15:3, 4) “දෙවිව මහිමවත් කරන්න” නමැති තේමාවෙන් යුත් මෙවර දිස්ත්‍රික් සමුළුව මගින් එකම සැබෑ දෙවි වශයෙන් ඔහුට ප්‍රශංසා කිරීමට වූ අපේ අධිෂ්ඨානය තවත් ශක්තිමත් වනු නිසැකයි.—ගීතා. 86:8-10, NW.
2, 3. පූර්ණ ප්‍රයෝජන ගැනීම සඳහා හොඳින් සැලසුම් කිරීම උපකාරවත් වනු ඇත්තේ කෙසේද?
2 හොඳින් සැලසුම් කිරීම අවශ්‍යයි: යෙහෝවා අප වෙනුවෙන් පිළියෙළ කර තිබෙන ආත්මික මංගල්‍යයෙන් පූර්ණ ප්‍රයෝජන ගැනීමට නම් හොඳින් සැලසුම් කිරීම අත්‍යවශ්‍යයි. (එපී. 5:15, 16) නවාතැන් හා ප්‍රවාහණ පහසුකම් සඳහා අවශ්‍ය කටයුතු ඔබ පිළියෙළ කර තිබෙනවාද? රැකියාවෙන් හෝ පාසැලෙන් නිවාඩු ලබාගෙන තිබෙනවාද? මේ වගේ වැදගත් දේවල් කරන්න අවසාන මොහොත වන තෙක් බලා නොසිටින්න. නිවාඩු ලබාගැනීමට ඔබ ප්‍රමාද වෙනවා නම් මේ ප්‍රීතිමත් අවස්ථාවේ ඇතැම් කොටස් ඔබට අහිමි විය හැකියි. අප සියලුදෙනාම සෑම සැසිවාරයකටම පැමිණ සිටීම අවශ්‍යයි.
3 සෑම දවසකම සමුළුව පැවැත්වෙන ස්ථානයට වේලාසනින් පැමිණීම ඔබේ ඉලක්කය කරගන්න. මෙසේ වේලාසනින් පැමිණීමෙන් ආරම්භක ගීතිකාවට කලින් අසුන්ගෙන සිටීමට ඔබට පුළුවනි. එමෙන්ම ඉදිරිපත් කරනු ලබන තොරතුරු ලබාගැනීම සඳහා හොඳ මානසිකත්වයකින් සිටීමටද එය උපකාරවත් වේ. සෑම දවසකම සමුළු භූමියට ඇතුල් විය හැකි වන්නේ උදෑසන 8:00 සිටයි. කරුණාකර, ඔබේ පවුලේ කිට්ටුම අය හෝ ඔබ සමඟ වාහනයකින් පැමිණෙන අය හැර වෙනත් අය සඳහා ආසන වෙන් කර තබා නොගන්න.
4. අප සියලුදෙනාම සමුළුවට පැමිණෙන විට දහවල් ආහාරය ගෙන එන්න කියා ඉල්ලීමක් කරන්නේ ඇයි?
4 දහවල් විවේකයේදී කෑම ගැනීම සඳහා සමුළු පවත්වන ස්ථානයෙන් පිට වී යනවා වෙනුවට, එහි සිට අනුභව කිරීම සඳහා දහවල් ආහාර ගෙන එන්න කියා සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනු ලැබේ. මේ සම්බන්ධයෙන් ඔබ දක්වන සහයෝගය නිසා සන්සුන් වාතාවරණයක් එම ස්ථානයේ පවත්වාගත හැකි වන අතර, සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇසුරු කිරීමටද එමගින් වැඩි කාලයක් ලැබෙයි. (ගීතා. 133:1-3) සමුළුව පවත්වනු ලබන ස්ථානයට වීදුරුවලින් සාදා තිබෙන දේවල් හා මත්පැන් වර්ග ගෙන ඒමට අවසර නැති බව මතක තබාගන්න.
5. සමුළුව සඳහා අපේ හදවත් සූදානම් කරගැනීම අපට පටන්ගත හැක්කේ කෙසේද?
5 අසා ඉගෙනගන්න: එස්රා දෙවිගේ වදන්වලට සවන් දීම සඳහා යාච්ඤාපූර්වකව ඔහුගේ හදවත සූදානම් කරගත්තේය. (එස්රා 7:10, NW) ඔහු යෙහෝවාගේ ඉගැන්වීම් කෙරෙහි සිය හදවත යොමු කළේය. (හිතෝ. 2:2) නිවසින් පිටවීමට කලින්ම සමුළුව සඳහා අපේ හදවත් සූදානම් කරගැනීම පටන්ගන්න අපට පුළුවනි. සමුළුවේ තේමාව ගැන ගැඹුරින් සිතා බැලීමෙන් හා එය පවුලේ අය සමඟ සාකච්ඡා කිරීමෙන් එසේ කළ හැකියි.
6. වැඩසටහන වෙත අපේ අවධානය දිගටම යොමු කර තබාගැනීමට අපට උපකාරවත් විය හැක්කේ කුමක්ද? (කොටුව බලන්න.)
6 විශාල ක්‍රීඩාංගණයක සිටින විට දකින්න ලැබෙන බොහෝ දේවල් හා ඇසෙන ශබ්ද මගින් අපේ අවධානයට බාධා පැමිණිය හැකියි. මෙවන් බාධා නිසා කථිකයා කෙරෙහි යොමු කර තිබෙන අපේ අවධානය පහසුවෙන්ම බිඳී යා හැකියි. මෙවැනි දෙයක් සිදු වුවහොත් අපට වටිනා තොරතුරු අහිමි වෙයි. අපේ සිත එක තැනක තබාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට මේ ලිපිය සමඟ තිබෙන කොටුවේ සඳහන් යෝජනා උපකාරවත් විය හැකියි.
7, 8. පෞද්ගලික උපකරණ පාවිච්චි කරද්දී, අපට අනිත් අය කෙරෙහි සැලකිල්ල පෙන්විය හැක්කේ කෙසේද?
7 අනිත් අය කෙරෙහි සැලකිල්ල දක්වන්න: කැමරා හා වීඩියෝගත කිරීමේ යන්ත්‍ර වැඩසටහන අතරතුර භාවිත කළ හැකි වුවත්, එය කළ යුත්තේ ඔබේ ආසනය මත වාඩි වී අනිත් අයට බාධාවක් නොවන ආකාරයටයි. එමෙන්ම ජංගම දුරකථන හා පේජර් යන්ත්රද අන් අයට බාධාවක් නොවන සේ සකස් කර තැබිය යුතුයි. කිසිම පෞද්ගලික උපකරණයක් සමුළු භූමියේ විදුලි හා ශබ්ද විකාශන පද්ධතියට සම්බන්ධ නොකළ යුතුයි.
8 යෙහෝවාට ප්‍රශංසා කිරීම සඳහා එකට එක්රැස් වෙන්න අප බලා සිටින්නේ මොනතරම් ආශාවකින්ද! සෑම සැසිවාරයකටම පැමිණීමෙන්ද හොඳින් සවන් දීමෙන්ද අප ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීමෙන්ද යෙහෝවාව මහිමයට පත් කිරීමට අදිටන් කරගනිමු.—ද්වි. 31:12.
[Box on page 3]
සමුළුවේදී සවන් දීම
▪ කතාවල තේමාව ගැන ගැඹුරින් සිතා බලන්න
▪ ශුද්ධ ලියවිලි පාඨ පෙරළා බලන්න
▪ කෙටි සටහන් ගන්න
▪ අදාළ කරගැනීමට අපේක්ෂිත කරුණු ලියාගන්න
▪ ඉගෙනගත් දේවල් නැවත සලකා බලන්න