හොඳ සවන්දෙන්නෙක් වන්න
1 සාවධානව සවන් දීම සඳහා තමන්වම හික්මවාගැනීම අවශ්‍යයි. ඒ වගේම තමන් සවන් දෙන දෙයින් ප්‍රයෝජන ගැනීමට ආශාවක් සවන් දෙන තැනැත්තා තුළ තිබිය යුතුයි. යේසුස් මෙසේ පවසමින් සවන් දීමේ වැදගත්කම අවධාරණය කළා. “ඔබ සවන් දෙන ආකාරය ගැන අවධානය යොමු කරන්න.”—ලූක් 8:18, NW.
2 අපි සභා රැස්වීම්, එක්රැස්වීම් හා සමුළුවලට යන විට යේසුස් පැවසූ ඒ වදන් අදාළ කරගැනීමට විශේෂ වෑයමක් දැරිය යුතුයි. එම අවස්ථාවලදී අපි පරෙස්සමින් සවන් දිය යුතුයි. (හෙබ්‍රෙ. 2:1) ක්‍රිස්තියානි එක්රැස්වීම්වලදී හොඳ සවන්දෙන්නෙකු වීම සඳහා ඔබට උපකාරවත් වන කරුණු කිහිපයක් මතු දැක්වේ.
◼ රැස්වීම්වලින් ලැබෙන ප්‍රයෝජන අගය කරන්න. රැස්වීම් යනු, ‘විශ්වාස වූ ගබඩාකාරයා’ මගින් ‘යෙහෝවා අපට උගන්වනු ලබන’ ප්‍රධාන මාර්ගයයි.—ලූක් 12:42; යෙසා. 54:13.
◼ කලින් සූදානම් වන්න. සාකච්ඡා කිරීමට යන තොරතුරු කලින් සලකා බලන්න. රැස්වීමට යන විට ඔබේ බයිබලයත් පාඩම් කරනු ලබන ප්‍රකාශනයේ පෞද්ගලික පිටපතකුත් රැගෙන යන්න.
◼ රැස්වීම අතරතුරේදී සිත එක්තැන් කරගැනීම සඳහා විශේෂ වෑයමක් දරන්න. ඔබ ළඟ සිටින අය සමඟ කතා කිරීමෙන් හා වටපිට බැලීමෙන් වළකින්න. රැස්වීමෙන් පසු ඔබ කරන්න යන දේවල් ගැන හෝ වෙනත් පෞද්ගලික කාරණා ගැන කල්පනා නොකිරීමට වෑයම් කරන්න.
◼ කථිකයා ඉදිරිපත් කරන දේවල් විග්‍රහ කර බලන්න. ඔබෙන්ම මෙසේ අසන්න: ‘මෙය මට අදාළ වෙන්නේ කොහොමද? මම ඒක අදාළ කරගන්නේ කොයි අවස්ථාවලදීද?’
◼ මූලික කරුණු හා ශුද්ධ ලියවිලි පාඨ සටහන් කරගන්න. සාකච්ඡා කරනු ලබන විෂය කෙරෙහි අවධානය යොමු කර තබාගැනීමට එය මහත් උපකාරයක්. එමෙන්ම, පසු අවස්ථාවකදී භාවිත කිරීම සඳහා මූලික කරුණු මතක තබාගැනීමටද සටහන් ගැනීම උපකාරවත් වෙයි.
3 සවන් දීමට ඔබේ දරුවන්ට උගන්වන්න: දරුවන්ට ආත්මික කාරණා ඉගැන්වීම අවශ්‍යයි. (ද්වි. 31:12, 13ආ) පුරාණ කාලයේදී දෙවිගේ සෙනඟට ව්‍යවස්ථාව කියවන විට “අසා තේරුම්ගන්ට පුළුවන්වූ සියල්ලන්” සාවධානව එයට සවන් දිය යුතුව තිබුණා. (නෙහෙ. 8:1-3) දෙමාපියන් රැස්වීම්වලට හොඳ අවධානයක් දෙනවා නම් දරුවන්ද එසේ කරයි. සෙල්ලම් බඩු හෝ පාට කරන චිත්‍ර පොත් රැස්වීමට ගෙනවිත් දරුවන්ව ඒ දේවල්වලට යොමු කිරීම නැණවත් දෙයක් නොවෙයි. විටින් විට වැසිකිළියට යෑමද ඔවුන්ගේ සවන් දීමට බාධාවක් වෙයි. “මෝඩකම ළමයෙකුගේ සිතට බැඳී [තිබෙන]” නිසා දෙමාපියන් රැස්වීම්වලදී තම දරුවන්ව සන්සුන්ව වාඩි කරවාගැනීමටත්, ඔවුන්ගේ අවධානය රැස්වීම කෙරෙහි යොමු කර තබාගැනීමටත් වෑයම් කළ යුතුයි.—හිතෝ. 22:15.
4 හොඳ සවන් දෙන්නන් වීමෙන්, අපි නැණවත් පුද්ගලයන් බවත් ‘අසා ඉගෙනගැන්ම වැඩි කරගැනීමට’ වුවමනාවක් තිබෙන අය බවත් පෙන්වමු.—හිතෝ. 1:6.