ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g95 6/8 12-14 පි.
  • වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම
  • 1995 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • එය කුමක්ද?
  • එය සිදුවන්නේ කිනම් කාල සීමාවේද සහ මන්ද
  • ජීවිතය තුළ පැහැදිලි වෙනස්වීම්
  • කලකිරීමේ කාලපරිච්ඡේද
  • ජීවිතයේ අවදියක්
  • ආර්තවාභාවය සමඟ සාර්ථකව කටයුතු කිරීම
    1995 පිබිදෙව්!
  • ජීවිතේ මැදිවිය පසු කරන කාන්තාවන්ගේ ගැටලුව
    2013 පිබිදෙව්!
  • එහි රහස් හෙළි කිරීම
    1995 පිබිදෙව්!
  • අපගේ පාඨකයන්ගෙන්
    1996 පිබිදෙව්!
තව තොරතුරු
1995 පිබිදෙව්!
g95 6/8 12-14 පි.

වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම

“එය ස්ත්‍රියකගේ ජීවිතයේ ප්‍රසන්න කාල පරිච්ඡේදයක් කියා මම කියන්නේ නැහැ,” යනුවෙන් ආර්තවාභාවය පසු කළ එක් ස්ත්‍රියක් පිළිගත්තාය, “එහෙත් ඔබට ඉන් යමක් ඉගෙනගත හැකි යයි මට සිතෙනවා. මගේ සීමාවන් කෙසේ සැලකිය යුතුද කියා මා ඉගෙනගෙන ඇත. මගේ ශරීරයට වැඩි සැලකිල්ලක් හෝ විවේකයක් අවශ්‍ය නම් මා එයට සවන් දී ඊට අවශ්‍ය සැලකිල්ල ලබා දෙනවා.”

කැනේඩියන් ෆැමිලි ෆිසිෂන් නමැති සඟරාවේ වාර්තා කරන ලද ස්ත්‍රීන් සම්බන්ධ පර්යේෂණයක හෙළි කළේ, “කුමක් බලාපොරොත්තු විය යුතුද කියා නොදැන සිටීම” ආර්තවාභාවය සම්බන්ධ වඩාත්ම නරක දෙය වූ බවය. කෙසේවෙතත්, ආර්තවාභාවය වනාහි සාමාන්‍ය වෙනසක් බව තේරුම්ගත් ස්ත්‍රීන්ට “කාන්සාව, අධික පීඩනය සහ නොඉවසීම” වැනි හැඟීම් අඩු වූ අතර, ඔවුහු “තම ජීවිත ගැන වැඩි බලාපොරොත්තුවක් ඇතිව සිටියහ.”

එය කුමක්ද?

වෙබ්ස්ටර්ස් නයින්ත් නියූ කොලීජියට් ඩික්ෂනරි නමැති ශබ්දකෝෂය ආර්තවාභාවය මෙලෙස නිර්වචනය කරයි: “ඔසප්වීම ස්වභාවිකවම නතරවන කාලපරිච්ඡේදයයි, මෙය වයස අවුරුදු 45 සහ 50 අතර සිදුවේ.” ආර්තවාභාවය නියත වශයෙන් හඳුන්වා තිබෙන්නේද ඔසප් චක්‍රයේ අවසාන නතරවීම වශයෙනි.

සමහරක් ස්ත්‍රීන්ට, ඔසප්වීමේ අවසාන වාරය හිටිගමන්ම සිදුවේ; එක් ඔසප්වීමේ සමයක් අවසන් වුණාට පසුව ඊළඟට එය කවදාවත් ඇතිවන්නේ නැත. තවත් සමහරුන්ට ඔසප්වීම අපිළිවෙළට සිදුවන අතර, මෙය සති තුනක සිට මාස ගණනාවකට පසුව සිදුවිය හැක. ස්ත්‍රියකට ඔසප්වීමේ එක් සමයක්වත් නොමැතිව මුළු වසරක් ගෙවී ගියහොත්, ඇයට අන්තිම වරට ඔසප්වීම සිදුවූ අවස්ථාවේදී ආර්තවාභාවය සිදුවූ බව ඇයට විශ්වාසයෙන් යුක්තව නිගමනය කළ හැකිය.

එය සිදුවන්නේ කිනම් කාල සීමාවේද සහ මන්ද

උරුම වූ චරිත ස්වභාවයන්, අසනීප, අධික වෙහෙස, බෙහෙත් සහ ශල්‍යකර්ම ආදිය, මෙය හටගැනීමේ කාලයට බලපෑ හැකිය. උතුරු අමෙරිකාවේ සාමාන්‍යයෙන් ආර්තවාභාවය සිදුවන වයස, අවුරුදු 51 පමණ වේ. සාමාන්‍යයෙන් 40ගණන්වල මුල් අවදියේ සිට 50ගණන්වල මැද දක්වා එය සිදුවිය හැකි අතර, කලාතුරකින් එය ඊට කලින් හෝ පසුව සිදුවේ. සංඛ්‍යා ලේඛනවලින් අඟවන්නේ දුම්පානය කරන ස්ත්‍රීන්ට කලින් ආර්තවාභාවය සිදුවීමට ඉඩකඩ තිබෙන බවත්, බරින් වැඩි වන ස්ත්‍රීන්ට ආර්තවාභාවය ප්‍රමාද වී සිදුවීමට ඉඩකඩ තිබෙන බවත්ය.

උපතේදී ස්ත්‍රියෙකුගේ ඩිම්බකෝෂවල ඇයට තිබෙන්ට යන ඩිම්බ සියල්ලක්ම අඩංගු වේ, එනම් සිය දහස් ගණනක් එහි තිබේ. සෑම ඔසප් සමයකදීම, ඩිම්බ 20ක් සිට 1,000ක් දක්වා මෝරයි. ඉන්පසුව, එකක් හෝ ඉඳහිට එකට වඩා වැඩි සංඛ්‍යාවක්, ඩිම්බකෝෂයෙන් මුදාහරිනු ලබන අතර, සංසේචනය සඳහා සූදානම්ව තිබේ. අනික් මේරූ ඩිම්බ සියල්ලක්ම වියළී යයි. තවද, ඩිම්බ මේරීමේ ක්‍රියාවලියට අනුකූලව, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝනවල මට්ටම්ද නිතිපතා අඩු වැඩිවේ.

ස්ත්‍රියක් ඇගේ 30ගණන්වල අවසාන භාගය පසු කරනවාත් සමඟම, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්වල මට්ටම අඩු වෙන්ට පටන්ගනියි, මෙය ක්‍රමානුකූලව හෝ අපිළිවෙළට සිදුවන අතර, තවදුරටත් සෑම චක්‍රයක් සමඟම ඩිම්බ මුදාහැරීමක් සිදු නොවීමට ඉඩ ඇත. ඔසප්වීම එන්ට එන්ටම විධිමත්ව සිදු නොවන අතර, සාමාන්‍යයෙන් වඩා දීර්ඝ විරාමවලට පසුව සිදුවේ; ඔසප්වීම ප්‍රමාණයෙන්ද වෙනස් වේ, එනම් එය අඩු හෝ වැඩි විය හැක. අවසානයේදී තවදුරටත් ඩිම්බ මුදාහැරීමක් සිදු නොවන අතර, ඔසප්වීමද නතර වේ.

අවසාන ඔසප් සමය වනාහි, හෝමෝන මට්ටම්වල සහ ඩිම්බකෝෂවල ක්‍රියාකාරිත්වයේ වෙනස්වීම් රටාවක අවසානය වේ, මෙය සිදුවීමට වසර දහයක් දක්වා ගත වන්ට ඇත. කෙසේවෙතත්, ආර්තවාභාවයෙන් පසුව වසර 10 සිට 20කට පමණ ඩිම්බකෝෂ මගින් ඊස්ට්‍රජන් හෝමෝනයේ කුඩා ප්‍රමාණ දිගටම නිපදවනු ලැබේ. අධිවෘක්ක ග්‍රන්ථි සහ මේද සෛලවලින්ද ඊස්ට්‍රජන් නිපදවනු ලැබේ.

ජීවිතය තුළ පැහැදිලි වෙනස්වීම්

ඊස්ට්‍රජන් ප්‍රමාණ අඩුවෙත්ම එයට සංවේදී හෝ ඒ මත රඳාපවතින පටකවලට එය බලපායි. හිටිහැටියේ ඇඟ පුරා රස්නය දැනීමට හේතුව, ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන්නාවූ මොළයේ කොටස මත හෝමෝනවලින් ඇති කරනු ලබන බලපෑම බව සිතේ. නියම ක්‍රියා පිළිවෙළ කුමක්ද යන්න නොදන්නා දෙයක් වුවත්, ශරීරයේ ශීතෝෂ්ණකය වඩා පහත් ප්‍රමාණයකින් සකස්වන බවත්, එමනිසා කලින් පහසුවක් ලබා දුන් උෂ්ණත්ව ප්‍රමාණ හිටිහැටියේ ඉතා උණුසුම් වන බවත්, එනිසා ශරීරය රත් වී එය සිසිල් කරගැනීම සඳහා දහඩිය දමන බවත් පෙනේ.

ගේල් ෂීඊගේ, ද සයිලන්ට් පැසෙජ්—මෙනපෝස් නමැති පොතේ, ඈ මෙසේ සටහන් කරන්නීය: “හිටිහැටියේ ඇඟට රස්නයක් දැනීම අද්දකින්ට යන ස්ත්‍රීන්ගෙන් අඩක්ම ඔවුන්ට සාමාන්‍යයෙන් ඔසප්වීම සිදුවන විට එය අද්දැකිය හැකි අතර, වයස අවුරුදු හතළිහ තරම් කල් ඇතිව පවා එසේ සිදුවිය හැකිය. ස්ත්‍රීන්ගෙන් බහුතරයකට හිටිහැටියේ ඇඟට රස්නය දැනීම අවුරුදු දෙකකට සිදුවන බව අධ්‍යයනවල දැක්වේ. ස්ත්‍රීන්ගෙන් හතරෙන් කොටසකට එය අවුරුදු පහකට සිදු වේ. එමෙන්ම සියයට 10කට ඔවුන්ගේ ජීවිතවල ඉතිරි කාලය පුරා එය සිදු වෙයි.”

ස්ත්‍රියෙකුගේ ජීවිතයේ මෙම අවදියේදී, ඊස්ට්‍රජන් මට්ටම පහත වැටෙන හෙයින් යෝනි පටක වඩා සිහින් වන අතර එහි තෙතමනයද අඩු වේ. ස්ත්‍රීන් අද්දකින වෙනත් සහලක්ෂණවලට, “රාත්‍රියේදී හිටිහැටියේ දහඩිය දැමීම, නිදාගැනීමට නොහැකි වීම, මුත්‍රා යෑම පාලනය කිරීමට නොහැකි වීම, හිටිගමන්ම ඉණ වටේ මහත් වීම, හෘද ස්පන්දනය වේගවත් වීම, කිසි හේතුවක් නොමැතිව ඇඬීම, හදිසි කෝපය, ඉරුවාරදය, කුඩා කෘමින් ඇඟ පුරා දුවනවා බඳු හැඟීමක් නිසා සම කැසීම [සහ] ඉඳ හිට මතකය නැතිවීම,” ඇතුළත් වන බව ගේල් ෂීඊ පවසයි.

කලකිරීමේ කාලපරිච්ඡේද

ඊස්ට්‍රජන් අඩුවීම කලකිරීමට හේතුවක්ද? මෙම ප්‍රශ්නය බොහෝ තර්ක විතර්කවල මාතෘකාව වී ඇත. ඇතැම් ස්ත්‍රීන්ට එසේ සිදුවේ යන්න පිළිතුර විය හැකි බව පෙනේ, එනම් ඔසප්වීම පටන්ගැනීමට පෙර චිත්ත ස්වභාවයේ හදිසි වෙනස්වීම් අද්දුටු අයට සහ රාත්‍රියේදී හිටිහැටියේ දහඩිය දැමීම නිසා නිදාගැනීමට නොහැකි වීමෙන් පීඩා විඳින අයටය. මෙම කණ්ඩායමට අයත් ස්ත්‍රීන් හෝමෝනවල අඩු වැඩිවීමේ චිත්තවේගීය බලපෑම්වලට ඉතා සංවේදී බව පෙනේ. ගේල් ෂීඊට අනුව, මෙම ස්ත්‍රීහු බොහෝවිට “ආර්තවාභාවයේ පසු කාලයට ළඟා වූ විට මහත් සහනයක් අද්දකිති” මන්දයත් එවිට හෝමෝන මට්ටම් ස්ථිර වන බැවිනි.

විකිරණ චිකිත්සාව, රසායන චිකිත්සාව හෝ ශල්‍යකර්මය මගින් ඩිම්බකෝෂ දෙකම ඉවත් කිරීම යනාදියේ ප්‍රතිඵලයක් වශයෙන් හදිසියෙන්ම ආර්තවාභාවය අද්දකින ස්ත්‍රීන් විසින් වඩාත් දරුණු ලක්ෂණ අද්දැකීමට ඉඩ ඇත. මෙම ක්‍රියාවලි නිසා ඊස්ට්‍රජන් මට්ටම්වල හදිසි අඩුවීමක් ඇති කළ හැකි අතර, එනිසා ආර්තවාභාවයේ ලක්ෂණ මතුවිය හැක. මේ අවස්ථාවලදී, ස්ත්‍රියගේ සෞඛ්‍ය තත්වයට අනුව ඊස්ට්‍රජන් ප්‍රතිසම්පාදනය කිරීමේ ප්‍රතිකාරය නිර්දේශ කරනු ලැබිය හැක.

දරුණුභාවය හා අද්දකිනු ලබන ලක්ෂණවල මාදිලිය එක් ස්ත්‍රියකගෙන් තවත් ස්ත්‍රියකට සෑහෙන ප්‍රමාණයකට වෙනස් විය හැකිය, එකිනෙකාට ඥාති ස්ත්‍රීන් අතර පවා තත්වය මෙසේ විය හැකිය. මෙයට හේතුව එක් ස්ත්‍රියකට වඩා තවත් ස්ත්‍රියකගේ හෝමෝන මට්ටම වෙනස්වන අතර, එය විවිධ වේගවලට අනුව අඩුවන නිසාය. ඊට අමතරව, ස්ත්‍රීන් ආර්තවාභාවයට ළං වනවාත් සමඟම ඔවුහු එකිනෙකාට වෙනස් චිත්තවේගයන්, අසහන ස්වභාවයන්, සාර්ථකව කටයුතු කිරීමේ හැකියාවන් එමෙන්ම බලාපොරොත්තු ඇතුව සිටිති.

ආර්තවාභාවය බොහෝවිට ස්ත්‍රියකගේ ජීවිතයේ වෙනත් පීඩාකාරි තත්වයන් සමඟ එකවිටම සිදුවේ, එනම් වයසැති දෙමව්පියන්ට සාත්තු කිරීම, රැකියාවක නියැලීම, දරුවන් හැදී වැඩී නිවසින් පිටවී යෑම දැකීම සහ මැදි වියේදී පැමිණෙන වෙනත් සකස්වීම්වලට මුහුණ දීම යනාදිය වේ. මෙම වෙහෙසකාරි කටයුතු ශාරීරික මෙන්ම චිත්තවේගීය ලක්ෂණ ඇති කළ හැකිය, මේවා වරදවා ආර්තවාභාවයට සම්බන්ධ කිරීමට ඉඩ ඇත, ඒවාට අමතක වීම, අවධානය යොමු කිරීමට නොහැකි වීම, කාන්සාව, හදිසි කෝපය සහ කලකිරීම යනාදිය ඇතුළත් වේ.

ජීවිතයේ අවදියක්

ආර්තවාභාවය වනාහි, ස්ත්‍රියකගේ ප්‍රජනන ජීවිතයේ අවසානය මිස, ඇගේ ඵලදායී ජීවිතයේ අවසානය නොවේ. ස්ත්‍රියකගේ අවසාන ඔසප් වාරයෙන් පසුව, ඇගේ චිත්ත ස්වභාවයන් බොහෝවිට වඩාත් ස්ථිර තත්වයකට පත්වේ, ඒවා මාසික හෝමෝන චක්‍ර නිසා තවදුරටත් වෙනස් වෙමින් නොපවතී.

ආර්තවාභාවයේ අවසානය පැහැදිලි වෙනස්වීමක් නිසා අප එයට අවධානය යොමු කළත්, එය වනාහි ස්ත්‍රියක් ඇගේ ජීවිතයේ ප්‍රජනන සමය අත්හරින විට මාරුවීමක ක්‍රියාවලියේ ප්‍රකාශවීමක් පමණි. මල්වරවීම, ගැබ්ගැනීම සහ දරු උපත ආදියද හෝමෝනීය, ශාරීරික මෙන්ම චිත්තවේගීය වෙනස්කම් ඇතුව සිදුවන වෙනස්වීම් වේ. එසේනම්, ස්ත්‍රියකගේ ජීවිතයේ හෝමෝන මගින් ඇති කරනු ලබන වෙනස්වීම්වල අවසාන වෙනස්වීම ආර්තවාභාවය වුවත්, එය ඇයට සිදුවන එකම වෙනස්වීම නොවෙයි.

එබැවින්, ආර්තවාභාවය වනාහි ජීවිතයේ එක් අවදියකි. “ඇතැම්විට, ආර්තවාභාවය උග්‍රාවස්ථාවක් ලෙස නැතහොත් ‘වෙනස්වීමක්’ ලෙස ජනයා විසින් සැලකීම වෙනුවට, වඩාත් යෝග්‍ය පරිදි ‘තවත් වෙනසක්’ වශයෙන් සලකනු ලැබේ,” යනුවෙන් ජර්නල් ඔෆ් අමෙරිකන් මෙඩිකල් විමෙන්ස් එසෝසියේෂන් නමැති සඟරාවේ කලින් සිටි ප්‍රධාන කර්තෘවරියක් ලීවාය.

විමෙන් කමිං ඔෆ් ඒජ් නමැති පොතේ දිරිගන්වනසුලු ලෙස පවසනුයේ ස්ත්‍රියකගේ සඵලභාවයේ අවසානය “එහි කලින් නියම කරන ලද ආරම්භය තරම්ම ස්වාභාවික මෙන්ම වැළකිය නොහැකි දෙයකි. ආර්තවාභාවයට පැමිණීම ඇත්තවශයෙන්ම හොඳ ශාරීරික සෞඛ්‍යයේ ලකුණකි—එනම් [ඇගේ] ශරීරයේ අභ්‍යන්තර ඔරලෝසුව හොඳින් ක්‍රියාත්මක වන බවට ලකුණකි.”

කෙසේවෙතත්, එම වෙනස්වීම හැකිතාක්දුරට පහසු එකක් කරවීමට කුමක් කළ හැකිද? එමෙන්ම ජීවිතයේ මෙම වෙනස්වීමේ සමයේදී කලත්‍රයෙකුට මෙන්ම පවුලේ සාමාජිකයන්ට උපකාරවත් විය හැක්කේ කෙසේද? ඊළඟ ලිපියේ මෙම කාරණා සලකා බලනු ලැබේ. g95 2/22

[14වන පිටුවේ පින්තූරය]

ආර්තවාභාවය බොහෝවිට වයසක දෙමාපියන්ට සාත්තු කිරීම ඇතුළත්ව වෙනත් වෙහෙසකාරි තත්වයන් සමඟ එකවිටම සිදුවේ

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න