ආර්තවාභාවය සමඟ සාර්ථකව කටයුතු කිරීම
ආර්තවාභාවය වනාහි “අද්විතීය ලෙසින් පෞද්ගලික අද්දැකීමකි,” එමෙන්ම එය “ඔබේ ජීවිතයේ නව මෙන්ම නිදහස ලබා දෙන අවදියක ආරම්භය වේ,” යනුවෙන් නැචුරල් මෙනපෝස්—ද කම්ප්ලීට් ගයිඩ් ටු ඒ වුමන්ස් මෝස්ට් මිස්අන්ඩර්ස්ටුඩ් පැසෙජ් යන පොතේ කර්තෘවරු පවසති. ඔබ ගැනත් ඔබගේ ජීවිතය ගැනත්—එනම් ඔබගේම වටිනාකම හා අනන්‍යතාව ගැන—ඔබට වඩාත් හොඳ හැඟීමක් දැනෙනවාත් සමඟම, එම වෙනස්වීම වඩාත් පහසු වනු ඇති බව පර්යේෂණ මගින් දැක්වේ.
ඇතැම් ස්ත්රීන්ට ජීවිතයේ මෙම අවදිය තුළදී අන් අයට වඩා දේවල් දුෂ්කර වන බව සැබෑවකි. ඔබට දුෂ්කරතා තිබේ නම්, ඔබට ආත්ම-අභිමානයේ ගැටලු තිබෙන බව හෝ ඔබ සිහිවිකල් වෙනවා හෝ මන්දබුද්ධික වන බව හෝ ලිංගික කාරණා කෙරෙහි වූ ඔබගේ උනන්දුව අහිමි වන බව හෝ ඉන් අඟවන්නේ නැත. ඒ වෙනුවට ගැටලුව සාමාන්‍යයෙන් ජෛවවේදීය එකකි.
“ආර්තවාභාව සමයේදී දරුණු සහලක්ෂණ අද්දුටු ස්ත්‍රීහු පවා, එහි අවසානයෙන් පසුව තමන්ට අරමුණේ මෙන්ම ප්‍රාණවත්භාවයේ නව හැඟීමක් තිබූ බව පවසති,” යනුවෙන් නියූස්වීක් වාර්තා කරයි. අවුරුදු 42ක් වයසැති එක් තැනැත්තියක් මෙසේ පැවසුවාය: “මා අපේක්ෂාවෙන් සිටින්නේ ශාන්තභාවයේ කාලපරිච්ඡේදයටයි, එවිට මගේ ශරීරය තවදුරටත් මාව ව්‍යාකූලත්වයට පත් නොකරනවා ඇත.”
ස්ත්‍රීන් වඩා හොඳින් කටයුතු කරන අවස්ථා
වයසින් වැඩි ස්ත්‍රීන්ව සලකනු ලබන ආකාරය වනාහි ඔවුන් ආර්තවාභාවය සමඟ කොතරම් සාර්ථකව කටයුතු කරයිද යන්න සම්බන්ධයෙන් වැදගත් කාරණයක් වේ. ස්ත්රීන්ගේ මේරූභාවය, ප්‍රඥාව හා අද්දැකීම අගය කරනු ලබන ස්ථානවල, ආර්තවාභාවයේ කාලය ඇති වන්නේ ශාරීරික මෙන්ම චිත්තවේගීය අපහසුතා ඉතා ස්වල්පයක් සමඟිනි.
නිදසුනක් වශයෙන්, ද වුමන්ස් එන්සයික්ලොපීඩියා ඔෆ් හෙල්ත් ඇන්ඩ් නැචුරල් හීලිං වාර්තා කරන්නේ, “ආර්තවාභාවය ජීවිතයේ සාදරයෙන් පිළිගනු ලබන අවදියක් වශයෙන් සලකනු ලබන, එමෙන්ම එය පසු කළ ස්ත්රීන්ට සිය අද්දැකීම හා ප්‍රඥාව සඳහා ගෞරව කරන” අප්‍රිකානු ගෝත්‍රවල “ආර්තවාභාවයේ රෝග ලක්ෂණ ගැන දොස් කියනු ලබන්නේ කලාතුරකිනි,” යනුවෙනි. සමාන ලෙසින්, ද සයිලන්ට් පැසෙජ්—මෙනපෝස් මෙසේ පවසයි: ආර්තවාභාවයේදී “රජ්පුට් කුලයට අයත් ඉන්දියානු ස්ත්‍රීන් කලකිරීම ගැන හෝ මානසික ගැටලු ගැන හෝ මැසිවිලි කියන්නේ නැත.”
වැඩිහිටි ස්ත්රීන්ට අධික සේ ගරු කරනු ලබන ජපානයේද, ආර්තවාභාවය සඳහා හෝමෝනවලින් ප්‍රතිකාර ලබා දීම වනාහි බොහෝදුරට නොදත් කාරණයකි. තවදුරටත්, බටහිර සංස්කෘතියට අයත් ස්ත්රීන්ට වඩා ආසියාතික ස්ත්‍රීහු ආර්තවාභාවයේ දරුණු ලකුණු ස්වල්පයක් හෝ අඩු ප්‍රමාණයක් අද්දකිති. ඔවුන්ගේ ආහාරය මෙයට දායක වන සාධකයක් බව පෙනෙයි.
එක් මානව විද්‍යාඥයෙකුගේ අධ්‍යයනවලට අනුව, මායා ජාතික ස්ත්‍රීහු ඇත්තවශයෙන්ම ආර්තවාභාවය ඇති වන තෙක් බලා සිටියහ. එම ස්ත්‍රීන් හට ආර්තවාභාවය වනාහි නොකඩවා දරුවන් වැදීමෙන් සහනයක් ලබා දුන්නේය. ජීවිතයේ වෙනත් දේවල් ලුහුබැඳීම සඳහාද එමගින් නිදහස ලැබීම ගැන සැකයක් නැත.
කෙසේවෙතත්, ආර්තවාභාවයට සම්බන්ධ බිය, සැහැල්ලුවට ගෙන නොසලකා හැරීම සුදුසු නැත. යෞවනභාවයේ හා යෞවන පෙනුමේ වටිනාකම වැදගත් කොට සලකන සංස්කෘතිවල, ආර්තවාභාවය තවමත් අද්දැක නැති ස්ත්‍රීහු බොහෝවිට එයට බිය වෙති. එබඳු පුද්ගලයන්ට මෙම වෙනස්වීමත් සමඟ ඇතිවන දුෂ්කරතා අඩු කිරීම සඳහා කුමක් කළ හැකිද?
ස්ත්‍රීන්හට අවශ්‍ය දේ
ආර්තවාභාවය සම්බන්ධ අධ්‍යාපන කර්තෘ මෙන්ම පුරෝගාමියක වන ජනීන් ඔ’ලියරි කොබ්, මෙසේ පැහැදිලි කරන්නීය: “බොහෝ ස්ත්රීන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ හැඟීම් සඳහා යම් ආකාරයක ඒත්තුගැන්වීමක්ය—එනම් එලෙස හැඟෙන්නේ ඔවුන්ට පමණක් නොවන බව ඔවුන් දැනගත යුතුය.”
තේරුම්ගැනීම මෙන්ම, ප්‍රීතිමත් ආකල්පයක් අත්‍යවශ්‍ය දේවල්ය. ආර්තවාභාවය අද්දකිමින් සිටි අවුරුදු 51ක් වයසැති මවක් මෙසේ පැවසුවාය: “ඔබ ආර්තවාභාවයට මුහුණ දෙන ආකාරය මඟ පෙන්වන්ට යන්නේ ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන සාමාන්‍ය බලාපොරොත්තුව කියා මා අවංකව විශ්වාස කරනවා. . . . වයසට යන බව මම දන්නවා. අප ඊට කැමති වුවත් නැතත්, එය සිදුවෙනවාමයි. . . . මෙම [ආර්තවාභාවය] රෝගයක් නොවන බව මා තීරණය කළා. එය මගේ සාමාන්‍ය ජීවිතයයි.”
එබැවින් ඔබේ ජීවිතයේ මෙම නව අවදිය ළඟාවනවාත් සමඟම, නව මෙන්ම අභියෝගාත්මක දේවල් ගැන ගැඹුරු ලෙස මෙනෙහි කිරීම සඳහා කාලය ගත කරන්න. ආර්තවාභාවය නිසා ශරීරයට ඇතිවන කායික බලපෑම් නොසලකා හැරිය නොහැක. එම වෙනස සඳහා සූදානම් වීමක් වශයෙන්, යහපත් සෞඛ්‍ය තත්වයක් සඳහා සාමාන්‍ය ප්‍රතිපත්ති අනුගමනය කිරීමට වෛද්‍යවරු මෙන්ම වෙනත් අධිකාරීහු උපදෙස් දෙති—පෝෂ්‍යදායක ආහාර, සෑහෙන තරම් විවේකය සහ ප්‍රමාණවත් ව්‍යායාමය ඊට ඇතුළත් වේ.
ආහාර හා ව්‍යායාමය
පෝෂ්‍ය පදාර්ථ (ප්‍රෝටීන, කාබෝහයිඩ්රේට, මේද, විටමින, ඛණිජ) සඳහා ස්ත්‍රියකට තිබෙන අවශ්‍යතාව ඈ වයසට යත්ම අඩු වන්නේ නැත, නමුත් කැලරිවලට ඇයට තිබෙන අවශ්‍යතාව අඩු වෙයි. එබැවින්, පෝෂ්‍ය පදාර්ථවල සාරය ඉහළ ප්‍රමාණයක් අඩංගු ආහාර අනුභව කිරීමත්, “හිස් කැලරි” වන සීනි බහුල, මේද සහිත ආහාර ගැනීමෙන් වැළකීමත් වැදගත් වේ.
නිතිපතා ව්‍යායාම් කිරීම අධික වෙහෙස හා කලකිරීම සමඟ සාර්ථකව කටයුතු කිරීමට තිබෙන හැකියාව වැඩි කරවයි. එය ශක්තිය වැඩි කරවන අතර බර වැඩිවීම වළක්වාගැනීමට උපකාරවත් වෙයි. වයසට යෑමත් සමඟම මූලික පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමානුකූලව අඩු වෙයි, එමෙන්ම ව්‍යායාම් මඟින් වැඩි කරනු නොලැබේ නම්, ක්‍රමානුකූලව බර වැඩිවීමට නැඹුරුවාවක් තිබේ.
කැල්සියම්වල අතිරේක ප්‍රමාණයක් සමඟින් ව්‍යායාම් කිරීමද ඔස්ටියෝපොරෝසිස් නමැති අස්ථි දියවීමේ හා බිඳෙනසුලුභාවයේ රෝග තත්වයක වේගය අඩු කළ හැකි බව ස්ත්‍රීන් දැන සිටීම ඉතා වැදගත් වේ. “නිසි ලෙස කරනු ලබන ගෘහස්ථ ව්‍යායාම්, ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම සහ ව්‍යායාමය උදෙසා කරන වෙනත් ක්‍රීඩාවන්, එමෙන්ම බර ඉසිලීමෙන් ව්‍යායාම් කිරීම,” විශේෂයෙන් යහපත් වන බව ගණන්ගනු ලැබේ යයි විමෙන් කමිං ඔෆ් ඒජ් නමැති පොතේ සඳහන් වෙයි. මහලු වියේ සෑහෙන කාලයක් ගත වන තෙක් මිනිසුන් ශාරීරිකව ක්‍රියාශීලීව සිටින ඇතැම් දුරස්තර සමාජයන්හි ඔස්ටියෝපොරෝසිස් දකින්ට නොලැබීම, සිත්ගන්නා කරුණකි. එබඳු ප්‍රදේශවල ස්ත්‍රීහු සාමාන්‍ය වශයෙන් වයස අවුරුදු 80ක් හෝ 90ක් දක්වා ජීවත්වෙත්. කෙසේවෙතත්, ඕනෑම ව්‍යායාම් වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයා හමුවීම ප්‍රඥාවන්ත දෙයක් වනු ඇත.
හිටිහැටියේ ඇඟට රස්නය දැනීම සමඟ කටයුතු කිරීම
ස්ත්‍රීන්ගෙන් බහුතරයකට හිටිහැටියේ ඇඟට රස්නය දැනීම මහ කරදරයකි. කෙසේවෙතත්, ඇතමෙකුට මේවා සැබෑ ගැටලුවක් වන්නේ මන්දයත්, ඒවා නිතර නිතර සිදුවන බැවිනි, එසේත් නැතහොත් ඒවා හේතුවෙන් නිතරම පාහේ නින්දට බාධා ඇතිවන බැවිනි. කුමක් කළ හැකිද?
ප්‍රථම වශයෙන්, කලබල නොවන්න. ඒ ගැන කනස්සලු වීමෙන් සිදුවන්නේ එම තත්වය වඩාත් දුෂ්කර කිරීම පමණි. නිතිපතා ප්‍රමාණවත් ව්‍යායාමයක් ගැනීම ප්‍රයෝජනවත් වේ, මන්දයත් අමතර රස්නයක් සමඟ කටයුතු කිරීමටත්, වඩාත් ඉක්මනින් සිසිල්වීමටත්, එය ශරීරයට උපකාරවත් වෙයි. ඇල්වතුර වීදුරුවක් බීමේ හෝ ඔබේ දෑත් ඇල් වතුරේ තැබීමේ සරල පියවරද අත්හදා බලන්න.
ඊට අමතරව, ලිහිල් ඇඳුම් එක පිට එක ඇඳීමට පුරුදු වන්න, එවිට ඒවා පහසුවෙන් ගළවා දැමීමට හෝ තවත් වැඩිපුර ඇඳුම් ඇඳීමට හෝ හැකි වේ. කපු මෙන්ම ලිනන් රෙදිවලින් කෘත්‍රිම රෙදිවලට වඩා දහඩිය හොඳින් වාෂ්ප වී යෑමට ඉඩ සැලසේ. රාත්රියේදී එකක් පිට එකක් පෙරවීමේ ක්‍රමය, එනම් අවශ්‍ය විට එකක් උඩ එකක් පෙරවිය හැකි හෝ ඉවත් කළ හැකි ඇතිරිලි කිහිපයක් පෙරවීම අත්හදා බලන්න. නිදන ඇඳුම් කට්ටලයක් අත ළඟ තබාගන්න.
හිටිහැටියේ ඔබේ ඇඟ පුරා රස්නය දැනීමට සලස්වන්නේ කුමක්ද කියා සොයා බැලීමට වෙර දරන්න. මත්පැන්, කැෆේන්, සීනි වර්ග සහ දැවිල්ල සහිත හෝ කුළුබඩුවලින් රසවත් කළ ආහාරවලට මෙන්ම දුම්පානයට, එසේ ඇතිවීමට සැලැස්විය හැක. එසේ හිටිහැටියේ ඇඟට රස්නය දැනෙන අවස්ථා සහ ඒවා සිදුවන්නේ කොතැනකද යනාදිය ගැන දෛනික වාර්තාවක් තබාගැනීමෙන් ඒවා හටගැනීමට සලස්වන ආහාර සහ ක්‍රියාකලාප කුමක්ද කියා හඳුනාගැනීමට ඔබට උපකාර කළ හැකිය. ඉන්පසුව එම දේවල්වලින් වැළකී සිටින්න.
හිටිහැටියේ ඇඟ පුරා රස්නය දැනීම අඩු කිරීම සඳහා, පෝෂ්‍යදායක ඖෂධ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරු විවිධ ප්‍රතිකාර ක්‍රම නිර්දේශ කරති, ඊ විටමින, ඊව්නිං ප්‍රිම්රෝස් තෙල් සහ ජින්සෙං, ඩොං ක්වේ සහ බ්ලැක් කොහොෂ් නමැති ඖෂධීය පැළෑටි ඉන් සමහරකි. ඇතැම් වෛද්‍යවරුන්ට අනුව, බෙලර්ගල් සහ ක්ලොනිඩයින් නමැති නිර්දේශ කරනු ලබන බෙහෙත් වර්ග සහනයක් සපයන නමුත්, වඩාත් බලපෑමෙන් යුක්ත යයි පිළිගෙන තිබෙන්නේ, ඊස්ට්‍රජන් පෙති හෝ සමේ ආලේප කරන ඊස්ට්‍රජන් අඩංගු කැබලිය.a
යෝනියේ වියළි ගතියට එළවලු හෝ පලතුරු තෙල් ඊ-විටමින තෙල් සහ ස්නේහක ජල්ලි වර්ග යෙදීමෙන් ප්‍රතිකාර කළ හැකිය. මේවා ප්‍රමාණවත් නොවේ නම්, ඊස්ට්‍රජන් ආලේපනය මගින් යෝනියේ බිත්ති ඝනවී ස්නේහක ගතිය ඇතුව සිටීමට උපකාර කරයි. ඕනෑම ක්‍රියාවලියක් පටන්ගැනීමට පෙර, ප්‍රථමයෙන්ම, වෛද්‍යවරයෙකු හමුවීම ප්‍රඥාවන්ත දෙයකි.
අධික වෙහෙස ගැන කුමක් කිව හැකිද?
ආර්තවාභාවය සමඟ ඇතිවන හෝමෝනීය සහ කායික වෙනස්කම් සමඟ කටයුතු කිරීමට ස්ත්‍රියකට සිදුවන අවස්ථාවේදීම, ඇයට බොහෝවිට වෙනත් වෙහෙසකාරි සිද්ධීන්ටත් මුහුණ දීමට සිදුවේ, ඉන් ගණනාවක් පෙර ලිපියේ සඳහන් විය. අනික්අතට, මුනුබුරෙකුගේ හෝ මිනිබිරියකගේ උපත හෝ දරුවන් නිවසින් පිටවී ගියාට පසුව අලුත් කටයුතුවල නියැලීම, බඳු ඒකාන්ත දේවල්, නිෂේධාත්මක අධික වෙහෙසට විරුද්ධව ක්‍රියා කළ හැක.
සූසන් පෙරී සහ වෛද්‍ය කැත්රින් ඒ. ඔ’හැන්ලන්, නැචුරල් මෙනපෝස් නමැති ඔවුන්ගේ පොතේ, අධික වෙහෙස වඩා හොඳින් හැසිරවීම සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කරති. අධික වෙහෙසේ හේතු සාධක හඳුනාගෙන ඉන්පසුව කලින් කලට විවේකගැනීමට තිබෙන අවශ්‍යතාවට ඔවුහු යොමු දක්වති. නිදන්ගත රෝගියෙකු වන පවුලේ සාමාජිකයෙකුට සත්කාර කිරීම සඳහා උපකාර ලබාගැනීම මින් අදහස් කළ හැක. “ඔබ දේවල් කරන වේගය පාලනය කරන්න,” යනුවෙන් ඔවුහු උනන්දු කරති. “ඔබේ කාලසටහනේ පමණට වඩා වැඩි දේ ඇතුළත් කිරීමෙන් වැළකීමට වෑයම් කරන්න . . . ඔබේ ශරීරයට සවන්දෙන්න.” ඔවුහු තවදුරටත් මෙසේ පවසති: “අන්‍යයන්ට සේවයක් කිරීම . . . අධික වෙහෙස අඩු කිරීමට මහත් උපකාරයක් විය හැක. . . . නිතිපතා ව්‍යායාම් කරන්න. . . . ඔබට අධික වෙහෙස පාලනය කිරීමට නොහැකි තත්වයකට ඔබේ ජීවිතය පත්වෙයි නම්, විශේෂඥ උපකාරය පතන්න.”
පවුලේ සාමාජිකයන්ට සහායවන්ට හැක
ආර්තවාභාවය අද්දකිමින් සිටින ස්ත්‍රියකට, චිත්තවේගීය තේරුම්ගැනීම හා ප්‍රායෝගික උපකාරය අවශ්‍ය වේ. එක් භාර්යාවක් කාන්සාවේ කාලපරිච්ඡේදවලට අසුවූ විට තමා කරන දේ ගැන විස්තර කරමින් මෙසේ පැවසුවාය: “මම මගේ ස්වාමිපුරුෂයා සමඟ දේවල් කතා කළා, ඔහුගේ අනුකම්පාසහගත තේරුම්ගැනීම ලබාගැනීමෙන් පසුව, එම ගැටලු මගේ කාන්සා සහිත මානසික තත්වය නිසා විශාලව පෙනුණ තරමටම විශාල නොවූ බව මට පැහැදිලි වුණා.”
ආර්තවාභාවය අද්දකින විට එකම වේගයට දේවල් කිරීමට තම භාර්යාවට නොහැකි වන බවද සංවේදී ස්වාමිපුරුෂයෙක් වටහාගනියි. එනිසා පවුලේ වගකීම් දැරීමට උපකාර කිරීමෙහි මුලපිරීමට ඔහු පියවර ගැනීමට අවදිව සිටිනු ඇත, ඇතැම්විට රෙදි සේදීමට, ආහාර සඳහා සාප්පු යෑමට සහ එබඳු දේවල් කිරීමෙන් ඔහුට එසේ කළ හැක. දයානුකම්පාවෙන් යුක්තව, ඔහු සිය භාර්යාවගේ අවශ්‍යතා තමාගේ අවශ්‍යතාවලට ඉදිරියෙන් තබනවා ඇත. (පිලිප්පි 2:4) ඉඳහිට පිටින් ආහාරයක් ගැනීමට ඔහු යෝජනා කළ හැක, එසේත් නැතහොත් වෙනත් යම් ආකාරයකින් දෛනික දිනචර්යාවෙන් ප්‍රසන්න විවේකයක් පිළියෙළ කිරීමට ඔහුට හැකි වේ. හැකිතාක්දුරට එකඟ නොවීමෙන් ඔහු වළකිනු ඇති අතර, සෞඛ්‍යසම්පන්න ආහාර ගැනීමේ පුරුදු පවත්වාගැනීම සඳහා වූ ඇගේ වෑයම්වලට ඔහු උපකාර කරනවා ඇත.
සියල්ලට වඩා, ඇය සඳහා වූ ඔහුගේ නිරන්තර ප්‍රේමය සම්බන්ධයෙන් නිතිපතා ඒත්තු ගන්වනු ලැබීම සඳහා භාර්යාවට තිබෙන අවශ්‍යතාව ස්වාමිපුරුෂයා ඉටු කරනු ඇත. ඔහු දැනුම් තේරුම් ඇතිව කටයුතු කළ යුතු අතර, පෞද්ගලික දේවල් සම්බන්ධයෙන් තම භාර්යාවව විහිළුවට ලක් කිරීමට සුදුසු කාලය මෙය නොවන බව ඔහු තේරුම්ගත යුතුය. ප්‍රේමනීය ආකාරයකින් තම භාර්යාවට සලකන පුරුෂයෙක්, ‘ඇය සමඟ දැනගැන්මේ හැටියට වාසයකරමින්, ඇයට ගෞරව දීම,’ සඳහා වූ ශුද්ධ ලියවිලිමය අවවාදය අනුගමනය කරමින් සිටියි.—1 පේතෘස් 3:7.
සමාන ආකාරයකින්, දරුවන්ද තම මවගේ හදිස්සි චිත්තවේගීය වෙනස්කම්වලට හේතුව තේරුම්ගැනීමට අව්‍යාජ වෑයමක් දැරිය යුතුය. තනි වී සිටීමට ඇයට තිබෙන අවශ්‍යතාව ඔවුන් වටහාගත යුතුය. තම මවගේ මානසික ස්වභාවයන්ට සංවේදීව කටයුතු කිරීම වනාහි ඔවුන් සැබවින්ම ඇය ගැන සලකන බව ඇයට හෙළි කරයි. අනික් අතට, කලින් කිව නොහැකි වූ ඇගේ ස්වභාවය ගැන විහිළු කිරීම වනාහි තත්වය වඩාත් උග්‍ර කරනවා පමණි. සිදුවෙමින් පවතින දේ වඩා හොඳින් තේරුම්ගැනීම සඳහා සුදුසු ප්‍රශ්න අසන්න, එමෙන්ම ගෙදර දොර කටයුතු කිරීමට ඔබෙන් ඉල්ලා සිටීමට පෙර උපකාර කරන්න. මේවා වනාහි, මවකගේ ජීවිතයේ මෙම අවදිය තුළ ඇයට උපකාර කිරීමට කළ හැකි දේවල් ස්වල්පයක් පමණි.
ආර්තවාභාවයෙන් පසු ජීවිතය
ස්ත්‍රියකගේ ජීවිතයේ මෙම අවදිය අවසන් වන විට, බොහෝවිට ඇය ඉදිරියෙන් වසර ගණනාවක් තිබේ. ඇය ලබා තිබෙන ප්‍රඥාවත් අද්දැකීමත් මිළ කළ නොහැකි තරම්ය. “වැඩිහිටි අමෙරිකානුවන් හැටදහසක්” සම්බන්ධයෙන් කර්තෘ ගෙයිල් ෂීඊගේ අධ්‍යයනවලින් “තහවුරු කළේ, පනස්ගණන්වල සිටි ස්ත්‍රීන් ඔවුන්ගේම නිරීක්ෂණවලට අනුව, ජීවිතයේ වෙනත් ඕනෑම අවදියකට වඩා හොඳ ශාරීරික සනීපයේ හැඟීමකින් යුතුව සිටි බවයි.”
එසේය, මෙම වෙනස්වීමේ වසර අද්දැක තිබෙන ස්ත්‍රීහු බොහෝදෙනෙක් අලුත් ප්‍රාණවත්බවක් අද්දකිති. ඔවුන්ගේ නිර්මාණාත්මක ශක්තිය නැවත ප්‍රාණවත් කොට තිබේ. ඵලදායක කටයුතුවල නියැලීමෙන්, ඔවුහු ජීවිතය දිගටම ගත කරති. “මම මගේ මනස ක්‍රියාශීලීව තබාගන්නවා. මම අලුත් දේවල් සොයා ඒවා ඉගෙනගනිමින් සිටිනවා,” යනුවෙන් ආර්තවාභාවය පසු කළා වූ එක් ස්ත්‍රියක් පැවසුවාය. ඇය තවදුරටත් මෙසේ පැවසුවා: “මම පෙරට වඩා අඩු වේගයකින් දේවල් කළත්, මෙය මගේ ජීවිතයේ අවසානය බව මට හැඟෙන්නේ නැත. තවත් වසර ගණනාවක් ගත කිරීමට මා බලාපොරොත්තු වෙනවා.”
පැහැදිලිවම, “ආර්තවාභාවයෙන් පසු තත්වයේ මෙන්ම ආත්ම-අභිමානයේ ඉහළ බවක් භුක්තිවිඳින අය වනාහි, බුද්ධිය, විනිශ්චය, නිර්මාණාත්මකභාවය හෝ ආත්මික ශක්තිය මූලික වශයෙන් අගය කරනු ලබන කාර්යයන්හි දේවල් කරන අය” වූ බව, ස්ත්‍රීන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීමේදී, ෂීඊ සොයාගත්තාය. එබඳු ස්ත්‍රීන් මහත් පිරිසක් සිටින අතර, ඔවුහු බයිබලය සම්බන්ධයෙන් තමන්ගේ දැනුම හා වටහාගැනීම පුළුල් කිරීමෙහි සතුටෙන් කැපවී සිටිනවාත් සමඟම එහි ප්‍රයෝජනවත් සාරධර්ම අන්‍යයන්ටත් උගන්වති.—ගීතාවලිය 68:11.
ජීවිතය සම්බන්ධව ඒකාන්ත දෘෂ්ටියක් ඇතුව සිටීමටත්, අර්ථවත් දේ ඉටු කිරීමටත් අමතරව, අපගේ ප්‍රේමනීය මැවුම්කරුවාණන් අපගේ හැඟීම් දැන සිටින බවත් අප ගැන සැබවින්ම සලකන බවත්, සියලු වයස් සීමාවන්ට අයත් ස්ත්‍රීන් තමන්ට මතක් කරගැනීම ප්‍රඥාවන්ත දෙයකි. (1 පේතෘස් 5:7) ඇත්තවශයෙන්ම, යෙහෝවඃ දෙවියන්වහන්සේට සේවය කරන්නාවූ සියල්ලන්ට අවසානයේදී අසනීප දුක්වේදනා හෝ මරණය තවත් නොතිබෙන්නාවූ ධර්මිෂ්ඨ නව ලොවක ජීවිතය භුක්තිවිඳීමට උන්වහන්සේ සැපයුම් යොදා ඇත.—2 පේතෘස් 3:13; එළිදරව් 21:3, 4.
එබැවින්, ආර්තවාභාවය අද්දකිමින් සිටින ඔබ, එය ජීවිතයේ එක් අවදියක් පමණක් බව මතක තබාගන්න. එම කාලය ගෙවී යනු ඇත, ඉන්පසුව අපගේ ප්‍රේමනීය මැවුම්කරුවාණන්ට ප්‍රයෝජනවත් ලෙස සේවය කිරීමෙහි යෙදෙන්නේ නම් අතිශයින් විපාකදායී වසර ගණනාවක් ගත කළ හැකි වේ. g95 2/22
[පාදසටහන්වල]
a පිබිදෙව්! යම් විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැත.
[16වන පිටුවේ කොටුව]
ඊස්ට්‍රජන් ප්රතිසම්පාදන ප්‍රතිකාරය සම්බන්ධයෙන් කුමක් කිව හැකිද?
ආර්තවාභාවයට පසුව ස්ත්රීන්ට ඇතිවන අසනීපවලට ප්‍රධාන හේතු දෙකක් වන, හෘදයාබාධ හා ඔස්ටියෝපොරෝසිස්ට එරෙහිව ඊස්ට්‍රජන් මගින් ආරක්ෂාව ලබාගත හැක. ඊස්ට්‍රජන් මට්ටම් පහත බසිනවාත් සමඟම, මෙම අසනීප වර්ධනය වීමට පටන්ගෙන වසර පහකින් හෝ දහයකින් රෝග ලක්ෂණ පහළ කරන්ට පටන්ගනියි. මෙම රෝග වැළැක්වීම සඳහා ඊස්ට්‍රජන් ප්රතිසම්පාදන (හිඟ පිරවීම) ප්‍රතිකාරය නැතහොත් හෝමෝන (ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන්) ප්රතිසම්පාදන ප්‍රතිකාරය නිර්දේශ කර තිබේ.
ඊස්ට්‍රජන් ප්‍රතිසම්පාදනය මගින් අස්ථි දියවීමේ වේගය අඩු කළ හැකි අතර, හෘදයාබාධ හටගැනීම වළක්වාලිය හැකිය. හෝමෝන ප්රතිසම්පාදන ක්‍රියාවලියට ප්‍රොජෙස්ටරෝන් එකතු කිරීම වනාහි, පියයුරු මෙන්ම ගර්භාශ පිළිකාව හටගැනීමට තිබෙන ඉඩකඩ අඩු කරන නමුත් හෘදයාබාධවලට එරෙහිව ඊස්ට්‍රජන් මගින් ඇති කරන ප්‍රයෝජනවත් බලපෑමට විරුද්ධව ක්‍රියා කරයි.
හෝමෝන ප්රතිසම්පාදන ප්‍රතිකාරය භාවිත කරනවාද නැද්ද යන තීරණය පදනම් විය යුත්තේ එක් එක් ස්ත්‍රියකගේ තත්වයන්, සෞඛ්‍යය සහ පවුල් ඉතිහාසය තක්සේරු කිරීමක් මතය.”b
[පාදසටහන්වල]
[17වන පිටුවේ කොටුව]
වඩා සුදුසු වන්නේ කිනම් ආහාරද?
මතු සඳහන් වන යෝජනා උපුටා දක්වා තිබෙන්නේ සූසන් පෙරි සහ වෛද්‍ය කැත්රින් ඒ. ඔ’හැන්ලන් විසින් ලියන ලද, නැචුරල් මෙනපෝස්—ද කම්ප්ලීට් ගයිඩ් ටු ඒ වුමන්ස් මෝස්ට් මිස්අන්ඩර්ස්ටුඩ් පැසෙජ් නමැති පොතෙනි.
ප්‍රෝටීන
• ඔබ ගන්නා සම්පූර්ණ කැලරි ප්‍රමාණයට සියයට 15කට වඩා වැඩි නොවන පරිදි ඔබේ ප්‍රෝටීන ප්‍රමාණය අඩු කරන්න.
• ඔබ ගන්නා ප්‍රෝටීන්වලින් වැඩි ප්‍රමාණයක් එළවලුවලින්ද අඩු ප්‍රමාණයක් සත්ව නිෂ්පාදනවලින්ද ලබාගන්න.
කාබෝහයිඩ්රේට
• නිවුඩු සහිත ධාන්‍ය, පාන් සහ පැස්ටා වර්ග, බෝංචි, කජු වැනි ඇට වර්ග, හාල්, එළවලු සහ පලතුරු යනාදිය වැනි සංකීර්ණ කාබෝහයිඩ්රේට වැඩිපුර අනුභව කරන්න.
• ඔබ ගන්නා සීනි ප්‍රමාණය හා වැඩි සීනි ප්‍රමාණයක් අඩංගු ආහාරද අඩු කරන්න.
• තන්තු බහුල ආහාර වැඩිපුර අනුභව කරන්න.
මේද වර්ග
• ඔබ ගන්නා සම්පූර්ණ මේද ප්‍රමාණය, ඔබ ගන්නා සම්පූර්ණ කැලරි ප්‍රමාණයෙන් සියයට 25 සිට 30 දක්වා අඩු කරන්න.
• ඔබ ගන්නා සම්පූර්ණ මේද ප්‍රමාණය ඔබ අඩු කරනවාත් සමඟම, ‘නුසුදුසු මේද’ (සන්තෘප්ත) අනුපාතයට වඩා ‘හොඳ මේද වර්ග’ (බහු අසන්තෘප්ත) අනුපාතය වැඩි කරන්න.
ජලය
• දිනපතා අවුන්ස හයේ සිට අටේ වතුර වීදුරු අටක් පානය කරන්න.
විටමින හා ඛනිජලවණ
• සෑමදාම විවිධ එළවලු හා පලතුරු ආහාරයට ගන්න.
• කිරි, පස්ගෝරස නිෂ්පාදන, බ්රොකොලි (ගෝවා වර්ගයක්) සහ කොළ සහිත එළවලු කැල්සියම් සඳහා හොඳ මූලාශ්‍ර වේ.
[18වන පිටුවේ පින්තූරය]
උපකාර කිරීම සඳහා පවුලේ සාමාජිකයන් විසින් කළ හැකි දේ: ස්නේහය දක්වන්න, ගෙදර දොර වැඩකටයුතුවලදී උපකාර කරන්න, අවධානය යොමු කරන සවන් දෙන්නෙකු වන්න, ඉඳහිට වෙනස් යමක් කරන්න