ආපදා පහර දෙන විට
විසිවන සියවසේ විශේෂ අංග ලක්ෂණයක් වී තිබෙන්නේ අතිමහත් ආපදා සිදුවීමය, ඇරත් මින් බොහොමයක් මිනිසා නිසා සිදුවී ඇත. කෙසේවෙතත් මින් සමහරක් එම ගණයට නොවැටේ. අපේ දවස් ගැන පුරෝකථනය කරමින් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙසේ පැවසූසේක: “ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.” (මතෙව් 24:7) මිනිසා යුද්ධ හා ආහාර හිඟකම්වලට වගකිව යුතු බව සැබෑවක් වුවද, හෙතෙම භූමිකම්පාවලට වගකිව යුතු නොවේ. ඒ හා සමාන අන්දමකින්, මිනිසාගේ ක්‍රියාකාරකමක් හේතුකොටගෙන ඇතැම් විනාශකාරි ජලගැලීම් සිදුවී ඇතත්, භූමිකම්පා සම්බන්ධයෙන් ඔහු මත වරද පැටවිය නොහැක. සැඩ කුණාටුවක්වත්, ගිනිකඳු පිපිරීම්වත්, මිනිසාගේ වරදින් සිදුවන දේවල්ද නොවේ.
ඒවායෙහි හේතුව කුමක් වෙතත්, මිනිසාගේ නොවැදගත්කමත්, ගරුබිය දනවන ස්වාභාවික බල හමුවේ සිය බලරහිතභාවයත් ස්වාභාවික ආපදා මගින් පෙන්නුම් කෙරේ. අපේ නිවස වන මේ පෘථිවිය, සාමාන්‍යයෙන් ඉතා සුරක්ෂිත ස්ථිරසාර යමක් සේ දිස්වේ. එහෙත් භූමිකම්පාවකදී එය සෙලවෙන විටත්, ජලගැලීමකට යටත්වන විටත්, එසේ නැතහොත් පිපිරීමක බලයකින් මෙන් දයාවිරහිතව හමන දරුණු සුළං මගින් පහර ලබන විටත්, එම සුරක්ෂිතභාවයේ හැඟීම හනික අතුරුදහන් වේ.
විසිවන සියවස තුළ ස්වාභාවික ආපදා හේතුවෙන්, ඉමහත් අලාභහානි හා අතිමහත් ජීවිත ගණනක් අහිමිවීම සිදුවී තිබේ. මෙය මඟ හරින්ට අවස්ථාවක් තිබිණද? ව්‍යසනකාරි ප්‍රතිවිපාක අඩු කිරීමට යමක් කළ හැකිද? පුද්ගලයන් වශයෙන්, අපහට ආරක්ෂාව සලසාගැනීම සඳහා අපට කුමක් කළ හැකිද? ආපදා පහර දෙන විට, අප සිටින්නේ මුළුමනින්ම අසරණ තත්වයකද? මිනිස්වර්ගයා මෙලෙස හැමවිටම ගොදුරු වනු ඇද්ද? මතු දැක්වෙන ලිපිවල මෙම ප්‍රශ්න සාකච්ඡාවට භාජන කෙරේ.