ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g96 1/8 17-19 පි.
  • ලීයෙන් තැනිය යුත්තේ මන්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලීයෙන් තැනිය යුත්තේ මන්ද?
  • 1996 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ලීයෙන් තනන ලද පැරණිතම ගොඩනැඟිල්ල
  • ජපන් නිවාස
  • ලීයේ අලංකාරය
  • ලීය නමැති ත්‍යාගය
  • ලීවල ඉපැරණි අලංකාරය ගවේෂණය කිරීම
    1998 පිබිදෙව්!
  • කිසිවකට නොදෙවෙනි ජපන් හපන්කමක්
    2001 පිබිදෙව්!
  • විසිතුරු අත්කම් භාණ්ඩ
    2011 පිබිදෙව්!
  • ඔබ දැන සිටියාද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1996 පිබිදෙව්!
g96 1/8 17-19 පි.

ලීයෙන් තැනිය යුත්තේ මන්ද?

ජපානයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි

වයඹ දිග රුසියාවේ, ලීයෙන් සැදුම් ලත් පල්ලියක් මුදුනෙහි මත්ස්‍ය කොරපොතු මෙන් මද හිරු එළියෙහි දිලිසෙන්නේ බුබුලාකාර හැඩැති කියුපෝලා 22කි. කියුපෝලා දෙස සමීපව බැලීමෙන් අනාවරණය වන්නේ, ඒවා ලී උළු දහස් ගණන්වලින් වැසී තිබෙන බවය, තවද කාලගුණයේ බලපෑමට හසුවීමෙන් ඒවායේ පැහැපත්කම අඩු වී තිබේ. ඔනීගා විලෙහි පිහිටි එක් දූපතක තිබෙන මෙම ලීයෙන් තනන ලද ගොඩනැඟිල්ල, වර්ෂ තුන්සියයක පමණ කාලයකට එම රටේ දරුණු ශීත ඍතු කාලවලට එරෙහිව ඔරොත්තු දෙමින් තිබේ. ලීවල තිබෙන පුදුමාකාර කල්පැවැත්මට එය නිහඬ සාක්ෂි ඉදිරිපත් කරයි.

වෙනත් ගොඩනැඟිලි ඊටත් වඩා ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරයි. ඊට වඩා බොහෝ කලකට භාවිතයේ තිබුණු ලීවලින් තනන ලද ගොඩනැඟිලි උතුරු යුරෝපය පුරා විසිර පවතී. නිදසුනක් වශයෙන්, 12වන සියවසේදී පමණ ලීයෙන් ගොඩනැඟිලි තැනීමට බෙහෙවින් නැඹුරු වූ නෝර්වීජියානු ජාතිකයන්ගේ නිර්මාණ, තවමත් පිටිසරබද පළාත්වල තැන් තැන්වල දැකිය හැකිය. එංගලන්තයේ එස්සෙක්ස්හි ඕංආ නගරය අසල 1013දී පමණ ඉදි කරනු ලැබූ ලීයෙන් තැනූ ගොඩනැඟිල්ලක්, තවමත් සුප්‍රසිද්ධ දරුණු කාලගුණ තත්වයන්ට එරෙහිව ඔරොත්තු දෙමින් තිබේ. එහෙත් මේ සියල්ලේම ආදිපිතෘ ලෙස පෙනෙන්ට තිබෙන්නේ, සියවස් ගණනක් පැරණි ජපානයේ ලී පන්සලක්ය.

ලීයෙන් තනන ලද පැරණිතම ගොඩනැඟිල්ල

මෙම ලීයෙන් තනන ලද හෝරියූජි පන්සලට මෙතරම් කාලයක් පැවතීමට හැකි වී තිබෙන්නේ කෙසේද? මූලික වශයෙන් ගත් කල, එය මුල් වඩුවන්ගේ ලී පිළිබඳ මනා දැනුම නිසාය. කුමන ලී වර්ගය තෝරාගන්නවාද, නිශ්චිත කාර්යයන්වලට කුමන කොටස භාවිත කරනවාද කියා ඔවුහු දැනගෙන සිටියෝය. එය කැපීමට පෙර අඩු තරමින් වසර දාහක් පමණ කාලයක් වැඩෙමින් තිබූ, හිනෝකී (ජපන් සයිප්‍රස් වර්ගයක්) නම් ගස මේ අවස්ථාවේදී ඔවුන්ගේ තේරීම වූයේය.

මෑතකදී මියගිය ප්‍රවීණයෙකු වූ ට්සුනේකාසූ නීෂීඕකා නම් වඩුවා, තමාගේ ජීවිතයේ වැඩි කාලයක්ම, මෙම පන්සලේ අලුත්වැඩියා කිරීමේ කටයුතුවලට වැය කළේය. භාවිත වූ ඇණ පන්සලේ දිගු පැවැත්මට බෙහෙවින් බලපා තිබෙන බවද ඔහු පවසා සිටියේය, නැවත නැවත මිටි පහර ගැසීමේ හා රත් කිරීමේ ශිල්ප ක්‍රම උපයෝගි කිරීමෙන් තනන ලද සමුරායි කඩු සාදන අන්දමට සමානව ඒවා සාදනු ලැබීය. “නවීන ඇණ අවුරුදු 20ක්වත් පවතින්නේ නැහැ” කියා ඔහු පැවසූ බැවින්, අලුත්වැඩියා කිරීමේ කටයුතුවලදී පුරාණ ඇණ භාවිත කරනු ලැබීය.

මෙම සියවස තුළදී හෝරියූජි පන්සලේ සියයට 35ක්ම අලුත්වැඩියා කර තිබූ බැවින්, එය සැබවින්ම අවුරුදු 1,300ක් පැරණිද කියා සමහරුන් ප්‍රශ්න කළ හැකිය. කෙසේවෙතත් විශාල කුලුනු, ප්‍රධාන බාල්ක සහ පියස්සේ කෙළවරවල් බොහොමයක් තවමත් මුල් ලීයෙන් සාදනු ලැබූ ඒවාය. නීෂීඕකා මෙසේ පැවසුවේය: “මෙම පන්සල තව අවුරුදු 1,000ක් පවතී කියා මම සිතනවා.”

ඔවුන් වටා මේ වර්ගයේ ගස් වැවීම හේතුවෙන්, පුරාණ ජපන් ජාතිකයන් ලීවලට ආශාවක් වර්ධනය කරගැනීම පුදුමයට කාරණයක් නොවේ. මෙම ආශාව අදදින දක්වාම පවතින බව ඔවුන්ගේ නිවාසවලින් පිළිබිඹු වේ.

ජපන් නිවාස

ලී බහුල වශයෙන් ගෙය ඇතුළත භාවිත කරනු ලැබුවත්, එයට තීන්ත ආලේප නොකෙරේ. ලීයේ ස්වාභාවික වයිරම සහ වර්ණය අගය කොට සැලකීම සඳහා කුලුනු, දොරවල්, ලී බඩු යනාදියට මනා නිමාවක් දෙනු ලැබේ. ආලින්දයේ තිබෙන ලෑලිවලට නිමාවක් දෙනු නොලැබේ. නිමාවක් නොදෙන ලද ලී, වත්තේ තිබෙන ගස් සහ පඳුරු සමඟ ස්වාභාවික සම්බන්ධයක් සපයයි. හැඟීම් පුබුදුවනවා වෙනුවට එය අනුකූලතාවේ සහ ශාන්තභාවයේ බලපෑමක් ඇති කරයි.

මෙයාකාර නිවසක් අයිතිව සිටීම වනාහි බොහෝ ජපන් ජාතිකයන්ගේ ආශාව බව ඔවුහු පවසති. කෙසේවෙතත්, සාමාන්‍ය සේවකයන්හට එවැනි නිවසක් ගොඩනැඟීම සඳහා හොඳ වර්ගයේ ලී, දැන් මිල අධික වේ. එසේවුවත්, හැකි සෑම තැනකදීම ලී භාවිත කිරීමට ජපන් ජාතිකයෝ සතුටු වෙති, එයට හේතුව වන්නේ එය අලංකාරවත් පෙනුමක් දෙනවාට අමතරව, නිතර සිදු වන භූමිකම්පා, සුළි සුළං, උෂ්ණ ආර්ද්‍රතාව ඇති ග්‍රීෂ්ම ඍතු සහ ශීත ඍතු ඇතුළත් ඔවුන්ගේ පරිසරයට එය යෝග්‍ය බව ඉතිහාසයෙන් උගන්වා තිබෙන බැවිනි.

පීඩනයක් යටතේ ගල් වැනි ද්‍රව්‍ය පුපුරන නමුත්, ලී ඉතා පහසුවෙන්ම නැමී, ඇඹරෙන බැවින් භූමිකම්පා සිදු වන රටවල ලී භාවිත කිරීමෙන් වාසි තිබේ. තෙතමනය පවත්වාගැනීමේ සහ පරිවරණයේ කදිම ලක්ෂණද ලීවලට තිබේ. ජූනි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා ජපානයේ වර්ෂාව සහ තෙතමනය තිබුණත්, නිවාස දිරාපත් වන්නේ නැත. ලීවලට වාතයෙන් තෙතමනය උරාගැනීමේ සහ ඉන්පසු එය පිට කිරීමේ හැකියාව තිබෙන බැවින්, මෙම කාලයට සුදුසු ලෙස සකස් වී, යම් ප්‍රමාණයක සැප පහසුබවක් සැපයීමට ලීවලට හැකිය. කෙසේවෙතත් ලී බොහෝ වෙනස් හේතූන් නිසා සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිත් ඇදගනී.

ලීයේ අලංකාරය

ලොව පුරා සිටින මනුෂ්‍යයන්ගෙන් බොහෝදෙනෙකු විසින් ලී තෝරාගන්නේ එහි පෙනුම නිසාය. ඇල්බර්ට් ජැක්සන් සහ ඩේවිඩ් ඩේ තමන්ගේ කොලින්ස් ගුඩ් වුඩ් හෑන්ඩ්බුක් නම් පොතේ මෙසේ පැහැදිලි කරති: “ලී ස්වභාවධර්මයේ ඵලයක් වන බැවින්, එක් එක් කොටස අද්විතීයය. ගසකින් රැගෙන තිබෙන එක් එක් ලී කොටස් හෝ එකම ලෑල්ලක් වුවත්, වෙනස් වේ. එයට එක සමාන ශක්තිය සහ වර්ණය තිබිය හැකිය, නමුත් එයට එකම වයිරම් මෝස්තරයක් නොතිබේ. එහි ගති ලක්ෂණවල විවිධත්වය, ශක්තිය, වර්ණය, නිර්මාණය කළ හැකිවීම සහ එහි සුවඳ පවා ලී වඩාත් සිත්ගන්නා යමක් කිරීමට සලස්වයි.”

ලී වයිරම්වල මෙතරම් විවිධත්වයක් දැකිය හැක්කේ මන්ද? ඇත්තෙන්ම, පටන්ගැන්මක් වශයෙන් පවසනවා නම්, ඇතැම් ගස් කෙළින් පිහිටා තිබෙන වයිරම් වර්ධනය කරන අතර, අනික් ඒවා ගැට සහිත වයිරම්ද, තවත් ඒවා රැළි සහිත හෝ බොකුටු සහිත ඒවා පවා නිපදවයි. ඉන්පසුව, ගස් වැඩෙත්ම ඒවා බොහෝවිට ඇඹරෙමින්, වැඩෙන දිශාව මාරු කරමින් අතු දමන අතර, කෘමීහුද පැමිණ යති. මේ සියල්ලක්ම සිත්ගන්නා මෝස්තරවලට බලපායි. මීට අමතරව, ලීය කපනු ලබන පැත්ත අනුවද එම මෝස්තරය වෙනස් යමක් සේ පෙනී යයි. කළු පැහැයට සමීප ඉරිවලින් යුත් පැහැදිලි මෝස්තරයක් ලබාගැනීමට කපනු ලබන එක්තරා රතු පැහැයට හුරු දුඹුරු පැහැති ලී වර්ගයක්, ඇතැම් රටවල සීබ්‍රා ලී වශයෙන්ද, තවත් රටවල කොටි ලී වශයෙන්ද නම් කොට තිබේ.

ලීයේ අලංකාරය තවත් කැපීපෙනෙන්ට සලස්වන්නේ වර්ණය සම්බන්ධයෙන් දැකගත හැකි අතිවිශාල විවිධත්වයයි. ලී සියල්ලක්ම දුඹුරු පැහැයකින් යුක්ත නොවේ. කළු අරටුවක් ඇති කළුවර ලී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවලින් පැමිණේ, රතු පැහැයේ සිට දුඹුරු පැහැයට හුරු දම් පැහැති කැම් ලී බටහිර අප්‍රිකාවෙන්ද, තද රතු මැහෝගනී මධ්‍යම සහ දකුණු අප්‍රිකාවෙන්ද පැමිණේ. නිරාවරණය කළ විට තද රතු පැහැයට හුරු දුඹුරු බවට හැරෙන දීප්තිමත් තැඹිලි පැහැයට හුරු රතු බ්‍රසීල ලී, වැවෙන්නේ බ්‍රසීලයේය. සමහර ලී කොළ පැහැති වන අතර, සමහර ඒවා රෝස පැහැතිය. සුදුමැලි කහ පාටින් යුත් දේවදාර ලී ඇලස්කාව සපයන අතර, යුරෝපීය සීකමෝර් ඊටත් වඩා සුදුමැලිය. සුදු ලීවල සුදුම ලීය කොතරම් සුදුමැලිද කිවහොත් එයට වර්ණයක් නැති තරම්ය.

ලීයේ සුවඳද බොහෝදෙනෙකුට ආකර්ෂණීය දෙයකි. එක් සුවඳවත් ලීයක් නම් ජුනිපර්ය, මෙය සාලමොන්ගේ වඩුවන් විසින් දේවමාලිගාවේ පොළොව වැසීමට යොදනු ලැබූ ලීය වේ. (1 රාජාවලිය 6:15) සමහරවිට ජුනිපර් ලීයේ සුවඳ, වාතයට මුසු වී ඇතැම්විට සුවඳ දුම් සමඟ මිශ්‍ර වන්ට ඇත. (2 ලේකම් 2:4) ජුනිපර් ලීය ප්‍රසිද්ධියක් උසුලන්නේ එහි සුවඳ නිසා පමණක් නොව, නමුත් එහි කල්පැවැත්ම සම්බන්ධයෙන් සහ දිරාපත් වීමට එරෙහිව ඔරොත්තු දීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධය.

ලී වර්ණනා කිරීම සම්බන්ධයෙන් තව තවත් බොහෝ දේ පැවසිය හැකිය. එහි ගුණාත්මකභාවය කොතරම්ද කිවහොත්, එයට විරුද්ධව ප්‍රකාශ කිරීමට කිසි දෙයක් තිබේද කියා අප කල්පනා කරනවා විය හැක.

ලීය නමැති ත්‍යාගය

සියලූම ලී පලිබෝධකයන්ට ඔරොත්තු දෙන්නේවත්, දිරාපත් වීමට ඔරොත්තු දෙමින්, වසර සිය ගණනක් පවතින්නේවත් නැති බව සැබෑය. ලීවලින් ගොඩනැඟීමේදී තිබෙන අධිසැලකිල්ලට භාජන විය යුතු කරුණ නම් ගින්දරය. එහෙත්, අධික තාපයකට භාජන වෙද්දී, ඝනකමකින් යුක්ත ලීයක් පිලිස්සෙන්නේ සෙමින්ය, එහි ශක්තිය අඩපණ වන්නෙත් සෙමින්ය, තවද වානේවලට වඩා බිඳවැටීම සඳහා එයට වැඩි කලක් ගතවේ. කෙසේවෙතත්, පැරණි ක්‍රමයට අනුව දැවැන්ත ලී බාල්ක හා කුලුනු ඇත්තේ අදදින නිවාස ස්වල්පයක පමණි. එබැවින් කෙනෙකුට ඇවිළෙන නිවසකින් හැකි තරම් ඉක්මනට පලා යෑමට සිදු වනු ඇත.

ලී වනාහි වටිනාකමක් නොමැති බාල ගොඩනැඟිලි ද්‍රව්‍යයක් නොවේ. ඒ වෙනුවට, හරියාකාරව තෝරාගනු ලැබූ සහ පිළියෙළ කරනු ලැබූ ලීවලට, වසර සිය ගණනක් භාවිතයට ගත හැකි හොඳින් පරිවරණය කළ ගොඩනැඟිල්ලක් වීමට හැක. අප එය නිසියාකාරව රැක බලාගත්තොත් එය කිසිදිනක දිරාපත් නොවන බව ඇතැම් බලධාරීහු කියා සිටිත්. කුමක් පැවසුවත්, මැවුම්කරුවාණන් විසින් අපට තිළිණ කරන ලද අනර්ඝතම ගොඩනැඟිලි ද්‍රව්‍ය අතර ලී තිබෙන බව සහතිකය.

[17වන පිටුවේ පින්තූරය]

ඔනීගා විලෙහි පිහිටි දූපතක් මත ලීයෙන් තනන ලද ගොඩනැඟිල්ලක් මුදුනෙහි ඇති බුබුලාකාර හැඩැති කියුපෝලාවන්

[හිමිකම් විස්තර]

Tass/Sovfoto

[18වන පිටුවේ පින්තූර]

ජපානයේ ලීයෙන් තැනූ හෝරියූජි පන්සල

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න